මිනිස්සු කුලප්පු කරන්නේ අපිද ?ආණ්ඩුවද ?


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී

 සුනිල් හඳුන්නෙත්ති

වර්තමානයේ රටේ ආර්ථික අර්බුදයක් ඇති බව ජාතික ජනබලවේගය මෙන්ම විපක්ෂයේ බොහෝ පක්ෂවල අදහසයි. එහෙත් ආණ්ඩුව කියන්නේ එවැනි අර්බුදයක් නැති බවයි. නැත්නම් අඩුවෙමින් ඇති බවයි. එහෙත් සාමාන්‍ය ජනයාගේ පොකැට්ටුව හිස් වෙමින් පවතී. ඒ ගැන මේ අදහස් දැක්වීම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගෙනි. 


?රටේ ආර්ථික අර්බුදයේ ස්වභාවය ගැන ඔබේ කියවීම කොයි වගේද?


අපි ආර්ථික අර්බුදයක් කිය කිය නිතර කිව්වට ඒක තේරෙන්නෙ නැති සහ පිළිගන්නෙ නැති අයට මුදල් අමාත්‍යශය පිළිගන්න පුළුවන් විදියට කිව්ව. ඒ වසර මැද මුල්‍ය වාර්තාවෙන්. ඒක අනුව හොඳටම පැහැදිලියි ආණ්ඩුවට හිතාගෙන ඉන්න ඉලක්කවලට යන්න බෑ කියන එක. දේශීය ආදායම් එක ඉදිරිපත් කළා පහුගිය හය මාසයේ ආදායම් බදු එකතුවෙලා තියෙන විදිය. හොඳම උදාහරණය වැට් බදු. එකතු කරල තියෙන්නෙ කෝටි විසිතුන් දාහයි. හැබැයි ඒගොල්ලො එකතු කරන්න බලාපොරොත්තු වෙනවා කෝටි අනූඑක්දාස් දෙසීයක්. එතකොට කොහොමද ඒක එකතු කරන්නෙ. එක්කො ආණ්ඩුව ඉදිරි මාස හයට තුන් ගුණයක් වැට් බදු වැඩි කරන්න ඕනෑ. දැනටත් සීයට අටේ ඉඳල පහළොව වෙනකම් වැඩි කරල තියෙන්නෙ. එහෙමත් කරල බැරි නම් කොහොමද කරන්නෙ. උධමන අර්බුදයත් එක්ක ආණ්ඩුවට තවත් සල්ලි අච්චු ගහන්න බෑ. ණය දෙන්න කෙනෙකුත් නෑ. ආණ්ඩුව කියන හැටියට බැංකුවලින් ණය කපා හරින්නෙත් නෑ. ආණ්ඩුව කොහෙන් ද සල්ලි හොයා ගන්නෙ ?.


පහුගිය මාස හයේ ආර්ථික වර්ධන වේගය - 11.5 යි. කලින් අවුරුද්දෙ -8.5 යි. එන්න එන්න අර්බුදය වැඩිවෙනවා. මහා පරිමාණයෙන් ගත්තත් අර්බුදය. ග්‍රාමීය ජීවිතය ගත්තත් අර්බුදය. සමෘද්ධිය කපනව, බඩු මිල වැඩිවෙනව, විදුලි බිල වැඩිවෙනව. ජල බිල වැඩිවෙනව. මේ ඔක්කොම එක්ක තමයි මිනිස්සු පාරට බැහැල තියෙන්නෙ. ආණ්ඩුවට දැන් වෙලා තියෙන්නෙ ගෙදර ගියත් තෝ නසී මග හිටියත් තෝ නසී තත්ත්වයක්.


?ආණ්ඩුව පැත්තෙන් නම් කියන්නෙ යන්තම් රට සෙට්ල්වේගෙන එද්දි ජේ.වී.පී. එක එහෙම කුලප්පු කරල තමයි මිනිස්සු පාරට බැහැල ඉන්නෙ කියල...


අපි හිතමුකො මිනිස්සු පාරට ආවෙ ජේ.වී.පී. එක කුලප්පු කරල කියල. එතකොට විපක්ෂෙට මිනිස්සු කුලප්පු කරන්න හේතු දුන්නෙ කවුද? සමනල වැවේ වතුර ටික ගොවියන්ට නොදී කුලප්පුව හැදුවෙ නාමල් කරුණාරත්න ද? ආණ්ඩුවද? හේතුවක් නැතුව නාමල් කරුණාරත්න කියපු ගමන් කුලප්පු වෙන්න මිනිස්සුන්ට පිස්සුද? එහෙනම් ඇයි කැබිනට් මණ්ඩලේ පස්සෙ වතුර දෙන්න තීරණය කෙරුවෙ? ඇයි ආණ්ඩුව ඒ කුලප්පුවට අවනත වුණෙ? ඔය කතාවම ගෝඨාභයත් ඒ කාලෙ කිව්ව. පෝර ප්‍රශ්නයක් ඇති කරල රටම අමාරුවෙ දාල පස්සෙ කිව්ව ගොවි ජනතාව කුලප්පු කෙරුව කියල. දැනුත් ඒ වගේ තමයි. අස්වැසුම කියල එකක් ගෙනල්ල සමෘද්ධිලාභීන් කුලප්පු කරන්නෙ අපිද ආණ්ඩුවද? අර්ථසාදක කප්පාදුවක් ගෙනල්ල මිනිස්සු කුලප්පු කරන්න අපිද ආණ්ඩුවද? බෙහෙත් අර්බුදයක් හදල මිනිස්සු කුලප්පු කරන්නෙ අපිද ආණ්ඩුද? ඇත්ත ප්‍රශ්නයක් නැත්නම් අපිට පුළුවන්ද බලෙන් මිනිස්සු පාරට බස්සන්න. මිනිස්සු කුලප්පු වෙන වැඩ කරන්නෙ ආණ්ඩුව මිසක් වෙන කවුරුවත් නෙවෙයි. පහුගිය කාලෙ ආණ්ඩුව මිනිස්සු කුලප්පු වෙන ජාතියෙ වැඩ කීයක් නම් කියල කෙරුවද?


අපි කතා කරන්නෙ මේ කුලප්පුව සදහටම නිමා කරලා රට හොඳ අතට හරවලා මිනිස්සු සතුටින් ජීවත්වෙන පරිසරයක් හදන ක්‍රමයක් ගැන. එබඳු පාලනයක් වෙනුවෙන් තමයි අපි කැපවෙන්නෙ.


?රනිල් ජනාධිපති වුණාට පස්සෙ රට පොඩ්ඩක් ස්ථාවර වෙනව කියලා කියන ආණ්ඩුවෙ අදහසේ ඇත්තක් ඇත්තෙම නැද්ද..?


මොකක්ද ඔය කියන ස්ථාවරය? දැන් ආණ්ඩුව ලයිට් කපන්නෙ නෑ. ඒ වෙනුවට මිනිස්සු ගෙවල්වල ලයිට් තමන්ම කපා ගන්නවා. ලයිට් බිල වැඩිවෙන වැඩිවෙන පාරට මිනිස්සු වෙනද දාපු ලයිට් එකින් එක නිවල දානව. ඒක ද රනිල්ගෙ රට ස්ථාවර කිරීම ? දැන් තෙල් පෝලිම් නෑ. මොකද වෙනද වගේ මිනිස්සු වාහන පදින්නෙ නෑ. බඩු මිල වැඩි නිසා තුන්වේල කාපු මිනිස්සු දැන් වේලක් දෙකක් කාල පිරිමහගන්නව. බෙහෙත් නැති නිසා රෝගින් ඉස්පිරිතාලවලට යන්නෙ නෑ. ඔන්න ඕක තමයි රනිල් ස්ථාවර කරපු රට. අද මිනිස්සු ජීවත් වෙන්නෙ කොයි වෙලාවෙ මේ රටෙන් පිටවෙනව ද කියල හිත හිතා. යන්න පුළුවන් හැමෝම රට දාල යනව. ඕක තමයි රනිල් හදපු රට. මේක ජනතාව ගැන සංවේ දී ආණ්ඩුවක් නෙවෙයි කියල මිනිස්සු තේරුම් අරන් ඉවරයි. මිනිස්සු දැන් ඉන්නෙ විශාල අපේක්ෂා භංගත්වයක.


?ඔබලට එන ප්‍රධානම චෝදනාවක් තමයි දේවල් විවේචනය කරන තරමට ඔබල බලය ගත්තොත් ඒවට දෙන විසඳුම් ඇතුළත් වැඩපිළිවෙළක් ගැන හරිහැටි රටට කියන්නෙ නෑ කියන එක...


අපි අපේ වැඩපිළිවෙළ ඇති තරම් රටට කියල තියෙනව. ඒවට මිනිස්සු ඇහුම්කන් දීලත් තියෙනව. හැබැයි ඒව අහන්න අකමැති අයට ඒව ඇහෙන්නෙ නෑ. කතාවත් තියෙනවනෙ හොරට නිදාගන්න මිනිහ ඇහැරවන්න ලේසි නෑ කියල. හැබැයි ඇහෙන්නෙ නැති අයටත් ඇහෙනකම් අපි කියනව. මේ රට වැටිල තියෙන්නෙ ඇයි. ණය වෙච්ච නිසානෙ. ණය වෙලා තියෙන්නෙ ඇයි. විදේශ විනිමය නැති නිසානේ. එහෙනම් විදේශ විනිමය හොයන්න පුළුවන් ක්‍රමයකට උත්තර හොයන්න ඕනැ. ඒකට අපේ අපනයන වැඩිකරන්න ඕනැ. නිෂ්පාදනය වැඩිකරල තමයි අපනයන වැඩිකරගන්න වෙන්නෙ. වෙන ක්‍රමයක් නෑ. පහුගිය අවුරුදු ගණනාවක් තිස්සෙ අපේ වෙළෙඳ ශේෂ පරතරය දෙගුණයක් සෘණ. තව දුරටත් ණයට කාල රට හදන්න බෑ කියල මේ පාලකයො ඔප්පු කරල ඉවරයි. මේකට නිවැරදි උත්තරයක් ඕනැ. අපි ඒ ක්‍රමය කියල තියෙන්නෙ. කෙටිකාලීනව කරන්න තියෙන්නෙත් ඒක. දිගුකාලීනව කරන්න තියෙන්නෙත් ඒක. දැන් වෙන උත්තර නෑ. සමහරු අපෙන් අහනව ණය ගන්න තියෙන වැඩපිළිවෙළ මොකක්ද කියල. ණය ගන්න සැලැස්මක් නෑ. අපෙන් අහන්න ඕනැ ණය නොගෙන, රට ණය නොකර රට ගොඩදාන ක්‍රමය මොකද්ද කියල. මෙච්චර කාලයක් ණය අරගෙන රට ගොඩදාන්න පුළුවන් වුණාද? ණය ගන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි ණය ගෙවන්න පුළුවන් ක්‍රමයක් තමයි දැන් ඕනෑ.


කවුරුහරි කියනවනම් අපි යෝජනා කරන ක්‍රමයට රට ගොඩදාන්න බෑ කියල, අපි සූදානම් ඒක පුළුවන් කියල ඔප්පු කරන්න. අපිට බලය දෙන්න. හැත්ත හතේ ජේ.ආර්.ට බලය දෙද්දී පුළුවන්ද කියල අහල ද බලය දුන්නෙ? සිරිමාවොට බලය දෙද්දි කලින් කරල තියෙනව ද කියල ඇහුවද කවුරුවත්? ඇයි අපෙන් විතරක් කෝඳුරු තෙල් හත්පට්ටෙකුයි තවත් ඩිංගකුයි ඉල්ලන්නෙ? මෙච්චරකල් අපේ පාරිශුද්ධත්වය හොයපු අය අපට වඩා හොඳ අයට ද බලය දුන්නෙ? මෙච්චර කල් බලය දීල තියෙන්න පට්ට තක්කඩි රැලකටනෙ.


?ආණ්ඩුව පෙන්නන මායාවෙන් එහා ඇත්තටම මේ ආර්ථික අර්බුදයෙන් රට වැටෙන්න නියමිත අගාධයේ තරම කොයි වගේද..?


අපි මේකට කිව්වෙ අපායෙ ඉන්ටවල් කියල. දැන් අපායෙ ඉන්ටවල් ඉවරයි. අපට සතුටක් නෑ ඒ ගැන. ආණ්ඩුවට මේ එන සැප්තැම්බර්වල දෙවෙනි ණය ප්‍රතිව්‍යුහගතකරණයට යන්න වෙනව. මොකද, ආණ්ඩුවට බලාපොරොත්තු වෙච්ච එක ඉලක්කයකටවත් යන්න බැරිවෙලා තියෙනවා. ආණ්ඩුවට මේ වසරෙ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ ඉලක්ක සම්පූර්ණ කරනවනම් ඩොලර් මිලියන දෙදාස්එකසීයක් ණය ගන්න ඕනැ. ඩොලර් මිලියන තුන්දාස්හාරසිය විස්සක් ණය කපා හැරීමක් හෝ කල්දාගැනීමක් කරන්න ඕනැ. ඩොලර් මිලියන නවසිය පනහක විතර විදේශ ආයෝජකයො ගෙන්න ගන්න ඕනැ. ඩොලර් මිලියන නවසීයක් විතර පෞද්ගලික අංශයෙන් ණය ගන්න ඕනෑ. තාම මේ මොකුත් වෙලා නෑ. ආණ්ඩුව කෘත්‍රිමව ඩොලර් එක පාලනය කරමින් හිටිය. අද ඒකත් බැරිවෙලා. කොටස් වෙළෙඳපොළ දියුණු වෙනව කියල ආණ්ඩුව ගහපු පම්පෝරියත් දැන් රෙද්ද පල්ලෙන් බේරෙන්න පටන් අරගෙන. දැන් මේ රට මෙහෙම හරි යන්නෙ ආණ්ඩුවෙ දක්ෂතාවකට නෙවෙයි. දැන් මිනිස්සු ලෙවකාගෙන හරි ඉන්න හුරුවෙලා තියෙනව. අපි ඉන්නෙ ගිනි කන්දක් උඩ. පුපුරල යන වෙලාව කොයි මොහො​ෙතද කියන්න බෑ.

 

 

■ ප්‍රියන්ත කොඩිප්පිලි