මාලිමාව ඉටුකළ ලොකුම ඡන්ද පොරොන්දුව
හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් ලබාදී ඇති නිල නිවාස සහ වෙනත් වරප්‍රසාද තම රජයක් යටතේ අහිමි කරන බවට ජාතික ජනබලවේගය ඉකුත් මැතිවරණ සමයේ ලබා දුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ඉටුකරමින් ඉකුත් බදාදා හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කරන පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය. පනතට විරුද්ධව ඡන්දය දුන්නේ චාමර සම්පත් මන්ත්‍රීවරයා පමණකි. ඒ අනුව පනත බලාත්මක කරමින් කතානායක ජගත් වික්‍රමරත්න එදින සවසම පනතට තම සහතිකය තැබීය. සම්මත කළ දාම කතානායක අත්සන් කළ පනතක් මෑත කාලයේ තිබුණේද නැත.
‘“මගෙ ඡන්දෙ ප්‍රකාශ කරන්නෙ මම අත උස්සලා. ඒක සටහන් කරගන්න.”
ඡන්දය විමසන අවස්ථාවේ විපක්ෂයේ චාමර සම්පත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
‘“ඔයා පක්ෂද... විපක්ෂද....” මාලිමාවේ මන්ත්‍රීවරු විමසූහ.
‘“මම විපක්ෂයි.” චාමර කෑ ගසා කීවේය. චාමර ඡන්ද විමසීමේදී ඡන්දය දුන්නේ පනතට විරුද්ධවය.
‘“මොකද ඔයා විරුද්ධව දුන්නේ මොකක්ද ලැබෙන ප්‍රතිඵලය?”
“විපක්ෂයේ අනිත් අය එහෙම කළේ නෑනේ.” මාලිමා මන්ත්‍රීවරුන් යළිත් කෑ ගැසූ අතර චාමර කීවේ ‘මම මේකෙ ප්‍රයෝජනය ගන්නේ තව අවුරුදු හතරකින්....’ චාමර ද කෑගැසුවේය.
‘“ඔය කියන්නේ මේකයි. එයාගෙ හිතේ තියෙන්නේ මේ තියෙන නඩුවලින් එයාට ඇතුළට යන්න වෙනවා. ඊළඟ ජනාධිපතිවරණය තව අවුරුදු හතරකින් එනවා. එයා හිතනවා එයාලගෙ කෙනෙක් එයි කියලා. ජනාධිපති සමාවෙන් එළියට එන්න බලාගෙන එයාලගෙ හිත් ගන්න දීපු ඡන්දයක්...” සමන්ත විද්‍යාරත්න ඇමැතිවරයා මාලිමාවේ මන්ත්‍රීවරුන්ට කීවේ ඔවුන් සියලු දෙනාම හිනස්සවමිනි.
පනතට ඡන්දය විමසන අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සිටියෝය. විපක්ෂයද පනතට පක්ෂව අදහස් දැක්වූ මුත් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ සිටියේ නැත. ඡන්දය විමසීමෙන් අනතුරුව පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදය සඳහා විපක්ෂනායක ප්‍රමුඛ විපක්ෂයම පැමිණියේය.
‘“ලේකම්තුමා.... මොකද මේ කිරිකොක්කු වගේ එන්නේ. ඡන්දය දෙන්න ආවේ නෑනේ...” සමන්ත විද්‍යාරත්න ඇමැතිවරයා විමසුවේ සජබෙ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙනි.
‘“අපි ඉතින් ඔබතුමාලට නිදහසේ ඕනෑ දෙයක් කරගන්න කියල ඉඩ දුන්නා..” එසේ කී සජබ මහ ලේකම්වරයා තම අසුනේ වාඩි ගත්තේය.
මහින්ද කාල්ටන් නිවසට යයි
ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කර නව පනත යටතේ එම වරප්‍රසාදවලින් කොටසක් කප්පාදු කරන විටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහගමසේකර මාවතේ නිල නිවසෙන් පිටව ගොස් සිටියේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද ඉතාම ඉක්මනින් නිල නිවස අතහැර යන බව ප්‍රකාශ කළාය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවස අතහැර පිටව ගියේ පනත සම්මත වූ දාට පසු දින වූ බ්‍රහස්පතින්දා දිනයේය. ඒ මහතා පිටව ගියේ තංගල්ලේ පිහිටි පෞද්ගලික නිවස වන කාල්ටන් නිවසටය. රාජපක්ෂ පිටව යද්දී පාක්ෂිකයන් විශාල පිරිසක්ද චීන තානාපති ඇතුළු විදේශ තානාපතිවරු කිහිප දෙනෙක් ද පැමිණ සිටියහ.
විශ්වාසභංගය වීසි කරයි
ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය භාරදුන් විශ්වාසභංග යෝජනාව භාරගැනීම කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉකුත් සතියේ ප්‍රතික්ෂේප කිරීමත් සමග පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් මතු විය.
එහිදී කතානායකවරයා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභංග යෝජනාව නොගැළපෙන බැවින් සහ එය නිසි පිළිවෙළකට නොමැති වීම හේතුවෙන් තමාට එය පිළිගත නොහැකි බවය. රජය මුල සිටම කියා සිටියේ එම “විශ්වාසභංග යෝජනාව” නීතිවිරෝධී යෝජනාවක් හෙයින් විවාදය සඳහා භාරගත නොහැකි බවත් අවශ්‍ය නම් නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහිව “දෝෂාරෝපණ යෝජනාවක්” සඳහා ඉඩ ලබාදිය හැකි බවත්ය. මෙතෙක් ශ්‍රීලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිම දිනක නියෝජ්‍ය ඇමැතිවරයකුට විශ්වාසභංග යෝජනා ගෙනැවිත් නැති බව කී නියෝජ්‍ය ඇමැති නීතිඥ වටගල එම සම්ප්‍රදාය පිළිගනිමින් රජය මෙම විශ්වාස භංගය නීතිවිරෝධී ලෙස සලකන බව කීවේය. ආණ්ඩුව මතු කළ තවත් තර්කයක් වූයේ නියෝජ්‍ය ඇමැතිවරුන්ට අමාත්‍යාංශ විෂයයන් වෙන්කර නොමැති නිසා මෙම විශ්වාසභංගයට පදනමක් නොමැති බවය.
එම මතයට පිළිතුරු දෙමින් ගයන්ත කරුණාතිලක සහ මුජිබර් රහුමාන් යන විපක්ෂ මන්ත්‍රීවරුන් පැවසුවේ ජනාධිපතිවරයා විදේශ ගතවන අවස්ථාවල වැඩබලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ අරුණ ජයසේකර වන බැවින් විෂයයන් පවරා නැති බවට වන තර්කය පිළිගත නොහැකි බවය.
මේ පිළිබඳව කතානායක ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු ලේකම්වරුන්ගෙන්ද කරුණු විමසා තිබුණි. ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පදනමක් නොමැති බව කියමින් කතානායකවරයා තම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
මාස හයකට පසු සජබ කෘත්‍යාධිකාරිය රැස්වෙයි
සමගි ජනබලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ඉකුත් අඟහරුවාදා සවස පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. සාමාජිකයන් අසූ දෙනකු පමණ වූ සංඛ්‍යාවෙන් පනස් දෙනක් පමණ එදින රැස්වීමට පැමිණ සිටියහ.
පක්ෂය ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ගත යුතු මාර්ග ගැන එහිදී සාකච්ඡා විය. මේ දිනවල පොදු විපක්ෂයක් ලෙස කටයුතු කිරීම සඳහා වරින්වර සාකච්ඡා සිදුවන්නේ රජයෙන් සිදුවන මර්දනකාරී කටයුතුවලට හා ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට එරෙහිව බවත් ඒ හැර එම පක්ෂ සමග එක්ව මැතිවරණ මුහුණ දීමේ අදහසක් නැති බවත් එහිදී පැහැදිලි කෙරිණ. වෙනත් පක්ෂවලින් එන අය ප්‍රවේශමෙන් කළමනාකරණය කරගෙන මැතිවරණවලට සම්බන්ධ කරගත යුතු බවට මත පළවිය. පොහොට්ටුවට මේ දිනවල යම් යම් චෝදනා එල්ල වන අතර එවැනි අපේක්ෂකයන් පැමිණෙන්නේ නම් එවැන්නක් ගැන කල්පනාකාරීව විමසා බලා කටයුතු කළ යුතු බව සාකච්ඡාවට ලක් විය.
පක්ෂය තුළ විනය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත් පක්ෂ නායකයන් පිටතදී විවේචනය කරන අය සිටී නම් එවැනි අය ගැන දැඩි විමසිල්ලෙන් සිටින බවත් විනය කමිටුවක් මගින් දැඩි පියවර ගන්නා බවත් එහිදී කියැවිණ. පැමිණ සිටි සියලු දෙනාම පාහේ එම මතය අනුමත කළහ.
‘සමහරු පක්ෂ නායක, මහලේකම්ව වගේම මන්ත්‍රීවරුන්වත් තැන තැන විවේචනය කරල තිබුණා. ඒක පක්ෂයට හොඳ නෑ. විවේචන තියෙනවා නම් මේ කෘත්‍යාධිකාරියේදී හරි, කළමනාකරණ කමිටුවේදී හරි එහෙමත් නැතිනම් මන්ත්‍රී කණ්ඩායමේදී හරි කරන්න. එහෙම නැතිව එළියේදි ඒ දේ කරන්න එපා. ඒක පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක්.’ පක්ෂ ප්‍රධානීහු කියා සිටියහ.
‘ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා කරන එක හොඳයි. ඒ රැස්වීම්වලට විපක්ෂයේ අනිත් අයත් එනවනේ. දැන් බලන්න රෝහිත අබේගුණවර්ධන වගේ කෙනෙක් එක්ක එකට ඉන්න පොටෝ එකක් ප්‍රචාරය වුණාම අපේ ඡන්ද පදනම කඩා වැටෙනව නේද....? අජිත් පී. පෙරේරා ප්‍රශ්න කළේය.
‘දැන් බලන්න නාගොඩදී අපේ අපේක්ෂකයකුට ඡන්ද කාලෙ වෙඩි තිබ්බා... එයා දැන් අපිව දාල ගිහින්. දැන් ඉන්නෙ රෝහිත අබේගුණවර්ධනත් එක්ක. මෙහෙම දේශපාලනය අවුල්....’ අජිත් පී. පෙරේරා කීවේය.
ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය රජය නීතිය අවභාවිත කරන හැටි පැහැදිලි කළේය. ‘කටඋත්තරයක් ගන්න ගියාට හිටපු ජනාධිපතිතුමාව අත්අඩංගුවට ගත්තා. ඊට පස්සෙ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරියෙක් උසාවියට දුවගෙන ආවා.... මේ ක්‍රියාදාමය වැරදියි. යම් කෙනෙක්ව උසාවියට දැම්මම උසාවියට තියෙන බලතලවලට එහා බලතල අවශ්‍ය වෙනවා නම් තමයි නීතිපතිට යොමුකරන්නෙ. මේකෙන් පෙනෙන්නේ නීතිය අවභාවිත කරන්න ආණ්ඩුවෙ උසස් අය කටයුතු කරන බව...’ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කියා සිටියේය.
‘දැන් නායකතුමනි, මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා පොදු දේපොළ පනත ගැන. කාටහරි වෙඩි තිබ්බම, පොදු දේපළ ගිනි තිබ්බම අවුරුදු විස්සෙ කාලාවරෝධය තියෙන නිසා අවුරුදු විස්සෙන් පස්සෙ නඩු දාන්න බෑ. මිනීමැරුමට විතරයි පුලුවන්. දැන් මේ ආණ්ඩු බලය කරන අය ඒව කරල අවුරුදු විස්සට වැඩියි. ඔබතුමා නායකතුමනි පනතක් හදල පාර්ලිමේන්තුවට ගේන්න මේ අවුරුදු විස්ස පැනපු වැරදිවලට දඬුවම් කරන්න පුළුවන්. ඒක සම්මත කරගන්න බැරිවෙයි. ඒත් එතකොට ජනතාවට තේරෙනවා මේ අය මිනීමරපුවා, ට්‍රාන්ස්පෝමර් පිච්චුවා, බස් පිච්චුවා ගැන. ඒවා ඔප්පු කරන්න පුළුවන් දේවල්. සාධක තියෙනවා. ඒවනෙ පොදු දේපොළ. දැන් මේ අත්අඩංගුවට ගන්නෙ පොදු දේපොළ පනත යටතෙනෙ. මෙයාල කළ පොදු දේපොළ විනාශයට දඬුවම් දෙන්න පුළුවන් නීතියක් පාර්ලිමේන්තුවට ගේන්න.... ’ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය දිගු විස්තරයක් කළේය.
‘ආසන සංවිධායකවරුන් පත් කරන කොටත් හිතන්න දෙයක් තියෙනවා. කළුතර දිස්ත්‍රික්කෙ ආසන කිහිපයකටම අපේ සංවිධායකයො නෑ. එතැනදී දාන්නෙ කවුද කියන එකට නිර්දේශය ගන්න ඕනෑ. කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් නොවෙයි. අපෙන්. ඒ වගේම දිස්ත්‍රික්කයෙ ඉන්න ජ්‍යෙෂ්ඨයන්ගෙන් නිර්දේශය ගන්න. මේ මිනහ හොඳයි ද? මේ මිනිහ යයිද වගේ දේවල් ගැන. රාජිතගෙ ගෝලයෙක් ටික කාලෙකට කලින් උඩින්ම පක්ෂයට ඇවිත් සංවිධායක වුණා. දැන් මිනිහ නෑ. හොයාගන්නවත් නෑ. හොයා ගත්තොත් තෑග්ගක් දෙනවා. එක මිනිහෙක් ආවා. මාලිමාවෙන් සල්ලි අරගෙන මාලිමාවට සභාව අරන් දීලා ගියා. එහෙම අය එපා. නඩු තියෙන අය ද... පනින අය ද කියල දන්නෙ හැම දිස්ත්‍රික්කයකම ඉන්න ජ්‍යෙෂ්ඨයො.... එයාලගෙන් අහල පත්කරන්න.....’ ජගත් විතාන කියා සිටියෝය. එයට පිළිතුරු ලෙස සමහරුන් කීවේ මනාප ඇති අය පක්ෂයට ගත යුතු බවය.
‘මනාප හරි... ඒ වගේම පක්ෂයක් පිරිසිදු වෙන්නත් ඕනෑ... මිනිස්සු පිරිසිදු දේශපාලනයක්නෙ බලාපොරොත්තු වෙන්නෙ. ඒ දෙපැත්තම හිතන්න. අපිත් එතෙන්ට යන්න ඕනෑ.....’ ජගත් විතාන මන්ත්‍රීවරයා කියද්දි එම යෝජනාවට කාගේත් එකඟතාව පළවිය.
‘“මේ සාකච්ඡාවලින් පස්සේ හැමෝම මාධ්‍යයට කතා කරන්න එපා. එතන විනයක් තියෙන්න ඕනෑ. කතා කළ දේවලින් එළියට දැනුම් දෙන්න ඕනෑ දේ ගැන මහලේකම් හරි ජාතික සංවිධායක හරි අදහස් ප්‍රකාශ කරනවා මිස වෙනත් අය මත පළකරන්න එපා...’ පක්ෂ නායකයන් කළ දැනුම් දීමට සියලු සාමාජිකයන්ගේ එකඟතාව පළ විය.
මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වුණේ මාස හයකට පසුවය. අවසන් රැස්වීම් පැවැත්වුණේ ඉකුත් මාර්තු මාසයේය. මෙම රැස්වීමේදී එළඹ ගත් තීන්දුවක් වූයේ මාසයකට වරක් කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්විය යුතු බවය.
එජාපයෙන් පත්වූ හිටපු මැති ඇමැතින්ගේ හමුව
එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී විශ්‍රාමිකව සිටින සහ දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන මන්ත්‍රීවරුන්ගේ සුහද හමුවක් ඉකුත් සඳුදා පැවැත්වුණේ විපක්ෂනායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි. හිටපු අභ්‍යන්තර ආරක්ෂක ඇමැති අනුර බැස්ටියන්, ලක්ෂ්මන් සෙනෙවිරත්න, උපාලි පියසෝම, උපාලි අමරසිරි, අර්ල් ගුණසේකර, විජයපාල හෙට්ටිආරච්චි ඇතුළු හිටපු මැති ඇමැතිවරු විසි දෙනෙක් පමණ මෙම හමුවට සහභාගි වූහ.
දිගු කලකින් මෙම කණ්ඩායම සමග සාකච්ඡාවක් නොපැවැත්වුණු නිසා පක්ෂයේ ජයග්‍රහණය සඳහා ඔවුන් ළඟ ඇති අදහස් ලබාගැනීම මෙම හමුවේ අරමුණ විය. ‘තමුන්නාන්සේලා අපේ දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෝ. පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් ගැන. දේශපාලනය ගැන පක්ෂයේ වැඩ ගැන හොඳ අවබෝධයක් තියෙන අය. පක්ෂය වෙනුවෙන් ලොකු දායකත්වයක් තමුන්නාන්සේලාට කරන්න පුළුවන්. ඒ ගැන කතා කරන්නත් එක්ක තමයි මේ හමුව යොදා ගත්තෙ....’ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය. උපාලි අමරසිරි එම කණ්ඩායමේ සභාපති ලෙසත් ලක්ෂ්මන් සෙනෙවිරත්න කැඳවුම්කරු ලෙසත් භාණ්ඩාගාරික ලෙස අර්ල් ගුණසේකර හිටපු ඇමැතිවරයාත් පත්කර ගැනිණි.
“යූ.ඇන්.පී එකත් එක්ක එකතු වෙන්න කරන්න සාකච්ඡාව හොඳයි. ඒ පක්ෂය අමතක කරන්න බෑ. ඒක අපේ මව් පක්ෂය...’ අර්ල් ගුණසේකර කිවේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අවස්ථාවේ එතුමා වෙනුවෙන් වහා ක්‍රියාකාරිවීම ගැන එහි සිටි බොහෝ දෙනා සජිත්ට ප්‍රශංසා කළහ. යළිත් මාස දෙකකින් රැස්වීමටත් ඒ අවස්ථාවේ පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා යෝජනාවලියක් සකසා ලබා දීමටත් මෙහිදී හිටපු මන්ත්‍රීවරු එකඟ වූහ.
‘අසූ අට අසූ නවය, භීෂණ කාලෙ සිදුවූ බොහෝ දේවල් අද සමහරුන්ට අමතක වෙලා. අලුත් පරම්පරාව ඒ ගැන දන්නෙත් නෑ. ඒ වැරදි කරපු අය අද ආණ්ඩු බලය හොබවනවා. ඒ අයට කිසිම දඬුවමක් හිමිවුණේ නෑ. ඒ අපරාධ කරල දඬුවම් නොලද අය තමයි දැන් මේ දඬුවම් කරන්න යන්නේ. අපේ ආණ්ඩුව තියෙද්දි වැරැද්දක් සිද්ධ වුණා. ඒ තමයි භීෂණය ඉවර වුණාට මේ අපරාධ ගැන හෙව්වෙ නෑ....’ හිටපු ඇමැතිවරු කීප දෙනෙක්ම කියා සිටියහ.
‘ජනතාවට විවිධ ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න ගැන දැනුම් දීමට පක්ෂයෙන් මෙහෙයුම් මැදිරියක් පත් කරන්න. අස්වැසුම ප්‍රශ්න වෙන්න පුළුවන්. අහිංසකයන්ට කරන දේශපාලන පළිගැනීම් වෙන්න පුළුවන්. ඒ ගැන දැනුම් දෙන්න වට්ස් ඇප් අංකයක් එහෙම දාල නිරන්තරයෙන් අවධානය යොමුකරන වැඩපිළිවෙළක් සකසන්න....’ ගාලු දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි යෝජනා කළේය.
අපෙන් වැරැද්දක් වුණා පසුගිය කාලෙ. ඒ තොරතුරු එකතු කරන්න බැරිවුණා. අපි එහෙම කරමු.... විවිධ අවස්ථාවල කමිටු එහෙම හදපුවම ඒ වගේ උපදේශකත්වයට ඔබතුමන්ලා අතරින් පත්කර ගන්නවා....’ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කියා සිටියෝය.
‘දැන් විශ්‍රාම ගිහින් ගෙවල්වල හිටියා... පක්ෂ දෙකේ කවුරුවත්ම අපිට කතා කළේ නෑ. දැන් හරි මෙහෙම එකතු කරපු එක හොඳයි....’ හිටපු මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ම කියා සිටියහ.
වතු කම්කරුවන් ලක්ෂයට බැහැලා
වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් එක්දහස් හත්සියය දක්වා ඉහළ නංවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් වසරේ අයවැය කතාවේදී කියා සිටියේය. ඉකුත් සතියේද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට වැවිලි සමාගම් ප්‍රධානීන් ගෙන්වා මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණේ ඉතාම ඉක්මනින් එම මුදල වතුකම්කරුවන් වෙත ලබා දීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹ සිටින නිසාය.
වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න, කම්කරු ඇමැති අනිල් ජයන්ත, නියෝජ්‍ය ඇමැතිවරුන් වන සුන්දරලිංගම්, ප්‍රදීප් සහ මහින්ද ජයසිංහ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වතු සමාගම් විසිතුනේම ප්‍රධානීන් මෙම සාකච්ඡාවට කැඳවා තිබිණ.
‘අපි ප්‍රතිපත්තිමය තීන්දුවක ඉන්නවා වැටුප වැඩි කරන්න. රාජ්‍ය සේවක වැටුපත් අපි ඉහළ නැංවුවා. වතුකම්කරු වැටුප වැඩි කරන තීන්දුව ගන්න ඕනෑ වතු සමාගම්. එම තීන්දුව ගන්න කියා අපි යළිත් ඉල්ලා සිටිනවා...’ ඇමැති සමන්ත විද්‍යාරත්න කීවේය.
වතුකම්කරු වැටුප දැනට රුපියල් එක්දහස් තුන්සිය පනහකි. රජය ඉල්ලා සිටින්නේ තවත් තුන්සිය පනහකින් දිනක වැටුප වැඩි කරන ලෙසය. වතු සමාගම් පෙන්වා දුන්නේ එසේ වැඩිකළහොත් තමන්ට වාර්ෂිකව රුපියල් බිලියන දොළහක පමණ මුදලක් අමතරව වැය වන බවය.
‘ඔයාල ඊට වඩා ලාබ ලබනවනෙ. ඔයාල ලාබ ගන්න ප්‍රමාණයත් අපි ළඟ තිබෙනවා. වැවිලි ක්ෂේත්‍රය රැකගන්න නම් වතුකම්කරුවා රැක ගන්න ඕනෑ. දිනපතාම ශ්‍රමිකයන් ඉවත් වී යනවා මිස අලුතෙන් එන්නෙ නෑ...” ඇමැති සමන්ත විද්‍යාරත්න කීවේය. එම තත්ත්වය පිළිගත් වැවිලි සමාගම් කියා සිටියේ එක්දහස් නවසිය අනූ දෙක වසරේ තමන් වැවිලි සමාගම් භාරගන්නා විට වතුකම්කරුවන් තුන් ලක්ෂ විසිදහසක් සිටියත් අද වන විට වතුකම්කරුවන් සංඛ්‍යාව ලක්ෂයටත් අඩු බවය. බොහෝ දෙනා වෙනත් රැකියා සොයා යන බව එහිදී කියැවිණි. වැටුප් වැඩිකිරීම ගැන තවදුරටත් සාකච්ඡා කළ යුතු බව වතු සමාගම් පැවසූ අතර ඔක්තෝබර් හත්වැනිදා වන විට සමාගම් සියල්ල සාකච්ඡා කර අවසන් තීන්දුව තමන්ට ලබා දෙන ලෙසද විද්‍යාරත්න ඇමැතිවරයා එම සමාගම්වලින් ඉල්ලා සිටියේය.
ජගත් - රංජිත් මත ගැටුමක
සජබ විශේෂ ක්‍රියාකාරී කමිටුවක රැස්වීමක්ද ඉකුත් සතියේ පැවැත්වුණේ සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි. සුජිත් සංජය, ජේ.සී. අලවතුවල, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජගත් විතාන ඇතුළු අට දෙනකුගෙන් පමණ යුතු මෙම කමිටු රැස්වීම කොළඹ ගෝල්ෆ් ක්ලබ් හිදී පැවැත්වුණි. අනාගත ජයග්‍රහණ වෙනුවෙන් කළ යුතු ක්‍රියාමාර්ග ආදිය මෙහිදී සාකච්ඡා කෙරුණි. ජගත් විතාන එහිදී මෑත කාලයේ සිදුවූ අඩුපාඩු කිහිපයක් පෙන්වා දුන්නේය.
“දැන් බලන්න... කට්ටිය එකතුවෙලා හරියට වැඩ කරපු නැති නිසා අපි ජයග්‍රහණය කරපු කළුතර ප්‍රාදේශීය සභා දෙකක්ම මාලිමාව ගත්තනෙ. මම ඒ කාලෙ දිගටම කීවා නායකයා හරි උපනායකයා හරි මහලේකම් හරි මන්ත්‍රීවරයෙක් හරි එහාට යවල ඒ මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කරන්න කියල... ඇහුවෙ නෑ. ඒක හරියන්න තමයි මම එයාල දිනපු මතුගම සභාව ගත්තෙ... මම හුදකලා සටනක් ගෙනිච්චෙ...” ජගත් විතාන මන්ත්‍රීවරයා කීවේය. ජගත් කළ දේ හරි බව පක්ෂනායක සජිත් ප්‍රේමදාස ද පිළිගත්තේය.
“මෙහෙම මන්ත්‍රීවරුන්ව අසරණ කරන්න එපා...’ පක්ෂයක තනතුරකට පත්කළාම එයාල මුළු රටටමයි ඒ තනතුර දරන්නෙ.. ඒ දවස්වල සමහර නායකයො රටෙත් හිටියේ නෑ. එහෙම වෙන්න බෑනෙ....” ජගත් විතාන කියද්දී මහ ලේකම් රංජිත් සහ ඔහු අතර වාග් හුවමාරුවක්ද සිදුවිය. එම වාග් හරඹය ඇදී යද්දී දෙදෙනා සමථයකට පත් කරන්නට ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා දැඩි වෙහෙසක් ගත්තේය.
නේපාල අර්බුදයෙන් ඉතිහාසයේ රැලි යළි මතුවීම
සොබාදහම ඉතිහාසයේ දිය රැලි නැවත නැවත මතුකරමින් අනාගතයට පාඩම් උගන්නමින් සිටියි.එලෙස උගන්වන ලද අලුත්ම පාඩම නේපාල අර්බුදයයි. නේපාල අර්බුදය විසින් ලක්වැසියන්ට තද ටොක්කක් ඇන ඉතිහාසය නැවත මතක් කර දෙනු ලැබීය.රනිල් හිටියේ නැතිනම් නේපාලයේ ඒ පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය, තවත් රාජ්‍ය ගොඩනැගිලි ගිනි ගත් අයුරින් ඊටත් වැඩියෙන් ජීවිත දේපොළ හානියක් සිදුවිය හැකි බව ඇස් පනා පිට පෙන්නුම් කරමින් සිටී.
මේ කාලයේ සිදුවෙමින් පවතින මේ අර්බුදයත් සමඟ සමාජ මාධ්‍යයේ මෙන්ම ගමේ ගොඩේ කඩ පොළේ නැවතත් රනිල් ගැන ඇගැයුම් ගායනා මතුවෙන්නට පටන්ගෙන ඇත.
මරු කටේ තිබූ රටක් භාර ගෙන “සීයා” කළ පෙළහර පිළිබඳව නැවතත් මේ ඇගැයුම් ගායනා අසන්නට ලැබෙන්නේ ලන්ඩන් විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට ගියේයැයි චෝදනා ගොනු කොට තිබෙන පසුබිමක වීම දෛවයේ තවත් සරදමකි.
“ඔබතුමා නේපාලයේ ජනාධිපති කරන්න යෝජනා ඇවිත් තියෙනවා” රුවන් කීවේ සමාජ මාධ්‍යයේ පැතිරෙමින් පවතින මතවාදයක් රනිල්ට පෙන්වා දෙමිනි.
“මම ලංකාවේ ජනාධිපති වෙලා අර්බුදයෙන් මිනිස්සු බේරගෙන අන්තිමට ලංකාවෙ හිරේට ගියා. නේපාලෙ ජනාධිපති වෙලා එහේ හිරේට යන්න ද කියන්නේ” රනිල්ගේ කතාවට එහි සිටි සියල්ලන්ටම සිනා පහළ වූයේ නිරායාසයෙනි.
ලංකාවේ අරගල සමයේ ලාල්කාන්ත ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන් පාර්ලිමේන්තුව වැටලීමට එන්නැයි ආරාධනා කරන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පැවතිණ. රනිල් ඒ මොහොතේ දැඩි තීරණයක් නොගත්තා නම් කොතරම් හානියකින් ඒ ක්‍රියාව නතර වේදැයි කිව නොහැක.
”නේපාලයේ අරගලකරුවන්ගේ වීඩියෝ දර්ශන මම නිරීක්‍ෂණය කළා. ඔවුන් අරගලකරුවන්ට පාර්ලිමේන්තුව ළඟටම එන්න ඉඩ දුන්නා. ආණ්ඩුවට තිබුණා ඔවුන් ඈතින් නවත්වන්න. ඇඳිරි නීතිය පනවන්න තිබුණා. විශාල වශයෙන් සෙනඟ රොක් වෙලා තිබුණෙ එක තැනක විතරයි.වෙන කොහෙවත් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. පැත්තෙන් වට කරලා යම් ක්‍රියාමාර්ගයක් ගත්තනම් ඔය දේ පාලනය කරන්න තිබුණා” රනිල් පළපුරුද්ද සහ කළ පුරුද්දෙන් අර්බුදය ගැන දකිමින් එසේ කීවේ දැන් ලංකාවේ සමාජ මාධ්‍යයේ කතා කෙරෙන විදියට ඇත්තෙන්ම නේපාලයේ අර්බුදය මඩින්නටත් සුදුස්සා රනිල් බව පෙන්වා දෙමිනි. නේපාල අර්බුදය හොඳින් නිරීක්ෂණය කරන විට එහි බලය තහවුරු කර ගත යුතු මොහොත ගැන රනිල්ට හොඳ කියවීමක් තිබෙන බව දේශපාලන කණ්ඩායමටත් අවබෝධ විය.
“ලංකාවේ අරගලේදී එකතු වුණේ එක කණ්ඩායමක් විතරයි. මධ්‍යම පන්තියේ කණ්ඩායමක්. ගම්වල ඒ තරම් දෙයක් සිදුවුණේ නැහැ. නේපාලයට මුලින්ම කරන්න තිබුණේ සමාජ මාධ්‍ය වේදිකා තහනම් කරන එක නෙමෙයි. සීමා දාන එක. නේපාලේ අරගලකරුවන්ගේ ඇඳුම් දිහා මම බැලුවා. ඊට පස්සේ පාවහන් දිහා බැලුවා.මේවා එක්තරා ආකාරයක යම් මොඩ් ගතියක් තිබුණා. අනෙක ඒ ඔක්කොම හොඳට ඇඳගෙන හිටියා. ගැහැනු අය හිටියෙත් නෑ. සාමාන්‍යයෙන් සමාජ අරගලයකදී ගැහැනුත් ඉන්න ඕනනේ. අපේ අරගලයේ නම් ගැහැනුත් හිටියා. ඒ කියන්නේ මේක සංවිධාන ගත වෙච්ච කණ්ඩායමක්” රනිල් නේපාලයේ අරගලය ගැන යම් මිනිස් විශ්ලේෂණාත්මක දැක්මකින් කරුණු ඉදිරිපත් කළේ එසේය.
නේපාල අරගල තිබෙන සමයේ ජී. එල්. ද එහි ගොස් සිටියේය. රනිල් අමතමින් ජී. එල්. පවසා ඇත්තේ තමන් සිටින පෙදෙස්වල එවැනි කලබලකාරී ස්වරූපයක් නැති බවයි.
”ඒ කියන්නේ කත්මණ්ඩුවලට විතරයි මේ අරගලය සීමා වෙලා තිබුණේ, ඇත්තටම සර් මැදිහත් වෙලා ලංකාවේ සමථයකට පත් කළේ මීට වැඩිය ඔඩුදුවපු පිළිකාවක් වගේ අර්බුදයක්” වජිර කීවේය.
හිමිකම් කපන පනත
රනිල්ගේ අගේ සමාජය විසින් යළි යළිත් ඉස්මතු කරමින් පෙන්වන අවස්ථාවකම හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් කපන පනත සම්මත කිරීම දෛවෝපගත සිදුවීමක් විය.
රනිල් ඒ ගැන කිව්වේ වචන දෙක තුනක් පමණි.
“මම කවදත් ව්‍යවස්ථාවට පිටින් වැඩ කරලා නෑ. කවද හරි මිනිස්සුන්ට සත්‍ය තේරේවි. ඒ වගේම මේ රටේ හිටපු හැම ජනාධිපති කෙනෙක්ම රටේ ප්‍රගමනයට නොයෙක් අයුරින් දායක වුණා. ඔවුන්ට ඊට හිමි ගෞරවය තිබිය යුතුයි” රනිල් ඒ ගැන කීමේ එපමණකි.
ගාල්ල
එජාප සභාපති වජිර ඉකුත් සති අන්තය ගත කළේ ගාල්ලේ ය. ඒ සති අන්තයේ ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිත විශේෂ එජාප රැස්වීම් සංවිධාන කටයුතු පිළිබඳ සොයා බලා ඊට අවශ්‍ය කටයුතු කිරීම වෙනුවෙන්ය.
එම නිසා පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දිනයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන් සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් සමග විශේෂ රැස්වීම් කිහිපයක්ම වජිරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙම රැස්වීම්වලදී පක්ෂ යාන්ත්‍රණය ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන්ම මෙන්ම රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබිණ.
රාජ දූත