මාත් එක්ක හොඳින් වැඩ කරගෙන යනවා නම් ඒක ඇමැතිතුමාටත් හොඳයි


සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය ඇමැතිනි

ඩයනා ගමගේ

ගණිකා වෘත්තිය නීතිගත කිරීම හා කංසා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශ නිසා මහත් ආන්දෝලනයට හා අවධානයට ලක්ව සිටින සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය සමග කළ සාකච්ඡාවකි.

?ඔබ අමාත්‍ය ධුරයේ වැඩ කරන්නේ තෘප්තියෙන්ද?  


අනිවාර්යයෙන්ම. මොකද සංචාරක අමාත්‍යාංශය කියන්නේ රටට ඩොලර් ගේන්න පුළුවන්, ආයෝජකයන් ගේන්න පුළුවන් පළමු වැනිම අමාත්‍යංශයක්. ඒකේ වැඩ කිරීම මට නම් හරිම සතුටක්.  


?ඔබේ විෂය පථය ගැසට් කළාද?  


තාම නෑ. ඒ වුණත් මට දීලා තියෙන රාජකාරිය මම හොඳින් ඉෂ්ට කරනවා.   


?මීට දින කිහිපයකට කලින් ඔබ පාර්ලිමේන්තුවේදි කිව්වා ‘ආයතන ගැසට් නොකළොත් තීරණයක් ගන්නවා’ කියලා ඒකට තවම වෙලාව ආවේ නැද්ද?  


මෙහෙමයි. මම දැන් වැඩ කරන්නේ මේ රටට. මේ රටේ ජනතාවට. මට බාරදීලා තියෙන්නේ ඇමැතිකමක් නොවෙයි. වගකීමක්. රාජකාරියක්. ඒ රාජකාරිය මම අනිවාර්යයෙන්ම ඉෂ්ඨ කළ යුතුයි.  


?මොනවද ඔබ දැනට පටන් අරගෙන තියෙන වැඩ?  


මම ජනාධිපතිතුමා සමග කතා කළා. ජනාධිපතිතුමා කිව්වා. මේ ගැසට් එක අනිවාර්යයෙන්ම ගැසිය යුතුමයි. ගැසට් කරලා මේක දෙන්න ඕනැ. එතුමා ඒක බාර අරගෙන තියෙනවා. කැබිනට් ඇමැතිවරයා ලව්වා ඒ ගැසට් එක ගස්සවනවා කියලා. මගේ වැඩ කොටස මම කරගෙන යනවා. මම පටන් ගත්ත දෙයක් අතරමග නතර කරන කෙනෙක් නොවෙයි. මම පසුගිය බදාදා ‘ලෝන්ච්’ කළා. ‘මිස් ටුවරිසම් වර්ල්ඩ් - 2022’ කියන වැඩ සටහන. රටවල් අසූ ගානක් ඒකට එනවා. මේ විදියේ ආර්ථික අර්බුදයක් තියෙන බංකොළොත් මට්ටමක තිබියදී අපට පුළුවන් වුණා මේක ලංකාවට ගේන්න. දෙසැම්බර් 8 සිට 22 වැනිදා වෙනකම් තමයි ඒ වැඩ සටහන ක්‍රියාත්මක කරන්නේ. රටවල් අසූවක සුරූපිනියන් මේකට සම්බන්ධ වෙනවා. ඒ විතරක් නොවෙයි පසුගියදා මම ඉන්දියාවට ගියා. ඉන්දියාවේ නියෝජිතයෝ මේ 23 වැනිදා ලංකාවට එනවා. සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ලොකු වැඩපිළිවෙළක් ඒකෙන් හදන්න පුළුවන්. ඒවා මම කරගෙන යනවා. ඒවා මග දාලා යන්නත් බෑ. මම ජනාධිපතිතුමා සමග ඒ ගැන කතා කළා. අද උදෙත් සාකච්ඡා කළා. එතුමා මගේ ආයතන ටික ගැසට් කරලා දේවි. එතුමා ඒක කරන්න බාරගත්තා.   


?ඔබ ඉල්ලන්න බලාපොරොත්තුවන ආයතන තියෙනවද?   


මේ රාජ්‍ය අමාත්‍යංශය යටතට එන ආයතන තියෙනවා 30ක්. ගිය පාර ගැසට් එකට අනුව ආයතන 5ක් තියෙනවා. ඒ ආයතන එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන ආයතන. එක ආයතනයක් නැතිව අනික් ආයතනයට වැඩ කරන්න බෑ. ඒ නිසයි ඒ ආයතන ගැසට් කරලා තියෙන්නේ. ඒක ගැසට් වෙන්න ඕනැ. මේ ප්‍රමෝෂන් ටික අපට කරන්න අවසර දෙන දේවල් කරන්න ඒ ආයතන ඔක්කොම ආ යුතුමයි.  


?ඔබේ කැබිනට් ඇමැතිවරයා ඔබේ පක්ෂයෙන්ම පාර්ලිමේන්තු ආව හරින් ප්‍රනාන්දුයි. ඒ නිසා බලතල හුවමාරුව සුහදව කරගන්න පුළුවන්?  


මම බලාපොරොත්තු වෙනවා එතුමත් එක්ක මේ ගමන යන්න පුළුවන් වෙයි කියලා. මාත් එක්ක හොඳට වැඩ කරගෙන යනව නම් ඒක එතුමටත් හොඳයි. එතුමගේ අනාගතයටත් හොඳයි. මොකද මං වගේ කෙනෙක් එක්ක වැඩ කරන එක එතුමාට හොඳයි. මොකද මම ගොඩක් ජාත්‍යන්තර සබඳතා තියෙන කෙනෙක්. එදා ඉඳලම. ඒ සබඳතා හරහා ලංකාවේ සංචාරක ව්‍යාපාරයට බොහෝ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා එතුමාටත් හොඳයි මාත් එක්ක සහයෝගයෙන් වැඩ කරගෙන යන එක.  


?ඒ සහයෝගය ලැබෙයිද?  


ඒක තමයි මම කිව්වේ මගෙත් එක්ක සහයෝගයෙන් යන එක එතුමට හොඳයි කියලා. හැබැයි මම කියන්න ඕනෑ අමාත්‍යංශයෙ ඇතැම් නිලධාරින් මේ අය මේ රට කාපු අය. ඒ ගොල්ලෝ තමන්ගේ කාලය තුළ රට කාලා තියෙන්නේ. රටේ වැඩක් කරගන්න බැරි වෙච්ච වැඩක් නොකරපු නිලධාරින්. මේ රටේ දේශපාලනඥයන්ට දොස් කියන්න එපා. මේ නිලධාරින් වැඩ කරන්නේ නෑ. මේ නිලධාරින් තමයි මේවට වග කියන්න ඕනෑ. එහෙම නිලධාරින් පිරිසක් මේ සංචාරක අමාත්‍යාංශයෙත් ඉන්නවා. හොඳ නිලධාරින් එළියට දානවා. වැඩ කරන්න පුළුවන් නිලධාරින් එළියට දාලා මේ කණ්ඩායම ඉන්නවා.  


?රාජ්‍ය නිලධාරින් කියන්නේ දේශපාලනඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටෙන්න වෙන්නේ අපිට කියලයි?  


ඒ ගොල්ලෝ ඒ ගොල්ලන්ට අවශ්‍ය තීන්දු තීරණ අරගෙන ඒ ගොල්ලන්ගේ වංචා ලස්සනට කරනවා. මම ඉදිරියේදී මේවා ඔක්කොම රටට හෙළි කරනවා. සියලු දෙනාගෙම වංචා දූෂණ මම හෙළි කරනවා.  


?නිලධාරින් එක්ක මෙහෙම හැප්පිලා ඔබට අමාත්‍යාංශයේ වැඩ කරගෙන යන්න පුළුවන් වෙයිද?  


නිලධාරින් එක්ක හැප්පෙනවා නොවෙයි. වැඩ කරන්නෙ නැති නිලධාරින් කරුණාකරලා යන්න, එච්චරයි. ඒ වෙනුවට හොඳට වැඩ කරන්න පුළුවන් නිලධාරින් මේ රාජ්‍ය සේවයෙ ඉන්නවා. ඒ අයව පත් කර ගන්න ඕනෑ. අපි අපිත් එක්ක වැඩ කරන්න පුළුවන් අය ළංකර ගන්න ඕනෑ. දූෂණ වංචාවලින් තොර අය ළංකර ගන්න ඕනෑ. මේ රටේ දියුණුවක් දකින්න කැමැති නැති නිලධාරින් අයින් කරන්න ඕනෑ.  


?රෑ 10න් පස්සේ ප්ලේන්ටියක් බොන්න කඩයක් ඇරලා නැති රටක සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන් කියලා ඔබ හිතනවද?  


එහෙම දියුණු කරන්න බැරි නිසා තමයි මම කිව්වේ ‘නයිට් ඉකොනොමික්’ එකක් මේ රටට අවශ්‍යයි කියලා. මේ රටට ‘නයිට් ලයිෆ්’ එකක් අවශ්‍යයි. රට රෑට ඇරල තියන්න පුළුවන් ක්‍රමයක් අපි හදලා තියන්න ඕනෑ. ඒකයි මට කණගාටුදේ. මේවා හදන්න ඕනෑ. සංචාරකයන් රටට ඇවිත් රෑ 10ට නිදාගන්නේ නෑ. මේ රට හදන්න නම් මේ සියලු දෙනා එකතු වෙන්න ඕනෑ. මගේ තනි මතයට කරන්න පුළුවන් නම් මම මේ වෙනකොටත් මේක කරලා ඉවරයි. මේ නිලධාරින් මොකද්ද කරන්නේ. මොකක් හරි පනතක් ගෙනල්ලා රටේ දියුණුවට බාධා කරනවා. ඒකයි මේ වෙන්නේ. ඉස්සෙල්ලාම මේ පනත් ටික වෙනස් කරගන්න ඕනෑ.  


?ඔබ නයිට් ඉකොනොමික් කියලා යෝජනා කරන්නේ කැසිනෝ ව්‍යාපාරය හා ගණිකා ව්‍යාපාරය බවට චෝදනාවක් තියෙනවා.  


නයිට් ලයිෆ් කියන්නේ ගණිකා ව්‍යාපාරය නොවෙයි. ඒක මේ නැට්ටෙන් අල්ලගෙන කෑගහන මෝඩ මිනිසුන්ගේ කතා. ඒවා මෝඩ කමට කියන කතා. ඒ කියන්නේ ජීවිතේ කවදාවත් කොහේවත් ගිහිල්ලා නැති කිසිම දෙයක් ගැන දැනුමක් නැති මිනිස්සු කියන කතා. ගණිකා වෘත්තියට වෙලාවක් නෑ. ඒක රෑ විතරක් කරන වෘත්තියක් නොවෙයි. ලෝකයේ ඉපැරැණිම වෘත්තිය. අනික කැසිනෝ ව්‍යාපාරය ගත්තොත් ඒ වෙනුවෙන් සංචාරකයෝ මේ රටට එනවද? අද වෙන්නෙ නැද්ද? අද ෆ්ලයිට් අරගෙන කැසිනෝ ගහන්නම සංචාරකයො එනවා. මේ රට සංචාරක පාරාදීසයක් නම් ඒ එන මිනිසුන්ට අපට මොනවද තියෙන්නේ දෙන්න. ඇවිල්ලා වියදම් කරන තැන් තියෙනවද මේ රටේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අපට ලෝකයත් එක්ක තමයි ඉදිරියට යන්න වෙන්නේ. ලෝකය අපව පහුකරගෙන ගිහින්. අපි තාම එක තැන පල්වෙන ජාතියක්. මේ රට එකතැන පල්වෙනවා. ඒකට ඉඩ දෙන්න බෑ. මොකද ඊළඟ පරම්පරාවත් අපට ශාප කරයි. අපි දැන් ශාප කරන්නේ හිටපු මිනිසුන්ට. ඒ වගේ අපටත් ශාප කරයි කවදා හරි. ඒකට ඉඩ දෙන්න හොඳ නෑ. මේ දුක් විඳින ජනතාවට හොඳ අනාගතයක් තියෙන්න ඕනැ. මගේ එකම අරමුණ ඒකයි.  


?ගණිකා ව්‍යාපාරය නීතිගත කරන්න ඕනැ කියලා කියන්නෙත් ඒ අරමුණෙන්මද?  


ගණිකා ව්‍යාපාරය නීතිගත කරන්න ඕනැ. ඇත්ත. මොකද ගණිකා ව්‍යාපාරයෙදි ඉල්ලුම තරමට තමයි සැපයුම. එතකොට ඉල්ලුමක් නැත්නම් සැපයුමක් නෑනේ. අනික ගණිකා වෘත්තිය නීතිගත වුණාම ඒක නියාමනය වෙනවා. අපේ අහිංසක කාන්තාවෝ ලෙඩ රෝගවලින් මිදිලා ඒ වෘත්තියෙ යෙදෙන මාර්ගෝපදේශයක් ලැබෙනවා. මෙඩිකල්වලට යන්න පුළුවන්. සෞඛ්‍ය සම්පන්නව ජීවිතය ගෙවන්න පුළුවන්. අද අපේ කාන්තාවෝ මහපාරේ විකිණෙනවා. තුට්ටු දෙකට පාවිච්චි වෙන්නේ. ඒගොල්ලන්ට කියන්නේ ‘සේක්ස් වර්කස්ලා’ කියලයි. මේ ගොල්ලෝ ඔෆර් කරන සර්විස් එකක්. බුදුහාමුදුරවන්ගේ කාලයට පෙර ඉඳන් තියෙන දෙයක්. මේක බුදුහාමුදුරුවන්ටවත් නවත්වන්න බැරිවුණා. එහෙමනම් බුදුහාමුදුරුවෝ වගේ කෙනෙකුටත් මේක නවත්වන්න බැරිවුණා නම් අපට මේක නවත්වන එක හිතාගන්නවත් බැරි දෙයක්. එහෙමනම් අපි කරන්න ඕනෑ ඒ ගොල්ලෝ ආරක්ෂා කර ගැනීම. ඒ ගොල්ලන්ගේ සෞඛ්‍ය ගැන අපි හිතන්න ඕනෑ. හැබැයි මේක නියාමනය වෙන්න ඕනෑ. දැනට මේක නීති විරෝධි විදියට හැම තැනකම කෙරෙනවා. ඒකෙන් බරපතළ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. මානසික ප්‍රශ්න. මේ වෘත්තියෙ යෙදෙන කාන්තාවන් මොන තරම් වධහිංසාවලට ලක්වෙනවද? ඒ ගොල්ලන්ට මෙඩිකල් චෙකප්වලට යන්න බෑ. අපි මේවා නියාමනයන් යටතට ගෙනාවම හරි.  


?නමුත් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ...  


පොඩ්ඩක් ඉන්න. හොඳ ථේරවාදි බෞද්ධ රටක්නේ තායිලන්තය කියන්නේ. ඒ රටේ මේක නීතිගත කරලා තියෙනවනේ. මොකද්ද ඒ රටට වෙලා තියෙන ප්‍රශ්නය? ඒ මිනිස්සු ආගම අතහැරලද? සංස්කෘතිය ඇතහැරලද? රටත් දියුණු වෙලා. මේක එක අංගයක් විතරයි රටක. රටක් දියුණු කරන්න තවත් ගොඩාක් දේවල් තියෙනවා. රටේ ඉන්න කාන්තාවන් ගණිකාවන් බවට පත් කරලා රට දියුණු කරන්න කියනවා නොවෙයි. මේක වෙන වෘත්තියක්. හොඳ මුදලාලිලා ඉන්නවා මේ බිස්නස් එක කරන. නමුත් අපේ අහිංසක කාන්තාවෝ ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. මට මේ ගැන හැම දෙයක්ම කියලා දෙන්න පුළුවන්. හිතාගන්න බැරි ඩැමේජ් වෙලා තියෙනවා මේ රටට. දවසකට කොච්චර ගබ්සා වෙනවද? ඇයි මේ. මොන තරම් අනවශ්‍ය ගැබ් ගැනීම්වෙලා දරුවන් බිහි කරලා මහපාරේ දාල යනවද? ඒ නිසා මේවා නියාමනයන් යටතට ගේන්න ඕනැ.  


?කංසා වෙනුවෙනුත් ඔබ ඍජුවම පෙනී ඉන්නවා.  


සමාජය හිතන විදියක් තියෙනවා. කංසා ගැන කතා කළාම ඒකත් පටලවා ගත්තනේ. පාරවල්වල කංසා බිබී ඇවිදින්න මම යෝජනා කරනවා කියලනේ කියන්නේ. නෑ. මේක ඖෂධයක්. ලෝකයේ මේකට කියන්නේ ග්‍රීන් ගෝල්ඩ්. එ්ක ඇතුළේ ඉන්ඩස්ට්‍රියල් හෙල්ත් තියෙනවා. ඒක ලෝකයේ බොහෝ රටවල නීතිගත කරගෙන යනවා. මොකද මේකේ තියෙන වටිනාකමයි මේකේ තියෙන මුදලයි ගැන අවබෝධ කරගෙන තියෙනවා. මේකේ තියෙන ඖෂධීය ගුණය මේකෙන් කරන්න පුළුවන් නිෂ්පාදන ඒ වගේම කර්මාන්ත කොච්චර දියුණු කරන්න පුළුවන්ද? අද තායිලන්තයට ගිහිල්ලා බලන්න මේකෙන් මොනතරම් කර්මාන්ත බිහිවෙලා තියෙනවාද? අපේ රටේ හොඳම පසක් තියෙන්නේ. හොඳම දේශගුණයක් තියෙන්නේ. මුළු ලෝකයෙන්ම පිළිගෙන තියෙනවා ලංකාවේ තමයි මේක හොඳටම වගා කරන්න පුළුවන් කියලා. අපට ආයෝජකයන් කොච්චර ගෙන්නන්න පුළුවන්ද?  


?නමුත් දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි ඔබේ ව්‍යාපෘතියට එතරම් කැමැති නෑ වගෙයි?  


ඔව් ඉතින් දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැතිතුමාට ටුබැකෝ කොම්පැණියෙන් හරි වෙන කොහෙන් හරි කොමිස් එනවා ඇති. මේකට විරුද්ධ වෙන්න කියලා නැත්නම් එතුමාට මොළයක් කියලා කළඳක් හරි තිබ්බානම් එතුමා දන්නවා 1961දි මේක අන්තරායකර ඖෂධයක් ලෙස නම් කරද්දි කිරිඇල්ලේ ඥානවිමල හාමුදුරුවෝ මේක කරන්න එපා කියලා මොන සටනක් කළාද? ඒ ගොල්ලන්ට ඉතිහාසය බලන්න කියන්න. ඇයි මේවා නැවැත්තුවේ කියලා හොයන්න. අද පිටරටවල මිනිස්සුම නේද මේක නීතිගත කරගෙන යන්නේ. අපේ රටේ මේවා නවත්වලා. අපේ ඉන්න මේ ළිං මැඩියෝ ඔය කොමසාරිස්ලා වගේ අයට මට කියන්න තියෙන්නේ හම්බ කරන්න වෙන විදියක් හොයා ගන්න. රටට මේ වගේ අපරාධ කරන්න එපා කියලයි.

 

 

සාකච්ඡා කළේ :  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්