මම කිව්වේ දෙන්න තෙල් නෑ කියලයි


බලශක්ති ඇමති නීතිඥ උදය ගම්මන්පිල  

විදුලිබල මණ්ඩලය අපි බලාගන්නේ දරුවෙක් වගේ. මේ වෙනකොටත් ඔවුන් අපට රුපියල් බිලියන 91 ක් ණයයි. ඒත් අපි ඉන්ධන සැපයීම නතර කරලා නෑ. ඒ වගේම මෑතක් වනතුරු දැවිතෙල් රුපියල් 140 ට මිල දී ගෙන රුපියල් 70 ට විදුලිබල මණ්ඩලයට විකුණුවා.

 

විදුලිබල මණ්ඩලය හා තෙල් සංස්ථාව අතර බරපතළ ගැටුමකි. මේ ගැටුම කුමක් ද? බලශක්ති ඇමති නීතිඥ උදය ගම්මන්පිල මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.  
 
ප්‍රශ්නය:- රටේ විදුලි අර්බුදයක් තියෙනවා. ඔබ තෙල් දෙන්න බෑ කියනවා. එහෙම කියන්න පුළුවන් ද?  
 
පිළිතුර:- තෙල් දෙන්න බෑ කිව්වේ නෑ. දෙන්න තෙල් නෑ කියලයි කිව්වේ.  
 
ප්‍රශ්නය:- නමුත් ඩොලර් දුන්නොත් දෙන්න තෙල් තියෙනවා?  
 
පිළිතුර:- අපිටත් තෙල් නිකම් දෙන්නෙ නෑනේ. ඇත්තෙන්ම විදුලිබල මණ්ඩලය අපට කලින් කිව්වේ විදුලි නිෂ්පාදනයට ප්‍රමාණවත් ජලය තිබෙන නිසා ජනවාරි මාසයටම ඩීසල්වත් දැවි තෙල්වත් අවශ්‍ය වෙන්නේ නෑ කියලා.  
 
ප්‍රශ්නය:- ජනවාරි 7 වැනිද‌ා දැවිතෙල් අවශ්‍යයි කියලා කිව්වා?  
 
පිළිතුර:- ඔව්. දැවි තෙල් තොග ප්‍රමාණවත් ලෙස තිබූ නිසා ඉල්ලූ වහාම අපි ඒවා ලබා දුන්නා. ජනවාරි 13 සිට ඩීසල් අවශ්‍යයි කියලා අපට දැන්වූවේ ජනවාරි 11 වැනිද‌ා. අවාසනාවට විදේශ විනිමය අර්බුදය නිසා අපට තියෙන්නේ සීමිත ඩීසල් තොගයක්. ඒ නිසා අපට ඔවුන්ගේ ඉල්ලීම අපට ඉටුකරන්න බැරි වුණා.  
 
ප්‍රශ්නය:- ඇමති ලොකුගේ ඩීසල් ඉල්ලන්නේ පෞද්ගලික පරිහරණයට නොවෙයි. රටට විදුලිය දෙන්නයි?  

 

පිළිතුර:- නමුත් විදුලිය පැයක් කපනවාට වඩා ප්‍රවාහනය ඇණහිටීම භයානකයි. විදුලිය නිෂ්පාදනයට ඩීසල් දුන්නොත් ප්‍රවාහනයට ඩීසල් නැති වෙනවා. විදුලිය නිෂ්පාදනය පාලනයට ලක් කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ අපිට පුළුවන් පැයක් විදුලිය කපනවද දෙකක් කපනවද තුනක් කපනවද යනාදී වශයෙන් තීරණය කරන්න. නමුත් ප්‍රවාහනයේ දී අතරමැදි තත්ත්වයක් නෑ. එක්කෝ ඉන්ධන පිරවුම්හලේ තෙල් ඇත, නැත්නම් තෙල් නැත. පැයක් දෙකක් කපනවා වගේ ප්‍රවාහනයේ දී අතරමැදි තත්ත්වයක් නෑ. ඒ නිසා ප්‍රවාහනයට ඉන්ධන සැපයීම තීරණාත්මකයි. ප්‍රවාහනයට ඉන්ධන නැතිවුණොත් ලෙඩාව රෝහලට ගෙනියන්න බැරි වෙනවා. වෛද්‍යවරයාට ලෙඩා ළඟට යන්න බැරි වෙනවා. ගැටුමක් ඇතිවෙන තැනට පොලිසියට යන්න බැරි වෙනවා. රටම අරාජික වෙනවා.  
 
ප්‍රශ්නය:- මේ ප්‍රශ්න විසඳගන්න යන්නේ පෞද්ගලික මට්ටමින් ද?  
 
පිළිතුර:- නෑ අපි ඒ අයට කලින්ම දැනුම් දීලා තිබුණා ඩීසල් අවශ්‍ය නම් කලින් දැනුම් දෙන්න. නමුත් ඒ අයට ඒක කරන්න බැරි වුණා.  
 
ප්‍රශ්නය:- ප්‍රවාහනයට තව කොච්චර කාලයකට තෙල් තියෙනවද?  
 
පිළිතුර:- ඒක එහෙම කියන්න බෑ. ඒක දිනපතා වෙනස් වෙනවා. අඟහරුවාද‌ා වෙනකොට තෙල් තිබුණේ දින හතකටයි. ඒක දැන් දින 15 කට විතර ඩීසල් තියෙනවා.  
 
ප්‍රශ්නය:- ඇමැතිවරු - ඇමතිවරු රණ්ඩු වෙනවා වගේම දැන් අමාත්‍යාංශ - අමාත්‍යාංශත් රණ්ඩු කරගන්නවා?  
 
පිළිතුර:- විදුලිබල මණ්ඩලය තමන් අතේ වරද තබාගෙන හැමද‌ාමත් විදුලිබල මණ්ඩලයට උදව් කළ තෙල් සංස්ථාවට වරද පටවන්න ආපු නිසයි අපිට ඔවුන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයට ප්‍රසිද්ධ පිළිතුරක් දෙන්න වුණේ. නැත්නම් විදුලිබල මණ්ඩලය අපි බලාගන්නේ දරුවෙක් වගේ. මේ වෙනකොටත් ඔවුන් අපට රුපියල් බිලියන 91 ක් ණයයි. ඒත් අපි ඉන්ධන සැපයීම නතර කරලා නෑ. ඒ වගේම මෑතක් වනතුරු දැවිතෙල් රුපියල් 140 ට මිල දී ගෙන රුපියල් 70 ට විදුලිබල මණ්ඩලයට විකුණුවා. අම්මා, තාත්තා කෙනෙක් දරුවකුට යුතුකම් ඉටු කරනවා වගේ තමයි අපි විදුලිබල මණ්ඩලය පෝෂණය කරලා තියෙන්නේ. එහෙව් අපිට ඔවුන් ප්‍රසිද්ධියේ චෝදනා කළාම අපට ප්‍රසිද්ධියේම උත්තර දෙන්න සිදුවුණා.   
 
 
 
 
සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්