(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පුද්ගලික අංශයට ලබාදී ඇති සමස්ත ණයෙන් සියයට 24.9 ක් එසේත් නැතිනම් හතරෙන් එකක් වාහන සහ රන් භාණ්ඩ ඇපකර මත ලබාදුන් ණය බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක සඳහන් වේ.

ඒ අනුව මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පුද්ගලික අංශයට ලබාදී ඇති සෑම රුපියල් හතරකින් එක් රුපියලක් ලබාදී ඇත්තේ වාහන සහ රන් භාණ්ඩ ඇපකර මත ලබාදුන් ණය සඳහාය.

වාහන සහ රන් භාණ්ඩ ඇපකර මත ලබාදුන් ණයවල ඒකාබද්ධ ප්‍රතිශතය 2024 වසර අවසානයේදී සියයට 19.6ක් වූ බවත් එය මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට සියයට 24.9 ක් දක්වා ඉහළ ගොස්තිබූ බවත් එම වාර්තාව පෙන්වා දුන්නේය.ඒ අනුව මාස 18 ක කාලයේදී වාහන සහ රන් භාණ්ඩ ඇපකර මත ලබාදුන් ණයවල ඒකාබද්ධ ප්‍රතිශතය සියයට 5.3කින් ඉහළ ගොස් ඇත.

එහිදී වාහන ණය ලබාගත් ප්‍රතිශතය සියයට 9.8 සිට 12.9 දක්වාත්, රන් භාණ්ඩ ඇපකර මත ලබාගත් ණය සියයට 9.8 සිට 12 දක්වාත් ඉහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවේ දැක්වේ. තවද මෙරට මූල්‍ය ආයතන පමණක් එම කාලයේදී පුද්ගලික අංශයට ලබාදී ඇති ණයෙන් සියයට 65ක් වාහන ණය බවත් සියයට 25.8ක් රන් භාණ්ඩ ඇපකර මත ලබාගත් ණය බවත් එම වාර්තාවේ සඳහන් වේ.

රන් ණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ රන් ණය යනු මාස තුනට හෝ හයට ලබාගන්නා කෙටි කාලීන මූල්‍ය පහසුකමක් බවත් ඉතා ඉක්මණින් හා පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තිබෙන බැවින් මෙරට ජනතාව රන් ණය සඳහා විශේෂයෙන් යොමුවන බවත්ය.