
ගල්අඟුරු ගින්න තවත් ඇවිළෙයි
විදුලිබල ඇමැති කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය ගෙනැවිත් ඇති විශ්වාසභංග යෝජනාව මෙම මස 10 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කිරීමට නියමිතය. එහිදී කුමක් සිදුවේද? ඇමැතිවරයාට එම යෝජනාව විවාදයට ගැනීමට පෙර තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පසුගියදා ප්‍රකාශ කර තිබුණ ද ආණ්ඩු පක්ෂය එම ඉල්ලීම අවඥාවෙන් බැහැර කරයි. ආණ්ඩු පක්ෂය පවසන්නේ කුමාර ජයකොඩි ඇමැතිවරයා ගල් අඟුරු ගෙනඒමේදී කිසිදු දූෂණයක් සිදුකර නැති බවය. අන්ත පරාජයකට ලක්ව සිටි විපක්ෂය යළිත් ශක්තිමත් වීම සඳහා ඇමැතිවරයාට එරෙහිව මෙවැනි චෝදනා නගන බව ආණ්ඩුවේ මතය වෙයි
නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල, මන්ත්‍රීවරුන් වන නජිත් ඉන්දික, චන්දන සූරියආරච්චි සහ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර ඇතුළු පිරිසක් ඉකුත් සතියේ සාකච්ඡා කළේ විපක්ෂය ඉදිරිපත් කර ඇති චෝදනා අතර ප්‍රාණවත් චෝදනා නැති බවටයි.
“ජයකොඩි ඇමැතිතුමාට අදාළව ඍජුව නගපු චෝදනා මෙතන නෑ. මෙතන තියෙන්නෙ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව මතුවූ ක්‍රියාවලියක ප්‍රතිඵල. ඒක ජයකොඩිට අදාළ දෙයක් නෙවෙයි” නියෝජ්‍ය ඇමැති වටගල කීවේය.
“අපි ආණ්ඩුවක් විදිහට ගන්න තීන්දු ගැනනෙ මේ ප්‍රශ්න කරන්නෙ. මේක ජයකොඩි ඇමැතිතුමාගෙ ඍජු ප්‍රශ්නයක් නෙවෙයි. රජය වැඩ කළේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට යටත්ව. ගල් අඟුරු වංචාවක් මෙතන වෙලා නෑ” අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා කීවේය.
“විපක්ෂය හැමදාම විශ්වාසභංග ගේනව කියල ලොකු ප්‍රචාරයක් ගෙනයනවා. අගමැතිතුමියට අධ්‍යාපන විෂයට අදාළව විශ්වාසභංගයක් ගේනවා කිව්වා. අද වෙනකම්ම එහෙම එකක් ගෙනාවෙ නෑ. මෙයාල බොරු මතයක් ගොඩනගන්න හදන්නෙ” ඇමැති සුනිල් වටගල යළිත් කීවේය.
බලශක්ති ඇමැති කුමාර ජයකොඩිට පක්ෂව මුළු ආණ්ඩු පක්ෂයම එක්ව මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කරන බව එහිදී කියවිණි.
“මෙයාලගෙ හැටි එහෙම තමයි දැක්කනෙ මටත් එළව එළව ගැහුවා..
අහක යන දේකට මට මඩ ගැහුවෙ පොලිසියට තොරතුරක් ඇවිත් තිබුණා කුඩු අල්ලන මුවාවෙන් පිරිසක් කප්පමක් ගන්න යනවා කියල. ඕකට තමයි මගේ නිර්දේශයක් අල්ලලා මඩ ගැහුවෙ. අපිට විපක්ෂයෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ” සුනිල් වටගල ඇමැතිවරයා කීය.
විදුලි බිල වැඩිකළේ ගල් අඟුරු පාඩුවෙන්
බාල ගල් අඟුරු රැගෙන විත් නොරොච්චෝල බලාගාරයෙන් උපදවන විදුලිය ප්‍රමාණය අඩුකළ බවට විපක්ෂය නගන චෝදනාව මෙම සතියේ ද දේශපාලනයේ උණුසුම් මාතෘකාවක් බවට පත්විය. එයට හේතු වූයේ අප්‍රේල් මස පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තුව ඉහළ දැමීමට රජය කටයුතු කිරීමය. විපක්ෂය පවසන්නේ විදුලි බිල ඉහළ දැමුවේ වැඩිමිලට ඩීසල් ගෙන ඒම නිසා නොව බාල ගල් අඟුරු රැගෙන ඒමෙන් විදුලිය නිපදවීම අඩුවීම හේතුවෙන් හිස්වන ඉල්ලුමට ඩීසල් විදුලිය නිපදවීම නිසා බවය.
දිගින් දිගටම විදුලිය බිල වැඩිකර අන්ත දූෂිත ගනුදෙනුවල බර ජනතාවගේ කරපිට පැටවීමට රජය කටයුතු කරන බවට තමා සහ සජබය පැවසූ ආකාරයටම රජය විදුලි බිල වැඩිකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කළේ විදුලිබිල නැංවීමෙන් පසුවය.
මේ වන විට බාල ගල් අඟුරු නැව් දහතුනක් මෙරටට රැගෙන විත් ඇති බව කියන විපක්ෂ නායකවරයා අන්ත දූෂිත ගල් අඟුරු ගනුදෙනුවේ පාඩුව ජනතාවගේ කරපිට පටවා ඇති බවත් කියා සිටියි. බහුජාතික සමාගම්වල අතකොළුවක් නොවන බවට මැතිවරණ සමයේ මොරදී බලයට ආ වත්මන් රජය මේ වනවිට බාල ගල්අඟුරු සපයන සමාගම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්වී සිටින බව ද කීවේය.
අර්බුද වැඩිවීම ගැන රජයේ මතය
දිනෙන් දින ඇතිවන ප්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩුවට වැඩපිළිවෙළක් නොමැති බව විපක්ෂය නගන චෝදනාවලට ආණ්ඩුව පිළිතුරු දෙන්නේ ආණ්ඩුව බලයට පත්වූ විගසම වාගේ ස්වාභාවික විපත් ඇති වූ බවය. මහ මැතිවරණයට මුහුණ දී ඉතා කෙටි කලකින්ම උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාතේ යල කන්නයේ වී ගොවිතැනට බලවත් හානි ගෙන දෙමින් ගංවතුර තර්ජනයක් ඇති වූ බවත් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදෙමින් රට ඉදිරියට ගෙන යද්දී දිට්වා සුළි කුණාටුවට මුහුණ දෙන්නට සිදුවූ බවත් රජය කියයි. රටට එකම ඛේදවාචකයක් බවට පත් වූ එම දිට්වා විපත හේතුවෙන් බිඳවැටුණු ජනජීවිතය මාසයක් වැනි කෙටි කලක් තුළ යථා තත්ත්වයට ගෙන ඒමට හැකි වූ බවද රජය සඳහන් කරයි. රටේ ප්‍රශ්න විසඳමින් සිටියදී ඒ පිටට අලුතෙන් පතිත වූ ස්වාභාවික විපත් නිසා දුෂ්කරතා ඇති වුවද ඒ සියල්ලටම විසඳුම් සොයමින් සිටින බවද රජය සඳහන් කරයි.
එවැනි තත්ත්වයකදී මැදපෙරදිග යුද ගැටුම ඇති වූ බව කියන රජය ඉන්ධන අර්බුදය කළමනාකරණය කර ගනිමින් එම තත්ත්වයට ද මුහුණ දෙමින් සිටින බව පවසයි. ආණ්ඩුව පෙන්වා දෙන්නේ මෙරට පමණක් නොව වෙනත් බලවත් රටවල් පවා ඉන්ධන පිරවුම්හල් වසා දමමින් සහ මිල ඉහළ නංවමින් දුෂ්කර කාලයක් ගෙවමින් සිටින බවය. රජය අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා ඉන්දියාව, රුසියාව හා ඉරානය සමග යම් එකඟතාවලට පැමිණ සිටින බව ද සඳහන් කරයි.
ඉන්ධන පිළිබඳව මහබැංකු අධිපතිවරයා පළකළ අදහසක් රජය උපුටා දක්වයි. මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ මෙවර අවශ්‍ය තරම් ඉන්ධන මිලදී ගැනීමට රජය සතුව මුදල් පවතින බවය. ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ ගැටලුව ඇති වූයේ ඉන්ධන නැව් රටට පැමිණියත් මිලදී ගැනීමට ප්‍රමාණවත් විදේශ මුදල් නොමැතිවීම බව පවසන මහ බැංකු අධිපතිවරයා මෙවර ඉන්ධන තිබේනම් මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදල් සංචිතයක් මහ බැංකුව සතු බවද කියයි.
ජනපති සමග සාකච්ඡාව
ඉන්ධන ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා කමිටු හතරක් පත්කර ඇති අතර ඉකුත් සතියේද එම කමිටුවල සාකච්ඡා පැවැත්විණි. ලාල් කාන්ත, බිමල් රත්නායක, විජිත හේරත්, වසන්ත සමරසිංහ යන ඇමැතිවරු ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට සහභාගි වූහ.
“අපි යුද තත්ත්වය ඇතිවෙන කොටම තෙල් සීමා කරල කළමනාකරණය මනාව පවත්වා ගත්ත නිසා අපිට රට වසා නොදමා පවත්වාගෙන යාමේ හැකියාව ලැබී තිබෙනවා. මේ යුද්දෙ දිගටම ඇවිළිලා ගියොත් නවතින්නේ කොතනින්ද කියලා හිතාගන්න බෑ. ගෑස් ගබඩා තෙල් ටැංකි තෙල් ළිං ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා යුද්ධය නැවතුනත් කාලයක් යනතුරු ඉන්ධන නිෂ්පාදනය අඩුවක් සිදුවෙනවා. ඒ නිසා ඉන්ධන හිඟයක් වගේම අධික ලෙස මිල ඉහළයාමක් සිදුවෙන්න පුළුවන්. ඒක අපි වගේ රටකට බරපතළ හානියක්.’’ ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
”ඔව් සහෝදරයා.... අපි ඉස්සර කිව්වා වගේ ඇමෙරිකාවට හෙම්බිරිස්සාව හැදෙන කොට අපිට නිව්මෝනියාව තමයි හැදෙන්නේ. ඒත් අපිට ආපස්සට යන්න බෑ. ඒ නිසා රට වහල තියන්නෙ නැතුව එදිනෙදා ආර්ථික කටයුතු පවත්වා ගනිමින් රටේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යන්නේ කොහොමද කියලා කල්පනා කරන්න වෙනවා” වසන්ත සමරසිංහ ඇමැතිවරයා පැවසීය.
“ඔව් සහෝදරයා අපිට ෆේල් වෙන්න බෑ. අපි ෆේල් වෙනවා කියන්නෙ රට ෆේල් වෙනවා කියන එක. බොහොම අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරගෙන නැගිටින්න හැදුවා විතරයිනේ. දැන් වැටුණොත් මිනිස්සු ගොඩක් අසරණ වෙනවා. ඒ නිසා අපි එක පැත්තකින් ව්‍යාපාරික ප්‍රජාවට වැටෙන්න දෙන්නත් බෑ. ඒ වගේම ගොවියා, ධීවරයා වැටෙන්න දෙන්නත් බෑ. සාමාන්‍ය ජන ජීවිතය වැටෙන්න දෙන්නත් බෑ. අපි මේ ගැන ගන්නා පියවර ගැන ජනතාව දැනුවත් කළ යුතුයි. ඒක මන්ත්‍රීවරුන් හැටියට ඔබ හැමෝගෙම වගකීමක්. මොකද විපක්ෂය බලා ඉන්නේ ජනතාව කලබල කරලා ප්‍රශ්න ඇති කරන්න. එතැනදි තියෙන ප්‍රශ්නේ අපිට බලය අහිමි වෙනව ද කියන එක නෙවෙයි. විපක්ෂයට බලය ගැන තවම හිතන්නවත් හැකියාවක් නෑ, ඒත් ඔවුන් ජනතාව නොසන්සුන් කළොත් රට වැටෙන තැන ගැන කල්පනා කරලා අපි වැඩ කරන්න ඕනෑ...” ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.
“මට ඇත්තටම අපේ ජනාධිපතිතුමා ගැන පුදුමයි. විශ්වකර්මයෙන් වගේ මට පේන්නෙ. මේ වෙලාවෙදි ඔක්කොම අර්බුදවලට උත්තර හොයන අතරෙදි අපි එක එක්කෙනාටත් කතා කරල ප්‍රශ්න ගැන හොයනවා. මට කතා කරලා කොහොම ද පොහොර ප්‍රශ්න කියලා අහනවා. පොහොර සමාගම් එක්ක කතා කරනවා. කිසි දෙයක් මග නොහැර වැඩ කරන එක මට නම් හිතා ගන්නත් බෑ...” ඇමැති ලාල් කාන්ත කීවේ ජනාධිපතිගේ වැඩ පිළිවෙළ ගැන ප්‍රසාදය පළ කරමිනි.
සජබෙට අලුත් ආසන සංවිධායකයන්
සතිය ආරම්භයේදී සමගි ජන බලවේග මූලස්ථානයට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පැමිණියේ පක්ෂයේ ක්‍රියාකාරිත්වය දුර්වල ආසන පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමටය. ලංකාව පුරාම ආසන ගණනාවක ක්‍රියාකාරීත්වය දුර්වල බව මෙයට පෙර පත්කළ කමිටුවකින් හඳුනාගෙන තිබිණ. පක්ෂ නායක මහලේකම් හා ජාතික සංවිධායකගේ ප්‍රධානත්වයෙන් තවදුරටත් මේ ගැන සාකච්ඡා කළ අතර එහිදි තීන්දු වූයේ මැයි මාසයේදී වැඩ ආරම්භ කිරීම සඳහා උතුරු නැගෙනහිර ද ඇතුළුව පවතින මැතිවරණ ආසන එකසිය හැට සඳහා ද ක්‍රියාකාරී පිරිසක් යොදා ගත යුතු බවය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, කොත්මලේ, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, හාරිස්පත්තුව, උඩුදුම්බර, නාවලපිටිය. වැලිගම, හක්මන, ගම්පහ, දිවුලපිටිය, කටාන, රත්මලාන, බුලත්සිංහල වැනි ආසන ගණනාවක ක්‍රියාකාරීත්වය දැනට වඩා ක්‍රියාකාරී කළයුතු බවටද ඇතැම් ආසනවලට අලුතෙන්ම සංවිධායකයන් පත්කළ යුතු බවද සාකච්ඡාවට ලක්විය. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ආසනවල ක්‍රියාකාරීත්වය ඉතා අක්‍රිය බවද කියැවිණි.
“අපි සංවිධායකවරුන් බවට පත් කරන අයට අමතරව සමගි ජන බලවේගයේ දෙවැනි පෙළ හදන්න ඕනෑ.. මොකද බැරිවෙලාවත් පළාත් සභා මැතිවරණයක් ආවොත් අපේක්ෂකයන් ලෙස තරුණ අපේක්ෂකයන් ඉදිරිපත් කළ යුතුයි. ඒ ගැනත් අවධානය යොමු කරලා ඉතා ක්‍රියාකාරී සංවිධායකයන් පිරිසක් පත් කරමු.....” පක්ෂ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේය. මෙම මස මුල භාගයේ පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී මෙම යෝජනාවල අවසන් තීන්දුව ගැනීමට තීන්දු විය.
මහ මොළකරු ඔයානෙ
උදය ගම්මන්පිල ලියූ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යාම කෘතිය එළිදැක්වූ උලෙළ පැවැත්වුණේ ඉකුත් බදාදාය. එම උලෙළට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ. දොරට වැඩීමේ උලෙළ අවසන් වූ පසු ගම්මන්පිල ළඟට ගිය දයාසිරි කීවේ“ ඔන්න මං දැන ගත්තා ඔයා තමයි මහ මොළකරු කියාය. ඇයි ඇයි මොකද ඒ...? උදය ගම්මන්පිල විමසීය.
‘‘නෑ ඉතින් ඔයානෙ මහ මොළකරු හොයා ගත්තේ.....’’ දයාසිරි කියද්දි ගම්මන්පිල සිනාසෙමින් සිටියේය.
විදුලි විරෝධතා
විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අරඹා තිබේ. ඒ අනුව විපක්ෂ නායක සජිත් ආසන සංවිධායකවරුන් ගණනාවකටම කතා කර භාර දුන්නේ තම ප්‍රදේශයේ ජනතාව පාරට ගෙන්වා රජයට දැනෙන විරෝධයක් පළ කරන ලෙසය. එවැනි උද්ඝෝෂණ කිහිපයක් ඉකුත් සතියේ පැවැත්විණි. විපක්ෂ නායක සජිත්ගේ නියමයෙන් ජගත් විතාන මතුගමදී විරෝධතා දිනයක් සංවිධානය කර ඇත්තේ අද ඉරිදා දිනටය.
හිමිනමක් නාමල්ට කීදේ
නාමල් රාජපක්ෂ ඉකුත් ඉරිදා උදෑසනම බුලත්සිංහට පැමිණියේ පක්ෂ ක්‍රියාකාරීන් හමුවීමට සහ විහාරස්ථාන කිහිපයකින් ලැබුණු ආරාධනා නිසාය. ඔහු මුලින්ම ගියේ බුලත්සිංහල මහ පන්සලටය. විහාරාධිපති නාහිමියන්ගේ සුවදුක් විමසා කතාබහ කළ නාමල් සමග සංජීව එදිරිමාන්න, ලලිත් වර්ණකුමාර ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ නායකයෝ රැසක්ම එක්ව සිටියහ. නාමල් ආවාස භූමියෙන් එළියට එද්දි දහම් පාසලේ දරුවන් පිරිසක් අත වැනූ අතර නායක හිමියන්ගෙන් අවසර ගෙන නාමල් දහම් පාසලට ගොස් එම දරුවන් සමග කතා කළේය. බුලත්සිංහල මහගම පන්සලටද ගිය නාමල් සුබ නැකතින් එම පන්සලේ විහාර මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹීමට ද එක්වූයේය. “නායකතුමා.. ඔය ඉස්සරහින්ම වැඩ ඉන්නේ අපි අර චෛතයයට මුල් ගල් තියන්න ගිය ගිරිකොල පන්සලේ නායක හාමුදුරුවෝ....” සංජීව එදිරිමාන්න කීවේය.‘‘ ඔන්න පුතේ මම චෛත්‍යය හදමින් ඉන්නේ. ..ජනාධිපති වෙලා අපේ චෛත්‍යයේ කොත නිරාවරණෙටත් එන්න ඕනෑ”. “එහෙමයි නායක හාමුදුරුවනේ.... එදා අනුශාසනාවේදිත් ඔබවහන්සේ ඒක කිව්වා....” නාමල් කීවේ උන්වහන්සේට වැඳ ආචාර කරමිනි.
පොහොට්ටුවටත් අලුත් මුහුණු
ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් පත්කිරීමේ උත්සවය ඉකුත් සතියේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. නාමල්ගේ අදහසක් අනුව මෙසේ පත් කළ බොහෝ දෙනකු තරුණ ක්‍රියාකාරීන්ය.
නාමල්, සාගර කාරියවසම්, ඩි.වී. චානක සහ සංජීව එදිරිමාන්න. ඉන්පසුව එකතු වූයේ තේ පැන් සංග්‍රහයකටය.’’ විදුලි බිලත් වැඩිවෙලා සංජිව එදිරිමාන්න කතාවට මුල පිරුවේය.
“මේ ඔක්කොම වෙන්නෙ බාල ගල් අඟුරු නිසා... ඒ බර ජනතාව පිට පටවලා...” නාමල් කීවේය. “මේ බාල ගල් අඟුරු නිසා ඉදිරියේදී විදුලි කප්පාදුවක් වුණත් එන්න පුළුවන්” ඩී.වී. චානක කීවේය. ඩී.වී. බලශක්ති ඇමැතිට කීවනෙ ඕනෑම නාළිකාවක විවාදයට එන්න කියලා... කෝ තාම නෑනේ..” සංජීව එදිරිමාන්න කීවේය. “චෝදනා තියෙනවනම් විපක්ෂය කියනකම් ඉන්නෙ නැතිව අයින් වෙන්න කියලා නාමලුත් ළඟදි කීවනෙ..” එසේ කීවේ සාගර කාරියවසම්ය.
“ගල් අඟුරුවලින් වංචාවක් වෙලා තියෙනවා කියලා පෙනි පෙනීම ජනාධිපතිතුමා විදුලි බල ඇමැතිව ආරක්ෂා කරනවා. ඒකෙන් අපිට හිතන්න වෙනවා එතුමත් මේකට සම්බන්ධයි කියලා...” නාමල් කීවේය
“මහජන හඬේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා තියෙනවා. එතැනදී මම බාල ගල් අඟුරු ගැන කතා කරනවා” එසේ කීවේ සංජීව එදිරිමාන්නය.
“දැක්කද ලාල් කාන්තගෙ ගෙදර දානයක් තිබිල.. එ්ක වයිරල් වෙලා...” සාගර කාරියවසම් තම දුරකථනයෙන් එම පුවත පෙන්වීය. “ඒක ලොකු දෙයක්. බෞද්ධානුකූලව වැඩ කරන එක..” නාමල් රාජපක්ෂ කියා සිටියේය.
හිටපු ඇමැතිවරයකු වූ මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වූ පුවත නාමල් දැනගත්තේ බ්‍රහස්පතින්දා නෙළුම් මාවතේ සිටියදීය. “අපේ තාත්තා ගෙ ළඟම මිත්‍රයෙක්. ලොකු දේශපාලන ඉතිහාසයක් තියෙන නායකයෙක්. සිකුරාදා තියෙන රැස්වීම් ඔක්කොම කැන්සල් කරන්න. මම ඒ අවමංගල්‍යයට සහභාගි වෙන්නට ඕනෑ.......
කංචනටත් දැන් ගොඩක් ඇමතුම් එනවා ඇති.. මම උදෙන්ම මළගෙදර යනවා” නාමල් පැවසුවේය.
පෝර ප්‍රශ්නය විපක්ෂය අතේ
විපක්ෂයේ පක්ෂ රාශියක්ම ඉකුත් සතියේ මුණගැසී සාකච්ඡා කළේ විදුලි බිල සහ ජනතාවගේ ජීවන වියදම ඉහල ගොස් තිබීම ගැනය. නීතිඥ දයාසිරි ජයසේකර, චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න, ලසන්ත අලගියවන්න, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට එක්ව සිටියහ.
“දැන් බලන්න ගල් අඟුරු ගනුදෙනුව තනිකරම වංචාවක්... මේ ගල් අඟුරු බාලයි. බාල නිසා නියමිත විදුලිය ප්‍රමාණය නිපදවන්න බෑ... ඒකට හරියන්න ඩීසල් විදුලිය පාවිච්චි කරනවා. ඒ යන වියදම ජනතාව මත පටවන්න ආණ්ඩුව පියවර අරගෙන” චම්පික රණවක හිටපු මන්ත්‍රීවරයා කීවේය.
“විදුලි බිල වැඩි කිරීමත් එක්ක විශාල අර්බුදයක් රටේ ඇති වෙනවා. කර්මාන්තවලට බලපානවා. විදුලි බිල වැඩි කිරීමට සිදුවුණේ බාල ගල් අඟුරු ගෙනාපු නිසයි. මේක ලොකු වංචාවක්. දැන් තැනින් තැන විදුලි කප්පාදුවකුත් පටන් අරගෙන.. මේකෙන් ආර්ථිකයම අවුල් වෙලා තියෙන්නෙ’’ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එහිදී කීවේය.
දැන් පෝරත් නෑ..... යුද්දෙ පෙන්නල පෝර හිඟයට හේතුව යුද්දෙ බවයි පෙන්වන්නෙ....” දොස්තර රාජිත සේනාරත්න කියා සිටියේය. ලසන්ත අලගියවන්න පැමිණ වාඩි ගත්තේ දොස්තර රාජිත ළඟමය. ජානක බණ්ඩාර හිටපු ඇමැතිතුමාට ටිකක් සනීප නෑ. මම මේක ඉවර වෙලා බලන්න යනවා...” ලසන්ත කීවේය. “මාත් එනවා....” එසේ කී රාජිත ලසන්ත ඇතුළු කීප දෙනා සමග ජනක බණ්ඩාරගේ බොරලැස්ගමුව නිවසට ගියේ ඔහුගේ සුවදුක් බැලීමටය.
රනිල් ඉක්මනින් එන්න හදයි
රනිල් සැත්කමින් පසුව මේ වන වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබමින් සිටී. ඔහුට රෝහලෙන් පිටව යාමටද වෛද්‍ය අවසරය ලැබිණ. නමුත් රෝහලේ නතර වී තවත් දින කිහිපයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔහු විවේකයෙන් ගත කරමින් සිටී. බොහෝ අය රනිල්ට යෝජනා කළේ සිංහල අවුරුද්දෙන් පසුව ලංකාවට එන ලෙසය. සිංගප්පූරුවේම විවේක ලබාගනිමින් ටික කාලයක් ගත කළ යුතු බව සමීපතමයන්ගේ අදහස විය.
නමුත් රනිල්ගේ දැඩි ස්ථාවරය වන්නේ හැකි ඉක්මනින් ලංකාවට පැමිණිය යුතු බවය. නිවසේ සිට හෝ අදාළ දේශපාලන වැඩ මෙහෙයවීම රනිල්ගේ අදහසයි. ජනතාවට අසීරු කාලයක දී මෙහි සිටිය යුතු බව රනිල්ගේ ස්ථාවරයයි. ඒ අනුව ඉදිරි දින දහය ඇතුළත රනිල් නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
ගල් අඟුරු ගැන ජී.එල්
රනිල් ලංකාවෙන් පිටව යාමට පෙර ලබාදුන් උපදෙස් අනුව එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අදාළ වැඩ කටයුතු දිගටම කරගෙන යමින් සිටී.
එහි ප්‍රධානම වැඩ කටයුත්තක් වූයේ කොස්ගම දී සංවිධාන කෙරුණු ගල් අඟුරු වංචාව පිළිබඳ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයයි. එය අතිසාර්ථක ලෙස පැවැත්විණ. එහි කැඳවුම්කරු ලෙස ක්‍රියා කළේ මහාචාර්ය පීරිස්ය. එහිදී අදාළ දූෂණය පිළිබඳව කරුණු රැසක් හෙළිදරව් කෙරිණ. විශේෂයෙන් චම්පික රණවකගේ හෙළිදරව් කිරීම පිළිබඳව සියල්ලෝම අදහස් දැක්වූහ. විදුලි බිල කලින්ම වැඩි කිරීමට හේතු වූයේ ගල් අඟුරු වංචාව බව එහිදී කියැවිණ.
කොස්ගම සම්මන්ත්‍රණයේ සාර්ථක බව නිසා ඉදිරියටද හිටපු ජනාධිපතිවරයා ලබා දුන් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම ඉතා යෝග්‍ය බව මහාචාර්ය ජී.එල් මෙහිදී දැනුම් දුන්නේය. තමාට රනිල් සමඟ සාකච්ඡා කිරීමට කරුණු කිහිපයක් තිබෙන බවත් වෙලාව පැමිණි විට ඒවා සාකච්ඡා කර දැනුම් දෙන බවත් ජී.එල් එහිදී සඳහන් කළේය
අගවිනිසුරු කාලය
ඊට පසුව සිදුවූ ලොකුම කතාබහ වූයේ අග්‍ර විනිශ්චකාරවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමේ රජයේ අවශ්‍යතාව සම්බන්ධයෙනි. නීතිඥ සංගමය ඇතුළු කණ්ඩායම් කිහිපයක්ම ජී.එල් පීරිස්ට කරුණු ඉදිරිපත් කළහ.
“සර් හැකි ඉක්මනින් මේ ගැන ප්‍රකාශයක් කරන්න .ඊට පස්සේ අපටත් මේකට අවතීර්ණ වෙන්න පුළුවන්” යනුවෙන් ඔවුහු සඳහන් කළහ. නීතිඥ සංගමයේ අදහස වූයේ ඔවුන් මැදිහත් තැනක සිට ප්‍රකාශයක් කරන බවයි. ඒ අනුව ජී.එල්. ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂයට කතා කළේය.
ඒ අනුව විජයදාස බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක් කැඳවා මේ ගැන කතා කිරීමට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් විය. එන්.එම් පෙරේරා ශාලාවේදී මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට ද යෝජනා කෙරිණ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කැඳවන ලද පළමු මාධ්‍ය හමුව එයයි. එතැනින් ආරම්භය ගෙන වෙනත් සංවිධාන ද මීට එකතුවීමට නියමිතය. එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ පැවති ඒ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජී.එල් සිදුවීමට ඇති අනතුර ගැන කරුණු පැහැදිලි කළේ මෙසේය.
“ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චකාරවරුන්ගේ සේවා කාලය වසර දෙකකින් දිගු කිරීමට රජය තීරණය කර තිබෙනවා. වත්මන් අගවිනිසුරුට ධුර කාලය තවත් වසර දෙකක් ලබාදීම මෙම ප්‍රයත්නයේ මූලික අරමුණයි. මේක ඉතා භයානක තත්වයක්. ඔවුන්ට වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව සහ අග්‍රවිනිශ්චකාරවරයා අතර සම්මුතියක් තිබෙනවා. 65 දී විශ්‍රාම ගැන්විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා.මේ අය හදන්නේ තවත් වසර දෙකකට සේවය දීර්ඝ කරන්න.
මෙලෙස සේවා දිගුවක් ලබාදීම අයහපත් පූර්වාදර්ශයක් බව නීති විශාරදයන්ගේ මතයයි.
පාඨලී ආණ්ඩුවට දෙහි කපයි
රනිල් රටින් පිටවීමට පෙර දුන් උපදෙස් අනුව බදාදා නිපොන් හෝටලයේදී ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය හමුවක් පැවැත්වීය. එය සංවිධාන කිරීමට මූලිකත්වය ගත්තේ එජාප සභාපති වජිරයි. සෙසු පක්ෂ නායකයෝ ගණනාවක් ඊට සහභාගී වූහ. සිංහල අවුරුදු සමයේ ජනතාවට ජීවත්වීමට තිබෙන අසීරුතා පිළිබඳව එහිදී කරුණු ඉදිරිපත් විය. විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුවූයේ ආණ්ඩුවේ ගල්අඟුරු වංචාව නිසා බව පාඨලී එහිදී කීය.
එළඹෙන අවුරුදු සමය මහජනතාවට නම් සුබ අලුත් අවුරුද්දක් නොවනු ඇතැයි ඔහු එහිදී සඳහන් කළේය.
“ආණ්ඩුව 13.5ක විදුලි වැඩිවීමක් ඉල්ලා තිබුණා. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලය නිල වශයෙන් විසුරුවා දැමීමේ නායකත්වය ගත්තෙත් අනුර කුමාර ජනාධිපතිතුමා. ඒ සමාගම්වලින් ඉවත්වීමට දෙදහසකට ආසන්න පිරිසක් එකඟ වී තිබෙනවා. මේ අයගේ විශ්‍රාම ගැන්වීමේ යෝජනාවලියක් ඉදිරිපත් වී තිබුණා. එය මහජන උපයෝගීතා කොමිසම සැලකිල්ලට ගෙන තිබෙනවා.එය මෙවර විදුලි ගාස්තු වැඩි වීමට එකතු කර නැහැ. ඒ නිසා මෙවර විදුලි වැඩිවීම 10.5කට සීමා කර තිබෙනවා.
නමුත් ගෘහස්ථ පාරිභෝගිකයන්ට විදුලි බිල 13.5ක් දක්වා වැඩිකර තිබෙනවා. ඒ කාරණය කවුරුත් දන්නවා. කර්මාන්තවලට විදුලි බිල 8.7 කින් වැඩිකර තිබෙනවා. සියලුම බිල් වැඩිවීම තුළ කර්මාන්ත ක්ෂේත්‍රයෙහි දරුණු අර්බුදයක් ඇතිවීමට නියමිතයි.
මෙහිදී දයාසිරි කීවේ සමහර ප්‍රදේශවල නිවේදනය නොකළ විදුලි බිඳවැටීම් සහ ජල කප්පාදුව දැනටමත් ක්‍රියාත්මක බවයි.
රාජිත සඳහන් කළේ විදුලි ගාස්තු වැඩි කිරීම, ප්‍රවාහන ගාස්තු වැඩි කිරීම සහ ඉන්ධන සහ ආහාර මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවට සෑම පැත්තකින්ම පහර වැදී ඇති බවයි. හිටපු කථානායක මහින්ද යාපා, වජිර අබේවර්ධන, ලසන්ත අලගියවන්න ඇතුළු පක්ෂ නායකයෝ මීට සහභාගී වූහ.
මහමොළකරු ජේ.ආර්.
නිකුත් සතියේදී කාගේත් අවධානයට ලක් වූ පොත් දෙකක් දොරට වැඩීමේ උත්සව පැවැත්විණ.
පළමුවැන්න තිබුණේ ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේදීය. ඒ ඉම්ටියාස් බාකීර් මාකර් රචනා කළ “මා අකමැතිව සිටි ජේ.ආර්” කෘතිය දොරට වැඩීමේ අවස්ථාවයි. පක්ෂ භේදයකින් තොරව මහජන නියෝජිතයෝ හැම කෙනෙක්ම එම උත්සවයට සහභාගී වූහ. එහිදී ප්‍රධාන දේශන දෙකක් පැවැත්විණ. සියලු පක්ෂ නියෝජිතයෝ එහිදී ඉම්තියාස්ට සුබ පැතූහ. එහිදී දේශනයක් කළ ආචාර්ය රංග කලංසූරිය දෙසුම අවසන් කළේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයැයි කියන ඉම්තියාස්ද අද පාර්ලිමේන්තුවේ නැති බවයි.
උදය ගම්මන්පිල ලියූ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරැ කෘතිය ද සමාජයේ දැඩි කතා බහට ලක්විය. එම පොත එළිදැක්වීම සිදු කෙරුණේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදීය. එය ඉතා සාර්ථක උත්සවයක් විය. විශාල පිරිසක් ඊට සහභාගී වී සිටියහ. ඊට ලැබුණු දායකත්වයට ගම්මන්පිල ද සිටියේ බොහෝ සතුටිනි. මහා සංඝරත්නය ඇතුළුව ශාලාව පිරෙන්නම සෙනග එහි පැමිණ සිටියහ. ඊට හිටපු ජනපතිවරු තිදෙනෙක් සහභාගී වූහ. ඒ මහින්ද, මෛත්‍රීපාල සහ ගෝඨාභයයි.
ගම්මන්පිලගේ මතය අනුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව සඳහන් කෙරිණ.
මේ අවස්ථාවේදී සභාපති වජිර, හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක, රනිල්ගේ හිටපු මාධ්‍ය අධ්‍යක්‍ෂ ශානුක කරුණාරත්න ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව කරුණු සාකච්ඡා කළහ. සමාජ මාධ්‍යවල යන මතය ගැනත් එහිදී සාකච්ඡා විය. වජිරගේ අදහස වූයේ මෙය එක්සත් ජාතික පෙරමුණ රජයක් ලෙස ආරම්භ කරන ලද විශාල ව්‍යාපෘතියක් බවයි. විශේෂයෙන්ම එවකට ඡන්දයට පෙර රනිල් පැහැදිලිවම සඳහන් කර තිබූයේ සාම ක්‍රියාදාමයකට යන බවයි. මේ සාම ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන ලද්දේ ඒ අනුවයි. ඒ සඳහා එවකට එක්සත් ජාතික පක්ෂයේ සිටි අය මෙන්ම සියලු හවුල් සංවිධාන පෙනී සිටින බවද වජිර කීය.
ඒ නිසා මේ හිටපු ආරක්ෂක ප්‍රධානියාගේ අදහස් පිළිනොගන්නා බවත් සති අන්තය වන විට එක්සත් ජාතික පක්ෂයේ මතය ප්‍රකාශ කරන බවත් වජිර දැනුම් දුන්නේය. සමාජ මාධ්‍ය ඔස්සේ ද එක්සත් ජාතික පක්ෂයේ මේ පිළිබඳව මතය එළිදැක්වීමට තීරණය විය.
රාජ දූත

