පොදුජන පෙරමුණ කණපිට හරවලා එජාපයට හේත්තු කරපු අයට පොදුජන පෙරමුණ අයිති නෑ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිදහස් ජනතා 

සභාවේ සාමාජික මහාචාර්ය ජී.එල්. පීරිස්   

  • මම තාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති   

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන විය. ඇයි ඒ. ඉදිරියේදී කරන්නේ මොනවාද? මේ ඒ ගැන විමසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිදහස් ජනතා සභාවේ සාමාජික මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- ඔබ තවමත් පොදුජන පෙරමුණේ සභාපතිද?   


පිළිතුර:- ඔව්!   


ප්‍රශ්නය:- ඔබට එහෙම කියන්න තියෙන අයිතිය?   


පිළිතුර:- අපි විශ්වාස කරනවා අපි තමයි කියලා නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියම දර්ශනය හා අනන්‍යතාව.   


ප්‍රශ්නය:- ඔබ එහෙම කියන්නේ?   


පිළිතුර:- ඒක පැහැදිලිව පෙන්වා දෙන්න පුළුවන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාව හා ප්‍රතිපත්ති ප්‍රකාශනය හා මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂයේ නායකයා හැටියට සහ මම පක්ෂයේ සභාපතිවරයා හැටියට රට පුරාම ගිහින්.... 2020 මහ මැතිවරණයේදී මහින්ද මහත්තයා තමයි ඒ මැතිවරණයට නායකත්වය දුන්නේ.... මම ඒ හැම වේදිකාවකම කතා කළා. එදා අපි ජනතාවට කියපු දේ අද කරන්නේ අපි.   


ප්‍රශ්නය:- මොනවද ඒ?   


පිළිතුර:- අපි එදා පැහැදිලි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළා. ඒ වැඩ පිළිවෙළට තමයි ජනතාවගෙන් අනුමැතිය ඉල්ලුවේ. ජනතාව ඒ අනුමැතිය දුන්නා. අපි එදා කිව්වද එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල්වෙලා එක්සත් ජාතික පක්ෂයේ වලිගයක් වෙලා කටයුතු කරනවා කියලා. එහෙම නොකීව නිසා 225න් අපට ලැබුණා මන්ත්‍රිධුර 143ක්. අපි කිව්වා එක්සත් ජාතික පක්ෂයෙ ප්‍රතිපත්තිවලට අපි විරුද්ධයි කියලා. අපි ළඟ තියෙනවා ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිපත්ති. ඒවට තමයි අපි ජනතා අනුමැතිය ඉල්ලුවේ. දැන් මොකද වෙලා තියෙන්නේ. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 101ක් විතර එක්සත් ජාතික පක්ෂයේ නායකයාව ජනාධිපති කරන්න ඡන්දය දුන්නා.   


ප්‍රශ්නය:- ඔය ඔබ කියන මොහොත වනවිට රටේ අලුත්ම තත්ත්වයක් ඇතිවෙලා තිබුණේ?   


පිළිතුර:- අලුත් තත්ත්වයට මුහුණ දෙන්න ඕනැ ජනතාවට දුන්න ප්‍රතිඥාවට අනුකූලවනේ. එහෙමනම් ඇයි මැතිවරණයක් පැවැත්වුවේ. මැතිවරණයක් කියන්නේ ජනතාවගේ අපේක්ෂාවන් හොයා බලන්න. ඒ අපේක්ෂාවන් ඉටු කරවා ගැනීමට තමයි පක්ෂයක් තෝරාගෙන ඒකේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවන්නේ. අද මොකද වෙලා තියෙන්නේ. මීට සති දෙකකට කලින් අපි අනුරාධපුරයට යනකොට එදාම ජනාධිපතිතුමත් අනුරාධපුරයට එනවා. එතුමා පිළිගන්න අනුරාධපුර නගරය සරසලා තිබුණ. සරසලා තිබුණේ කොළ කොඩිවලින් හා පොදුජන පෙරමුණේ පක්ෂයේ පාට කොඩිවලින්. මේක ජනතාව අනුමත කරනවද? අපි මෙහෙම වෙනවා කියලා මැතිවරණ කාලෙදී කිව්වා නම් ඒකට ජනතාවගෙන් කොහොම ප්‍රතිචාරයක් ලැබේද? පාක්ෂිකයා අද අන්දුන් කුන්දුන් වෙලා ඉන්නේ මේකද අපි එදා බලාපොරොත්තු වුණේ කියලා. අද පාක්ෂිකයාට යන එනමං නෑ. එතකොට පක්ෂය නියෝජනය කරන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්න අය. ඒක යටිකුරු කරලා විකෘති කරලා ක්‍රියාත්මක කරන අය නොවෙයි.   


ප්‍රශ්නය:- පොහොට්ටුව කියනවා ‘ඔබලා සෙල්ලම් ගෙවල් හදනවා. ආයෙ ආවොත් ගන්නෙත් හොඳට හොයලා බලලා’ කියලා?   


පිළිතුර:- ඒ ගොල්ලෝ කියන්නේ ‘අපි ගියා’ කියලා. ඒ ගොල්ලන්ගේ හෘදය සාක්ෂියෙන් හොයලා බලන්න ඕනෑ ‘අද කරන දේද එදා ජනතාවට කිව්වේ’ කියල? ඒක තමයි මෙතැන තියෙන මූලික කාරණය. අපේ ප්‍රතිපත්ති හා එජාපයෙ ප්‍රතිපත්ති අතර තියෙනවා අහසයි පොළවයි අතර වගේ වෙනසක්. මේක හරියට බ්‍රිතාන්‍යයේ කොමියුනිස්ට් පක්ෂයේ මාග්‍රට් තැචර් අගමැතිනිය ලෙස පාර්ලිමේන්තුව තුළදී පිළිගන්නවා වගේ වැඩක්. මෙහෙම දෙයක් ලෝක ඉතිහාසයෙ කොහේවත් වෙලා නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුණේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. නමුත් මෙතැන තියෙන සුජාත භාවය මොකක්ද? අපි විතරක් නොවෙයි ඉතාම වැදගත් ප්‍රකාශයක් කළා ජාත්‍යන්තර මූල්‍ය ආයතනය. කාර්ය මණ්ඩලීය එකඟත්වයට එනකොට ඔවුන් කිව්වා ඒ අය මූල්‍ය ආධාර දෙන්නේ ආණ්ඩුවට නොවෙයි ආණ්ඩුව හරහා ජනතාවටයි කියලා. ඒකෙන් කියන්නේ ආණ්ඩුවට ජන වරමක් තියෙන්න ඕනෑ කියලයි. කාටත් බොහොම පැහැදිලිව පේනවා පොදුවේ රටේ තියෙන මතය හා පාර්ලිමේන්තුවේ ප්‍රකාශවන මතය අතර විශාල පරතරයක් තියෙනවා කියලා. ඒ නිසයි මේ අය මැතිවරණවලට භය. පාර්ලිමේන්තුවට ගියාම ඒක වෙනම කෘත්‍රිම ලෝකයක්. ජනතාවගේ අදහස් උදහස් කොහෙත්ම පිළිබිඹු වෙන්නේ නෑ පාර්ලිමේන්තුව තුළ. ඒ නිසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වේ ‘මේ ආධාර දීමට සදාචාරාත්මක අයිතියක් තියෙන්නේ රජය ජන මතය නියෝජනය කරන තාක් කල් පමණයි’ කියලා මෙතැන තියෙන්නේ සුජාත භාවය පිළිබඳ ප්‍රශ්නය.   


ප්‍රශ්නය:- ජනාධිපතිවරයා පත් වෙන්නේ නීත්‍යානුකූල විදියට?   


පිළිතුර:- නීත්‍යානුකූල භාවයයි සුජාත භාවයයි කියන්නේ දෙකක්. ඒ දෙක අතර හරයාත්මක වෙනසක් තියෙනවා. සුජාත භාවයෙන් තොර රජයක් තමයි අද තියෙන්නේ.   


ප්‍රශ්නය:-  ඔබ කණ්ඩායම හා පොහොට්ටුව අතර අර්බුදය රට දැක්කේ පාර්ලිමේන්තුවේ තිබුණ ජනාධිපතිවරණයෙදි. ඒ අර්බුදය ඇති වුණේ එතැනදිද? ඊට කලින් ඉඳලම තිබුණද?   


පිළිතුර:- කලක් තිස්සේ තිබුණ ප්‍රශ්නයක් තමයි පක්ෂය තුළ ක්‍රියාත්මක වුණ සංස්කෘතිය වෙන අදහස්වලට සවන්දීම. ඒ අදහස්වලට සවන්දීලා අවසන් තීරණය ගැනීම. එතැන ලොකු දුර්වලතාවයක් තිබුණා.   


ප්‍රශ්නය:- ඔබනේ පක්ෂයේ සභාපති?   


පිළිතුර:- ඔව්! පක්ෂයෙ සභාපති වුණාට එතැන තීරණ ගත්තේ සුළු පිරිසක්. ඒක එක රැයින් ඇතිවෙච්ච දෙයක් නොවෙයි. කාලාන්තරයක් මුළුල්ලේ වර්ධනය වෙමින් තිබුණ දෙයක්. එක්තරා සීමාවකින් එහා ගියාම අපි පිරිසක් තීරණය කළා. ‘මේ විදියට අපිට යන්න බෑ’ කියලා. අපේ කණ්ඩායමේ කැපී පෙනෙන ලක්ෂණය තමයි. එතැන 13ක් ඉන්නවා. ඒ ඔක්කොම අය උගත් අය විශ්වවිද්‍යාල මහාචාර්යවරු, ආචාර්යවරු, වෛද්‍යවරු, නීතිඥයන් ඒ විදියෙ උගත් අය ඉන්නවා. අද ජනතාව පුන පුනා ඉල්ලන දෙයක් තමයි උගත් අය පාර්ලිමේන්තුවට යා යුතුයි කියලා. ඒ නිසාම අපි දන්නවා අපේ කණ්ඩායම ගැන ජනතාව තුළ ලොකු විශ්වාසයක් තියෙනවා කියලා. මොකද මුදල් අතින් පාරිශුද්ධ භාවය. අපේ කණ්ඩායමේ කාටවත් චෝදනා නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරලා තියෙනවා ‘අපට මේ ආධාර දෙන්න පුළුවන් මුදල් සම්බන්ධයෙන් පිරිසුදු භාවයක් තියෙනවා නම් පමණයි’ කියලා. අපේ රටට මොන තරම් අවමානයක්ද කියලා බලන්න. ඔවුන් කියනවා ‘කෘෂි’ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටිලා තියෙන නිසා පොහොර ගැනීම සඳහා ඩොලර් මිලියන 130ක් දෙනවා කියලා. හැබැයි ඒක විගණනය කරන්න අපි දෙන්නේ නෑ කියලා කවදාවත් එහෙම කියලා නෑ. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයෙ මම හිටියනේ නියෝජ්‍ය මුදල් ඇමැති හැටියට. එතුමිය සමග මමත් ලෝක බැංකුව ආදි ආයතන සමග සාකච්ඡාවලට ගිහින් තියෙනවා. අපට කියලා නෑ මුදල් සම්බන්ධයෙන් අපට ඔයගොල්ලෝ විශ්වාස නෑ කියලා. අද තත්ත්වය කොහොමද? ඔවුන් ඉන්නවා පූර්ව නිගමනයක. මේ දෙන මුදල් අවභාවිත වෙනවා කියලා. ඇමෙරිකාවේ සෙනෙට් සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ සභාපතිතුමා කෙළින්ම කිව්වා ‘ලංකාව සම්බන්ධයෙන් තියෙන ලොකුම ප්‍රශ්නය සීමාව ඉක්මවා ගිය අල්ලස් දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා’ කියලා.   


ප්‍රශ්නය:-  ඔබලා ආණ්ඩුව සමඟ ගැටුම් ඇති කරගන්නේ මේ නිසාද?   


පිළිතුර:- පොදුජන පෙරමුණ ආණ්ඩුව එන්න කලින් වෙන සංස්කෘතියක් තිබුණේ. මැතිවරණ කාලෙදි සතියකට වරක් හමුවුණා. සාකච්ඡා කළා. එතැන යම්කිසි විවෘත භාවයක් තිබුණා. ඊට පස්සේ ඒක වෙනස් වුණා.   


ප්‍රශ්නය:- කවුද පක්ෂයෙ බලය අතට ගත්තේ? 

 
පිළිතුර:- කවුරුත් දන්නවනේ. රටේ ප්‍රබල මතයක් තියෙනවනේ විධායක ජනාධිපති ක්‍රමය හොඳ නෑ කියලා. මොකද සියලුම බලතල ජනාධිපතිවරයගේ හස්තයට ගොනු වෙනවා කියලා. පාර්ලිමේන්තුව රාජ්‍ය සේවය ඒවා අභිබවා යන බලයක් කියලා. හැබැයි විධායක බලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 අ වගන්තියෙ තියෙනවා ‘‘ජනාධිපතිවරයාට මොන බලතල තිබුණත් ඒ සියලුම බලතල භාවිත කළ යුත්තේ පාර්ලිමේන්තුවට වග කියමින්’’ කියලා. ඒ මොනතරම් බලගතු බලයක් වුණත් ඒක ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතියට යටත්වයි. දැන් මෙතැන මොකද වෙන්නේ. පොදුජන පෙරමුණේ බහුතරය මෙහෙයවන්නේ අදෘෂ්‍යමාන හස්තයක්. ඒ හස්තය පාර්ලිමේන්තුවේ නෑ. එහෙමනම් ජනාධිපතිවරයාට බලතල වැඩිනම් ඒක නීතිය යටතෙනේ. දැන් මෙතැන මොකද්ද තියෙන වගකීම. මේ තත්ත්වයන් දෙක සන්සන්දනය කරනකොට වඩා භයානක මොකද්ද? අරක නීතියෙ ආධිපත්‍යයට යටත්. මේක කිසිම කෙනෙකුට වග නොකියන අදෘෂ්‍යමාන හස්තයක්.   


ප්‍රශ්නය:-  ඔබ ඇතුළු මන්ත්‍රීවරුන් 13 දෙනකු පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වුණා.   


පිළිතුර:- ස්වාධීන වුණා කියන්නේ මම පාර්ලිමේන්තුව තුළ බොහොම පැහැදිලිව කිව්වා. ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ස්වාධීන කණ්ඩායමක් විදියට අපි ඉන්නවා’ කියලා. ඒ වගේම මම කිව්වා ‘පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති නියෝජණය කරන්නේ අපි’ කියලා. 

 
ප්‍රශ්නය:- එහෙම ස්වාධීන වෙලා දැන් කතා කරන්න කාලය දෙන්නෑ කියනවා?   


පිළිතුර:- අපි හැමෝම මහජන නියෝජිතයන්නේ. මෙතැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය තියෙනවා. කතා කරන්න බැරිනම් ඒ මන්ත්‍රීවරයාගෙන් ප්‍රයෝජනයක් නෑනේ. 

 
ප්‍රශ්නය:- ඔබට ජන වරම ලැබුණේ පොදුජන පෙරමුණ වෙනුවෙන්. ඒ වරමට ඔබේ කණ්ඩායම පිටුපාලා.   


පිළිතුර:- අපි පොදුජන පෙරමුණේ තමයි ඉන්නේ. අපි තමයි පොදුජන පෙරමුණ. පොදුජන පෙරමුණ කණපිට හරවලා එක්සත් ජාතික පක්ෂයට හේත්තු කරපු අයට පොදුජන පෙරමුණේ අයිතිය නෑ. මොකද්ද මේ කරන්නේ. මහ මැතිවරණ වේදිකාවලදී අපිට කියන්න තිබුණනේ ‘අපි එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත් කරනවා’ කියලා. එහෙම අපි කිව්වද? මෙතැන සිද්ධ වෙන්නේ වෙනම දෙයක්නේ. අද මේ අය එක්සත් ජාතික පක්ෂයෙ නායකයා කරලා එතුමගේ කැබිනට් එකට යන්න පොර කනවා. රාජ්‍ය ඇමැති ධුර ගන්න පොර කනවා. ඒකද අපි ජනතාවට කිව්වේ.   


ප්‍රශ්නය:-  කෙනෙකුට කියන්න පුළුවන් ‘පොහොට්ටුවේ ප්‍රතිපත්ති ජනාධිපති රනිල් හරහා ක්‍රියාත්මක කරනවා’ කියලා.   


පිළිතුර:- එහෙමනම් අපි පිළිගන්නවද රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොදුජන පෙරමුණේ නායකයා කියලා. ඒක කරන්න සූදානම්ද? එතුමා සූදානම්ද ඒකට. එහෙම සූදානම් කියලා කියයිද? එතුමාටත් ආත්ම ගරුත්වය කියලා එකක් තියෙනවනේ.   


ප්‍රශ්නය:- 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ගැන ඔබේ කණ්ඩායමේ ස්ථාවරය?   


පිළිතුර:- එතැන අමුතු දෙයක් වෙනවා. ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. පුදුම විදියෙ නිශ්ශබ්දතාවක් තියෙන්නේ. යම් යම් තැන්වලින් මේක හංගන්න හදනවා. මේක නොකෙරෙන තැනට ගේන්න යම් යම් ප්‍රබල අයට වුවමනාවක් තියෙනවා කියලා විශාල සැකයක් තියෙනවා.   


ප්‍රශ්නය:- කාටද ඒ වුවමනාව තියෙන්නේ.   


පිළිතර:- ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන අය ඉන්නවනේ.   


ප්‍රශ්නය:- ඊළඟ මැතිවරණයකදී වෙනමද ඉල්ලන්නේ?   


පිළිතුර:- තාම මැතිවරණයක් පේනතෙක් මානෙක නෑනේ. ඉස්සරහට යනකොට තමයි ඒ ගැන තීරණයක් ගත යුත්තේ. මැතිවරණයක් තිබ්බොත් මොනවද වෙන්නේ කියලා දන්න නිසා මේ අය මැතිවරණවලට භයයි. පළාත් සභා මැතිවරණය කෝ. පළාත් සභා නියෝජිතයන් පත් කිරීමට ජනතාවට අයිතියක් තියෙනවා. අද ලංකාවේ එකම පළාත් සභාවකවත් මහජන නියෝජිතයන් නෑ. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධියි. පළාත් පාලන ආයතනවලත් ඒ විදියටමද කරන්න බලාපොරොත්තු වෙන්නෙ? පළාත් සභාවල හා පළාත් පාලන ආයතනවල බලය නිලධාරීන්ට දීමට අපි තරයේ විරුද්ධයි. මේ ආයතන මෙහෙයවිය යුත්තේ නිලධාරින් නොවෙයි මහජන නියෝජිතයන්.   


ප්‍රශ්නය:- හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවට ආවා. ඔබ කතා කළාද? හමුවුණාද?   


පිළිතුර:- ඒ දෙකම නෑ. අපි හමුවෙන්න බලාපොරොත්තු වෙන්නෙත් නෑ.   

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්