ඉන්දුනීසියාවේ ජකර්තා මෙහෙයුමෙන් මෙරටට කුදලාගෙන පැමිණි පාතාල අයියලා දැන් කුක්කන් සේ සියල්ල වමාරමින් සිටිති. ගෑවුණු ගෑවුණු හත්මුතු පරම්පරාවම පාවා දෙන මෙම අයියලා ඇත්තටම පාතාලයෝ ද කියන තරමට පොලිසියට පවා දැන් සැකයක් ඇත. ඒ ගිරව් මෙන් සියල්ල වමාරන නිසාය. ඉදිරියේදී ඒ නිසා හොඳ හොඳ වැඩ බලාගත හැක.
කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීමත් ඒ හරහා එන තොරතුරුත් නිසා අප පසුගිය සතියේ සඳහන් කළ කන්ටේනර් පෙට්ටි දෙකේ හිමිකාරිත්වය ගෑවී ගියේ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන සම්පත් මනම්පේරි හටය. ඒ අදාළ අයිස් සෑදිය හැකි යැයි පවසන අමුද්‍රව්‍ය මිද්දෙණියට රැගෙනවිත් ඇත්තේ ද ඒවා රැගෙන විත් ගබඩා කර තැබුවේද වැඩේ අවුල් වන විට සියල්ල වළ දමා අත පිහිදාගන්නට හැදුවේද මේ සම්පත් මනම්පේරි නිසාය. පොහොට්ටුවේ ඇතැම් නායකයන් සඳහන් කළේ සම්පත් මනම්පේරි සම්බන්ධයෙන් කිසිදු දෙයක් නොදන්නා බවය. ඒත් එය පිළිගැනීමට තරමක් නොහැක. සම්පත් මනම්පේරි යනු 2006 වසරේ රවිරාජ් ඝාතනයේ සැකකරුවෙකි. අත්අඩංගුවට පත්වන විට ඔහු සිටියේ ජනාධිපති ආරක්ෂක අංශයේ බවත් සඳහන් වේ. කෙසේ වෙතත් පසුව රවිරාජ් ඝාතනයේ රජයේ සාක්ෂිකරු වූයේ මේ මනම්පේරිය. රජයේ සාක්ෂිකරුවෙකු වීම තීරණය කරන්නේ පොලිසිය සහ නීතිපති දෙපාර්තුමේන්තුව නිසා ඒ අවස්ථාව මනම්පේරිට ලැබීම ගැන පුදුම වන්නේ නැත. එපමණක් නොව මනම්පේරිට තව තව චෝදනා ඇත. හිරගෙවල්වලද ලැග ඇත. ඒ නිසා සම්පත් මනම්පේරි යනු වන්නියේ ඈත මුල්ලක නොදන්න එකෙක් නොවේය. මුළු මිද්දෙණියම මනම්පේරි ගැන අකුරක් නෑර දන්නේය.
එකී සම්පත් මනම්පේරි සහ පියල් මනම්පේරි (බාල සහෝදරයා) එක්ව අදාළ කන්ටේනර් දෙකේ බඩු තැන් තැන්වලට යවා ඉතිරිය තකහණියේ වළදැම්මේ සියල්ල ගිරා පැටව් විසින් හෙළි කරන නිසාය. එසේ සඟවා මනම්පේරි ගම රට අතහැර පලාගියේය. කෙසේ වෙතත් මේ අතරතුර හම්බන්තොට නෙටොල්පිටිය ප්‍රදේශයේ පාලු ඉඩමක දමා ගිය තවත් අයිස් සෑදිය හැකි බව පවසන අමුද්‍රව්‍ය තොගයක් සොයා ගැනිණ. ඒවා ද මිද්දෙණියේ සොයාගත් අමුද්‍රව්‍ය හා සමාන විය. කෙසේ වෙතත් මිද්දෙණියෙන් ගොඩගත් අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය විසින් ලබාගත් සාම්පල් 20 න් 05 කම අයිස් අඩංගු බව සහතික විය. මේ නිසා වැඩේ තව තවත් සංකීර්ණ වූයේ මේවා යොදාගෙන කෙසේ ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් සාදන්නේ ද යන්න කියාය.
නෙටොල්පිටියෙන් කඳානට
![]() |
කෙහෙල්බද්දර පද්මේ |
මේ අතර කළුතර කොට්ඨාස අපරාධ ඒකකය විසින් ටී 56 ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනිණ. එලෙස අත් අඩංගුවට ගත්තේ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු භාරයේ සිටින පානදුර නිලංගගේ ගෝලයන් දෙදෙනෙකි. එසේ අත්අඩංගුවට ගත් දෙදෙනා තවත් කතාවක් වැමෑරූහ. ඒ අයිස් සෑදීම සඳහා භාවිත කරන අමුද්‍රව්‍යවලින් කොටසක් කඳාන ප්‍රදේශයට රැගෙන ගිය බවය. ඒ අනුව පොලිසිය වහාම ගොස් අදාළ ස්ථානය පරීක්ෂා කළේය. ඉතා අලංකාරව සකසා තිබූ එම නිවස යන විට වසා දමා තිබුණේය. නිවසේ හිමිකරු කැඳවා ප්‍රශ්න කිරීමේදී හෙළිවුණේ ඔවුන්ගෙන් මීට මාසයකට පෙර වසරක් සඳහා කුලියට ලබාගත් පිරිසක් හදිසියේම පසුගිය පස්වැනිදා යතුරු ලබාදී පලාගිය බවය. ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ක්‍රිෂාන් නමැති අයෙකි. කෙසේ වෙතත් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හිමිකරු පැවසුවේ ඔවුන් අගෝස්තු 13 දා රුපියල් ලක්ෂ 12.5 ක් ලබාදී නිවස කුලියට ගත් බවත් මාසික කුලිය වූ එක්ලක්ෂ විසිදහසක මුදලක් ද ලබාදුන් බවත්ය. එහෙත් හිටි හැටියේ නිවස ලබාදී ඔවුන් 5 දා ගොස් තිබේ. කෙසේ වෙතත් පසුව පොලිසිය නිවස පරීක්ෂා කිරීමේදී දැක ගැනීමට හැකි වූයේ මිද්දෙණියෙන් හමුවූ ද්‍රව්‍යවලට සමානම අමුද්‍රව්‍ය තොගයක් නිවසේ මල්පැළ වටා අතුරා ඇති බවයි. එපමණක් නොව නිවසින් එපිට වෙනත් ඉඩමකද එම අමුද්‍රව්‍ය ගොඩගසා තිබුණ අයුරු දැකගත හැකි විය. ඒ අනුව ස්ථාන 6කින් කිලෝ 2000ක් පමණ පොලිසිය විසින් සොයාගනු ලැබීය. එහිදී අනාවරණය වුණේ ක්‍රිෂාන් නමැත්තා කෙහෙල්බද්දර පද්මේ සහ පානදුර නිලංගගේ මිතුරකු බවය. එසේම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයකු බවය.
පද්මේ පානදුර නිලංඟ ගැන වමාරයි
මේ සිදුවීම් සිදුවන විට බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ගොස් කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කරන්නට විය. එහිදී පද්මේ සඳහන් කර ඇත්තේ ගෙනා කන්ටේනර් පෙට්ටි පානදුර නිලංගට අයත් ඒවා බවය. එසේ ගෙනා අමුද්‍රව්‍යවලින් කොටසක් යොදාගෙන අයිස් නිෂ්පාදනය කර කිලෝ 14ක් ලබාගත් බවත්, ඉන් කිලෝ 10 ක් තමන් විසින් මිලදී ගත් බවත් ඔහු පවසා ඇත. ඒ කිලෝ 10 ලබාගත්තේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මිලට වන අතර එක් ග්‍රෑම් එකක් රුපියල් 5000ක් පමණ වන බවද ඔහු සඳහන් කර තිබේ. ඒ නිසා පානදුර නිලංග මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානියා බවට පසුව අනාවරණය විය. කෙසේ වෙතත් මේ සියල්ලෝම එක වල්ලේ පොල් බව අමුතුවෙන් කිව යුතු නැත.
ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළිවුණේ ඔහු කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සිටි බවත් ඒ සමයේදී ඔහුගේ සහයකයා වී ඇත්තේ කොමාන්ඩෝ සලින්ද බවත්ය. එම මිත්‍රකම නිසා කොමාන්ඩෝ සලින්ද විසින් තමන්ගෙන් උණ්ඩ ඉල්ලා සිටි බවත් ඒ අනුව අවස්ථා දෙකකදී ටී 56 උණ්ඩ 260 ක් ලබාදුන් බවත් ඔහු කීවේය. එසේම සලින්ද විසින් එල්. එම්. ජී. ගිනි අවියක් කෝටි එකහමාරකට ඉල්ලා සිටි බවත් ක්ලේමෝ බෝම්බ දෙකක් ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කර ඇත. එහෙත් ඒවා ලබා නොදුන් බව ඔහු කියා ඇත. උණ්ඩ ලබාදීම සඳහා අවස්ථා හයකදී ලක්ෂ හයහමාරක් ඔහු ලබාදුන් බවද ඔහු කී අතර ඒ සියල්ල රාත්‍රි සමාජ ශාලා සඳහා වියදම් කර ඇත.
සලින්දගේ ලොක්කා සලින්දට සැලෙන්ඩර්
ඉන්දුනීසියාවේ පිරිස අත්අඩංගුවට ගැනීමට පෙර බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පද්මේගේ හොඳම ගෝලයන් වන පස්දේවා සහ වලස් කටා අත්අඩංගුවට ගැනිණ. එසේ අත්අඩංගුවට ගැනීමේදී වලස් කටා අපූරු කතාවක් කියා ඇත. එනම් යුහ නමින් සඳහන් නිල්පැහැති කැබ් රථයකින් පුද්ගලයෙක් පැමිණ ගිනි අවි සහ උණ්ඩ ලබාදුන් බවයි. ඔහු කවුද යන්න නොදාන්නා බව වලස් කටා කීවේය. එහෙත් පොලිසිය ඔහු කවුද යන්න හඳුනාගෙන සිටියේය. එහෙත් අත්අඩංගුවට ගත්තේ නැත. ඒ පරීක්ෂණ ඉවර වෙන තෙක්ය. ඒ අනුව ඒ කියන පුද්ගලයාට පසුගිය බ්‍රහස්පතින්දා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට ගෙන්වා ප්‍රකාශයක් ගත්තේය. ඔහු 10 වන ශ්‍රී ලංකා පාබළ හමුදාවේ මල්ලාවි පලෙයිනගර් කඳවුරේ අණදෙන නිලධාරියා වූ ලුතිනන් කර්නල්වරයකු විය.
ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළිවුණේ ඔහු කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සිටි බවත් ඒ සමයේදී ඔහුගේ සහයකයා වී ඇත්තේ කොමාන්ඩෝ සලින්ද බවත්ය. එම මිත්‍රකම නිසා කොමාන්ඩෝ සලින්ද විසින් තමන්ගෙන් උණ්ඩ ඉල්ලා සිටි බවත් ඒ අනුව අවස්ථා දෙකකදී ටී 56 උණ්ඩ 260 ක් ලබාදුන් බවත් ඔහු කීවේය. එසේම සලින්ද විසින් එල්. එම්. ජී. ගිනි අවියක් කෝටි එකහමාරකට ඉල්ලා සිටි බවත් ක්ලේමෝ බෝම්බ දෙකක් ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කර ඇත. එහෙත් ඒවා ලබා නොදුන් බව ඔහු කියා ඇත. උණ්ඩ ලබාදීම සඳහා අවස්ථා හයකදී ලක්ෂ හයාමාරක් ඔහු ලබාදුන් බවද ඔහු කී අතර ඒ සියල්ල රාත්‍රි සමාජ ශාලා සඳහා වියදම් කර ඇත. පුදුමය නම් ඔහු කොමාන්ඩෝ රෙජිමේන්තුවෙන් ඉවත් කර ඇත්තේද මෙකී නොමනා ක්‍රියා නිසා වීමයි.
කෙසේ වෙතත් පොලිසිය සැක කරන්නේ සමාජ මාධ්‍යවල සැරි සැරූ කොමාන්ඩෝ සලින්ද වීඩියෝ කෝල් හරහා ටී 56 ගිනි අවි පරීක්ෂාවේ වීඩියෝවල සිටින හමුදා නිලධාරියා බවයි. තවදුරටත් ප්‍රශ්න කිරීමේදී හැමෝටම හැදෙන ලෙඩක් වූ මට මතක නෑ ලෙඩේද ඔහුට සැදී ඇති අතර අවසානයේ පොලිසිය තීන්දු කළේ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කිරීමටය.
මේ අතර එදිනම රහස් පොලිසිය විසින් ගම්පහ කොට්ඨාස අපරාධ ඒකකයේ උපපොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගනු ලැබීය. ඒ පද්මේ සමඟ සබඳතා පැවැත්වූ නිසාය. පද්මේට ඔත්තු ලබාදීම, ජාවාරම් සඳහා උදව් කිරීම, පද්මේගේ විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීම ආදී වැඩ ගොඩක් මෙම නිලධාරියා සිදුකර ඇත. දැනට මොහු අත්අඩංගුවට ගත්තත් පද්මේගේ සල්ලිවලින් ඩුබායි ගිය තවත් නිලධාරීන්ටද ඉදිරියේ වැඩ වරදිනු ඇත. ඒ පද්මේ සියල්ල හෙළිදරව් කරන නිසාය. ඒ නිසා මේ අත්අඩංගුවට ගැනීම් දෙස බලන විට පද්මෙලා පාතාලයෝ නොව ඒ පිරිස් පාතාලයේ තබා ගන්න උත්සාහ කළ මෙම නිලධාරීන් සැබෑ පාතාලයන්ය. ඒ නිසා මේ අවස්ථාවේදී ඒ නිලධාරි පාතාලය කෙක්කෙන් හෝ කොක්කෙන් කඩා බිම හෙළිය යුතුමය.
ගයාන් ගාල්ලගේ