වසර මිලියන ගණනක් පුරා සිදුවන මිනිස් පරිණාමය පිළිබඳව සිදු කළ නවතම පර්යේෂණයකින් ලොව විද්‍යාඥයන් මවිත කරමින් මිනිසා දෙපයින් ඇවිද යාමේ ආරම්භය සොයා ගැනීමට පර්යේෂණ කණ්ඩායමක් සමත්ව ඇත. මහනුවර උපන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ විද්‍යා උපාධිධාරී, ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මානව පරිණාම ජීව විද්‍යා විද්‍යාඥවරියක වූ ගයානි සෙනෙවිරත්න මහත්මිය ද එම පර්යේෂණ කණ්ඩායමට ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.
මෙම නවතම පර්යේෂණයට ජාත්‍යන්තර විද්‍යා සඟරා මෙන්ම ඇමරිකාවේ මාධ්‍ය ආයතනද ප්‍රචාරයක් ලබා දී තිබේ. අනෙකුත් සතුන්ගෙන් වෙනස් වී මිනිසාට ඇවිදීමේ හැකියාව ලැබෙන්නේ උකුල් ඇටයේ පිහිටීමේ සිදුවන ජානමය වෙනස් කමක් නිසා බව ගයානි සෙනෙවිරත්න ඇතුළු පර්යේෂණ කණ්ඩායම සොයාගෙන ඇත.
“මෙය සිදුවන්නේ මව්කුසේදී කලලයට මාස දෙකක් පිරෙන අවස්ථාවේදීයි. අනෙකුත් සතුන්ට වඩා මිනිසා බුද්ධිමත් වීමටත් නීරෝගී වීමටත් උකුල් ඇටයේ වෙනස් වීම බලපානවා. මේ නිසා තමයි අපි දෙපයින් ඇවිදින්නේ.”
ගයානි සෙනෙවිරත්න පවසයි.
පරිණාමවාදය නැවතත් විද්වතුන්ගේ අවධානයට ලක්වීම කෙරෙහි බලපෑ මෙම පර්යේෂණයෙහි පසුබිම් කතාව මෙසේය.
පරිණාමවාදය යනු, ජීවීන්ගේ ස්වාභාවික වෙනස්වීම් පිළිබඳ න්‍යායයි. ජීවීන් කාලයත් සමඟ ක්‍රමයෙන් වෙනස් වී, වඩාත් සංකීර්ණ සහ විවිධ වූ ආකාර බවට පත්වන්නේ කෙසේද යන්න මෙයින් පැහැදිලි කෙරේ. මෙම න්‍යාය අනුව, පෘථිවියේ සිටින සියලුම ජීවීන් පොදු මුතුන් මිත්තෙකුගෙන් පැවැත ආ බව විශ්වාස කෙරේ. කාලයත් සමඟ ඇති වූ පරිසර වෙනස්කම් සහ ස්වාභාවික වරණය වැනි ක්‍රියාවලින් නිසා, මුල් ජීවීන් වෙනස් වී නව ජීවී විශේෂ බිහි විය. ස්වාභාවික වරණය නැතිනම් ස්වාභාවිකව තෝරා ගැනීම පරිණාමවාදයේ ප්‍රධානතම අංගයයි. පරිසරයට වඩාත්ම හොඳින් අනුවර්තනය වන ජීවීන් දිවිරැක ගනිමින්, තම ලක්ෂණ ඊළඟ පරම්පරාවට ලබා දීම මෙහිදී සිදුවෙයි. දුර්වල ලෙස අනුවර්තනය වන ජීවීහු ක්‍රමයෙන් වඳවී යති. මේ ආකාරයට, පරිසරයට වඩාත් සුදුසු ලක්ෂණ ඇති ජීවීන්ගේ සංඛ්‍යාව වැඩි වෙයි.
පරිණාමවාදයෙහි පදනම
ජිරාෆ් සතුන්ගේ බෙල්ල දිගු වූ ආකාරය මීට හොඳම උදාහරණයකි. මුලදී, ජිරාෆ් සතුන්ට තිබුණු බව පැවැසෙන්නේ කෙටි බෙල්ලකි. ආහාර සොයාගැනීමට අසීරු වෙද්දී, එවැනි එක් ජිරාෆ් කොට්ඨාසයක්, ඉහළ ගස්වල කොළ කෑමට ප්‍රිය කළ බැවින්, ගෙල ක්‍රමයෙන් දිගු වන්නට ඇති බව පැවැසෙයි. හොඳින් ජීවත්වීමට, ප්‍රජනනය කිරීමට සහ තම බෙල්ල දිගු ලක්ෂණය පරම්පරාවෙන් පරම්පරාවට හිමි විය. කාලයත් සමඟ, ගෙල දිග ජිරාෆ්වරුන්ගේ සංඛ්‍යාව වැඩි වූ අතර, බෙල්ල කෙටි වුණු ජිරාෆ්වරු ක්‍රමයෙන් වඳ වී ගියහ. පරිණාමවාදය පිළිබඳ නවීන න්‍යාය ඉදිරිපත් කළේ චාල්ස් ඩාවින් ය. එබැවින් ඔහු පරිණාමවාදයේ පියා ලෙස හඳුන්වනු ලැබේ. 1859 දී, ‘ජීවයේ සම්භවය’ යනුවෙන් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය. මෙම පොතෙන්, ඩාවින් පරිණාමවාදය සහ ස්වාභාවික වරණය පිළිබඳ තම න්‍යාය ලෝකයට හඳුන්වා දුන්නේය. ගලපගොස් දූපත්වල කළ පර්යේෂණ ඇසුරින් ඩාවින් මෙම න්‍යාය ගොඩනැඟීය. එහිදී ඔහු විවිධ පක්ෂීන්, විශේෂයෙන්ම ෆින්ච් නමැති කුරුල්ලන් පිළිබඳව අධ්‍යයනය කර, පරිසරයට අනුව ඔවුන්ගේ හොටෙහි හැඩය වෙනස් වී ඇති ආකාරය නිරීක්ෂණය කළේය. ඩාවින්ගේ මෙම න්‍යාය විද්‍යා ලෝකයේ විප්ලවයක් ඇති කළ අතර, එය ජීව විද්‍යාවේ පදනම ලෙස අදටත් පිළිගනු ලැබේ.
කෙළින් ඇවිදීමේ විප්ලවය
චාල්ස් ඩාවින්, මානව පරිණාමය ගැන අදහස් පළ කළේ ‘ජීවයේ සම්භවය’ කෘත්‍රිය පළ කර වසර 12 කට පසුවය. 1871 දී එළිදැක්වූ ‘මිනිසාගේ පැවැත්ම’ නමැති එම කෘතියේ, මිනිසුන් වානරයන්ගෙන් ඇති වූ බවට ඩාවින් තර්ක ඉදිරිපත් කරයි. එහි සඳහන් අන්දමට, මිනිසා බවට පත්වීමේ ක්‍රියාවලියේදී සිදුවූ වඩාත්ම ගැඹුරු වෙනස්කම්වලින් එකක් වූයේ සිරුර කෙළින් තබා ගෙන ඇවිදින්නන් බවට පත්වීමය. මිනිසා පමණක් ද්විපාදයන් බවට පත්ව ඇත. මෙය ඩාවින්ගේ අදහසය. ඩාවින්, ද්විපාදවාදය ප්‍රකාශ කළේ, මානව වර්ගයාගේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණවලින් එකක් ලෙසය. සැම කශේරුකාවකටම නැතිනම් කොඳු ඇට පෙළකටම, ශ්‍රෝණියක් තිබුණත්, සෘජුව දෙපයින් ගමන් කිරීමට එය යොදාගන්නේ මිනිස් අප පමණි. මෙය මනුෂ්‍යයන්ගේ සුවිශේෂ ලක්ෂණයකි. මිනිස් ශ්‍රෝණියෙහි පරිණාමය සහ අපගේ ද්විපාද ගමන වසර මිලියන 5 ක් තරම් ඈතට දිව ගියත්, එය සිදුවූ නිශ්චිත පරිණාමීය ක්‍රියාවලිය මෙතෙක් අබිරහසක්ව පැවතිණ.
නවතම පර්යේෂණය මගින්, මුල් මිනිසාට දෙපයින් ඇවිදීමට හා ලොකු මොළයක් ඇති (ලොකු මොළයක් යනුවෙන් අදහස් කරන්නේ වානරයන් සහ වඳුරන්ට ඇත්තේ කුඩා මොළයක් බවය. ලොකු මොළයක් යනු බුද්ධියෙන් වැඩි යැයි අර්ථ ගැන්වීමටය.) දරුවකුට උපත දීමට ඉඩ සැලසූ ශ්‍රෝණියෙහි සිදුවූ ප්‍රධාන ව්‍යුහාත්මක වෙනස්කම් හඳුනාගෙන තිබේ. පසුගිය ‘ද නේචර්’ සඟරාවේ මේ සම්බන්ධයෙන් පර්යේෂණ ලිපියක් පළ විය.
මිනිසුන්ගේ සහ අනෙකුත් ක්ෂීරපායීන්ගේ කලල අවධියේදී ශ්‍රෝණියෙහි වර්ධනය සංසන්දනය කර බැලීමේ දී කලල වර්ධනයේදී සිදුවූ ප්‍රධාන පරිණාමීය පියවර දෙකක් සොයා ගැනීමට ආචාර්ය ගයානි සෙනෙවිරත්න මහත්මිය සහ ඇගේ පර්යේෂණ කණ්ඩායම සමත් වීම විශේෂත්වයකි. මෙම වෙනස්කම් කාටිලේජ සහ අස්ථි වර්ධනයට සම්බන්ධයි. එමගින් මිනිසා අනෙකුත් වානරයන්ගෙන් වෙනස් පරිණාමීය මාවතකට යොමුවී ඇති බැව් පැවැසෙයි.
ශ්‍රී ලාංකීය අභිමානය
ගයානි සෙනෙවිරත්න නිව්යෝක් නුවර කේන්ද්‍රකොටගත් විට්නි පදනම විසින් පිරිනමන “හෙලන් හේ විට්නි’ පශ්චාත්-ආචාර්ය පර්යේෂණ ශිෂ්‍යත්වය ද හිමි කරගෙන ඇත. ඒ ඇගේ විශිෂ්ට අධ්‍යයන කුසලතා වෙනුවෙනි. මෙම ශිෂ්‍යත්වය ජාත්‍යන්තරව පිළිගත් සම්මානයක් වන අතර, එය මීට පෙර නොබෙල් ත්‍යාගලාභීන් කිහිප දෙනකුට ද පිරිනමා ඇත. ගයානි සෙනෙවිරත්න උසස් පෙළ විභාගය සඳහා මහමායා බාලිකා විද්‍යාලයේදී විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබා ඇත. ඇය 2009 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළු වී සත්ව විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව පිළිබඳව හැදෑරුවාය. ඇය පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබාගත් අතර, පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන දෙකක් සහ ශ්‍රී ලංකා පර්යේෂණ ආයතනයෙන් හොඳම විද්‍යා පර්යේෂණ සඳහා සම්මානයක් ද හිමි කර ගත්තාය. ඇගේ උපාධියෙන් පසු, ඇය ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල දහයෙන් එකක් වන චිකාගෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ශිෂ්‍යත්වයක් ලබා ගත්තාය. ඇගේ ආචාර්ය උපාධි පර්යේෂණයේදී, බිලිඳුන්ගේ කශේරුකාවට බලපාන ජානමය අසාමාන්‍යතාවක් සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගත හැකි, ගෙම්බන්ගේ වර්ධනයට අදාළ ජානයක් සොයා ගත්තාය. මෙම පර්යේෂණය ඇමෙරිකාවේ ඉහළ අවධානයක් දිනාගත් අතර, ඇගේ පර්යේෂණ වාර්තා විද්‍යා සඟරාවල පළ විය. ඇය පශ්චාත්-ආචාර්ය උපාධිධාරිනියක් ලෙස හාවඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වූයේ, මිනිස් ශ්‍රෝණි මේඛලාව වර්ධනය වන ආකාරය සහ ඒ හා සම්බන්ධ රෝග පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහාය.
හිටපු සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න සහ භාග්‍යා සෙනවිරත්න යුවලගේ දියණිය වන ගයානි සෙනවිරත්න මහත්මියගේ සැමියා රෝහිත් රාජ් මහතාය. කාන්තාවන් හා සුළු ජාතිය බල ගැන්වීමත්, නවීන තාක්ෂණය යොදා ගනිමින් විද්‍යාත්මක ප්‍රශ්නවලට විසඳුම් දිය හැකි විද්‍යාගාරයක් පවත්වාගෙන යාම ඇගේ අරමුණ වී තිබේ.
ලුසිත ජයමාන්න
ජේ.ඒ.එල්. ජයසිංහ
(ද නේචර් ඇසුරිනි)