- අමුද්‍රව්‍ය කිලෝ 50000 ක් ගෙනැත්
- අයිස් නිෂ්පාදනාගාරය හදන්න නුවර එළියෙන් ඉඩමක් අරන්
- කන්ටේනර් දෙක ජනවාරියේ කොළඹ වරායෙන් මුදවාගෙන
- වැඩේ පටන් ගන්න පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙක් ඇවිත්
ඉන්දුනීසියාවේ ජකර්තාවල සැඟව සිටි කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස් දෙනෙකු අත් අඩංගුවට ගත්තේ දැනට සති දෙකකට කලින්ය.එසේ අත්අඩංගුවට ගත් කණ්ඩායම දෙකට බෙදා කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ද සහ පානදුර නිලංග යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලබාදුන් අතර බැකෝ සමන් සහ තැඹිලි ළහිරු බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය වෙත ලබාදෙන ලදි.
පසුගියදා බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මීට පෙර ලැබුණු ඔත්තුවකට අනුව පුද්ගලයකු අත් අඩංගුවට ගත්තේය. ඒ පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ ට්‍රැක්ටර් රියදුරෙකි.එලෙස ඔහු අත්අඩංගුවට ගත්තේ බැකෝ සමන්ගේ හෙළිදරව් කිරීමකට අනුවය.ඒ නඳුන් චින්තක නොහොත් හරක් කටා ඝාතන කුමන්ත්‍රණයකට අදාළවය.
මෙම ඝාතන කුමන්ත්‍රණය ගැන තොරතුරු ආවේ අගෝස්තු තුන්වැනිදාය. ඒ හතර වැනිදා හරක් කටා අධිකරණයට රැගෙන එන මොහොතේ සිදුකිරීමට යන ප්‍රහාරයක් ලෙසය.එහෙත් පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය යොදවා ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලබාදුන්නේ නැත. කෙසේ වෙතත් සැලසුම ක්‍රියාත්මක වෙන විට පද්මේ සහ සලින්ත සිටියේ ඉන්දුනීසියාවේ ය.
මෙම සිදුවීමට අදාළව මිද්දෙණියෙන් අදාළ සැකකරු ගන්නා විට ඔහු සඳහන් කළේ හරක් කටා අධිකරණයට ගෙන එන අවස්ථාවේ මාධ්‍යවේදියකු ලෙස වෙස් වළාගෙන විත් කැමරාව තුළ සඟවා ගෙන එන ගිනි අවියක් යොදා ගෙන අදාළ ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කළ බවයි. මීට පෙර පෑලියගොඩ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් පස්දේවා විසින් අදාළ කැමරාව කුරුණෑගල ප්‍රදේශයෙන් මිලදී ගෙන ලබාදී තිබූ අතර අදාළ කැමරාව දෙපලු කර රිවෝල්වරයක් ඇතුළු කර සකසා දී තිබුණේ ගම්පහ ප්‍රදේශයේ පද්මේගේ හිතවතෙකු විසිනි.පසුව වෙඩික්කරු පැමිණ කැමරාව රැගෙන යන තෙක් අදාළ කැමරාව මිද්දෙණියේ බැකෝ සමන්ගේ මිත්‍රයා සන්තකයේ තබා තිබුණේය. එහෙත් පිරිස අත්අඩංගුවට පත්වීමත් සමඟ අදාළ ගිනි අවිය එළියට ගෙන කැමරාව ගලවා මෙම සැකකරු ගිනි තබා තිබුණේ සියලු සාක්ෂි සඟවමිනි.
කෙසේ වෙතත් මෙම පරීක්ෂණවලට අදාළවත් බැකෝ සමන්ගේ ප්‍රකාශවලට අදාළවත් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු කණ්ඩායමක් එහි අධ්‍යක්ෂ රොහාන් ඕලුගලගේ උපදෙස් මත එහි ගොස් පරීක්ෂණ ආරම්භ කළේය. එහිදී අනාවරණය වූයේ එම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් ආසන්නයේ කන්ටේනර් පෙට්ටි දෙකක් තිබූ බවත් ඒවා සොයාගත නොහැකි බවත්ය. පසුව පොලිසිය ආවේශන රාජකාරි කර බැලුවත් අදාළ කන්ටේනර් දෙක සොයාගැනීමට හැකි වූයේ නැත. පසුව පොලිසිය නැවත පැමිණ බැකෝ සමන් ගෙන් ප්‍රශ්න කළ විට ඔහු පවසා ඇත්තේ අදාළ කන්ටේනර් දෙක වැඩි ආරක්ෂාව සඳහා මිද්දෙණියේ හිටපු ප්‍රාදේශීය දේශපාලඥයකු විසින් භාරගත් බවයි. මෙම දේශපාලනඥයා පසුගිය කාලයේ බලය තිබූ පක්ෂයක අයකු වෙන අතර ප්‍රබල හිටපු දේශපාලනඥයෙකුගේ ලේකම්වරයකු බවද දැනගන්නට ඇත. කෙසේ වෙතත් ඒ දේශපාලන බලය යොදාගෙනද නැතුවද මෙම ජාවාරම්වල නිරත වූයේ යන්න අප දන්නේ නැත. එහෙත් පොලිසිය පවසන්නේ බැකෝ සමන් පවසන පරිදි මෙම ප්‍රාදේශීය දේශපාලනඥයා මන්නාරම ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය රුගෙන ඒම ආදී ක්‍රියාවලත්,බැකෝ සමන්ගේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම්වලත් නිරතවී ඇති බවය.
ඒ අනුව අදාළ ප්‍රාදේශීය දේශපාලනඥයාත් කන්ටේනර් දෙකත් සොයා පොලිස් නිලධාරීන් අදාළ ප්‍රදේශයේ පරීක්ෂණ ආරම්භ කළ අතර සීසීටීවී පරික්ෂා කිරීමේදී ඔවුන්ට දැකගැනීමට හැකිවූයේ ට්‍රැක්ටර් මාර්ගයෙන් අදාළ රසායන ද්‍රව්‍ය එක් එක් අවස්ථාවල අදාළ ඉඩමෙන් පිටමං කරන බවය. අක්කර හතරක් පහක් වන එම ඉඩම වාහන අංගණයක් සහිත බව පොලිසියට දැක ගැනීමට හැකි විය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වුණු පොලිසිය අදාළ ස්ථානය වටලා ඒ භූමිය පරීක්ෂා කළේය. එහිදී දැක ගැනීමට හැකි වුණේ මීට දින කිහිපයකට පෙර අදාළ භූමිය සකසා ඇති බවය. ඒ අනුව වහාම යුද හමුදාවත්, විශේෂ කාර්ය බළකායත් ආරක්ෂාවට යොදවා පරීක්ෂණ කණ්ඩායම එම ස්ථානය කැණීමට පටන් ගත්හ. ඒ අනුව සියලු දෙනා පුදුම කරමින් වළ දමා තිබූ අයිස් සැකසීම සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍ය තොගය සොයාගැනීමට පොලිසියට හැකි විය.අදාළ පාර්සල් පරීක්ෂා කිරීමේදී දැකගැනීමට හැකිවූයේ හුණු ගල් වැනි සෙරමික් සෑදීම සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යයක් වැනි ද්‍රව්‍යයකි.ඒවා අතට ගත්තත් අධික දැවිල්ලක් එන බව පොලිසියට තේරුම් ගියේය.
පසුව පොලිසිය තවදුරටත් පරීක්ෂා කිරීමේදී හෙළිවුණේ මෙම අමුද්‍රව්‍ය කිලෝ 50,000කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් ඉන් කිලෝ 7000 කට අධික ප්‍රමාණයක් වෙනත් තැන්වලට රුගෙන ගොස් ඇති බවත්ය. නීතිය හා සාමය භාර ඇමතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කෙහෙල්බද්දර පද්මේ අයිස් නිෂ්පාදනාගාරයක් හදන්නට සූදානම් වූ බව කියන පුවත දැකීමෙන් පසුව අදාළ ඉතිරිය එලෙස වළ දමා ඇත. කෙසේ වෙතත් වැටලීම සිදුකළ දිනයට පසුදින ප්‍රදේශයම වැසෙන්නට කොන්ක්‍රීට් කිරීමට පිරිස සුදානම් වී සිට ඇති බවත් මෙහිදී හෙළි දරව් විය. කෙසේ වෙතත් ගැටලුව වෙන්නේ මෙම රසායන ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වා ඇත්තේ පසුගිය ජනවාරි මාසය තුළදී වීමය. අදාළ කන්ටේනර් පෙට්ටි දෙකම කොළඹ වරායෙන් මුදවාගෙන ගොස් ඇති අතර එය එලෙස මුදවා ගත්තේ කෙසේද යන්න සැමට ගැටලුවක් වී තිබේ.
මේ අතර මෙම වැටලීම සිදුකිරීමට දින කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ මෙම කතාව පද්මේ විසින් පවසා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. ඒ සඳහා රසායනාගාරයක් නිර්මාණය කිරීමට නුවර එළිය ප්‍රදේශයේ ඉඩමක් ලක්ෂ හතළිහකට පද්මේ විසින් මිලදී ගෙන ඇති බවත් සඳහන් කර ඇත. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සොයාගත් කරුණ වූයේ අදාළ කන්ටේනර් පෙට්ටි දෙකක් මෙරටට රැගෙන විත් ඇති බවත් ඉන් කිලෝ 2000ක් නුවර එළිය ප්‍රදේශයට ගොස් ඇති බවත්ය. එම රසායනාගාරයේ රැකියාව කිරිම සඳහා ඉරාන ජාතිකයන් සේම පාකිස්ථාන ජාතිකයන්ගේද සහාය ලබාගෙන ඇති බවත් ඉන් පාකිස්ථාන ජාතිකයන් දෙදෙනා මෙරටට පැමිණ ඇති බවත් අනාවරණය විය. කෙසේ වෙතත් මෙම ජාවාරම පිටුපස ප්‍රබල ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සිටින බවද අනාවරණ වී තිබේ.
මෙතැම්පිටමින් හෙවත් ක්‍රිස්ටල් මෙත් එසේ නොමැති නම් අයිස් යනු ශ්‍රී ලංකාව ගිල ගනිමින් සිටින වසංගතයක් වී ඇත.මේ වන විට හෙරොයින් භාවිත කරන්නන් පවා අයිස්වලට හුරුවී ඇත. ඒ නිසා අයිස් ඉල්ලුම එන්න එන්නම ඉහළ ගොස් ඇත. දෛනිකව භාවිත කරන ප්‍රමාණය විශාල වී තිබේ. ඉල්ලුම අනුව සැපයුම ලබාදීමට නොහැකි නිසාත් ගෙන්වීමට විශාල බාධා ඇති නිසාත් මොවුන් මෙලෙස නිෂ්පාදනය කරන්නට සූදානම් වූවා විය හැක.එහෙත් මෙය හෙළි නොවුණා නම් රටම අයිස්වලින් වෙළා ගන්නේ බලාසිටියදීමය. එය කෙසේ වන්නේද කියා සිතාගන්නට නොහැක. එහෙත් පද්මෙලා පොලිසියට කොටුවීම නිසා සියල්ල කණපිට හැරි ගියේ නොසිතූ ලෙසය. ඒ සඳහා කැපවූ සියලු පොලිස් නිලධාරීන්ට රට වැසියන් ගෞරව කළ යුතුය.එසේ නොවුණා නම් විනාශ වෙන්නේ ඔබේ දරුවා හෝ සහෝදරයාය, නැතිනම් ස්වාමියාය.දැන් දැන් තරුණියෝද අයිස් පානයට දැඩිව ඇබ්බැහි වී සිටිති.ඒ නිසා සමස්ත සමාජයම මෙම ජාවාරමෙන් මුදවා ගැනීම ලෙහෙසි පහසු නැත.කිසිදු දිනෙක මෙරට සිදු නොවූ දේවලට අපරාධකරුවන් අත තබන්නට පටන් ගෙන ඇත.ඒ නිසා පොලිසිය තව තවත් ක්‍රියාත්මක වුව හොත් මේ ජාලය බිඳ හෙළිය හැකිවෙනවා සේම ඒ ජාලයට උදව් උපකාර කළ මජර දේශපාලනයද අවසන් කළ හැක.
රසායන ද්‍රව්‍ය