පක්ෂය තුළ ඒ පවුලට හැර වෙනත් කාටවත් අවස්ථාවක් නෑ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 

අනුර ප්‍රියදර්ශන යාපා

  • අපි පාර්ලිමේන්තුවේ විපක්ෂය සමග කටයුතු කිරීම ආරම්භ කළා
  • පක්ෂය අපට සැලකුවේ කරපිංචා ගානට

ආණ්ඩුවෙන් ස්වාධීන වී විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගය සමග එක්වූ බවට පුවත් පළ විය. එය සත්‍යයක්ද? අනුර ප්‍රියදර්ශන යාපා මහතා සමග මේ කතාබහ ඒ සම්බන්ධයෙනි. 

?ඔබ දැන් පොහොට්ටුවෙද? 
එජාපෙද?   


පිළිතුර:- මම පොහොට්ටුවෙන්නේ පාර්ලිමේන්තුවට පත් වුණේ. මෙතැන අර්ථ නිරූපණය තමයි වැරැද්ද වුණේ. අපි මුලින්ම විපක්ෂයේ වාඩි වුණා. ඒ කණ්ඩායමේ අපි කීප දෙනෙක් කල්පනා කළා. විපක්ෂයේ වාඩි වුණාම අපට ඇතිවෙලා තියෙන ප්‍රශ්න ගැන.   


?ප්‍රශ්නය:- මොනවද මේ ප්‍රශ්න?   


පිළිතුර:- පාර්ලිමේන්තුවේ කතා කරන්න අපට මිනිත්තු පහයි ලැබෙන්නේ. නැගිටලා ඉඳගන්නකොට මිනිත්තු පහ ඉවරයි. ඒ නිසා අපි කල්පනා කළා සජබෙ තුළ සන්ධානයක් තියෙනවා. අපිත් කණ්ඩායමක් හැටියට ඒගොල්ලොත් එක්ක වැඩ කරනවා. ඒක තමයි ඇත්තටම වුණේ.   


?ඒ කියන්නේ සජබෙට ගියේ නෑ?   


පිළිතුර:- සාමාජිකත්වය ගන්න කියලා සජබෙ අපිට කිව්වෙත් නෑ. අපි ගත්තෙත් නෑ. නමුත් අපි කණ්ඩායමක් හැටියට සජබෙ අනික් කණ්ඩායම් වගේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න තමයි අපි මේ තීන්දුව ගත්තේ.   


?එතැනදි ඔබේ කණ්ඩායමේ ඉන්න ජෝන් සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සහ ප්‍රියංකර ජයරත්න කියනවා නෑ. නෑ. අපි එහෙම ගියේ නෑ කියලා?   


පිළිතුර:- ප්‍රියංකර ජයරත්න නම් ලංකාවේ හිටියේ නෑ. ජෝන් සෙනෙවිරත්න මැතිතුමා නම් හැම වෙලාවෙම ස්වාධීන මතයකනේ ඉන්නේ. අපේ කණ්ඩායමේ විවිධ මත තියෙනවා. ඔවුනොවුන්ගේ පෞද්ගලිකත්වයට අපි හැමවිටම ගරු කරනවා. තනි මතයකට නමා ගන්න අපි උත්සාහ කළේ නෑ. ඒක ඒගොල්ලන්ගේ තීන්දුවක්. අපි පක්ෂය අතහැරල පක්ෂයකට ගියෙත් නෑ. අපි පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂය සමග වැඩ කටයුතු කිරීම තමයි ආරම්භ කළේ. ඔය මුල් අවස්ථාවේදීම මාධ්‍යයට නිකුත් කළ මාධ්‍ය නිවේදනය නිසයි වැරැදි අදහසක් ඇති වුණේ. ඒ වැරැදි අදහස තමයි ඔවුන් ප්‍රතික්ෂේප කළේ. අපට තව අදහසක් තිබුණා. අපේ රටේ පොදු විපක්ෂයක් බිහිවිය යුතුයි කියන අදහස අපට තිබුණ. ප්‍රතිපත්තියක් මත ක්‍රියාකරන විපක්ෂයක් අවශ්‍යයි. මේ දේශපාලන ඔද්දල්කමට මුහුණ දෙන්න. දැන් විශාල ඔද්දල්කමක් තියෙනවනේ. පොහොට්ටුව ගත්තේ දැන් ඔවුන්ට රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල්වාදී දේශපාලනය ඉදිරියට ගෙනියන්න වෙලා තියෙනවා. ජේවීපී එක එක්තරා විදියකින් අන්ත වාමවාදී දේශපාලයක් කරන්නේ. සාමාන්‍ය මැද ජනාතවට තැනක් නෑ. තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න. ඉතින් අපි කල්පනා කළා එක්තරා පොදු සන්ධානයක් ගොඩනගන්න. එ්කට සජබෙත් ඉන්න ඕනෑ. දැනට අපි එක්ක ඉන්න කණ්ඩායම් පක්ෂ සියල්ලම සිටිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. නිදහස කණ්ඩායම ගත්තොත් ඒගොල්ලන්ගේ සෑම පොදු වැඩකදීම සියලු පක්ෂවලට ආරාධනා කරනවා. මම හිතන විදියට පොදු සන්ධානයක් ගොඩනැගීම අවශ්‍යයි. පුද්ගල බද්ධ නොවන. නමුත් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. රටේ ඉතාම භයානක ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒ ආර්ථික අර්බුදයේදි අපේ රට පුරුදු වෙලා ඉන්නේ එක්තරා විදියකට සහනාධාරය මත යැපෙන්න. අවුරුදු හැත්තෑ හතරක්ම ආවේ එහෙමනේ. ඒ නිසා අපි රාජ්‍ය අංශය නවීකරණය කළේත් නෑ. පෞද්ගලික අංශය ශක්තිමත් කළේත් නෑ. සහනාධාර දීමෙන් ඒ අවස්ථාව ගොඩ දැමීම තමයි මෙච්චර කාලයක් කළේ.   


?ඡන්දෙ ගන්න සහනාධාර දුන්නා?   


පිළිතුර:- හරියටම හරි? ඡන්ද ලබාගන්න තමයි. උපාධිධාරීන් රැකියා නෑ කිව්වොත් එකපාර හැට හැත්තෑ දාහකට පුරප්පාඩු නැතත් රස්සා දෙනවා. ඊට පස්සේ අට පාස් ලක්ෂයකටත් රස්සා දුන්නා. දැන් අපිටම කල්පනා වෙනවා අපට මෙහෙම යන්න පුළුවන්ද කියලා.   


?ඕවා දෙනකොට ඔබත් ආණ්ඩුවේ?   


පිළිතුර:- ඔව්! ඒකනේ අපි ස්වාධීන වුණේ. ඉදිරියට ගිය හැම රටක්ම එහෙම ගියේ ජාතික ආදායම වැඩිකරගෙන. වැඩිකරපු ජාතික ආදායම ප්‍රතිලාභයක් හැටියට තමයි ආපසු ජනතාවට යන්නේ. ජාතික ආදායම දුර්වල වෙනකොට මහජනයා අතේ සල්ලිත් නෑ. ආණ්ඩුව අතේ සල්ලිත් නෑ. බැංකුවේ සල්ලිත් නෑ. ඒකට තමයි ආර්ථික අර්බුදය කියන්නේ. ඒ නිසා පුද්ගල බද්ධ නොවන ප්‍රතිපත්ති මත රැඳුණ වැඩපිළිවෙලක් අවශ්‍යයි. දැන් ගත්තොත් පාර්ලිමේන්තුවේ තිබුණ ජනාධිපතිවරණයේදී ඩලස් අලහප්පෙරුමට ප්‍රධාන වශයෙන් සහාය දුන්නේ සජබෙ. ඒ නිසා ප්‍රතිපත්තිමය රාමුවක වැඩ කරන්න පුළුවන් සන්ධාන ක්‍රියාවලියක් ගැන අපේ අදහසක් තියෙනවා.   


?ආණ්ඩුවේ හිටපු ඔබලාට ස්වාධීන වෙන්න බලපාපු කාරණා මොනවාද?   


පිළිතුර:- ඒකට හේතු ගණනාවක් බලපෑවා. ඇත්ත වශයෙන් ගත්තොත් පොහොට්ටුව තුළ විශාල පිරිසක් හිටියා කිසිම පිළිගැනීමක් නැතිව. අඩුම තරමේ අපේ දිස්ත්‍රික්ක තුළවත් අපට පිළිගැනීමක් තිබුණෙ නෑ. පක්ෂය අපට සැලකුවේ කරපිංචා ගානට. ඕනෑම වෙලාවක විසි කරන්න පුළුවන් විදියට තමයි අපට සැලකුම් ලැබුණේ. එ්ක පැත්තකින් තියන්නකෝ. ඒක පෞද්ගලික ප්‍රශ්නයක්. ඊට එහා පැත්තේ අපට සිද්ධ වුණ දේ තමයි අපට පෙනී ගියා රටේ ආර්ථිකයට ඍජුවම අහිතකර ලෙස බලපාන තීන්දු රාශියක් ගත්තා. පොහොර ප්‍රශ්නය ගන්න. අද පවා අපට ඒ විපතෙන් ගැලවෙන්න බෑ. අපේ අස්වැන්න නැති වුණා. ගොවියෝ අමාරුවේ වැටුණා. රටේ විප්ලවය මුලින්ම පටන් ගන්නේ කොළඹින් නොවෙයිනේ. ගොවියාගෙන්නෙ. ගොවියගෙ විප්ලවය කනකටවත් ගත්තේ නෑනේ. ඊට පස්සෙ ආර්ථික අර්බුදය ආවනේ. විදුලිය කපන්න වුණා. ගෑස් පෝලිම් ආවා. ඉන්ධන පෝලිම් ආවා. අන්න එතකොට පොදු සමාජ අර්බුදයක් නිර්මාණය වුණා. ගොවියගෙ හඬ ශත පහකට ගණන් ගත්තේ නෑ. ගොවියට අපහාස උපහාස කළා. පස්සෙ ඇස් ඇරල බලනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි.   

?මේ ප්‍රශ්න ඔබලා ගෲප් එකේදි කතා කළේ නැද්ද?   


පිළිතුර:- නිතරම කතා කළා. ගෲප් එකේදි පමණක් නොවෙයි කතා කළ හැකි සෑම තැනකදිම අපි කතා කළා. මම විතරක් නොවෙයි විශාල පිරිසක් හිටියා. ඒ සමහරු තවමත් ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. සමහරුන්ට මේ කතාව කියන්න බැරි වුණාම පාටිවලදි හොඳට බීලා කියනවා. ඒ අය තාම ඉන්නෙ පොහොට්ටුව ඇතුළේ. නමුත් උද්දච්ඡභාවය හා මුග්ධ බාවය කියන එක ආවට පස්සේ කාටවත් තමන් කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරිවෙනවා.   


?මහින්ද රාජපක්ෂ ඇයි මේවට මැදිහත් නොවුණේ. ඔහු පොහොට්ටුව ඇතුළේ දුර්වල වුණේ කොහොමද?

   
පිළිතුර:- ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නය. මහින්ද රාජපක්ෂ මැතිතුමා දුර්වල වුණාද නැත්නම් ඔහු නිශ්ශබ්ද වුණාද? නිශ්චිත කාරණා සම්බන්ධයෙන් මැදිහත්වීමක් නොකළාද කියලා මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අවස්ථා දෙක තුනකදීම මම එතුමට කිව්වා ‘ඔබතුමා කරුණාකරලා මැදිහත් වෙන්න. තත්ත්වය ඉතාම නරක අතට හැරෙමින් තියෙන්නේ’ කියලා. නමුත් ඒ දේ වුණේ නෑ. ඇතැම්විට එතුමා හිතන්න ඇති ‘මම දැන් මගේ බලය දීලා තියෙනවා. මම ඒ අය පාලනය කරන්න යන්න ඕනෑ නෑ’ කියලා. ඒ වගේම මට හිතෙනවා මහින්ද මහත්තයගෙ කීමත් නොසලකා හරින තත්ත්වයක් තිබුණ කියලා. ඇත්තටම පක්ෂය විසින්ම තමයි තමන්ගෙ නායකයා දුර්වල කළේ.   


?රාජ්‍ය නායකයා ගෝඨාභය වුණාම නොනිල රාජ්‍ය නායකයා බැසිල් කියලා සමහරු කියනවා?   


පිළිතුර:- ඇත්ත. ඒක මෙහෙමයි. බැසිල් මැතිතුමා පක්ෂයේ සංවිධායකයා වුණානේ. පක්ෂය මෙහෙයවනු ලැබුවේ ඔහු. ආර්ථික කාරණාවලදිත් ඔහු බරපතළ විදියට බලපෑම් කළා. ඒ වගේම එහෙයි කියන නිලධාරීන් කණ්ඩායමක් සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග වැඩ කරපු අර නොදන්න කණ්ඩායමක් හිටියා. ඔවුන් තමයි තීන්දු ගත්තේ. විශ්‍රාමික හමුදා නිලධාරීන් අමාත්‍යාංශ ප්‍රධානීන්, ආයතනවල ප්‍රධානීන් බවට පත් කළා. සමහර අයට තානාපතිකම් දුන්නා. සමහර අයට මුදල් අමාත්‍යාංශයෙ පත්වීම් ලබා දුන්නා. සමහර අයට විදේශ අමාත්‍යාංශ ලේකම්කම දුන්නා. මේවා මේ දැනගෙන කරන්න ඕනෑ දේවල්නෙ. මේවා නොදන්නා අයට ගියාට පස්සෙ සෑම අංශයක්ම බිඳ වැටුණා. රටේ ඉරණම මේ විදියට තීරණය වුණේ ඒ විදියටයි. ජනාධිපතිවරයෙකුට පූර්ව දේශපාලන අත්දැකීම් තිබිය යුතුයි. නමුත් මතයක් ආවනේ පූර්ව දේශපාලන අත්දැකීම් අවශ්‍ය නෑ කියලා. 225 මත් ඕනෑ නෑ. පූර්ව අත්දැකීම් ඕනෑත් නෑ. හොඳ වැඩ කාරයෙක් ආවම ඇති කියලා කිව්වනේ. රටක් එහෙම ගෙනියන්න බෑ. දේශපාලනය කියන එක වෙනම විෂයක්. ඒක හදාරන්න ඕනෑ. දැන් වෙනස පේනවනේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සන්සන්දනය කළාම.   


?ඔබ කියන්නේ ගෝඨාභය අසාර්ථකයි. රනිල් සාර්ථකයි කියලයි?   


පිළිතුර:- සාර්ථකයි කියලා කියන්නේ නෑ. නමුත් ඔහු ඉතා හොඳින් වර්තමාන තත්ත්වයන් තේරුම් ගන්නවා. ඒ වගේම ඉතා ඉක්මණින් ක්‍රියාත්මක වෙනවා. ඒ තත්ත්වය අපි ගෝඨාභය මහත්මයාව සන්දන්දනය කළොත් ඔහුට වඩා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අත්දැකීම් වැඩියි. අපි විපක්ෂයට ගිහින් වාඩිවුණාට පස්සෙත් පොහොට්ටුව උදම් අනමින් හිටියනේ ‘අපි තමයි ලංකාවේ ප්‍රමුඛ බලවේගය’ කියලා. මේ ප්‍රමුඛ බලවේගයට බැරිවුණා. තමන්ගෙ කෙනෙක්ව අගමැතිධුරයට ගේන්න. ජනාධිපති ධුරයට ගේන්න. පක්ෂයෙ ඉන්නවනේ කණ්ඩායමක්. ඒ කෙනෙක්ව පත් කළේ නෑ. පවුලෙන්ම කෙනෙක් එනකන් ඒක දුන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට. ඒකෙ තියෙන දිගු කාලීන අදහස් මට තේරෙන්නේ නෑ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරයක් විදියට ඉදිරියට ආපු කණ්ඩායමේ ඔළුවට හයි කෙරුවා නව ලිබරල්වාදී මත තියෙන නායකයෙක්. ඒ නව ලිබරල්වාදී චින්තනය පොහොට්ටුව දැන් පිළිගන්නවා.   


?ජනාධිපතිකම හා අගමැතිකම පොහොට්ටුවේ කෙනෙකුට නොදුන්නේ අනාගතයේදි ඒක නාමල්ට ප්‍රශ්නයක් වෙයි කියල හිතපු නිසා කියලද ඔබ කියන්නේ?   


පිළිතුර:- ඔව්! එහෙම වෙන්න පුළුවන්. නමුත් මං ඒක හරියටම දන්නේ නෑ. පවුලෙන් පිට කෙනෙකුට මේක දෙන්නේ නෑ කියලා මුල් අවස්ථාවෙදිම කිව්වනේ. ‘‘අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් දාන්නේ නෑ’ කියලා පක්ෂයේ ලේකම් කිව්වනේ. පක්ෂය තුළ ඒ පවුලට හැර වෙනත් කාටවත් අවස්ථාවක් නෑ.   


?ඔබලා ස්වාධීන වෙන්නෙත් මේක ඇතුළේ අපට අනාගතයක් නෑ කියලා තේරුණ නිසා?   


පිළිතුර:- ඒකත් එක හේතුවක්. එහෙම දේශපාලන පක්ෂයක අපි ඉන්නකොට ඒකේ තියෙනවනේ යම් ආකාරයක ජ්‍යෙෂ්ඨත්වයක්. පලපුරුද්දක්. මම මේ තනතුරු ගැන නොවෙයි කියන්නේ. පක්ෂය තුළ කෘතවේදිත්වයක් තිබිය යුතුයිනේ. අපි නිකම්ම නිකන් දේශපාලනයට ආපු අය නොවෙයිනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මට්ටමට ගේන්න යම් මට්ටමකින් අපි තරුණ කාලේ සෑහෙන්න මහන්සි වුණා. අපට ඇතිවුණ ගැටුම්, අපට තිබුණ ප්‍රශ්න මැතිවරණයක් කරන්න ගියාම අපට ඇතිවන මුදල්මය ප්‍රශ්න, මේ ඔක්කොම අපට තිබුණා. අපි අපේ වෘත්තීන් සියල්ලම පැත්තට දාලා ආවේ. එහෙම නැතුව දේශපාලනයෙන් කන්න හොයාගන්න ඕනෑ කියලා ආපු අය නොවෙයි. ඕනෑම පුද්ගලයකුට ආත්ම ගරුත්වයක් තියෙනවා. මම කැමති නෑ ආත්ම ගරුත්වයත් එක්ක සෙල්ලම් කරන්න. ඒක මගේ හිතට හරියට කේන්ති යන දෙයක්. ආත්ම ගරුත්වය වෙනුවෙන් මම හැම වෙලාවකම සටන් කරනවා.  


?පොහොට්ටුවෙන් පිරිසක් වගේම සජබෙන් පිරිසක් කැඩිලා ජනාධිපති රනිල් ළඟට එනවා කියනවා. මොකක් වෙයිද?  


පිළිතුර:- එහෙම දේවල් වීමට තියෙන ඉඩකඩ වැඩියි. අද තියෙන දේශපාලන අස්ථාවරත්වය තුළ යම් යම් කණ්ඩායම් එහාට මෙහාට යන්න ඉඩ තියෙනවා. මම ඒක නෑ කියන්නෙ නෑ. මට වුණත් ඇමතිකමක් අරගෙන යන්න තිබුණා. ඒක නොවෙයි මගේ බලාපොරොත්තුව. අපි පරිණත අය විදියට තනතුරුවලට වඩා ප්‍රතිපත්තියක් අවශ්‍යයි. රටක් ඉදිරියට ගෙනියන්න. මේ පාර අලුත් තරුණ ඡන්ද ලක්ෂ තුනහමාරක් ලැයිස්තුවේ ඉන්නවා. හැට වැනි දශකයේ ඉඳලා මේ දක්වා පරම්පරා කීයක් ඉන්නවද? මේ දීර්ඝ කාලයක් තිස්සෙ අරගෙන ගිය ආර්ථික උපාය මාර්ගයෙ වැරැද්ද නිසා ඇතිවුණ මහා ඛේදවාචකය තමයි මේ. අපිත් යම් ප්‍රමාණයකට වග කියන්න ඕනැ. ඕක අපි යුක්ති සහගත ලෙස නැවත නිවැරැදි කරන්න ඕනැ. අපි දැනගෙන හිටියා මෙහෙම ගියොත් රටට මෙහෙම වෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් අපටත් වගකීමක් තියෙනවා. ඒක තමයි මේ නිවැරැදි කරන්නේ.  


?විමල් - උදය ඇමති ධුරවලින් නෙරපා හරින​කොට ඒ සම්බන්ධයෙන් ඔබලා දැනුවත්ව හිටියද?  


පිළිතුර:- නෑ අපි දැනගෙන හිටියෙ නෑ. අපි දන්නෙත් නෑ හේතුව මොකක්ද කියලා. අපි දැනගෙන හිටියා දෙගොල්ලො අතර ගැටුමක් තියෙනවා කියලා. බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග තමයි ඒ ගැටුම තිබුණෙත්. කොහොම වුණත් ඒ සිදුවීම පක්ෂයට විශාල ප්‍රශ්නයක් වුණා. පක්ෂයක් රැකෙන්නෙ තමන්ගෙ කණ්ඩායම් රැකගන්නා තරමට. සන්ධානයක් හැදුවා නම් ඊට පස්සෙ එන වගකීම තමයි සන්ධානය රැක ගැනීම. ‘එයා ගියාට ප්‍රශ්නයක් නෑ. අපි හරිම ශක්තිමත්’ කියලා හිතපු සෑම වෙලාවකම පරාජය තමයි. දැන් සන්ධානයක් නැතිව කිසිම පක්ෂයකට දිනන්න බෑ. අද ගත්තොත් පොදුජන පෙරමුණ මහපාරේ නිරුවත් වෙලා තියෙන්නේ.  


?සමහරු කියනවා ආණ්ඩුවට ජනවරමක් නෑ. මැතිවරණයකට යා යුතුයි කියලා?  


පිළිතුර:- ඇත්ත වශයෙන්ම මේ අරගලයෙන් පස්සෙ ජන වරම පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ. ජනාධිපති ධුරයට තමන්ගේ පක්ෂයේම කෙනෙක් තෝරා ගන්න බැරිව එක්සත් ජාතික පක්ෂයේ නායකයා තමන්ගේ නායකයා කර ගත්ත එකනේ තියෙන්නේ. ජන වරම නැත්තේ ඒ නිසයි. ජනවරම අලුත් විය යුතුයි.  


?අයවැයට මොකක් වෙයිද? දිනයිද පරදියිද?  


පිළිතුර:- ඒකට තව කල් තියෙනවානෙ. අපි බලමු මොකද වෙන්නේ කියලා.  

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්