“නැවෙන් කටට” දැන් හරහට


මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අාර්ථිකයද දැඩි ලෙස පීඩාවට පත්වෙමින් ඇත. ඉන්ධන මිල ඉහළ යාම, විදුලිය බිල වැඩි කිරීමට සිදුවීම, විදුලිය ලබාදීමේ කප්පාදුවක් සිදුකිරීම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම අදියරෙන් අදියර සිදුවෙමින් තිබේ. යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන හිඟවීම මෙයට හේතු වුවත් අන් රටවල ආර්ථිකය මත යැපීම හේතුවෙන් විවිධ අංශවලින් අපේ ආර්ථිකයට රිදෙමින් තිබේ. කෘෂිකාර්මික ජීවන රටාවකින් යුතු මෙරටට අත්‍යවශ්‍ය ආහාර හිඟයක් මතුවේදැයි මත පළවීම මෙරට පත්ව ඇති ඛේදනීය තත්ත්වයට උදාහරණයකි.

මෙම යුද ගැටුමේ අරමුණ ඉරානයට පහර දී පාලන තන්ත්‍රය ඉවත් කිරීමේ අරමුණින් සිදුවූවක් පමණක්ම නොවේ. නැග එන ආසියානු ආර්ථිකය අඩපණ කර බිඳවැටෙමින් තිබූ ඇමෙරිකානු ආර්ථිකය ගොඩගැනීමේ අරමුණින් සිදු වූ ප්‍රහාරයකි. යුද ගැටුම නිසා ඇමරිකාවේ ආර්ථිකයට කිසිදු හානියක් සිදු නොවූ අතර ඛනිජ තෙල් නොමැතිකමින් ආසියාවේ නැගීගෙන ආ ආර්ථිකයක් හිමි රටවල් නැත්තටම නැති විය. ඉන්දියාව, චීනය පමණක් නොව ඕස්ට්‍රේලියාව, වියට්නාමය, තායිලන්තය, පාකිස්ථානය ඇතුළු රටවල් ඛනිජ තෙල් හිඟවීමෙන් දැඩි අසීරුවට පත් වූ අතර ඕස්ට්‍රේලියාවේ පවා ඉන්ධන පෝලිම් ඇතිවිය. ට්‍රම්ප් ජනාධිපතිවරයා බලයට පැමිණි පසු ආනයන බදු විශාල වශයෙන් ඉහළ නංවමින් සිදු කළේද මෙම ඇමරිකානු ආර්ථිකය නැංවීමේ මෙහෙයුමේ පළමු පියවරය. එමගින් අපේක්ෂිත අරමුණු ඉටුවීම මන්දගාමී වූ අතර යුද්ධය ඇරඹුවේ එයට විකල්පයක් ලෙසය. යුද්ධය හේතුවෙන් ආසියාවම කෙළවරක් නොපෙනෙන අගාධයක් කරා යමින් සිටින අතර ඇමරිකානු ආර්ථිකය ඛනිජ තෙල් සංචිතවලින් පොහොසත් නිසා ඔවුන්ගේ ආර්ථිකයට විශාල ශක්තිමත්භාවයක් මේ වන විට ලැබී ඇත.

මෙම අර්බුදකාරී අවස්ථාවේ ආසියාතික රටවල් තම රටවල ආහාරමය නිෂ්පාදන අපනයනය කිරීම නතර කළේය. ඒ සඳහා ඉන්ධන නොමැතිවීමද තම රට තුළ ආහාර හිඟයක් ඇතිවනු ඇතැයි බියක් ඇතිවීමද එයට හේතුවය. ලංකාවට පරිප්පු ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවෙනි. බොහෝ ධාන්‍ය වර්ග ඉන්දියාව සහ පාකිස්ථානයෙනි. හාල්මැස්සන් වැනි කරවල වර්ග තායිලන්තය සහ ඉරානයෙනි. දෙදහස් පන්සිය වසරක සාඩම්බර අතීතයක් ගැන මතුරමින් අපගේ ආහාර මේසය පුරවන්නේ විදේශයෙන් ගෙන එන ආහාරවලිනි. එම නැව් නැවතුණු විට මෙරට ජනතාව තුළ කුසගින්නක සේයාවක් මතු වුණේ අවම වශයෙන් එදිනෙදා ආහාර ටිකවත් මෙරට උත්පාදනය නොකරන බැවිනි.

අප මෙයට පෙරද අවස්ථා කිහිපයක්ම පෙන්වා දී ඇති පරිදි රටක් ලෙස කෘෂිකාර්මික අංශයෙන් දියුණු වීම ලාංකිකයන්ට සිහිපත් වන්නේ ලෝක අර්බුදයක් ඇතිවූ අවස්ථාවේදී පමණකි. එවැනි අවස්ථාවක හබරල අල ද කෑමට හුරුවන ලාංකිකයෝ ලෝක අර්බුදය සමනය වූ පසු හබරල අල කෑම පසෙකලා යළිත් එංගලන්ත, ඇමරිකා, චීන, ඕස්ට්‍රේලියානු ආහාර එනතුරු බලා සිටිති. එක හා සමාන ලංකාවේ ආණ්ඩුද ජනතාවද “නැවෙන් කටට” යන සංකල්පයෙන් තවමත් මිදී නැත. රට බංකොලොත් වූ සමයේ ආනයන සීමා කළ විට ඇරඹූ වගාබිම් මේ වනවිට වල් වැදී ඇත්තේ අඩු මිලට පිටරටින් ආහාර ද්‍රව්‍ය පැමිණි නිසාය. දේශීයව එකලස් කරන්නට පටන්ගත් යතුරුපැදි කර්මාන්තය “බ්‍රෑන්ඩ් නිව්” යතුරුපැදි තොග ගණනේ පැමිණි නිසා මේ වනවිට වැසී ගොස්ය. එවැනි නිලධාරීන් සහ ජනතාවක් සිටින විට රට ගොඩගැනීම සිහිනයක්ම පමණකි.

ලෝක ආහාර අර්බුදය හේතුවෙන් 1973 වර්ෂය නිෂ්පාදන වර්ෂයක් කරමින් එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කළ මේ කතාව අදටද වෙනස් වී නැත.

“අපේ තරුණ පරපුරට රක්ෂා සැපයීමට සහ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කළ හැක්කේ මේ රටේ කෘෂිකාර්මික සහ කාර්මික අංශවල යම් මට්ටමක වර්ධනයක් ඇති කළහොත් පමණකි. ආනයනික භාණ්ඩ මිල වේගයෙන් ඉහළ යයි. ඒ නිසා අපගේ වියදම් දිනපතාම ඉහළ යයි. එයින් මිදිය හැක්කේ මේ රටේ වගා කළ හැකි සෑම ද්‍රව්‍යයක්ම ආනයනය කිරීම නතර කිරීමෙනි.” අගමැතිනිය එසේ එදා කී කතාව කිසිම ආණ්ඩුවකට ඉටුකරගත නොහැකි ඉලක්කයක් විය. එම අදහස අදටද වලංගුය. ඉරාන යුද ගැටුම හේතුවෙන් ලෝකය ආහාර අර්බුදයක මුව විට තිබියදී සහල්, ධාන්‍ය, එළවළු, ඇට ආදී කෘෂිකාර්මික දෑ අපි තවමත් පිටරටින් එනතුරු බලා සිටිමු. මෙරට වගාවක් නැත. මෙරට සිටින්නේ “කටින්” වගා කරන්නන්ය. කම්මැළි වී සිටින ජනතාව අවදි කළ යුතුය. ඒ සඳහා රජයද සිය ප්‍රතිපත්ති වෙනස් කර අංශක එකසිය අසූවකින්ම ආපසු කර කැවිය යුතුය. එසේ නොමැති රට ගොඩඑන්නේ නැත.

නිදහසින් වසර හැත්තෑ හතක් ගත වුවත් තවමත් රට යා යුතු ආර්ථික මොඩලය තේරුම්ගැනීමට කිසිවකුටවත් නොහැකි වී තිබේ. ආණ්ඩු මෙන්ම රටවැසියා ද එම වැරැද්දට වගකිව යුතුය. යටත්විජිතවාදීන් වූ බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා හෝ සකසා තිබූ ආර්ථික පිළිවෙතට වඩා අර්ථවත්ය. ඔවුන් සංවර්ධනය කළ උඩරට වතු වගාව එකල විදේශ විනිමය උල්පතක් විය. පොල් සහ රබර් අපනයනයෙන් විශාල ආදායමක් රටට ලැබිණි. නිදහසෙන් පසු ඒ සියල්ල ජනසතු කර ආඩම්බරකාරී වදන් තෙපලුවද එය රටට බරක් වූවා මිස රටට ආදායම් උල්පතක් වූවේ නැත.

ලංකාව නිදහස ලබන අවස්ථාව වනවිට නවීන වැවිලි භෝග අංශය සහ යැපුම් කෘෂිකර්ම අංශය යන ද්විත්ව ලක්ෂණයන්ගෙන් සමන්විත සම්භාව්‍ය විවෘත ආර්ථිකයක් උරුම වී තිබුණි. මුළු අපනයන ආදායමෙන් සියයට අනූවක්ම තේ රබර් සහ පොල් යන වැවිලි අපනයනයෙන් ලැබිණි. ක්‍රමානුකූලව මෙම ආදායම අඩුවන්නට පටන් ගත්තේය.

නිදහස ලබන අවධියේ මුළු අපනයන ආදායමෙන් සියයට 89% ක්ම ලැබුණේ තේ, රබර් සහ පොල් යන නිෂ්පාදන තෙවර්ගයෙනි. ඉන් වසර විස්සකට පසු එනම් 1968 දීද අපනයන ආදායමෙන් සියයට 76% ක් ලැබුණේ තේ, රබර් හා පොල් අපනයනයෙනි.

1970 දී කෘෂිකාර්මික අපනයනවල දායකත්වය සියයට 90% ක් විය. 1985-1990 අතර වකවානුවේ කෘෂිකාර්මික අපනයනවල වටිනාකම සියයට 40% දක්වා අඩු වී තිබිණි.

1977න් පසු ක්‍රමයෙන් ඇඟලුම් කර්මාන්තයේ නවෝදයක් ඇතිවූයේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය නිසාය. වසර දහයක් පමණ ගතවන විට වෙළෙඳ කලාපයේ තිබූ ප්‍රාණවත්භාවය උච්ච මට්ටමකට පත් විය. 1996 දී අපනයන ආදායමෙන් සියයට 73% ක්ම ලැබුණේ ඇඟලුම් හා ඒ ආශ්‍රිත කර්මාන්තයෙනි.

මේ අනුව අපට තේරුම් ගත හැක්කේ ඇඟලුම් සහ කෘෂිකර්මය ආශ්‍රිත අපනයනවලින් මෙරටට සැලකිය යුතු ආදායමක් ලැබෙන බවය. තවදුරටත් දියුණු කළ යුත්තේ එම ක්ෂේත්‍ර මිස කාර්මික අංශය නොවේ.

අද ලෝකයම මවිත කරවන ආර්ථික දියුණුවක් ළඟා කරගෙන ඇති චීනය සහ ඉන්දියාව ක්‍රියාත්මක කරන ආර්ථික ක්‍රමය නාස්තිකාර ආර්ථික ක්‍රමයක් නොවේ. ඉන්දියාව විදේශ ආයෝජකයන්ට දොරටු විවෘත කළේ 1990න් පසුවය. චීනය පළමුව 1979 දී සුළු ප්‍රමාණයකින් විදේශ ආයෝජන සඳහා දොරටු විවෘත කළේය. ඔවුන්ගේ ක්‍රමය වූයේ විදේශ ආයෝජන තුළින් නවීන තාක්ෂණය උකහා ගැනීමය. ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම අද කලාපයේ රටවල් ගණනාවකම වාහන අපනයනය කරනමුත් ලේලන්ඩ් යනු බ්‍රිතාන්‍ය සමාගමකි. එහි ශාඛාවක් තම රටේ ආරම්භ කරන්නට අවසර දුන් ඉන්දියා රජය එමගින් “අශෝක් ලේලන්ඩ්” නමැති දේශීය ව්‍යාපාරය දළුලා වැඩෙන්නට ඉඩ හැරියේය. එය අද මව් සමාගමට ලාභාංශ පමණක් යවන සම්පූර්ණයෙන්ම ඉන්දියානු ව්‍යාපාරයකි.

අද චීනයේ ලොව ඇති ජනප්‍රියම වාහන නිපැයුම් සමාගම්වල වාහන ලක්ෂ ගණනක් ධාවනය වනමුත් ඒ සියල්ල විදේශීය සමාගම සහ චීන හවුල්කාරීත්වයෙන් බිහිකළ මෝටර් රථය. රටට මෝටර් රථ ලැබෙන අතරම සේවකයා විදේශීය තාක්ෂණය උකහා ගනියි. ඉන්පසුව චීනය තනිවම වාහන නිෂ්පාදනය ආරම්භ කළේය. ඉන්දියාවේ සහ චීනයේ බොහෝ බහුජාතික සමාගම් ක්‍රියාත්මක වෙතත් ඒවාට අවසර දී ඇත්තේ තම රටේ කාර්මික අංශයද දියුණුවට පත්වන අන්දමිනි. අපගේ ආර්ථිකය ගැන ඔබට එවැනි වැටහීමක් තිබේද?

ලෝකයේ දෙරටක් යුද වදින විට හෙට දවසේ අපගේ බත්පත ගැන අවිනිශ්චිත බවක් ඇතිවන්නේ අපගේ අතීත කෘෂිකාර්මික ජීවන රටාවට තවමත් පණදීමට නොහැකි වී ඇති නිසාය. මෙරට හොඳින් වැවෙන මුං වගාව අතහැර දමා ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු රැගෙන එනතුරු අප බලා සිටින්නේ අතීත කෘෂිකාර්මික රටාවෙන් අප ඈත්වී ඇති නිසාය. මැදපෙරදිග තෙල් හිඟවන විට අපගේ වෙළෙඳසල්වල සහල් හිඟවන්නේ ගෙදරට බත දුන් කුඹුර අතහැර දමා පොළොන්නරුවේ ගොවීන්ගේ සහල් එනතුරු අප බලා සිටින නිසාය. අපගේ මෙම ජීවන රටාව මෙම යුද උණුසුම මැද හෝ යළි සකස් කරගත යුතුය. රටේ දියුණුව ඇතිවන්නේ “නැවෙන් කටට” සංකල්පය අතහැර දැමුවහොත් පමණකි.

ප්‍රේමකීර්ති රණතුංග