දෙන්නේ නැති ඡන්දය අපි ගන්න ඕනෑ


ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික

කේ.ඩී. ලාල්කාන්ත

  • විජය ඝාතනය කළා කියල දැනගත් වෙලාවෙ මගේ ඇස් දෙකටත් කඳුළු ආවා

මැතිවරණය පිළිබඳ කතාබහක් සමඟ උණුසුම් වන දේශපාලන කරළියේ විවිධ මාතෘකා පිළිබඳ මේ සංවාදය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සමගයි.

?ජාතික ජනබලවේගය රට පුරා රැස්වීම් තිය තියා දිව්වට ජනාධිපති නම් කියන්නේ ලබන අවුරුද්දේ තමයි ඡන්දයක් ගැන හිතන්න පුළුවන් කියලා.  


පහුගිය කාලෙ පුරාම අපි ජාතික ජනබලවේගය විදියට කියපු කරුණු දැන් ජනතාවගේ ඇස්පනා පිට සනාථ වෙමින් තියෙනවා. ඒ තමයි හොරකම් කරල දූෂණ කරල ඒවා හෙළිදරවු වෙච්ච පාලකයො තමන් පරදින බව දැනෙනව නම් ඒ වෙලාවෙ ඡන්ද තියන්නෙ නෑ කියන කාරණය. ඒ වගේම තමයි ඒ අයගෙ හොරකම් දූෂණ චෝදනාවලින් ඒ අයව ආරක්ෂා කරන වෙනත් කඳවුරකට දිනන්න බෑ වගේ පේනව නම් ඒත් ඡන්දෙ තියන්නෙ නෑ. දැන් ඉතා පැහැදිලියි රනිල්ලාගෙ රාජපක්ෂලාගෙ කඳවුරට දිනන්නත් බෑ. ඒ ගොල්ලො රකින සජිත්ලගෙ කඳවුරට දිනන්නත් බෑ. ඒ නිසා මේ අය බන්දේසියක තියලා මාලිමාවට ජයග්‍රහණය ලබා දෙන්න සූදානම් නෑ. මේවා අපි දේශපාලනයේ හෝඩියේ පංතියේ දී ඉගෙන ගත්තු දේවල්. මේවා ගැන ඒක නිසා අපි පුදුම වෙන්නෙ නෑ. දෙන්නෙ නැති ඡන්දය අපි ගන්න ඕනැ. අපි ගන්නවා. ගන්නවා විතරක් නෙවෙයි දිනනවා.  


?මැතිවරණ කොමිසමේ හැසිරීම ගැන ඔබලාගෙ කියවීම කොයි වගේද?  


මැතිවරණ කොමිසම රනිල් වික්‍රමසිංහලගෙ, රාජපක්ෂලගෙ සකස් කරන ලද සැලසුමකට අනුව කටයුතු කරනව ද කියන සැකය ජනතාවට ඇවිල්ලා තියෙනවා. දැන් මැතිවරණ කොමිසම අධිකරණයට කියන්න ලෑස්ති වෙන්නේ විවිධ හේතු දන්වලා මැතිවරණය තියන්න බෑ කියලනේ. හැබැයි හරිනම් මැතිවරණ කොමිසම දැන් අධිකරණයට කියන්න ඕනැ අපිට මෙන්න මේ මේ අයගෙන් බලපෑම් තියෙනවා ඒ බලපෑම් කරන අයට නියෝග කරන්න මැතිවරණයකට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න කියලා. ඒක තමයි මැතිවරණ කොමිසම අධිකරණයෙන් ඉල්ලන්න ඕනැ. හැබැයි කොමිසම අධිකරණයට වාර්තා කරන්න යන්නේ මේ මේ හේතු නිසා අපිට ඡන්දෙ තියන්න විදියක් නෑ කියලා. මේ නිසා ජනතාවට ඔවුන්ගේ හැසිරීම පිළිබඳව සාධාරණ සැකයක් ඇතිවෙලා තියෙනවා. මැතිවරණ කොමිසම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් කටයුතු කරනවා මිසක් එක එක දේශපාලනඥයන්ගේ තක්කඩි ක්‍රියාවල හවුල්කාරයො වෙන්න හොඳ නෑ.  


?ඡන්ද රැස්වීම් දිහා බැලුවම දැන් සටන තියෙන්නේ ජේ.වී.පී. එකයි සජිත් ප්‍රේමදාසයි අතරෙ වගේනේ පේන්නේ.  


 ජාතික ජනබලවේගයට ජාතික සතුරන් එක්ක අනිවාර්ය සටනක් තියෙනවා. සජිත් සහ ඔහු වටා පෙළ ගැහිලා මුදුනේ ඉන්න අය ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන කණ්ඩායමක් කියල අපි පිළිගන්නෙ නෑ. රනිල් රාජපක්ෂ පාලනය ගැන වගේම මේ අය ගැනත් අපිට තියෙන්නේ විවේචනයක්. ඒ විවේචනය මතවාදීව අපි ඉදිරිපත් කරනවා. දැන් සජිත් පිස්සු හැදිලා වගේ එක එක හිතලු කිය කියා අපට බැණ බැණ යනවා. කොහේවත් නැති මොකක් හරි අල්ලගෙන ඔහේ කියවනවා. කොටින්ම කියනව නම් මිනිහා වල්ගෙ පාගගෙන ඉන්නේ. විපක්ෂ නායකයෙක් කියල කියාගන්න මිනිහෙක් මේ තරම් තුට්ටු දෙකේ බංකොලොත් තත්ත්වයට වැටෙනවා කියන්නේ තවත් එයාල ගැන මොන කතාද? මිනිහා පච කියනව මදිවට ගෝලයෝ දම්මලත් කියවනවා. අලුත් ගෝලයෝ සෙට් එකකුත් දැන් ඒකට අල්ලගෙන තියෙනවා. බොරු බිල්ලො මවනවා මාලිමාවෙ රජයක් ආවොත් අරම වෙයි මෙහෙම වෙයි කියලා. කියපංකො තමුන්ගෙ වැඩ පිළිවෙළ ගැන. ඒව ගැන කතා නෑ. විපක්ෂ නායකයෙක් වැටිච්ච තැනක්. අපේ ආණ්ඩුවක් ආවම ඔක්කොම රජයට පවරා ගනීවිලු. හැබැයි අපි එකක් මතක් කරනවා සජිත්ට දැන් රජයට පවරගෙන නඩත්තු කරන ඒවා ටිකක් තියෙනවා. අපි බලයට පත් වුණාම අන්න ඒවා එළියට දානවා. එයින් එක්කෙනෙක් තමයි සජිත් මෑණියො. එයා ජනතාවගේ මුදල් වලින්නෙ නඩත්තු කරන්නේ රජයට පවරගෙන. අපි එයා රජයෙන් නිදහස් කරනවා. මහ ලොකුවට රටටම සහන දෙන්න කතා කරන්නේ. හැබැයි එයාගෙ අම්මා නඩත්තු කරන්නේ ජනතාවගෙ මුදලින්. ඔය වගේ තව පිරිසක් ඉන්නවා. රජයෙන් නිදහස් කරන්න. ඒවා නම් මාලිමාවෙ රජයක් යටතේ අනිවාර්යයෙන්ම කෙරෙනවා.  


?සමුපකාර ඡන්දයක් දෙකක් දිනපු ගමන් ජේ.වී.පී. එක දැන් අහසෙ ඉන්නෙ කියල ඔබලගේ විරුද්ධ මතවාදීන් කියන්නේ. අනුර කුමාර ෆේස්බුක් ජනාධිපති වුණාට ඡන්දෙන් පස්සෙ සීයට තුනත් නැති වෙයිලු.  


එයාලා එහෙම කියන්න ඕනැ. අපිත් ඒ වගේ කතා ඔය කඳවුරෙන් බලාපොරොත්තු වෙන්න ඕනැ. එහෙම නොකියනවා නම් තමයි පුදුම. අපි ඒ අයට කරන අභියෝගය තමයි රටේ ජනතාව මාලිමාව වටා එකතු වෙලා ද නැද්ද කියල හරියටම බලාගන්න ඕනැ නම් ඡන්දය තියල බලන්න. රෑට රෑට රනිල් හම්බවෙලා ඡන්දෙ කල් දාන්න යටිකූට්ටු වැඩ කර කර අපිට මඩ ගහන ඔය කොයිකවුරුත් බයවෙච්ච තරම පේනවනේ. මේ ඡන්දය දිනලා මහමැතිවරණයක් අරගෙන ඒකත් දිනලා රනිලුත් එළවලා අලුත් නායකත්වයක් යටතේ රට අලුත් මාවතකට ගැනීම තමයි අපේ න්‍යාය පත්‍රය. ඒක ජයග්‍රහණය කරද්දී ඔය අනිත් කාගෙ කාගෙත් න්‍යාය පත්‍ර කුණු කූඩෙට යනවා. ඉතිං ඒගොල්ලො අපිට මඩගහන්න ඕනැ තමයි. අවලාද ගහන්න ඕනැ තමයි. දැනටමත් ඒගොල්ලන්ගේ ගුවන් තොටිල්ල ගැස්සිලා ඒකයි මේ කලබලේ.  


?හෝද හෝද මඩේ දානවා වගේ හැමදාම ඡන්දයක් කිට්ටු වෙද්දි ජේ.වී.පී. එකට ගහන්න ප්‍රතිවාදියෝ පාවිච්චි කරන ප්‍රකට තුරුම්පුවක් තමයි විජය කුමාරතුංග ඝාතනය. ඊයෙ පෙරෙයි ද ආපහු චන්ද්‍රිකා කුමාරතුංගත් කට ඇරලා තිබුණා මේ ගැන.  


චන්ද්‍රිකා නෝනා මේ ගැන කාලෙන් කාලෙට එක එක කතා කියනවා. එක සැරේකට එයා කියනවා විජය මැරුවෙ යූ.එන්.පී. එක කියලා. එහෙම කියල තියෙනවා මීට කලින්. තව සැරේකට කියනවා මේක කෙරුවෙ ජේ.වී.පී. එක කියලා. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණට විජය කුමාරතුංග එක්ක ඒ අවදියේවත් කවදාකවත් දේශපාලනිකව අභියෝගයක් වෙච්ච කෙනෙක් නෙවෙයි. එයා එයාගෙ ගමන ගියා. අපි අපේ ගමන ගියා. මේක හරියට පහුගිය කාලේ එල්.ටී.ටී.ඊ. එකවුන්ට් එකට දාලා මේ රටේ යම් යම් දේශපාලකයෝ වෙනත් විවිධ පුද්ගලයේ ඝාතනය කෙරුව වගේ වැඩක් කියල තමයි මම නම් හිතන්නේ. විජය කුමාරතුංග ඇවිල්ල මගේ ආදරණීයම නළුවා. ඇත්තටම විජයව ඝාතනය කළා කියලා දැනගත්ත වෙලාවෙ මගේ ඇස් දෙකටත් කඳුළු ආවා. දැන් ඔය චන්ද්‍රිකා ඇතුළු ගොඩක් අය අර මැරිච්ච මිනිහව නැවත නැවත මරමින් ජේ.වී.පී. එක රට තුළ වඩාත් ඉස්මතු වෙන ඕනැම මොහොතක ඔය අවලාදය ගහනවා. ඕක පරණ සෙල්ලමක්. ජනාධිපති පුටුවල වාඩිවෙන්න බලාගෙන ඉදපු අය වෙන්න ඕනැ විජය කුමාරතුංගව ඝාතනය කෙරුවෙ. අපිට නම් විජය එක්ක කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ.  


?හිරුණිකා ප්‍රේමචන්ද්‍රත් දැන් කියනවා එයාගෙ තාත්ත මරන්න ආපු ජේ.වී.පී. කාරයො දෙන්නෙක් ගේ ඇතුළෙම මිය ගියා. බේරිලා පැනල දුවපු කෙනා ජේ.වී.පී. එකෙන් ජනාධිපතිවරණයටත් ඉල්ලන්න දැම්ම කියලා. ඇත්තද මේ කතා?  


අයියෝ.... ඕව ගැන නම් කතා කරන්න අපි කාලය නාස්ති කරන එකත් අපරාදයක්. භාරත ලක්ෂ්මන් කියන්නේ කවුද කියලා මේ රටේ මිනිස්සු දන්නවා. හිරුණිකා කියන්නෙ කවුද කියලත් දැන් මේ රටේ මිනිස්සු දන්නවා. සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ණයට කහින්න ගියාම කියන්නෙ මොනවද කරන්නෙ මොනවද කියල හිරුණිකාම දන්නෙ නෑ. මොනව වුණත් හිරුණිකා පහුගිය කාලේ අසාධාරණයට විරුද්ධ පාරට බැහැලා කෑ ගහපු කෙනෙක්. ඒ වගේම එයාගෙ තාත්ත ඝාතනය කරපු වෙලාවෙ ඒකට එරෙහිව අපි පෙනී හිටියා. දේශපාලනය කියන කුණු ගොඩේ ආතක් පාතක් නැතුව කුණු රහම හොයන හිරුණිකා ගැන කනගාටුයි කියල තමයි කියන්න තියෙන්නේ. පව් ඉතිං හිරුණිකා. සජිත්ගෙ කොන්ත්‍රාත් කරන්න ගිහින් නිකං දේශපාලන ජීවිතය විනාස කරගන්නවා.  


?නීති විරෝධි වෘත්තිය සමිති හැදුවා කියලා ලාල්කාන්තට උත්තර බඳින්න සී.අයි.ඩී. එන්න කියල තිබුණා. ගියාද?  


මම යොදාගෙන තියෙන වැඩකටයුතුත් එක්ක එයාල එන්න කියපු දිනේට මට කොහොමවත්ම යන්න විදියක් නෑ කියලා මම නීතිඥයින් මාර්ගයෙන් සී.අයි.ඩී. එකට දැනුම් දුන්නා. ඉදිරි දිනයක් ඒ සඳහා දෙන්න කියලා අපි දැනුම් දුන්නා. 

 
වෘත්තීය සමිති නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන කියල වර්ග කිරීමක් නෑ. ලියාපදිංචි කළ සහ ලියාපදිංචි නොකළ වෘත්තීය සමිති තියෙනවා. එහෙම ඕනැ තරම් එක එක ජාතියෙ සංවිධාන ඕන තරම් තියෙනවා. අනික් වෘත්තීය සමිති මධ්‍යස්ථාන කියන ඒවා මේ රටේ ලියාපදිංචි කරන්නෙත් නෑ. ලියාපදිංචි කරන්න ක්‍රමවේදයකුත් නෑ. වෘත්තීය සමිති මධ්‍යස්ථානය කියන්නේ ලියාපදිංචි කළ වෘත්තීය සමිති එකතු කරපු තැන. ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය කියන්නේ එහෙම තැනක්. ඒක ලියාපදිංචි කරලත් නෑ. කරන්න ක්‍රමයකුත් නෑ. ඒවයි නීති විරෝධි කතාවක් නෑ. ඔය තත්ත්වය සී.අයි.ඩී. එකේ මහත්තුරුන්ට ගිහින් පැහැදිලි කරලා එන්නත් ඕනැ. එයාලත් ඒක දන්නවා. මොකද ඒ කට්ටිය බබාලා නෙවෙයිනේ. ඕක ඔය කවුරු හරි කාගෙ හරි ඕන කමකට කුලප්පුවෙලා කරපු පැමිණිල්ලක් වෙන්න ඇති. ඒ අය හිතනව ඇති අපිව සී.අයි.ඩී. එකට ගෙන්නලා ප්‍රවෘත්තිවල එහෙම ගියාම අපි ඇඹරෙයි කියලා. අපි ඕවට ඇඹරෙන ජාතියෙ අය නෙවෙයි.  


?දැන් විවිධ වෘත්තිකයෝ පාරට බැහැලා. වර්ජන රැල්ලත් අත ළඟ වගේ. ජේ.වී.පී. එක මේවට නායකත්වය දෙනවද?  


අපිට සම්බන්ධ වෘත්තිය සමිති ඔය අරගලයත් එක්ක සම්බන්ධයි. වරායෙ, ජල සම්පාදනේ, ටෙලිකොම්, විදුලිබල මණ්ඩලේ, ඛනිජ තෙල් සංස්ථාවේ ඇතුළු ගොඩක් තැන්වල අපේ වෘත්තීය සමිති ඔය සටනත් එක්ක ඉන්නවා. මේක සාර්ථකව ඉදිරියට ගෙනියන්න අපි මැදිහත් වෙනවා. මේ අය කියන්නේ ජනතාවගේ ප්‍රශ්න.  


?ලාල්කාන්තත් මහනුවර නගර සභාවට ඉල්ලුව නම් මොකද?  


මම වගේ අපේ පක්ෂෙ ඡන්දෙ ඉල්ලන්නෙ නැති තව ගොඩක් අය ඉන්නවා. ටිල්වින් සහෝදරයා, බිමල් සහෝදරයා ඇතුළු ගොඩක් අය ඡන්දෙ ඉල්ලන්නෙ නෑනේ. නමුත් අපි දේශපාලනය කරනවා. දේශපාලනයේ ඡන්දය එක දෙයක් මිසක් සියල්ල නෙවෙයි. පක්ෂයේ සැලසුම්වලට අනුව අපි වගකීම් බෙදාහදා ගෙන කටයුතු කරනවා. අපි මොනවද කරන්න ඕන, මොනවද නොකරන්න ඕන කියන එක තීරණය කරන්නේ පක්ෂය.

 

සාකච්ඡාව 
ප්‍රියන්ත කොඩිප්පිලි