“අනේ මගේ දුවට පාසලේ ගණිත ගුරුවරයා කරපු කරදයක් නිසා තමයි මේ තත්ත්වයට වුණේ. මගේ දුව හැමදේටම දක්ෂ දරුවෙක් . ඉගෙන ගන්න ගොඩාක් දක්ෂයි. මගේ දරුවා මානසික රෝගියෙක් තත්ත්වයට පත් කළේ බම්බලපිටියේ දුව ඉගෙන ගත්ත පාසලෙන් මයි . පාසලේ ගණිත ගුරුවරයාගෙන් සිදු වූ ලිංගික අපයෝජනයෙන් පස්සේ බම්බලපිටියේ පාසලෙන් දරුවා අයින් කරලා කොටහේන පාසලකට ඇතුළත් කළා ,”.
ඒ පාසලේ මගේ දුව හොඳින් සතුටෙන් වැඩ කටයුතු කරගෙන හිටියා. මම එයාගේ මානසික තත්ත්වයත් යම් දුරකට හොඳ මට්ටමකට ගෙනාවා. නමුත් දියණිය ගිය පන්තියක පෞද්ගලික ගුරුවරයෙක් මේ සිදුවීම ගැන කියලා ළමයි හැමෝම ඉස්සරහ ඔයා පොලිස් කේස් එකක් තියෙන දරුවෙක් කියලා ලජ්ජ කරලා තියෙනවා. ඔයා ආයේ මේ පන්තියට එන්න එපා කියලා එදා කියලා තියෙනවා.
වැරැද්ද කරපු පුද්ගලයා තවමත් ඒ පාසලේම ඉන්නවා. මට පාසලෙන් අයින් වෙන්න වුණා.වැරදි කරපු කෙනා වෙනුවට දඬුවම් මට විඳින්න සිද්ධ වෙලා ඇයි අම්මෙ මෙහෙම වෙන්නෙ? " කියලා මගේ දුව ඇහුව්වා “
ඒ සිදුවීමෙන් පස්සේ අලුත් පාසලේ ළමයිනුත් මේ සිද්ධිය කියලා විහිළු කරලා දුව කොන් කරලා තියෙනවා. පාසලේ යාළුවෝ පවා දුවගෙන් වෙන් වුණා. එයාට ඒක දරාගන්න බැරි වුණා. දුව ආයෙම මානසිකව හොඳටම වැටුණා. ඒකෙන් දුවගේ ඩිප්‍රෙෂන් තත්ත්වයට ආයේම වැඩි වුණා. අනිත්ම මොෙහාත වෙනකම්ම මම මගේ දුව ඇස් දෙක වගේ රැක්කා. විනාඩි පහෙන් එයා මට මිස් වුණා. මේ සිදුවීම සම්බන්ධයෙන් මීට පෙරත් දුව මේ වගේ තීරණයක් ගත්තා. මම ඒ වෙලාවේ මගේ දරුවා බේරාගත්තා. එදා මට මගේ දරුවා බේරගන්න බැරි වුණා. “
එයා වින්ද වේදනාව අම්මා කෙනෙක් විදිහට මම විතරයි දන්නේ. අම්මේ මම පාසල් යන්නේ නැහැ කියලා ඇය කිව්වා. අපිට පුළුවන් දේ අපි ඇයට කළා. ඇය ඒ තත්ත්වයෙන් ගොඩ ගන්න අපි මහන්සි වුණා. මගේ දරුවාට උදව් කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. කවුරුවත් කතා කළේත් නැහැ. මගේ දරුවාට වුණ මේ දේ කිසිම දරුවකුට වෙන්න හොඳ නෑ කවමදාවත්.”
ඒ අයුරින් කඳුළු සලා හඬා වැලපෙමින් - තම දරුවාගේ අකල් මරණයෙන් කම්පිතව සිටින්නේ දිල්ෂි අම්ෂිකා ගේ මවය. පාසල් දැරියකගේ අධ්‍යාපනය හා ඇගේ ජීවිතය ඇගේ අනාගතය යන සියල්ලම පහත් ලිංගික අවශ්‍යතාව වෙනුවෙන් විනාශ කර දැමීමට තරම් ගුරුවරයෙකු මැදිහත්ව ඇත්නම් ලංකාවේ පාසලකට දියණියක් ඇතුළත් කිරීම පිළිබඳ විශ්වාසයක් අප තබාගන්නේ කෙලෙසද?
කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි දිල්ෂි අම්ෂිකා 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් සිටියාය. ඇය පසුගිය වසරේ ඔක්තෝබර් 23 පාසලේ ගුරුවරයකු විසින් ලිංගික අපයෝජනයකට ලක් කර ඇති අතර එම තත්ත්වය විසින් ඇතිකළ මානසික කම්පනය හේතුවෙන් ඇගේ මව විසින් ඇය එතෙක් ඇය ඉගෙන ගත් බම්බලපිටිය රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලයෙන් ඉවත් කරගෙන කොටහේන good shepherd විද්‍යාලයට ඇතුළත් කොට ඇත.
එකී පාසලේ ගුරුවරුන් විසින් පාසලෙන් දැරියට අවශ්‍ය මානසික සහනය ලබා දීමට කටයුතු කර ඇති බව පන්තිභාර ගුරුතුමිය මවට පවසා ඇත. දැරිය පාසලට එවන ලෙසත් ඇය මානසිකව ගොඩනැගීමට හැකි සියල්ල කරන බවත් ගුරුවරිය පවසා තිබේ. මේ සිදුවීම සම්බන්ධයෙන් මව පවසා සිටියේ පොලීසියට පැමිණිලි නොකළේ දුව බොරු කියනවා යැයි පාසලෙන් කිවු නිසා බවය. දියණිය අපයෝජනයකට ලක් වී ඇති බව වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔප්පු වූ බව මව පව පවසයි. එමෙන්ම මව පවසා සිටින්නේ මෙම සිදුවීමත් සමඟ දියණිය මානසික ආතතිය නිසා කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටි බවය.
අම්ෂිකා දැරිය මෙම ලිංගික අපයෝනයට පත්ව මුහුණ දී ඇත්තේ මීට මාස 8කට පමණ ඉහතදීය. සිදුවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගේ කාර්යභාරයද නිසි ලෙස ඉටුකර නොමැති බවට චෝදනා එල්ලවෙමින් තිබුණද සිද්ධිය සිදුවී මාස කීපයකට පසුව ඇයට සිදුවූ ලිංගික අපයෝජනය පිළිබඳව උපකාරක පංති ගුරුවරයෙකු යළිත් වරක් ඇය මානසික පීඩනයකට ලක්කර ඇත.
තමන්ට උපකාරක පන්තිය ඉදිරියේ මුහුණ දීමට සිදුවූ සියල්ල ඇය පවසා තිබුණේ දරාගත නොහැකි වේදනාවකිනි.
පාසලේ ගණිත ගුරුවරයකුගෙන් සිදුවූ ලිංගික හිංසනයත් ටියුෂන් ගුරුවරයෙකුගෙන් සිදුවූ මානසික අපහරණයත් පිළිබඳව සාධාරණය ඉටු නොවීමෙන් ඇතිවූ කලකිරීමත් සමාජයෙන් එල්ලවූ පීඩාවත් හේතුවෙන් අම්ෂිකා සියදිවි නසාගත්තේ පසුගිය 29වැනිදාය.
මහල් නිවාසයෙන් ඇදවැටුණ ඇය බරපතළ තුවාල ලැබ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණ ද ඒ වන විටත් ඇය අවසන් හුස්ම හෙළා තිබුණේ ප්‍රශ්නාර්ථ රැසක් ඉතිරි කරමිනි. බම්බලපිටියේ පාසලක ඉගෙනුම ලැබූ තම දියණියට මෙවන් අකල් මරණයක් උදාවූයේ, අපයෝජනය කිරීමේ දරුණු මානසික පීඩනයකින් ඇය වේදනා විඳිමින් සිටි නිසා බවට ඇගේ මව්පියෝ චෝදනා කරති.
දැරිය අවසන් වරට ජීවත්ව සිටි කොටහේනේ පිහිටි මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටත් දැරියට මානසික පීඩා එල්ල වූ බවට පැවසෙන අමතර පන්තිය පැවැත්වූ ආයතනය ඉදිරිපිටත්, එමෙන්ම දැරියට ලිංගික අතවර වූ බවට පැවසෙන බම්බලපිටියේ පිහිටි කාන්තා පාසල ඉදිරිපිටත් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විරෝධතාවක නිරත වූයේ බලධාරීන්ගෙන් සාධාරණයක් ඉටුකරදෙන ලෙස ඉල්ලමින් ය.
චූදිතයන් රකින්නේ ආණ්ඩු පාක්ෂිකයන් නිසාද?
ළමා හිංසනයට තිත පදනමේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක
"පාසලක, පංති කාමරයක දරුවෙක් තනි වෙනවා කියන්නෙ මෙලොව අපායක්. එහෙම පරිසරයක් ඇති පාසලක් තියන රටම නිරයක්. යමපල්ලො වැනි ගුරුවරු ඉන්න අධ්‍යාපන ක්ෂේත්‍රය අසූචි වළක්. අපි කවුරුත් නොපිළිගත්තට "දරුවාගේ යහපත උදෙසා" කියන ගෝලීය මූලධර්මය ඒ දරුවා මිය ගිය පසුත් අදාළයි.
“පෙබරවාරි 27 වෙනිදා ළමා හිංසනයට තිත පදනමේ කණ්ඩායම ගිහිල්ලා කාන්තා සහ ළමා කටයුතු කැබිනට් ඇමැති සරෝජා පෝල්‍් රාජ් මුණ ගැහුණා. මේ පිළිබඳව කතා කළා. අපි ඒ වෙලාවේ පාසල් තුළ සහ අධ්‍යාපන ආයතන තුළ ළමා නිවාසවල තියෙන අපයෝජන සිදුවීම් ගැන කතා කළා. සාමාන්‍යයෙන් ඒ අපයෝජකයන් සිදුවීමෙන් පස්සේ කරන්නේ ස්ථාන මාරු වීම ලබා දීම. එවැනි දූෂකයන් ස්ථාන මාරු කිරීමෙන් හා නැවත සේවයේ පිහිටුවීමෙන් කරන්නේ මේ සිදුවීම රාජ්‍ය අනුග්‍රහයෙන් කරන ළමා අපයෝජන බවට පත්කිරීම. එය සම්පූර්ණයෙන් නතර විය යුතුයි. ඒ සඳහා විකල්ප ක්‍රමයක් අපි යෝජනා කළා.අපයෝජනයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා කෙනෙක් නඩුව කල්ගත වුණත් දරුවාගේ උපරිම යහපත වෙනුවෙන් මේ අය දරුවන්ගේන් ඈත් කළ යුතුයි කියලා. නැත්නම් සේවයෙන් පහ කළ යුතුයි බව.
ඒ වගේම නවක වදය සිදුවීම එක්කම තමයි මේ දියණියගේ සිදුවීමත් එළියට ආවේ. නවක වදයේදී අධ්‍යාපන ඇමැති කමිටුවක් පත්කළා. නමුත් මේ සිදුවීමේදී අගමැතිතුමියවත් විෂය භාර ඇමැතිවරියවත් වචනයක්වත් ප්‍රකාශ කළේ නැහැ.
මේ දියණියගේ මව දරුවාට ලිංගික හිංසනය සිදුකළ තැනැත්තාගේ තොරතුරු ලබාදීලත් පොලිසිය ඇයි ඒ පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක නොකළේ. ඔහු අත්අංගුවට පත්වෙලා දින කිහිපයකට පස්සේ ඇප මත නිදහස් වෙලා ඒ පාසලේම නැවත සේවයේ පිහිටුවනවා. දූෂිතයන් ආරක්ෂා කළේ වත්මන් ආණ්ඩුවේ දේශපාලන රැකවරණයෙන්ද? ඒ දියණිය සිය දිවි හානි කරගන්න තැනටම පත් කළ ඇයට හදි කළ ගුරුවරුන් දෙදෙනා බේරාගැනීමට උත්සාහ ගත් බම්බලපිටිය හින්දු විදුහලේ විදුහල්පතිනියටත් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් අපූරු පිළිතුරක් දුන්නා .
"මේ ළමයා දූෂණය වුණා කියන සිද්ධිය සම්බන්ධයෙන් jmo රිපෝට් එකත් අරගෙන තියෙනවා. මම කිව්වා පෙත්සමක් එක්ක මව්පියන්ට මාව ඇවිත් හම්බවෙන්න කියලා. තවමත් ආවේ නැහැ. සමාජ මාධ්‍යයෙන් යුක්තිය ඉටු කරගන්න බැහැ. නීතිය අතට අරගෙන මේවට පිළිතුරු හොයන්න බෑ.”
"සමාජ මාධ්‍යයෙන් හඬනඟන්න ගත්තේ වගකිව යුතු අය ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග නොගත්ත නිසා. දරුවෙකුගේ අවසාන භාරකාරිත්වය තියෙන්නේ රාජ්‍යයට. දරුවෙක් තමන්ගේ ජීවිතය නැති කර ගන්න තත්ත්වයට පත්වුණ තැනකට රජයේ නියෝජිතයෙකුට යන්න බැරිව අර නැති වුණ දරුවාගේ අම්මාටයි තාත්තාටයි ලියුම් ලියාගෙන තමන් ළඟට එනකල් බලා ඉන්නවා නම් එතන තියෙන්නේ තනිකරම උද්දච්ච කම. මම අහන්නේ චූදිතයන් රකින්නේ ඔවුන් වත්මන් ආණ්ඩුවේ පාක්ෂිකයන් නිසාද?
රටේ දෙවැනි පුරවැසියා වන හරිනි අමරසූරිය අගමැතිනියද දොඩන බස්වලට වඩා ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු මොහොතක් මේක. ඔබත් ගුරුවරියක්. ඒ නිසා මනුසත්කම දේශපාලන මාරුතයට යට කරන්න එපා කියන ඉල්ලීම කරනවා. ඒ වගේම දියණියට සාධාරණයක් ඉටු වනතුරු අපි මේ සටන අත්හරින්නේ නැහැ.*
අධ්‍යාපන අමාත්‍යාංශය , ළමා ආරක්ෂක අධිකාරිය ලජ්ජා වෙන්න ඕන.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්
සිදුවීම වෙලා තියෙන්න ඉකුත් ඔක්තෝබර් මාසයේ 23 වන දා. එදා ඉඳන් අද වෙනකම් ම මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය කිසි ම ක්‍රියාමාර්ගයක් අරන් නැහැ. පාසලකදී දරුවෙක් ලිංගික අපයෝජනයට ලක්වුණා නම් ඒ ගැන කටයුතු කරන්න ඕන අධ්‍යාපන අමාත්‍යාංශය. නමුත් අමාත්‍යාංශයේ නිලධාරීන් කියන්නේ මේ ගැන දන්නේ නැහැ කියලා. මේ සිදුවීමට මුහුණ දුන්න දැරිය ගණිත විද්‍යාගාරය තුළදී තමන් මුහුණ දුන්න සිදුවීම ගැන ලියුමක ඇඳලා තියෙනවා. ඉතින් තවත් සාක්ෂි මොකටද?
අම්මා ගිහිල්ලා මේ සිදුවීම ගැන අදාළ පාසලේ විදුහල්පතිවරියට පැහැදිලිව ම කියලා තියෙනවා. ඒ කියලා ආවට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කිරීමේ වගකීම තියෙන්නේ විදුහල්පතිවරියට යි.
නමුත් මේ සිදුවීම සිදු වූ දා සිට මේ දක්වා ඒ සම්බන්ධව කිසිදු අධ්‍යාපන ආයතනයක් නිසි ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණෙ නැහැ. එම දැරිය මැරුණට පසු දෙමාපියන්ගෙන් සහ අනෙකුත් පාර්ශ්වවලින් එල්ල වූ දැඩි උද්ඝෝෂණ සමගයි ක්‍රියාමාර්ග අරගන්න පටන් ගත්තේ. ළමා ආරක්ෂණ පනතට අනුව මෙවැනි සිදුවීමක් වූ වහාම පාසලේ විදුහල්පති සහ එහි පහළ මට්ටමේ නිලධාරීන් තමයි මුලින්ම දැනුම් දීම සිදුකළ යුතු වන්නේ. නමුත් මේ වනතරුත් ඒ නිලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. බම්බලපිටිය හින්දු විදුහලේ විහල්පති පොලිසියටත් අධ්‍යාපන අමාත්‍යාංශයටත් මේ සිදුවීම වසන් කරලා තියෙන්නේ. සමාන්‍යයෙන් මෙවැනි සිදුවීමකදී වැඩ තහනමක් සිදුකළ යුතුයි. එසේ වැඩ තහනම් කරන්නවත් විදුහල්පති පිටතට මේ සිදුවීම ගැන දැනුම් දීමක් සිදුකරල නැහැ. මේ සිදුවීම ලංකාවේ සමස්ත පාසල් පද්ධතියටම ලොකු කැළලක්. ලංකාවේ බාලිකාවන් හතළිස් තුන් ලක්ෂයක් පමණ ඉන්නවා.ඒ සමස්ත කාන්තා ප්‍රජාවටම සහ සමස්ත පාසල් ප්‍රජාවටම මේක ලොකු කැළලක් වගේම දැවැන්ත ගැටලුවක්. මෙම සිදුවීම වුණ පාසලේ හිටියා සිදුවීමට විරුද්ධ අය .නමුත් සමස්ත පාසල් ප්‍රජාවම මේ විදුහල්පතිවරයා නිශ්ශබ්ද කරල තිබුණා. එම දැරිය පාසලෙන් අස්වෙලා යන දවසේ පවා විවිධ වූ වෙනස්කම් කර තිබුණා.
මේ සම්බන්ධයෙන් පසුගියදා විරෝධතා ඇති වුණාට පස්සෙ අධ්‍යාපන අමාත්‍යාංශය කරලා තියෙන්නේ මේ සිදුවීමට සම්බන්ධ ගුරුවරයා පුත්තලමේ සහීරා පාසලට මාරු කරලා යවලා විදුහල්පතිනියගෙන් නිදහසට කරුණු විමසන එක විතර යි. අධ්‍යාපන අමාත්‍යාංශය ලජ්ජා වෙන්න ඕන මේ කරලා තියෙන දේවල් ගැන. ඒ වගේම මේ සිදුවීමෙන් දින කිහිපයකට පස්සේ ගුරුවරයා අත්අඩංගුවට අරන් ඇප මත නිදහස් කරලා තියෙනවා. එහෙම අත්අඩංගුවට අර ගත්ත පුද්ගලයා සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය යටතේ ගන්න ඕන ක්‍රියාමාර්ග අරන් නැහැ. අනිත් බරපතළම කාරණය තමයි මේ සිදුවීම සම්බන්ධයෙන් නැවත වතාවක් එම ගුරුවරයා එම පාසලේම ගුරුවරයෙක් ලෙස රාජකාරියට යොමු කළේ කෙහොමද කියන එක.
දෙමාපියන් මේ සම්බන්ධව පොලිසියට සහ නීතිය ක්‍රියාත්මක කරන්න අදාළ තැන් වලට උදව් කළේ නැහැ. පොලිසිය සහ ළමා රක්ෂණ අධිකාරිය පවසනවා. මෙහි සත්‍යතාවක් තිබේද?
මෙය සම්පූර්ණ අසත්‍යයක්. ඔය පුටුවල ඉන්න අය කරන්නේ බෝල පාස් කරන එක. ආණ්ඩුවේ පාර්ශ්වය තමයි මේ බොරු කටකතා පතුරුවන්නේ.
ඒ වගේම මේ ළමයාට උපකාරක පන්තියෙදි නැගිට්ටවලා දොස් පවරලා අපහසුතාවට පත් කරලා තියෙන්නේ ජාතික ජන බලවේගය පක්ෂයේ පුද්ගලයෙක්. ඒක ගැනවත් සොයා බැලීමක් කරලා නැහැ.
මෙය සිදු වූ වහාම ඒ අම්මා වෛද්‍යවරායට දැනුම් දෙනවා. වෛද්‍යවරයා තමයි ඇය අධිකරණ වෛද්‍යවරයා ළඟට යොමු කරන්නෙ.පසුව අධිකරණ වෛද්‍යවරයා පොලිසියට දැනුම් දෙනවා.පසුව කොටහේන පොලිසිය සහ බම්බලපිටිය පොලිසිය විසින් අම්මගෙන් කට උත්තර ලබාගෙන තියෙනවා.ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියනවා මේ ගැන පැමිණිල්ලක් නැහැ කියලා. ඇත්තට ම ළමා ආරක්ෂක අධිකාරියත් ලජ්ජා වෙන්න ඕන.
නදීශා අතුකෝරළ
"දැරිය ලජ්ජාවට පත් කළ බව කියන ගුරුවරයා ගැන
අධිකරණයට කරුණු වාර්තා කළා”
- පොලිස් මාධ්‍ය ප්‍රකාශක
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගගෙන් කළ විමසීමකදී කියා සිටියේ, උපකාරක පන්තියේදී මියගිය දැරිය ලජ්ජාවට පත් කළ බව කියන ගුරුවරයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවය.
එම උපකාරක පන්ති ගුරුවරයා විසින් දැරිය ලජ්ජාවට පත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දැරිය මිය යාමෙන් පසුව තොරතුරු හෙළිදරව් වී තිබූ අතර ඒ සම්බන්ධ ක්‍රියා මාර්ග මේ වන විටත් ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු, ළමා හා කාන්තා කාර්යාංශයට මේ වන විට භාර දී ඇති බවද බුද්ධික මනතුංග කීය.
එම අතවර සිද්ධියට සම්බන්ධයෙන් අදාළ ගණිත ගුරුවරයා ඉකුත් දෙසැම්බර් මාසයේ බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසීය.
කොටහේන දැරියගේ මරණයෙන් මැති සබය රත්වෙයි
මාලිමාවේ සංවිධායක සම්බන්ධයි
මුජිබර් රහුමාන්
මරණය විකුණන් කන්න එපා
සභානායක
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට්ටියක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් සිකුරාදා පෙරවරුවේ ඇති විය.
මේ සිද්ධිය ගැන සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න කතාකිරීමට උත්සාහ ගත් අවස්ථාවේදී කථානායකවරයා ඊට ඉඩ ලබා දුන්නේ නැත. මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සිය අසුන්වලින් නැගිට දිගින් දිගටම කෑගසන්නට වූහ.
මේ හේතුවෙන් සභාව පාලනය කර ගැනීමට කථානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
දැරියගේ මරණය සම්බන්ධයෙන් එහිදී මතුවූ සංවාදයයි මේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස;
මේක බොහොම සංවේදී ප්‍රශ්නයක්. උපකාරක පන්ති ගුරුවරයකුගේ අතවරයක් නිසා පහළොස් හැවිරිදි දැරියක් මහල් නිවාසයකින් පැනලා සිය දිවි හානි කරගෙන තිබෙනවා. මේ අතවරය නිසා ඒ දැරිය පාසල වෙනස් කරගෙන තිබෙනවා. පස්සේ උපකාරක පන්ති ගුරුවරයෙකු කරපු ප්‍රකාශයක් හේතුවෙන් ඇය මෙසේ සිය දිවි හානි කරගෙන තිබෙනවා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ අප්‍රේල් 29. අතවරය කළා කියන ගුරුවරයාට මාරුවීමක් ලබාදී තිබෙනවා. පොලිසිය දැනුවත් කරල තියෙන්නෙත් රෝහලේ වෛද්‍යවරයා. ළමා අධිකාරියත් දැනුවත් වෙලා නැහැ. මෙවැනි දේවල් වළක්වා ගන්න නීතිමය ක්‍රමවේදයක් අවශ්‍යයි. ඉක්මන් පියවර ගැනීමත් අවශ්‍යයි. මේ ප්‍රශ්නය උපකාරක පන්තියකදී ප්‍රසිද්ධියේ දිගහැරපු ගුරුවරයට එරෙහිව යම්කිසි පියවරක් ගන්න ඕනැ.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය.
අප මේවාට පරිස්සමින් මැදිහත් විය යුතුයි.මේ වගේ සිද්ධි වෙනකොට සමාජයක් විදිහට අපි ෆේල්. මෙවැනි සිද්ධි නැවත සිදු නොවිය යුතුයි. පළමු සිද්ධිය වුණු වෙලාවේ වාර්තාකරණය හරියට වෙලා නැහැ. කතා මත තීන්දු ගන්න බැහැ. ස්වාධීන පරීක්ෂණයක් යනවා. ඒකට බාධා කරන්න බැහැ. ගුරුවරයා ගැන දැනුම් නොදීම ගැන නිදහසට කරුණු විමසා තිබෙනවා. මෙවැනි සිද්ධි වැළැක්වීමට ක්‍රමවේදයක් ඇති කරන්න අපි සාකච්ඡා කරගෙන යනවා. මේක අතිශයින්ම අවාසනාවන්ත සිද්ධියක්. මම ඒ ගැන කනගාටු වෙනවා. මව්පියන්ටත් පවුලටත් සංවේගය පළ කරනවා. මෙවැනි සිද්ධි වළක්වන්න පුළුල් මැදිහත්වීමක් අවශ්‍යයි.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා:
යමක් විභාග කරන්න පැමිණිල්ලක්ම එන්න ඕනැම නැහැ. සමහර ආයතන හිතන්නේ එහෙමයි. තොරතුරු ලැබුණා නම් පොලිස් රෙගුලාසි අනුව විමර්ශනයක් අරඹන්න පුළුවන්. ළමා ආරක්ෂක අධිකාරියටත් එහෙමයි. වගකීම වින්දිතයාට පවරන ආකල්ප නොතිබිය යුතුයි.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක ;
මේ සිද්ධිය ආරංචි වුණාට පස්සේ කාන්තා කටයුතු ඇමැතිවරිය පොලිසියේ ප්‍රධානියකුට දැනුම් දීලා තිබුණා. එතුමිය අම්මල තාත්තලගේ පැමිණිලි බලාගෙන හිටියේ නෑ. එතුමිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙවැනි සිද්ධියකදී පැමිණිල්ලකුත් අවශ්‍යයි. දිවුලපිටිය දරුවා සිද්ධියේදී අන්තිමට හිරේ ගියේ අහිංසක මිනිහෙක්.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මූජිබර් රහුමන් :
මම දන්නා තොරතුරක් මේ අගමැතිතුමියට කියන්න යන්නේ. විදුහල්පති මේ ළමයා අයින් කරගන්න මවුපියන්ට බලපෑම් කරලා තියෙනවා. පෙළපාළි ගියාට පස්සේ තමයි ඒ ගුරුවරයා මාරු කරලා තියෙන්නේ.
අගමැතිනි
ඒක වැරදියි. ගුරුවරයා මාරු කළේ ඊට කලින්. ඒකට අමාත්‍යාංශය මැදිහත් වෙලා තිබුණා. විදුහල්පතිතුමාගෙන් නිදහසට කරුණු ඇහුවෙත් කලින්.
මුජිබර් රහුමන් :
විදුහල්පතිතුමා මේ ගැන නිසියාකාර පරීක්ෂණයක් කළේ නැහැ. දරුවා ඉස්කෝලෙන් අයින් කරගන්නේ විදුහල්පතිතුමාගේ බලපෑම නිසා. ඉස්කෝලෙන් අස් වුණාට පස්සේ ඔය ගුරුවරයාගේ හිතවතාගෙ ටියුෂන් ක්ලාස් එකට ගියාම, ඒ ටියුෂන් ගුරුවරයා මේ ළමයට අපහාස කරනවා. එතකොට තමයි මේ ළමයා වැටෙන්නේ. එ් ටියුෂන් ක්ලාස් එක තියෙන්නේ ඒ ළමයාගේ ගමේ. ළමයට පරිසරයට මුහුණ දෙන්න බැරිවුණා. ලොකු මානසික පීඩනයක් ඇතිවුණා. ඒනිසා දරුවා ඒ තීන්දුවට ගියා. ඒ ටියුෂන් මාස්ටර්ගේ ගෙදරට අද පොලිස් ආරක්ෂාව දීලා තියෙනවා.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, පොලිසිය ඒකාබද්ධව විමර්ශනයක් කරන්න ඕනෑ. මේ පරීක්ෂණයේ විශ්වාසනීයත්වය ගැන ගැටලුවක් මතුවෙලා තියෙනවා.
අගමැතිනිය:
අපි කවුරුත් දන්නෙ නෑ මෙතන මොකක්ද වුණේ කියලා. පරීක්ෂණයට බාධා කරන්න එපා. වැරද්දක් වුණු බව කවුරුත් පිළිගන්නවා. සමාජ මාධ්‍යවල යන තොරතුරු මත පදනම්ව කතන්දර කියන්න හොඳ නෑ. අපේ උත්සාහය හරි ක්‍රියාමාර්ගය ගන්නයි. මෙතන වින්දිතයන් ගණනාවක් ඉන්නවා. තවත් දරුවන් ඉන්නවා. ආචාරශීලි විදියට මේකට මැදිහත් වෙන්න ඕනැ.
සියලු දේවල් මෙතන කියන කොට පරීක්ෂණයක් මොකටද.
විපක්ෂ නායක:
අපි කාටවත් චෝදනා කරන්නේ නෑ. 2024 අපයෝජනයක් සිද්ධ වෙලා තියෙනවා. බලපෑම් මත දරුවා පාසලෙන් ඉල්ලා අස්කරගෙන ගිහිල්ලා තියෙනවා. මෙතන නිශ්චිත කාරණා තියෙනවා. අපි කියන්නේ නිසි ක්‍රමවේදයක් හදන්න කියලයි. අපි මේවා කියන්නේ සෝෂල් මීඩියා බලලා නොවේ. පොළොවේ පය ගහලා මේවා කියන්නේ. මේක සංවේදී කාරණයක්.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න
අපි දැන් අනෙක් කටයුතුවලට යමු.
(රෝහිණී කුමාරි විජේරත්න කතා කිරීමට නැගිට සිටියාය)
කථානායක:
ඔබතුමිය අසුන් ගන්න
(සභාවේ ඝෝෂා)
සභා නායක බිමල් රත්නායක ;
දැන් අපි මේක කීප සැරයක් කතා කළා. විපක්ෂ නායක දෙපාරක් කතා කළා. අගමැතිතුමිය කතා කළා. එහෙනම් මොකක්ද. එතුමියට විතරක් විශේෂ බලයක් නෑ. එහෙම නම් අනෙක් කාන්තාවන්ටත් දෙන්න ඕනැ. අපිට විස්සක් ඉන්නවා.
(විපක්ෂයෙන් බාධා)
බිමල් රත්නායක
මේ හදන්නේ මරණය විකුණන් කන්න . මරණ විකුණන්න හදන්න එපා. අපි දරුවන්ට ආදරෙයි. දරුවගේ ප්‍රශ්නය විකාරයක් කර ගන්න එපා. දේශපාලන වේදිකාවක් කර ගන්න එපා.
(දිගටම ඝෝෂා)
ඔබතුමා (කථානායකතුමා දෙස බලමින්) ඉතිහාසයේ පළමු වතාවට අගමැතිතුමියගේ මයික් එක ඕෆ් කළා. කවදාවත් රටේ අගමැතිනියගේ මයික් එක ඕෆ් කළේ නැහැ. අගමැති කියන්නේ අගමැති.
(සභාවේ ඝෝෂා)
සුජිත් හේවාජුලිගේ සහ
අංජුල මහික වීරරත්න