දේශපාලන කරළිය කැලඹු කාවන්තිස්ස ඇතාගේ නික්ම යාම


ජනාධිපති සමාවක් ලැබෙන්නෙ නෑ

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම හා සිවුරු ගලවා ගිහි වෙස්ගැන්වීමේ සිදුවීම මෙම සතිය තුළද බොහෝ කතාබහට මාතෘකා විය. ජනාධිපති අනුර කුමාර දිසානායකටද මෙම නිසාම දුරකථන ඇමතුම්වලින් අඩුවක් වූයේ නැත. ඉන් බොහොමයක් ඇමතුම් පැමිණියේ මහා සංඝරත්නයෙනි. උන්වහන්සේලා ජනාධිපතිවරයාට කියා සිටියේ ඥානසාර හිමියන් අධිකරණයට රැගෙන එන අවස්ථාවල චීවරයෙන්ම කැඳවාගෙන ඒම සුදුසු බවය.

ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවෙන්ද එලෙස යෝජනා කර තිබෙන නිසා ඒ පිළිබඳ ගැටලු‍වක් නැති බවත්, තමන් ද එම ක්‍රමය සුදුසු බව දකින බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. ඉන් සමහර දෙනකු ජනාධිපතිවරයාට කියා සිටියේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබා නොදිය යුතු බවය. ජනාධිපතිවරයා හා සම්බන්ධ නීති ක්ෂේත්‍රයේ ඇතැමකු පෙන්වා දී ඇත්තේ අධිකරණයට අපහාස කිරීමක් වැනි සිදුවීමකදී වරදකරු වූ තැනැත්තකුට ජනාධිපති සමාව දීම තුළින් අධිකරණ පද්ධතියම කලබල විය හැකි බවය.

“මේක මට ජනාධිපති ලෙස සමාව දෙන්න පුළුවන් තත්ත්වයක් නොවෙයි. එහෙම සමාවක් ලබා ගන්නවා නම් අධිකරණයට යන්න වෙනවා....’’ ජනාධිපතිවරයා සඳහන් කළේය. අපේ නීතිවල කාලයක් තිස්සේ වෙනස් වෙලා නැති සමහර වගන්ති සංශෝධනය කරන්න වෙනවා. ආගමික නායකයෙක් අධිකරණයට රැගෙන එද්දී කුමන ඇඳුමකින්ද රැගෙන ආ යුත්තේ කියන ප්‍රශ්නෙත් අපට සාකච්ඡා කරලා නිරාකරණය කරගන්න පුළුවන්. ඒත් ජනාධිපති සමාව ගැන නම් කතා කරලා පලක් නෑ.....’’ ජනාධිපතිවරයා කියා සිටියේ, තමන් මෙවැනි කරුණකට ජනාධිපති සමාව නොදෙන බව නොකියා කියමිනි. ඉකුත් සතියේ බදුල්ලේ පැවැති කාන්තා සමුළුවේදී ද ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ, අධිකරණයෙන් ලබාදෙන තීන්දු සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් කිරීමට තමන් කිසිසේත්ම කටයුතු නොකරන බවය.

ඇමැති හමුවෙන් පසු කතාබහක්

ඇමැති මණ්ඩල රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ සඳුදා දිනයේය. රජයේ ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීම සිදුවන්නේ එහිදීය. රැස්වීම අවසන් වී ජනාධිපතිවරයා ඇමැතිවරුන් දෙතුන් දෙනකු සමඟ වත්මන් දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡාවක නිරත විය.

‘‘අපි කලින් විපක්ෂයේ ඉන්නකොට සැකකරුවන්ට ජනාධිපති සමාව දෙන එකට විරුද්ධ වුණා. දැන් විපක්ෂය ජනාධිපති සමාව දෙන්න කියලා ජනාධිපතිට බල කරනවා. පුදුම විපක්ෂයක් අපිට තියෙන්නේ......’’ එසේ පැවසුවේ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරය.

‘‘අපිට ජනාධිපති සමාව දෙන එක ගැන හිතන්නවත් බෑ. අපේ ජනවරමටත් පටහැනියි. අධිකරණ තීන්දුවක් වෙනස් කරන්න අපි වගේ ආණ්ඩුවකට කොහොමවත් බෑ....’’ ඇමැති නලින්ද ජයතිස්ස කීවේය.

‘‘මේ අය 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන වෙලාවේ මොනවද කීවේ. ආණ්ඩුවයි, ජනාධිපතියි අධිකරණයට බලපෑම් කරනවා කීවා. අධිකරණය දේශපාලනීකරණය කරලා කීවා. දැන් අපිට කියනවා ජනාධිපති බලය පාවිච්චි කරලා නඩු තීන්දු නොසලකා ජනාධිපති සමාව දෙන්න කියලා. එල්ලෙන්න වැලක් නැතිවුණාම තමන් ඉන්න ස්ථාවරය ගැනවත් විපක්ෂයට මතක නෑ.....’’ ජනාධිපතිවරයා කියා සිටියේය.

භික්ෂූන් වහන්සේලා ගෙන යන විරෝධය පිළිබඳව ද ඇමැතිවරුන් හා ජනාධිපතිවරයා අතර කතාබහ වූ අතර, තම ඡන්ද පදනමට කිසිදු හානියක් වී නොමැති බව ජනාධිපතිවරයාගේ මතය විය. කාවන්තිස්ස ඇතාගේ මරණය පිළිබඳව ද කතාබහට ලක්වූ අතර, තමා විසින් පත්කර ඇති විශේෂ කමිටුව මේ ගැන සොයා බලා සිදුවී ඇති දේ හෙළිදරව් කරනු ඇති බව ජනාධිපතිවරයාගේ අදහස විය.

අලු‍ත් අපරාධ පනත දෙවැනි වර කියවීමට

අධිකරණ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී රැස්වූයේ පනත් කෙටුම්පත් දෙකක් පිළිබඳ විපක්ෂයෙන් දැඩි විරෝධයක් මතුවී පවතින පසුබිමකදීය.ි‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත” එම පනත් දෙකය. මේ පනත් දෙක පිළිබඳව පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කෙරුණි.

අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල, පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ආණ්ඩු පක්ෂයෙන්ද, නීතිඥ අජිත් පී. පෙරේරා ඇතුළු පිරිසක් විපක්ෂයෙන් ද සහභාගි වූහ.

‘‘දැන් කතාවක් ගෙනියනවනේ ටැටු ගහලා හිටියත් අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. මොකද ඇමැතිතුමා මේ ගැන කියන්නේ....?” සුනිල් වටගල නියෝජ්‍ය ඇමැතිවරයා ඇමැති හර්ෂණ දෙසට හැරුණේය.

‘‘ඒක සම්පූර්ණ බොරුවක්. පනතට දාලා තියෙන වගන්තිය හිතාමතාම විකෘති කරලයි මේ පිරිස ඔය විවේචනය කරන්නේ. අපි මේ වගන්ති අහසින් ගලවලා ගත්තේ නෑ. ලෝක සම්මත නීති අනිත් රටවල තියෙනවා. ඒ නීති අනුවයි මේ පනත හැදුවේ, ජාත්‍යන්තර සම්මුතිවලට අනුව..... සංවිධානාත්මක අපරාධ කල්ලිවල සාමාජිකයෝ විතරයි අපි ඉලක්ක කරන්නේ. මෙයාලා කියනවා කොණ්ඩේ වැව්වත් අල්ලගෙන යනවා කියලා. අනේ මන්දා මේවා කොහොම කියනවාද කියලා. කොණ්ඩේ ගැන පනතේ වචනයක්වත් නෑ.....” ඇමැති හර්ෂණ නානායක්කාර කීවේය.

‘‘ඔව්.... මේ පනත හොඳ සවන්දීමක් කරන හොඳ පනතක්. පනතේ ඉලක්කය වෙන්නේ සංවිධානාත්මක අපරාධ මැඩලීම. ඒක රටට පිළිලයක් වෙලා තියෙන්නේ” ඇමැති සුනිල් වටගල කීවේය.

මෙම පනතේ සිංගප්පූරුවේ අපරාධ මර්දන පනතේ වගන්තිද ඒ ආකාරයෙන්ම ලබාගෙන ඇති බව කී අධිකරණ ඇමැති හර්ෂණ, තවත් රටවල් ගණනාවක නූතන අපරාධ මර්දන පනත් සලකා බලා මෙම පනත සකස් කර ඇති බව ද කියා සිටියේය.

අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, මහේස්ත්‍රාත්වරයකුට ඇප දිය හැකි වගන්ති ඉවත් කර මහාධිකරණයෙන් ඇප ලබා ගත යුතු බවට නව වගන්ති පනවා ඇති බවය. මෙයින් වසරකට වඩා වැඩි කාලයක් සැකකරුවකු අත්අඩංගුවේ තබා ගත හැකි බව ද ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය මේ නිසා දැඩි පාලනයකට ලක් වීමට සිදුවන බවද අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

‘‘කොරහේ කිඹුල්ලු‍ දකිනවා....” නියෝජ්‍ය ඇමැති වටගලගේ පිළිතුර විය. මේ පනතට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවල කොටසකුත් ඇතුළත්. පච්ච කොටාපු හැම මිනිහම අල්ලලා හිරේ දාන්න බෑ. හැබැයි පුද්ගලයෙක් ගැන බැලූ බැල්මට පෙනෙන කරුණුවලින් අපරාධකාරයෙක්ද කියලා ඒකත් අදාළ කරගන්න පුළුවන්. ටැටු එක නඩුවට අදාළ වගන්තියක් විතරයි. ටැටු ගහපු හැම මිනිහම අල්ලන්නේ නෑ....” නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල කීවේය.

එම උපදේශක කාරක සභාවේදී එම පනතට අනුමැතිය හිමි විය. තව දෙසතියකින් එළඹෙන පාර්ලිමේන්තු සතිය වන විට, මේ වන විට අධිකරණයේ පනතට එරෙහිව විභාග වන නඩුවල තීන්දුව කථානායකවරයාට ලැබී තිබෙනු ඇතැයි ද එම සතියේදී මෙම පනත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කරන බව ද රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

අලි ඇතුන් ගැන සජිත්ගේ අනාවරණය

ලංකාවේ දැවැන්තම හස්තිරාජයා ලෙස සැලකුණු කාවන්තිස්ස හස්තිරාජයා වෙඩි වැදී අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දැනුම් දුන්නේ ඔහුගේ මිතුරෙකි.

‘‘ෂා.... අපරාදේ..... කොහෙද වැටිලා ඉන්නේ?....” තමාට පණිවිඩයක් ලබා දුන් තැනැත්තාගෙන් එසේ ඇසූ විපක්ෂ නායකවරයා, තමාගේ සියලු‍ දේශපාලන කටයුතු පසෙකලා ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයට වහාම පිටත්ව ගියේය.

ඔහු ගමන අතරතුර ද මිතුරන් සමඟ කියමින් ගියේ කාවන්තිස්සට එම නම තැබුවේ තමා බවයි. මම කලාවැව ආශ්‍රිත වනාන්තරයේදියි මෙයාව මුලින්ම දැක්කේ. මම ඇත්තු කීප දෙනකුටම නම් දාලා තියෙනවා. මෙයා කළුයි. කාවන්තිස්ස නම මෙයාට ගැළපෙනවා’’ සජිත් කීවේය.

සති අන්ත දින දෙකම ගල්ගමුවේ නැවතී සිටීමට සජිත්ට සිදුවූයේ පසුදා එම දැවැන්තයා මියගිය නිසාය. මහා සංඝරත්නය කැඳවා කාවන්තිස්සට අවසන් ගෞරව පුද කරන අවස්ථාවට ද එක්වූ සජිත් කොළඹට පැමිණියේ මෙරට අලි ඇත් සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු පියවර ගැන පරිසරවේදීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමටය.

එම සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදීය. සජබ කළුතර දිස්ත්‍රික් ආසන සංවිධායකවරයකු වන නයනක රන්වැල්ල ඇතුළු පරිසරවේදීහු විශාල පිරිසක් එම රැස්වීමට පැමිණ සිටියහ. එහිදී සජිත් අලි ඇතුන් ගැන දිගු විස්තරයක් කළේය.

තම පියා වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇමැතිවරයකු කාලයේ සිටම වනජීවී ඡායාරූපකරණයේ නියැළුණු බව සජිත් සිහිපත් කළේය. අගමැති වූ පසුව ඔහු විවේකී බොහෝ අවස්ථාවල් ගත කළේ යාල ඇතුළු වනාන්තරවල වනසතුන් ඡායාරූපගත කරමිනි. තම පියාගේ සමයේ සිටම යාලේ සිටි ප්‍රකට දළ ඇතුන් ගැන සජිත් එහිදී මතකය අවදි කළේය.

‘‘වලස්ගමුවේ ඇතා තමයි ඒ කාලේ හිටිය ලොකුම ඇතා. කැලේ ඇතුළට ගිහින් ඒ ඇතාගේ ඡායාරූප ගැනීම ඉතා දුෂ්කරයි. කීපදෙනෙක් ඡායාරූප ගත්තා. මගේ පියාත් ඉන් එක් කෙනෙක්. හිමිදිරි පාන්දරයි ඒ ඇතා වතුර බොන්න ගල් තලාවක් ළඟ පොකුණකට එන්නේ. මගේ පියා ගිහින් ගල් තලාවේ ඉඳලා මේ ඇතා ආවම ඡායාරූප ගත්තා. පොඩි-පූට්ටුවා, මහ පූට්ටුවා වගේ තවත් දිග දළ තියෙන ප්‍රකට ඇතුන් හිටියා. මමත් වනයේ ඇවිදලා සතුන්ගේ ඡායාරූප ගන්නවා. ගැමුණුට නම තිබ්බේ මම. පැරකුම් කියන නම දැම්මෙත් මම. ඒ ඇතා තමයි සිතුල්පව්ව අවට සැරිසරන්නේ. මහසෙන්, තිලක් ඒ ඇතුන් සියල්ල අපට අහිමි වුණා” විපක්ෂ නායක සජිත් එහිදී කියා සිටියේය.

පරිසරවේදීන් ගණනාවක්ද මෙහිදී අදහස් පළ කළ අතර, එහිදී තීන්දු වූයේ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයක් ආරම්භ කිරීමටය. කාවන්තිස්ස ඇතාට කරන ගරුකිරීමක් ලෙස එම සංවිධානය කාවන්තිස්ස” ලෙස නම් කිරීමට ද තීරණය විය.

ඇතුගේ මරණයත් සමඟ ඒ පිළිබඳ විවිධ අදහස් සමාජ මාධ්‍යයේ පළවිය. ඇතැමුන් ඍජුවම පරිසර ඇමැතිවරයාට චෝදනා කර තිබුණේ ඇතාට නිසියාකාරව බෙහෙත් නොකළ බව පවසමිනි.

විපක්ෂ නායක සජිත් ද පාර්ලිමේන්තුවට පැමිණි විගසම තම මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡා කළේ කාවන්තිස්සගේ මරණය ගැන සත්‍යය හෙළිදරව් කර ගැනීමට කටයුතු කළ යුතු ආකාරය ගැනය.

‘‘අපි කථානායකගෙන් මේ ගැන සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලා සිටිමු” සජබ මන්ත්‍රීවරු කීහ. ඒක හොඳයි. එතකොට අදාළ පාර්ශව තම වගකීම් ඉටු කළා ද නැද්ද කියන එක සොයා ගන්න පුළුවන්” විපක්ෂ නායකවරයා කීවේය. ඒ අනුව සජබ මන්ත්‍රී අත්සනින් යුතුව එම යෝජනාව කථානායකවරයා වෙත භාර දුන්නේය.

ගැටඹේ පන්සලට සජිත් මුලින් ගිය හැටි

කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලවල විවිධ ඉසව්වලින් ජයගත් ජයග්‍රාහී සිසු සිසුවියන්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයක් ඉකුත් ඉරිදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම ත්‍යාග ප්‍රදානයට ලක්ෂයකට අධික වූ සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහය දක්වා තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. දිස්ත්‍රික් ලේකම් ඇතුළු රජයේ නිලධාරීහු මෙම උත්සවයට සහභාගි වූහ. විපක්ෂ නායක සජිත් සමඟ සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ද එක්ව සිටියේය.

ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ අපවත්වීම සජිත්ට ආරංචි වූයේ එම උත්සවය අතරතුරය.

‘‘හරිම කනගාටුවක්.....” සජිත් එසේ කියමින් තිස්ස අත්තනායක දෙසට හැරුණේය.

‘‘ඇයි?” තිස්ස විමසුවේය.

‘‘ගැටඹේ නායක හාමුදුරුවෝ අපවත් වෙලා. ඔයානේ තිස්ස මම උන්වහන්සේව මුලින්ම සම්බන්ධ කරලා දුන්නේ.....” සජිත් කීවේය.

‘‘උන්වහන්සේගේ අභාවය පළාතටම ලොකු පාඩුවක්. යූඑන්පී අය නොයන පන්සලක් ලෙස ලේබල් වෙලා තිබ්බ එක නැති කරන්නනේ මම ඔයාව පන්සලට සම්බන්ධ කළේ.....” එසේ කී තිස්ස අතීත සිදුවීම් කීපයක් ද කියා සිටියේය.

ජනාධිපති ජේ.ආර්.ගේ සමයේ ගැටඹේ පන්සල වටකර කටුකම්බි ගහපු සිද්ධියෙන් පසු එජාප දේශපාලකයන් ගැටඹේ පන්සලට ගියේ නැත. එවකට සිටි ලබුදූවේ සිරිධම්ම නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් විහාරාධිපති ධුරයට පත්වූ අතර, තිස්ස අත්තනායක නිතර පන්සලට ගොස් නායක හිමියන් බැහැදැකීම සිරිතක් ලෙස පැවැතිණි.

‘‘එක දවසක් මගෙන් උන්වහන්සේ ඇහුවාිමොකද මේ යූ.ඇන්.පී. හා සජබ දේශපාලකයෝ මේ පන්සලට නොඑන්නේ?’ කියලා. ඊට පස්සේ මං කීවා පරණ ප්‍රශ්නයක් තියෙනවනේ නායක හාමුදුරුවනේ, වැට ගැහුවට’ කියලා. ඕවා පරණ කතානේ. ඔය සජිත් ප්‍රේමදාසට එන්න කියන්න. මේ රට දැන් යන හැටි හොඳ නෑ’ කියලා මට කීවා. ඊට පස්සෙයි මං ඔයාව එක්කගෙන ගියේ....” තිස්ස අත්තනායක කීවේය.

සජිත් සහ නාහිමියන් අතර ඉන්පසු දැඩි හිතවත්කමක් ඇතිවූ අතර, උන්වහන්සේ ලියා ඇති ජීවිත කතාවේද සඳහන් වන්නේ ”‍වැඩි ආශ්‍රය නොකළ කෙනෙක් මාව හමුවුණා... හැමදාම එන අය නොදුටු මගේ රෝගයක් දැක එයා බෙහෙත් අරගෙන දුන්නා. ඒ තමා සජිත් ප්‍රේමදාස”‍ යනුවෙනි.

‘‘කියන්න තියෙන දේ මූණටම කියන බොහෝම ගරු කටයුතු හාමුදුරු කෙනෙක්....’’ සජිත් තිස්ස සමඟ කියා සිටියේය.

අපරාධ පනතට පෙරටුගාමීනුත් විරුද්ධයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ද මෙවර කතාබහට ලක්වූයේ සංවිධානාත්මක අපරාධ මර්දනය සඳහා ගෙනැවිත් ඇති නව පනත ගැනය.

“ඔන්න අපරාධ මර්දනයට කියලා තවත් පනතක් ගෙනත්. මේක ජනතාවට එරෙහිව පාලක පංතිය කරන සංවිධානාත්මක අපරාධයක්. පනත එහෙම නම් කරලා තිබුණට ඇත්ත අරමුණ තමයි සංවිධානාත්මක ජනතා ක්‍රියාකාරකම් මැඩලීම....” පෙරටුගාමී නායක කුමාර් ගුණරත්නම් කියා සිටියේය.

‘‘ආණ්ඩුවට විරුද්ධ මත දරන ජනතාව අල්ලගත්තම තමන්ට වුවමනා ආකාරයට වැරැද්ද නිර්වචනය කරන්න පුළුවන් විදිහට තමයි පනත ලියලා තියෙන්නේ.... අනික අපරාධ කල්ලි සාමාජිකයන් හඳුනා ගැනීම කියලා වගන්තියක් තියෙනවා. එම කල්ලිය භාවිතා කරන ඇඳුම් විලාසිතා, භාෂාව, පච්ච ආදිය භාවිත කිරීමත් අත්අඩංගුවට ගන්න පුළුවන් වැරදි කියලයි දැන් ගෙනත් තියෙන පනතේ තියෙන්නේ.....” පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කීවේය.

‘‘පොලිසියේ සමාජ මාධ්‍ය අඩවියකත් දැන්වීමක් පළ කර තියෙනවා කතා කරද්දී දෙපාරක් හිතන්න කියලා. ඔන්න ආණ්ඩුව ජනතාවට බයවෙලා තියෙන තරම. එතකොට භාෂණයේ නිදහස කියලා ව්‍යවස්ථාවේ තියෙන්නේ බොරුවක් ද?” පක්ෂ නායක කුමාර් ගුණරත්නම් කීවේය.

දුමින්ද නාගමුව පෙන්වා දුන්නේ, යුරෝපා රටවල ජනතාව පාලක පංතියට එරෙහිව පෙරට එන අයුරු දැකීමෙන් මෙරට අයගේත් බඩ බුරුල් වී ඇති බවය.

මෙම පනත මර්දනකාරී පනතක් බව කියා සිටි එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීන්දු කළේ මර්දන උත්සාහයන් සියල්ලම මහ පාරේදී පරාජය කළ යුතු බවය.

මහින්දගෙන් නාමල්ට ලිපියක්

මේ දිනවල රෝහල්ගතව ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිය පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත සුවිශේෂී කරුණු ඇතුළත් ලිපියක් යොමුකර ඇත. මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම අනුව ඔහුගේ ලේකම්වරයකු විසින් කෙටුම්පත් කර ඇති මෙම ලිපියේ අඩංගු කරුණු සියල්ලම මෙතෙක් එළියට පැමිණ නැත. එහෙත් පාර්ලිමේන්තුවට ආ නාමල් තමන් හමුවීමට ආ පක්ෂ ලේකම් ඇතුළු හිතවතුන්ට මෙම ලිපියේ කොටසක් කියැවීය.

එම ලිපිය හරහා මහින්ද තම පුත්‍රයාට අවධාරණය කර ඇත්තේ, අධිකරණය කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසය. 2010 වසරේදී නාමල් දේශපාලනයට පිවිසෙන විට තමන් ඊට අවසර ලබා දුන්නේ සිරගතවීමට සහ දුක් විඳීමට ලෑස්ති නම් පමණක් එන ලෙස බව සිහිපත් කර ඇති හිටපු ජනාධිපතිවරයා, තමන්ද දේශපාලනයට පිවිසි මුල් යුගයේ පදනම් විරහිත චෝදනාවක් මත බන්ධනාගාරගත වූ බව එහි සඳහන්ව ඇතැයි නාමල් පවසා ඇත.

මේ වන විට තමන් සහ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, යෝෂිත සහ රෝහිත ඔවුන්ගේ සුවදුක් සොයා බලන බවත් එම ලිපියේ සඳහන් කර ඇතැයිද නාමල් පවසා තිබේ. ලිපිය නාමල්ට භාර දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක විසිනි.

නාමල් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ආවේද බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස් රථයෙනි. පාර්ලිමේන්තුවට පැමිණි නාමල් මුලින්ම කළේ ශාරීරික ව්‍යායාම සඳහා පාර්ලිමේන්තු ජිම් එකට යාමය. ඩී.වී. චානක කලබලයෙන් නාමල් ළඟට ආවේය.

‘‘මෙන්න නිවුස් එකක්....” චානක කීවේ ජංගම දුරකථනයෙන් යමක් පෙන්වමිනි.

‘‘මොකක්ද නිවුස් එක....” නාමල් ද කුතුහලයෙන් යුතුවම විමසුවේය.

‘‘නිමල් පෙරේරාගේ වෙබ් සයිට් එක අතුරුදන් වෙලා කියලා හැම තැනම නිවුස් යනවා. මේකේ දාලා තියෙන්නේ නිමල් පෙරේරාගේ සාක්ෂිය මත පමණක් නාමල් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහුගේ සියලු‍ ව්‍යාපාර විස්තර ඇති වෙබ් අඩවිය එකවරම අතුරුදන් වී ඇති බවත් කියලා....” ඩී.වී. චානක කීවේය.

‘‘මං උදේ ආවම කීප දෙනෙක්ම ඔය කතාව කිව්වා. අන්තිමට අපි තමයි ඕකත් කළේ කියලා කියන්නත් බැරි නෑ....” නාමල් කීවේ සිනාසෙමිනි.

එදින නාමල් පාර්ලිමේන්තුවට ආවේ කතා කිරීමේ සූදානමකින් තොරවය. එහෙත් බොහෝ දෙනා ඔහුට කීවේ කතා කරන්න කියාය.

‘‘නාමල්.. ඔයා කතා කරන්න. මට මගේ කතාව පස්සට දාගන්නම්” චාමර සම්පත් එසේ කියා නාමල් වෙනුවෙන් තම කතාව ඉවත් කර ගත්තේය. ඒ අනුව බන්ධනාගාර රැඳවියන් පිළිබඳවත්, සිරගෙවල්වල පහසුකම් ප්‍රමාණවත් නොවීම පිළිබඳවත්, තදබදය, එයට විසඳුම් හා නිලධාරීන්ට ඇති දුෂ්කරතා ගැනත් නාමල් පාර්ලිමේන්තුවේදී කතා කළේය.

‘‘අධිකරණයට අපහාස කළා කියලා පොලිස්පතිට චෝදනාවක් ඇවිත්. අපි ඒ ගැනත් බලාගෙන ඉන්නේ....” නාමල් කියා සිටියේය.

ජනපතිගේ සමාජ මාධ්‍ය ගිණුම ගැන මතයක්

‘‘හතළිස් අටේ දරුවෝ” සංවිධානයත් සිලින්ඩරයෙන් මහා මැතිවරණයට තරග කළ අපේක්ෂකයන් පිරිසකුත් ඉකුත් සතියේ හිටපු ඇමැති චම්පික රණවක හමුවිය.

විපක්ෂ දේශපාලකයන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදය ගැන එම මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළවිය. එක් අත්අඩංගුවට ගැනීමක් ගැන චම්පික රණවක කීවේ අපූරු කතාවකි.

‘‘මේ ළඟදී ඇරස්ට් කළ කෙනකුට නගලා තියෙන්නේ කප්පම් ගත්තා කියන චෝදනාව. ඒත් මෙයා කරලා තියෙන්නේ දන්සලකට ලක්ෂ පහක් හොයලා දීලා, තමන් දන්න ව්‍යාපාරිකයන්ට කතා කරලා. ආණ්ඩුව අන්තිමට ඒ ව්‍යාපාරිකයන් ලව්වා ප්‍රකාශ අරගෙන ඒ මිනිස්සුන්ව බය කරලා හිරේ දානවා කියලා, ඒ ව්‍යාපාරිකයෝ පරිත්‍යාගයක් හැටියට දුන්න මුදල් කප්පමක් හැටියට අර්ථ දක්වලා තියෙන්නේ. භයානක තැනකට රට යන්නේ....” හිටපු ඇමැති චම්පික කියා සිටියේය.

‘‘ජනාධිපතිවරයා තමන් ජනතාව අතර ඉන්නවා කියලා කොහොම කිව්වත් එයාගේ ෆෙස්බුක් පේජ් එකේ ලයික්වලට වඩා හා හා’ කියන විහිළුකාර සංකේතය දහගුණයකින් වැඩිවෙලා තියෙනවා. මේක වෙලා තියෙන්නේ ප්‍රථම වතාවටයි. ඥානසාර හාමුදුරුවන්ගේ සිද්ධියයි, කාවන්තිස්ස ඇතාගේ මරණයයි නිසා තමයි මෙහෙම ජනතා විරෝධයක් මතුවෙලා තියෙන්නේ. මෙයාලා ෆේස්බුක් එක විවිධ ක්‍රමවලින් තදින්ම පාලනය කරගෙන හිටියා. එහෙම තියෙද්දීත් ජනාධිපතිට මෙහෙම ප්‍රතිචාර ලැබෙන එක සැලකිය යුතු තත්ත්වයක්. ජනාධිපති මුල ඉඳලා හිටපු ජනතාව සෑහෙන දුරට ඉවත් වෙලා තියෙන එකයි ඒකෙන් පේන්නේ....” චම්පික යළිත් පැහැදිලි කළේය.

මිහින්තලේදී රනිල්ගේ කතාව

මිහින්තලේ චෛත්‍යයේ කොත් පැළඳවීමේ උත්සවයට ආරාධනා ලැබුණු පසු රනිල් කිසිදු මස් මාංශයක් අනුභව නොකර ඒ සඳහා පේ විය. අනුරාධපුරයට ගිය රනිල් ප්‍රථමයෙන්ම වැඩබලන අටමස්ථානාධිපති ඊතලවැටුණවැවේ ඥානතිලක නාහිමි බැහැදැක විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. වැඩබලන අටමස්ථානාධිපති හිමියන්ට පූජා කරන පලතුරු පවා කොළඹ සිට රැගෙන යාමට රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබිණි.

මිහින්තලා රජමහා විහාරයේ උත්සවයට රනිල් සහභාගි වූයේ එහි විහාරාධිපති වලවාහැංඟු‍ණවැවේ ධම්මරතන නාහිමියන්ගේ ආරාධනාවක් අනුවය. එම උත්සවයේදී රනිල් ථේරවාදී බුදුදහමේ අතීතය, ව්‍යාප්තිය මෙන්ම තායිලන්තය සමඟ ඇති සම්බන්ධය ගැන ගැඹුරු දෙසුමක් කළේය. ඒ කතාව ඉතාමත්ම සාවධානයෙන් අසා සිටි උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් අතර සිටි තායිලන්තයේ නියෝජ්‍ය අගමැතිනිය ඉංග්‍රීසි බසින් රනිල් අමතමින් පැවසූයේ, ”‍බුදුදහම සම්බන්ධයෙන් ඔබට තියෙන දැනුම පිළිබඳවත්, ඔබ සතු මතකය සම්බන්ධයෙනුත් මම පුදුමයට පත් වුණා”‍ යනුවෙනි.

ඊට පිළිතුරක් ලෙස රනිල් ”‍හැමදාමත් තායිලන්තය අපිට අමාරු අවස්ථාවලදී උදව් කරලා තියෙනවා. ඒක කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔබතුමිය මේ අවස්ථාවට සහභාගි වීම මම විශේෂයෙන්ම අගය කරනවා”‍ යැයි පැවසීය.

රනිල් එම උත්සවයේ කළ කතාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ඉමහත් ප්‍රසිද්ධියක් ලබා දී තිබිණි. හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න නාලිකා හරහා රනිල්ගේ කතාව ලබාගත් අතර, 8 වැනි විධායක ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය මඟින් එය පැය එකහමාරක පමණ කාලයක් ඇතුළත සමාජ මාධ්‍යයටත්, පුවත්පත්වලටත් සිංහල භාෂාවෙන් නිකුත් කිරීමට පියවර ගත්තේය. පැය කිහිපයක් ඇතුළත රනිල්ගේ කතාව මුළු ලෝකයටම ගියේය.

මේ උත්සවයේදී රනිල්ට තවත් විශේෂ කාරණාවක් ගැන දැනගන්නට ලැබිණි. ඒ, මිහින්තලේ පින්කමට ආ තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට කිසිදු රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් රජය ලබා දී නැති බවයි.

මේ පිළිබඳව දැඩි නොසතුට පළ කළ රනිල්, ”‍මේ ආණ්ඩුවට මොනවා වෙලාද මම දන්නේ නැහැ. මෙහෙම පුළුවන්ද විදේශ ප්‍රතිපත්තිය හසුරුවන්න? තායිලන්තය අපට හැම අමාරු අවස්ථාවකදීම උදව් කරලා තියෙනවා. මම තායිලන්තයත් එක්ක නිදහස් වෙළෙඳ ගිවිසුමකට පවා අවතීර්ණ වෙන්න කටයුතු කළා. ආණ්ඩුවට මොළේ නරක් වෙලා ද මන්දා”‍ යනුවෙන් පැවසීය.

අනතුරුව මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් ද නිකුත් කළේය. ඒ නිවේදනයට තායිලන්ත මාධ්‍යවලත් විශාල ප්‍රචාරයක් ලබා දී තිබිණි.

කොළඹ පැමිණි රනිල් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමඟ හමුවකට සහභාගි විය. එහිදී රනිල් පළමුවෙන්ම තමා ජනාධිපති සමයේ විදේශ නායකයන්ට ආරක්ෂාව දුන් අවස්ථාවක් ගැන කරුණක් පැහැදිලි කළේය.

”‍බ්‍රිතාන්‍ය හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මා ජනාධිපති ධුරය දරන අවස්ථාවේදී ලංකාවේ දකුණු වෙරළ තීරයට පෞද්ගලික සංචාරයකට පැමිණෙන බව දැනගන්න ලැබුණා. ඔහු කිසිම ආරක්ෂාවක් ඉල්ලා නොතිබුණත් මම ඔහුට නොදැනෙන්න සිවිල් ඇඳුමින් ආරක්ෂකයන් යොදවන ලෙස උපදෙස් දුන්නා. රටින් පිටවෙන්න කලින් කැමරන් මට ස්තුති කළා. ‘ඔබතුමා මටත් නොදැනෙන්න ආරක්ෂාව දෙන්න උත්සාහ ගෙන තිබුණා. නමුත් මට ඒ බව දැනගන්න ලැබුණා. ඒක මම ඉතාමත්ම ඉහළින් අගය කරනවා‘ කියලා කැමරන් මට පැවසුවා. රාජ්‍ය නායකයන් ලංකාවට එන විට සම්ප්‍රදායක් විදිහට එදා සිටම ඔවුන්ට ආරක්ෂාවක් දුන්නා”‍ රනිල් පැවසීය.

ජී.එල්. අල්ලස් කොමිසමට

ඉකුත් සතියේ ජී.එල්. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ගියේය. ඒ කොමිසමේ කැඳවීමකට අනුවය. එහිදී කොමිසම සඳහන් කර ඇත්තේ ඔහුට කිසිදු චෝදනාවක් නැති බවයි.

”‍මගේ කාර්යභාරය වුණේ විදේශ ඇමැතිවරයා හැටියටයි. විදේශ ඇමැතිවරයාට අයත් එක කාර්යයක් වන්නේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමයි. 2010 වන විට ආයෝජන පිළිබඳ තත්ත්වය ඉතා දුර්වලයි. යුද්ධය අවසන් වෙලා මාස කීපයයි. රජයේ සුබදායී ප්‍රතිචාරය තිබෙනවා නම් රටට එන්න කැමති බව ෂැංග්‍රිලා හෝටලය පැවසූයේ ඒ වකවානුවේදීයි. මෙය රටට අවශ්‍ය බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එහිදී පැවසුවා.

මහා ”‍බ්‍රිතාන්‍යයේ පළමු ගණයේ විශ්වවිද්‍යාලයක ඉතාමත් ඉහළ තනතුරක් දැරීමට මට අවස්ථා තිබුණා. මම ඒක කළේ නැහැ. මට ඕන වුණේ අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අපේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නීති අධ්‍යාපනය ලබාදෙන්න. එතකොට පරම්පරා දෙකකට මම ඒ නීති අධ්‍යාපනය සපයා දුන්නා. විදේශ විනිමය ඕන තරම් මට හොයන්න තිබුණා, ඒත් ඒ ගැන මම කිසිම උනන්දුවක් දැක්වූයේ නැහැ.

ඒ හින්දා සල්ලි පස්සේ මම කවදාවත් ගියේ නැහැ. අපේ පවුල පරම්පරා ගණනක් මේ රටට විවිධ දේවල් පරිත්‍යාග කරලා තියෙනවා. විශාඛා විද්‍යාලය හැදුවේ කවුද? ශ්‍රී පාලි විද්‍යාලය හැදුවේ කවුද? ඒවා අපේ පරම්පරාවේ මුතුන්මිත්තන් කරපු දේවල්. අපි මේ රටට දේවල් දුන්නා මිසක් සත පහක් මේ රටෙන් අරන් නැහැ”‍ යනුවෙන් ජී.එල්. කොමිසම හමුවේ ප්‍රකාශය සටහන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කීය.

රාජ දූත