තර්ජන ගර්ජනවලින් වෘත්තිය සමිති යටත් කරන්න බැහැ


ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී

 අනුර කුමාර දිසානායක

 

මම සතුටු වෙනවා මම රනිල් වික්‍රමසිංහට දුරකතන ඇමතුමක් දුන්නා කියන එකත් පත්තර සිරස් තලයක් වීම ගැන. මමත් දැක්කා ඔය කියන පුවත්පත් සිරස්තලය. ඇත්තටම සිද්ධ වුණේ මේකයි. රනිල් වික්‍රමසිංහගෙ නැන්දනියගේ අභාවය පිළිබඳව මම ඔහුට කතා කරලා මගේ ශෝකය ප්‍රකාශ කළා.

කාලීන දේශපාලනය පිළිබඳ මේ සාකච්ඡාව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සමගිනි.   


ප්‍ර විවිධ ආයතනවල යුනියන් හදලා ඒවයින් කප්පම් ගන්නවා කියලා ජේ.වී.පී. එකට බරපතළ චෝදනාවක් එල්ල වෙනවා. ආණ්ඩුවේ ඇමැතිවරුත් පාර්ලිමේන්තුවේදී මේ චෝදනාව කෙරුවා පහුගිය දවසෙ.   


ආණ්ඩුවත් අනෙකුත් දේශපාලන කණ්ඩායමුත් තමන්ගේ පරාජය සහ බලය අහිමිවීමේ වේදනාවෙන් සහ වියරුවෙන් පෙළෙනවා. ඒ නිසා ඔවුන් අතට අහුවෙන හැම අවලාදයකින්ම අපිට දමල ගහනවා. ඒ අතරින් මේ දවස්වල ඇහෙන කතාවන් තමයි ඔය. මේ පිළිබඳව අපේ වසන්ත සමරසිංහ සහෝදරයා ඉතා පැහැදිලි පිළිතුරක් දීලා තියෙනවා. මේ අවලාද ගහපු අයට වසන්ත සහෝදරයා අභියෝග කළා පුළුවන් නම් ඔය ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙල බොරු කිය කිය ඉන්නෙ නැතුව ප්‍රසිද්ධ විවාදයකට එන්න ඔවුන්ට දැන් පුළුවන්. එතකොට පුළුවන් කවුද කප්පම්කාරයෝ කියලා රටටම බලාගන්න. ආණ්ඩුව තෙල් ගෙනෙද්දි, ගල්අඟුරු ගෙනෙද්දි, විදේශයට ශ්‍රමිකයන් යවද්දි කවුද කප්පම් කොමිස් ගත්තෙ කියල රටට හෙළි කරන්න අපි සූදානම්. වසන්ත සහෝදරයා මේ අභියෝගය ඔය අවලාදකාරයින්ට එල්ල කරල ගොඩක් දවස් දැන්. ඒත් ඒ අය කිසිම සද්දයක් නෑ ඒකට. ඒකෙන් පැහැදිලියි මේ පාලක කණ්ඩායම තමන්ගේ බලය රැකගන්න නොකරන දෙයක් නෑ කියලා.   


ප්‍රකංචන විජේසේකර සහ මනුෂ නානායක්කාර වගේ අය පාර්ලිමේන්තුවේදී කිව්වේ මේ ගැන සාක්කි එක්ක කරුණු හෙළිකරලා ජේ.වී.පී. එකේ රෙදි ගලවන්නත් පුළුවන් වගේ කතාවක්.   


මේක ඒ දෙන්නට අපිත් එක්ක තියෙන විශේෂ කේන්තියක් නෙවෙයි. ඔය කියන පාලක කඳවුරටත් විපක්ෂය කියාගන්න අනික් කණ්ඩායම්වලටත් තියෙන පොදු බිය තමයි මාලිමාවේ ජයග්‍රහණය. වෙන දෙයක් නෑ. මාලිමාවට බලය හිමිවෙනවා. කියන්නේ ඔය හොරු, දූෂිතයො, කප්පම්කාරයො කලබල වෙන්න ඕන කාරණයක් තමයි.   


ප්‍රදැන් කට්ටියම පළාත් පාලන ඡන්දෙ ගැන මාර උනන්දුයි. හැබැයි විසුරුවා තියෙන පළාත් සභා ගැන හෝ පළාත් සභා ඡන්දය ගැන කතාවක් නෑ. ඇයි ඔබලාත් මේ පළාත් සභා ඡන්දය ගැන සද්දයක් නැත්තේ?   


පළාත් සභා මැතිවරණය මැතිවරණ නීතිය ඇතුළෙ ඇතිකරන ලද පටලැවිල්ලක් නිසා තමයි පස්සට ගිහින් තියෙන්නේ. ඒ පටලැවිල්ල නිරාකරණය කරන්න නම් ආණ්ඩුව විසින් නිසි පරිදි සීමානිර්ණය කොට ඒ පළාත් සභා නව ඡන්ද ක්‍රමයට අනුරූප වෙන ආකාරයට පළාත් සභා කොට්ඨාස ඉදිරිපත් කරන්න ඕනැ. නමුත් ඒක සිද්ධ වෙන්නෙ නෑ. එසේ තිබියදී තමයි මැතිවරණ නීතියෙනුත් බාධාවක් නැති ඡන්ද ක්‍රමයෙනුත් බාධාවක් නැති මැතිවරණය පැවැත්වීම සඳහා ව්‍යවස්ථානුකූලව හෝ අධිකරණ ක්‍රියාමාර්ග හරහා බාධාවක් නැති මැතිවරණයක් ඇවිත් තියෙනවා. ඒ මැතිවරණය ලබාගැනීම තමයි දැන් ප්‍රමුඛ වෙන්නේ. පළාත් සභා මැතිවරණය කල්දාන්න ආණ්ඩුවට කියන්න ඕන තරම් හේතු තියෙනවා. නමුත් පළාත් පාලන මැතිවරණයට කියන්න කිසිම කරුණක් ආණ්ඩුවට නෑ. පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කරන්න හැකියාවක් දැන් නෑ. දැන් රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කරන උත්සාහයක් තමයි යන්නේ. මේක කකුල් මාට්ටු දැමීමක්. මේකට විරුද්ධව තමයි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අපි වැඩි බරක් තියෙන්නේ. ඒ සඳහා වැඩි හඬක් නගන්නේ.   


ප්‍රපහුගියදා පැවැති වැඩ වර්ජනය ගැන ජේ.වී.පී. එකේ මැදිහත්වීම සහ තක්සේරුව කොහොමද?   


මේ වෙලාවෙ ජනතාව පාරට බැහැලා තියෙන්නේ නිකං ඉන්න බැරුවට නෙවෙයි. මේ පාලකයෝ ජනතාව දරුණු පීඩනයකට පත්කරල තියෙන්නේ. වෘත්තිකයන් විශාල පිරිසක් ආණ්ඩුවෙ තීන්දු නිසා අපහසුතාවට පත්වෙලා ඉන්නේ. මේ ජනතාව තමයි පාරට බැහැල තමන්ගේ ඉල්ලීම් ඉල්ලන්නේ. මේ ප්‍රශ්න ඉතා සාමකාමීව විසඳාගන්න වෘත්තීය සමිති යෝජනා ඉදිරිපත් කළා. නමුත් ආණ්ඩුව ඒ කිසිවකට ඇහුම්කන් නොදී තක්කඩි හිතුවක්කාරී ක්‍රියාපිළිවෙතක ඉන්නේ. ඒ නිසා වළක්වන්න බැරි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්න වෘත්තිය සමිතිවලට සිද්ධ වෙනවා. මේ වෘත්තීය අයිතිවාසිකම් ගැන කතා කරද්දි ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ ‘රස්සාවලින් දොට්ට දානව’, ගෙදර යන්න බලාගෙන වැඩවර්ජන කරන්න.’ වගේ තර්ජන. ඒ තර්ජනවලට වෘත්තිය සමිති ව්‍යාපාර යටත් කරන්න බෑ. මේ තර්ජන ගර්ජන පරදවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සාර්ථකව සිද්ධ වුණා.   


ප්‍රමේ වැඩ වර්ජන ගැන පොදු එකඟතා තියෙද්දි ලාල් කාන්ත කියලා තිබුණා දිගටම වැඩ වර්ජනේකට අපි නෑ කියලා. සමහරු මේ ගැන කියන්නේ එතනදිත් ජේ.වී.පී. එක වංගුවක් ගහල. වැඩේ දියාරු කරන්න හදනව කියලා.   


 අපි පොදු ජනතාව එක්ක ඒ අය ගැන හිතමින් දේශපාලනය කරන අය. අපි වෘත්තීය සමිති ව්‍යාපාරයක් විතරක් නෙවෙයි. දේශපාලන නායකත්වය සහ දේශපාලන මඟපෙන්වීමක් සහිත වෘත්තීය සමිති ව්‍යාපාරයක් අපිට තියෙන්නේ. ඒ නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලදී පොදු ජනතාව ඒ ක්‍රියාමාර්ග පැත්තේ තියාගෙන තමයි අපි තීන්දු තීරණ තෝරන්න ඕනැ. පොදු ජනතාව ආණ්ඩුවේ දිහාවටම තල්ලු කරනවා නම් එම ක්‍රියාමාර්ග ආණ්ඩුවට වාසිසහගතයි. අපේ යෝජනාව පොදු ජනතාවත් වෘත්තීය සමිති පැත්තේ තියාගෙන අපි වෘත්තිය ක්‍රියාමාර්ග ගැන තීන්දු ගනිමු කියන එක. පොදු ජනතාවගේ විරෝධයට ලක්වෙමින් ඔවුන් අපහසුතාවට පත්කරමින් මේව කරන්න බෑ. ඔවුන්ට මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදිය යුතුයි. ඕනෑම වැඩවර්ජනයකදී පොදු ජනතාව යම් අපහසුතාවකට පත් වෙනවා. ඒ තත්ත්වයත් අපි හොඳින් අවබෝධ කරගත යුතුයි. ඒක තමයි ලාල්කාන්ත සහෝදරයාගේ කතාවේ හරය. එහෙම නැතුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරීමේ කිසිදු වුවමනාවක් අපිට නෑ.   


ප්‍රඔබලා පහුගියදා කරපු විරෝධතාවය ගැනත් විවිධ ප්‍රතිචාර තියෙනවා. ස.ජ.බෙ. කට්ටිය නම් කියන්නේ සද්ද දාගෙන පාරට බැහැලා කඩ අස්සේ රිංගන හැංගෙන නායකයො නම් අපේ ළඟ නෑ කියලා.   


ඔය වගේ කතා කියන සජබෙ උදවිය ගැන නම් වැඩිය කතා කරල තේරුමක් නෑ. ඒගොල්ලො අපරිනත දේශපාලන චරිත. කටවාචාලකම විතරක් තියාගෙන දේශපාලනයට ආපු පිරිසක්. වොයිස්කට් දේශපාලනය තමයි ඒ අයගේ එකම වැඩේ. ඒක නිසා ඔය වොයිස්කට් දේශපාලකයින්ගෙ කතාවලට උත්තර දෙන්න අපේ කාලය නාස්ති කරන්නත් ඕන නෑ. අපි විරෝධතා සඳහා දින තෝරන්නේ අපේ සැලසුම්වලට අනුව. වැඩ කරන දවසක ටෙක්නිකල් හන්දියෙ හාරපන්සියක් එක්ක විගඩම් කරලා ගියාට ආණ්ඩුවට ගාණක් නෑ. ඒත් පනස්දාහකට වැඩි ජනතාවක් කොළඹට ආවම ඒ අයත් කොළඹ ගැවසෙන අයෙක් නම් අපහසුතාවයට පත්වෙන ඉඩ වැඩියි. අපි අපේ ක්‍රියාමාර්ග තෝරන්නේ ජනතාවට අවම දුෂ්කරතාවයක් ඇති වෙන පරිදි. අනික මම මුල ඉඳලා මේ විරෝධතාවයෙ හිටියා. එහෙම නැතුව වැඩේ ඉවර වෙන්න තියෙද්දි වාහනේකින් ආරක්ෂකයෝ පිරිවරාගෙන ඇවිත් පොලිසියට බොරු සද්ද දාල බොරු චණ්ඩියෙක් වෙන්න මට ඕනෑ වුණෙත් නෑ. අපි ආණ්ඩුවට ගහද්දි ඇයි සජබෙට මේ තරම් රිදෙන්නේ? ​හේතුව පැහැදිලියිනේ. 

 
ප්‍රආණ්ඩුවෙ  අය කියන්නේ ජේ.වී.පී. එක දූෂණ වංචා ගැන කතා කරනව නම්   ලාල්කාන්තට මාදිවෙල මන්ත්‍රී නිවාසවලින් අයින්වෙලා ඇවිත් ඒවා ගැන කතා කරන්න කියලා.   


අපිට හිමි මන්ත්‍රී නිල නිවාස දෙකක් අපි පාවිච්චි කරනවා. ඒක අපිට හිමි දෙයක්. එතන කිසිම වංචාවක් නෑ. ඒ නිවාසවල ලාල්කාන්ත සහෝදරයත් ඉන්නවා. වෙනත් අයත් ඉන්නවා. අපි හොරෙන් ඉන්නෙ නෑ. අපිට ලැබිල තියෙන දෙයක්. ඒකෙ කවුද ඉන්නේ කියලා අපිනෙ තීරණය කරන්නේ. ඒක අපේ දේශපාලන වැඩවලට මිසක් පුද්ගලික පරිහරණයට අරගෙන නෑ. අපිට එල්ල කරන්න චෝදනා නැති වුණාම ඔය වගේ කතාවක එල්ලෙන එක ගැන අපි සතුටු වෙනවා.   


ප්‍රකළුතර ප්‍රාදේශීය සභාවේදී පොහොට්ටුවෙ මන්ත්‍රී කෙනෙක් ජේ.වී.පී. මන්ත්‍රීවරුන්ට සහ මන්ත්‍රී පිරිසකට ඇඳුම් බෑග් එකක් දෙනවා. ඔබලා අනුන්ගෙන් යැපෙන පිරිසක් කියන කතාව සමාජය ඇතුළෙ මේ තරම් හාස්‍යයට ලක්වීම ගැන මොකද හිතෙන්නේ? 

 
 ඒ වගේ දියුණු සම්ප්‍රදායන් ඔය කියන අයට තේරෙන්නේ නෑ. අපිට නම් තියෙන්නේ ඒගොල්ලන්ට තණකොළ මිටියක් දෙන එක තමයි. අපේ රටට ඕනෑ එහෙම ආදර්ශමත් සංස්කෘතියක්. එකිනෙකා සහයෝගයෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් ජීවත්වෙන සමාජයක් ගැන විකාර දොඩවන්නේ විහිළුවට ලක් කරන්නේ ජනතාවගේ මුදල් හොරා කාපු මිනිස්සු. මහා පරිමාණ වංචා දූෂණවලට හවුල් මිනිස්සු. මහ බැංකුව කඩපු මිනිස්සු. කප්පම් අරගෙන අධිකරණයෙන් දඬුවම් ලබපු මිනිස්සු. ඒ ගොල්ලන්ට දියුණු සමාජ සම්මුති ගැන අවබෝධයක් නෑ. මේ වගේ තක්කඩි දේශපාලුවන්ට අපිට එල්ල කරන්න ගැඹුරු දේශපාලන විවේචනයක් නෑ. මේවයින් පෙන්නුම් කරන්නේ සතුරා මොනතරම් කලබල වෙලා ද කියල තමයි. 

 
ප්‍රපළාත් පාලන මැතිවරණය ගැන රංජිත් මද්දුම බණ්ඩාර උසාවි ගිහින් දිනාගත්තු තීන්දුව අනුර කුමාර උස්සගෙන ලකුණු දාගන්න හදනවා කියලත් සමහරු කියනවා.   


අපිත් මේ ගැන උසාවි ගියා. ඡන්දය එපා කියලා හමුදා නිලධාරියෙක් දාපු නඩුවට අතරමැදි පාර්ශ්වකරුවන් විදියට ඒකට සම්බන්ධ වුණා. ඡන්දය නොපැවැත්වීම ගැන මූලික අයිතිවාසිකම් නඩුවක් අපි ගොනුකරලා තියෙනවා. අනුන්ගේ එකක් අපේ මල්ලට දාගෙන සතුටු වෙන්න තරම් බොළඳ දේශපාලනයක් නෙවෙයි අපි කරන්නේ. ඒ තරම් ලෙඩක් අපිට නෑ. මේ වගේ නඩු තීන්දුවකින් කප් එක ගත්ත කියලා ඒ ගොල්ලො උඩපැන්නට අපිට එහෙම අමාරුවක් නෑ. අපි අධිකරණයෙදිත් පාර්ලිමේන්තුවේදිත් පාරෙදිත් ඇති තරම් ජයග්‍රහණය අත්කරගෙන තියෙනවා. ඒක රටේ මැතිවරණය පිළිබඳ අධිකරණය දීපු නඩු තීන්දුවක් මිසක් රංජිත් මද්දුම බණ්ඩාරගෙ පුද්ගලික දෙයක් නොවෙයි. ඒ නඩු තීන්දුව ගැන කතා කරන්න රටේ ඕනෑ කෙනෙකුට අයිතිය තියෙනවා. සජ​බෙ ගන්න සිඟිති ආතල් නම් අපි ගන්නේ නෑ. අපේ ප්‍රතිවාදියා මේ තරම් ළාමක වීම ගැන නම් අපිට කනගාටුවක් තියෙනවා.   


ප්‍රආණ්ඩුවට අභි​යෝග කරන ගමන් රනිල් වික්‍රමසිංහ පතුරු ගහමින් ගේම ඉල්ලන අතරෙ අනුර දිසානායක  හොරෙන් හොරෙන් රනිල්ට කෝල් කරනවා කියලා පාහුගිය දවස්වල පත්තරවල සිරස්තල පළවුණා.   


මම සතුටු වෙනවා මම රනිල් වික්‍රමසිංහට දුරකතන ඇමතුමක් දුන්නා කියන එකත් පත්තර සිරස් තලයක් වීම ගැන. මමත් දැක්කා ඔය කියන පුවත්පත් සිරස්තලය. ඇත්තටම සිද්ධ වුණේ මේකයි. රනිල් වික්‍රමසිංහගෙ නැන්දනියගේ අභාවය පිළිබඳව මම ඔහුට කතා කරලා මගේ ශෝකය ප්‍රකාශ කළා. ඒ ශෝකය ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහගෙ දුරකතනයට. එහෙනං රනිල් තමයි ඒක පත්තරවලට කියන්න ඇත්තෙ. තමන්ගෙ ඥාතියෙකුගේ අභාවය ගැන ශෝකය ප්‍රකාශ කරල දීපු දුරකතන ඇමතුමක් ගැන වෙන වෙන අයට තොරතුරු දෙනවා කියන්නේ ජනාධිපතිකම දැරුවත් රනිල් වික්‍රමසිංහ ඉන්නේ අපිට පහළින් කියන එක. හරි නම් මමනෙ කියන්න ඕනැ ඒක. ඕක තමයි ඒගොල්ලන්ගෙ තත්ත්වය.

 

සටහන
ප්‍රියන්ත කොඩිප්පිලි