
විනිසුරුවරුන්ගේ රාජකාරි නිල කාලය වසර දෙකකින් දිගු කරමින් ශ්‍රී ලංකා රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජාත්‍යන්තර බලපෑම් කිහිපයක්ම එල්ල විය. විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳව සැක මතු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වේට් නිකුත් කළ නිවේදනය ඉන් එකකි. ඇය කියන්නේ මෙම සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බවය.
ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICI) සිය නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට බාධා සිදුවන බැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙම සංශෝධනය ප්‍රතික්ෂේප කළ යුතු බවය. මෙම යෝජනාවලට පිළිතුරු දෙමින් රජය කියා සිටියේ මේ දිනවල පවතින අධික නඩු ප්‍රමාදය හේතුවෙන් නඩු ඉක්මන් කිරීම සඳහා මෙම සංශෝධනය ගෙන ආ යුතු බවය.
නීතිඥ ප්‍රජාවගේ ප්‍රධානම එකමුතුව වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම සංශෝධනයට එරෙහිව සිටියි. ඔවුන්ගේ මැදිහත්වීම නිසා විදේශීය සංවිධාන සහ බලවේගද තම විරෝධය පැහැදිලිව දක්වන ආකාරයක් දැකගත හැකිය.
ආණ්ඩුවක් කරගෙන යන විට මෙවැනි ජාත්‍යන්තර බලපෑම් සහ ඉල්ලීම් සඳහා පිළිතුරු දීම රාජ්‍ය තාන්ත්‍රිකව සිදුවිය යුත්තකි. රට තුළ දේශපාලනය කරන ස්වරය හා හැඩරුවට අනුව ජාත්‍යන්තර ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්විය නොහැකිය. 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය නොසතුටු බව අංශ කිහිපයකින් දැනුම් දුන්නද රජය 22 වැනි සංශෝධනයෙන් ඉවත් වූයේ නැත. නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා මෙම සංශෝධනය අත්‍යවශ්‍ය බව රජයේ පිළිතුරය.
පැවැති ආණ්ඩු ගණනාවක්ම විවිධ අවස්ථාවල ගනු ලැබූ තීන්දු පිළිබඳව විදේශීය රාජ්‍ය සහ සංවිධානවල විරෝධය පළ විය. ඇතැම් ආණ්ඩු එම ඉල්ලීම්වලට රාජ්‍ය තාන්ත්‍රිකව පිළිතුරු දී ඔවුන්ගේද සිත දිනාගත් බවත් තවත් ආණ්ඩු ගමේ ගොඩේ දේශපාලනය කරන ආකාරයෙන්ම විදේශීය රාජ්‍ය සංවිධානවලට පිළිතුරු දෙන්නට ගොස් රාජ්‍ය තාන්ත්‍රිකව අපකීර්තියට පත් වූ බවත් අපගේ දේශපාලන ඉතිහාසය තුළින් පෙනී යයි.
ජේ.ආර්. ජයවර්ධන රජය සමයේ නඩු තීන්දුවක් හේතුවෙන් එම නඩුව විභාග කළ විනිසුරුවරුන්ගේ නිවාසවලට ගල් ගසා නිවෙස් ඉදිරිපිට ඝෝෂා කළ අවස්ථාව ඉන් එකකි. එම අවස්ථාවේ ජාත්‍යන්තර නීතිවේදී සංගමය තම විරෝධය ශ්‍රී ලංකා රජයට පළ කළත් රජය එම විරෝධය ගණනකට නොගත්තේය. එජාපයේ 17 වසරක පාලන සමයේ වඩාත්ම විදේශීය විවේචන එල්ල වූයේ ජනාධිපති ප්‍රේමදාසගේ පාලනයටය.
ජේ.ආර්. ජයවර්ධන රජය සමයේ මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය තුළ ආරම්භ කර තිබූ ඊශ්‍රායල් අංශය හෙවත් ඊශ්‍රායල් අර්ධ කොන්සල් කාර්යාලය වසා දැමීමට ප්‍රේමදාස ජනාධිපතිවරයා වූ පසු අවශ්‍ය විය. එකල මොසාඩ් ඒජන්තවරුන් ශ්‍රී ලංකා හමුදාවට උපදෙස් දෙන බවට දූෂමාන ආරංචිද පැතිර තිබුණි. ඇමෙරිකා එක්සත් ජනපදයට මෙම අංශය පවත්වා ගැනීමට අවශ්‍ය වූ අතර අරාබි රටවලට අවශ්‍ය වූයේ මෙම ඊශ්‍රායල් අංශය වසා දමන්නටය. මුස්ලිම් කොංග්‍රස් නායක ඒ.එච්.එම්. අෂ්රොෆ් ජනාධිපතිවරණයේ දී ප්‍රේමදාසගේ ජයග්‍රහණයට සහාය ලබාදුන්නේ ඊශ්‍රායල් අංශය වසා දැමීම ඇතුළු රහසිගත පොරොන්දු ගණනාවකට ප්‍රේමදාස එකඟ කරවා ගැනීමෙනි. ප්‍රේමදාස ජනාධිපතිවරණය ජයගත් පසු ඔහුගේ මෙම තීරණය වෙනස් කරවා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය කොංග්‍රස් සභාවේ ප්‍රබලයකු වූ “ස්ටීවන් සොලාස්” නමැති කොංග්‍රස් කමිටු සභාපතිවරයකු ප්‍රේමදාස හමුවට එවුවද ප්‍රේමදාසගේ තීරණය වෙනස් වූයේ නැත. එ සමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවට ගෙන ආ ඊශ්‍රායල් විරෝධී යෝජනාවකටද ශ්‍රී ලංකාව පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ බහුතරයක් රටවල් ඊශ්‍රායලයට පක්ෂව සිටියදීය. ප්‍රේමදාස පාලන සමයේ මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ව සිටි ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් සිද්ධිය මෙරට විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් විය. 1991 පැවැති පළාත් සභා මැතිවරණයේ දී දකුණු පළාතේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ මහ කොමසාරිස්වරයා තමා හක්මන ඡන්ද පොළකට ගිය අවස්ථාවේ එහි මැතිවරණ නීති උල්ලංඝනය වූ බව සියැසින් දුටු බව ප්‍රකාශ කළේය. බ්‍රිතාන්‍යයෙන් පැමිණි මැතිවරණ නිරීක්ෂකයන් ගණනාවක්ද සිටි නමුත් ඔහු ඔවුන්ට පැමිණිලි නොකර ඍජුව එය ප්‍රකාශ කිරීමෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයා කෝපයට පත් විය. රැජිනගේ නියෝජිතයා ලෙස මෙරටට පැමිණ සිටින ඔහු වහා රටින් පිටවිය යුතු බව ප්‍රේමදාසගේ ස්ථාවරය විය. ඒ අනුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇරඹිණි. රජය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා රටින් පිට කරන ප්‍රතිපත්තියකට පිවිසියේය. මෙයින් උරණ වූ බ්‍රිතාන්‍ය රජය මාර්ක් ලොනොස්කි නමැති විදේශ කටයුතු උප ඇමැතිවරයා ලංකාවේ නිරතවීමට නියමිතව තිබූ නිල සංචාරය අවලංගු කළේය. තම මහ කොමසාරිස්වරයා කළ ප්‍රකාශය ඔහු රටින් නෙරපා හරින්නට තරම් බරපතළ දෙයක් නොවන බවද බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය පැවසුවේය. එහෙත් ශ්‍රී ලංකා රජයේ විරෝධය තවත් දැඩි වූ හෙයින් තම මහ කොමසාරිස්වරයා ආපසු සිය රටට ගෙන්වා ගැනීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කළ අතර ඔවුන් ඉන්පසුව සිදු කළේ ශ්‍රී ලංකා රජය කොන් කරමින් සමස්ත රාජ්‍යයටම එරෙහි පියවර කිහිපයකි. උතුරේ යුද්ධයේ වින්දිතයන් වන දමිළ ජාතිකයන් කෙරෙහි 1983 කළු ජූලියෙන් පසු කාලයේ තරමටම අනුකම්පා ප්‍රතිපත්තියක් බ්‍රිතාන්‍ය රජය ක්‍රියාත්මක කළ අතර මෙරටට ලැබුණු බොහෝ ආධාරද කපා හැරිණි.
ශ්‍රී ලංකා රජය ගෙන ගිය ප්‍රතිපත්තිය නිසා ඊළඟ අර්බුදය ඇතිවූයේ ඉන්දීය රජය සමගය. රජිව් ගාන්ධි සහ ජේ.ආර්. ජයවර්ධන අතර අත්සන් තැබුණු ඉන්දු ලංකා ගිවිසුමට ප්‍රේමදාසගේ තිබූ විරෝධය නිසා ඉන්දීය සාම හමුදාවද ආපසු ගෙන්වාගත් අතර ඉන්පසුව ඉන්දියාව කටයුතු කළේ ලංකා රජය සමග අතේ දුරින් සිටින ප්‍රතිපත්තියකිනි. දිගින් දිගටම අස්ථාවර වූ ඉන්දීය දේශපාලනය තුළ ආණ්ඩු දෙක තුනක්ම එම කාලයේ බලයට පත් වූ අතර නරසිම්හ රාවෝ අගමැතිවරයා ලෙස පත්ව සිටියදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග තවත් මත ගැටුමක් හටගත්තේ මෙරට පැවැත් වූ සාක් රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අගමැතිවරයා සහභාගි නොවීමට ගත් තීන්දුවකින් පසුවය.
පැවැති ආණ්ඩු ගණනාවක්ම විවිධ අවස්ථාවල ගනු ලැබූ තීන්දු පිළිබඳව විදේශීය රාජ්‍ය සහ සංවිධානවල විරෝධය පළ විය. ඇතැම් ආණ්ඩු එම ඉල්ලීම්වලට රාජ්‍ය තාන්ත්‍රිකව පිළිතුරු දී ඔවුන්ගේද සිත දිනාගත් බවත් තවත් ආණ්ඩු ගමේ ගොඩේ දේශපාලනය කරන ආකාරයෙන්ම විදේශීය රාජ්‍ය සංවිධානවලට පිළිතුරු දෙන්නට ගොස් රාජ්‍ය තාන්ත්‍රිකව අපකීර්තියට පත් වූ බවත් අපගේ දේශපාලන ඉතිහාසය තුළින් පෙනී යයි.
සාක් රාජ්‍ය නායක සමුළුව මේ වන විට මළ සමුළුවක් බවට පත්ව ඇතත් 1985 දෙසැම්බර් 8 වැනි දින බංග්ලාදේශයේ ඩකා නුවර දී පළමු සමුළුව පැවැත්වූ දින සිට 2014 වසර දක්වා එම රාජ්‍ය නායක සමුළුව වාර්ෂිකව පැවැත්විණි. අදාළ රටේ රාජ්‍ය නායකයා සමුළුවට සහභාගිවීම සමුළුව පවත්වාගෙන යාමේ ප්‍රධානම කොන්දේසිය ලෙස ආරම්භයේ සිටම තිබූ සම්ප්‍රදාය විය. එහෙත් ප්‍රේමදාස ජනාධිපති වූ පසු ඉන්දියාව මෙම සමුළුවට සහභාගි වීමෙන් කර ඇරියේය. 1990 දී පැවැත්වීමට ශ්‍රී ලංකා රජය මහත් උත්සවශ්‍රීයෙන් සංවිධානය කළ රාජ්‍ය නායක සමුළුවේ ආරම්භක උලෙළට ඉන්දීය අගමැති නරසිම්හ රාවෝ සහභාගි වූයේ නැත. ශ්‍රී ලංකා රජය මෙම සමුළුව සඳහා එකල අති විශාල මුදලක් වැය කළේය. රාජ්‍ය අමුත්තන් රට තුළ කරන සංචාරවලදී ඇය ගැසෙන දුම්රිය ස්ථාන, කොළඹ නුවර මහා මාර්ගය දෙපස ගොඩනැගිලි හා අගනුවර මෙන්ම මහනුවරද ගොඩනැගිලි අලුතෙන් හුණු පිරියම් කර සායම් කළේය. එවැනි සූදානමක සිටියත් ඉන්දීය නායකයා නොපැමිණීම හේතුවෙන් සාක් රාජ්‍ය නායක සමුළුව අවලංගු කරන්නට ශ්‍රී ලංකා රජයට සිදුවිය. ඉන්පසුව ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කළේ රාජ්‍ය තාන්ත්‍රිකත්වයට නොගැළපෙන ප්‍රචාරණයකි.
“සාක් රාජ්‍ය නායක සමුළුව අවලංගු කිරීමට හේතු වූයේ ඉන්දියා අගමැති නරසිම්හ රාවෝගේ දරදඬු ආකල්ප” බව විදේශ ඇමැති හැරල්ඩ් හේරත් පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. මෙම ප්‍රකාශ මත ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර වාග් සංග්‍රාමයක් ඇරඹුණේය. භූතාන රාජ්‍ය නායකයාට එම සමුළුව සඳහා ලංකාවට යා නොහැකි බව මාලදිවයින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත් එකල සාක් සභාපති මාලදිවයින් ජනාධිපතිවරයා මේ බව ඉන්දීය අගමැතිට දැනුම් දී උපදෙස් පැතූ විට සාක් ආරම්භක ප්‍රඥප්තිය අනුව රාජ්‍ය නායකයන් සය දෙනාගේම සහභාගීත්වයකින් තොරව සමුළුව පැවැත්විය නොහැකි බව ඉන්දීය අගමැතිගේ ස්ථාවරය වූ බවත් ඉන්දියාව කීවේය. ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් රැකීමට නොදන්නා රටක් බවද ඉන්දියාවේ චෝදනාව විය. කෙසේ හෝ එම සමුළුව පවත්වා “සාක් සභාපති” යන නම්බු නාමය ලැබීමට ජනාධිපති ප්‍රේමදාසට අවස්ථාව අහිමි වූයේ ඒ අයුරිනි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේද විදේශීය සංවිධාන සහ රාජ්‍යයන්ගෙන් මෙරටට විවිධ බලපෑම් එල්ල විය. මෙරට මානව හිමිකම් ප්‍රශ්නය ගැන නොසතුටු වූ යුරෝපා සංගමය මෙරටට ලබා දී තිබූ ජීඑස්පී බදු සහනයෙන් යම් ප්‍රමාණයක් අවලංගු කළේය. 2014 වර්ෂයේදී මෙරට මාළු මිලදී ගැනීමද යුරෝපා සංගමය මගින් අත්හිටුවිණි. උතුරේ යුද ගැටුම අවසන් කිරීමේදී දරුණු ලෙස මානව හිමිකම් කෙලෙසූ බවට චෝදනා කරමින් ජිනීවා මානව හිමිකම් සමුළුවේදී වසර තුනක් පිටපිටම ලංකාවට එරෙහි යෝජනා සම්මත විය. අන්තර්ජාතික පරීක්ෂණ සභාවක්ද පිහිටුවිණි. ඇමෙරිකාව ඇතුළු සාම්ප්‍රදායික මිතුරු රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලංකාවට ලබා දෙන සංවර්ධන ආධාර සඳහා විවිධාකාර කොන්දේසි පැනවූහ. යුරෝපය හා කැනඩාවේ සිටින දමිළ ඩයස්පෝරාව එරට ආණ්ඩුවලට දේශපාලනික වශයෙන් බලපෑම් කරමින් ශ්‍රී ලංකා රජයට එරෙහිව ජාත්‍යන්තර මතයක් ගොඩනැගීමට ක්‍රියා කළහ.
මෙම යුරෝපීය බලපෑම් නිසා රාජපක්ෂ රජය හැරුණේ චීනය, රුසියාව, පාකිස්ථානය හා ඉරානය වැනි දිගුකාලීන මිතුරු රටවල් දෙසටය. යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ලිබියාවේ ජනාධිපති කර්නල් ගඩාපි කරට අත දාගෙන සිටින ඡායාරූපයක් ප්‍රසිද්ධ වූ පසු ඇමෙරිකානු සහ යුරෝපීය රාජ්‍යවල තදබල රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයකට ලක්වන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදුවිය. ඉන් කෙටි කලකට පසු ගඩාපි ඝාතනය කෙරුණු අතර ඒ ආසන්නයේම 2015 පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත් විය. දෙමළ ඩයස්පෝරාවේ සහ විදේශීය රාජ්‍යවල මූල්‍යාධාර 2015 රාජපක්ෂ රජය පරාජයට පත් කිරීම සඳහා විපක්ෂ බලවේගවලට ලැබුණු බවට මත පළ විය.
වත්මන් රජය බලයට පත්ව වසර දෙකක් ගතවීමටත් පෙර මෙවැනි ජාත්‍යන්තරව විරෝධයට ලක්වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම මගින් රජයේ ගමන් මග ගැන ජාත්‍යන්තරයට නොපැහැදිලි චිත්‍රයක් ගොස් ඇති බවට සැකයක් නැත. එය ඉදිරි ගමනට සුබදායකද නැද්ද යන්න රජයේ බලවතුන් කල්පනා කළ යුතුය.
ප්‍රේමකීර්ති රණතුංග

