පාතාල මර්දන ක්‍රියාවලිය නම් හොඳයි
රටේ උණුසුම් දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සමග කළ සාකච්ඡාවකි.
ඔබ පැවරූ නඩුවකින් දිනලා විශාල වන්දි මුදලක් ලැබුණා. මොකක්ද මේ නඩුව?
පිළිතුර:- ඇත්තටම වන්දි මුදල් ගැනීම මගේ අරමුණ නොවෙයි. මට ඉතාම නින්දාසහගත මඩ ප්‍රහාරයක් එල්ල කළා. අපි විදුලි බල මණ්ඩලය විධිමත්ව සකස් කරගෙන එනකොට ලංකා විදුලි බල මණ්ඩලය මූල්‍යමය වශයේ තාක්ෂණික වශයෙන් හදලා රටේ සීයට සියක් විදුලිය ලබාදීලා දූෂණයෙන් තොර ආයතනයක් බවට පත්කරගෙන එනකොට ඒකට විශාල වශයෙන් බාධා එල්ල වුණා. ඒකට යොදා ගත්තා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිතිය.
කවුද එහෙම යොදාගත්තෙ?
පිළිතුර:- එහෙම යොදාගත්තේ විදුලි බල ක්ෂේත්‍රයේ ඉන්න මාෆියාවම තමයි. අවුරුදු තුනකට සැරයක් විදුලි බල මණ්ඩලයේ වැටුප් වැඩිවෙනවා. 2009 දී වැටුප් වර්ධකයක් තිබුණා.
නමුත් ඒක දුන්නේ නෑ?
පිළිතුර:- ඔව්, ඒ වෙලාවෙ යුද්ධයේ උච්චතම අවස්ථාව නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියා ඒ වැටුප් වර්ධකයෙන් කොටසක් හරි රටට ලබා දෙන්න කියලා. ඒ අනුව විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සියයට තුනක වැටුප් වර්ධකයේ කොටසක් රජයට ලබා දුන්නා. ඊට පස්සේ 2010 දී අපි විදුලිබල මණ්ඩලය ලාභ කරලා වේගයෙන් ඉදිරියට යන්න පටන් ගත්තා. විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතාව දෙගුණ තෙගුණ කරනකොට මෙන්න මේගොල්ලෝ පටන් ගත්තා වැටුප් සටන.
අර අපි අවුරුදු 15කට පස්සේ ලාභ කරපු සල්ලි ඒගොල්ලොයි ඒක කළේ ඒ නිසා අර සියයට 3 දෙන්න කියලා එතැනදී රංජන් ජයලාල් මහත්තයා එයා තමයි ජේ.වී.පී. එකේ වෘත්තිය සමිති නායකයා, දැන් කඩුවෙල නගරාධිපති. නිපෝන් හෝටලයේ තිබුණ මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා අපි සල්ලි නාස්ති කරනවා. අපේ ධනය කාබාසිනියා කරනවා. ඔය පසුගිය දවස්වල කියපු කතාව තමයි විදුල බල ඇමතිවරයා ගියා කතරගම.
ඔබ කතරගම ගියා කියන කතාව බොරුවක් නොවෙයිනේ.
පිළිතුර:- බොරුවක් නොවෙයි ඒ අවුරුද්දේ නිදහස් දින උළෙල පැවැත්වුණේ කතරගම. මම කතරගම ගිහින් නතර වුණේ සැප හෝටල්වල නොවෙයි. කතරගම තියෙන විදුලිබල මණ්ඩලයේ නිල නිවාසයේ.
ඒ වුණාට ඔබ රෑට නිදාගන්න කොළඹ ඉඳලා රුපියල් අසූදාහකට ඇඳක් අරගෙන ගියා කියලා චෝදනාවක් ආවා?
පිළිතුර:- ඕක තමයි පට්ටපල් බොරුව. ඕක තමයි මඩ ප්‍රහාරය. ඔය ඇඳේ කතාව කියලා ‘‘මෙන්න මෙහෙයයි මේ ඇමැතිවරු රටේ ධනය කාබාසිනියා කරන්නේ කියලා කිව්වා. ඊට අමතරව ජාතික හෙළ උරුමයේ හෙංචයියන්ව දාලා තියෙනවා විදුලිබල මණ්ඩලය පාලනය කරන්න කියලත් කිව්වා. විදුලිබල මණ්ඩලය ඉවරයි වගේ කතා ටිකක් ඒ මහ ත්තයා එතැනදී කිව්වා. මේකට විරුද්ධව මම නඩු පැවරුවා.
මීට කලිනුත් ඔබ ඔහොම නඩුවක් දාලා දිනුවා.?
පිළිතුර:- ඔව් 2004දී මට පෞද්ගලික අපහාසයක් කළා ජනතා විමුක්ති පෙරමුණ පවත්වාගෙන ගිය ලංකා පත්තරයෙන්. ඒ මගේ බිරිඳ ක්‍රිස්තියානි කියලා. මම පල්ලියක හැංගිලා හිටපු මිනිහෙක් කියලා. ඒ අවස්ථාවේ මම නඩුවක් දැම්මා. ඒ නඩුවෙන් මට රුපියල් ලක්ෂ 200ක් ලබා දෙන්න කියලා ගල්කිස්ස දිසා අධිකරණය තීරණය කළා.
ඒ වන්දි මුදල ලැබුණාද?
පිළිතුර:- අද වෙනකම් මට ඒක ලැබිලා නෑ
ඒ වෙනුවෙන් ක්‍රියා මාර්ග ගත්ත ද?
පිළිතුර:- නෑ ඒ ගොල්ලෝ කල් ඉල්ලුවා. ලංකා කොම්පැනිය වැහිලා ගියා. ඔය වටගල මහත්තයා තමයි නඩුවෙදි ඒ පැත්තට කතා කළේ. ඒක එහෙම තිබියදී තමයි මම මේ නඩුව දැම්මෙ. වන්දි ගැනීමේ අවශ්‍යතාවක් මට තිබුණේ නෑ. මම දන්නවා ඔය වන්දි ගැනීම් මේක ඇතුළේ කරන්න හරි අමාරුයි. මේ නඩුවටත් තීන්දුව දෙන්න අවුරුදු 13ක් ගියානේ. ලංකා පත්තරේ වැඩේට දැන් අවුරුදු 20ක්.
ඔබ ඇඳේ කතාව මග හැරියා?
පිළිතුර:- නෑ. උසාවි තීන්දුවේ තියෙනවා ජාතික හෙළ උරුමයේ මිනිස්සු දැම්මා කියලා පිළිගන්න බෑ. පරමාණු බලශක්ති අධිකාරියේ සභාපති රාගම වෛද්‍ය පීඨයේ හිටපු මහාචාර්යවරයෙක්. උපසභාපති වෙලා ඉඳලා තියෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි ඉංජිනේරු අංශයේ කෙනෙක්. ඒ අය හෙළ උරුම සාමාජිකයෝ කියලා නිකම් බාල මට්ටමට දාලා අපකීර්තියට පත් කිරීමේ උත්සාහයක් තිබුණා කියලා.
ඒ වගේම විදුලි බල මණ්ඩලයට පාඩු කරලා ඇමතිවරයා සැප වින්ද බවට කිසිම තොරතුරක් ඔප්පු වෙලා නෑ කියලත් සඳහන් වෙනවා. අර අසූදාහක ඇඳන් ගෙනිච්ච එක අමූලික බොරුවක් කියලා ඔප්පු වෙලා තියෙනවා කියලත් සඳහන් වෙනවා. ඒ වගේම අපි උසාවියට කිව්වා.‘‘අපට වන්දි ගෙවීමක් අවශ්‍ය නෑ. මේ අපකීර්තියට අදාළව ක්‍රියා කරන්න කියලා. මෙතැන විත්තිකාරයෝ හතර දෙනෙක් හිටියා. ඒ අයගෙන් වෙන් වෙන්ව හෝ එක්වර රුපියල් දස ලක්ෂය බැගින් දෙන්න කියලා තමයි නියෝගයේ තියෙන්නේ. අපට අවශ්‍ය වුණේ වන්දි ගන්න නොවෙයි. මේගොල්ලෝ කවුද කියලා පෙන්වන්නයි අවශ්‍ය වුණේ.
ඒ කියන්නේ?
පිළිතුර:- මේ අය රට පෙන්වන්නේ සත්‍ය කතා කරන ඉතා උසස් පුරුෂාර්ථ තියෙන රටේ දරුවන්ට ආදර්ශයට ගන්න පුළුවන් කණ්ඩායමක් කියලනේ. නමුත් මේ අයගේ අතීතය සහ වර්තමානය එහෙම දෙයක් නොවේ කියන එක පෙන්වන්නත් හැත්තෑ හයක අවුරුදු ගාන කියන කතා ඇත්ත නොවෙයි කියලා පෙන්වන්නත්.
ඇත්තටම මේ ගොල්ලෝ කියපු හා කියන බොරුවලට නඩු දාන්න ක්‍රමයක් තිබුණා නම් දීපු බොරු පොරොන්දුවලට නඩු දාන්න පුළුවන් ක්‍රමයක් තිබුණා නම් ජනාධිපතිගේ සිට සියලු දෙනාම වැරැදිකාරයෝ වෙනවට කිසිම සැකයක් නෑ.
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවක් ගැන කතාවක් තියෙනවා. එහෙම වුණොත් ඔබට ජීවත් වෙන්න ක්‍රමයක් තියෙනව ද?
පිළිතුර:- මට ජීවත් වෙන්න ක්‍රම තියෙනවා. හැබැයි මට කියන්න එකක් තියෙනවා. අපි ජනතා විමුක්ති පෙරමුණ වගේ රාජ්‍ය දේපළ විනාශ කරපු අය නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල නිසා හා එල් ටීටීඊ එක නිසා රටට අහිමි වෙච්ච ධනය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 200ක්. රට ණය වෙලා තියෙනවා වගේ පස් ගුණයක්. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ආර්ථික වැඩ කියලා ඉතිහාසය පුරාම ප්‍රකෝටි ගණනින් ධනය උපයාගෙන තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ පිරිස්වලට විශ්‍රාම වැටුප අහෝසි කිරීම කිසිම ගැටලුවක් නෑ. උදාහරණ හැටියට ජනතා විමුක්ති පෙරමුණ ඉරාණයේ නැව් ගිනි තිබ්බා. 1982 ඉරාකය වෙනුවෙන්, සදාම් හුසේන් වෙනුවෙන්. ඒ වෙනුවෙන් සදාම් හුසේන් ජේවීපේ එකට ලක්ෂ 27ක් ලබා දුන්නා කියලා ඒ කාලයේ ජේවීපී එකේ හිටපු මාධ්‍යම කාරක සභිකයෙක් රහස් පොලිසියට දීපු කටඋත්තරයක් ජේවීපී එකේම ප්‍රධාන ආධාරකරුවෙක් සමාජ මාධ්‍යයට මුදාහැරලා තිබුණා.
අද වෙනකොට ඒ සල්ලිවලට හා දේපොළවලට මොකද වෙලා තියෙන්නේ?
ඊළඟට ජේවීපී එක කැරලි කාලේ ආර්ථික වැඩ කියලා බැංකු කොල්ල කෑවා. ඒ වගේම මේ ගොල්ලන්ගේ වෘත්තිය සමිති හරහා අද කියනවා රජ්‍ය ව්‍යාපාර කරන්න ඕනෑ නෑ පුද්ගලික අංශය කරන්න කියලා. ඒ කාලේ එන එන කොම්පැනිවලට එරෙහිව උද්ඝෝෂණ- වැඩ වර්ජන කරලා ඔවුන් රටින් පලවා හැරියා. ලංකා විදුලිබල මණ්ඩලය විකුණන්න දෙන්නේ නෑ කියලා අවුරු 20ක් තිස්සේ කෝටි සියයකට වැඩියෙන් මුදල් එකතු කරලා තියෙනවා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගෙන්. එතකොට අනික් ඒවායින් කොච්රක් ඇද්ද?
ජනතා විමුක්ති පෙරමුණේ අන්තර් සමාගම් සේවක සංගමයේ හිටපු සභාපති සිරිපාල අමරසිංහ මහත්තයා කියලා තියෙනවා. ‘‘2004 වෙනකොට තුන් ලක්ෂ හැත්තෑපන් දහසක් සාමාජිකයෝ හිටියා. රුපියල් 20 ගානේ මාසෙකට ගෙව්වා. පක්ෂයට කොච්චර සල්ලි හම්බ වුණාද කියලා හිතාගන්න ’’ කියලා ඒවා කාසි කප්පම් මේ ගොල්ලෝ වැඩ කරන පංතියේ ජනතාවගේ කාසි කප්පම්කරයෝ. දැන් කියනවා ව්‍යාපාර ආණ්ඩුව කරන්න ඕනෑ නෑ පුද්ගලික අංශය කළොත් හොඳයි කියලා.
අනික් පැත්තෙන් වැඩවර්ජන පෙන්නලා අයිතිකාරයන්ගෙන් කප්පම් ගත්තා. ඔබ යන්න කරු ජයසූරිය මහත්තයා හමුවෙන්න. එතුමගේ කාර්යාලයේ දකුණු පැත්තේ තියෙනවා පිළිරුවක්. මයිකල් ඇන්ජලෝගේ පිළිරුව. කොහෙන්ද ඒක? එතුමා නිදහස් වෙළෙඳ කලාපයේ සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා හැටියට වැඩ කළා. ඔය සමාගමේ වැඩ වර්ජනයක් කළා. එය ජේවීපී එකේ වෘත්තිය සමිතිය. ඒ වැඩ වර්ජනයේ දී ඒ අයිතිකාරයා විදේශිකයෙක්. ඒ අයිතිකරුගෙන් කප්පමක් ඉල්ලුවා වැඩ වර්ජනය නවත්වන්න. එතුමා ඒ කප්පම දෙන්න ලෑස්ති වුණේ නෑ. මොකද වුණේ? ඒ කම්හල වහලා දැම්මා. සිහිවටනයක් විදියට අර පිළිරුව ඒ මහත්මයා කරු ජයසූරිය මැතිතුමාට පිරිනැමුවා. එතුමා සිහිවටනයක් විදියට ඒ පිළිරුව කාර්යාල කාමරයේ තියාගෙන ඉන්නවා.
ජ.වි.පෙට විශ්‍රම වැටුප ඕනි නෑ. නමුත් මේ රටේ දේශපාලනය කරලා රාජ්‍යයට ධනය එකතු කරපු වෙන ආදායම් මාර්ග නැති මිනිසුන්ට විශ්‍රාම වැටුප අවශ්‍යයි. අනුර කුමාර මහත්තයා කරන්න ඕනෑ විශ්‍රාම වැටුප අහෝසි කරලා බොරු චූන් එකක් ගන්න එක නෙවෙයි.
ඔබේ විකල්පය මොකක්ද?
පිළිතුර :- ඔහු කරන්න ඕනෑ අමාත්‍යාංශවල වැඩ කරන අය කවුද වැඩ නොකරන අය කවුද කියලා හොයලා කෝප් කමිටුවේ තීරණවලට අනුව කටයුතු කිරීමයි. උදාහරණයක් හැටියට අනුර කරුණාතිලක මහත්තයා නාගරික නිවාස සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍යවරයා හැටියට හිටියා. කීයද ඔහුගේ ප්‍රගතිය? සියයට 12යි. පළමුවැනි මාස හයේ. ලෝක බැංකුවට අනුව පළමුවැනි මාස හතේ ප්‍රගතිය කීයද? සියයට 22යි. ‘‘දූෂිතයා’’ යැයි කියූ රනිල් වික්‍රමසිංහගේ ප්‍රගතියට වඩා සියයට 20කින් අඩුයි. රනිල් සියයට 40ක් අරගෙන තියෙනවා. එහෙම බලලා වැඩ කරන අයට වැඩියෙන් සලකලා වැඩ නොකරන අය අයින් කරන්න තිබුණේ. අනුර කුමාර ජනාධිපතිවරයා මොකක්ද කළේ? අර වැඩ නොකළ කෙනාට දුන්නා වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයක්. එතකොට මේක ද ක්‍රමය?
නමුත් මුදල් නාස්ති නොකිරීමෙන් ආණ්ඩුව ආදර්ශයක් දීලා තියෙනවා?
පිළිතුර :- ඉතිරි කළා කියනවා නම් ඒවා දත්ත ඇතිව පෙන්වන්න. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන් ප්‍රවාහනයෙන් කොච්චර ඉතිරි කරලා තියෙනව ද? විදේශ ගමන්වලින් කොච්චර ඉතිරි කරලා තියෙනව ද? විදුලි බිලෙන්. නිල නිවාසවලින් කොච්චර ඉතිරි කරලා තියෙනව ද? ඊයේ පෙරේදා ගෙනාපු විසර්ජන පනතට අනුව නම් තඹ දොයිතුවක් ඉතිරි කරලා නෑ.
විසර්ජන පනත අනුව අනුර දිසානායක වෙන්කරගෙන තියෙනවා ට්‍රිලියනයක්. ඒ කියන්නේ රුපියල් කෝටි ලක්ෂයක්. කෝටි ලක්ෂයක් මේ තනි මිනිසකු ආයතන 94කට වෙන්කරගෙන තියෙනවා. ඒක නිසා මේවා මේ මහජනයා චූන් කරන්න කියන ඒවා.
මේ ගොල්ලන්ගේ වෘත්තිය සමිතිවලට කප්පම් කාසි ගැන විස්තර අපට දෙන්න. ඒවායින් යැපි යැපි අනික් අයට මහත්තයෝ ඇඟිල්ල දික් කරන්න එපා. පිරිසිදු දෑතින් යන්න ඕනෑ යුක්තිය ඉටු කරන්න.
ඔබ ඔය කරන ප්‍රකාශයි - රංජන් ජයලාල් කරපු ප්‍රකාශකයයි වෙනස් වෙන්නේ කොහොමද කියලා මම ඇහුවොත්?
පිළිතුර :- මගේ ප්‍රකාශ මට ඔප්පු කරන්න පුළුවන්. සාක්ෂි සහිතවයි මම කතා කරන්නේ. 87-89 කැරැල්ලෙන් පසුව සිරිමාවෝ මැතිනිය කළා වගේ කොමිසමක් පත් කරල ඝාතන – අපරාධ, කොල්ලකෑම ගැන පරීක්ෂණ කළානම් මේවා ඔප්පු වෙනවා. ඒ නිසා අනාගත ආණ්ඩුවකින් මේවා ගැන සෙවිය යුතුයි. දඬුවම් කිරීමේ අරමුණෙන් නොවෙයි සත්‍ය සොයා යෑම වෙනුවෙන් මේක කළ යුතුයි.
ජවිපෙට සම්බන්ධ හැටදාහක් ටයර් දමා පිච්චුණා?
පිළිතුර :- ඔව් ඒවා ගැනත් හොයන්න ඕනෑ. එල්.ටී.ටී.ඊ. ඝාතන ගැනත් හොයන්න ඕනෑ.
පාතාල මර්දනය හරහා සමාජ ආරක්ෂාව තහවුරු කරන්න ආණ්ඩුව සමත් වෙලා තියෙනවා?
පිළිතුර :- ආරක්ෂාවක් තහවුරු කිරීම ගැන නම් මම දන්නෑ. නමුත් මේ ක්‍රියාවලියනම් හොඳයි. පාතාලයේ පිරිස් හිතාගෙන හිටියා මෙහෙ අපරාධ කරලා පිටරට ගිහින් හැංගිලා ඉන්න පුළුවන් කියලා. එහෙම ඔවුන් හිතාගෙන හිටියා. කෙහෙල්බද්දර පද්මේත් හිතාගෙන හිටියා. අන්න ඒ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. අනික මේක පළමු අවස්ථාව නෙවෙයි. මාකඳුරේ මධුෂ් අල්ලාගෙන ආවා කියලා ලංකාවේ අපරාධ දිගු කාලයක් නතර වුණේ නෑ. මත්ද්‍රව්‍ය නතර වුණෙත් නෑ. නමුත් මේ ක්‍රියාවලිය හොඳයි. නමුත් මේක දේශපාලනීකරණය කරන්න එපා. අපි ඒක ඉල්ලන්නේ පොලිසියෙන්.
සම්පත් මනම්පේරි ගැන විතරක් කතා කරන්න එපා. එයාගේ කන්ටේනර් දෙක කොහොමද නාකොටික් එකෙනුයි රේගුවෙනුයි නිදහස් වුණේ. ඒ අය කවුරුවත් අත්අඩංගුවට අරගත්තේ නෑ.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්