ජනමතය උරගා බලන්න ඡන්දයක් තියන්න ඕනෑ


සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

රන්ජිත් මද්දුම බණ්ඩාර

රටේ නව දේශපාලන පෙළගැසීම් හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා සමග කළ සාකච්ඡාවකි.

?විපක්ෂය මැතිවරණ ඉල්ලනවා. ආණ්ඩුව කියන්නේ ඡන්ද තියන්න පුළුවන් පරිසරයක් නෑ කියලයි. ඔබ මොකද හිතන්නේ?   


අපි කියන්නේ 2019 දී පත් වුණ ජනාධිපතිවරයා අද නෑ. ජනතාවගේ අනුමැතියක් නැති ජනාධිපතිවරයෙක් අද රටේ ඉන්නේ. කැබිනට් මණ්ඩලය එලවලා දාලා තියෙන්නේ. මන්ත්‍රීවරුන්ව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒ කියන්නේ ජනතාවගේ අනුමැතියක් නැති පිරිසක් ඉන්නේ. පළාත් සභා කල් දාලා තියෙන්නේ. අඩුම තරමින් පළාත් පාලන මැතිවරණයවත් තියන්න ඕනෑ. ජනතාවගේ මතය මොකක්ද කියලා බලන්න. පරණ චෝදනා තියෙන අයටයි දැන් රට බාර දීලා තියෙන්නේ. ජනතාවට අවශ්‍යයි තමන්ගේ මතය රට හමුවේ තියන්න. මැතිවරණයක් තියන්න මං හිතන්නේ නෑ ලොකු වියදමක් යනවා කියලා මේ හොරකම් කරන විදියට. කොහොම නමුත් ජනමතය උරගා බලන්නත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නත් ඡන්ද තියන්න ඕනැ.   


?ඔබ ඡන්ද ඉල්ලනවා. යහපාලන ආණ්ඩුව කාලේ පළාත් පාලන ඡන්දය අවුරුදු තුනක් කල්දැම්මා?   


ඒක වැරැදියි කියලයි අපි කියන්නේ. අපි ඒ වැරැද්ද කළා කියලා මේ අයත් ඒ වැරැද්ද කරලා හරියන්නේ නෑනේ. කිසිම මැතිවරණයක් ගෙවුණු අවුරුදු තුනට තියලා නෑ. රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනවා නම් අවුරුදු දෙකකට වරක්වත් මැතිවරණයක් තියන්න ඕනැ පළාත් පාලන මැතිවරණය අවුරුද්දකින් කල් දාලා. තියෙන්නේ තවත් කල්දාන්න. මම දැක්කා ජනාධිපතිවරයා කියලා තියෙනවා නියෝජිතයන් 8000 ක් ඉන්න එක 4000 ක් කරන්න ඕනැ කියලා. ඔය ජනාධිපතිවරයම තමයි 8000 ක් කළේ. ඕනැ නම් සියයට 60 - 40 අනුපාතය සියයට 70 - 30 කළොත් මන්ත්‍රීවරුන් 1500 ක් විතර අඩුවෙනවා. ජනමතයට බයේ මැතිවරණ සිතියම හකුලන එක තමයි ජනාධිපතිවරයයි පොහොට්ටුවයි මේ කරන්න යන්නේ.   


?නිශ්චිත කාල රාමුවක් තුළ අවශ්‍ය සංශෝධන කරගෙන පළාත් පාලන මැතිවරණයකට යමු කියන ඉල්ලීම ඇයි ඔබ නොකරන්නේ.   


ඔය සංශෝධන කතාව ගේන්නෙම මැතිවරණය කල්දාන්නනේ. 8000 ක්  ඉන්න මන්ත්‍රීවරුන් 4000 ක් කරන එක බොහොම ආකර්ශනීය හඬක්නේ. මේක හරියට මැතිවරණ කියන තිත්ත ගුලියට 8000  අඩු කරනවා 4000 ට කියලා සීනි තවරලා දෙන්න යන්නේ. අපි කියන්නෙත් ඔබ කියන දේම තමයි. අවශ්‍ය සංශෝධන කරගන්න. හැබැයි මැතිවරණය නියම වෙලාවට තියන්න කියලයි අපි කියන්නේ.   


?සමගි ජනබලවේගය තියෙනවා, ජාතික ජනබලවේගය තියෙනවා, ඩලස් - විමල්ලා වෙනම ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙනවා. චම්පික වෙනම ගමනක් යනවා. විපක්ෂයේ ගොඩ නේද මෙහෙම බෙදෙන්නේ?   


විපක්ෂයේ මේ සියලු දෙනාම පහුගිය සතියේ එකතු වෙලා තීරණය කළා මැතිවරණ කල්දාන එකට විරුද්ධව වැඩපිළිවෙලක් ගෙනියන්න. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අපි අරගල කරනවා. ඊට අමතරව අපි අධිකරණයටත් යනවා. එතැනින් නතර නොවී අපි ජාත්‍යන්තරයට යන්නත් කටයුතු කරනවා.   


?රනිල් වික්‍රමසිංහට රට බාර ගන්න වුණා. දැන් ඒකේ ජනවරම හොයන එක යුක්තිසහගතද?   


එතුමා ජනතාවගේ ඡන්දයෙන්, පත්වෙච්ච ජනාධිපතිවරයෙක් නොවෙයිනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවෙන් තේරී පත්වෙච්ච ජනාධිපතිවරයෙක්. අඩුම තරමින් එතුමට තමන්ගේ ආසනයවත් දිනාගන්න බැරිවුණා. දිස්ත්‍රික්කය දිනාගන්න බැරිවුණා. ඡන්දයෙන් පාර්ලිමේන්තු එන්න බැරිවුණා. එහෙම ජනමතයක් නැති කෙනෙක්නේ ජනාධිපතිවෙලා ඉන්නේ.   


?එහෙම හරි රනිල් රට බාර නොගත්තා නම් රට අරාජික වෙනවා?   


ඒක තමයි අපි කියන්නේ දැනුත් රට අරාජික වෙලා හමාරයි. රටේ මිනිසුන්ට දැන් ජීවත් වෙන්න බෑ. එතුමා ජනාධිපතිවුණා කියලා අලුත් දෙයක් වුණේ නැහැනේ. ලයිට් බිල වැඩි වුණා. වතුර බිල වැඩි කළා. ඉන්ධන මිල වැඩි කළා. ටැක්ස් එක වැඩි කළා. බදු හිතාගන්න බැරි විදියට වැඩි කරලා තියෙන්නේ. සාර්ථක ගමනක් යනවා කියලා අපට පේන්නේ නෑ. ජනතාව මතම බදු බර පටවලා රට පාලනය කරන බව තමයි පේන්නේ.   


?රනිල් වික්‍රමසිංහ එනකොට තෙල් පෝලිම් ගෑස් පෝලිම් තිබුණා. අද ඒවා නෑ?   


ඉන්ධන පෝලිම් නැතිවුණේ කොහොමද? ඉන්ධන මිල වැඩි කරලා ඉන්ධන සීමා කරලා එහෙම තමයි පෝලිම් නැති කළේ. අනිත් එක මිනිසුන්ට අත්‍යවශ්‍ය ගමනක් යන්නවත් තෙල් ගහගන්න අතේ ශතේ නෑ. රටත් බංකොලොත් වෙලා. ජනතාවත් බංකොලොත් කරලා තියෙන්නේ.   


?ඔබලා කියන්නේ මහ මැතිවරණයකට ගිහින් ඔබලාට බලයට එන්න අවස්ථාව දෙන්න කියලද?   


අපි කියන්නේ රටේ ජනතාවට ඒ තීන්දුව ගන්න අවස්ථාව දෙන්න කියලයි. මේ ආණ්ඩුවේ ඉන්නේ ජනතාව බලයෙන් පහකරපු කැබිනට් මණ්ඩලයක්. ජනතාව ප්‍රතික්ෂේප කරපු මන්ත්‍රී කණ්ඩායමක්. ජනතාව ප්‍රතික්ෂේප කරපු පිරිසක්. රට බංකොලොත් වෙනකොට හොරකම වැඩිවෙනකොට පෝලිම් වැඩිවෙනකොට මිනිසුන්ට කන්න බොන්න නැති වෙනකොට මන්දපෝෂණය වැඩිවෙනකොට බෙහෙත් මිල වැඩිවෙනකොට මිනිස්සු ඒ පාලකයන් එලෙව්වා. ඒ එලවපු අයම තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාව ජනාධිපති කරගෙන තියෙන්නේ. ඒ නිසයි අලුත් ජනමතයකට යන් කියලා අපි කියන්නේ.   


?පොහොට්ටුව කියනවා ‘ගෝඨාභයට 69 ලක්ෂයක් තිබුණා. පාරට බැස්සෙ ලක්ෂ 2 ක් විතර කියලා?   


හැටනව ලක්ෂයම උද්ඝෝෂණය කරන්න එන්නේ නැහැනේ. පාර්ලිමේන්තුවේ 225 කියන්නේ ජනතා නියෝජනයක්. 69 ලක්ෂයේම කොටස් තමයි ඇවිල්ලා උද්ඝෝෂණය කළේ. ගොවියො උද්ඝෝෂණය කළා, ව්‍යාපාරිකයො උද්ඝෝෂණය කළා, කම්කරුවො උද්ඝෝෂණය කළා, ධීවරයො උද්ඝෝෂණය කළා, ගුරුවරු උද්ඝෝෂණය කළා, ගම්වල නගරවල ඉන්න ජනතාව විතරක් නොවෙයි පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයෝ උද්ඝෝෂණය කළා, ලක්ෂ 2 නොවෙයි රටේ බහුතර ජනතාවක් උද්ඝෝෂණය කළා. ඒක ලක්ෂ 2 ට ලඝු කරන්න යනවා නම් ඒක මෝඩ වැඩක්.   


?ඔබ කිව්වා මැතිවරණ කල් දැමීමට එරෙහිව විපක්ෂයේ සියලු පාර්ශ්ව එකට එකතු වුණා කියලා. නමුත් ඒකට ජාතික ජනබලවේගය ආවේ නෑ?

   
ජාතික ජනබලවේගය ආවේ නෑ. අනිත් පක්ෂ සියල්ල ආවා. ජාතික ජනබලවේගය ඒකට සහාය දෙනවා කියලා ප්‍රකාශ කළා.   


?විපක්ෂයේ සමගිය හැදෙන්නේ ඡන්දය කල් දැමීමට එරෙහිව විතරද? ඡන්දෙට ඉදිරිපත් වෙන්න සැලසුමක් නැද්ද?   


දැනටමත් එයින් කොටසක් අපිත් එක්ක වැඩ කරන්න එකඟ වෙලා තියෙනවා. ඉදිරියේදී බලමු මැතිවරණයක් ආවම කවුද? සම්බන්ධ වෙන්නේ කවුද සම්බන්ධ වෙන්නේ නැත්තේ කියලා. මම හිතනවා විශාල පිරිසක් අපි සමග සන්ධානගත වෙලා ඡන්දයට ඉදිරිපත් වෙයි කියලා. 

 
?ඔබ එහෙම කිව්වත් සජබෙ සමහරු ඇමැතිකම් ගන්න බලාගෙන ඉන්නවා කියලා ආරංචියි?   


ඕක දිගටම කිව්වනේ. දැනට ගිහින් ඉන්නේ දෙන්නයිනේ සාමාන්‍යයෙන්. ඔහොම යනවා එනවා. හැම ආණ්ඩුවකදීම වගේ ඔහොම මාරු වෙනවා. තනතුරුවලට ආශා කරන කට්ටිය, යම් යම් දේවල්වලට ආශා කරන කට්ටිය පැති මාරු කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වුණාම සමගි ජනබලවේගයේ පලුවක් ගැලවිලා යයි කියලනේ කිව්වේ. නමුත් එහෙම දෙයක් වුණේ නැහැනේ. පරාජිත ආණ්ඩුවකට කවුරුවත් යන්නේ නෑ.   


?හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නාවලපිටියට ගියාම ඔබේ ආසන සංවිධායකවරයා පාක්ෂිකයෝ පාරට බස්සලා උද්ඝෝෂණය කළා. මේ ජනතාව පාරට බස්සලා බලය ලබා ගැනීමේ උත්සාහයක්ද? 

 
මේ ඔරොත්තු නොදෙන ජීවන වියදමට, මේ හොරකම්වලට එරෙහිව තමයි එදා ඒ ජනතාව උද්ඝෝෂණය කළේ. එහෙම නැතිව කාටවත් ගහන්නවත්, ස්ටේජ් කඩන්නවත් මිනිස්සු එළවන්නවත් ඒ අය ගියේ නෑනේ. තමන්ට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරලා ඒ ජනතාව උද්ඝෝෂණය කළේ.   


?ඒක ඒ ආසන සංවිධායකගේ අදහසක්ද? පක්ෂයේ අදහසක්ද?   


ඒක ජනතාවගේ අදහස්. පක්ෂයේ හෝ සංවිධායකවරයාගේ අදහසක් නොවෙයි. පීඩාවට පත් ජනතාවගෙන් මතුවෙච්ච අදහසක්.   


?ඉදිරියේදී මහින්ද රාජපක්ෂ යන යන තැන ඔය ‘පීඩාවට පත් ජනතාව’ එයිද?   


අපි දන්නේ නෑ. ජනතාව ප්‍රතික්ෂේප කරපු අගමැතිවරයෙක්නේ යන්නේ. ජනතා විරෝධය හමුවේ ඉල්ලා අස්වෙච්ච අගමැතිවරයෙක්නේ යන්නේ. අපි දන් නෑ ජනතාව කොහොම කල්පනා කරයි ද කියලා.   


?ඔබලා මහත් උත්කර්ෂයට නංවන ‘අරගලයෙන්’ අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලැබුණා කියලා ඔබ හිතනවද?   


අරගලයේ සැබෑ ප්‍රතිඵල ගන්න නම් ජනතාවගේ මතය විමසන්න ඕනැ. අරගලයෙන් එළවපු පිරිස්මනේ දැන් ආණ්ඩු කරන්නේ. මේ රටේ ජනතාව එළියට වීසි කරපු ජනාධිපති, අගමැති, ඇමැති මණ්ඩලය. ඒකේ ඉන්න කපුටොද මයිනොද ගිරව්ද මොක්කුන්ද දන්නේ නෑ. ඒ අයම තමයි දැන් රට පාලනය කරන්නේ. රනිල් වික්‍රමසිංහ රූකඩයක් විතරයි. අර කණ්ඩායම තමයි රට පාලනය කරන්නේ.   


?ඔබලා මුල ඉඳලාම කිව්වා ගෝඨාභය මහින්දගේ බැසිල්ගේ හිරකාරයෙක් කියලා. දැන් කියනවා රනිල් රූකඩයක් කියලා. ඔය තර්කයට පදනමක් තියෙනවද?  


නෑ ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති ධුරය බාරගන්න කොට මොන මොනවා හරි එකඟතා ඇතිවෙන්න ඇතිනේ. අපට ආරංචි විදියට නම් ඒ ගොල්ලන්ව ආරක්ෂා කරනවා. අරගලය එළවනවා වගේ එකඟතාවලට ඇවිත් තියෙනවා. ඒක පැහැදිලි වුණා කළුතර හා නාවලපිටියෙ තිබුණ රැස්වීම්වලදී මහින්ද රාජපක්ෂ කෙළින්ම කිව්වනේ. ‘රනිල් වික්‍රමසිංහ පත් කරගත්තේ අපි. ඒ අයට ඕනෑ විදියට වැඩ කරන්න’ කියලා. තව ආයෙමත් කාගෙන්වත් අහන්න දෙයක් නෑනේ. මහින්ද රාජපක්ෂ එහෙම කිව්වා. එතැන හිටපු මැති ඇමැතිවරුත් කිව්වා ඉතින් තව මොනවද?  


?ජාතික ජන බලවේගයෙ නායක අනුර කුමාර දිසානායක කිව්වා ‘මීට පස්සෙ ජනතාව නැඟී සිටින්න ඕනැ ඔවුන්ගේ නායකත්වයෙන් පමණයි’ කියලා ඔබ මොකද කියන්නේ?  


ඒක ඉතින් දේශපාලන කතාවක්නේ. අරගලය බිහිවුණේ ජනතාවගෙන්නේ. එතුමන්ලා එතැනට ගිහින් ඒ සටන අතට ගන්න ගියාට බැරි වුණානේ. ඉතිහාසයේ අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණට තියෙන ප්‍රතිචාරය මොකක්ද කියලා. ඒකේ ලොකු වෙනසක් වෙන එකක් නෑ. මේ රටේ ලොකුම අරගලය කරන්න පුළුවන්කම තියෙන්නේ අපිට. අපේ පක්ෂය තමයි ඔය හැම අරගයක්ම පටන් ගත්තෙ. ජනාධිපති ලේකම් කාර්යාලය අපියි වැටලුවේ ඉස්සෙල්ලාම. ජනාධිපතිගෙ ගෙදර වැටලුවේ අපියි ඉස්සෙල්ලාම. ජනතාව ගෙන්වලා මුලින්ම උද්ඝෝෂණය කළේ අපි. රට වටේ උද්ඝෝෂණ කළේ අපි. මං හිතන්නේ ඒගොල්ලෝ යම් යම් කතා කියලා වාසි ගන්න යනවා.  


?අරගලයෙ කැපී පෙනුණ චරිතයක් වූ දමිතා අබේරත්න සජිත් සමග එක වේදිකාවකට ගොඩ වෙනවා. අරගලයේ වහපු කෑල්ලක් නේද ඒ එළියට එන්නේ?  


දමිතා අබේරත්න අපේ පක්ෂයේ සාමාජිකත්වය අරගෙන තිබුණෙත් නෑ. නමුත් දැන් ඒගොල්ලෝ තේරුම් ගන්නවා මේ රට ගොඩගන්න පුළුවන් හොඳම පිරිස ඉන්නේ සමගි ජනබලවේගයේ කියලා. එහෙම කල්පනා කරලා තමයි අපිත් එක්ක ඇවිත් සම්බන්ධ වෙන්නේ.  


?දැන් දමිතා පක්ෂ සාමාජිකත්වය ගත්තද?  

 

නෑ තවම සාමාජිකත්වය ගත්තේ නෑ.

 

සාකච්ඡා කළේ :  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්