ජනාධිපතිවරයා ධූර කාලයේ පළමු වසර හෙවත් පළමු සැතපුම පසු කරන්නේ තමා විසින්ම පත් කරන ලද ඇමැති මණ්ඩලයේ මුහුණු කිහිපයක විෂයයන් මාරු කරමිනි. ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ විෂයයන් සංශෝධනය කරමින් රජය නිවේදනය කළේ 2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කළ බවය. එම වචනවලින්ම ගම්‍ය වන්නේ මෙම ඇමැතිවරුන් නිසා රජයේ සංවර්ධන ඉලක්කවලට යාමට අදාළ ආයතනවලට අපහසු වූ බවය.
ඇමැති සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ විවිධ මතවාද ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න කියා සිටින්නේ ලෝකයේ පැවැති සෑම ආණ්ඩුවක්ම පළමුවැනි කැබිනට් සංශෝධනය සිදු කළේ අභ්‍යන්තර ආරවුල් නිසා බවය. අභ්‍යන්තර මත ගැටුම් නිසා මෙම ආණ්ඩුව ද ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදුකළ බව සංජීව එදිරිමාන්නගේ අදහසය. ජවිපෙ ගර්භාෂයෙන්ම උපන් හා පැරණිම සාමාජිකයන්ගෙන් යුතු ඇතැම් කැඩී ගිය කොටස් එවැනි මතයක් දරන්නේ නැත. ඔවුන් කියන්නේ බිමල් රත්නායක ඇමැතිවරයා පිට පැටවී ඇති බර ලිහිල් කිරීම සඳහා ඔහුගෙන් වරාය හා ගුවන් සේවා ඇමැති ධුරය ඉවත් කරන්නට ඇති බවය. ඉතාම නුදුරේදී බිමල් රත්නායක ඇමැතිවරයාට පක්ෂය තුළ ද තවත් ප්‍රධාන පෙළේ වගකීමක් හිමිවන බවත් මේ නිසා විශාල අමාත්‍යාංශයක බර ඔහුගෙන් සැහැල්ලු කරදුන් බවත් මෙම හිටපු සාමාජිකයන්ගේ මතය වේ. ජවිපෙන් කැඩීගොස් පෙරටුගාමී පක්ෂය තුළ රැඳී සිටින ඇතැම් ජ්‍යෙෂ්ඨයකුගේ මතය වන්නේද වත්මන් රජය තුළ සාර්ථක වූ ඇමැතිවරුන් අතර බිමල් මුලින්ම සිටින බවය.
ජාතික ජන බලවේග රජය පාලනය වන්නේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ඉහළම නායකත්වය වන අභ්‍යන්තර කවයෙනි.
එම අභ්‍යන්තර කවය හැඳින්වෙන්නේ බොල්ෂෙවික් පිල වශයෙනි. මෙම අභ්‍යන්තර කණ්ඩායමට 1987-89 කැරැලි සමයේ නායකත්වය දුන් ජවිපෙ මුල් කාලීන සාමාජිකයන් ගණනාවක් අයත්ය. මෙහි ඇතැමුන් සන්නද්ධ සාමාජිකයන් ලෙසද කටයුතු කර ඇති නිසා බාහිර දේශපාලනයේදී ඔවුන්ට කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළ නොහැකිය. එහෙත් පක්ෂයේ ජවය වන්නේද පක්ෂය සම්පූර්ණයෙන්ම මෙහෙයවන්නේද මෙම කණ්ඩායම විසිනි. සති කිහිපයකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අලුත්වැඩියා කරන උත්සවයට සහභාගී වූ අවස්ථාවේ ජනාධිපතිවරයා ළඟින්ම වාඩිවී සිටි සේපාල ලියනගේ වැනි පැරණි ජ්‍යෙෂ්ඨයන්ගෙන් මෙම අභ්‍යන්තර කවය සමන්විතය. 1983 දී විජේවීර සැඟවුම් ස්ථානයකට පලාගිය අවස්ථාවේ ඔහුගේ රියැදුරු වූයේ සේපාල ලියනගේය. පක්ෂය වෙනුවෙන් ජීවිතයම කැප කළ එවැනි ජ්‍යෙෂ්ඨයන්ගෙන් යුතු ජවිපේ අභ්‍යන්තර කවයේ නායකයා වන්නේ බිමල් රත්නායක ඇමැතිවරයාය. වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන තීරකයා වන්නේද මෙම අභ්‍යන්තර කණ්ඩායම හෙවත් බොල්ෂෙවික් කණ්ඩායමය. එමනිසා මෙම කැබිනට් සංශෝධනය බිමල් රත්නායක ඇමැතිවරයා පහතට ඇද දැමීම සඳහා කළ සංශෝධනයක් නොව ඔහුගේ රාජකාරී සැහැල්ලු කර පක්ෂය තුළ හෙවත් වගකීමක් පැවරීමේ අරමුණින් කරන ලද්දක් බව ජවිපෙන් කැඩීගිය පිරිස් පවා විශ්වාස කරති.
එහෙත් විපක්ෂයේ දේශපාලන පක්ෂවල මතය වී ඇත්තේ පරීක්ෂාවකින් තොරව කන්ටේනර් සිය ගණනක් මුදාහැරීමේ සිද්ධියද ඇමැති බිමල්ගෙන් වරාය විෂය ගලවා දැමීමට හේතු වී ඇති බවය.
බිමල් යටතේ වරාය අධිකාරියට පත් කර සිටි නිලධාරියා හේතුවෙන් වරාය මෙහෙයුම් සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවටත් වරාය සේවකයන් නොසන්සුන්ව සිටින බවටත් මාස කිහිපයක සිටම මැසිවිලි නැගී තිබිණ. වරායට පත්වූ නව ඇමැතිවරයා වන ආචාර්ය අනුර කරුණාතිලක ජවිපෙන් දේශපාලනය හැදෑරුවකු නොව ජාතික ජනබලවේගය යටතේ දේශපාලනයේ ජනප්‍රිය වූවෙකි. ඔහු වැනි ආචාර්ය වෘත්තිකයකු වෘත්තීයමය වශයෙන් වරාය මෙහෙයවීමේදී සේවකයන් සමඟ මිත්‍රශීලීව අදාළ ආයතනය පාලනය කිරීම මේ අවස්ථාවේ වැදගත් වන බව විපක්ෂයේ ඇතැමකුගේ මතය වේ.
ජනාධිපතිවරයා බලයට පත්වී වසරක් පිරුණු මෙම අවස්ථාව වනවිට ඉතාම අඩු ජනබලයකින් තමාට ලැබුණු ජයග්‍රහණය වැඩි ජන ප්‍රසාදයක් කරා ගෙන යාමට ජනාධිපතිවරයාට හැකි වී තිබේ. අප එසේ කියන්නේ ප්‍රකාශිත ඡන්දදායකයන් සියයට හතළිස් තුනක් වැනි අඩු ජනවරමකින් බලයට පැමිණි ප්‍රථම ජනාධිපතිවරයා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක නිසාය. එහෙත් එම ජනවරම මහා මැතිවරණයේදී තුනෙන් දෙකේ අතිවිශාල ජන වරමක් බවට පත්කර ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබිණි. වර්තමානයේ පවතින්නේ එම ජනවරමෙන් පත්වූ ඇමැති මණ්ඩලයකි. එම ඇමැති මණ්ඩලයට ජනතා බලාපොරොත්තු ඉටුකළ හැකි වීද යන්න මේ මොහොතේ සලකා බැලිය යුතුය.
වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා පෙරටුගාමී බලවේග බවට පත්වූයේ මෙරටේ මධ්‍යම පංතියය. රජයේ හා පෞද්ගලික අංශ සේවකයන්, නීතිඥවරුන්, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ඉතා විශාල කර්යභාරයක් ඉටු කළේ වෙනත් කිසිදු මැතිවරණයකදී මධ්‍යම පංතිය ජවිපෙ හෝ ජාතික ජන බලවේගයට එවැනි සහායක් ලබාදුන්නේ නැත. එම පෙරැළියට එක් හේතුවක් වන්නේ 2018ට පෙර පැවැති රටේ සාමාන්‍ය තත්ත්වය ඇති කරගැනීමට එවකට පැවැති රජයට නොහැකි වීමය. අඩු වියදමකින් සති අන්ත විනෝද සවාරියක් අත ඇති මුදලට ලීසිං කර වාහනයක් ලබාගැනීම ආදී විවිධ බලාපොරොත්තු ඔවුන්ට තිබුණේය.
රැකියාවෙන් අතිකාල දීමනා, වාර්ෂික ප්‍රසාද දීමනා ලැබිණි. මෙතරම් රැකියා ස්ථාන ප්‍රමාණයක් එදා වැසී නොතිබුණේය. ඒ කිසිත් තමන්ට නොලැබුණා වුවත් දේශපාලකයන්ට ඒ සියල්ල තිබිණි. කිසිදු මන්ත්‍රීවරයෙකු ඉන්ධන පෝලිමක සිටිනවා ජනතාව දැක නොතිබුණි. වැඩිපුර ඉන්ධන දමන සුපිරි මන්ත්‍රී වාහන පරණ පුරුදු ලෙසටම පාරේ ධාවනය වන ආකාරය ඉන්ධන පෝලිම්වල සිටි ජනයා බලාසිටියේ ක්‍රෝධයෙනි. තමන් දුක් විඳිද්දී මන්ත්‍රී ප්‍රජාව සුපිරි බලයකින් සුපිරි ජීවිත ගත කරන බව අන් කවරදාවත් වඩා ඉන්ධන පෝලිම්වලදී ජන මනසට කාවැදුණි. ඉන්ධන පෝලිමට ගියේ ධර්මපාල කෙනෙකු වුවත් පෝලිමෙන් ආපසු ආවේ ප්‍රචණ්ඩපාල කෙනෙකි.
ගාලු මුවදොර අරගලය යනු එය ය. ගාලු මුවදොර අරගලයට සහභාගී වූ කිසිවකුත් පිටරටින් මෙරටට ආවේ නැත. ගැමියන් හා කම්කරුවන්ද එහි සිටියේ නැත. එහි සිටියේ වාහන හිමි, ක්‍රෙඩිට් කාඩ් හිමි, ජංගම ගිණුම් හිමි, කොණ්ඩය ටින්ට් කළ, ෆුඩ්සිටියෙන් බඩු ගන්නා, පෞද්ගලික රෝහලකින් නිතර චැනල් කරන මෙරට මධ්‍යම පංතිය ය. ඇතැම් ආචාර්ය මහාචාර්යවරුන්ට අනුව මෙරට මධ්‍යම පංතිය මුළු ජනගහණයෙන් සියයට හැත්තෑවකි. එහෙත් ඒ අතරින් බොහෝ දෙනා ලැබෙන මාසික වේතනය මත මධ්‍යම පංතියට ඇතුළු වූ අය බවද සැලකුව මනා ය.
ගාලු මුවදොර අරගල සමයේ කොළඹ කාර්යාලවල රාජකාරී කළ බොහෝ සේවකයන් වරින් වර එම අරගල භූමියට ගිය අතර නොගිය බොහෝ දෙනාද කාර්යාලවල සිට සහාය දුන්නේ එම අරගලයටය. වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ප්‍රධාන ශක්තිය වූයේ එම පිරිසය. අරගලයේ ප්‍රතිපලයක් වූ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ පළමු පදවි ප්‍රාප්තිය පසුවෙද්දී මෙකී කණ්ඩායම්වල බලාපොරොත්තු ඉටුවී ද යන්න සලකා බැලිය යුතුය.
අරගලයට ප්‍රධාන දායකත්වයක් ලබාදුන් නීතිඥ ප්‍රජාව යම් යම් හේතු නිසා හිත රිදවා ගත් අවස්ථා දුලබ නැත. මෑතක උදාහරණයක් නීතිඥයන් සහ වෛද්‍යවරුන්ගේ ඔවුන්ගේ වෘත්තිය සඳහන් කළ ස්ටිකර් ඇලවීම තහනම් කිරීමට පොලිසිය උත්සාහ කිරීමය. මේ පිළිබඳව වෘත්තිකයන් අතර දැඩි විරෝධයක් ඉකත්දා මතුවිය. ප්‍රභූ පංතියේ ජනාධිපතිවරුන්ගේ ආණ්ඩු පවා නොගත් එවැනි පියවර මෙම ආණ්ඩුව මඟින් ගැනීම එකී වෘත්තිකයන්ගේ සිත කලකිරවීමට සමත් බව ආණ්ඩුවේ ප්‍රධානින් තේරුම් ගෙන ඇත්දැයි පැහැදිලි බවක් පෙනෙන්නට නැත.
බඩු මිල අඩු කිරීමට රජය පියවර නොගැනීම තවත් ප්‍රශ්නයකි. විදුලි බිල වරින් වර වැඩි කිරීම වැනි කරුණු හේතුවෙන් ඡන්දය දුන් ජනතාවගේ යම් අසතුටක් ඇතිවී තිබෙන බවද රහසක් නොවේ.
ජාතික ජන බලවේගය රාජ්‍ය බලය ලබාගැනීමේ වාසිය ලබාගැනීමට නම් රටේ දූෂණ වංචා ඇතිවීමද නතර කර ගත යුතුය. මෙතෙක් කල් දූෂණ වංචාවලට පාර කිව්වේ දේශපාලකයාය. එය ක්‍රියාත්මක කළේ රාජ්‍ය නිලධාරියාය. දේශපාලන හා රාජ්‍ය නිලධාරී හවුලට මනාපය ප්‍රකාශ කර පෝෂණය කළේ රටේ අතිමහත් වූ ඡන්ද දායකයාය. එනිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බිහිවී මන්ත්‍රීවරුන්ගේ බහුතරය ලැබූ පමණින් දූෂණය වංචාව නැතිවන්නේ නැත. මන්ත්‍රීවරයා දූෂණයට වංචාවට පොලඹවන රටවැසියන්ගේ කුදුමහත් ඉල්ලීම්ද නතර විය යුතුය. තම දරුවා පාසලට දැමීම සඳහා රුපියල් මිලියන ගණන් දේශපාලකයන්ටත් නිලධාරින්ටත් පිදීමට සූදානම් මව්පියන් සිටින තුරු එමෙන්ම මහා මාර්ග තැනීමේ, වැලි ප්‍රවාහනයේ පස් ප්‍රවාහනයේ රජයේ ආයතනවල ටෙන්ඩර් ලබා ගැනීමේ කටයුතු සඳහා නීතියට පිටින් වැඩ කිරීමට දේශපාලකයා පොලඹවන අල්ලස් දීම මහජනයා විසින් නතර නොකරන තාක් ජාතික ජනබලවේගයේ සුපිරිසිදු මන්ත්‍රීවරුන්ද අපිරිසිදු වීම වැළැක්විය නොහැකි වනු ඇත. මාලිමාවේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණෙන් ඉකුත් කාල වකවානුවල ඉවත්ව ගොස් ශ්‍රීලනිපයට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හා එක්සත් ජාතික පක්ෂයට එකතු වූ ඇතැම් දේශපාලකයන්ද දූෂිත යැයි සම්මත දේශපාලකයන්ට දෙවැනි නොවූ හැටි ජනතාවට මතකය. චන්ද්‍රිකා ජනපතිනිය සමඟ පරිවාස රජයකට එකතුවීමෙන් පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජවිපෙට මන්ත්‍රී ආසන 41ක් ලැබුණු අතර ඉන් වසර දෙක තුනක් ඇතුළත මෙම පිරිසෙන් අඩක්ම නතර වූයේ ශ්‍රීලනිපයේය. ‘බලය දූෂණය වේ’ යන්න ඔප්පු කරමින් මේ පිරිස විවිධ දූෂණ හා අසම්මත දේශපාලන කටයුතුවලට යොමුවිය. ජවිපෙ වැනි විනයගරුක පක්ෂයකින් බිහිවූවා වුවත් සමාජය දූෂිත නම් එසේ බිහිවන මන්ත්‍රීවරුන්ද දූෂණය වීම වැළැක්විය නොහැකිය. ඒ නිසා ජවිපෙන් ඉතා පිරිසිදු විනය ගරුක මන්ත්‍රීවරුන් පත්වුවද ඔවුන්ගේ පිරිසිදුකම දිගටම පවත්වාගෙන යාමේ වගකීම ඇත්තේ මහජනතාවටය.
ජවිපෙ සහ මාලිමාවේ දේශපාලනය තුළ සුපිළිපන්නභාවය ඇති කිරීමේ දිගුකාලීන හඬක් නැඟුණි. මාලිමා රජයක් බලයට පත්වූ පසු පෙර කාලයේ මෙන් රාජ්‍ය දේපොළ කොල්ලකෑම, දූෂණ, වංචා ආදිය සැලකිය යුතු ලෙස අඩුවී තිබීම ජනතාව ලැබූ ජයග්‍රහණයකි. ඒ පිළිබඳව රජයට ප්‍රශංසාවක්ද ලැබිය යුතුය. එහෙත් ඉකුත් දිනවල මාලිමා දේශපාලකයන්ගේ වත්කම් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වූ අවස්ථාවේ මාලිමා රජයේ වගකිව යුතු ඇමැතිවරුන් ලබාදුන් පිළිතුරු ගැන ජනතාව සෑහීමකට පත්වූ වේද යන්න ගැන රජයට වැටහීමක් තිබේද යන්න ප්‍රශ්නයකි.
අපට දැනගන්නට ඇති ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙවර රාජ්‍ය සේවයේ යම් යම් ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් රජයට යම් පීඩනයක් එල්ල කර ඇත. රාජ්‍ය සේවකයන් ප්‍රමාණය ලක්ෂ 14ක් වන අතර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇත්තේ එම සංඛ්‍යාව ලක්ෂ 8 දක්වා අඩුකරන ලෙසය. එම නිර්දේශ පැමිණෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය හෙබවූ සමයේ පටන්ය. එහෙත් එම රජයටද වත්මන් ජාතික ජනබලවේග රජයටද එම තීන්දුව ගැනීමට නොහැකි විය. මූල්‍ය අරමුදල මෙවර විමසා ඇත්තේ එවැනි තත්ත්වයක් තිබියදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ මට්ටමකින් වැඩි කළේ කුමක් නිසාද යන්නය. එයට අමතරව මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇත්තේ ඉදිරි හයවැනි වාරිකය ලබා ගැනීමට නම් විදුලි බල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීම, විදුලි බිල වැඩි කිරීම, ජල බිල වැඩි කිරීම, අස්වැසුම වැනි රාජ්‍ය සහනාධාර ලබාදෙන ප්‍රමාණය අඩුකිරීම ආදී කොන්දේසි ගණනාවක් ඉටු කළ යුතු බවය.
මේ පිළිබඳව ජනාධිපතිවරයා එතරම් සතුටකින් නොසිටින බවද දැනගන්නට ඇත. ජනාධිපතිවරයා සිටින්නේ මූල්‍ය අරමුදල සිදු කරන නිර්දේශ ඒ ආකාරයටම ඉටු කළ නොහැකිය යන මතයේය.
ආණ්ඩුවට ඉදිරියේදී එල්ලවන ලොකුම අභියෝගය වන්නේ මූල්‍ය අරමුදල පනවන මීළඟ කොන්දේසි ක්‍රියාත්මක කිරීමේදී ජනතා සහාය දිනාගැනීමය. ඒ සඳහා එම කොන්දේසි ඉටු කිරීම ගැන ජනතාවට කරුණු පැහැදිලි කළ හැකි ඇමැතිවරුන් මෙම රජය තුළ සිටීද යන්න ප්‍රශ්නකාරීය. බොහෝ ඇමැතිවරුන් තවමත් කතා කරන්නේ ඔවුන් විපක්ෂයේ සිටියදී කතා කළ ජනප්‍රියවාදී ශෛලියෙනි. ආණ්ඩුකරණයේදී භාවිතය අනුව එවැනි ඇමැතිවරුන් ජනතාවගේ හාස්‍යයට ලක්වෙමින් සිටින අයුරු පෙනෙන්නට තිබේ. වැදගත් මධ්‍යස්ථ ඇමැතිවරුන් පිරිසක් ඉදිරියට ගෙන එන්නේ නම් මෙම ප්‍රශ්නයෙන් ආණ්ඩුවට සමත් විය හැකිය.
ප්‍රේමකීර්ති රණතුංග