ඡන්දය කල් යෑමේ අවදානමක් තාම තිබෙනවා


උදය ප්‍රභාත් ගම්මන්පිල
පළාත් පාලන මැතිවරණය නියමිත දිනයේදී පැවැත්වේද? ඒ සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කුකුසකි. පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමය නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා සමග මේ සංවාදය ඒ සම්බන්ධයෙනි.   
 
?පළාත් පාලන මැතිවරණය නියමිත දිනයට පවත්වයිද? ඒ පිළිබඳ ඔබේ තක්සේරුව.   
 
ආණ්ඩුවට වූවමනාව තිබෙනවා ඡන්දය කල් දැමීමේ වරද ආණ්ඩුව බාර නොගනිමින් ඡන්දය කල් දාන්න.   
 
?ආණ්ඩුව කොහොමද ඒක කරන්නේ.   
 
ඡන්දය තියන්න මුදල් නැහැ කියලා දැනටමත් කියනවනේ. මැතිවරණ කොමිසමට සිදුවෙනවා. පොලිසියට හා මුද්‍රණ දෙපාර්තමේන්තුවට ඉදිරි සතිය තුළ මුදල් ගෙවන්න. ඒ අනුව මේ වනවිටත් මැතිවරණ කොමිසම තමන්ගේ මුදල් ඇස්තමේන්තුව භාණ්ඩාගාරයට ලබාදීල ඇති. භාණ්ඩාගාරය ඒවාට ගෙවන්න මුදල් නැහැ කියලා පැවසුවාම මැතිවරණ කොමිසමට තියෙන්නේ අධිකරණයට පැමිණිලි කිරීමයි. නමුත් අධිකරණයට භාණ්ඩාගාර ලේකම් ඇවිත් කියාවි අපේ මාසික ආදායම මෙච්චරයි. වියදම මෙච්චරයි අපට ඡන්දය වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාවක් මේ මොහොතේ නෑ. තව මාස හයක් යනතුරු අපට ගෙවන්න බෑ කියලා. අනිත් පැත්තෙන් මහ බැංකු අධිපති කියාවි ‘අපට තවදුරටත් මුදල් අච්චු ගහන්න ඉඩ දෙන්න බෑ. එහෙම වුණොත් ආර්ථිකය කඩා වැටෙයි කියලා. 
 
?අධිකරණය කොහොමද ඔය වගේ ප්‍රශ්නයක් විසඳන්නේ.   
 
ඔව්. මෙතැනදී අධිකරණයට තියෙන්නේ නීතිමය කාර්යයක් නොවෙයි. ආර්ථිකය පිළිබඳ කාරණයක්. මහ බැංකුව මිස ශ්‍රේෂ්ඨාධිකරණය නෙවෙයි ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂඥා වෙන්නේ. ඒ නිසාම මහ බැංකුව හා භාණ්ඩාර ලේකම්ගේ මතය අනුව දෙපාර්ශ්වයම මැතිවරණයට යම් දිනයක් නියම කර ගන්න කියලා අධිකරණයට කියන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඡන්දය කල්යෑමේ අවදානමක් තාම තියෙනවා.   
 
?මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වුණා. එහෙම වුණාම මොකද වෙන්නේ?   
 
මැතිවරණ කොමිසමේ කෙනෙක් ඉවත්වී තිබෙනවා. එය මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවෙයි. මැතිවරණ කොමිසමේ ගණපූර්ණයට අවශ්‍ය වන්නේ තුන් දෙනයි. ඒනිසා සාමාජිකයන් තුන් දෙනෙක් ඉල්ලා අස්වුණොත් පමණයි එය මැතිවරණයට බාධාවක් වෙන්නේ.   
 
?තව මතයක් තියෙනවා සාමාජිකයන් පස් දෙනාම එක තැනක වාඩිවෙලා තමයි තීරණ ගත යුත්තේ. එහෙම නැතිව ගන්න තීරණ වළංගු නෑ කියලා.   
 
මැතිවරණ කොමිසම කියන්නේ සාමාජිකයන් ඒකමතිකවයි දිනය තීරණය කළේ කියලා. කාටහරි ඒ ගැන සැකයක් තියෙනවා නම් තැන් තැන්වල චෝදනා කරනවා වෙනුවට අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න පුළුවන්.   
 
?පුංචි ඡන්දය පවත්වන දිනය ගැන තාම කියන්නේ ප්‍රකාශයක් පමණයි. දිනය තවම ගැසට් කරලා නෑ. 
 
මැතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එය ගැසට් කිරීමට බාධාවක් මට නම් පේන්නේ නෑ.   
 
මෙතැනදී අධිකරණයට තියෙන්නේ නීතිමය කාර්යයක් නොවෙයි. ආර්ථිකය පිළිබඳ කාරණයක්. මහ බැංකුව මිස ශ්‍රේෂ්ඨාධිකරණය නෙවෙයි ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂඥා වෙන්නේ.
 
?නව ව්‍යවස්ථා සභාවක් පත් වුණා ඔවුන්ට පුළුවන් මැතිවරණ කොමිසම විසුරුවන්න.   
 
ව්‍යවස්ථාදායක සභාවේ දැනට පත් කරලා තියෙන්නේ සාමාජිකයන් නවයයි. නව දෙනාගෙන් ආණ්ඩුවේ අය සිටින්නේ හතර දෙනයි. විපක්ෂයේ දෙදෙනකු ඉන්නවා. ස්වාධීන දෙදෙනකුත් ඉන්නවා. ඒ නිසා විපක්ෂයේ හා ස්වාධීන සාමාජිකයන් තමන්ගේ යුතුකම හරියට ඉටු කළොත් මේ මැතිවරණ කොමිසම මැතිවරණය අවසන් වනතුරුම රඳවා ගැනීමට පුළුවන්.   
 
?රටේ තියෙන ප්‍රශ්නවලට මේ මැතිවරණය උත්තරයක් වෙන්නේ කොහොමද? මිනිසුන්ට අවශ්‍ය ප්‍රශ්නවලට උත්තර.   
 
රටේ ප්‍රශ්නවලට නම් පළාත් පාලන මැතිවරණය උත්තරයක් නොවෙයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම රටේ සංවර්ධනයටත්, ස්ථාවර භාවයටත් හරිම වැදගත්. අපි හොඳටම දන්නවා ජනතාවට බදු බර දරා ගන්න බෑ. බඩු මිල දරා ගන්න බෑ. භාණ්ඩ හිඟය නිසා ජනතාව පීඩා විඳිනවා. එවැනි පසුබිමක ජනතාවගේ හදවතේ තියෙන ක්‍රෝධය කතිරයකින් පිට කර ගන්න අවස්ථාව නොදුන්නොත් මිනී කඳු මතින් ​ලේ ගංගා ගලන ප්‍රචණ්ඩ පසුබිමක් රටේ ඇති වෙන්න පුළුවන්.   
 
?ඇත්තටම විපක්ෂය මේ මොහොතේ සටන් කළ යුත්තේ මහ මැතිවරණයක් ඉල්ලලයි. අලුත් ආණ්ඩුවක් හදා ගන්න පුළුවන් වෙන්නේ එතකොටයි.   
 
පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගැනීමට නම් එක්කෝ ජනාධිපතිතුමා කැමති විය යුතුයි. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ බහුතරය කැමති විය යුතුයි. පාර්ලිමේන්තුවේ සාතිශය බහුතරය තියෙන පොහොට්ටුව මැතිවරණයකට ගිහින් පරාද වෙන්න කැමති නෑ. අනික් පැත්තෙන් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු මැතිවරණය පත්වලා තමන්ට හිතවත් පාර්ලිමේන්තුවක් වෙනුවට තමන් විරෝධී පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමේ වුවමනාවකුත් නෑ. ඒනිසා මේ පරිසරය තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් දිනා ගැනීමට ඉඩක් නෑ.   
 
?ඇමැති ධුරවලින් ඉවත් කළාට විපක්ෂයේ ඇවිත් වාඩි වුණාට ජනතාවගේ සහයෝගයක් ඔබලාට තියෙනවද?   
 
අපි කළ දේ ගැන කිව්වොත් ලෝක දේශපාලන සංස්කෘතිය වෙනස් කළ දෙයක්. ලෝක දේශපාලන සංස්කෘතියේ ස්වභාවය තමන් පත් කළ ආණ්ඩුව මොන තරම් වරදක් කළත් එය සමාජය ඉදිරියේ සාධාරණීකරණය කිරීමයි. නමුත් අපි ඒ වෙනුවට අපේ ආණ්ඩුව වැරැදි කරද්දී විපක්ෂයටත් වඩා ඒ වැරදි පෙන්වලා දීලා එසේම ආණ්ඩුවෙන් අපේම ජනතාව බේරා ගන්න අපි කටයුතු කළා. තමන් ඉන්න ඇමැති මණ්ඩලයට එරෙහිව අධිකරණයට ගියේ ලෝක ඉතිහාසයේ අපි පමණයි. අපි හැමදාමත් හිට ගත්තේ ජනතාව සමගයි. අපි ජනතාව වෙනුවෙන් සටන් කළා. එයින් අපට වෙන අවාසිය අපි බැලුවේ නෑ. ජනතාව වෙනුවෙන් සටන් කිරීම නිසා අපට ඇමැති ධුර අහිමි වුණා. එහෙම නම් ඒ ගැන නොසලකා හරින්න ජනතාවට හේතුවක් නෑ.   
 
?පළාත් පාලන මැතිවරණය පැවැත් වුවහොත් ඔබලා අපේක්ෂා කරන පංගුව කොහොමද?  
 
මගේ දේශපාලන අවබෝධය අනුව මෙවර බොහෝ සභාවන්හි පිහිටුවන්න වෙන්නේ අස්ථාවර පාලනයක්. කිසිම පක්ෂයකට සාමාන්‍ය බහුතරය දිනා ගන්න බෑ. ඒ නිසා සෑම පක්ෂයකටම තමන්ගේම වූ නගරාධිපතිවරයකු පත් කර ගැනීමේ හැකියාව තිබෙනවා. හරියට තනි මන්ත්‍රී ධුරයක් තිබුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ අයුරින්ම ස්වාධීනව තරග කර තනි මන්ත්‍රී ධුරයක් ලබාගන්න කෙනෙකුටත් නගරාධිපතිවීමේ හැකියාවක් තිබෙනවා.
 
 
 
සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්