ගොවි ප්‍රශ්න සහ ජීවන වියදම ගණන් නොගෙන ආණ්ඩුවට යාහැකි දුර!


අපේ දේශපාලන රඟමඬලේ හැමදාම වේදිකාගත වන්නේ එකම කතාවය. වරින් වර වෙනස් වන්නේ රඟපාන නළුවන් පමණය. ප්‍රේක්ෂකයන්ද හැමදාම එකම පිරිසය. රඟමඬලේ අලුත් කතාවක් රඟදෙන බව සිතා රංගනය නැරඹීමට ගියත් රඟ දක්වන්නේ එකම නාටකය බවත් වෙනස් වී ඇත්තේ නළු පිරිස බවත් තේරුම් යන්නේ රංගනය ටිකක් දුරට නරඹද්දීය. මේ දිනවල වේදිකාගත වී ඇති “කෙතේ කමතේ” කතාව ද අලුත් නළුවන්ගෙන් රඟපාන පැරණි කතාවමය. වී මිල පිළිබඳව ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ ප්‍රකාශ නිසා ගොවීන් ආවේගශීලී වී ඇති බව දැකගත හැකිය.

ජාතික ජන බලවේගයේ පොලොන්නරු මන්ත්‍රී සහ නියෝජ්‍ය ඇමැති ටී.බී. සරත් කියා සිටින්නේ ගොවි විරෝධතා පිටුපස සිටින්නේ සැබෑ ගොවීන් නොව විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් බවය. ගොවි නායකයන් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයන් රජයෙන් වරප්‍රසාද භුක්ති විඳින අතරම ගම් මට්ටමින් කසිප්පු පෙරීම වැනි දූෂිත ක්‍රියාවල නිරත වන බවට තොරතුරු ලැබී ඇතැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා කියයි.

ඒ අතරම වී ගොවීන් සහ ලූනු ගොවීන් ඉකුත් දිනවල කළ ඇතැම් උද්ඝෝෂණවල දී එදා ගොවි අරගලයට පණ පෙවූ වත්මන් ඇමැතිවරුන් කිහිප දෙනකුගේ නම ඇල වූ පඹයන්ට පහර දෙන ආකාරය ද දැකගත හැකි විය. එදා ගොවි අරගලයකින් බලයට ආ වත්මන් ආණ්ඩුවේ ගොවි බිම් ආශ්‍රිත ප්‍රදේශවල වත්මන් දේශපාලකයන්ට ගොවීන් එලෙස විරෝධය දක්වන්නේ ඔවුන් එදා විපක්ෂයේ සිටිය දී වැඩි මිලට වී නොගන්නා බවට රජයට කළ චෝදනාව අද ඔවුන්ගේ රජයක් යටතේ ඉටු නොවන නිසාය. මේ වන විට වී මිල බොහෝ පහළ බැස ඇති අතර විපක්ෂයේ දී පැවසූ පරිදි ඉහළ මිලකට වී මිලදී ගත යුතු බව ගොවීන්ගේ ඉල්ලීමය. ඒ අතරම එදා ආණ්ඩු පක්ෂයේ සිටි බොහෝ දේශපාලකයන් මේ වන විට විපක්ෂයේ සිට එම ගොවි ඉල්ලීම්වලට සහාය දක්වන ආකාරය ද දැකගත හැකිය. එකම කතාව අලුත් නළුවන් යටතේ දේශපාලන වේදිකාවේ රඟ දැක්වෙන්නේ ඒ ආකාරයටය.

ගෙවී ගිය සති කිහිපයක් පුරාම වී සඳහා නිසි මිලක් ලබා දෙන්නැයි ඉල්ලා කළ ගොවි අරගල රට පුරාම පැවැත්විණි. ඇතැම් ගොවීන් පන්දම් දල්වා රජයට විරෝධය දක්වමින් අරගලයේ යෙදුණු අතර ඇතැම් තැනක දැකගත හැකි වූයේ රජයේ දේශපාලකයන්ගේ වෙස් ගැන් වූ පඹයන්ට පහරදීමය. වී මිල පහළ යාමට හේතුව ලෙස සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පෙන්වා දුන්නේ රජය අනවශ්‍ය ලෙස සහල් ආනයනය කිරීම නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බවය. වී සඳහා මිල සූත්‍රයක් ඉල්ලන ගොවි නියෝජිතයෝ වී කිලෝවකට රුපියල් 120ක මිලක් ද ඉල්ලා සිටිති. එහෙත් සත්කෝරළයේ ඇතැම් ගමක වී කිලෝවක් රුපියල් 80 සිට 90 දක්වා මිලකට විකුණන බව ඉකුත් සතියේ ද දැක ගත හැකි විය.

පැරණි යුගයේ ගොවියා වී ගොවිතැන් කළේ විකිණීමට නොව තමන්ගේ ආහාරය සඳහාය. එයින් කුඩා කොටසක් තමා ළඟ නොමැති වෙනත් ද්‍රව්‍ය සඳහා හුවමාරු කර ගැනිණි. අදින් දශක කිහිපයකට එහා පැත්තේදී වෙළෙඳපොළෙන් වී සහ සහල් මිලදී ගැනීමට සිදු වූයේ නාගරිකයන්ට පමණය. ගම්බද කුමන ඉහළ රැකියාවක නිරත අයකුට වුවද තමන්ගේ බත පිණිස තමන්ගේම කුඹුරු තිබිණ. එම කුඹුරුවල වී වගා කෙරුණේ තමාගේම වතුපිටිවලින් සොයාගන්නා ඓන්ද්‍රීය පොහොරෙනි. රසායනික පොහොර ගැන එකල ගොවියා අසා තිබුණේවත් නැත. තමාගේ ගෙදර ඇති වී බිස්ස හෝ වී පෙට්ටිය පිරුණේ නම් ගොවියා ඉන් සෑහීමට පත් විය.

1930 දී මුල්වරට ලංකාවට රසායනික පොහොර ආනයනය කර තිබේ. එම යුගයේ රසායනික පොහොර වී වගාවට ලැබුණේ නැත. රසායනික පොහොර ලැබුණේ තේ රබර් හා පොල් යන වතු ආර්ථිකයට පමණය. වී ගොවිතැන කොළ පොහොර ඇතුළු ඓන්ද්‍රීය පොහොර භාවිතයෙන්ම කෙරුණේය.

එහෙත් දෙවැනි ලෝක යුද්ධයත් සමග පැතිර ගිය ආහාර හිඟය මෙරටට ද බලපෑවේය. මෙරටට සහල් ආනයනය කළ බුරුමය වැනි රටවල් යුද්ධයට පැටලී සිටි හෙයින් එදා පැවැති උග්‍ර සහල් හිඟය දේශීය නිෂ්පාදනවලට රුකුලක් විය. යටත් විජිත පාලකයන් තීන්දු කළේ එම තත්ත්වය නිසා මෙරට ගොවීන් රසායනික පොහොර භාවිතයට හුරුපුරුදු කර ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමටය. වී ගොවිතැනට කෘත්‍රිම පොහොර භාවිතය හුරු කළේ ඒ අනුවය. යටත් විජිත ප්‍රතිපත්තිය වූයේ වියදම් වැඩියෙන් වැය වන මෙරට මහා පරිමාණ වී වගාව නොව තමන්ගේම යටත් විජිතවලින් අඩු වියදමින් ගෙන්වා මෙරට වැඩිවන ඉල්ලුමට සහල් ලබා දීමය. එදා සිට අද දක්වාම මෙරට වාණිජ වී වගාවේ ඇති ලොකුම ප්‍රශ්නය වන්නේ මෙරට වගාවේදී වැය වන අධික වියදමට වඩා ආනයනය ලාබදායක වීමය. එහෙත් දෙවැනි ලෝක යුද්ධයත් සමග එම තත්වය වෙනස් වූ අතර මේ වන විට වාණිජ වී වගාව මෙරට මහා පරිමාණයෙන් පැතිර තිබේ. ගම්බද බොහෝ දෙනා වී වගාවෙන් ඈත්ව සිටින අතර වෙළෙඳපොළෙන් සහල් මිලදී ගැනීමට පුරුදුව සිටිති. ඔවුන් වෙනුවෙන් සහල් නිපදවිය යුත්තේ රජරට සහ තිස්සමහාරාමයේ ගොවි ජනතාවය.

බත් පත සහ ජීවන වියදම සැමදාම මෙරට දේශපාලන ආයුධයකි. යටත්විජිත යුගයේද කොළඹ සහල් කඩ කඩා දමා සහල් ගෙන ගිය අරගලකරුවන්ගෙන් යුතු ඉතිහාසයක් ද අපට තිබේ. 1866 වසරේ ඔක්තෝබරයේ ලක් රිවි කිරණ පුවත්පත සඳහන් කරන්නේ එම ඉතිහාසයයි. “මේ සතියේ දී කොළඹ කෝලාහාල සහිතව තිබුණාය. එයින් නොයෙක් දෙනාට අලාභහානි පැමිනුණු බව කනගාටුවකි. ලංකාවට මෙවැනි අනතුරු පැමිණෙනවා විස්මය නොවෙයි. විස්මය නම් මෙවැනි අනතුරු නිතර නිතරම සිද්ධ නොවෙන කාරණාව ගැනයි. ඒ මක් නිසාද කීවොත් හාල් මෙරට වාසී හැමදෙනාගේම ප්‍රධාන ආහාරයක්ව තිබිය දී මෙහි වැස්සන්ට සෑහෙන තරම් මෙහි උපදවා ගන්ට බැරි නිසයි. ඉන්දියාවේ ගොවිතැන් පැහෙන කල් මෙහි ඇත්තන්ට බත් කන්ට බලා ඉන්නව ඕනෑය. පසුගිය මෝසමේ ඉන්දියාවේ ගොයම් පැහුණේ නැති බැවින් මෙරට වැසියන්ට බත නැතිවෙන්ට ආවා. කොළඹ හාල් සේරුවක් පැන්ස අටහමාරට වික්කා. මහනුවර දී සිලිමටත් සේරුවක් වික්කා. කුරුණෑගල බුසලක් සිලිම් විසි දෙකහමාරට වික්කා. මාතලේ සිලින් විසිපහයි. මේවා කොහොම වුණත් බඩ අහන්නේ නෑ. ඉන්දියාවේ හාල් පැහුණත් නොපැහුණත් බත් නොකා ඉන්ට බෑ...”

ඒ 1866 දීය. 1866 දීත් මෙරට වැසියන්ගේ බඩ පිරුණේ ඉන්දියාවේ ගොයම් පැහුණු නිසාය. ඉන්දියාවේ ගොවීන් ගොවිතැන් සරු කරගත් නිසාය. ඒ කියන්නේ එකලත් මෙරට ජනගහණයට සාපේක්ෂව වී අස්වනු මදි බවය. ඉන්දියාවට නිසි කලට වැසි නොවැස්සොත් වගා පාළුවීම් ලංකාවේ ජනතාවගේ කුස පිරීම දක්වාම බලපාන්නේය. ඉන් වසර එකසිය පනහකට පසුවද ඉන්දියාවේ සහල් එනතුරු බලා සිටීමට සිදුවෙයි. සහල් අස්වනු වැඩි සමයට වැඩි මිලට වී විකුණා ගැනීමේ සටන් ඇතිවෙයි. සෑමවිටම ගොවිජන ප්‍රශ්න බලයට ඒමේ දේශපාලන ආයුධයකි.

රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක නිරතව සිටියද පොදු ජනතාවට ඒ පිළිබඳ ලොකු උනන්දුවක් ඇති බවක් දක්නට නැත. මෙයට පෙර පැවැති ආණ්ඩු සහ විපක්ෂය අතර මෙවැනිම ව්‍යවස්ථා අර්බුද ඇති වූ අවස්ථාවල ද පොදු ජනතාවට ඒ පිළිබඳව එතරම් උනන්දුවක් නොතිබිණ. සෑම විටම ජනතාවගේ ප්‍රමුඛ ප්‍රශ්නය වන්නේ ජීවන වියදම ඉහළ යාමය. මේ වන විට ජනතාව ජීවන වියදම් බරෙන් දැඩි ලෙස මිරිකී සිටින බවක් දැකගත හැකිය. වැටුප ඇතුළු විවිධ ලැබීම් ඉතා කෙටි කලක් තුළ අවසන් වේ. මේ නිසා ජනතාවට ඇති ප්‍රශ්නය ව්‍යවස්ථා අර්බුද නොව ජීවන අර්බුදයයි. එය දේශපාලකයන්ට තේරුම් ගොස් තිබේදැයි සැක සහිතය.

බත්පත නිසා ආණ්ඩු පෙරළුෑ ඉතිහාසයක් ඇති මෙරට ජනතාවගේ කුසගින්න ගැන නොසිතා ජනතාවට නොඋවමනා අධිකරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පෙරැළි ගැන ප්‍රමුඛතාව දී කටයුතු කිරීම තමන්ගේ අනාගත පැවැත්මට කොතරම් උචිත ද යන්න ආණ්ඩුවේ ඉහළම බලධාරීන් සැලකිල්ලට ලක් කර තිබේදැයි අපි නොදනිමු. එහෙත් මෙකල සාමාන්‍ය පොදු මහජනතාව පමණක් නොව මධ්‍යම පන්තිය පවා ඉහළ නැග ඇති ජීවන වියදම ගැන මැසිවිලි නගන බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. ජනතා උවමනා පසෙකලා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රවලට වැඩ කරන ආණ්ඩුවලට වැඩි ආයු කාලයක් තිබුණේ නැත. වත්මන් රජයට බලය ලබා ගැනීම සඳහා මග පෑදුණු ගාලු මුවදොර අරගලයට හේතු වූයේ ද ගොවිජන සහ ජීවන වියදම් අරගලය මුසු වූ ජනතා කලකිරීමකි. වත්මන් රජයේ ප්‍රමුඛ කටයුත්ත වී ඇත්තේ “සොරු ඇල්ලීම” යන ජනප්‍රිය සටන් පාඨය වුවත් ගොවි ප්‍රශ්න සහ ජීවන වියදම් අරගලයෙන් හෙම්බත් වෙමින් සිටින ජනතාවට එම ජනප්‍රිය සටන් පාඨය තවත් කොතරම් කල් වලංගු වේද යන්න රජයට තේරුම් ගැනීම අවශ්‍යය. තමා කළ යුතු ප්‍රමුඛතා ලැයිස්තුවක් පිළිබඳ රජය සමාලෝචනයක යෙදීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වෙයි.

ප්‍රේමකීර්ති රණතුංග