2015 ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු වෙනුවෙන් ස.තො.ස. ආයතනයට ගෙන්වූ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ක්‍රීඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් කෝටි 05 කට අධික පාඩුවක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු හිටපු වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දුට වසර 25ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් පසුගිය බ්‍රහස්පතින්දා (29) නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනු කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි ඒකමතිකව තීරණය කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අදාළ දඬුවම් නියම කළේය.
වසර 10කට පෙර කළ මෙම අපරාධය සම්බන්ධයෙන් වසර 06ක කාලයක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, පිටු 84කින් යුත් තීන්දුව ප්‍රකාශට පත් කළ විනිසුරු මඬුල්ල, චෝදනාවලට විත්තිකරුවන් වරදකරුවන් කරමින් ඔවුන්ට නියම කළ සිර දඬුවම්වලයට අමතරව පිළිවෙළින් නලින් ප්‍රනාන්දු ට ලක්ෂ 04ක, අලුත්ගමගේ ට ලක්ෂ 02ක දඩ මුදල් ද නියම කළේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රදීප් හෙට්ටිආරච්චි (සභාපති), ප්‍රදීප් අබේරත්න සහ මහේෂ් වීරමන් යන තිදෙනාගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
2014 සැප්තැම්බර් මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ කොළඹ දී, සතොස ආයතනයට ගෙන්වූ කැරම් බෝඞ් සහ දාම් බෝඩ්, පසුගිය ජනාධිපතිවරණ සමයක දී දේශපාලන අරමුණු හේතුවෙන්, ක්‍රීඩා සංගම්වලට බෙදා දී රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හයක් යටතේ නඩු පවරා තිබිණ.
මෙම සිද්ධියට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවැරීම සඳහා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ලැබීම නිසා, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව මෙන්ම සතොස හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.
පැමිණිල්ලේ නඩුව අවසන් වූ අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්, පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි නොකැඳවාම විත්තිකරුවන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලා සිටියත්, විත්තියේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් විත්තියේ සාක්කි කැඳවීමට තරම් ප්‍රමාණවත් නඩුවක් පැමිණිලි පාර්ශ්වය විසින් ඉදිරිපත් කර ඇතැයි තීරණය කළ විනිසුරු මඬුල්ල විත්තියේ සාක්කි විභාග කිරීමට තීරණය කළේය.
ඒ අනුව විත්තිකරුවන් වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කෙරුණු අතර පැමිණිල්ලේ මෙන්ම විත්තියේ සාක්ෂි විමසීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව කැඳවනු ලැබීය.
ඒ අවස්ථාවේ දී විත්තිකරුවන් වෙන හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස. හිටපු සභාපති මෙන්ම හිටපු වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු දෙදෙන අධිකරණයේ පෙනී සිටියහ.
තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ආරම්භ කරමින්, විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇතැයි විනිසුරු මඬුල්ල සඳහන් කළේය.
විත්තිකරුවන්ට එරෙහිව නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කළ අවස්ථාවේ දී විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව පවසමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තිය යටතේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් විත්තියේ සාක්ෂි කැඳවීමට තීරණය කළ බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල සාක්ෂි විභාගය අවසානයේ දී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කළේ යැයි සඳහන් කළේය. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි චෝදනාවලට ඔවුන් වරදකරුවන් බවට තීන්දු කළ විනිසුරු මඩුල්ල, විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමට පෙර දඬුවම් අඩු කිරීම සඳහා විත්තිකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිරීමට අවශ්‍ය නම් එම ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.
ඒ අවස්ථාවේ දී පළමු විත්තිකාර හිටපු වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කරුණු දක්වමින්, චෝදනාවලට පාදක වූ ක්‍රියාවෙන් තම සේවාදායකයා කිසිදු ලාභයක් ලබාගෙන නැතැයි කීය.
ඉහළින් ලැබුණු උපදෙස් අනුව භාණ්ඩ ආනයනය කර ලබාදීම තම සේවාදායකයා කර ඇතැයිද එය තම සේවාදායකයාගේ රාජකාරිය යැයි ද චෝදනාවේ සඳහන් වැරදි කිරීමට තම සේවාදායකයා කිසිදු දායකත්වයක් දක්වා නැතැයි ද කී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, මෙම කරුණු සලකා තම සේවාදායකයාට ලිහිල් දඬුවමක් දෙන්නැයි ඉල්ලා සිටියේය.
තම සේවාදායකයාට අත්වූ මෙම ඉරණම තුළින් මැති ඇමැතිවරුන් කියන, කියන දේවල් කරලා අමාරුවේ වැටුණාම තමන්ට සහනයක් ලැබෙන්නේ නැති බවත් අන්තිමට සිය රාජකාරී සමයේ කළ සියලු හොඳ ඔවුන්ට නැති වෙන බවට රජයේ සේවකයන්ට පණිවිඩයක් ලැබෙන්නේ යැයි ද ජනාධිපති නීතිඥ අනිල් සිල්වා විනිසුරු මඬුල්ල හමුවේ පැවසීය.
දෙවැනි විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ කරුණු දක්වමින්, දේශපාලනඥයකු වශයෙන් රටට විශාල සේවයක් කර ඇති, පෙර වැරැදි නැති තම සේවාදායකයාට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
මේ වෙන විට 61 වැනි වියේ පසුවෙන තම සේවාදායකයාට එරෙහිව නඟා ඇති මෙම චෝදනාවලට පාදක වූ සිද්ධිය වී ඇත්තේ මීට වසර 06ක කාලයකට පෙර යැයි ද මේ වෙනවිටත් සියලු දේශපාලන කටයුතුවලින් ඈත්වී සිටින තම සේවාදායකයා යළි දේශපාලනයට පැමිණීමේ අරමුණක් නැතැයි ද කී ජනාධිපති නීතිඥ ශානක රණසිංහ, තම සේවාදායකයාට යළි සමාජගත විය හැකි අන්දමේ ලිහිල් දඬුවමක් දෙන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ නීතිඥ අනුත්තරා ජයසිංහ කරුණු දක්වමින්, තම ධුරයන් හි ඇති බලතල අයුතු ලෙස යොදවමින් විත්තිකරුවන් මෙම වැරැදි කර ඇතැයි පැවසුවාය.
අයවැයෙන් මහජන යහපත උදෙසා වෙන් කළ රුපියල් මිලියන 53කට අධික මුදලක් විත්තිකරුවන් දැන දැනම විනාශ කර ඇතැයි ද, එය ජනතාවට වූ මහ විශාල පාඩුවක් යැයි ද මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වෙන මහජන නියෝජිතයන් මෙන්ම රජයේ සේවකයන් සිටින්නේ රට සංවර්ධනය කිරීමට බව පෙන්වා දුන් අනුත්තරා ජයසිංහ, රට සංවර්ධනය කිරීමට බව පවසමින් ජනවරමින් පත්වූ මහජන නියෝජිතයන්ගේ සහ රජයේ උසස් නිලධාරින්ගේ මෙවැනි ක්‍රියා ශ්‍රී ලංකාව බංකොලොත්වීමට හේතුවී ඇතැයි සඳහන් කළාය.
මෙවැනි ආකාරයේ වැරැදි කිරීමට බලාපොරෙත්තුවෙන් මේ වෙන විටත් දේශපාලනයේ සහ රාජ්‍ය සේවයේ පුද්ගලයන් සිටිය හැකි හෙයින් ඔවුන්ට ද පාඩමක් වෙන ආකාරයේ දඬුවමක් මෙම විත්තිකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා සිටි අනුත්තරා ජයසිංහ, නීතිය සැමට සමාන බව පොදු මහජනතාවට හැඟී යන ආකාරයේ තීන්දුවක් දෙන්නැයි ද ඉල්ලා සිටියාය.
මනෝප්‍රිය ගුණසේකර