එදා කළුතර රැස්වීමේ කතා මම අනුමත කරන්නේ නෑ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

මහින්දානන්ද අලුත්ගමගේ 

‘එක්ව නැගිටිමු’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අලුත්ම තේමා පාඨය එයයි. හැකි වෙයිද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග මේ කතාබහ ඒ සම්බන්ධයෙනි.  

?පොහොට්ටුව එක්ව නැගිටින බව කියනවා පුළුවන් වෙයිද?  


පක්ෂයක් හැටියට 2019 දී අපි අපේ පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත් කර ගත්තා. අගමැතිවරයෙක් පත් කර ගත්තා. අවුරුදු දෙක හමාරක් රට පාලනය කළා. අපි බලාපොරොත්තු වුණේ නැති වෙලාවක ආර්ථික අර්බුදයයි මේ සියලු ප්‍රශ්නත් එක්ක අපට සිද්ධ වුණා අලුත් ජනාධිපතිවරයෙක් හා අලුත් ආණ්ඩුවක් පත්කර ගන්න. ආණ්ඩුව පවත්වාගෙන යන්න අපට පාර්ලිමේන්තු බහුතරය තියෙනවා. හැබැයි ආණ්ඩුවක් ගෙනියන්න ඒ බහුතරයට විතරක් බෑ. මහජන විශ්වාසය හා මහජන සහයෝගය අවශ්‍යයි.   
දැන් ඒක නෑ?  


මෙහෙමයි. ආණ්ඩුවත් එක්ක ජනතාව ඉන්නවා කියලා දැනෙන්න ඕනෑ. ජනතාව ඒකරාශී කරගෙන අපි දේශපාලන වශයෙන් සන්නද්ධ වෙන්න ඕනෑ. ශක්තිමත් වෙන්න ඕනෑ. ඒ නිසා තමයි මේ සිදුවීම්වලින් පස්සෙ පක්ෂයක් විදියට අපි ඉඳගෙන කතා කළා. විශේෂ සාකච්ඡාවක් කළා. මොකක්ද අපි පක්ෂයක් විදියට ඉදිරියට ගෙනියන්නේ කියලා. අපි පාර්ලිමේන්තුවේ ආසන 136 ක් තියෙන පක්ෂයක්. විශාල සාමාජික සංඛ්‍යාවක් ඉන්න පක්ෂයක්. මේ රටට දැවැන්ත වැඩ කොටසක් කරපු පක්ෂයක්. හැබැයි වැරැදි අඩුපාඩු තිබුණේ නෑ කියල කියන්න බෑ.  


?පොහොට්ටුව දැන් හරියට 87-89 මතක් කරනවා.  


නෑ නෑ මම කිව්වේ එහෙම රටම ගිනි තිබ්බත් ඒගොල්ලෝ ආපසු ප්‍රජාතන්ත්‍රවාදයට ආවා. වැරැදි නිවැරදි කර ගත්තා. එක්සත් ජාතික පක්ෂය ගත් තීන්දු තීරණ ආර්ථිකයට බලපෑවා. ඒවගේම අපිත් ගත්තු වැරැදි තීරණ නිසා මේ ප්‍රතිඵලය ආවා. හැබැයි අපි නැවතත් දේශපාලන වශයෙන් ශක්තිමත් වෙන්න ඕනෑ.  


?ඒ වෙනුවෙන් මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?  


අපි තීන්දු කළා. ලංකාවේ ඉන්න අපේ ශක්තිමත්ම දේශපාලන යාන්ත්‍රණය තමයි අපේ පළාත් පාලන නියෝජිතයෝ. ඒ පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කළා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පස් දෙනෙක් පත් කරලා ලංකාව වටේම ගිහින් පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කළා. ඒ ගොල්ලන්ගෙන් අපි ඇහුවා මොකද්ද කරන්න ඕනෑ කියලා. පසුගිය සැප්තැම්බර් මාසෙම අපි රට පුරා ගියා.  


?ඒ පස්දෙනා අතර ඔබත් හිටියා?  


ඔව්! මම ගත්තොත් මං හම්බන්තොට ගියා. අම්පාරට ගියා. මඩකළපුවට ගියා. ත්‍රිකුණාමලයට ගියා. ගම්පහ ගියා. කොළඹ ගියා. එහෙම ගිහින් අපි පළාත් පාලන මන්ත්‍රීවරුන් හමුවෙලා ඇහුවා අපට මොකද වුණේ? කොහොමද මේක හදාගන්නේ කියලා.  


?ඔවුන්ගේ ප්‍රතිචාරය වුණේ?  


දීර්ඝ විවේචන ආවා. සමහරු බැන්නා. අපට බැන්නා. දෙවැනුව අපි ගත්ත තීරණය තමයි අපි අපේ ක්‍රියාකාරීන් ගෙන්වලා අපේ ඉදිරි වැඩපිළිවෙළ ගැන දැනුවත් කරන්න ඕනෑ කියලා. ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කවල ක්‍රියාකාරින් ගෙන්වලා පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කළුතර රැලිය එහි ආරම්භයයි.  


?2015 පරාජයට හේතු සාධක 2019 න් පස්සෙත් බුරුතු පිටින් අපි දැක්කා. පාඩම් ඉගෙන ගත්ත බවක් අපි දැක්​කෙ නෑ.  


එහෙමනම් අනෙකුත් දේශපාලන පක්ෂ ගත්තත් එහෙම තමයි.  


අපේ පැත්තෙන් වෙච්ච වැරැද්ද තමයි ආර්ථිකය කළමනාකරණය කරගන්න බැරි වෙච්ච එකනේ. අපි බදු සහනයක් දුන්නා බිලියන 525 ක. ඒක ජනාධිපතිතුමා දුන්නෙ හොඳ චේතනාවෙන්. එතුමා හිතුවේ බදු සහනය දීම තුළ ජනතාව අතර මුදල් සංසරණය වෙයි. ජනතාව මුදල් වියදම් කරයි. නමුත් ඒක නෙවෙයි වුණේ. අපේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ගත්තොත් එතුමා ගත්තේ හොඳ චේතනාවෙන්. රසායනික පොහොර අධි භාවිතය නිසා මිනිස්සු ලෙඩ වෙනවා. ප්‍රතිපත්තිය හරි. නමුත් ඒක එකවර ක්‍රියාත්මක කරන්න යෑම තමයි අපි කරපු වැරැද්ද. හැබැයි එක කන්නයක් ෆේල් වෙච්ච ගමන් අපි ඒක නැවැත්තුවා. එතුමා පුනර්ජනනීය බලශක්තිය ප්‍රතිපත්තියක් විදියට ගත්තා. ඒක විය යුතු දෙයක්. ඒ අතරතුරේ ගත්තු වැරැදි තීරණ තියෙනවා.  


?2015 දී ජනතාව පරාජයට පත් කළේ පවුල් පාලනය. නමුත් තිබුණාට වඩා වැඩි ප්‍රමාණයකින් 2019 දී යළිත් කරළියට ආවා?  


මේ රටේ මිනිස්සු එ්කත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වුණා. පවුලට ප්‍රමුඛස්ථානයක් එතුමා නොදෙයි කියලා ජනතාව හිතුවා. නමුත් ඒක වුණේ නෑ. මම පෞද්ගලිකව දන්න දෙයක් තමයි ගෝඨාභය ජනාධිපතිතුමා ඒකට කැමැත්තක් දැක්වූවේ නෑ. නමුත් රාජපක්ෂලා විශාල පිරිසකට කැබිනට් ඇමතිකම් දෙන්න වුණා. ඒවා තමයි අපි අතින් වෙච්ච වැරැදි.  


?ඒ වැරැදි යළි නොවෙයිද?  


ඒ සම්බන්ධයෙන් විශාල කතිකාවක් පක්ෂය තුළ මේ දවස්වල කෙරෙනවා. ඒ නිසා අපි පක්ෂයට කිව්වෙත් මේ පක්ෂය හදනවානම් පළමු දේ තමයි පක්ෂය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයිනේ. පක්ෂයට මධ්‍යම කාරක සභාවක් ඕනෑ. විධායක සභාවක් එන්න ඕනෑ. පක්ෂය එකඟයි ඒකට. පක්ෂයට නිලධාරි මණ්ඩලයක් හදන්න පක්ෂය එකඟයි. මෙතෙක් වුණේ නෑනේ මේවා මේ පක්ෂය ඇතුළේ.  


?බැසිල් රාජපක්ෂ කැමති වෙයිද ඕකට?  


එතුමත් එකඟයි. ඒ සාකච්ඡාවලට එතුමත් ආවා. එහෙම නැතුව බෑ. මෙහෙම දෙයක් නොකළොත් මේ පක්ෂයෙ ඉතිරි ටිකත් කැඩිලා යයි. මෙච්චර දෙයක් වෙලත් පක්ෂය තේරුම් ගන්නේ නැත්නම් තව තවත් පක්ෂය කැඩිලා යයි. මට තේරෙන හැටියට නම් මම නම් මේ මතය වෙනුවෙන් පක්ෂය තුළ ලොකු සටනක් කරනවා. නාවලපිටිය මගේ රැස්වීම මම කරන්නේ අපේ ක්‍රියාකාරීන් ගෙන්වල කතා හතරක් අහන්න සලස්වනවා. බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, කංචන විජේසේකර තමයි කතා කරන්නේ. එක්කෙනෙක් කතා කරනවා රටේ ආර්ථිකය ගැන. ඊළඟ එක්කෙනා රටේ මන්ද පෝෂණය ආහාර හිඟයක් ඇතිවෙයිද කියලා කතා කරනවා. කංචන ඉන්ධන අර්බුදය ගැන කතා කරනවා. අපි අලුත් විදියකට යන්න ඕනෑ. අපි තේරුම් ගන්න ඕනෑ අපි අලුත් විදියකට යා යුතුයි කියලා. පරණ විදියට ගියොත් අපට ජීවිතේට ආණ්ඩු හදන්න වෙන්නේ නෑ. ඒ නිසා පක්ෂයේ තරුණ අයට තනතුරු දෙන්න ඕනැ. අලුත් මුහුණවරක් ගන්න ඕනෑ. මේ සිද්ධිවලින් පස්සෙ මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු කණ්ඩායම බැසිල් රාජපක්ෂ ඇතුළු හැමෝම අපි හමු වුණා. එතැනදි අපි කතා කරපු දේ තමයි මම ඔය කිව්වෙ. බැසිල් රාජපක්ෂ මැතිතුමත් ඒක පිළිගත්තා. රමේෂ් පතිරණ, කංචන විජේසේකර වගේ තරුණ අයට අපි පක්ෂයේ තැන දෙන්න ඕනෑ. නාමල් රාජපක්ෂ මැතිතුමා හොඳයි. තරුණයි. ඒ වගේම අනිත් අයටත් අපි තැන දෙන්න ඕනෑ. පක්ෂයට නව මුහුණුවරක් දීලා අලුත් වැඩපිළිවෙළකින් අපි ඉදිරියට යන්න ඕනෑ. මම ගත්තොත් මටත් බනිනවා මිනිස්සු. ඒ කාබනික ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී හිටපු නිසා. මම කියන්නේ පොඩි කාලයක් අපිත් පැත්තකට වෙලා ඉන්න ඕනැ. අපි වැඩිය මාධ්‍යයට එන්නෙ නැත්තෙත් ඒ නිසයි.   


අලුත් ගමනක් නොගියොත් පක්ෂය ඉවරයි. හැබැයි පක්ෂය මේක තේරුම් අරගෙන තියෙනවා.  


?දැන් පක්ෂයේ සභාපති කවුද? මහාචාර්ය ජී.එල්. පීරිස් ද?  


දැනට තාම පක්ෂයේ සභාපති ජී.එල්. පීරිස්. ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගනිමින් තියෙනවා. දැනට නමට සභාපති එයා. පක්ෂය ඒකට පියවර ගන්නවා. මම ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර දන්නේ නෑ.  


?අලුත් අයට ඉඩ දෙන්න ඕනෑ කියලා ඔබ කිව්වත් ඉදිරියට ඇවිත් ඉන්න සමහර අලුත් අය පමණට වඩා ඉදිමිලා.  


වෙන්න පුළුවන්. එදා කළුතර රැස්වීමේ කරපු කතානම් මම අනුමත කරන්නේ නෑ. මට තේරෙන්නේ නෑ මොකට ඒ කතා දුන්නද කියලා. මම එතන නෑ. මම එකඟ නෑ. ඒ නිසා මගේ නාවලපිටිය රැස්වීම මම කරන්නේ වෙන විදියකට. අපි පරණ විදියටම යනවා නම් ඒක නොවෙයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. අපි හොඳට තේරුම් ගන්න ඕනෑ. මන්ත්‍රීධුර 150කට වැඩියෙන් හිටපු විධායක ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් හිටපු අපිව උස්සලා පොළොවේ ගැහුවානම් ඒක තේරුම් අරගෙන අලුත් ගමනක් යන්න අපට බැරිනම් අලුත් මාදිළියක් අපට නැත්නම් අපට ඉදිරියට යන්න බැරිවෙයි. ඒ නිසා පක්ෂය ඇතුළේ අපි දැඩි මතයක් දරනවා. ඒ වගේම අපට ලොකු කණ්ඩායමක් ඉන්නවා. පක්ෂය ඇතුළේ‍ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනෑ. පක්ෂයට අලුත් මුහුණු ඕනෑ කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමත් නාමල් රාජපක්ෂත් එතැන දැඩි ලෙස ඉන්නවා. නාමල් මන්ත්‍රීතුමා දැනටමත් කියලා තියෙනවා ඇමතිකමක් බාර ගන්නේ නෑ කියලා. ඒක හොඳයි. අපි එහෙම වෙනස් වෙන්න ඕනෑ.  


?කළුතර රැස්වීමේ ඔබව දැක්කේ නෑ. ඔබට කැපිල්ලක්ද?  


මට කළුතර රැස්වීමට කථිකයකු හැටියටත් ආරාධනා කරලා තිබුණා. නමුත් මගෙ රැස්වීම ලබන සෙනසුරාදා හින්දා මම මගේ ආසනයේ රැස්වීමට කලින් රැස්වීම් මාලාවක් කළා. කළුතර කළේ දිස්ත්‍රික් සම්මේලනයක්. මම කරන්නේ ආසන සම්මේලනයක්. මම දෙදාහක් ගේන්නේ මගේ ආසනයෙන් විතරයි. මගේ ආසනයේ මිනිස්සු ටික ගෙන්වන්න මම ගමට ගියා. මගේ ජනතාව එහෙම්මම ඉන්නවා. මම ඔයාට ෆොටෝස් පෙන්වන්නම්. 


?22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනාවම පොහොට්ටුවේ ඇමතිවරුන් ඒකට පක්ෂව ඡන්දය දෙන්නත් මන්ත්‍රීවරුන් විරුද්ධව ඡන්දය දෙන්නත් තීරණය කරලා?  


නෑ නෑ. අපි ඔක්කොම ඡන්දෙ දෙනවා. 22 ට අපට විරුද්ධ වෙන්න බෑ.  


?නමුත් පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් කිව්වේ මම කියපු කාරණයයි!  


එක එක්කෙනාට විවිධ මත තියෙන්න පුළුවන්. 22 පාර්ලිමේන්තුව විසුරවීමේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. 19 වැනි සංශෝධනයේ තිබ්බා අවුරුදු හතර හමාරක්. අවුරුදු දෙක හමාරකින් විසුරවන්න ගියොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කාටවත් වැඩක් කරන්න වෙන්නේ නෑ. අනික අපි ඡන්දෙන් පත්වෙලා අපේ බලය ඇයි අපි ජනාධිපතිට දෙන්නේ. අපේ බලය අපි තියාගන්න ඕනෑ. අපේ යෝජනාව තියෙන්නේ හතර හමාරක් විය යුතුයි කියලා. ඊට කලින් පාර්ලිමේන්තුව විසුරවන්න ඕනනම් තුනෙන් දෙකක අත්සනින් විසුරුවන්න පුළුවන්. අපිට තියෙන්නේ ඒ ප්‍රශ්නය විතරයි.  


?ද්විත්ව පුරවැසියන්ට ඡන්දෙ ඉල්ලන්න බෑ කියන වගන්තිය නිසා පොහොට්ටුවේ සමහරු විරුද්ධ වෙයි?  


කවුරුවත් එහෙම ඉල්ලීමක් කරලා නෑ. ද්විත්ව පුරවැසියකුට දේශපාලනය කරන්න ඕනෑ නම් ඒකෙන් අයින් වෙලා එන්න පුළුවන්නේ ගෝඨාභය රාජපක්ෂ කළේ.  


?බැසිල් රාජපක්ෂ කැමති වෙයිද 22 වැනි සංශෝධනය සම්මත වෙනවට?  


බැසිල් රාජපක්ෂ මහත්මයා 22 ට විරුද්ධයි කියල කියල නෑ. තනි පුද්ගලයකුගේ එක කාරණාවකට පක්ෂයක් කටයුතු කරන්නේ නෑ. මම දන්න විදියට බැසිල් රාජපක්ෂ මැතිතුමා දේශපාලනයට එනවානම් ද්විත්ව පුරවැසිභාවය අයින් කරගෙන එන්න එතුමා කැමතියි. ඒකේ ප්‍රශ්නයක් නෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ද්විත්ව පුරවැසිභාවය අයින් කරගෙන

එන්න පුළුවන් නම් බැසිල් රාජපක්ෂ මැතිතුමාට බැරි ඇයි. ඒ නිසා අපි බොරුවට 22 යි බැසිල් රාජපක්ෂයි හප්පන්න ඕනෑ නෑ.  


?ගල් අඟුරු ටෙන්ඩරයෙදි බරපතළ අක්‍රමිකතාවක් වෙලා තියෙනවා කියලා විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙනවා. මෙච්චර වෙලත් පාඩම් ඉගෙනගෙන නැද්ද?  


මම ඔය ටෙන්ඩර් ගැන හරියට දන්නෙ නැති නිසා මට හරියට කියන්න බෑ. හැබැයි අද පත්තරවල තියෙන ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක්. ඛනිජ තෙල් ඇමතිතුමාගෙන් ඇහුවම කිව්වා මේකට විරුද්ධව නඩු දානවා කියලා. ටෙන්ඩර් එක දීලත් නෑ. විගණකාධිපතිතුමා කියන්නේ ‘‘මේක දුන්නා නම් මෙහෙම පාඩුවක් වෙයි’’ කියලයි. ඒ නිසා දීපු නැති ටෙන්ඩරයකට දුන්නා කියලා කොහොමද කියන්නේ. ගල් අඟුරු ටෙන්ඩරය දීලා නෑ. ඒක නැවැත්තුවා. අලුත් එකක් දැන් යන්නේ. ඇයි දෙයිහාමුදුරුවනේ මේ රටේ මිනිස්සු ඇයි මේ 225ට බනින්නෙ. මේ 225ට බණින්නේ ඇත්ත දැනගෙනද? 


මේ ටෙන්ඩර් මණ්ඩලවල ඔක්කොම ඉන්නේ රාජ්‍ය නිලධාරීන්. ඒගොල්ලොනේ ​මේවා තීන්දු කරන්නේ. අපිද? අපිට පුළුවන්ද කැබිනට් ටෙන්ඩර් මණ්ඩලයට බලපෑම් කරන්න. එතැන ඉන්නේ අමාත්‍යාංශ ලේකම්වරු. අපට කරන්න බෑ. මමත් කැබිනට් එකේ හිටියා. ඇමැතිවරුන්ව ශත පහකට ගණන් ගන්නේ නෑ ටෙන්ඩර්වලදි. අපි ගිහිල්ලා අහන්නෙත් නෑ. ඒගොල්ලෝ කරන්නේ ඒ ගොල්ලන්ට ඕනෑ දේ. වරදක් වෙලා තිනෙවා නම් ඒ නිලධාරීන් තමයි වග කියන්න ඕනෑ. අපිව මරන් කන්න හදන්නේ ඇයි? මේ 225 ටම බණිනවා. අපේ පුරවැසි​යෝ හරියට වැඩ කරනවද? රාජ්‍ය සේවකයෝ හරියට වැඩ කරනවද? මේ රටේ ව්‍යාපාරිකයෝ හරියට බදු ගෙවනවද කියලා අහන්න. අැයි මේ 225ට ගහන්නේ. 
වැරැදි කරන කට්ටියත් ඇති. හොරකම් කරන කට්ටියත් ඇති. ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. මේ කොතැනටද රට ගෙනියන්න හදන්නේ. මේ කරන්නේ රට අස්ථාවර කරන එක. මේ කරන විනාශයෙන් මොකද්ද රටට වෙන්නේ. ඊළඟ මැතිවරණයකදි ඔයාට මම අද කියන්නම්.... මේ අරගලය නිසා මොකද්ද වුණේ. මේ අරගලය කියන බස් එකට ජේවීපී එකයි සජබෙයි නැගලා විනාශ කළානේ. අන්තිමට අරගලයෙන් අපට මොනවද ගෙනත් දුන්නේ. 120ට තිබුණ තෙල් ලීටරය 140ට වැඩි කරලා දුන්නා. රුපියල් දාහේ ලයිට් බිල රුපියල් දහදාහ කරලා දුන්නා. දාහේ ගෑස් එක පන්දාහ කරලා දුන්නා. භාණ්ඩ මිල උස්සලා දුන්නා අරගලය විසින්. හැබැයි මීට කලින් මේවා හරි විදියට තිබුණනේ. අරගල කරලා මේවා ඔක්කොම ඉස්සුවානේ. අරගල කරලා අන්තිමට වෙන දේ තමයි අවුරුදු ගණනකට අස්ථාවර ආණ්ඩු මේ රටේ හදෙන්නේ. අවුරුදු දෙකෙන් දෙකට ඡන්දය තියන්න වෙයි. බලන්න ලබන පාර පාර්ලිමේන්තුවට පක්ෂ 20ක් විතර එනවා. ආණ්ඩුවක් හදන්න ඉන්දියාවේ වගේ පක්ෂ ගණනාවක සහාය ගන්න වෙනවා. ඒ අයට ඇමතිකම් දෙන්න ගියාම ආණ්ඩු හදන්න බැරිවෙයි. ඒ නිසා අස්ථාවර කරපු බල පෙරළියක් තමයි අරගලයෙන් වුණේ.  


?ජනාධිපති රනිල් කියනවා පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා. මේ කරන්න යන්නේ මැතිවරණ සිතියම හැකිලීමටයි?  


එහෙම කරන්න බෑනේ. ඇයි පළාත් පාලන මැතිවරණය නොතියා ඉන්නේ. ඒකට සංශෝධන ගෙනත් මාස තුනෙන් ඡන්දෙ තියන්න පුළුවන්. ඒක නරකද? හැමෝම බණිනවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වැඩියි කියලා. මමත් කියන්නේ වැඩියි කියලා. ඉතින් ඒක හාරදාහට අඩු කරන එක නරකද? ඇයි මේ ජනාධිපතිතුමා කියන එකේ හොඳ පැත්ත කතා කරන්නෙ නෑත්තේ. ඇයි නැති බූතයෙන් මවන්නේ. කියන්න ඕනෑ එ්ක නොවෙයි. යෝජනාව හොඳයි. ඒ යෝජනා සම්මත කරලා මාර්තු මාසයේ ඡන්දය තියන්න කියලයි. ඒකනේ අපට වෙන්න ඕනෑ.  

?පළාත් සභාවලට අත්වුණෙත් ඔය ඉරණමයි?  


මම කියන්නේ ඔය සංශෝධනවලට කාල වකවානුවක් දාන්න. දැන් මේකේ තියෙන්නේ කොට්ඨාස ක්‍රමයට පරණ විදියට ගියොත් අලුත් ක්‍රමයක් හදාගන්න නේ. අපට ඒකට මාස හයක් තියෙනවනේ. අපි තල්ලු කරන්න ඕනෑ යෝජනාව හොඳයි. ඒක සම්මත කරගන්න. මාර්තු මාසයේ ඡන්දය තියන්න. ඒකයි විපක්ෂයේ ඉල්ලීම වෙන්න ඕනෑ. විපක්ෂය බලන්නේ දේශපාලන වාසියක්. අපි බලනවා ආණ්ඩුව රැකගන්න. අනුර කුමාර බලනවා මන්ත්‍රීකම් වැඩිකර ගන්න. සජිත් බලනවා ජනාධිපති වෙන්න. රට ගැන හිතන්නේ කවුද?  


?කළුතර රැලියේදි කියවුණා ‘ජනාධිපති රනිල් වැඩ කරන්න ඕනෑ මහින්ද රාජපක්ෂට ඕනෑ විදියට කියලා’  


ඒ මතයත් එක්ක මම එකඟ නෑ. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති කළේ මේ අර්බුදයෙන් මිදෙන්නනේ. ඒ එකඟතාවයට ආවේ මේ අවුරුදු දෙක එතුමාට වැඩ කරන්න අවශ්‍ය සහයෝගය දෙනවා කියලා. අනික රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපි කියන දේ අහන්නෙත් නෑ. නමුත් අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. එතුමා පරිණත දේශපාලනඥයෙක්. හිටපු අග්‍රාමාත්‍යවරයෙක්. එතුමා මෝඩයෙක් නොවෙයිනේ. එහෙම එතුමව පාලනය කරන්න. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කරලා අපි එතුමව කොන්ට්‍රෝල් කරන්න හදනවා නම් ඒක තමයි ආණ්ඩුවේ විනාශය.

 

 

සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්