එදා අයවැය විවාද රස ගැන්වූ කවි කතා


 
තවත් අයවැයක් පැමිණ තිබේ. සමහරු එය අර්ථ ගන්වන්නේ ‘ණය වැයක්‘ ලෙසය. රොනී ද මෙල්ගේ 1977 පළමු අයවැය ඉදිරිපත් කළ පසු, පසුදින ‘ඇත්ත‘ පත්‍රයේ මුල් සිරස්තලය (හෙඩිම) ලෙස පළකොට තිබූ වැකිය තේරුම කණපිට හරවා ගත්විට කණේ පහරක් බඳුවිය. 
 
අයවැය විවාදවලදී මෙවර කවි කතා දකින්නට නැති තරම්ය. ඒත් පාර්ලිමේන්තුවේ කවි කතා ආරම්භය අයවැය විවාද තරම්ම වැදගත්ය. සිංහලයෙන් කවි කතා පාර්ලිමේන්තුවේ තහනම් යුගයේ ඉංග්‍රීසියෙන් කවි කතා කීමේ ප්‍රමුඛයා වූයේ ගාල්ලේ විජයානන්ද දහනායකය. 
 
ඔය කියූ රොනී ද මෙල්ගේ අයවැය ගැන විජයානන්ද දහනායක ඉංග්‍රීසි කවියෙන් විග්‍රහ කොට ඇත්තේ මෙසේය. 
 
විසි වැනි සියවසට පෙර ජනප්‍රිය වූ ජේන් ටේලර්ගේ කවි පෙළ ඇසුරෙන් දහනායක බොහෝ නව කවි තැනූ අතර, රොනී ද මෙල්ගේ අයවැය වෙනුවෙන් ඔහු ඒ කවි පෙළ මෙසේ සකස් කොට ඇත. 
 
Twinkle Twinkle Ronnie de Mel
Your Budgetary Feats none excel
The teachers and the clerks
Get from you full marks
Because you twinkle twinkle more
දිදුලව දිදුලව රොනී ද මෙල් 
අයවැය විකුමින් නොමැති සුපුල් 
ලිපිකරු ඔබ හට දෙත් කිත්මල් 
දැන් ඔහු දතු යා යුතු යි මඟ සියල් 
 
මෙම කවිය පාර්ලිමේන්තුවේ හිටපු කතා පරිවර්තක ලොක්කෙකු වූ සුමනවීර රාජපක්ෂ මෙන්ම පසු කලෙක නාලක ජයසේනද උපුටා පළ කොට ඇත. 
 
ජේ. ආර්. ගේ අයවැයට පනහ දශකයේ දහනායක ලොව ප්‍රකට කවියකු වූ ලු‍විස් කැරොල්ගේ I Thought I Saw a Banker's Clerk  නම් කවිය වෙනස් කොට ‘දහ‘ මෙසේ ගායනා කොට ඇත. 
 
I thought I saw a Kangaroo
In sherwani on the beach
I looked again and found it was
JR's Budget Speech
I'll sell you bags of
Rice he said
At a Price Beyond Your reach
කැන්ගරුවෙකුට දුටුවයි සිතුවෙමි 
සර්වාලය ඇඳ ඉන්නා වෙරළෙහි 
යළිත් බැලූ සඳ ඒ ජේ. ආර්. ය 
අයවැය දෙසනා කීවේය හේ 
ගන්නට බැරි මිලකට 
ඔබට දෙන්නම් හාලු‍ත් 
 
ඒත් මේ කියන හාල් එවක සිළුමිණ කර්තෘ සිරිමාවෝ මැතිනියව හඳුන්වා දුන් හඳේ හාල් නම් නොවේ. 
 
අයවැය විවාද පිරික්සද්දී පෙනී යන්නේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ සදා නොමැකෙන සටහනක් තැබූ කවිය සෝමවීර චන්ද්‍රසිරි මන්ත්‍රීවරයාගේ විය යුතුය. එහෙත් එය ෆ්‍රැන්සිස් මොලමුරේ කථානායකතුමා ගායනා කරන්නට දී නැත. ලැබෙන දෙසැම්බර් 19 වැනිදාට එම කවියට වසර 65ක් පිරීම සිදු වේ. මෙම කවිය ගායනා කරන ස්වරූපයෙන් තොරව කියා ඇත්තේ 1947 දෙසැම්බර් 19 වැනි දිනය. පාර්ලිමේන්තුවේ කවිය ඇරඹෙන්නේ මෙතැනිනි. 
 
භාෂණයේ හැටියට නැත සාදනය 
මෙහෙමද කරන්නේ අප රට පාලනය 
දුප්පත් මිනිහාට ගෙන දෙන පීඩනය 
ඉලක්කම් ගොඩකි අයවැය ලේඛනය 
 
මේ අතර පාර්ලිමේන්තුවේ කවි ගායනා කිරීමට අවසර ගැනීම එක්තරා ඉතිහාසගත වන කතාවකි. එකල සිංහලෙන් පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වීමට අවසර ගත යුතු විය. කතා සිංහලෙන් හෝ දෙමළෙන් සටහන් කර ගැනීමට ලඝු ලේඛකයන්, යතුරු ලියන්නන් හා පරිවර්තකයන් නොසිටීම මීට හේතුවයි. 1947 පාර්ලිමේන්තුවට පත් වූ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මන්ත්‍රීවරයා සිය මංගල කථාවේදීම සිංහලෙන් කතා කිරීමේ අයිතිය ඉල්ලු‍වේ මෙසේ බව හැන්සාඩ්ගතව ඇත. 
 
“ගරු කතානායකතුමනි, සිංහල භාෂාවෙන් කතා කිරීමට මම ඔබතුමාගේ අවසරය ඉල්ලා සිටිනවා. මගේ ඡන්දදායකයන්ගෙන් වැඩි දෙනෙකු දන්නා භාෂාව එයයි.”‍ 
 
ඔහුගේ එම ඉල්ලීමට ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ (බළන්ගොඩ පළමු වන) කතානායකතුමා මෙසේ පිළිතුරු දී ඇත (හැන්සාඩ් උපුටා ගැනීම): 
 
”‍ගරු මන්ත්‍රීතුමා මගේ කාමරයේදී හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳ මගේ අදහස එතුමාට දන්වලයි තියෙන්නේ. මට කනගාටුයි, ගරු මන්ත්‍රීතුමාට සිංහලෙන් කතා කරන්න අවසර දෙන්න බැහැ. මා දන්නවා එතුමාට සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙනුත් කතා කරන්න පුළුවන්. එයට ඉඩ දුන්නොත් එක් මන්ත්‍රීවරයෙකුගේ පහසුව තකා මන්ත්‍රීවරුන් ගණනාවකට අසාධාරණයක් සිදු කරන්න වෙනවා. ඊටත් වැඩියෙන් යම් රාජකාරියක් කරන්න මා බැඳී සිටිනවා. මෙහි කෙරෙන සෑම කතාවක්ම නිසියාකාරව ග්‍රන්ථාරූඪ කිරීම මගේ වගකීමයි. සිංහලෙන් ලඝු ලේඛකයන්, වාර්තාකරුවන් නොමැති නිසා සිංහල කතා වාර්තා කරගන්න ක්‍රමයක් නැහැ. එවැනි අය ලැබුණු වහාම සිංහල කතා පවත්වන්න මා ඉඩ දෙන බව ගරු මන්ත්‍රීතුමාට මගේ කාමරයේදී මා දැන්වූවා.”‍ 
 
කථානායකතුමා එදා දුන් පොරොන්දුව අනුව යම් යම් සීමාවලට යටත්ව පාර්ලිමේන්තුවේදී සිංහලෙන් කතා කිරීමේ නිදහස එතුමා 1948 ජූලි 2 වන දින ප්‍රකාශයට පත් කරන ලදී. 
 
පාර්ලිමේන්තුවේ සිංහලෙන් කතා කිරීමේ නිදහස ලැබීමෙන් පසුව පාර්ලිමේන්තුවේදී හා හා පුරා කියා සිංහල කථාවක් කිරීමේ ගෞරවය හිමිවනුයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාටය (අත්තනගල්ල). සෞඛ්‍ය හා පළාත් පාලන ඇමැති මෙන්ම පාර්ලිමේන්තු සභා නායකවරයාද වූ බණ්ඩාරනායක 1949 අයවැය විවාදයට සහභාගී වෙමින් 1948 ජූලි 28 වන දින සිය කතාව සිංහලෙන් කිරීම ඓතිහාසික සිද්ධියක් ලෙස ඉතිහාසගතව ඇත. 
 
එමෙන්ම සිංහලෙන් කතා පැවැත්වීමට හා කවි කීමටත්, පාර්ලිමේන්තුවේ කවි ගායනා කිරීමේ ඉතිහාසය දෙකක් නොව එකම ඉතිහාසයක් බැවින් පාර්ලිමේන්තුවේ ක්‍රමවත් ලෙස භාෂා පරිවර්තනයක් ඇරඹීමේ ඉතිහාසය ගැන සටහනක් තැබීම සිදු විය යුත්තකි. 
 
1955 දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ලේකම් ලෙස පත් වූයේ රැල්ෆ් දැරණියගලය. ඒ වන විට ලෝකයේම පාර්ලිමේන්තුවල කතා පරිවර්තන සේවා තිබී ඇත්තේ රටවල් තුනකය. ස්විට්සර්ලන්තය, ඊශ්‍රායලය සහ කැනඩාව මේ රටවල් 3 විය. ලංකා ආණ්ඩුව මෙම කටයුත්ත සඳහා තෝරා ගන්නේ ලෝක ප්‍රකට භාෂා විශාරදයෙකි. ඔහු ඒ. ටී. පිලීය. ඔහු විසින් පුද්ගලයන් සිය ගණනක් පුහුණු කිරීමට පිරික්සුවත් අවසානයේ තෝරා ගත්තේ දෙදෙනකු පමණි. සිංහලෙන් ඉංග්‍රීසියට පරිවර්තනයට එස්. පියසේන තෝරාගත් අතර දෙමළෙන් ඉංග්‍රීසියට පරිවර්තනයට තෝරා ගත්තේ එස්. කුංචිතපාදම් මහතාය. එස්. පියසේන පත්‍ර කලාවේදියෙකු වූ අතර කුංචිතපාදම් පළපුරුදු ගුවන් විදුලි ශිල්පියෙක් ලෙස එකල කටයුතු කළේය. 
 
කලින් දැනුම් දීමකින් තොරව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සිංහල හා දෙමළෙන් කතා කිරීම අරඹා ඇත්තේ 1956 වැනි දිනය. එය ලෝක ඉතිහාසය තුළ සටහන්ව ඇත්තේ මුළු ආසියාවටම හිටිවන පරිවර්තක ක්‍රමය හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාවක් ලෙසය. එච්. එස්. ඉස්මයිල් එවකට කථානායකවරයා වූ අතර එය ඓතිහාසික සිදුවීමක් විය. 
 
අයවැය විවාදවලදී කවි පැවැත්වීමේ ප්‍රමුඛයා ලෙස සෝමවීර චන්ද්‍රසිරි කවියා සැලකුවද ටී. බී. තෙන්නකෝන්ද කවි කතා පැවැත්වීමේ ප්‍රමුඛයෙක් විය. තෙන්නකෝන් කවියා හිටපු අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා 1941 දී මහ කවි තරගයකට ඉදිරිපත් කළ කවියක් හැන්සාඞ්ගතව ඇත්තේ මෙසේය. 
 
සැබැවින් මහත් බිම් නැති මුත් පිළිකන්නේ
ගෙවල් මිදුල්වල සෑදූ සොඳ තේ තැන්නේ
සතුටින් කුරක්කන් සිටුවුවහොත් වන්නේ
සැපතින් දිවි රැකුම පමණයි දැන ගන්නේ
 
පීදි කුරක්කන් දිසි වන මිදුල්වල 
වීදි අතර සිරි වැඩි වේ ගෙවල්වල 
සේදී දෙපස නරඹන දන නළල් තල 
මේ දීපයෙහි මතු යහපත් පුළුල් කළ 
 
බණ්ඩාරනායක ඝාතනයෙන් පසු 1964 නොවැම්බර් 2 වැනි දින සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ හයවැනි රාජාසන කතාවට ස්තුති කතාව බාර වූයේ කෝට්ටේ මන්ත්‍රී ස්ටැන්ලි තිලකරත්නය. ඔහු යෝජනාව ස්ථිර කරමින් කවියක් ගායනා කරන්නට පටන් ගත්තේය. හියු ප්‍රනාන්දු කතානායකතුමා ස්ටැන්ලිට මෙම කවිය ගායනා කරන්නට අවසර දුන්නේ නැත. දෛවෝපගත සිදුවීම වන්නේ ස්ටැන්ලි තිලකරත්න කථානායකවරයා ලෙස පත් වූ විට එම කවියම කීමට මුදියන්සේ තෙන්නකෝන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටීමය. කථානායකවරයාගේ පිළිතුර මෙසේ හැන්සාඩ්ගතව ඇත. 
 
කතානායකතුමා: ”‍මේ සභාවේ කලින් සිටි ගරු කතානායකතුමෙක් නියෝග කර තිබෙනවා සිංහල කවියක් ඉංග්‍රීසි කවියක් කියන විදිහට (ඒකට කියන්නේ පොයම් කියලා) කිව යුතුයි කියා. එයින් සිංහල කවියේ නියම රසය, සිංහල කවියේ නියම සිංහලකම හරියාකාරව ප්‍රකාශ කරන්නට බැහැ. එය ඉංග්‍රීසි කවියක් හා සමානව කිව්වාම ගරු මන්ත්‍රීතුමා තමන්ගේ කවිය වැඩිය සද්ද කර කියන්නේ නැත්නම්, සභාවට ඇහෙන ප්‍රමාණයට පමණක් කියනවා නම්, කලින් කර තිබෙන නියෝගය මා අද වෙනස් කරමින් සිංහල කවිය සිංහල කවියක් ලෙස තාලයට කියන්නට ඉඩ දෙනවා”‍ යැයි ස්ටැන්ලි ඓතිහාසික ප්‍රකාශයක් කරන ලදී. 
 
චිත්‍රපටවල නුසුදුසු ලිංගික ජවනිකා කපාහැරීම නිසා ‘කපන මණ්ඩලය‘ බිහි විය. වරක් එහි සභාපති ධුරයට පත් වූයේ කලක් ලංකාදීප කතුවරයකු වූ ඩී. එච්. අබේසිංහය. 1991.12.06 දින සංස්කෘතික අමාත්‍යතුමාගේ අයවැය ශීර්ෂ විවාදයේදී නන්දිමිත්‍ර ඒකනායක මන්ත්‍රීවරයා චිත්‍රපට කපන මණ්ඩලයේ වයෝවෘද්ධ නිලධාරීන් නිරුවත් චිත්‍රපට මුදා හැරීම අවඥාවට ලක් කළේ උපහාසයෙන් යුතුවය. 
 
තිසර තන දුටු තැන
නැගිටින කතුරු වනවන
වයෝවෘද්ධ පඬි තැන
වෙතින් සිතූ පට මුදා ලනු මැන
බටහිරින් ගෙන එන
සිතුවම් පටෙහි ලොව තන
කට ඇරන් නරඹන
අයෙක් අපහට දෙසයි වැදි බණ
තුනුරුවන් වැඳගෙන 
සිල් පද පහ බිඳලන 
නීති වෙදි බණ දෙසන 
කපන මණ්ඩල විසුරුවනු මැන 
 
අද මෙන් නොව එදා කවිය ජන හද දිනාගත් සංවේදී අංගයකි. අද පාර්ලිමේන්තුවෙන් එය අතුගෑවී හැඳි ගෑවී ගොස් ඇති බව සංවේගයෙන් යුක්තව සටහන් කළ යුත්තකි. අද පාර්ලිමේන්තුවේ කවිවලට වඩා මන්ත්‍රීවරුන්ගේ කතා බොහෝ සෙයින් සමාන වන්නේ බයිලාවලටය. කවි කීමට භාෂා ඥානයක් මෙන්ම ස්ථානෝචිත ප්‍රඥාවක් තිබිය යුතු වුවද රුපියල් සත පසුපස හඹා යන මෙවැනි යුගයක කවිය පාර්ලිමේන්තු මන්ත්‍රී කුණු බක්කියට විසිවීම අරුමයක් නොවන්නේ ඒ නිසාය. 
 
පාර්ලිමේන්තුවේ පසු කලෙක කතා පරිවර්තන ලොක්කා වූ සුමනවීර රාජපක්ෂගේ මැති සබේ කවි පොත ප්‍රකාශයට පත් කළේ ප්‍රේම් දිසානායක මහතා විසිනි. එම පොතට පෙරවදනක් ලියන ලද්දේ ඩබ්ලිව්. ඒ. අබේසිංහ වියතාණන් විසිනි. ඔහු මේ ප්‍රවණතාව විග්‍රහකොට අයවැය විවාදවලදී කවියට අත් වූ ඉරණම විග්‍රහ කොට ඇත්තේ මෙසේය. 
 
”‍ඒ සමයෙහි මැති සභයට පැමිණි මහජන නියෝජිතයෝ අසීමිත බල තණ්හාවෙන් පීඩිත අසහනකාරී පිරිසක්ද නොවූහ. කවි කියන්නට කවි ලියන්නට තරම් වාතාවරණයක් ඒ සමයෙහි මැති සබය තුළ වූ වග අමතක කරනු නොයෙදෙයි.”‍ 
 
එදා අයවැය විවාදවලදී කවි කතා මෙන්ම අයවැය විවාදයේදී කවියෙන්ම කවි සංවාද බවට පත් වූ අවස්ථා දක්නට ඇත. 1993.08.18 දින රනිල් වික්‍රමසිංහට හේමකුමාර නානායක්කාර කී මෙවැනි කවියක් හැන්සාඩ්ගතව ඇත. 
 
අගමැති රනිල් මැති සඳ මේ අහන්න
බොරුවට එපා හෙළ උරුමෙට ගරහන්න 
ඉතිහාසයට පොතක් අරගෙන කියවන්න 
එන්නද හවසකට මම ටියුෂන් දෙන්න 
 
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතා පවත්වා ගෙන යන විට බාධා කරන මන්ත්‍රීන්ට කවියෙන්ම උත්තර දීමත් එකල පැවැති සම්ප්‍රදායකි. අස්වර් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ඉතිහාසගත වන්නේ සිංහලෙන් මෙන්ම දෙමළින්ද කවි කියූ නිසාය. වරක් අස්වර් මන්ත්‍රීවරයා තම කතාව මුළුමනින්ම පැවැත්වූයේ කවියෙනි. ඉන්පසු කතාවක් පැවැත්වීමට නියම වූයේ යසරත්න තෙන්නකෝන්ටය. අස්වර් දිගින් දිගටම යසරත්නට බාධා කරන්නට විය. අස්වර්ට කවියකින් පිළිතුරු දීමට තෙන්නකෝන් පියවර ගත් අයුරු මෙසේ හැන්සාඩ්ගතව ඇත. 
 
ගෙන දී නිගාවක් හෙළබිම කවියනට 
පත්කරමින් සභාවම අද විහිළුවට 
අස්වර් වැනි කෙනෙකු මෙහි කවි කියන විට 
තනියම හිනා යයි එය හරි දුකකි මට 
 
මෙම කවිය එවක පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තකයකු වූ ගුණදාස ලියනගේ ජාත්‍යන්තර ඒෂියා වීක් සඟරාවටද වාර්තා කොට තිබුණි. 
 
පසු කලෙක ජනපති වූ ආර්. ප්‍රේමදාස ශූර හිටිවන කවියකු වුවද අයවැයේදී කවි කතා පැවැත්වීමට වඩා ඔහු සූර අයවැය විචාරකයෙක් විය. වරක් ප්‍රේමදාසයන් මුලසුන දැරූ බොරැල්ල තරුණ බෞද්ධ සමිතියේ රැස්වීමක උග්‍ර ප්‍රේමදාසවාදියකු වූ එවකට ආහාර ඇමති වීරසිංහ මල්ලිමාරච්චි හිටිවන කවි කතාවක් කරන ලදී. හිටිවන කවි කතාව පවත්වා ටික වේලාවකින් රජයේ මුද්‍රණාලය මගින් වීරසිංහ මල්ලිමාරච්චිගේ හිටිවන කවි කතාව මුද්‍රිත පොත් පිංචක් ලෙස බෙදාහැරීම ගුණරත්න අබේසේකර, වි. ජ. මු. ලොකුබණ්ඩාර, අරිසෙන් අහුබුදු ආදීන්ගේ මුවග සිනහවක් එක් කළ අවස්ථාවක් විය. පසුදින ඇත්ත පත්‍රය මල්ලිමාරච්චිගේ හිටිවන කවිය ගැන කදිම උපහාසාත්මක කවියක් රන්දාගෙන පළකොට තිබුණි. 
 
ඒත් එහෙම අයවැය විවාදයකදී 1993.12.07 දින නන්දිමිත්‍ර ඒකනායක මන්ත්‍රීවරයා වීරසිංහ මල්ලිමාරච්චි අමාත්‍යවරයාට කවි කතාවක් කරන ලෙස ඇරයුම් කළේ මේ අන්දමිනි. 
 
මැතිසබයේ කියන්නට කවියක් හොඳට 
හැකියාවක් තිබේ ගරු මැතිඳුනි ඔබට 
රසයක් මැවෙන්නට කොයි කාගේත් හදට 
එක් කර කියනු මැන කවියක් කතාවට 
 
එමෙන්ම නන්දිමිත්‍ර ඒකනායක මන්ත්‍රීතුමාට පසුදින (1993.12.08) පිළිතුරක්, වීරසිංහ මල්ලිමාරච්චි අමාත්‍යතුමාගේ කතාවේදී ලැබුණේ කවියෙන් බව හැන්සාඩ්ගතව ඇත. 
 
ආහාර සමුපකාර ජනසවිය 
පහළොස් දවසේ වැඩසටහන හිතකරය 
අසරණ අහිංසකයන් සනසන වරය 
ඇත්තේ සැමට දුරු වී යුද අවහිරය 
 
මුල් කාලීන හැන්සාඩ් පිරික්සීමේදී පෙනී යන්නේ ඒවායේ කවි පවා ඇතුළත්ව ඇති බවය. පාර්ලිමේන්තු පුස්තකාලයේ හැන්සාඞ් කියවමින් කවි රසවිඳි පුද්ගලයන් වන්නේ ඩඞ්ලි සේනානායක සහ විජයානන්ද දහනායකය. මෙවර අයවැය විවාදයකදී ත්‍රිරෝද රථයක වූ කවියක් එකම කවිය ලෙස අවසානයට එක් කරමි. 
“කැලැන්ඩර් කුමකට හෙටක් නැති රටකට”
 
මහින්ද රණවීර