එකට පවුලේ 10ක් පෝරකයට යැවූ වසර 14 කට පෙර සිදුකළ ඝාතනය


ඇඹිලිපිටිය මුල්ලගස්යාය ප්‍රදේශයේදී 2011 වසරේ ඔක්තෝබර් 10 වැනිදාට ආසන්න දිනකදී විරසිංහ ආරච්චිලාගේ ධම්මික නයන කුමාර  යන අය කපා කොටා ඝාතනය කිරීමට අදාළව කාන්තාවන් තිදෙනෙකු ඇතුළු දස දෙනෙකුට ඇඹිලිපිටිය මහාධිකරණය මඟින් මරණ දණ්ඩනය නියම කළේ පසුගිය පසුගිය 24 වැනිදා ය. මෙම නඩුවේ චූදිතයන් 12 දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනකු නිදහස් කොට ඉතිරි දස දෙනාට මෙලෙස මරණ දඬුවම නියම කෙරිණ. මෙම මරණ දඬුවම නියම වූ දසදෙනාම ඥාතීන් වන අතර පිය පුතු දෙපළක්ද ඒ අතර වේ. 

එලෙස ඇඹිලිපිටිය ප්‍රදේශයේ එකම ගමක. එකම ඥාති පරපුරක දස දෙනෙකුට මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පසුගියදා ඇඹිලිපිටිය පළාත්බද මහාධිකරණයේ විනිසුරු බුද්ධික සී. රාගල මහතා විසින් පෝරකය  නියමු කරනු ලැබුවේ සිය දියණිය සමඟ පැවැත් වූ ප්‍රේම සබඳතාව නතර කිරිමට පියා අවවාද කළද එය නොතැකූ තරුණයකු වන වර්ණ ධම්මික නයන කුමාර යන තැනැත්තාට ගල්මුල් වලින් පොරවකින් පිහියකින් පහර දී අමානුෂික අයුරින් ඝාතනය කිරීම සම්බන්ධයෙනි. මෙම නඩු තීන්දුව දීමෙන් අනතුරුව ඇඹිලිපිටිය අධිකරණය ඉදිරියේ නොසන්සුන්තාවක් ද ඇතිවිය. 

රටේම ආන්දෝලනයට ලක් වූ මෙම සිදු වීමේ යටගියාව සෙවීමට පෙලඹීමත් සමඟ ඉරිදා ලංකාදීපයේ අපි එම ගම්මානය සොයා පසුගිය දිනක ඇඹිලිපිටිය ප්‍රදේශයට ගියෙමු.

ඇඹිලිපිටිය, මුල්ලගස්යාය ගම්මානය පිහිටා ඇත්තේ ඇඹිලිපිටිය නගරයේ සිට මිද්දෙනිය මාර්ගයේ කිලෝ මීටර් පහක පමණ දුරකිනි. මෙය සෞන්දර්යාත්මක පරිසරයකින් යුතු ගොවි ගම්මානයකි. 

පසුගියදා දුන් මහාධිකරණ තීන්දුවෙන් පසුව ඇඹිලිපිටිය, මුල්ලගස්යාය ගම්මානය මහා ගුප්ත බවකින් වෙලාගෙන තිබිණි. ගම්මානයේ අතුරු මාර්ග ඔස්සේ පියනගන අපට එම ගුප්ත බව දැඩිව දැනෙන්නට වූයේ ගමට ආගන්තුක වූ අපට හරි හමන් ප්‍රතිචාරයක් ගම්මුන්ගෙන් නොලැබීම හේතුවෙනි. සමහරුන්ගේ බය බිරාන්ත බව මුහුණෙන්ම දිස් විණ. ඇතැමකුගේ මුහුණෙන් දිස් වූයේ වේදනාව පමණි. 

අප කිහිප දෙනකුගෙන්ම තොරතුරු විමසුවත් ගල් ගැසුණාක් මෙන්  අප දෙස බලා සිටියේ කටට ඉබියතුරු වැටුණු කලක මෙනි. සමහරෙක් නෑසුණා සේ ඉවත බලාගත්හ. තවත් සමහරු අප මගහැර ගියහ.

මහාධිකරණය විසින් ඉකුත් 24 වැනිදා එම නියෝගය ලබාදුන්  අවස්ථාවේ අධිකරණය ඉදිරිපිට දස දෙනකු පමණ පිරිසක් රැඳී සිටින අයුරු දිස්වූ අතර පස්වරුව වනවිට පනහකට ආසන්න ඔවුන්ගේ ඥාතීන් පිරිස්ද එක්රොක් වී සිටියහ. විත්තිකරුවන්ගේ ඥාතීන් පිරිස දඬුවම ලැබූවන් බන්ධනාගාර බස් රථයට ඇතුළු කරන අවස්ථාවේ එහි ප්‍රධාන ගේට්ටුවට ඉදිරිපිට පැමිණ අඳෝනා නගමින් පැවැසුවේ තම ඥාති පිරිස සාධාරණ බවකි. මරණ දණ්ඩනයට නියමවූ අයගේ පවුල්වල පිරිස කෑ ගසා කියා සිටියේ මේ සියල්ල පගාවට සිදු වූ බවය.  

රටේ පාතාලකරුවන් හා මිනීමරුවන් නිදැල්ලේ සිටියදී එක වේලක් කා දෙවේලක් බඩගින්නේ සිටින තම ඥාතීන්ට සිරගත වීමට සිදුවූයේ පුද්ගලිකව තමන්ගේ දියණිය හා සහෝදරිය බේරා ගැනීමට ගත් පියවරක ප්‍රතිඵලයක්  ලෙස  බව වේදනාවෙන් කෑ ගසන විත්තකරුවකුගේ ඥාතියෙක් කියා සිටියේ ය.

තම පිරිසට සාධාරණයක් ඉටුකර දෙන ලෙසද ජනාධිපතිවරයාට මෙය දන්වන ලෙසද ඔවුහු මාධ්‍යයෙන් ඉල්ලීමක්ද කළහ. ඔවුන්ගේ එම විලාප මධ්‍යයේ සිරකරුවන් රැගත් බන්ධනාගාර බස් රථය එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ ඥාති පිරිස් හඬමින් බස් රථය පසුපස දිව ගියහ.

මේ පිළිබඳ කිසිත් නොදත්  කිරි සප්පයෝ තම ඥාතීන්ගේ ඇකයේ  සිට බස් රථය දෙස බලමින් මහ හයියෙන් කෑ ගසා හඬන්නට වූහ.   

මෙසේ ඝාතනයට ලක් වූ ධම්මික නයන කුමාර නමැති තරුණයා එම සිදුවීම වන විට 30 හැවිරිදි වියේ පසු විය. ඔහු උපපොලිස් පරීක්ෂකවරයකුගේ පුතෙකි. විත්තිකරුවන් අතුරින් දැනට රෝගී තත්ත්වයකින් රෝදපුටුවේ සිටින ප්‍රධාන චූදිතයාගේ බිරිඳ සමඟ ඔහු අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත. පසුව ප්‍රධාන චූදිතයාගේ 15 හැවිරිදි දියණිය සමගද ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව කියති. ඝාතනයට ලක් වූ  ධම්මික නයන කුමාර එම නිෙවසට නිතර ආගිය අයෙක් බවද සඳහන් වේ. මේ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු (දියණියගේ පියා) තදින් විරෝධය පෑ අතර ප්‍රධාන චූදිතයා ඒ සමයේ පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර ඇති බවද සඳහන් වේ.

ඥාතීන් අධිකරණය ඉදිරිපිට එසේ විලාප නැගුවත් එම ගමේ අය එම නියෝගයෙන් පසුව ආගන්තුක කිසිවෙකු සමග එම සිදුවීම පිළිබඳව ප්‍රසිද්ධියේ  කතා කිරීමට අකැමැති බවක් පෙන්වූහ. ඔවුන්  නීතියට හොඳ හැටි බියවී ඇත.  මරණ දණ්ඩනයට නියම වූ ගමේ උදවිය "මරණ දණ්ඩනය" තහනම් වචනයක් ලෙස සිතාගෙන සිටිනවා විය හැක. එම සිදුවීමත් සමඟ අධිකරණය  ලබාදුන් එම තීන්දුවෙන්  පසු ජනතාව අපරාධවලට යොමු වීම පමණක් නොව අපරාධයක් සිදු කිරීමට සිතීම පවා වරදක් බව එම ගම්මුන්ට ඒත්තු ගැන්වී ඇත. 

අපි ලංකාදීප පත්තරෙන් යැයි කී විට ගැමියෙක් එක වරම කටඇරියේය.

“අපරාධයක් කළා නම් දඬුවම විඳින්න එපැයි මහත්තයෝ. දැන් දුක් වෙලා ඵලක් නැහැ.” ඔහු හිමිහිට කියන්නට විය.

“මේක රටටම පාඩමක් සමහර අය අපරාධ කරන්නේ රටේ නීතියක් නැතිව වගේ. එහෙත් නීතිය හරියට ක්‍රියාත්මක වුණ දවසට  සුසුම් හෙලලා , කෑ ගහලා , අවලාද කරලා ,පොළොවේ පස් කාලා , වැඩක් නැහැ. පෝරකයට නියම වුණු ඔය දහ දෙනාගේ පවුලේ උදවිය එහෙමට මුදල් හදල් තියෙන අය නොමෙයි. හරි අමාරුවෙන් ජීවිතේ ගැටගහගත්ත අය. 

අපිත් එක්ක ගමේ එකට  හිටිය උදවිය වුණත් දෙයක් වෙන්න තියේ නම් වළක්වන්න බෑ මහත්තයෝ.  යමක් කරන්න ඉස්සෙල්ල  වතාවක් දෙවතාවක් නොවෙයි සියවතාවක් හිතන්න ඕන. 

සියලු දෙනා නීතිය දැනගෙන ඉන්න එපාය මහත්තයෝ. අපි නීතිය දන්නේ නැති නිසා මෙහෙම කළාය කියන්න බැහැ. හරි වැරුද්ද කොහොම වුණත් මොන වරද කළත් කාවවත් මරන්න තවත් කෙනෙකුට අයිතියක් නැහැ නේ. “ වැඩිහිටි ගොවි මහතෙක් පැවසීය.  

2011 වසරේ ඔක්තෝබර් මස 10 දින හෝ ඊට ආසන්න දිනක ඇඹිලිපිටිය, මුල්ලගස්යාය ප්‍රදේශයේදී වීරසිංහ ආරච්චිලාගේ ධම්මික නයන කුමාර නමැති තිස් එක් හැවිරිදි පුද්ගලයකු ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් එහි විත්තිකරුවන් දොළොස් දෙනකුට නඩු පවරා තිබුණු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පසුගිය 24 වැනිදා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු බුද්ධික සී. රාගල විසින් පෙන්වා දුන්නේ එකී විත්ති කරුවන් දස දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අධිචෝදනා පැමිණිල්ල විසින් ඔප්පු කොට ඇති බවකි.

දහ වැනි හා දොළොස් වැනි විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකැයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව අධිකරණයේ තීන්දුව විය.

ඝාතනය වූ තරුණයා එම එම පවුලේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබූ බවත් පළවෙනි විත්තිකරු (තරුණියගේ පියා)එකී ප්‍රේම සම්බන්ධතාව නතර කරන ලෙස අවවාද කර තිබූ බවත් පැමිණිල්ලේ සඳහන් විය.

එම අවවාද නොතැකූ මරණකරු 2011 වසරේ ඔක්තෝබර් 10 දින හෝ ඊට ආසන්න දිනෙක පෙම්වතියගේ නි​ෙවසට ගිය අවස්ථාවේ පළමුවනි විත්තිකරු හා සෙසු විත්තිකරුවන් එම පුද්ගලයාට ආයුධවලින් හා අතින් පයින් පහර දී ඇති බවටද පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් කර තිබුණි.

සුබසිංහ පතිරණගේ දියෝනිස්. සුබසිංහ පතිරණගේ ආරියවතී නොහොත් හීන් නැන්දා. සුබසිංහ පතිරණගේ විමලදාස නොහොත් (පුන්චි බාප්පා). ජයවීර ආරච්චිගේ සරත් නොහොත් (සරත් මාමා). සුබසිංහ පතිරණගේ අමරසේන නොහොත් (කිරි බාප්පා . ජයවීර ආරච්චිලාගේ ශෂි කුමුදු සුරංග නොහොත් (නිස්සංක අයියා) .සුබසිංහ පතිරණගේ අන්ද්‍රයස් අප්පුහාමි නොහොත් (ලොකු තාත්තා). සුබසිංහ පතිරණගේ දිමුතු සුරංග. සුබසිංහ පතිරණගේ චින්තා හිමාලි චින්තනී. සුබසිංහ පතිරගේ කරුණාවතී යන අය එසේ මරණ දණ්ඩනයට නියම වූහ. ඔවුහු වයස අවුරුදු තිස් ගණන්වල සිට අසූ ගණන්වල පසුවන්නෝ වෙති.

“අධිකරණයේ තීන්දුවට ඔය කවුරුත් යටයි. මේකෙන් අපි අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තා.මෙතරම් පිරිසකට එකවර මරණ දණ්ඩනයක් ලබාදීපු එකක් ගැන අපි අහලා නැහැ.”
මුල්ලගස්යාය ගමේ ගැමියෙක් සුසුමක් හෙළමින් පැවැසීය. 

පල්ලේබැද්ද රෝහණ සමරවීර