ඉතින් ආයුබෝවන් ‘නිලනිවෙස’ ගරු


දේශපාලන උණුසුම පිටාර ගැලූ සතියක් ගෙවි ගියේය. ඒ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 151කින් පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහිමිවීමත් සමගය.

ඇතැමකුට අනුව එය දේශපාලන පළිගැනීමකි. තවකෙකුට අනුව එය ජාතික ජලබලවේග ආණ්ඩුව මැතිවරණයේදී දුන් පොරොන්දුවක් ඉටු කිරීමකි. සිදුවුණේ කුමක් වුවත් අවසාන ප්‍රතිඵලය වූයේ හිටපු ජනාධිපතිවරුන්ට ආණ්ඩුවේ නිල නිවාස අහිමිව උන්හිටිගමන් උන්හිටි තැන්වලින් ඉවත්වීමට සිදුවීමය.

දේශපාලන පරපුරකින් මෙන්ම දේශපාලන පවුලකින් පැවත එන මහින්ද රාජපක්ෂ දෙවරක් විධායක ජනාධිපති ධුරය දැරුවේය. දෙවරක් අගමැති ධුරය දැරූ අතර නීති විරෝධීයැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ දින 52 ආණ්ඩුවේ අගමැතිවරයා විය.

මේ රට යනු තිස් වසරකට වැඩි කාලයක් යුද අග්නියෙන් දැවුණු තැවුණු රටකි. දහස් සංඛ්‍යාත ජීවිත අහිමි කළ සියවස් ගණනාවක් රට ආපස්සට රැගෙන ගිය යුද්ධයෙන් රට ගලවා ගැනීමේ මහා මානුෂික මහෙවරට දේශපාලන නායකත්වය සැපයීම හරහා මෙරට වංශ කතාවේ වෙනස පරිච්ඡේදයක් තමන් නමින් වෙන්කර ගැනීමට මහින්ද රාජපක්ෂ සමත් විය.

යුද්ධයට සමාන්තරව රට පුරාම පැතිරුණු යෝධ සංවර්ධනයක්ද මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදුවිය. අධිවේගී මාර්ග පද්ධතිය, මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය, නෙළුම් පොකුණ රඟහල, නෙළුම් කුලුන ඒ අතර ප්‍රධාන විය.

2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව රාජපක්ෂ 2019 මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත් විය.

සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වුවද හිටපු ජනාධිපතිවරයකුට හිමි වරප්‍රසාද යටතේ මහින්ද රාජපක්ෂට නිල නිවෙසක්, විශ්‍රාම වැටුපක්, ආරක්ෂක බලමුළුවක් මෙන්ම  තවත් වරප්‍රසාද රැසකට උරුමකම් කීමේ හැකියාව ලැබිණ.

මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ පසු මහින්ද රාජපක්ෂ වාසය කළ කොළඹ විජේරාම නිවස අලුත්වැඩියා කෙරිණ. එහිදී එම නිල නිවසට තවත් නිල නිවෙසක් බද්ධ කළ අතර ඒ සඳහා ගිය සමස්ත වියදම රුපියල් කෝටි 51ක් ලෙස දැක්වේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවීමත් සමග මහින්ද රාජපක්ෂ එළියට බැසීමට සිදුවූයේ එම නිල නිවසෙනි.

මහින්ද රාජපක්ෂ විජේරාම නිල නිවෙසින් සමුගත් දා මහා සංඝරත්නය, හිටපු මැති ඇමැතිවරුන් හා පාක්ෂිකයෝ විශාල පිරිසක් එතැනට පැමිණ සිටියහ. ඔවුන්ගේ සෝ සුසුම් මැද මහින්ද රාජපක්ෂ සිය බිරිඳ ශිරන්ති රාජපක්ෂ සමග නිජබිම වූ තංගල්ල බලා පිටත්ව ගියේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද දේශපාලන පවුලකින් පැවත එන්නියකි. ඇගේ මවත් පියාත් අගමැති ධුරය දැරූහ. ඇගේ සොහොයුරා අනුර  විපක්ෂ නායක වශයෙන්ද ඇමතිවරයකු වශයෙන්ද කටයුතු  කළේය. 

බස්නාහිර පළාත් මහ ඇමැතිනිය ලෙස වාර්තාගත මනාප සංඛ්‍යාවකින් තේරී පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හැඳින්වූයේ ‘‘නූතන විහාර මහා දේවිය’’ ලෙසය.

චන්ද්‍රිකා කුමාරතුංග  බණ්ඩාරනායකට මෙරට දේශපාලනය තුළ සුවිශේෂ ඉඩක් වෙන්වූයේ දාහත් වසරක එජාප පාලන සමය තුළ වළ දමා තිබූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යළි දිනා දීමට ඇය ප්‍රතිඥා දුන් නිසාය. හැට දහසකගේ ජීවිත දවා හලු කළ ශාපලත් ධවල භීෂණය මැදින් ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමට ප්‍රතිඥා දුන් අතරම විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙන බවටද ශපථ කළාය.

උතුරේ යුද්ධය මහෝඝයක්ව රළ ගසමින් පැවතියදී දෙවරක්ම ජනාධිපති ධුරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක එම ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නිදහස් චතුරස්‍රය අසල නිල නිවෙසකට පදිංචියට ගියාය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමත් සමග එම නිල නිවෙසින් බැහැරවීමට ඇයට සිදුවන නමුත් ඇය කියා සිටින්නේ තවත් මාස දෙකක් පමණවත් මෙම නිල නිවසේ පදිංචිව සිටීමට සිදුවන බවය. 

නිල නිවෙසින් ඉවත්වීමත් සමග තමන්ට පදිංචි වීම සමග කොළඹින් නව නිවෙසක් සොයාගත් බවත් එම නිවෙසේ අලුත් වැඩියා කටයුතු අවසන් වූ වහාම එම නිවසේ පදිංචියට යන බවත් ඇය මධ්‍යයට කියා සිටියාය.  

සති තුනකට පෙර තමන් හදිසි අනතුරකට මුහුණ දුන් බවත්. සැත්කමකට ලක්වුණු බවත් දැන් සුවය ලබමින් සිටින බවත් කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය. නිවසේ ඉහළ සහ පහළ මහල අතරේ යෑම ද මේ වනවිට තමන්ට අසීරු බව ඇය පෙන්වා දුන්නාය. 

‘‘මට සුළු අලුත්වැඩියාවක් සහිත කුඩා නිවෙසක් හමුවුණා. අලුත් වැඩියා කටයුතුවලට මගේ පුතා ඇවිත් සතියක් උදව් කරනවා. ඒ අතරතුර සති තුනකට කලින් මම වැටිලා උකුල් අස්ථිය බැඳිණා. සැත්කමක් කරන්නත් සිද්ධ වුණා. ඇය ඩේමිමීරර් පුවත්පතට අදහස් දක්වමින් කීවාය. 

නව නීතිය ක්‍රියාත්මක වීමට පෙර දැනට පදිංචිව සිටින නිල නිවෙස, ජීවිතාන්තය දක්වා රජය තක්සේරු කරන කුලී මුදලක් ගෙවමින් රැඳී සිටීමට අවසර ඉල්ලා තමන් ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් යොමු කළ බවත් තමන් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවත් කුමාරතුංග මහත්මිය පැහැදිලි කළාය.

වසර 15ක් ඇතුළත පිළිකා රෝගී තත්ත්වයන් දෙකකින් දිවි ගලවා ගත් තමන්ට, මහලු වියේදී තමන් රැඳී සිටින නිල නිවෙසින් ඉවත්ව යෑම අපහසු බැවින් නව විධිවිධාන යටතේ රැඳී සිටීමට තමන් ජනාධිපති අනුර කුමාර මහතාට පැහැදිලි කළ බවත් නිල නිවෙසේ අලුත්වැඩියා සඳහා මුදල් ගෙවන්නත් තමන් කැමැත්ත පළ කළ බවත් හිටපු ජනාධිපතිනිය පැවැසුවාය. එමෙන්ම නිල නිවෙසේ, අලුත්වැඩියා සඳහා රුපියල් මිලියන 14 ක් තම අතින් ගෙවා ඇති බවද ඇය සඳහන් කළාය.

‘‘මම නිල නිවසට එද්දී තණකොළ ගසක්වත් තිබුණේ නැහැ. තිබුණේ බොරලු විතරයි. මම භූමි අලංකරණය කළා. ඒ වෙලාවෙ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒ සඳහා මුදල් දුන්නේ නැහැ. මම මාගේ වියදමින් තමයි සියල්ල කළේ.’’යැයි හිටපු ජනාධිපතිනිය පැවැසුවාය.

වත්මන් ආණ්ඩුව විසින් විශ්‍රාමික ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන නමුත් එම විමර්ශන පවත්වන ජනාධිපතිවරුන් අතරේ තමන් නොමැති බවත් කුමාරතුංග මහත්මිය අනුර කුමාර ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කළ බවද පැවැසෙයි.

‘‘අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ වේදිකාවල කෑ ගහන්න පටන් ගත්ත දවසේ ඉඳන්ම රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා වචනයක්වත් කිව්වේ නැහැ. ඔවුන් කතා කළේ දූෂණය ගැන විතරයි. ඒක හොඳයි. ඒත් ඔවුන්ට ඔවුන්ගේම ආණ්ඩුවේ දූෂණ වළක්වන්නේ කොහොමද කියලා තවම අවබෝධයක් නැහැ. ඔවුන් හොරු අල්ලනවා කියලා විතරයි කෑ ගහන්නේ. රට දියුණු කිරීමක් ගැන වචනයක්වත් කියන්නේ නැහැ. අධ්‍යාපනය අවුල්, සෞඛ්‍ය සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් තවම නැහැ. ඔවුන්ට තිබුණු අනිත් එකම සටන් පාඨය හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ නිල නිවෙස්වලින් පන්නා දැමීම’’ යැයි කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පැහැදිලි කළාය.  

මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති පදවි ප්‍රාප්තිය සිදුවූයේ තමාගේම පක්ෂයේ නායකයාට එරෙහිව. රාජපක්ෂ විරෝධීන්ගේ පොදු තේරීම ඔහු වූ බැවිණි.

පුලතිසි පුරයෙන් දේශපාලනයට පිවිසි බොහෝ දුෂ්කර ගමනක් ගෙවා පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය ඇමැති, අගමැති ආදී වශයෙන් පියවරෙන් පියවර ඉදිරියට පැමිණි මෛත්‍රීපාල සිරිසේන අගමැති ධුරයට පත් නොවී ජනාධිපති ධුරයට පත්වූ පළමුවැන්නා ලෙසින් ඉතිහාසයට එක්විය.

‘‘මහ පොළොවෙන් උපන් මිනිසා’’ යැයි හැඳින්වුණ මෛත්‍රීපාල සිරිසේනගේ ධුර කාලය තුළදී ආණ්ඩුව අභ්‍යන්තරයේම ගැටුම් පුපුරා ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමටද කටයුතු කළේය.

ජනාධිපතිව සිටි සමයේදී  නිල නිවාස දෙකක් ඒකාබද්ධ කර ඔහු නිල නිවසක් තනාගත් අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව එම නිල නිවෙසද අතහැරීමට ඔහුට සිදුවිය. 

කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ නව නිල නිවෙසක පදිංචියට ගිය මෛත්‍රීපාල සිරිසේන පෙර කී පනත් කෙටුම්පත සම්මත වීමටත් පෙරම එම නිල නිවෙසින් ඉවත් විය.

සියල්ලන්ම තේරුම් ගත යුතු ඒකාන්ත සත්‍යය වන්නේ උඳු වපුරා, මුං නෙළිය නොහැකි බවය.

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්.