ඇස්වැසුම කැපිල්ලට මාලිමා මන්තීලාගෙන් බකට්


මාලිමා මන්ත්‍රීන්ට ගමට යන්න බැරි වෙලා!

අස්වැසුම දිළිඳු සහන දීමනා කපා හැරීම මේ දිනවල එම සහනය ලැබූ ජනතාව අතර ප්‍රධාන ප්‍රශ්නයකි. ලක්ෂ 21ක් වූ එම සහනාධාරලාභීන්ගෙන් ලක්ෂ 6කට වැඩි පිරිසක් ඉවත් කර තිබේ. මෙම කප්පාදුව නිසා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ගණනාවකටම මහජන දිනවලදී ජනතාවගෙන් දැඩි විරෝධයක් මතු වී තිබිණි.

ඉකුත් දිනවල පැලවත්ත ජවිපෙ හා මාලිමා මූලස්ථානයේදී එහි ප්‍රධානීන්ට පැමිණිලි ලැබී තිබුණේ, මෙම කප්පාදුව ගැන ගම් මට්ටමේදී විශාල විරෝධයක් මතුව තිබෙන බවයි. පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත හමුවූ මන්ත්‍රී පිරිසක් ද ඔහුගෙන් විමසුවේ එහෙම කළේ ඇයි කියාය.

”‍අපිට ගම්වලට යන්න බෑ. අපි දන්නෙත් නෑ...”‍ ඔවුන් කීවේ නෝක්කාඩුවක් ලෙසටය.

”‍මේ දවස්වල අපිට මහජන දිනයට යන්න බෑ. අස්වැසුම කපලා කියලා ප්‍රශ්න ගොඩයි...”‍ කළුතර දිස්ත්‍රික් මාලිමා මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි අනිල් ජයන්ත ඇමැතිවරයාගෙන් විමසුවේය.

”‍ඔව්... ඔව්... අපිටත් මේ දවස්වල මහජන දිනයට යන්න බෑ. අස්වැසුම ගැනයි ඔක්කොම ප්‍රශ්න එන්නේ...”‍ ගාල්ලේ නිශාන්ත සමරවීර මන්ත්‍රීවරයාද කියා සිටියේය.

”‍අපිට චෝදනාවක් තිබුණනේ අස්වැසුම ආධාර ලැබෙන්න ඕනෑ අයට ලැබෙන්නේ නෑ කියලා. අපිට ඒ නිසා අලු‍ත් සමීක්ෂණයකට යන්න අවශ්‍යතාව තිබුණා. ඒ නිසා දැනට ලැබෙන අයගේ ලේඛනය එහෙමම තියෙන්න ඇරලා, අලු‍තෙන් අයැදුම්පත් කැඳෙව්වා. ලක්ෂ 32ක විතර අයැදුම්පත් ආවා. අපි ඒක සමීක්ෂණය කරලා ලක්ෂ 24ක් තෝරාගෙන, ඒකෙන් ‘අන්ත දුගී‘ සහ ‘දුගී‘ කියන කාණ්ඩ දෙකෙන් ලක්ෂ නවයයි අනූදහසක් තෝරාගත්තා...”‍ අනිල් ජයන්ත ඇමැතිවරයා කීවේය.

”‍ඒකනේ මේ අවුල... ඇයි තවත් ලක්ෂ නවයක් විතර ඉඳිද්දී කොටසක් විතරක් සමීක්ෂණයට ගත්තේ? ඉතිරි ඒවට මොක ද වෙන්නේ?”‍ රුවන් මාපලගම මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

”‍මේවට කාලරාමුවක් තියෙනවනේ. අපිට සිද්ධ වුණා අලු‍ත් ලිස්ට් එක එළියට දාන්න. දෙවැනි පියවරේ ලැයිස්තුව දෙසැම්බර් එළියට දානවා. එතකොට ලැබෙන්න ඕනෑ සියලු‍ දෙනා තෝරාගෙන ඉවරයි. ඉතිරි අයට අභියාචනා කරන්න කාලයක් දෙනවා. මෙතන සීමාවෙලා තියෙනවා තමයි. ඒත් සුදුසුම අය තෝරාගෙන අස්වැසුම ලබාදෙන්න පුළුවන් නම් ඒක හොඳ තත්ත්වයක්නේ. අපි හිතන්නේ ලැබෙන්න ඕනෑ අය අලු‍ත් ලිස්ට් එකට ඇතුළත් වෙලා තියෙන්නේ කියලයි...”‍ අනිල් ජයන්ත ඇමැතිවරයා කියා සිටියේය.

”‍ඒ පනත් දෙක අකුළගන්නේ නෑ!”‍

පැලවත්ත කාර්යාලයේ පැවැති මෙම රැස්වීමේදී මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම විමසුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ආ ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ගලවා ගැනීමේ පනත‘ හා ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත‘ අකුළාගෙන ඇති බවට විපක්ෂය ප්‍රචාරයක් ගෙන යන බවයි.

ඊට පිළිතුරු දුන් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල කියා සිටියේ එම පනත් අනිවාර්යයෙන්ම ගෙන එන බවය.

”‍නීතිය නොදන්න අයනේ ඔහොම කියන්නේ. ඒ පනත් ගැන ජනතාවට විරෝධය පළ කරන්න කාලසීමාවක් තියෙනවනේ. දැන් එම පනත්වලට එරෙහිව පනවපු පෙත්සම් අධිකරණයේ විභාග වෙනවා. ඊට පස්සේ එහි තීන්දු කථානායකතුමාට එවනවා. එතකොටයි පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නේ. සැකකරුවෙක් පැය 72ක් රඳවාගන්න කරලා තියෙන නිර්දේශය පැය 48 දක්වා අඩු කරන බව ජනාධිපතිතුමාත් කිව්වා. එහෙම සංශෝධන කීපයක් එක්කයි පනත් දෙක එන්නේ...”‍ නියෝජ්‍ය ඇමැති වටගල කීවේය.

”‍ත්‍රස්තවාදය තිබුණ කාලේ ත්‍රස්තවාදය මර්දනය කරන්න පනතක් අවශ්‍ය වුණා. දැන් ඒක අඩුවෙලා. දැන් තියෙන්නේ සංවිධානාත්මක අපරාධ, මත්කුඩු, මිනීමැරුම් වැඩිවෙලා. මත්ද්‍රව්‍යවලට අවි ආයුධ, ඒකට පාතාලය, ඊළඟට කප්පම්... මේවා එකට ඈඳිලා තියෙන්නේ. ඒ අපරාධ මර්දනය කළ යුතුයි. පනත් දෙක එන්නේ ඒකයි. අපිට දින තියෙනවා. ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කළාට පස්සේ කාලයේ විවාදය අතරතුර මේ පනත් සම්මත කරගන්නවා...”‍ ඇමැති වටගල තවදුරටත් කියා සිටියේය.

එපා කීවට හාමුදුරුවරු ඇවිත්!

ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම නම් කර ඇත්තේ ”‍ඉවත් වනු - රටම එකට”‍ යනුවෙනි. එම වැඩසටහනට වසරක් පිරීම නිමිත්තෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය සැමරුම් උත්සවයක් සංවිධානය කළේය. එම උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීය. ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබුණේ සියලු‍ ආගම් නියෝජනය කරන ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් එය පවත්වන ලෙසයි.

ඒ අනුව භික්ෂූන් වහන්සේලා දෙදහස් නමකගේ සහ අනෙකුත් ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් එම උත්සවය පැවැත්වීමට තීරණය විය. භික්ෂූන් වහන්සේලාට ආරාධනා කිරීමට තීරණය වූයේ ඒ ඒ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා මාර්ගයෙනි. මෙම කටයුතු කරගෙන යද්දී ඇතැම් හිමිවරුන් ප්‍රකාශ කළේ එම උත්සවය වර්ජනය කළ යුතු බවයි. ඥානසාර හිමියන්ගේ ප්‍රශ්නය හේතුවෙන් ඇති වූ භික්ෂු විරෝධතා මෙයට හේතු විය.

කෙසේ වෙතත් ආණ්ඩුව සැලසුම් කළ ලෙසම දෙදහසකට ආසන්න මහා සංඝරත්නයද, දහසකට ආසන්න අන්‍ය ආගමික පූජකවරුන්ද එම උත්සවයට සහභාගී කරවා ගැනීමට හැකි වූ අතර, සියලු‍ දෙනාම උත්සව සභාවට පැමිණියේ පා ගමනිනි. මහින්ද රාජපක්ෂ සමයේ අරලියගහ මැදුරේ ඉදිකළ විශේෂ ශාලාවේ මෙම උත්සවය පැවැත්විණි.

මුස්ලිම් මන්ත්‍රීන් ආණ්ඩුවටද?

”‍ඇමෙරිකාවට හෙම්බිරිස්සාව හැදුණත් ලංකාවේ පාලකයන්ට නිව්මෝනියාව හැදෙනවා”‍ යැයි එවකට විපක්ෂ මන්ත්‍රීවරයකු වූ අනුර කුමාර දිසානායක කීවේය. ඔහු ඒ බව පැවසුවේ පැවැති ආණ්ඩුවලට වුවද, මේ වන විට ඔහුගේ ආණ්ඩුවද ඇමෙරිකාවේ හැසිරීම් නිසා යම් යම් අර්බුදවලට ලක්ව තිබේ. ඉන් එක් සිදුවීමක් වන්නේ ඇමෙරිකානු සම්බාධක නිසා ඉරානයට යා නොහැකිව ගාලු‍ මුහුද ආශ්‍රිතව නැංගුරම් ලා ඇති ඉරාන නෞකාවල නාවිකයන්ට මානුෂීය අවශ්‍යතා සැපිරීමට මෙරට රජයට සහ නාවික ආයතනවලට නොහැකි වීමයි.

මෙම තත්ත්වය නිසා මේ වන විට මෙරට මුස්ලිම් දේශපාලනඥයන් තුළ බලවත් කැලඹීමක් ඇතිව තිබේ. තමාගේම සහෝදර ජනතාවකට ආධාර කිරීමට නොහැකි වීම පිළිබඳව මුස්ලිම් දේශපාලන පක්ෂ සිටින්නේ කනගාටුවෙනි. මැදපෙරදිග රටවල් සහ පාකිස්තාන රජයද මෙරට මුස්ලිම් පක්ෂවලට අධික බලපෑමක් කර ඇති බව දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙහිදී සාකච්ඡා කර ඇත්තේ, විපක්ෂයේ සිට දේශපාලනය කිරීමෙන් මෙවැනි තත්ත්වයකදී තමන්ගේ දායකත්වය ලබාදිය නොහැකි බවයි. රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා එහිදී වඩාත් දැඩි මතයක සිටින අතර, ඔහු මේ වන විට නියෝජනය කරන සජබ දේශපාලනය ගැන යම් විවේචනයක්ද ඉකුත් දිනවල පළ කර තිබිණි.

ඒ අනුව දේශපාලකයන් අතර කතාබහට ලක්ව ඇත්තේ එම පක්ෂ දෙකේ සහාය ඉදිරි කාලයේ ආණ්ඩුවට ලබා දෙමින් ආණ්ඩුව සමඟ සහයෝගීතා දේශපාලනයක නිරත වනු ඇති බවයි. බොහෝ දුරට ජනාධිපතිවරයා ඉදිරිපත් කරන මෙවර අයවැය යෝජනාවලියට හකීම් සහ රිෂාද්ගේ පක්ෂ දෙකේම සහාය ලැබෙනු ඇතැයිද මත පළව ඇත.

අනුර දිසානායක ජනාධිපතිවරයාට සහාය දක්වන, මෙරටට සමීපතම රාජ්‍යයක්ද මෙරට මුස්ලිම් පක්ෂ ආණ්ඩුවට සහාය දක්වන ස්ථාවරයකට යොමු කිරීම සඳහා සෑහෙන බලපෑමක් කර ඇති බවද දැනගන්නට ඇත. අතීතයේ මෙරටට මුස්ලිම් ජනකොටස් පැමිණියේ සමීපතම එම රටින් නිසා, එම රටේ බලපෑම මෙරට මුස්ලිම් සමාජය තුළ තදබල ලෙස පවතී. මෙම අවස්ථාවේ අනුර කුමාර ජනාධිපතිවරයාගේ පාලනය ශක්තිමත් කිරීමට එම රාජ්‍යය දැඩි උත්සාහයක් දරන බවටද විපක්ෂ දේශපාලනය තුළ කතාබහට ලක්ව ඇත.

සජබයම පොළොන්නරුවේ

සමගි ජන බලවේගය ඉකුත් සතිඅන්තයේ දින දෙකම යොදාගෙන තිබුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකටය. සජබයේ සියලු‍ මන්ත්‍රීවරුන්ට සහ ඡන්දදායකයන්ට පොළොන්නරුවේ ආසන සහ ඡන්දපොළ මධ්‍යස්ථාන වෙන්කර තිබුණි. ප්‍රදේශයේ ජනතාව දෙතුන්සියයක් එක තැනකට එකතු කර සංවාදශීලී හමුවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පක්ෂයේ නිලධාරීන් සහ පළාත් පාලන නියෝජිතයන් සහභාගී කරවීම මෙහිදී සිදුවිය.

විපක්ෂ නායක සජිත් පොළොන්නරුව ආසන්නයේ විහාරස්ථාන කිහිපයකට සහ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයටද ඒ අතරතුර ගොස් ආගමික වතාවත්වල නිරත විය. සජිත් දිඹුලාගල ආරණ්‍යයට ගියේ ප්‍රේමදාස ජනාධිපතිවරයා සමඟ අතිශය සමීප සබැඳියාවක් එම සේනාසනයේ තිබූ නිසාය. සජිත් සහ රංජිත් සමඟ කිංස් නෙල්සන්ද විය. කිංස්ගේ පියා වූ හිටපු ඇමැති එච්.ජී.පී. නෙල්සන්, දිඹුලාගල සේනාසන නිර්මාතෘ සීලාලංකාර නාහිමියන්ගේ අතිශය සමීප හිතවතෙකි.

විපක්ෂ නායක සජිත් ඇතුළු පිරිස පිළිගත් වත්මන් සේනාසනාධිපති රාහුලාලංකාර හිමියෝ, සේනාසනය පුරාම ඔවුන් කැටුව ගියහ. දිවංගත ජනාධිපති ප්‍රේමදාසගෙන් සේනාසනයට වූ සේවය එහිදී උන්වහන්සේ සිහිපත් කළහ.

”‍ප්‍රේමදාස ජනාධිපතිතුමා අපි ගැන හරියට හොයලා බැලු‍වා. නායක හාමුදුරුවෝ එක්ක පුදුම හිතවත්කමක් තිබුණේ. හැම මාසෙකම දානෙට ලොරියක බඩු එවනවා. ඒකේ නැති දෙයක් නෑ...”‍ රාහුලාලංකාර හිමියෝ කියා සිටියහ.

සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන, රෝහිණී කවිරත්න ඇතුළු පිරිස නිරතව සිටියේ බකමූණ ප්‍රදේශයේ සාමාජික ප්‍රවර්ධන කටයුතුවලටය. එහිදී ජනතාවගේ ප්‍රමුඛ ප්‍රශ්නය වී තිබුණේ වී ඇතුළු ගොවි නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබීමයි. ඇතැමුන්ගේ ගඩොල් කැපීම ඇතුළු ජීවනෝපාය කර්මාන්තද නැවතී ඇති බව ඔවුහු සජබ ප්‍රධානීන් හමුවේ කියා සිටියහ. බකමූණට ගිය මන්ත්‍රීවරුන් රැස්වීම් හයකට සහභාගි වී ජනතාව සමඟ රටේ තත්ත්වය කතා කරමින් තම පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු සිදු කළහ.

ජගත් විතාන මන්ත්‍රීවරයා සහභාගි වූයේ මින්නේරියේ සාමාජික ප්‍රවර්ධන කටයුතුවලටය. එහිදීද මතු වූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ ජීවනෝපාය මාර්ග අහිමි වීමයි. ගඩොල් කර්මාන්තය නැත්තටම නැතිවී ඇති බවත්, වැව්වල මාළු ඇල්ලීමේ කටයුතුද ඉතා අසීරු වී ඇති බවත් එහිදී හමුවූ සමහර පිරිස් කියා සිටියහ. ”‍අපි ඉල්ලන්නේ ඡන්ද නෙවෙයි... අපිට ජීවත් වීමේ ක්‍රමයක් හදලා දෙන්න...”‍ බොහෝ දෙනා කීවේ එවැනි කතාවකි.

පාර්ලිමේන්තුවේ ගෝරි!

කථානායක දොස්තර ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය ගෙන ආ චෝදනා පනහකින් සමන්විත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම අත්හිටුවා ඇති නිසා, එම තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු ක්‍රමය යටතේ දැඩි විරෝධයක් පළ කළ යුතු බව ඉකුත් අඟහරුවාදා පැවැති විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය විය. එදින පාර්ලිමේන්තුවේදී විරෝධය දැක්විය යුතු ක්‍රමය ලෙස මන්ත්‍රීවරුන් තීන්දු කළේ විරෝධතා පුවරු පාර්ලිමේන්තු සභාගැබ තුළ ප්‍රදර්ශනය කිරීමයි. මේ සඳහා එස්.එම්. මරික්කාර්, ජේ.සී. අලවතුවල, ප්‍රසාද් සිරිවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් ලහිලහියේම විරෝධතා පුවරු සටහන් කළේ කාඩ්බෝඩ් කිහිපයකය.

”‍මෙයාලා ඒකාධිපති ගමනක් යන්නේ. මේ ගැන වරප්‍රසාද ප්‍රශ්නයක් භාරදෙන්න මම තව ටිකකින් කථානායක කාර්යාලයට යනවා...”‍ විපක්ෂ නායක සජිත් කීවේය. එහෙත් නියමිත වේලාවට ඔහුට එම අවස්ථාව ලැබී තිබුණේ නැත.

පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, මෙම විශ්වාසභංගය විවාදයට නොගැනීම ගැන වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට කථානායක කාර්යාලයට තමාට එදින පෙරවරු 9.15ට වේලාව ලබාදී ඇති මුත්, ඒ මොහොතේ සිට 9.30 දක්වාම කථානායකවරයා සභාවේ නැති බවයි. තමාගේ වරප්‍රසාද කඩවී ඇති බව කී විපක්ෂ නායක සජිත් කතා කරද්දී ආණ්ඩු පක්ෂයෙන් බාධා එල්ල විය. එම තත්ත්වය මත විපක්ෂය විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් තම විරෝධය පළ කළේය.

නාමල් හමුවෙන්න මිතුරන් පාර්ලිමේන්තු ඇවිත්

රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බැවින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවට පැමිණියේ එහි සිට බන්ධනාගාර බස් රථයෙනි. නාමල් හමුවීමට ඩී.වී. චානක, චානක මාදුගොඩ යන මන්ත්‍රීවරු සහ අමුත්තෙක් ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දුද පැමිණ සිටියහ. පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු ගැනද එහිදී සාකච්ඡා කෙරුණි.

”‍උද්ධමනය සියයට අට දක්වා වැඩිවෙලා තියෙනවා. හැබැයි කයියෙ නම් අඩුවක් නෑ...”‍ නාමල් කීවේය.

”‍නැවෙන් බාන ගණනට තෙල් දෙනවා කියලා එදා කීවේ. ඒත් දැන් තවත් වැඩියෙනුත් බදු ගහලා...”‍ ඩී.වී. චානක මන්ත්‍රීවරයා කීවේය.

”‍මම කීප සැරයක්ම අනුර කුමාරට මතක් කළා සෞඛ්‍යයයි අත්‍යවශ්‍ය භාණ්ඩවලයි වැට් අයින් කරන්න කියලා.

දැන් ඡන්ද කාලේ දීපු පොරොන්දු මතක නෑ...”‍ නාමල් යළිත් කීවේය.

”‍පච කිය කියා හැම තැනම යනවා...”‍ ඩී.වී. චානක කීවේ සිනාසෙමිනි.

”‍මේ පාර අයවැයත් එනවනේ. අනුර කුමාර කියන පච ගණන අපි ගණන් කරලා තියාගමු...”‍ නාමල් කීවේ සියලු‍ දෙනා සිනාගන්වමිනි.

නාමල් තමාගේ කතාව ලියාගන්නවා දුටු චානක මාදුගොඩ එම කතාව ලියාදීමට ඉදිරිපත් විය.

”‍බෑ... බෑ... චානක මමම ලියාගන්න ඕනෑ. මොකද මගේ අකුරු සෙනරත් පරණවිතාන මහත්තයාටවත් කියවන්න බෑ...”‍ නාමල් කීවේය.

එදින නාමල් ආණ්ඩුව විවේචනය කරමින් දැඩි කතාවක් කළේය. ඔහු එහිදී පොලිසියද විවේචනය කළේය.

මාලිමා මන්ත්‍රීවරයකුගේ ගංජා හේනක් ගැනද සිහිපත් කළේය.

”‍ඔයා එතකොට බෝ පැළයක් ද?”‍ ජවිපෙ නිහාල් ගලප්පත්ති විමසුවේය.

”‍ඔව්. මම එහෙම තමයි. මම ඔබතුමාට උත්තර දෙන්නේ නැත්තේ ඔබතුමා මගේ තාත්තගේ වයසේ නිසා...”‍ නාමල් පැවසීය.

”‍මගේ ගංජා හේන කොහෙද කියලා කියන්න...”‍ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීරයෙක් විමසුවේය.

”‍මම තැන කිව්වොත් ඔබතුමාටත් බන්ධනාගාරයේ මම ඉන්න වාට්ටුවටම එන්න පුළුවන්...”‍ නාමල් කීවේ සිනාසෙමිනි.

නඩු ගැන චාමර කියන කතාව

හිටපු ඇමැති දොස්තර රාජිත සේනාරත්න ඉකුත් සතියේ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට ගියේ තම පැරණි දේශපාලන සගයකු වන චාමර සම්පත්ගේ සුවදුක් විමසීමටය. චාමර සති කිහිපයක සිට රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටියි.

අදාළ අවසරය ලබාගැනීමෙන් පසු දොස්තර රාජිතට තම වාහනයෙන්ම බන්ධනාගාරයේ දොරටුව අසලටම යාමට අවස්ථාව ලැබිණි. චාමර සම්පත් මන්ත්‍රීවරයා ව්‍යායාම කරමින් සිටින බව නිලධාරීහු කීහ. රාජිත තම හිතවතා වෙනුවෙන් ගෙනගිය බඩුමල්ලද චාමරගේ රැඳවුම් කුටිය තුළටම ගෙන යාමට අවසර ලැබිණි.

”‍යන්න සර්...”‍ රාජිතට එසේ කී නිලධාරීන් ඔහු පසුපස පැමිණියේද නැත.

චාමර හමුවට ගිය රාජිත, තමා සිරගතව සිටි කාලයට වඩා බන්ධනාගාරය තුළට ඇතුළුවීම දැන් අසීරු නැතැයි චාමර සමඟ කීවේය.

”‍මාව රිමාන්ඞ් කරලා තිබුණ කාලේ නම් පිට කාටවත් ඇතුළට යන්න බෑ, නිලධාරියෙක් පිටුපස්සෙන් එනවා. අද මට වාහනෙන්ම ඇතුළට ආවා. ඒ පහසුකම් නම් හොඳයි...”‍ එසේ කී දොස්තර රාජිත, චාමරගේ සැප සනීප විමසා සිටියේය.

”‍ජොගින් කරනවා... කාලා බීලා ඉන්නවා...”‍ චාමර කීවේය.

”‍මම ගිය සතියේ එන්න හැදුවේ... ඒ සතියේ චාමර පාර්ලිමේන්තු යනවා කීව නිසා ආවේ නෑ. මම නඩු දිනයටත් එන්නම්...”‍ දොස්තර රාජිත කියා සිටියේය.

”‍නඩු තමයි ප්‍රශ්නේ. නඩුවලට මුහුණ දෙන්න පුළුවන්. ඒත් නඩුවලට යන වියදම තමා වැඩි. විශාල වියදමක් යනවා. උදව් කරන්න පුළුවන් අය ඉන්නවා නම් කතා කරලා බලන්න. එකම සිද්ධියට නඩු හතරක් දාලා. මට දැන් නඩු දහයක් තියෙනවා. එකම නඩු හතරට වෙන වෙනම ලෝයර්ස්ලාට ගෙවන්න ඕනෑ. ඕකයි ප්‍රශ්නේ...”‍

චාමර ඉල්ලා සිටියේය.

රාජිත, නාමල්ගේ සුවදුක් විමසීමට ගියද ඒ වෙද්දී නාමල් අධිකරණයට ගෙන ගොස් සිටි නිසා නාමල් හමුවීමට ලැබුණේ නැත.

ගල්අඟු‍රු ගැන චම්පික කියයි

හිටපු ඇමැති චම්පික රණවකට ඉකුත් සතියේ කැඳවීමක් ලැබී තිබුණේ ගල් අඟු‍රු කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි. වත්මන් රජයේ ගල්අඟු‍රු ප්‍රසම්පාදන කටයුත්තේදී බාල ගල්අඟු‍රු රැගෙන විත් ඇති බවට ලැබුණු පැමිණිලිවලින් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කොමිසම පත් කරනු ලැබ ඇත්තේ නොරොච්චෝල බලාගාරය පිහිටුවූ දා සිට ගෙන එන ලද ගල්අඟු‍රු සැපයුම් පිළිබඳ පරීක්ෂා කිරීම පිණිසය.

හිටපු ඇමැති චම්පික මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට පෙර ”‍48 සේනාංකය”‍ සහ හිටපු දේශපාලකයන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී ඔවුන් විමසා සිටියේ, රටටම විදුලිය ඇනහිටි සිදුවීම ගැන කතා කළ නිසා ඔබවත් මෙම කොමිසමට ගෙන්නුවා නේද කියාය. ඊට සිනාසුණු චම්පික පැවසුවේ මෙවැනි කතාවකි.

”‍ඒ කාලේ ගල්අඟු‍රු ටෙන්ඩර් එක කෙරුවේ සිලෝන් ෂිපිං ලයින් එකෙන්. 2012දී ලංකා ගල්අඟු‍රු සමාගම විදුලිබල මණ්ඩලයට සැලසුමක් දෙනවා අපි මෙහෙමයි ගල් අඟු‍රු ගේන්නේ කියලා. සාමාන්‍යයෙන් මැයි පහුවෙලා ගේන්නේ නෑ, වාරකන් නිසා එහෙට නැව් එන්න බෑ. අප්‍රේල්වල මණ්ඩලය කීවා අපිට ආයේ ගල්අඟු‍රු එපා කියලා. ඒත් ගල්අඟු‍රු සමාගම කිව්වා අපි දැන් නැව් දෙකකට පොරොන්දු වෙලා කියලා. අපේ සහ මණ්ඩලයේ විරෝධය මැදම මේ නැව් දෙක ගෙනාවා.

මැයි මැද ඊට පස්සේ බාන්න බෑ. මේ නැව් දෙක ඉන්දියාවට විකුණන්න අපිට පොරොන්දු වෙලා, ඒකට හිලව්වට තව නැව් පහක් නොවැම්බර් ගේන්න පොරොන්දු වෙලා. අපි ඒ ගැන දන්නේ නෑ. නැව් ආවම මම බාන්න දුන්නේ නෑ. ඒ අස්සේ නැව්වලින් කොටසක් බාලයි කියලා කතාවක් ගියා. ඒකට මම සල්ලි ගෙවන්න දුන්නෙත් නෑ. මේ ගැන නීතිපතියි, විදුලිබල මණ්ඩලයයි ලොකු ගැටුමක ඉන්නකොට මම ගල්අඟු‍රු සමාගමේ සභාපති අයින් කළා. එතැනදී මහින්ද රාජපක්ෂ මාව විදුලිබල ඇමැති ධුරයෙන් අයින් කළා. ඕක තමයි කතාව...”‍ හිටපු ඇමැති චම්පික තමා හමුවූ පිරිස සමඟ කියා සිටියේය.

මෙම සිදුවීමට මෙරටින් යවන ලද බව කී චන්ද්‍රිකාවේ සිදුවීමද ගෑවී ඇති අතර, චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට මුදල් ලැබී ඇත්තේ ගල් අඟු‍රු මිලදී ගත් ඉන්දියානු සමාගමෙනි. ගල් අඟු‍රු ටෙන්ඩරය නිරතුරුවම රාජ්‍යයේ ඉහළම බලවතුන් විසින් මෙහෙයවන අතර, මෙරට රජයෙන් සිදුවන ඉහළම වටිනාකමැති ටෙන්ඩරය වන්නේද ගල්අඟු‍රු ගෙන ඒමේ ටෙන්ඩරයයි.

රනිල් මනමේ මතකය අවදි කරයි

සතිය ඇරැඹුමේ ඉදිරි සැලසුම් සාකච්ඡා හමුවේදීම රනිල් දේශපාලන නොවන කතාවක් පිළිබඳව සඳහන් කළේය.

”‍මහාචාර්ය සරච්චන්ද්‍රගේ ‘මනමේ‘ නාට්‍යයට මේ සතියේ වසර 70ක් පිරෙනවා. පළවෙනි මනමේ දර්ශනය බලන්නත් මම ගිහින් තියෙනවා...”‍ රනිල් පැවසීය.

එහි සිටි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න පැවසූයේ, ඒ අතීත පුවත් දැනගැනීමට ජනතාව ඉතා කැමැති බැවින් අදාළ කරුණු විස්තර කරමින් ප්‍රකාශයක් කිරීම සුදුසු බවයි. එහිදී හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න කීවේ අදාළ කරුණු සඳහන් කරමින් වීඩියෝ පටයක් සකස් කර මාධ්‍යයට නිකුත් කිරීම සුදුසු බවයි.

ඒ අනුව අදාළ වීඩියෝ පටය පටිගත කිරීමට විධිවිධාන සැකසිණි. එම වීඩියෝ පටය සමාජ මාධ්‍යයට නිකුත් කෙරුණු අතර, ඊට විශාල ප්‍රතිචාරයක් ලැබෙන්නට පටන් ගත්තේය. පුවත්පත් මෙන්ම විද්‍යුත් මාධ්‍යත් ඊට ලොකු ඉඩක් ලබාදී තිබිණි. මෙම ප්‍රකාශයෙන් පසු රනිල්ට පවුලේ හිතවතුන්, කලාකරුවන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශංසාත්මක කතා ගලා ආවේය. ඒ අතරින් එක් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කර්තෘවරයෙක් පැවසූයේ, ”‍අද කවුද ඉතින් දේශපාලනයේ මේ වගේ දේවල් කියන්න ඉන්නේ?”‍ යනුවෙනි.

රනිල් සතිය ආරම්භ කළේ ඒ වැඩකටයුත්තෙනි. අදාළ හඬපටය ලබාදීමට පෙර රනිල් යුතුකමක් ලෙස ‘මනමේ‘ නාට්‍යයේ රඟපෑ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම රංගධරයකු වන නිශ්ශංක දිද්දෙනියට දුරකථන ඇමතුමක් ලබාගත්තේය.

අදාළ ප්‍රකාශය පළ වූ පසුව මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ බිරිඳ ලලිතා රනිල්ට දුරකථන ඇමතුමක් ලබාගෙන, ”‍සර් මේ ගැන කතා කරපු එක හොඳයි. එයින් ලොකු පිබිදීමක් ඇතිවුණා. ඔබතුමා දකින්නත් ආසයි...”‍ යනුවෙන් සඳහන් කළාය. ඒ අනුව තම නිවසට පැමිණෙන ලෙස රනිල් ලලිතා මහත්මියට ආරාධනාවක් කළ අතර එතුමිය ඒ ආරාධනාව පිළිගත්තාය.මනමේ ගැන අතීත මතකය අවදි කරමින් රනිල් පැවසූයේ වසර 70කට පෙර අතීතයකි. ඒ, තම පියා විසින් රනිල්, ෂාන් මෙන්ම ඔවුන්ගේ මව මනමේ බලන්නට ලයනල් වෙන්ඩ්ට් ශාලාවට එක් කරගෙන ගිය අතීතයයි.

”‍මම අම්මගෙන් ඇසුවා මේ මොකක් ද කියලා. ඇය මට කීවා මෙය පරණ කතාවක්, වැදි රජවරුන් පවා මේ නාට්‍යයේ ඉන්නවා කියලා. අප දැනගෙන හිටියේ නැහැ සම්පූර්ණ කතාව. මීට පෙර සිරිසඟබෝ නාට්‍යය පෙන්වන්න වයි.එම්.බී.ඒ. ශාලාවට අප රැගෙන ගොස් තිබුණා. අප ලයනල් වෙන්ඩ්ට් ශාලාවට ගිය අවස්ථාවේදී එයින් භාගයක්වත් පිරී තිබුණේ නැහැ. නමුත් ඒ නාට්‍යය අප හිතුවට වඩා හොඳයි. එතැනදී මනමේ කුමරි හැටියට ට්‍රිලීෂියා අබේසේකරත්, මනමේ කුමාරයා හැටියට බෙනඩික්ට් සිරිමාන්නත් හිටියා. පොතේ ගුරා හැටියට ශාමෙන් ජයසිංහ හිටියා. වැදි රජු හැටියට සිටියේ එඩ්මන්ඩ් සහ දෙටු රජු හැටියට ලයනල් ප්‍රනාන්දු. මේ සියලු‍ දෙනාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්. පසුව මේ නාට්‍යය වේදිකාගත කරද්දී ශාලා පිරී ඉතිරී ගියා. විශේෂයෙන්ම මට මතකයි ට්‍රිලීෂියා අබේසේකරත්, බෙනඩික්ට් සිරිමාන්නත් වේදිකාවෙන් පිටවී යන අවස්ථාවේදී පසුබිමින් ඇසුණු ගීතය. ඒ සින්දුව තමයි ‘“ප්‍රේමයෙන් මන රංජිත වේ...‘.”‍ රනිල් ඒ රසවත් අතීතය සිහිපත් කළේ එසේය.

රනිල් මෙහිදී සමකාලීන වෙනත් නාට්‍ය, චිත්‍රපට ආදිය ගැනත් සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කළේය. රනිල් තම ප්‍රකාශය අවසන් කළේ ප්‍රාර්ථනාවක්ද කරමිනි.

”‍අද මනමේ නාට්‍යයේ 70 වැනි සංවත්සරය සමරනවා. එය ඉතා වැදගත් අවස්ථාවක්. ඒ නිසා විශේෂයෙන්ම තවදුරටත් මේ කලාව ඉදිරියට යයි කියා මා බලාපොරොත්තු වෙනවා...”‍ ඔහු කීය.

බරපතළ පනත් දෙක සහ GSP  අර්බුදය

ඉකුත් සතියේ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව විශේෂ විය. ඒ, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ද ජී.එල්. සමඟ එම හමුවට සහභාගී වීමයි.

එහිදී මූලික ලෙස අවධානය යොමු වූයේ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත‘ සහ ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත‘ මගින් සිදුවිය හැකි අවැඩදායක තත්ත්වය පිළිබඳවයි. ජී.එල්. මෙන්ම සරත් ද මේ පනත් දෙක ගැන ගැඹුරු විග්‍රහයක් කළහ. එහිදී විශේෂයෙන් අවධානය යොමු වූයේ මේ පනත් නිසා GSP  ප්ලස් තීරුබදු සහනය අහිමි වීමේ අවදානම ගැනයි.

”‍විදේශ විනිමය එන්නේ තුන් ආකාරයකින්. එකක් තමයි සංචාරක කර්මාන්තය. සංචාරක කර්මාන්තය අවිනිශ්චිතයි, අස්ථිරයි. අනෙක විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය. මැදපෙරදිග යුද්ධය නිසා එයත් අර්බුදයට ලක්වෙලා. ඉතිරිවෙලා තියෙන්නේ අපනයන භාණ්ඩ හා සේවාවලින් අපිට ලැබෙන විදේශ විනිමය. අපේ අපනයන නිෂ්පාදන GSP  හරහා බටහිර යුරෝපයේ විශාල වෙළෙඳපොළක් අපට විවෘත වෙලා තියෙනවා. ඒක ලොකු වරප්‍රසාදයක්, අපේ අපනයන නිෂ්පාදන කිසිම තීරුබද්දක් ගෙවන්නේ නැතුව ඒ රටවල්වලට යවන්න. හැබැයි ඒක හැමදාම තියෙන දෙයක් නෙමෙයි, අපිට දීලා තියෙන පරිත්‍යාගයකුත් නෙමෙයි. ඒකට වැදගත් කොන්දේසි තියෙනවා. ප්‍රධාන කොන්දේසිය තමයි ජාත්‍යන්තර ගිවිසුම් 27කට අනුකූලව අපි කතා කරන්න, ක්‍රියා කරන්න ඕන. ඒ 27න් ප්‍රධාන එක තමයි ICCPR  - සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය. ඒක පැහැදිලිවම උල්ලංඝනය වෙනවා මේ පනත් දෙකෙන්ම. ඒ කියන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත හා සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත. එතකොට GSP  ප්ලස් අහිමි වීමේ දැඩි අවදානමක් තියෙනවා. ඒක වුණොත් අපේ ආර්ථිකයට මේ අවස්ථාවේදී දරාගන්න බැරි පාඩුවක් වෙනවා...”‍ යැයි ජී.එල්. එහිදී දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේය.

රාජ දූත