ඇමැතිකමක් නොලැබීම ගැන මම අද ගොඩාක් සතුටට පත්වෙලා ඉන්නේ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් 
පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ 
විජයද‌ාස රාජපක්ෂ

  • මේ ආණ්ඩුවේ මට කිසිම වගකීමක් නෑ. අඩුම තරමේ පාර්ලිමේන්තුවේ කාරක සභාවකවත් මම නෑ.
  • ජනතාව ඉන්නේ බරපතළ ලෙස අතෘප්තියට පත්වෙලා.
  • ආණ්ඩුවේ ගමන අන්තිම අසුබවාදියි

 

දේශපාලන පොරපිටිය ගිනියම් කෙරෙන ප්‍රකාශ ඔහුගෙන් වරින්වර පිටවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමටත්, මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමටත් ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකළ ඔහු අද බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරයි. ඒ ඇයි?   


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයද‌ාස රාජපක්ෂ මහතා සමග මේ කතාබහ ඒ සම්බන්ධයෙනි.   


ප්‍රශ්නය :- පාස්කු කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් විවිධ මත පළවෙනවා. ඔබ මොකද කියන්නේ? වාර්තාව සම්පූර්ණ ද අසම්පූර්ණද?   


ඇත්තටම අපි රටක් විදියට කනගාටු වෙන්න ඕනා. පාස්කු ප්‍රහාරය නමැති සංවිධානාත්මකව එල්ල කරපු ත්‍රස්තවාදී ක්‍රියාව ඇත්තටම කවුද කළේ. මේකේ යට ඉන්නේ කවුද කියන එක හොයාගන්න අපේ පොලිසියට සතියක කාලයක් වැඩියි. අපේ පොලිසිය කරපු අනෙකුත් පරීක්ෂණ එක්ක බලනකොට මේක හොයන්න සතියක කාලයක් වැඩි වුණත් ඒක කරන්න එද‌ා ආණ්ඩුව ඉඩ දුන්නේ නෑ.   


ප්‍රශ්නය :- ඇයි ඒ?   


ඒකට හේතු දෙකක් තිබුණා. එක තමයි පොලිසියේ ඉහළින්ම තිබුණ නොසැලකිල්ල. පොලිස්පතිගේ ඉඳලා තොරතුරු ඕනෑතරම් තිබියදී සීයට සීයක්ම වළක්වාගන්න, ප්‍රහාරයක් වළක්වා නොගත්ත එකට පොලිසියේ ඉහළින්ම මේ පරීක්ෂණ අඩපණ කළා. ඒකට විශාල හයියක් දුන්නා ආණ්ඩුව. පොලිසියට රාජකාරි කරන්න ඉඩ නොදී පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් ද‌ාලා ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන්නා. රැකවරණ දුන්න ඔක්කොම අයට දේශපාලන නායකයන්ට චරිත සහතික දෙන්න තමයි ඒක කළේ. ඒ නිසා හිටපු ජනාධිපතිතුමත් ඒක ටිකක් අවුල් කරගත්ත මළල්ගොඩ කොමිටිය ද‌ාලා. ඒකෙන් වැඩක් නෑ කියලා පෙනුනාට පස්සේ ජනාධිපති කොමිසමක් දැම්මා.   


ප්‍රශ්නය :- ඔබ කියන්නේ ජනාධිපති කොමිසමෙනුත් වැඩක් නෑ කියලද?   


ඒක දැමීමේ වරදක් නැහැ. ජනාධිපති කොමිසම පුළුල් විෂය පථයකට තමයි දැම්මේ. ඒකේ අරමුණු ගොඩාක් තියෙනවා. මේකේ ඉතිහාසය මොකක්ද? අයි මෙහෙම දෙයක් වුණේ? මේකට සම්බන්ධ අය කවුද? මේ වගේ දෙයක් අනාගතේ වළක්වාගන්න දෙන්න පුළුවන් නිර්​දේශ. ඒක හොඳයි. හැබැයි පොලිසියට ඔය එකක්වත් වැඩක් නෑ. පොලිසියට මේ වාර්තා මොකටද? පොලිසියට තියෙන්නේ කවුද මේවා කළේ? කවුද අනුබල දුන්නේ? කවුද ත්‍රස්තවාදීන් ආරක්ෂා කළේ කියන ඒවා හොයලා ඒ අයට නඩු ද‌ාන්නයි තියෙන්නේ. ඒක සතියකින් කරන්න පුළුවන් වැඩක්.   


ප්‍රශ්නය :- අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ ලංකාවේ පිරිස් ගැන ඔබ තමයි පාර්ලිමේන්තුවේදී පළමු වරට අනාවරණය කළේ. ඔබට ඒ තොරතුරු ලැබුණේ කොහෙන්ද?   


ඒ තොරතුරු ලැබුණු හැටි ගැන මම පැය අටක සාක්කියක් දුන්නා ජනාධිපති කොමිසමට.   


ප්‍රශ්නය :- පාර්ලිමේන්තුවේදී ඔබ කළ අනාවරණයෙන් ප්‍රයෝජනයක් වුණාද?   


අනාවරණය කිරීමේ වැදගත්කම කියන්නේ දැන් මේ වාර්තාවෙන් කියලා තියෙනවනේ ඒ ආණ්ඩුව අවුරුදු දෙකයි මාස පහක් තිස්සේ පණිවිඩකරුවා මැරුවා, අපරාධකරුවන්ට සහාය දුන්නා කියලා. එතකොට අඩුගානේ රට දන්නව ආණ්ඩුව මේක හිතාමතාම වෙන්න ඇරපු එකක්, පොලිසියේ ලොක්කෝ හිතාමතා වෙන්න ඇරපු එකක් කියලා මේ රටේ ජනතාව දන්නවා. මම පාර්ලිමේන්තුවේදී ඒ ප්‍රකාශය කළේ ඊට එහා ගිය පරමාර්ථයකින්.   


ප්‍රශ්නය :-මගේ ප්‍රශ්නය වුණෙත් මොකක්ද ඒ පරමාර්ථය කියන එකයි?   


පරමාර්ථ දෙකක් තිබුණා. එකක් තමයි ආණ්ඩුවේ නායකයන්ට කිව්වට තේරුම් ගන්න මොළයක් නැති නිසා. බුද්ධියක් නැති නිසා හා ත්‍රස්තවාදීන්ට විරුද්ධව කතා කරන්න භය නිසා මේ රටේ මේ වගේ දෙයක් ඇතිවීම වළක්වාගන්න ජනතාව දැනුවත් කිරීමෙන් පුළුවන් කියලා මම හිතුවා. අනතුරක් කල් ඇතිව දැනුවත් කිරීම දේශපාලනඥයන්ගේ වගකීමක්. ඒ අරමුණෙන් තමයි මම ඒ ප්‍රකාශය කළේ.   


ප්‍රශ්නය :- නමුත් ඒ අනතුරු ඇඟවීම ආණ්ඩුව ගණන් ගත්තේ නෑ?   


ගණන් ගත්තේ නෑ විතරක් නොවෙයි. ඒ නිසාම තමයි මාව ආණ්ඩුවෙන් එළියට දැම්මේ. මුස්ලිම් මන්ත්‍රීවරු දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ අගමැතිට බලපෑම් කළා ‘මේ අධිකරණ ඇමැති තියා ගත්තොත් අපට මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න බෑ. ඊළඟ ඡන්දෙදි මුස්ලිම් ජනතාවගේ ඡන්ද ලැබෙන්නේ නෑ, මෙයාව අයින් කරන්න’ කියලා. ඔබ දන්නවා, මුළු රටම දන්නවා රනිල් වික්‍රමසිංහ කියන චරිතය සද‌ාකාලිකවම එයාට බහුතරය ලොකුයි රටට වැඩිය කියලා. ජනතාවට වඩා බහුතරය තමයි එයාට ලොකු. ඒ නිසා ඒ කල්ලියට යටවෙලා ඔහු මාව ඉවත් කරන්න පියවර ගත්තා. ඔහුට ඒක ක්ෂණිකව කරන්න ක්‍රමයක් නෑ. මොකද එහෙම කළොත් ප්‍රශ්න රටට හෙළි වෙනවා. ඒ නිසා ටිකක් කල් මරලා මාස 8ක් විතර ගියාට පස්සේ ඒ තව මොකක් හරි සිද්ධියක් හොයාගන්න. මම හම්බන්තොට වරාය විකිණීමට විරුද්ධව ඔබේ පත්තරයට සම්මුඛ සාකච්ඡාවක් දුන්නාම ඒක පදනම් කරගෙන මාව එළියට දැම්මා.   


ප්‍රශ්නය :- නමුත් ඔබව එළියට ද‌ාන්න ඇවන්ගාඩ් එකත් එක්ක තිබුණ සම්බන්ධතාත් හේතුවුණා?   


ඔව්. මම දැක්කා මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියලා තිබුණා ආණ්ඩුව යෝජනාවක් සම්මත කරගත්තා මම ඇවන්ගාඩ් එකත් එක්ක සම්බන්ධයි, ඒ නිසා මාව එළියට ද‌ාන්න’ කියලා. එහෙම යෝජනාවක් සම්මත වුණා නම් මාව එළියට ද‌ාන්න ඕනැ 2015 මාර්තු මාසයේදිනේ.   


ඇයි 2018 අගෝස්තු වෙනකම් තියාගෙන හිටියේ? මාව එළියට දැම්මා කියලා එහෙනම් ඇවන්ගාඩ් සිද්ධියට ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්න එපැයි. එහෙම ගත්තද? මම හොඳ නෑනේ. මම විපක්ෂය රකිනවනේ. එහෙම නම් මාව එළියට දැම්මට පස්සේ ගෝඨාභයව අත්අඩංගුවට ගන්න පුළුවන් වෙන්න එපැයි. අනිත් එක රටේ අධිකරණ ඇමැතිට තියෙන බලය මොකක්ද? මිනිහෙක්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි තව මිනිහෙක්ව අත්අඩංගුවට ගන්න නියෝග කරන්නයි.   


ප්‍රශ්නය :-කොහොම වුණත් ඔබ යහපාලන ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන රාජපක්ෂවරුන් ආරක්ෂා කළා?   


රාජපක්ෂවරු ආරක්ෂා කළේ නෑ. මම කළේ ඒ කියන සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නෑ කියන එක පෙන්වා දීමයි. ඒකට හේතුව ඔය ඇවන්ගාඩ් ප්‍රශ්නයට ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න ගියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙයි. මොකක්ද ගෝඨාභය කරපු ත්‍රස්තවාදය? අනිත් එක පුපුරණ ද්‍රව්‍ය ආඥ‌ා පනත යටතෙත් ගෝඨාභය රාජපක්ෂව ගන්න හිටියේ. එහෙම ගන්නේ කොහොමද? ඒ පුපුරණ ද්‍රව්‍ය ඔක්කොම නාවික හමුද‌ාව බාරයෙ තිබුණේ. මම පෙන්වලා දුන්නේ ඒ කාරණා. ඉතින් මාව එළියට ද‌ාලත් යහපාලන ආණ්ඩුව තව අවුරුදු දෙක හමාරක් තිබුණානේ. ඉතින් ඒ කාලය තුළ ගන්න තිබුණනේ. මම වැරැදියි නම් 2018 දී ආපහු මට වැඳලා ආරාධනා කරලා ඇමැතිකම් ගන්න කිව්වේ. උසස් අධ්‍යාපන ඇමැතිකමයි සංස්කෘතික ඇමැතිකමයි රනිල්මනේ මට අඬගහලා කිව්වේ. ජනාධිපතිත් කිව්වා මේවා බාර ගන්න කියලා. මම වැරැදියි නම් කොහොමද ලජ්ජා නැතිව ආපහු ඇතුළට ගන්නේ. ආණ්ඩුව වැරැද්දක් කළා කියලා පිළිඅරගෙන තමයි මට ආරාධනා කළේ. ‘විසඳ‌ාගන්න බැරි ප්‍රශ්න තියෙනවා, සයිටම් ප්‍රශ්න තියෙනවා, පුරාවිද්‍යා ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ ඇමැතිකම් බාර ගන්න’ කියලා මට යාඥ‌ා කළා. ඒ නිසා මම ඒ ඇමැතිකම් බාරගත්තා. ඒ වගේම මම ඒක හරියටම කළා.  


ප්‍රශ්නය :- ඔබ ඒ කාලයේ රාජපක්ෂවරු ගැන කතා කළාද?  


නෑ නෑ රාජපක්ෂවරු ගැන කතා කළේ නෑ. මම කතා කළේ ඇවන්ගාඩ් එකට අද‌ාළව ගෝඨාභය ගැන විතරයි. එහෙම නම් මම නාමල් අත්අඩංගුවට ගන්න එකට විරුද්ධ වුණාද? මම බැසිල් අත්අඩංගුවට ගන්න එකට විරුද්ධ වුණාද? යෝෂිතව අත්අඩංගුවට ගන්නකොට මම විරුද්ධ වුණාද? ඔය කට්ටියම ගන්නකොට මම විරුද්ධ වුණාද? මේකෙදි විරුද්ධ වීම නොවෙයි, කැබිනට් එකේදී අධිකරණ ඇමැතිවරයා හැටියට නීතිය පිළිබඳ මගේ තියෙන පරිණත බව ජනාධිපතියි අගමැතියි දන්න නිසා මගෙන් ඇහුවා. මම සාමාන්‍යයෙන් අපරාධ නඩුවලට පෙනී ඉන්න නීතිඥයෙක් නොවෙයි. නමුත් ලංකාවේ තිබුණ ලොකුම අපරාධ නඩුවට පෙනී හිටියෙ මම. ඒ තමයි උඩතලවින්න දස පුද්ගල ඝාතන නඩුව. ඒ නිසා අපරාධ නීතිය ගැනයි සිවිල් නීතිය ගැනයි මම හොඳට දන්නවා. කැබිනට් එක මම කරපු ප්‍රකාශය ගැන විශ්වාසය තැබුවා. ඒකට ගෝඨාභයත් එක්ක ප්‍රශ්න තිබුණ ඇමැතිවරුන් දෙතුන් දෙනෙක් කෑගැහුවා.  


ප්‍රශ්නය :-කවුද ඒ ඇමැතිවරු?  


ඒක ඉතින් මුළු රටම දන්නවනේ. අමුතුවෙන් නම් කියන්න අවශ්‍ය නෑනේ.  


ප්‍රශ්නය :- ඔබ බේරාගත්ත ගෝඨාභය රාජපක්ෂ අද රටේ ජනාධිපති. ඔබ නිකම් නිකම් මන්ත්‍රී. ඇයි ගෝඨාභය ඔබ ගැන නොසිතුවේ?  


ඒක ඇත්ත. ඒක වෙස්වළාගත් ආශිර්වාදයක්. ඇමැතිකමක් නොලැබීම ගැන මම අද ගොඩාක් සතුටට පත්වෙලා ඉන්නේ.  


ප්‍රශ්නය :-ඔබත් ගේන්න ද‌ායක වුණු ආණ්ඩුවේ ඇමැතිවරයෙක් නොවීම ගැන ඔබ සතුටුයි?  


අනිවාර්යයෙන්ම ඔව්. ඇත්තටම ගත්තොත් මගේ දේශපාලන ජීවිතයේ ලොකුම සතුට, ලොකුම සංසිද්ධිය වශයෙන් මම සලකන්නේ ඒක.  


ප්‍රශ්නය :- ඒ කියන්නේ මේ වගේ ආණ්ඩුවක ඇමැතිවරයකු වීම ඔබට අගෞරවයක්? 

 
ඇත්ත වශයෙන්ම ඔව්.  


ප්‍රශ්නය :-ඇයි එහෙම? ආණ්ඩුවේ ගමන ඒ තරම්ම නරකයි?  


ඒතරම්ම නරකයි. ආණ්ඩුවේ ගමන අන්තිම අසුබවාදියි.  


ප්‍රශ්නය :- ඔබට එහෙම හිතෙන්නේ?  


අපට ඡන්දය දුන් ජනතාවගෙන් සියයට 95 ක්ම අපට දැන් විරුද්ධයි. මට නොවෙයි ආණ්ඩුවට විරුද්ධයි.  


ප්‍රශ්නය :- ඉතාම කෙටි කාලයකින් ඇයි ආණ්ඩුවට මෙහෙම වුණේ?  


ඒක ඉතින් ජනාධිපතිතුමාගෙන් තමයි අහන්න ඕන.  


ප්‍රශ්නය :- මට එක කාරණයක් කියන්න?  


ඒකට ගොඩාක් කාරණා තියෙනවා. ඒවා ඔක්කොම විග්‍රහ කිරීමේ අවශ්‍යතාවක් මට නෑ. මූලික වශයෙන් ජනතාව බලාපොරොත්තු වුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී වගේ නොවෙයි ගෝඨාභය රාජපක්ෂ එන්නේ ලොකු වියත් මගක් එක්ක. උගතුන් බුද්ධිමතුන් පිරිවරාගෙන එන්නේ. හොඳ උගත් බුද්ධිමත් කැබිනට් එකක් ද‌ාලා රටේ ලොකු වෙනසක් කරලා ‘සිස්ටම් චේන්ජ්’ එකක් කරලා මේ රටේ දැවැන්ත ආර්ථික සංවර්ධනයක්, රාජ්‍ය ප්‍රතිපත්තියක්, දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි කියලා. නමුත් අපට ඡන්දය දුන්න ජනතාව ඉන්නේ බොහොම අතෘප්තියෙන්.  


ප්‍රශ්නය :- ඔබ කියන්නේ හොරු කණ්ඩායමක් ආණ්ඩුව අතට අරගෙන කියලද?  


ඒක ඔබ කැමැති විදියට අර්ථනිරූපණය කරගන්න.  


ප්‍රශ්නය :- ඒ කියන්නේ මම කියන එක හරි?  


ඒක ඔබේ කැමැත්තක්. මට කියන්න තියෙන්නේ ජනතාව ඉතාම බරපතළ විදියට අතෘප්තියට පත්වෙලා ඉන්නේ.  


ප්‍රශ්නය :-ජනාධිපතිවරයා පක්ෂයේ නායකයා නොවීම මේ ප්‍රශ්නයට හේතුවක් නොවේද?  


ඒක යම් බලපෑමක් වෙන්න පුළුවන්. හැබැයි ජනාධිපති කෙනෙකුට ජනාධිපති වුණාට පස්සේ පෞරුෂයක් තියෙනවා නම් ඕනෑම බාධකයක් යටපත් කරගෙන යන්න පුළුවන්. ඒකට දේශපාලන පෞරුෂයක් හා පරිණත බවක් තිබිය යුතුයි.  


ප්‍රශ්නය :-ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දේශපාලන පෞරුෂයක් හා පරිණත බවක් නෑ කියල ද ඔබ කියන්නේ?  


මම උත්තර දුන්නේ ඔබ අහපු ප්‍රශ්නයටයි.  


ප්‍රශ්නය :-ඔබ දැන් හිතනවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න ගත්ත තීරණයක් වැරැදියි කියලා.  


ඒ ගැන මම දුක්වෙන්නේ නෑ. එවකට තිබුණ ලොකුම අවශ්‍යතාව අපේ රටේ ඉන්න ලෝකයේම ඉන්න ලොකුම වෙන්දේසිකාරයා වෙච්ච රනිල් වික්‍රමසිංහ පන්නා ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණේ අපට. ඒ ආණ්ඩුව තව අවුරුද්දක් තිබුණා නම් අපට රටක් නැතිවෙන බව අපි දැනගෙන හිටියනේ. ඉතින් ඒ නිසා ඒ වෙලාවේ ගතයුතු හොඳම තීන්දුව හැටියට තමයි මම ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මම සහයෝගය දුන්නේ. 

 
ප්‍රශ්නය :-ඔබට ඇමැතිකමක් නොදුන්නේ ඇයි? පළමුවරට පාර්ලිමේන්තුවට ආපු අයටත් ඇමැතිකම් ලැබුණා?  


මම ඒ ගැන හොයන්නේ නෑ. මට කැබිනට් ඇමැතිකමක් නොලැබුණාට මට ඊට වඩා දහගුණයක් වැඩ තියෙනවා කරන්න. මට කැබිනට් ඇමැතිකම නොලැබුණාට මේක ආත්ම වර්ණනාවක් කර ගැනීමක් කියලා ඕනෑනම් කෙනෙක් හිතුවට කමකුත් නෑ. මට කැබිනට් ඇමැතිකමක් නොලැබීමෙන් මට පාඩුවක් නෑ. රටටනේ පාඩුව තියෙන්නේ. රටට වග කියන නායකයෝ තමයි ඒකට වගකියන්න ඕනෑ. මම නොවෙයි.  


ප්‍රශ්නය :-මම දෙවැනි පාර එන්නේ නෑ’ කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිව්වා කියලා ප්‍රචාරයක් යනවා?  


ඒක ගැන මට අදහසක් ප්‍රකාශ කරන්න බෑ. ඒක එතුමගේ කැමැත්තනේ.  


ප්‍රශ්නය :- ඔබ ආණ්ඩුවේ සාමාජිකයෙක්. ඔබ ඉන්න තැනකදී ජනාධිපතිවරයා එහෙම කිව්වද?  


මම හිටපු තැනකදීනම් කියලා නෑ. මට එහෙම හමුවෙන්නෙත් නෑ. මේ ආණ්ඩුවේ මට කිසිම වගකීමක් නෑ. අඩුතරමින් පාර්ලිමේන්තුවේ කාරක සභාවකටවත් මම නෑ. මට තියෙන්නේ පාර්ලිමේන්තුවේදී කතාවක් කර සහභාගි වීම පමණයි. ඒ නිසා ආණ්ඩුව මොනවද කරන්නේ කියලා මම දන්නේ නෑ.  


ප්‍රශ්නය :- ඊළඟ ජනාධිපතිවරණයට සුළු ජාතික ඡන්ද දිනාගන්න පුළුවන් නායකයෙක් හොයාගන්නා කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කළාලු. ඒ නායකයා බැසිල් රාජපක්ෂ කියලා සමහරු කියනවා. ඔබට ඒ ගැන අවබෝධයක් ඇති?  


ඔව් මට අවබෝධයක් තියෙනවා. නමුත් මම කැමැති නෑ ඒ ගැන කතා කරන්න. මේක ඒකට සුදුසු වෙලාව නෙවෙයි කියලත් හිතනවා.  


ප්‍රශ්නය :- ඒ සුදුසු වෙලාව කවද‌ා එයිද?  


තාම කියන්න බෑ. ආපු වෙලාවට මම කියන්නම්.  


ප්‍රශ්නය :-ඔබ කිසියම් භයකින්ද ඉන්නේ?   

කාටද?  


ප්‍රශ්නය :- භයවෙන්න ඕනැ අයට?  


මම මේ රටේ මහසෝන් යකාටවත් බය නැති කෙනෙක්. එහෙම කෙනෙකුට පාර්ලිමේන්තුවේ ඉන්නේ මම විතරයි. ඔය ඉන්න හැම ජනාධිපති කෙනෙක්ම මාත් එක්ක හැප්පුණා. හැපිලා මොකද වුණේ? කළුගලේ ඔළුව ගහගත්තා කියලා ඒ ජනාධිපතිවරුන්ට හිතෙන්න ඇති. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මගෙත් එක්ක හැපිලා කෝප් එක විසුරුවා හැරියා. මම හින්ද‌ා පාර්ලිමේන්තුව සති දෙකකට කල් තිබ්බා කෝප් කමිටුවේ මගේ සභාපතිකම නැති කරන්න. මොනවද වුණේ අන්තිමට? අනික් පැත්තෙන් රනිල් මගෙත් එක්ක හැප්පුණා. රනිල්ට මාව අස්කරන්න තිබුණේ කැබිනට් එක ද‌ාලා දෙවැනි සතියේ. අර්ජුන් මහේන්ද්‍රන් ගේනකොටත් මම විරුද්ධ වුණානේ. ඇයි එද‌ා මාව අස්කළේ නැත්තේ? මම කවද‌ාවත් නායකයන්ට කත් ඇදලත් නෑ. කත් අදින්නෙත් නෑ. ඕනෑම නායකයෙක් මට හතුරු වුණාට කමක් නෑ. මම කාටවත් හතුරුකම් කරන්නේ නෑ. හතුරෙක් වුණත් හොඳ දෙයක් කළොත් මම අගය කරනවා ප්‍රසිද්ධියේ. ඕනෑම නායකයෙක් රටට එරෙහිව වැඩක් කළොත් මම ඒකට විරුද්ධ වෙනවා.  


ප්‍රශ්නය :- මේ ආණ්ඩුවත් එක්ක ඔබට තියෙන ප්‍රශ්නය මොකක්ද?  


මට පෞද්ගලික ප්‍රශ්න නෑ. ඔය කවුරු මට හතුරුකම් කළත් මට ප්‍රශ්නයක් නෑ. මහින්ද රාජපක්ෂගේ කාලේ මගේ මේ ගෙට වෙඩිත් තිබ්බනේ. පාර්ලිමේන්තුවට මම යන එක වළක්වන්න එස්ටීඑෆ් එකේ අසූගානක් මගේ ගේ වටකරගෙන හිටියනේ. මම කෝප් වාර්තාව හදලා නඩු කියලා රක්ෂණ සංස්ථාව ආණ්ඩුවට අරන් දුන්නම මාව පිළිගන්න රක්ෂණ සංස්ථාව උත්සවයක් සංවිධානය කළාම මට රක්ෂණ සංස්ථා භූමියට ඇතුල්වෙන එක තහනම් කළානේ. ඒවා වුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙනේ. මට ඒවා ප්‍රශ්න නොවෙයි. ඒවා මට පෞද්ගලික කරපු දේවල්නේ. හැබැයි ඒ ගොල්ලෝ හොඳ දෙයක් කළා. යුද්ධය දිනුවා. මම ඒක හොඳයි කියලා කියනවා. දූෂණයට ඉඩ දුන්නාම මම ඒක හෙළා දකිනවා. දූෂිතයෝ වටේ තියාගෙන ඉන්නව නම් මම ඒක හෙළා දකිනවා. 

 
ප්‍රශ්නය :- ඔබ දැන් ඉන්නේ මොන පක්ෂයේද කියලා හිතාගන්න බැරි තරමට ඔබ පක්ෂ මාරු කරනවා?  


මම කවද‌ාවත් ඔබ දන්නවා විපක්ෂයට තමයි මම ගිහින් තියෙන්නේ. බලය තියෙන තැන ඉඳලා බලය නැති තැනට තමයි මම ගිහින් තියෙන්නේ. ඒ නිසා මගේ පක්ෂය විජයද‌ාස රාජපක්ෂ පක්ෂය විතරයි. මට එහෙම දේශපාලන න්‍යාය පත්‍ර නෑ. ඕනෑම ජගතෙක් රටට එරෙහි නම් මම එයාට එරෙහියි. එච්චරයි. මට ඇමැතිකම් කියන ඒවා ශතපහක් වටින්නේ නෑ. හැබැයි ඔය ඇමැතිලවත්, ජනාධිපතිලවත් නොකරපු දේවල් මම කරලා තියෙනවා. මේ රටේ මොන ජනාධිපති ද මොන අගමැති ද කෝටි තිස්හතළිස්ද‌ාහක් රටට ඉතිරි කරලා දුන්නේ. එද‌ා මම ඇමැතිකම් මන්ත්‍රීකම් තිබිලද සීටීබී එකට නඩු කියලා බේරා ගත්තේ. අද ඒවා කෝටිවලින් ගත්තොත් කෝටි ලක්ෂ දෙකකට වඩා වැඩි නැද්ද? මට මරණීය තර්ජන තියෙද්දිනේ රක්ෂණ සංස්ථාව, ඇපලෝ රෝහල, වරායෙ ඉඩම් ටික බේරා ගන්න කෝප් වාර්තාව ලිව්වේ. මම ඒක ලිව්ව නිසානේ පාර්ලිමේන්තුව සති දෙකකට විසුරුවා හැරල මාව ඒ සභාපතිකමෙන් නෙරපුවේ. ඒක නිසා නොවෙයි ද යූඑන්පියේ 18 ක් ඇවිත් ආණ්ඩුවේ ඇමැතිකම් ගත්තේ. දැන් රටේ හොරු ඉන්නවා කියලා හෙළිදරව් වීම නිසා හොරුන්ට ලොකු වාසනාවක් පෑදුණානේ ඇමැතිලා වෙන්න. ඒක ලීඩ් කළේ මිලින්ද මොරගොඩනේ. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නනේ මිලින්ද මොරගොඩ පී.බී. ජයසුන්දර මේකට වගකියන්න ඕනෑ කියලා. ලක්ෂ පහක් වන්දි ගෙවන්න කිව්වනේ. එතකොට හොරකම් හොයපු කෙනාට නේද මේ රටේ දඬුවම් කරලා තියෙන්නේ.  


ප්‍රශ්නය :-ඇමැති විමල් වීරවංශට එරෙහිව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් නැගී සිටියා කියනවා. මෙහෙම කතා කරලා ඔබට එරෙහිවත් නැගී සිටියි?  


මට එරෙහිව ඔක්කොම එකට. මුළු ආණ්ඩුවම එරෙහිව නැගිටලා තියෙනවනේ. මහින්ද රාජපක්ෂගේ මුළු ආණ්ඩුවම මට එරෙහිව නැගී හිටියනේ. රනිල් වික්‍රමසිංහගේ මුළු ආණ්ඩුවම මට එරෙහිව නැගී හිටියනේ. ඉතින් ඒගොල්ලන්ට හොඳයි නම් එහෙම නැගීහිටින්න කියන්න.  


ප්‍රශ්නය :- ඔබ ඉන්නේ කලකිරීමෙන්?  


නෑ. මම මොකටද කලකිරෙන්නේ? මට දේශපාලනය ගැන කලකිරීමක් නෑ. නමුත් ​දේශපාලන හොරු ගැන කලකිරීමක් තියෙනවා.  


ප්‍රශ්නය :-ඔබ කිසියම් දේශපාලන කරණමක් ගහන්න වගෙයි හදන්නේ?  


ඒක ඉතින් මට ඕනෑ වෙලාවක, හිතුන වෙලාවක මම තීන්දු ගන්නවනේ. මම තීන්දු ගන්න භය මිනිහෙක් නොවෙයිනේ. මම යකාට භය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැනේ.  


ප්‍රශ්නය :- ඔබත් ගිරුවාපත්තුවේ. ඒ වගේම රාජපක්ෂ කෙනෙක්?  


මම ගිරුවාපත්තුවේ කිව්වට ඒකෙත් එහා කෙළවරේනේ.  


ප්‍රශ්නය :-ඒ කියන්නේ රාජපක්ෂවරුන්ටත් එහා?  


ඔව්. එහා කෙළවරේනේ. ඒ නිසා මම භය නෑ.

  
ප්‍රශ්නය :- ඔබ අභියෝගයක් වශයෙන් දකින්නේ කාවද?  


මට කාගෙන්වත් අභියෝගයක් නෑ. මට අවශ්‍ය වෙලාවට මම ප්‍රතිපත්තිමය තීන්දු ගන්නවා. මම කාටවත් බයත් නෑ. යටත් නෑ. 

 

 සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්