ආර්ථික ඝාතන චෝදනා ආවේ ඉතිහාසයේ පළමු වතාවටයි


සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ  

ලක්ෂ්මන් කිරිඇල්ල 

 

 

රටේ අලුත් දේශපාලන පෙළ ගැසීම් සහ විපක්ෂයේ කාර්ය භාරය සම්බන්ධයෙන් විමසමින් සමගි ජනබලවේගය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය- රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පස්සේ රටේ ස්ථාවරත්වයක් ඇතිවෙලා කියලා ඔබ පිළිගන්නව ද?   


පිළිතුර- මේ ආර්ථික අර්බුදයේ වගකීම එතුමාට නොවෙයිනේ. එතුමාට ලැබුණු අවස්ථාවෙන් රටට යමක් කරන්න ලොකු උත්සාහයක් ගත්ත බව පේනවා.   


ප්‍රශ්නය-  ඒ මහන්සියට සහයෝගයක් දෙන්න බලාපොරොත්තුවක් නැද්ද?   


පිළිතුර- රට ගොඩගන්නවට අපි කැමැතියි. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. කවුරු ආණ්ඩු කළත් රට තියෙන්න එපැයි. මෙතැන වෙලා තියෙන්නේ අපි ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලනවා. ජාත්‍යන්තරය හැමදාම කියන්නේ මේ රට ගොඩ ගන්නනම් මේ රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙන්න ඕනෑ. ආර්ථික ප්‍රතිසංස්කරණ වෙන්න ඕනෑ කියලයි. නමුත් ඒ දෙකම වෙලා නෑ තාම. ජනාධිපතිතුමා අගමැති හැටියට ඉන්න කාලේ මම පාර්ලිමේන්තුවේ දී ඇහුවා මේ ගැන. 

 

ප්‍රශ්නය-  ඇත්තටම රටේ පෝලිම් ටික අවසන් කිරීම නේද මූලිකම අවශ්‍යතාව වෙලා තිබුණේ. ඔය ඔබ කියන ප්‍රතිසංස්කරණවලට යන්න තරම් පරිසරයක් රටේ තිබුණේ නෑ.   


පිළිතුර- මෙහෙමයි. එයට සමාන්තරව මේකත් යා යුතුයි. ආර්ථික අර්බුදයෙ උච්ඡ අවස්ථාවේ හැමෝම කිව්වේ කෙටි කාලයකට අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න කැබිනට් එක 15 කට විතර සීමා කරන්න. එහෙම කරලා මාස හයක් හරි අවුරුද්දක් වගේ කාලයක් හරි ඇතුළත මැතිවරණයක් කියන්න කියලයි ඔක්කෝමලා කිව්වේ. ජාත්‍යන්තර ප්‍රජාව, ආගමික නායකයන් විපක්ෂය ඔක්කොම කිව්වේ ඒ කතාව. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මැයි 11 වැනිදා කිව්වනේ ‘මම විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේනවා කියලා. නමුත් බලාපොරොත්තු වෙච්ච දේශපාලන ප්‍රතිසංස්කරණ වෙලා නෑ. කල් මරණ එක තමයි කරන්නේ. අනිත් එක ආර්ථික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තරයට වෙලා තියෙන ණය කන්දරාව ගෙවන්න නම් ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කරන්න එපැයි. ඒවා ඔක්කොම අහසේ තියෙන්නේ. පොළොවේ නෑ. 

 
ප්‍රශ්නය- ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී ආර්ථික ඝාතකයන් ගැන කතා වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය ?   


පිළිතුර- ආර්ථික අපරාධ සම්බන්ධයෙන් මෙහෙම චෝදනා එල්ල වෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටනේ. මානව හිමිකම් කොමිසමෙන් මීට පෙර ඉදිරිපත් කළේ මානව හිමිකම් ප්‍රශ්න ගැනනේ. අත්අඩංගුවට ගැනීම්, පැහැර ගැනීම්, දීර්ඝ කාලීනව රඳවා ගැනීම්, සුදු වෑන් ඕවනේ ප්‍රශ්න හැටියට තිබුණේ. පළමු වතාවට අාර්ථික අපරාධ ගැන චෝදනා එල්ල වෙනවා. වර්තමාන ආණ්ඩුව ජනතාවට ආර්ථික අපරාධ කරලා කියලා චෝදනා නැගෙනවා. ඒක අපේ රටට විශාල අපකීර්තියක්නේ 1948 සිට අපේ රටේ ආණ්ඩු ගණනාවක් තිබුණා. ඒ එකම ආණ්ඩුවක්වත් රට බංකොළොත් කළේ නෑනේ. මේ ආණ්ඩුවට අපි රට බාරදෙන කොට ඇමෙරිකන් ඩොලර් මිලියන 7800ක් බාරදීලනේ ගියේ. ඒක බිංදුවටම බැස්සෙව්වනේ. අප මේ ආර්ථික අර්බුදය විසඳා ගන්න ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලනකොට අපේ රටේ ආණ්ඩු ආර්ථිකය ඝාතනය කරනවා කියලා කියනකොට අපට උදව් ලැබේ ද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ආණ්ඩුව ගැන විශ්වාසයක් නැත්නම් ආණ්ඩුව ආර්ථික අපරාධ කරනවා නම් අපට සහයෝගය දේවි ද? මුදල් දෙන්නේ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරල තියෙන විදියට අපට ජාත්‍යන්තර උදව් හිතන තරම් පහසුවෙන් හම්බ වෙන්නේ නෑ.   


ප්‍රශ්නය-  ඔබ මේ ප්‍රශ්නයට විසඳුම හැටියට ඉදිරිපත් කරන්නේ ?   


පිළිතුර- ජාත්‍යන්තරය ආගමික නායකත්වය විපක්ෂය මේ හැමෝම කිව්වේ ආර්ථික ප්‍රතිසංස්කරණ පටන් ගන්න ඕනෑ දේශපාලන ප්‍රතිසංස්කරණ පටන් ගන්න ඕනෑ කෙටි කාලයකට සියලු දෙනා එකතුවෙලා. ආණ්ඩුවක් පිහිටුවන්න ඕනෑ. ඊට පස්සෙ මාස හයකින් අවුරුද්දකින් මැතිවරණයකට යාම ඔන්න ඕවා. 

 
ප්‍රශ්නය- අන්තර්කාලීන ආණ්ඩුවකට දැන් ඉඩක් නෑ කියලා පේනවා.   


පිළිතුර- ඔව්! ආණ්ඩුව මේ ජාතික අර්බුදය සම්පූර්ණයෙන්ම අමතක කරලා දේශපාලනයනේ කරන්නේ. රාජ්‍ය ඇමතිවරුන්ම 38 දෙනෙක් පත් කළා. දැනට ඔය ඉන්න ඇමැති මණ්ඩලය රාජ්‍ය ඇමැතිවරු නඩත්තු කරන්න යනවා මිලියන දාහකට වඩා ඊට වැඩි මිසක් අඩු වෙන්නේ නෑ.   


ප්‍රශ්නය- රාජ්‍ය යාන්ත්‍රණය දුවවන්නත් මැති ඇමැතිවරුන් අවශ්‍යයි.   


පිළිතුර- මැති ඇමැතිවරු අවශ්‍යයි. ඒ ගැන තර්කයක් නෑ. නමුත් මෙච්චර විශාල පිරිසක් අවශ්‍ය නෑනේ. අපි කියන්නේ කැබිනට් එකට පහළොවක් පත් කරන්න කියලයි. එතකොට රාජ්‍ය ඇමැතිවරු පහළොවයි. ඒක හොඳටම ඇති. අනිත් එක ආණ්ඩුව දේශපාලනය කරන්නේ. ඒක ඉතාම පැහැදිලියි. කමිටු පත්කර කර යනවා. සංස්ථා සභාපතිවරුන් පත් කරනවා. හොඳම උදාහරණය තමයි අරගලයේ උච්ඡතම අවස්ථාවේ කෝප් සහ කෝපා කමිටුවල සභාපතිකම විපක්ෂයට දෙනවා කියලා කතානායකතුමා පොරොන්දු වුණා. ඒක ලියැවිලා තියෙනවා. පාර්ලිමේන්තුවේදීත් ඒ පොරොන්දුව දුන්නා. ඒත් ඊට පස්සේ තිබුණ පක්ෂ නායක රැස්වීමේ දී කියනවා ඒවා දෙන්න බෑ කියලා. ඇත්ත වශයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය අනික් රටවල පාර්ලිමේන්තුවල වැඩ කරන හැටි දන්නේ නැහැනේ. ඉගෙන ගන්න ඕනෑකමකුත් නෑ. මම කතානායකතුමාට කීප සැරයක්ම කියලා තියෙනවා. අඇමෙරිකාවේ යුරෝපයේ ජපානයේ ඉන්දියාවේ මේ වගේ දියුණු රටවල ආණ්ඩුවත් රට පාලනය කරනවනේ. පාර්ලිමේන්තුවෙ තියෙන අධීක්ෂණ කාරක සභාවල ප්‍රධානත්වය දෙන්නේ විපක්ෂයට. ඒකට හේතුවක් තියෙනවා. විපක්ෂය ආණ්ඩුව කරන දේ ආංශික අධීක්ෂණ කමිටුවල ඉඳන් උකුසු ඇසෙන් බලාගෙන ඉන්නවා. අපේ විපක්ෂයට මුදල් කාරක සභාවේ ප්‍රධානත්වය ලැබුණහම අපි රටට කියනවා, රට බංකොලොත් වේගෙන යන්නේ කියලා. මේකට ඉක්මන් තීරණ ගන්න කියලා අපි කියනවනේ. නමුත් ආණ්ඩුවේ කෙනෙක් දාගෙන ඔක්කොම වැහුවා රට බංකොලොත් වෙනකම් පාර්ලිමේන්තුවේ ඉන්න අපිවත් දන්නේ නැහැනේ.   


ප්‍රශ්නය-  කෝප් කෝපා කමිටුවල සභාපතීත්වය ඔබ විපක්ෂයට ඉල්ලනවා. යහපාලන ආණ්ඩුව කාලේ කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති. ඒ කාලේ ජවිපෙ ආණ්ඩුවට සහාය දෙමින් හිටියේ.   


පිළිතුර- නෑ. නෑ ජනතා විමුක්ති පෙරමුණ ඍජුව සහයෝගය දුන්නේ නෑනේ. ඍජු කොටස්කාරයෙක් නොවෙයිනේ. හඳුන්නෙත්ති හිටිය නිසානේ බැඳුම්කර වංචාවෙ ඔක්කොම එළියට ආවේ. අපේ එක්සත් ජාතික පක්ෂයෙ කෙනෙක් කෝප් සභාපති වුණා නම් ඕවා එළියට එන්නේ නෑනේ. හඳුන්නෙත්ති හිටිය නිසා තමයි ඒවා එළියට ආවේ. හඳුන්නෙත්ති විතරක් නොවෙයි 2002දිත් කෝප් කමිටුවේ සභාපතිකම ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේට දුන්නා. ඒක තමයි හරි ක්‍රමය. මගෙත් එක්ක ඉතාලියේ ඇමැතිවරයෙක් කිව්වා මගේ පාර්ලිමේන්තු ජීවිතයෙ අමාරුම දවස තමයි මට අධීක්ෂණ කාරක සභාවට එන්න කියන දවස කියලා. මොකද එයා ඇමැති කෙනෙක් වුණත් විපක්ෂය එයාගෙන් ප්‍රශ්න කරනවා. හොඳම උදාහරණය තමයි මුදල් කාරක සභාව අපට දුන්නා නම් අපි කියනවා රට බංකොලොත් වේගෙන යන්නේ කියලා. අපි දන්නෙත් නෑ මහ බැංකුව ඇවිත් මුළු රටම ඇන්ඳුවා. ආණ්ඩුව කිව්වනේ ඕනෑ තරම් මුදල් තියෙනවා කියලා. තියෙන ණය ගෙවනවා විතරක් නොවෙයි ආපහු ණය ගන්නෙත් නෑ කිව්වා. එදා මහ බැංකුවේ අධිපති ඇවිත් බොහොම උජාරුවට කිව්වනේ ‘ටෙන් මිලියන් ඩොලර් විතරයි බැංකුවේ තිබ්බේ’ කියලා. මුදල් පිළිබඳ වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවට ඒත් අපි දන්නේ නෑ. ඒ ගානට මහ බැංකුව හිස් වුණේ මුදල් අමාත්‍යාංශයෙ වැඩ නිසා.   


ප්‍රශ්නය-  ඔබ චෝදනා කළා ‘ආණ්ඩුව දේශපාලනය කරනවා’ කියලා. විපක්ෂය කරන්නෙත් ඒකමයි කියලා මම කිව්වොත්?   


පිළිතුර- විපක්ෂ නායකතුමා බොහොම පැහැදිලිව කිව්වා අපි ඇමැතිකම් ගන්නේ නෑ. ආංශික අධීක්ෂණ කමිටුවලදි අවශ්‍ය සහයෝගය දෙනවා කියලා. නමුත් කෝප් එකයි කෝපා එකයි අපට දෙනවා කියලා දැන් දෙන්න බෑ කියනවා. එතකොට ඔයාට හිතෙන්නේ නැද්ද? ආණ්ඩුව දේශපාලනය කරන්නේ කියලා. කෝප් එකයි කෝපා එකයි අපට තිබ්බා නම් සීනි වංචාව මේ වගේ දේවල් එළියට එනවනේ. ගෑස් වංචාව, ගල් අඟුරු වංචා මේවා එළියට එනවනේ.   


ප්‍රශ්නය-  පාර්ලිමේන්තුවේ ජාතික සභාව පිහිටුවනවා. ඔබලාගේ දායකත්වය කෙබඳුද?   


පිළිතුර- අපිනම් බලාපොරොත්තු වුණේ ජාතික සභාවක් හදලා එකඟතාවක් ඇති කරගන්න. නමුත් මේ ගොල්ලෝ හිතාමතාම ජාතික සභාව ගේන එක පරක්කු කළා. අපි සැලසුම් කරලා තිබ්බේ ජාතික සභාව හදනවා නම් අපි ඒකට කරන පළමුවැනි යෝජනාව තමයි ඇමැති ධුර සංඛ්‍යාව 15ක් කිරීම. අපි යෝජනා කරන්න හිටියෙ ඒක. නමුත් මේ අය ජාතික සභාව හදන එක මාස දෙකක් පරක්කු කරලා ඇමැතිවරුන් පත් කළා හොරෙන්. ජාතික සභාව පිහිටුවන්නේ ප්‍රශ්න විසඳීමේ අවංක අරමුණෙන් ද එහෙම නැත්නම් කල් මරන්න ද කියලා ප්‍රශ්න කරන්න වෙලා තියෙනවා. අපේ රට ගොඩගන්න පුළුවන් අලුත් ආණ්ඩුවකට විතරයි. මේ ආණ්ඩුවට ජන වරමක් නෑ. මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා දාලා ගියා. අගමැතිතුමා දාලා ගියා. කැබිනට් එක දාලා ගියා. මේ ගොල්ලෝ තමයි රට බංකොළොත් කළේ. උනුත් එකයි මුනුත් එකයි කිව්වම රට බංකොලොත් වුණේ පහුගිය අවුරුදු තුනේදී හරි. පළමු අයවැයෙන්ම බිලියන 800ක් නැති කරගත්තා. වැට් එක අයින් කරලා. එතැනින් තමයි අර්බුදය පටන් ගත්තේ. උනුත් එකයි මුනුත් එකයි කිව්වට අපි එතැන නෑ. අපට තවම මිනිස්සු ආදරෙයි. අපට ඡන්දය දීපු මිනිස්සු තවමත් අපිත් එක්කම ඉන්නවා.   


ප්‍රශ්නය- විපක්ෂයෙ පක්ෂ කණ්ඩායම් දැන් ගොඩාක් තියෙනවා. ඔවුන් සමග එක සටන් පෙරමුණක් ගොඩනගන්න සූදානම් ද?   


පිළිතුර- අනිවාර්යෙන්ම සමගි ජන බලවේගය බලාපොරොත්තු වෙනවා විපක්ෂයේ සියලු කොටස් විශේෂයෙන්ම ඩලස්, විමල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජවිපෙ මේ ඔක්කොමත් එක්ක එකතුවෙලා පොදු වැඩ පිළිවෙළක් හදන්න. එහෙම එක පෙරමුණක් හදන්න අපි සූදානම්. සජිත් ප්‍රේමදාස නායකතුමත් සූදානම් දැනටමත් ඒකේ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.   


ප්‍රශ්නය- කා එක්ක ද සාකච්ඡා කළේ ?   


පිළිතුර- ඩලස් කණ්ඩායමත් එක්ක අපි සාකච්ඡා කළා. අපි ඔවුන්ට කිව්වා ‘පොදු එකඟතාවකට එමු’ කියලා. ඒ පොදු එකඟතාව අපි හදාගෙන යනවා.   


ප්‍රශ්නය- ඒ වැඩ පිළිවෙළ යන අතරේ සජබෙ මන්ත්‍රීවරුන් දෙන්නෙක් රාජ්‍ය ඇමැතිවරුන් හැටියට දිවුරුම් දුන්නා?   


පිළිතුර- දෙන්නෙක් ගියා ඉතින් එහෙම අය ඉන්නවනේ. මට මතකයි එක කාලයක් එක්සත් ජාතික පක්ෂයෙන් 65ක් දාලා ගියා. ඒ නිසා දෙක ඒ තරම්ම ලොකු ගානක් නොවෙයි.   


ප්‍රශ්නය- ඩයනා ගමගේ ඇතුළු කණ්ඩායමකුත් කලින් ගියා.   


පිළිතුර- එහෙම අවස්ථාවාදීන් ඉන්නවා. අපිට ඒ අවස්ථාවාදීන් නතර කරගන්න බෑ. ඒත් බහුතරය අපිත් එක්ක ඉන්නවනේ.   


ප්‍රශ්නය- සජබෙ ජ්‍යෙෂ්ඨ නායකයන්වන ඔබ රාජිත සේනාරත්න වගේ අය කළකිරීමෙන් ඉන්නේ කියලත් වාර්තා වෙනවා.   


පිළිතුර- නෑ. නෑ. අපේ එහෙම කලකිරීමක් නෑ. විපක්ෂයේ දේශපාලනය අපි සතුටෙන් කරනවා. අපට භයක් නෑ. අපට ජනතාව හමුවෙන්න පුළුවන්. උත්සවවලට යන්න පුළුවන්. අපට කිසිම පීඩනයක් නෑ.   


ප්‍රශ්නය- සමගි ජනතා සන්ධානයට මොකද වුණේ?   


පිළිතුර- ඒක නොනිල වශයෙන් එනවා. අපේ පක්ෂ නායකයන් හමුවෙනවා. අපි නිතරම සාකච්ඡා කරනවා. ඒ සුහදත්වය අපි පවත්වාගෙන යනවා.   


ප්‍රශ්නය-  අරගල බිමෙන් මතුවුණේ අලුත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳ ඉල්ලීම. ඒ ඉල්ලීම ඉටු කරන්න සජබෙ සූදානම් ද?   


පිළිතුර- අරගලය මුලදි පාරිශුද්ධ චේතනාවෙන් කරපු අරගලයක් නේ. ඊට පස්සේ විවිධ කණ්ඩායම් පැනලා ඒක විනාශ කළානේ. අන්තිමට ඒක ප්‍රචණ්ඩත්වයට ඇදී ගියානේ. මේ ප්‍රචණ්ඩකාරීන් අරගලය විනාශ කළා. නමුත් ඒ අරමුණ ඉතා හොඳයි. ඒ අරමුණ ඉටු කරලා රටට අලුත් ජයග්‍රහණ ගෙන ඒමේ හැකියාව තියෙන එකම පක්ෂය අපියි. මැතිවරණයක දී ඒ බව ඔප්පු කරලා පෙන්වන්න අපි සූදානම්.   

 

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්