ආණ්ඩුව ගැන මහජන විශ්වාසය අහිමි වීමෙන් රට අස්ථාවර වෙලා


සර්වජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දිලිත් ජයවීර

රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දිලිත් ජයවීර සමග කළ සාකච්ඡාවකි.

Q රටේ අද දවසේ සිදුවෙමින් පවත්නා දෙය ගැන ඔබේ අදහස?

රටක පැවැත්ම සම්පූර්ණ වශයෙන්ම තීරණය වන්නේ ජනතාව ඉන්නේ කුමන මානසිකත්වයක ද යන්න අනුවයි. රටක තියෙන්නේ සම්පත් දෙවර්ගයයි. ඒ තමයි භෞතික සම්පත හා මානව සම්පත. මානව සම්පත කියන එක උත්ප්‍රේරණය වෙලා අභිප්‍රේරණය වෙලා නැත්නම් ඒ මානව සම්පතින් ලැබිය යුතු දායකත්වය රටට ලැබෙන්නේ නෑ. එතකොට භෞතික සම්පත්වලින් ප්‍රයෝජනයක් ගන්න නම් මානව සම්පතේ දායකත්වය අත්‍යවශ්‍යයි. මැණික් ගලක් උඩට අරන් ඔප මට්ටම් කරනවා වගේ වැඩක් ඒක. මට දැන් තේරෙන දේ තමයි විවිධ හේතුවල සංකලනයක් නිසා අදාළ රටේ මිනිස්සු ඉන්නෙ වික්ෂිප්ත තත්ත්වයක.

Q එහෙම වෙන්න හේතුව.

හේතුව තමයි රටේ ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරත්වය. ඒක බරපතළ විදිහට බලපාලා තියෙනවා. ඒකටත් හේතුව තමයි විශ්වාසය බිඳවැටීම. ඕනෑම මානව ගනුදෙනුවක දී පදනම තමයි විශ්වාසය. විශ්වාසය බිඳවැටුණු තත්ත්වයක් තුළ ඒ කියන්නේ ආණ්ඩුව ගැන  විශ්වාසයක් ඇති වෙන්නේ ප්‍රශ්නකාරී ආකල්පයක්. ආණ්ඩුව මොනවා ඇවිල්ලා කිව්වත් ජනතාව විශ්වාස කරන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. ඒක බරපතළ විදියට බලපාලා තියෙනවා. ඒක මුළු සමාජයෙන්ම පේන්න තියෙනවා. ඉතිරි සියල්ලම අපි සාකච්ඡා කරන්න ඕනෑ මෙන්න මේ පසුබිමේ ඉඳගෙන. ස්ථාවර විශ්වාසවන්ත රජයක් තියන එක අත්‍යවශ්‍යම සාධකය. ඒක අද ගිලිහී යමින් තියෙනවා.

Q විපක්ෂයේ මන්ත්‍රීවරයකු හැටියට එහෙම කියනවා හැරෙන්න ඔබට වෙන කියන්න දෙයකුත් නෑ?

ඔබ මෙහෙම බලන්න. මේ රජය බලයට පත්වෙන්න කලින් දේශපාලන වේදිකාවේ කතා කරපු දෙයයි අද කතා කරන දේ අතරෙයි තියෙන වෙනස පෙන්වන්න ජනතාව සමාජ මාධ්‍යයේ දානවා. එදා කියපු දෙයයි, අද කියන දෙයයි. හැමදාමත් මේවා තුන හතරක් සමාජ මාධ්‍යයට එකතු වෙනවා. එහෙම වුණාම වෙන්නේ එන්න එන්නම මේ විශ්වාසය නැතිවීම. සෑම ක්ෂේත්‍රයකම මේ අවිනිශ්චිත භාවය පේන්න තියෙනවා. ඒ අවිනිශ්චිත භාවයේ ප්‍රතිඵලයක් හැටියට තමයි රට ගැන මිනිසුන්ට විශ්වාසයක් නැතිවීම. තාරුණ්‍යය කොහොමහරි රට යන්න බලනවා. ලංකාවේ ඉන්න දේශීය ආයෝජකයෝ මේ රටට අනාගතයක් නැති නිසා වෙන රටකට ගිහින් ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන හරි ඒ තමන් ළඟ තිබෙන මුදල් ඒ රටවල්වල ආයෝජනය කරනවා. මේ වගේ රටක් ඉස්සරහට යන්න විදිහක් නෑ. විදේශ ආයෝජන පැත්තකින් තියන්නකෝ. දේශීය ආයෝජකයාට විශ්වාසක් ඇතිව කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනෑනේ. එහෙම එකක් නෑ. ලංකාවේ කොළඹ කේන්ද්‍රීය ව්‍යාපාරිකයන් ගත්තොත් ඉතාම සීමිත පිරිසකටයි ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය පමණක් තියෙන්නේ. බහුතරයකට තව කොහේ හරි රටක පුරවැසිභාවයක් තියෙනවා. බැරිම නම් ඩුබායි හරි යනවා.

Q මන්ත්‍රීකම නැත්නම් ඔබත් ද්විත්ව පුරවැසියෙක්.

නෑ නෑ මට නෑ. මම අවසාන මොහොත දක්වාම මේ රට ගැන විශ්වාසය තියෙන පුද්ගලයෙක්. ඒක නිසා තමයි මම ඔක්කොම පැත්තකින් තියලා දේශපාලනයට ආවේ. මට විශ්වාසයක් තියෙනවා කවද හරි දවසක මේක නිවැරැදි කරන්න පුළුවන් වෙයි කියලා. අන්න ඒ කවදා හරි දවස ඉක්මන් කරගැනීම තමයි අපේ උත්සාහය.

Q පැරණි මජර දේශපාලන සංස්කෘතිය බොහෝ ලක්ෂණ දැන් අඩුයි. එහෙම තිබියදීත් ඔය ඔබ කියන විශ්වාසය බිඳ වැටෙන්න හේතුව ?

ප්‍රධාන වශයෙන්ම ඔය ඔබ කියන අදහසම වැරැදියි. ඇත්තටම එහෙම මජර සංස්කෘතියක් තිබුණා කියලා අපි පිළිගන්න ඕනෑනේ. නමුත් අදූෂිත බව කියන සංකල්පය මතම රජයකට දුවන්න බෑ. අද ආණ්ඩුවට චෝදනා එල්ල වෙමින් පවතිනවා. තීරණාත්මක චෝදනා ගණනාවක් තියෙනවා. නමුත් අපි ඒක පැත්තකින් තියලා කතා කරමු. යම්කිසි රටක් අදූෂිත වීමෙන් පමණක් ඒකෙන් කියැවෙන්නේ නෑ අපි ධන නිෂ්පාදනයක් කරනවා කියලා. රටක වෙන්න ඕනෑ ධන නිෂ්පාදනයක්. එහෙම ධනය නිෂ්පාදනය වීමක් මෙතන වෙන්නෙ නෑ කියන එක තමයි මගේ මතය. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් උපාය මාර්ගයක් අපට පේන්න නෑ. එවැනි තත්වයක් තුළ පසුගිය ආණ්ඩුවල වැඩ නිසා අපි විශාල ණය බරකින් ඉන්නවා නම්, ඒ ආණ්ඩු කරපු වැරැදි නිසා ධන නිෂ්පාදනයකට බාධාවක් වෙලා තියෙනවා කියලා උපකල්පනය කළොත් ඒක නිවැරැදි කිරීමේ වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. අදූෂිත බව කියන එක කේන්ද්‍රීය සංකල්පයක් වෙන්න විදියක් නෑ. ඒක අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් ඒ එකම රටක් ඉදිරියට යන්නේ නෑ. ඒක තමයි මගේ මතය.

Q ආණ්ඩුවට ඔබ කියන විදියේ දූෂණ චෝදනා එල්ල වුණත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගැන තැබූ විශ්වාසය බිඳ වැටිලා නෑ කියලා මම යෝජනා කළොත්?

නෑ ඇත්තටම එහෙම මතයක් ඇති කිරීමට උත්සාහ කරනවා. ඒක මං හිතන්නේ ආණ්ඩුවක් හිතාමතාම ඒක කරන්න උත්සාහ කරනවා. ඒකෙන්ම තේරෙනවා අමාත්‍ය මණ්ඩලය, නියෝජ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන්ගේ විවිධ හැසිරීම් ගොන්නක් හේතුවෙලා තියෙනවා. ඔවුන් ගැන තිබූ විශ්වාසය කඩා වැටෙන්න. අනිත් පැත්තෙන් ඔවුන්ගේ හැකියාව පිළිබඳව ජනතා තක්සේරුව ඉතාම පහළ මට්ටමක තියෙන්නේ. නමුත් ජනාධිපතිවරයා ‘‘එහෙම නෙවෙයි’’ කියලා මතයක් හදන්න ඔවුන් උත්සාහ කරනවා. ඒක වැරැදියි. ජනාධිපතිවරයා කියන්නේ සියල්ලටම ඉහළින් ඉන්න විධායක ජනාධිපති. ඔහුට තමයි වගකීම තියෙන්නේ කණ්ඩායම මෙහෙයවීමට. කණ්ඩායම මෙහෙයවීමේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ වගකීමත් ඔහුට එනවා. ඊට අමතරව ජනාධිපතිවරයා කරන ලද ඇතැම් ප්‍රකාශ බොහොමයක් අද සමාජ මාධ්‍යයේ සැරි සරනවා. ඒ වෙන අය කියපුව නෙවෙයි, ඔහුම කියපු ඒවා. මේ කිසිවකින් ජනතා විශ්වාසය ගොඩ නැගෙන්නේ හා ජනාධිපතිවරයා කෙරෙහි ජනතා අවිශ්වාසය කියන ගොඩට ඔහුත් වැටිලා තියෙනවා.

Q මාලිමාවට ආණ්ඩුවක් කරන්න අවස්ථාවක් දීම හොඳයි. නැත්නම් මිනිස්සු හැමදාම හිතන්නේ මේගොල්ලෝ වැඩ්ඩෝ කියලා. සමහරු එහෙමත් කියනවා ?

ඔව්. මම ඔබ කියපු දෙයට තවත් දෙයක් එකතු කරලා සරල උත්තරයක් දෙන්නම්. ඔව්. මාලිමාව බලයට පැමිණීමේ සාධනීය බවක් තියෙනවා. අංක එක තමයි දීර්ඝ කාලයක් මේ රටේ දේශපාලන සංස්කෘතිය ගොඩනැගුණේ අවර ගණයට. ඒක පිළිගන්න ඕනෑ. ඒ දේශපාලන සංස්කෘතිය ඉතා දැඩි ලෙස ජනතා අපවාදයට ලක් වුණා. ඒක අපි පිළිගන්න ඕනෑ. මේ අයට බලය දීමෙන් මෙය නිවැරැදි වුණා කියලා මිනිස්සුන්ට හිතෙන්න එපැයි. මම දේශපාලනයට එන්නෙත් මේ මජර ක්‍රමයෙන් රටට සුගතියක් නෑ. මේක අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනෑ කියලා. දෙවැනි එක ඔය ඔබ කියන එක. ඔව්. කුඩා විපක්ෂයක් වෙලත් අවුරුදු 50ක ඉතිහාසය තුළ රටේ ප්‍රගමනයට ඔවුන් විශාල බාධාවක් වුණා. 71, 87, 89 කැරැලි දෙකට අමතරව ඔවුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරය ඔවුන්ගේ සමස්ත දේශපාලනය ඔවුන් ජනාතව සමග ඇති කරගෙන සම්බන්ධතාව අවභාවිත කිරීම මේ සියල්ල සිද්ධ වුණා. දැන් මිනිස්සු හිතනවා ‘‘අපි ඔවුන්ට බලය දීලා බැලුවේ. දැන් අපට පේනවා ඔවුන්ට කරන්න පුළුවන් අර පරණ වැඩේ මිසක්, ආණ්ඩුවක් කරන එක නෙවෙයි’’ කියලා. ඒක ඉතාම සාධනීයයි. මොකද අවසන් විය යුතු එක ප්‍රශ්නයක් අවසන් වුණා. 

Q නමුත් මේක නිර්ධන පන්තික දේශපාලන ව්‍යාපාරයක්?

ඔව්. එහෙම හිතුවා. නමුත් දැන් ඒ රෙදි ගැලවුණා. තවත් ගොඩක් අය හිතාගෙන හිටියා ‘‘මොවුන්ට තියෙනවා බුද්ධිමය හැකියාවක්. ඒක කවදාවත් රාජ්‍ය පාලනයට ආවේ නෑ. ඒක මේ පාර එයි කියලා. ඒක නිසානේ ඔය ආචාර්යවරු, මහාචාර්යවරු දක්ෂයන් මෙතැන ඉන්නවා කියලා. ඒකත් එසේ නොවන බව ඔප්පු වුණා. ඒකත් ඉතා වැදගත්. ඊළඟට වඩාත් වැදගත්ම දේ තමයි අපි අමතක නොකළ යුතු කාරණය, ඔවුන් ප්‍රතික්ෂේප කරමින් හිටියා යැයි හැමදාම කියපු අර ‘‘අවර ඩීල් දේශපාලනය’’ එය එසේම සිද්ධ වෙන බවත් එහෙමත් නැත්නම් එය තවත් තලයකට ගෙනැවිත් තියලා පැහැදිලි වෙනවා.

Q ඔබ එහෙම කියන්නෙ කොහොමද?

මේ රජයට පැහැදිලි කරන්නට කිසිසේත්ම බැරි කරුණු අතර තියෙනවා, බලයට පැමිණි දවසේ ඉඳලා ඔවුන් මොන වගේ ගනුදෙනු ද පවත්වාගෙන යන්නේ, අතිශයින්ම දක්ෂිණාන්ශික දේශපාලන ව්‍යාපාරයක් වන ඒ දක්ෂිණාංශික දේශපාලනයේ සංකේත බඳු රනිල් වික්‍රමසිංහ මහත්තයා, බැසිල් රාජපක්ෂ මහත්මයා, මලික් සමරවික්‍රම මහත්මයා ආදීන් සමග තියෙන ගනුදෙනු මොනවා ද? ඒවා හොයල බලන්න.

Q ඔබ කරන්නෙ බරපතළ චෝදනාවක්?

නෑ බොහොම සරලයි. බැසිල් රාජපක්ෂ තමයි අරගලය වෙලාවේ මේ රටේ මුදල්  ඇමැතිවරයා. මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ ආයතනවලින් පරිපාලනය නිවැරැදිව කළමනාකරණය නොකළ නිසා අපට ඩොලර් නැති වුණා. ‘‘කපුටු කාක් කාක්’’ කියන කැම්පේන් එක කළේ බැසිල් රාපක්ෂට. ගෙදර යවන්න ඕනෑ හිරේ දාන්න ඕනෑ කියලා කිව්වේ බැසිල් රාජපක්ෂව. මේ රජය බලයට පත්වෙලා අවුරුදු එකහමාරකටත් පස්සේ මේ ආණ්ඩුවේ කිසිම දේශපාලනඥයෙක් කියනවා ඇහිලා තියෙනව ද බැසිල් රාජපක්ෂ කියන නම. මෙතන විශාල සැක සංකා පහළ වෙන්නේ ඩීල් දේශපාලනයක් තියෙනවා කියලා.

Q බැසිල් රාජපක්ෂ ලංකාවේ නෑ?

බැසිල් නොවෙයිනේ. බැසිල්ට වඩා දරුණු පොරොන්දු දුන්නනේ. අර්ජුන් මහේන්ද්‍රන් ගේනවා කිව්වා. නීතිමය පැත්තෙන් ඒකට බාධාවක් තියෙනවා කියලා අපි දන්නවා. රනිල් වික්‍රමසිංහට විරුද්ධවත් නඩු දානවා කිව්වා. එයා නෝනත් එක්කම එංගලන්තයට ගියා. එකම නෙවෙයි, මහ බැංකු බැඳුම්කර චෝදනාව ඔහුට තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අනුර කුමාර දිසානායක මහත්තයත් සංවාදගත වෙලා ආණ්ඩුවක් කළා. ඒ 2015දී ඒ ආණ්ඩුවෙන් තමයි එෆ්.සී.අයි.ඩී. කියන අනීතික ආයතනය හැදුවේ. ඒ ආයතනය හා අල්ලස් හෝ දූෂණ කොමිසමක් යටතේ විශාල නඩු ප්‍රමාණයක් දාලා තිබුණා. ඒ නඩු හැර අලුත් නඩු නෑ. පාර්ලිමේන්තුවට මේ ආණ්ඩුව ගෙනාපු හැම පනත් කෙටුම්පතක්ම රනිල් වික්‍රමසිංහ ගෙනාපුවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා රනිල් ගෙනාවේ. අයි.එම්.එෆ්. එක තනිකරම රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළක්. විදුලිබල මණ්ඩලය කොටස් කර පෞද්ගලීකරණය කිරීමත් රනිල්ගේ එකත් හැර අනුර කුමාර අලුතෙන් ගෙනාව කිසිම දෙයක් නෑ.

Q ඇයි ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම?

ඔව්. ඒ කතුරට අහුවෙන්නේ රනිල් හැර සෙසු අය. මොකද රනිල් එහෙම ගෙදරක හිටියෙ නෑනේ. එහෙම බැලුවම රනිල්ට කිසිම දෙයක් අහිමි වෙලා නෑ. රනිල් වික්‍රමසිංහට නිර්මාණශීලීව ගොනු කරගත් නඩුවක් දැනට පවත්වාගෙන යනවා, අනුර කුමාරට පක්ෂයේ කාඩර්වරුන්ගෙන් එල්ල වෙන  පීඩනය විරෝධය පාලනය කරගන්න. කෝ බටලන්ද වාර්තාව? වෙච්ච දෙයක් නෑ. මේක ඓතිහාසික සරදමක්. ඇත්තම කිව්වොත් පොත රනිල්ගේ පිටකවරය අනුරගේ.

Q ‘‘දිලිත් ජයවීර’’ කියන දේශපාලනඥයා ව්‍යවසායකයා අපට අනාගතයේ දී කවුරු හැටියට දකින්න පුළුවන් වෙයි ද?

අවංකවම කිව්වොත් මේ රටට දීර්ඝ කාලයක් තිස්සේ අහිමි වෙලා තිබුණු තාර්කික වැඩපිළිවෙළ, උපාය මාර්ගික වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා, ඒ වෙනුවෙන් කැපවෙන්න පුළුවන් පුද්ගලයකු ලෙස කිනම් හෝ තනතුරක ඉඳගෙන කටයුතු කරන පුද්ගලයකු ලෙසයි මාව දකින්න පුළුවන් වෙන්නේ.

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්