අපේ වගකීම ඉටු කළා දැන් එයාලගෙ යුතුකම ඉටු කරන්න


අධ්‍යාපන ඇමැති ආචාර්ය

 සුසිල් ප්‍රේමජයන්ත 

  • උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර හදන්නෙ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්. ඒවා බොහොම රහස්‍යයි. ප්‍රශ්න පත්‍රය හදන්නෙ කවුද කියල හෙළිදරව් කරන්න බැහැ. විභාගයේ තිබෙන වටිනාකම රැකෙන්න අවශ්‍යයි. ඒ අය ප්‍රශ්න පත්‍රයත් සමග ලකුණුත් සටහන් කරනවා.

අසාධාරණ බදු අයකර ගැනීමේ ක්‍රමය ලිහිල් කරන තෙක් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ඉවත්ව සිටීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත. මෙම තීරණය නිසා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට පෙනී සිටින ලක්ෂ 10කට ආසන්න දරුවෝ පිරිසක් හා ඔවුන්ගේ දෙමාපියන්ද, සමස්ත රටේ ජනතාවද දැඩි අසීරුවකට පත්වී සිටිති.   

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවල යෙදෙන ලෙසට දෙමාපියන්, සිසු දරුවන්, ගුරු සංගම් හරහාත්, අධ්‍යාපන ඇමැතිවරයා හා විභාග දෙපාර්තමේන්තුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියත් ඔවුහු තවමත් නෑසු කණින් සිටිති. මේ තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යා නොහැකි නිසා අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.   


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් බහුතරයක් ඉටුකර තිබියදීත් තවදුරටත් ඔවුන් විභාග උත්තර පත්‍ර අධීක්ෂණයට සහභාගි නොවීම ජාතික ප්‍රශ්නයක් වී ඇතැයි අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.   


උත්තර පත්‍ර අධීක්ෂණ කටයුතු ප්‍රමාදවීම පිළිබඳව ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග සාකච්ඡා කළෙමි.   


ප්‍ර :උත්තර පත්‍ර සමීක්ෂකවරුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට අප ක්‍රියා කළේ මීට මාස දෙකකට පෙර සිටයි. විභාගය අවසන්වීමට පෙර සිටම ඒ සඳහා පියවර ගත්තා.   
මොනවද ඉල්ලීම් කියන්නෙ.   


පිළිතුර - මුලදි ඉල්ලීම් 4ක් ආවා. බදු ප්‍රතිපත්තිය පිළිබඳ ඉල්ලීමට අපට මැදිහත් විය නොහැකියි. එ්ව මුදල් අමාත්‍යාංශයෙන් කළයුතු දෙයක්. වෘත්තීය සමිති 40ක් ජනාධිපති ලේකම් හා අධ්‍යාපන ලේකම් කීපවතාවක් හමු වුණා. ජුලි මාසයේදී මේ සම්බන්ධයෙන් කතාබහ කිරීමට ඒ අයටත් අවස්ථාව දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. තව මාස 2ක් කල් තියෙනවනේ. මොනව හරි වේවි. සප්ත වාර්ෂික නිවාඩු යන අයට 750,000 කට යටත්ව අදාළ පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. 2021/2022 කොවිඩ් කාලයේදි ශිෂ්‍යත්වවලට රට ගිය අයට ඒක සම්පූර්ණ කර ගැනීමට කාලය ඉල්ලුවා. ඒකටත් අනුමැතිය දුන්නා. එහිදී ජාත්‍යන්තරව සකස් කරන එකඟතා ගිවිසුම්වලට යම් කාලයක් ගත වෙනවා. ඒක දික් කිරීම සම්බන්ධයෙන්ද අවස්ථාව දුන්නා.   


නැවත ඔවුන් ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කළා. එකක් රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට විරුද්ධව පියවර ගන්න කියන ඉල්ලීම. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට මට බලයක් නැහැ. ඒ පත්වීම කළ බලධාරියා ජනාධිපතිවරයා. ඒ අනුව ගතයුතු පියවර සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට යොමුකර තිබෙනවා.   


ඔවුන් ප්‍රකාශ කළ ඊළඟ කරුණ වූයේ, රුපියල් 10,000 ක් ඔවුන්ගේ දීමනාවකින් කැපෙන නිසා ඒක ඉවත් කර දෙන්න කියලා. ඒ ගැන භාණ්ඩාගාරයට යොමුකර තිබෙනවා. ඒක දෙන්න වෙන්නෙ ප්‍රතිපාදන සොයාගෙනයි. වෙනත් අංශවල නිලධාරීන්ට දෙන පර්‌යේෂණ දීමනාව හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනාව අතර නොගැළපීමක් නොවීමට එම දීමනාව සඳහා විකල්ප යෝජනාවක් කරන ලෙසට භාණ්ඩගාරයට කළ ඉල්ලීම අවධානයට යොමුවී තිබෙනවා. අවසාන කරුණ නම් ඔවුන් ලබාගෙන ඇති ණය ගෙවීමට මාස 6ක සහන කාලයක් ලබා දෙන ලෙසට ඉල්ලා තිබෙනවා. ඒක බැංකුවලට කතා කරල, ණය ගත් ආචාර්යවරුන් ඔවුන් ණය ගත් බැංකු ශාඛාවේ කළමනාකරුගෙන් ඉල්ලීම ඉදිරිපත් කළවිට එයට ඉඩකඩ සලසා දෙන බව ගිය බදාදා දැනුම් දුන්නා. 

 
ආචාර්ය මහාචාර්යවරුන්ගේ දරුවන්ට නිසි පාසල් ලැබී නැති බවට ප්‍රකාශයක් කළා. ඒ අය ලබාදුන් ලැයිස්තුවේ සියල්ල ගිය අඟහරුවාදා වෙන විට අවසන් කළා. අපිට ඉදිරිපත් කළ ඉල්ලීම්වලින් රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ඉවත් කිරීමත්, බදු ප්‍රතිපත්තියත් පමණයි ඉතිරි. ඒ කරුණු දෙකටම මට ඉදිරිපත් විය නොහැකියි. ඒ හැර අනිත් සියල්ල ඉටු කරල අවසානයි.   


ප්‍ර :ප්‍රශ්න පත්‍ර බැලීම සඳහා වන දීමනාව වැඩි කිරීමේ ඉල්ලීමක් කළාද?   


පිළිතුර - දීමනා වැඩි කිරීමට ඉල්ලන්නෙත් නැතුවම ගුරුවරුන්ගේ දීමනා වැඩි කළ විට මීට මාස 2කට පෙර කැබිනට් පත්‍රිකාවක් මගින් ඊට සමගාමීව දීමනා වැඩි කළා. රුපියල් 55000 ක් ලැබුන උත්තර පත්‍ර අධීක්ෂණ ප්‍රධාන නිලධාරියාට 1,50,000ක් ලැබෙනවා. සියයට 90 කටත් වඩා වැඩි ප්‍රමාණයකින් විභාග රාජකාරි දීමනා වැඩිකර දීල තියෙනවා. අපි සියල්ල කළා.   


ප්‍ර :මේ අය මස් රාත්තලම ඉල්ලනවාද?   


පිළිතුර - මින් එහාට අපිට කළ හැකි දේ මම දන්නෙ නැහැ. අමාත්‍යාංශ පාලනයෙන් තොර ඉල්ලීම්වලට අදාළ බලධාරීන්ගේ අවධානයට යොමු කරල තියෙනවා.   


ප්‍ර : උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණයට දැන් පාසල් ගුරුවරු සූදානම්. විශ්වවිද්‍යාල ආචාර්යවරු ඒ සඳහා සිටිය යුතුමද?   


පිළිතුර - එතැන තමයි ප්‍රශ්නය. උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර හදන්නෙ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්. ඒවා බොහොම රහස්‍යයි. ප්‍රශ්න පත්‍රය හදන්නෙ කවුද කියල හෙළිදරව් කරන්න බැහැ. විභාගයේ තිබෙන වටිනාකම රැකෙන්න අවශ්‍යයි. ඒ අය ප්‍රශ්න පත්‍රයත් සමග ලකුණුත් සටහන් කරනවා. විභාගය පැවැත්වුණාට පසු සාම්පල් මාර්කින් එකක් කරනවා. ඒක පළමුව කළයුතු වෙනවා. ප්‍රශ්න පත්‍ර සලකුණු කිරීමේදී විෂයට අදාළ ආචාර්යවරු හා මහාචාර්යවරුත් ප්‍රධාන උත්තර පත්‍ර පරීක්ෂක පාලක වශයෙන් දින 20ක් ඒ ඒ ක්‍රියාදාමය සමග එම ස්ථානයේ ඉන්නවා.   


ප්‍ර :වෙන විකල්පයකුත් නැද්ද?   


පිළිතුර - ඛනිජ තෙල් සංස්ථාවෙ සේවකයො වර්ජනය කළාම හමුදාවෙන් දාල තෙල් ගැහුව. මේක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පාසල් ළමුන්ගෙ මතයන් වෙනස් කිරීමේ වැඩ පිළිවෙළක් පවතින බවට ඇතැම් මතධාරීන් පියවර ගනිමින් සිටින බව ගිය සතියේදී බුද්ධි අංශ වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. 1988, 1989 කාලය දැන් බොහොමයක් දෙනාට මතකයේ නැතුව ඇති. මම කොළඹ මහාධිකරණයෙදි අපරාධ නඩු පිළිබඳව කතා කරල තරුණයන් දහස් ගණනක් වෙනුවෙන් පෙනී සිටියා. ඒ දැනට පවතින පනත යටතේ හා හදිසි නීතිය යටතේ. එදත් විශ්වවිද්‍යාලවලින් බැහැරට පාසල් දරුවන් පවා උද්​ඝෝෂණයට පාරට ගෙනාවා. අවසානයේ 60,000 ක් තරුණ ජීවිත රටට අහිමි වුණා. අද අවුරුදු 45ට අඩු කිසිම කෙනෙකුට ඒ ඉතිහාසය මතක නැහැ.   


ලයිට් තිබුණත් ගෙදර ඉටි පන්දම් පත්තු කරගෙන හිටියා. ලයිට් කපල නෙවෙයි. විභාග පැවැත්වීම හා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම වසර දෙක තුනකින් කල් ගියා. අපිට එවැනි යුගයක් පසු කිරීමට සිදුවුණා. සමහර අන්තවාදී දේශපාලන කණ්ඩායම්වලට උත්තර පත්‍ර පමා කිරීමෙන් වයස අවුරුදු 18-20 තරුණයින් දැඩි අසහනයට පත් කිරීමට අවශ්‍යවී තිබෙනවා. ඒ අසහනය ප්‍රයෝජනයට ගෙන තම දේශපාලන මතිමතාන්තරවලට මේ තරුණ පිරිස නැඹුරු කර ගැනීමට උත්සාහ දරන බවට බුද්ධි අංශ වාර්තාකර තිබෙනවා. ගුරු සංගම් මේ වනවිට පිළිතුරු පත්‍ර බැලීමට සූදානම්. උත්තර පත්‍ර පරීක්ෂාවට 19,000 ක පිරිසක් අවශ්‍යයි. ප්‍රායෝගික පරීක්ෂණ දැනටමත් ආරම්භ කර තිබෙනවා. විභාග උත්තර පත්‍ර සමීක්ෂණයට ඇති ප්‍රමාදය අවම කර ගැනීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටිනවා.   


විභාග උත්තර පත්‍ර අධීක්ෂණය ජාතික කර්තව්‍යයක් ලෙස සලකන්න. ප්‍රධාන විභාග දෙකක් තියෙනවා. එකක් සාමාන්‍ය පෙළ, අනික උසස් පෙළ, මෙම විභාග දෙක අතර කාල පරාසයක් අවශ්‍යයි. උසස් පෙළ උත්තර පත්‍ර අධීක්ෂණයට පැනල් 1200ක් තියෙනවා. මේවා ප්‍රමිතියට සිදුවිය යුතුයි. නැතිනම් විභාගය පිළිබඳ විශ්වාසනීය බව ගරුත්වයට හානිවීම වැළැක්වීමට නොහැකි වෙනවා.   


උසස් පෙළ ප්‍රතිඵලවලින් දරුවන්ගේ ජීවිතවල ඉදිරිගමනට පාර කැපෙනවා. මේ තරුණ පිරිස අසහනයට පත් වූ විට, අර කණ්ඩායම්වලට මේ දරුවන් පොලඹවා ගැනීම බොහොම පහසුයි. ඔවුන්ගේ මතවාදයට දරුවො නැඹුරු කර ගන්නවා.   


ප්‍ර :විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ කරන්නෙ දරුවො එතැනට තල්ලු කර දැමීමක්ද?   


පිළිතුර - මා කුමන්ත්‍රණය කියන වචනය පාවිච්චි කරන්නෙ නැහැ. අවසාන ප්‍රතිඵලය බරපතළයි. 88-89 කෙළවර වුණේ විනාශයකින්. මේ වැඩපිළිවෙළ විවිධ අන්තවාදී පිරිස්වලට තෝතැන්නක් වෙනවා. සාමාන්‍ය පෙළට ලක්ෂ 6ක් ඉන්නවා. උසස් පෙළට ලක්ෂ 3 ක්. දරුවො ලක්ෂ 9ක්. අපි මේ සියල්ල කරන්නෙ දරුවො වෙනුවෙන්. ඉල්ලීම් පුළුවන් තරමින් ඉටු කරල තියෙනවා. මේ විභාගයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙ දරුවොත් පෙනී හිටියා. අපේ ටික කරල තියෙන්නෙ. දැන් ඒ අයගෙ යුතුකම ඉටු කරන්න තියෙන්නෙ. 

 
ප්‍ර :උත්තර පත්‍ර ඇගයීම වර්ජනය කිරීමෙන් දරුවො බිල්ලට දෙන්නෙ. මේ ක්‍රමයෙ කිසියම් පැහැදිලි වෙනසක් කළ නොහැකිද?   


පිළිතුර - අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට යන්න වෙනවා. ඒකට තව අවුරුදු හත - අටක් යයි. කේම්බ්‍රිජ්, එඩික්සල් වගේ විභාගවලදි ශිෂ්‍යයො තක්සේරු කරණයේ වෙනසක් තියෙනවා. ඒ වගේ ක්‍රමයක් අවශ්‍යයි. ඒවා කරගෙන එනවිට වෙනසක් වෙනවා. පරිගණකයෙන් දෙන පිළිතුරු ලකුණු කරන්න කවුරුත් අවශ්‍ය නැහැ. ඒ පරිගණකයෙන්ම සිදුවෙනවා. අනිත් ඒවට සමීක්ෂණය අවශ්‍යයි. මුළුමනින් අධ්‍යාපන ක්‍රමයෙ වෙනසක් අවශ්‍යයි. මේ සෙල්ලම රටත් එක්ක කරන දෙයක්. සමහර පුවත්පත් කතුවැකිවල කියල තියෙන දේවලට රෙදි ඇඳගෙන ඉන්න බැහැ. චීනයට යැවිය යුත්තේ රිලව් නොවන බව සඳහන් කර තිබෙනවා. 

 
ප්‍ර :ඔබේ ඉල්ලීම්වලට ඇමති මණ්ඩලයෙන් පූර්ණ සහාය ලැබුණාද?   


පිළිතුර - ඔව්. සියලු ඉල්ලීම්වලට සහාය දුන්නා. දැන් කියන්න තියෙන්නෙ දරුවන්ගෙ නාමයෙන් තමන්ගෙ යුතුකම් ටික ඉටුකරන්න කියලයි.  

 

සටහන
දයාසීලි ලියනගේ