අපි ජාතික වැඩපිළිවෙලකට එකතු වෙන්න ඕනෑ


සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක

මනෝ ගනේෂන් 

 

  • ජාතික ආණ්ඩුව ගැන සජබෙ තුළ විවිධ මත තිබෙනවා
  • අපි කියන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ  පනතත් ගෙදර  යවන්න ඕනෑ කියලයි

 

විපක්ෂය අතහැර ආණ්ඩුවට එක්වන දේපාලනඥයන්ගේ නම් සමාජය පුරා පැතිරෙමින් තිබේ. එසේ පැතිරෙන නම් අතර ඉහළින්ම නම කියැවෙන සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.   

 

?ඔබ කවද ද ආණ්ඩුවට එකතු වෙන්නේ ?


පිළිතුර:- අපි ජාතික වැඩ පිළිවෙළකට එකතු වෙන්න ඕනෑ. ඒක ජනාධිපතිතුමාගේ ආරාධනයක්. ඒ ජාතික වැඩ පිළිවෙළ තුළ ජාතික සභාවක් තියෙනවා. ජාතික ආණ්ඩුවක් තියෙනවා. පාර්ලිමේන්තුව තුළ කමිටු කිහිපයකුත් තියෙනවා. අපි පිළිගන්න යාන්ත්‍රණයකට අපිට එකඟ වෙන්න පුළුවන්.   


?සමගි ජන බලවේගය කියනවා ‘ජාතික ආණ්ඩුවට අපි නෑ’ කියලා ?   


පිළිතුර:- මට සමගි ජන බලවේගය ගැන කතා කරන්න බෑ. සමගි ජන සන්ධානය තියෙනවනේ. ඒක තුළ සජබෙ, අපේ දමිළ ප්‍රගතිශීලී සන්ධානය තියෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තියෙනවා. සමස්ත ලංකා මොක්කල් කොංග්‍රසය තියෙනවා. සමගි ජන බලවේගයේ කොටස්කාරයෝ නොවුණට කුමාර වෙල්ගම මහතාගේ පක්ෂය තියෙනවා. පාඨලී චම්පික රණවක මහතාගේ 43 වැනි සේනාංකය තියෙනවා.   


?චම්පික රණවකත් ජාතික ආණ්ඩුවට එනව ද?   


පිළිතුර:- ඒක අහන්න ඕනෑ එතුමගෙන්. කොහොම වුණත් මම දන්න විදියට සමගි ජන බලවේගය තවමත් අවසන් තීරණයක් අරගෙන නෑ.   


?මෙහෙම ගියොත් සමගි ජන සන්ධනයේ සමගියට මොකද වෙන්නේ?   


පිළිතුර:- මේ සම්බන්ධයෙන් විවිධ මත තියෙනවා. ඒ මත ගැන සාකච්ඡා තවමත් යනවා. ඒකේ ඉන්න මන්ත්‍රීවරුන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කතා කරනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජාතික ආණ්ඩුවට එන්නේ නෑ කියන තීන්දුව අරගෙන තිබුණට ඒක ඇතුළේ කීප දෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කතා කරනවා.   


?ආචාර්ය හර්ෂ සිල්වා හා ඉරාන් වික්‍රමරත්න කෝපා හා කෝප් කමිටුවල සභාපතිවරුන් වෙනවා.   


පිළිතුර:- ඔව්! කබීර් හෂීම් හර්ෂ හා ඉරාන් පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටුවලට පත්වෙලා තියෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් නෑ කියන මතයේ ඔවුන් ඉන්න බව තමයි අපට පෙනී යන්නේ. ඒකේ හංගන්න දෙයක් නෑනේ. ඒක තමයි මම කිව්වේ ජාතික ආණ්ඩුව ගැන සජබෙ තුළ විවිධ මත තියෙනවා. ඒවා ගැන සාකච්ඡා කෙරෙනවා කියලා. අපි මේ සාකච්ඡාව කරන මොහොතේ මේ ගැන සජබෙ තුළ සාකච්ඡාවක් යනවා.   


?සමහර අය නම් කියන්නේ මේ ආණ්ඩුවට ජන වරමක් නෑ. වහාම මැතිවරණයකට යා යුතුයි කියලා?   


පිළිතුර:- සමහර අය නොවෙයි අපිත් කියනවා. සමගි ජන බලවේගය අඩුවැඩි වශයෙන් කියනවා. ජාතික ජන බලවේගය කියනවා. ටී. එන්. ඒ. එක කියනවා. මේ ඔක්කොම කියනවා. අද මේ රටේ පාර්ලිමේන්තුව විකෘතියක්. එළියේ තියෙන ජනමතය නොවෙයි පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නේ. ඒ විකෘතිය හදන්න නම් වහාම මැතිවරණයකට යා යුතුයි. මහ මැතිවරණයට යන වියදම ගත්තොත් මේ විකෘති පාර්ලිමේන්තුව නඩත්තු කරන්න යන වියදමට අඩුයි. මම දන්නවා ඒක. මම වගකීමෙන් කියන්නේ. මැතිවරණයකට ගියොත් ජනමතය නිවැරැදිව පිළිබිඹු වෙයි. රටේ තියෙන ප්‍රධාන පක්ෂය මොකද්ද කියලා හොයා ගන්න පුළුවන්. මම හැමදාමත් කියන්නේ අරගලයේ සහෝදරවරුන්ටත් ඔයගොල්ලන්ගේ අරගලයේ පළමු අදියර ඉවරයි. රාජපක්ෂලා ඉවත් කරලා ඉවරයි. දෙවැනි අදියරේ දී ඔයගොල්ලන්ගේ ව්‍යාපාරය පක්ෂයක් බවට පත් කරගෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරලා පාර්ලිමේන්තුවට එන්න. හැබැයි එන්න ඕනෑ මහජන අනුමැතියෙන්. නිකම් එන්න බෑ. අපිත් නිකම් ඇවිත් නෑ.   

  • කබීර් හෂීම් හර්ෂ හා ඉරාන් පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටුවලට පත්වෙලා තියෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් නෑ කියන මතයේ ඔවුන් ඉන්න බව තමයි අපට පෙනී යන්නේ. ඒකේ හංඟන්න දෙයක් නෑනේ. ඒක තමයි මම කිව්වේ ජාතික ආණ්ඩුව ගැන සජබෙ තුළ විවිධ මත තියෙනවා. ඒවා ගැන සාකච්ඡා කෙරෙනවා කියලා

  • එදා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් අවසර අරගෙන මම ගියේ. රනිල් වික්‍රමසිංහ මට කිව්වේ ‘ඔබ වැඩි වැඩියෙන් දේශපාලනය කතා කරනකොට ඒ අය සන්නද්ධ අරගලයට යන එක අඩුවෙනවා’ කියලා.

 


?ඔය ඔබ කියන මැතිවරණයෙන් අලුත් ආණ්ඩුවක් ආවත් ඉන්නේ පැරැණි ජනාධිපතිවරයාමයි. එතකොට මොකද වෙන්නේ? මොකද වැඩිම විකෘතිය තියෙන්නේ ජනාධිපති ධුරයෙයි.   


පිළිතුර:- නෑ නෑ මෙහෙමනේ. ඔව්! ඔබ කියන විදියට ජනාධිපති ධුරයෙත් විකෘතිය තියෙනවා. පාර්ලිමේන්තුවේත් විකෘතිය තියෙනවා. පාර්ලිමේන්තුවේ විකෘතිය නිසා නේද රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්ද 134ක් ගත්තේ. කෙසේ වුණත් අපි ඉන්න සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා තරග කළේ නෑනේ. ඩලස් අලහප්පෙරුම මහත්තයාව දැම්මා. රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා මොන හේතුවකට හරි ඒ ධුරයෙන් ඉවත් වුණා නම් අලුත් ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවට පත් කරන්න පුළුවන්. ඒක තමයි නීතිය. රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීමේ දේශපාලන ප්‍රශ්න තියෙනවා. නමුත් ඔහුගේ පත්වීම නීත්‍යානුකූලයි. ඒකට කාටවත් අභියෝග කරන්න බෑ.   


?ගෝඨාභය රාජපක්ෂ ළඟදීම ලංකාවට එනවා කියලා’ පුවත් පළවෙනවා.   


පිළිතුර:- ඔව් ඔහුට එන්න පුළුවන්. එහෙම ආවොත් එයාට හිටපු ජනාධිපති හැටියට වරප්‍රසාද තියෙනව. ඒවා දෙන්න ඕනැ. නිවෙසක් මාසික ගෙවීම්, වාහන, ආරක්ෂාව දෙන්න ඕනැ. දැන් මහින්ද රාජපක්ෂ එහෙමනේ ඉන්නේ. චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක එහෙම ඉන්නේ. මෛත්‍රීපාල සිරිසේනත් එහෙමයි. මහින්දත් මෛත්‍රිත් එයට අමතරව පාර්ලිමේන්තු වරප්‍රසාදත් භුක්ති විඳිනවා. ජනාධිපතිවරයාගේ බිරිඳටත් ඒ වරප්‍රසාද ලැබෙනවා. හේමා ප්‍රේමදාස මහත්මියට නිවාස, වාහන ආරක්ෂාව ලබාදීලා තියෙනවා. ඒවා රටේ නීතිය.   


?අරගල බිමෙන් දැඩිව විරෝධය මතු වුණේ ඔය වරප්‍රසාදවලට? 

 
පිළිතුර:- නමුත් ඒක තමයි රටේ නීතිය. මේ නීතිය වැරැදි නම් එන්න පාර්ලිමේන්තුවට. ඇවිත් මේ නීති වෙනස් කරන්න. ඒ නිසයි මම කිව්වෙ රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීමට නීත්‍යානුකූල වලංගු භාවයක් තියෙනවා. අපි කටයුතු කළ යුත්තේ රටේ නීතියට යටත්වයි.   


?ත්‍රස්තවාදයට අනුබලදීමේ චෝදනාව මත තහනමට ලක්වූ සංවිධාන හයක සහ පුද්ගලයන් තුන්සිය ගණනක තහනම අයින් කළා. ඒ ගැන රටේ ලොකු ආන්දෝලනයක් ඇතිවෙලා?   


පිළිතුර:- ආන්දෝලනයක් කළේ කවුද ඒක හැමදාම හැම දේටම විරුද්ධ වෙන විමල් වීරවංශ හා ගුණදාස අමරසේකරයි. වෙන කාගෙවත් විරුද්ධත්වයක් නෑ. අපි කියන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තහනමත් ගෙදර යවන්න ඕනෑ කියලයි. එතැනට අපි ඇවිත් තියෙනවා.   


?ඇයි ඔබ එහෙම කියන්නේ?   


පිළිතුර:- දැන් ත්‍රස්තවාදයක් නෑනේ. කැරැලි තියෙනවා. නමුත් කැරැලියි ත්‍රස්තවාදයයි කියන්නේ දෙකක්. ත්‍රස්තවාදය කියන්නේ භයානක දෙයක්. අවි ආයුධ අරගෙන සංවිධානය වෙලා රජයට විරුද්ධව සටන් කරන එක. අපි එකඟ නෑ ඒකට. අපි රාජ්‍ය ත්‍රස්තවාදයටත් විරුද්ධයි. රාජ්‍ය නොවන ත්‍රස්තවාදයටත් විරුද්ධයි. ප්‍රජාතන්ත්‍රවාදයට තමයි අපි කැමැති. දෙමළ ඩයස්පෝරාවේ අය විශාල පිරිසක් ඉන්නවා. ඇයි ඔවුන් රටින් ගියේ. රට තුළ අසමගිය තිබුණා. ත්‍රස්තවාදය තිබුණා. මිනිස්සු උස්සන් ගියා. මැරුවා. ජාතිවාදී කෝලාහල ඇති වුණා. දැන් ඒ මිනිස්සු කැමැතියි වෙනස් විදියට කල්පනා කරන්න. වෙනස් විදියට බලන්න. වෙනම රටක් කියන සංකල්පයෙන් උතුරේ හා නැගෙනහිර දෙමළ ජනයා ඉවත්වෙලා ඉවරයි. මම වගකීමෙන් කියන්නේ. මම අභියෝග කරනවා විමල් වීරවංශට ගුණදාස අමරසේකරට යමු මාත් එක්ක උතුරට, නැගෙනහිරට, කවුරු හරි එක්කෙනෙක් හරි වෙනම රටක් ගැන කතා කළොත් මට පෙන්වන්න. ඒ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ ගෞරවනීය ජීවිතයක්. ඒ රකම රටක් තුළ එහෙම පරිසරයක් දැන් තියෙන්නේ. රට ගොඩ නගන්න එහෙම හිතන එක හොඳයිනේ.   


?තහනම ඉවත් කළේ දෙමළ ඩයස්පෝරාවෙන් ඩොලර් ගන්න කියලත් කියනවා?   


පිළිතුර:- අපේ රටේ ඩොලර් බිලියන 52ක ණයක් තියෙනවා. හැම මාසෙකම රටේ නඩත්තුවට මිලියන 500ක් අවශ්‍යයි. ආහාරපාන, බෙහෙත්, ඉන්ධන ගන්න වෙන්නේ ඒ මිලියන 500න්. අපි මේ සල්ලි ඇමරිකාවෙන්. අයිඑම්එෆ් එකෙන් ඉල්ලනවා. නමුත් කවුරුවත් දෙන්නේ නෑ. අපට ඉන්න එකම මිත්‍රශීලී රට ඉන්දියාව තමයි. ඒ ඉන්දියාවත් අර චීන නැව හින්දා අනාගෙන තියෙන්නේ. ඒත් ඉන්දියාව අපට හරියට උදව් කළා. දැනට තියෙන එකම මාර්ගය ඩයස්පෝරාව හරහා ලංකාව බේරා ගැනීමේ අරමුදලක් හැදීම. මතක තියාගන්න ඩයස්පෝරාව කියන්නේ දමිළ විතරක් නොවෙයි. සිංහල අයත් ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ වැඩිපුරම ඉන්නේ සිංහල අය. ඉතාලියෙත් එහෙමයි. ප්‍රංශය හා ජපානයෙත් එහෙමයි. ඇමෙරිකාවෙත්, එංගලන්තයෙත් ඉන්නවා. ඩයස්පෝරාව කිව්වම දමිළ විතරයි කියලා මතයක් තියෙනවා. එහෙම නෑ. දමිළ, සිංහල, මුස්ලිම් අයත් ඉන්නවා. මේ ඔක්කොම ශ්‍රී ලාංකිකයන් මම ලෑස්තියි ලෝකයේ රට රටවලට ගිහින් කතා කරන්න. මට දෙමළෙන්, සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්. මම දකුණේ කොළඹ දිස්ත්‍රික්කයෙ මන්ත්‍රීවරයෙක්. දෙමළ මනස සිංහල මනසත් මම දන්නවා. මට ඒ සුදුසුකම තියෙනවා. මට පුළුවන් ඩයස්පෝරාවෙන් අරමුදල් ගේන්න.   

 

මල්ලි! මම එක පාරක් කොටි සංවිධානයෙ මහවිරු සමරුව නොවෙයි දේශපාලන අංශයෙන් පවත්වන පොංගුතමිල් උත්සවයට සහභාගි වුණා. ඒ වගේම දකුණේ තවත් දේශපාලනඥයන් ගිහින් තියෙනවා. මම අර පොංගුතමිල් උත්සවයේදී කියපු එක නොවෙයි සිංහල භාෂාවෙන් පරිවර්තනය කරලා කිව්වේ ‘ඊලාම් වැසියනි’ ආයුධ අතට ගනිල්ලා. හමුදාවට ගහපල්ලා’ කියලා මම කිව්වා කියලනේ කියන්නේ. අයිටීඑන් එකේ සිංහල උපසිරස සමග ගියේ එහෙමනේ. මගේ කතාව තාම යූ ටියුබ් එකේ තියෙනවා. අයිටීඑන් එකේ සමරවික්‍රම කියලා කෙනෙක් තමයි මගේ කතාව පරිවර්තනය කරලා තියෙන්නේ. එයා දැන් ලංකාවේ නෑ. ඒක සම්පූර්ණ වැරැදි වැඩක්. හැබැයි එයා මෝඩයෙක්. ඒ මොකද එයා වැරැදි දේ හරි විදියට කරන්න දන්නේ නෑ.   

 


?ඔබ මේ ගැන ජනාධිපති රනිල් සමඟ කතා කළේ නැද්ද?   


පිළිතුර:- මම තාම කතා කළේ නෑ. ජනාධිපතිතුමාට ලියුමක් යවන්න බලාපොරොත්තු වෙනවා.   


?ඔබ කිව්වා උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනයා වෙනම රාජ්‍යයක් ඉල්ලන්නේ නෑ කියලා. නමුත් ප්‍රභාකරන් ඉන්න කාලෙදී එල්.ටී.ටී.ඊ. වේදිකාවේ ඉඳගෙන ඔබ කිව්වේ ‘ඊලාම් දේශයෙ මාගේ ආදරණීය වැසියනි’ කියලයි.   


පිළිතුර:- මල්ලි! මම එක පාරක් කොටි සංවිධානයෙ මහවිරු සමරුව නොවෙයි දේශපාලන අංශයෙන් පවත්වන පොංගුතමිල් උත්සවයට සහභාගි වුණා. ඒ වගේම දකුණේ තවත් දේශපාලනඥයන් ගිහින් තියෙනවා. මම අර පොංගුතමිල් උත්සවයේදී කියපු එක නොවෙයි සිංහල භාෂාවෙන් පරිවර්තනය කරලා කිව්වේ ‘ඊලාම් වැසියනි’ ආයුධ අතට ගනිල්ලා. හමුදාවට ගහපල්ලා’ කියලා මම කිව්වා කියලනේ කියන්නේ. අයිටීඑන් එකේ සිංහල උපසිරස සමග ගියේ එහෙමනේ. මගේ කතාව තාම යූ ටියුබ් එකේ තියෙනවා. අයිටීඑන් එකේ සමරවික්‍රම කියලා කෙනෙක් තමයි මගේ කතාව පරිවර්තනය කරලා තියෙන්නේ. එයා දැන් ලංකාවේ නෑ. ඒක සම්පූර්ණ වැරැදි වැඩක්. හැබැයි එයා මෝඩයෙක්. ඒ මොකද එයා වැරැදි දේ හරි විදියට කරන්න දන්නේ නෑ.   


?ඔබ එහෙනම් මොකද්ද කිව්වේ?   


පිළිතුර:- මගේ දෙමළ කතාව හරියට අහන්න. මම කිව්වේ එල්ටීටීඊ එක එච්චර බලවත් කාලේ ඒ වේදිකාවේ ඉඳගෙන මම කිව්වේ ඒ වෙනකොට එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් නොවෙයි. සටන් විරාම ගිවිසුම තිබුණා. ඔවුන් රජයත් සමඟ සාකච්ඡා කරනවා. එදා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් අවසර අරගෙන මම ගියේ. රනිල් වික්‍රමසිංහ මට කිව්වේ ‘ඔබ වැඩි වැඩියෙන් දේශපාලනය කතා කරනකොට ඒ අය සන්නද්ධ අරගලයට යන එක අඩුවෙනවා’ කියලා. එතුමා හිටියෙ එහෙම මතයක, මම කිව්වේ මේ රටේ අද සිංහල ජාතියටත් දෙමළ ජාතියටත් එක රටක ජීවත් වෙන්න ප්‍රමාද වෙලා හරි තවමත් ඒකට අවස්ථාව තියෙනවා. දෙමළ ජනතාවට සමානාත්මතාවය නොලැබුණ නිසා තමයි වෙනත් මගක යන්න වුණේ. ඒ පණිවිඩය ලෝකයට දෙන්න තමයි පවත්වන්නේ කියලා. මම හිතුවා ඒ කතාව කරලා කොළඹ එනකොට කැලණි පාලම ළඟදී මල් මාලා දාලා පිළිගනි කියලා. නමුත් වුණේ ම​ගේ කතාව විකෘති කිරීමයි. ඔබේ පත්තරය හරහා මම නොබියව කියනවා මගේ කතාව බොරුනම් මම එක   මොහොතක්  මන්ත්‍රී ධුරයේ ඉන්නේ නෑ. ක්ෂණිකව දේශපාලනයෙන් අයින් වෙන්නම්. මම අභියෝග කරනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මගේ අභියෝගය බාර ගන්න. 

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්