අපි කරන්නේ පුද්ගලයකුට පවුලකට සම්බන්ධ වෙලා කරන දේශපාලනයක් නොවෙයි


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය

චරිත හේරත් 

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මේ සාකච්ඡාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සමගය.   

?පළාත් පාලන ආයතන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල්දමා තිබෙනවා. ආණ්ඩුව මේ මැතිවරණය පැවැත්වීම කඩාකප්පල් කරමින් ඉන්න බවට විපක්ෂය චෝදනා කරනවා. ඒ ගැන දරන අදහස මොකක්ද?   


මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. එක පැත්තකින් මේක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වැඩක්. අනෙක් පැත්තෙන් මේක ව්‍යවස්ථාවට විරුද්ධ වැඩක්. දේශපාලනික හා නෛතික වශයෙන් ඉතාම වැරදි වැඩක් මේ සිදුවෙමින් පවතින්නෙ. පළාත් පාලන ආයතන නිර්මාණය කරන්නෙ මේ රටේ ජනතාවගේ ඡන්ද බලයෙන්. ඒ ආයතනවල බලය අවසන් වෙන දවස ඊට අදාළ අණපනත්වලින් දක්වලා තියෙනවා. පළාත් පාලන ආයතනවල නිල කාලය ඉවර වුණාට පස්සෙ විෂය භාර අමාත්‍යවරයාට තව අවුරුද්දක කාලයක් නිල කාලය දීර්ඝ කරන්න පුළුවන්. ඒ විදියට දික් කරපු කාලයත් දැන් අවසන් වෙලා තියෙන්නෙ. එහෙම තත්ත්වයක් තියෙද්දි මේ ඡන්දය නොතියා ඒවයේ නිල කාලය දීර්ඝ කරන්න පුළුවන් කියලා හිතන දේශපාලනඥයො පිරිසක් තමයි අපි ඉදිරිපිට ඉන්නෙ.   


?ශ්‍රේෂ්ඨාධිකරණය පවා කිව්වෙ මැතිවරණ කොමිෂන් සභාවට බාධාවකින් තොරව මේ මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා. ඒත් රාජ්‍ය ආයතන හරහා ආණ්ඩුව මේ මැතිවරණයට බාධා පමුණුවමින් සිටින බවක් පෙනෙනවා. හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් විදියට ඔබ මේ තත්ත්වය දකින්නෙ කොහොමද?   


මෙතනදි රාජ්‍ය නිලධාරීන් විශාල වගකීමකට බැඳිලා ඉන්නවා. මමත් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක්. රජයේ මුද්‍රණාලය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් මම වැඩ කළා. අපේ කාලයේදී මැතිවරණ 13 ක් විතර පැවැත්වුවා. අපි කවදාවත් මේ ආයතනය දේශපාලනීකරණයට ලක් කළේ නෑ. මැතිවරණ පැවැත්වීමට අදාළ සහයෝගය ලබා දුන්නා. පළවැනි වතාවට තමයි මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති කාලයක රජයේ මුද්‍රණාලයට මුදල් දෙන්නෙ නෑ කියන්නෙ. රජයේ මුද්‍රණාලයාධිපතිනියටත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දෙන්නම දැන ගන්න ඕනෑ ඒ අය ප්‍රධානත්වය දරන ආයතනවලට පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන් කරලා තියෙන්නෙ කියන එක. කැබිනට් මණ්ඩලය විසින් දැන් ඒක නවත්තලා තියෙන්නෙ. ව්‍යවස්ථාදායකය විසින් ගත්ත තීරණයක් විධායකය විසින් ක්‍රියාත්මක වීම අත්හිටුවපු තත්ත්වයක් දැන් තියෙන්නෙ. මේ දෙක අතර මැද සිට තීරණ ගද්දි අදාළ තීරණ ක්‍රියාත්මක කළ නොහැකි හේතු ඒ අය අඩු තරමෙ අධිකරණයටවත් කියන්න ඕනෑ. ආණ්ඩුව කියන බොරුම ඒ අයත් කියන්න නරකයි. මුද්‍රණාලයාධිපතිනිය කියනවා තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න රුපියල් මිලියන 400 ක් විතර අවශ්‍යයි කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. මොකද මුද්‍රණ දෙපාර්තමේන්තුව සතුව අවශ්‍ය සම්පත් තියෙනවා. අවශ්‍ය සේවකයො ඉන්නවා. ඒ සේවකයන්ට ගෙවිය යුතු අතිකාල දීමනා බටා දීමනා ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳන්න ඕනෑ. එහෙම නැතුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න මෙතරම් මුදලක් වැය වෙනවා කියලා මීට කලින් හිටපු කිසිම මුද්‍රණාලයාධිපතිවරයෙක් කියලා නෑ. මේ නිලධාරීන් හොඳට කල්පනාවෙන් වැඩ කරන්න ඕනෑ. මොකද මේ නිලධාරීන් සියලු දෙනා ව්‍යවස්ථාව රකින්න බැඳිලා ඉන්නවා. රජයේ මුද්‍රණාලයාධිපතිනියටත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් ජනාධිපතිවරයා කියනවා කියලා නීතිය කඩ කරන්න බෑ. ජනාධිපතිවරයාට මුක්තියක් තිබුණත් මේ නිලධාරීන්ට මුක්තියක් නෑ.   


?නිලධාරීන් කරපිටින් දාලා ආණ්ඩුව මේ මැතිවරණය කල්දාන උත්සාහයක නිරතව ඉන්නවා කියලද ඔබ කියන්නෙ?   


අනිවාර්යයෙන්ම. ඒක නිලධාරීන් තේරුම් ගත්තෙ නැත්නම් ඒ අය අමාරුවෙ වැටෙනවා. අපේ ආණ්ඩුව කාලෙ තනියෙන් වැරදි තීන්දු ගත්ත නිලධාරීන්ට හිර ගෙවල්වල පවා යන්න වුණා. ඒ නිසා මේ කරන්නෙ මහ භයානක වැඩක්. රටේ ජනමතය එක තැනක. ව්‍යවස්ථාව තව තැනක. විධායකය තමන්ට ඕන විදියට මේ වැඩේ වෙනස් කරන්න හදනවා. ඉගෙන ගත්ත නිලධාරීන් මේ විදියට ගොන් වැඩ කරන්නෙ ඇයිද කියන්න මම දන්නෙ නෑ. 

 
?ආණ්ඩුවේ තර්කය වෙලා තියෙන්නෙ මේ වෙලාවෙ ඡන්දය තියනවට වඩා වැදගත් වෙන්නෙ රට ස්ථාවර කරන එක කියලා. මේ ආණ්ඩුවට රට ගොඩගන්න පුළුවන් කියලා හිතනවද?   


රට ස්ථාවර කරනවා කියන එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම. ඒක කරන්න නම් දේශපාලන ස්ථාවරභාවයක් අවශ්‍යයි. එතකොට මේ ආණ්ඩුව කියන්නෙ රට ස්ථාවර කරන්න නම් දේශපාලන ස්ථාවරත්වය ඕන නෑ කියලද. ඒ නිසා මේ ජනාධිපතිවරයා තේරුම් ගන්න ඕනෑ රට ස්ථාවර කරනවා කියන්නෙ ආර්ථිකය විතරක් ස්ථාවර කරනවා කියන එකට නෙවෙයි. දේශපාලන ස්ථාවරත්වයත් ඇති කළ යුතුයි. මේ කරන්න යන්නෙ ආර්ථික ස්ථාවරත්වය හදන්න දේශපාලනය අස්ථාවර කරන එක. මේක මේ විදියටම ජේ.ආර්. ජයවර්ධන 1982 දී කළා. ඔහු ඡන්ද තියන එක කල්දාලා රට අස්ථාවර කළා. අන්තිමට වුණේ රට ගිනි ගත්ත එක විතරයි. ඒකම තමයි මේ ජනාධිපතිවරයත් කරන්නෙ.   


?මැතිවරණ සිතියම හකුළමින් ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ගිය පාරෙම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයත් ගමන් ගනිමින් සිටින බවද ඔබ කියන්නෙ?   


ජේ.ආර්.ට නම් යම් දේශපාලන පදනමක් සහ ජනමතයක් තිබුණා. ඒත් වර්තමාන ජනාධිපතිවරයාට එහෙම එකක් නෑ. එතුමට පාර්ලිමේන්තුවේ කවුරුවත් නෑ. එතුමට උදව් කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට රටේ ජනමතයක් නෑ. මෙතුමා ජනාධිපති පදවියට පත් වුණේ ජනතා වරමින් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂගෙන් පස්සෙ රටේ ජනමතය තියෙන්නෙ කොහෙද කියලා කවුරුවත් දන්නෙ නෑ. ඒ නිසා ජනාධිපතිවරයාට තමන් කැමති දේවල් කරන්න බෑ. මේ පාර කපමින් ඉන්නෙ භයානක සෙල්ලමකට. මේකෙන් අමාරුවෙ වැටෙන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරක් නෙවෙයි. රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රීය ආකෘතියම අර්බුදයට යනවා. මාර්තු 9 වැනිදා වෙනකන්වත් මේ ආණ්ඩුව අල්ලන් යන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නෑ.   


?13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමග සිංහල බෞද්ධ සමාජයේ කොටස් ඇවිස්සී ඇති බවක් පෙනෙනවා. මේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳන්න 13 ක්‍රියාත්මක කළ යුතුයි කියන මතයෙ ඔබ ඇතුළු මන්ත්‍රී කණ්ඩායමත් ඉන්නවද?   


13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නෙ රටේ සම්මත නීතියක්. ඉන්දියාවේ බලපෑම මත ගෙනාපු සංශෝධනයක් බව කියන කතාවත් ඇත්ත. මේ රටේ ජනවර්ග අතර එකඟතාවක් නැති විශාල ගැටලුවකුත් තියෙනවා. සමහරු හිතනවා මේ සංශෝධනය මගින් ජනවාර්ගික අර්බුදය ඒකීය ආකෘතියක් ඇතුළෙ විසඳන්න පුළුවන් කියලා. ඒ අර්ථයෙන් තමයි මේ දක්වා මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් ආවෙ. මගෙ පෞද්ගලික මතය මේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය නරක එකක් නෙවෙයි කියන එක. ඒත් මේ වෙලාවේ මේ කාරණය මාතෘකාවක් කරගන්නෙ ඡන්දයක් වෙලාවෙ උදලු තල ටකරන් බෙදනවා වගේ වැඩකට. වික්‍රමසිංහ මහත්තයා ඡන්ද කාලෙදි උදලු තල ටකරන් බෙදනවා වගේ බලය බෙදාගෙන යන්න හදනවා. ඒක කරන්න එතුමට කවුරුවත් බලය දීලත් නෑ. හීනෙන් දැක්කා වගේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරලා බලය බෙදනවා කියනවා. මේක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.   


?ඔබලට දිගටම මේ විදියට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් හැටියට පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න පුළුවන්ද?   


දැනටමත් අපි නිදහස ජනතා සභාව කියලා අලුත් දේශපාලන සංවාදයක් ආරම්භ කළා. ඒකෙ දිගුවක් හැටියට හෙලිකොප්ටර් ලකුණින් දේශපාලන පක්ෂයක් ඇවිත් තියෙනවා. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නිදහස ජනතා සභාව මගින් ඇති කළ සංවාදය අපි දිගටම ගෙනි යනවා. අපිට වැදගත් වෙන්නෙ මේ රටේ ජනතාව. පුද්ගලයකුට පවුලකට සම්බන්ධ වෙලා කරන දේශපාලනයක් නෙවෙයි අපි කරන්නෙ.   


?ඔබ කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක්. ඒ කාලයේ රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධානීන් කමිටුව හමුවට කැඳවලා ප්‍රශ්න කරනවා අපි දැක්කා. ඒ කාර්යභාරය ගැන තෘප්තිමත්ද?   


මම ඉතාම තෘප්තිමත්. පහුගිය ආණ්ඩුවේ වැරදි ඒ ආණ්ඩුව පත් කරපු පුද්ගලයන්ගෙ වැරදි ඉස්සෙල්ලාම ඉදිරියට ගෙනාවේ මම කියලා කියන්න පුළුවන්. ආණ්ඩුව ඇතුළෙ ඉද්දිම ආණ්ඩුව කරපු සමහර වැරදිවලට විරුද්ධව මම වැඩ කළා. ඒත් ආණ්ඩුවේ ඇතැම් අය හිතුවෙ කෝප් එක ගේන්න ඕන ආණ්ඩුව රකින්න කියලා. ඒක කරන්න බෑනෙ. ඒ නිසා ඒ අය අන්තිමට මාව පන්නලා දැම්මා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අපි මහන්සි වෙලා හදපු ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවට නායකත්වය දුන් මෝඩ අය ගත්ත තීරණ නිසයි ඒ ආණ්ඩුව වැටුණෙ. සරල උදාහරණයක් කියනවා නම් ඒ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පත් කරපු පදනම මට අදටත් තේරෙන්නෙ නෑ. ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු පත් කළේ එක එක්කෙනාගේ පෞද්ගලික වුවමනාකම් මත මිසක් විෂයට දක්ෂ නිසා නෙවෙයි. අපි රටේ ජනතාවට පොරොන්දු වෙලා ආවේ අමාත්‍ය ධුරවලට විෂය දන්න විශේෂඥයන් පත් කරනවා කියලා. පොහොර සම්බන්ධයෙන් ගත්ත ප්‍රතිපත්තිය වගේ ජනාධිපතිවරයා ගත්ත වැරදි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවලදි අපි කරුණු දැක්වූවා. ඒවා නිවැරදි නොකළොත් අපිට බලයෙන් ඉවත් වෙන්න වෙයි කියලත් අපි පෙන්වා දුන්නා. එතුමා සහ එතුමා වටේ හිටපු අය හිනා වෙලා ඉතාම උද්ධච්ච විදියට හිටියා. අන්තිමට වුණේ ප්‍රතිපත්තිය වෙනස් කරන්න බැරි නිසා ජනාධිපතිකම දාලා ගෙදර යන්න.   


?ඔය සියලු දේවල් අවසානයේ ඔබලට හිතුණෙ නැද්ද වියත් මග හරහා ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න ගත්ත තීරණය වැරදියි කියලා?   


පළවැනි කාරණය තමයි මම වියත් මග සාමාජිකයෙක් නෙවෙයි. වියත් මගේ සාමාජිකත්වයවත් මට දුන්නෙ නෑ. මට කතාවක්වත් දුන්නෙ නෑ. වියත් මග කෙසේවෙතත් අපි හිතුවෙ යම් දුරකට එතුමගේ ප්‍රතිපත්තිමාලාවට ගෝඨාභය රාජපක්ෂ එකඟ වෙයි කියලා. එතුමාගේ ප්‍රතිපත්තිමාලාව හදපු මිනිස්සුන්ට වැඩ කරන්න ඉඩ දෙයි කියලා. නමුත් බලයට පත් වුණාට පස්සෙ එතුමා ඒ ප්‍රතිපත්තිමාලාවයි ඒක හදපු මිනිස්සුන්වයි පැත්තකට දැම්මා. වටේ හිටපු කීප දෙනෙක් අල්ලගෙන අන්තිම මරි මෝඩ කැබිනට් මණ්ඩලයක් පත් කරලා විනාශ වුණා. 

 

 

සාකච්ඡා කළේ 
උපුල් වික්‍රමසිංහ