අගමැතිකම භාර ගන්න ආරාධනා ආවා ඒත් මම කැමති වුණේ නෑ


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති 
පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති,

 මෛත්‍රීපාල සිරිසේන 

  • සියලු දෙනාම ඉල්ලපු නිසයි දහම් පුතාව දැම්මේ මම කිව්වේ මේ ජනාධිපති ධුරයේ ඉන්න තාක් කල් මගේ පවුලේ කෙනෙක් මේ දේශපාලනයට ගේන්නේ නෑ කියලයි
  • අපේ අය ඇමැතිකම් ගත්තෙ ඇමැතිකම්වලට තියෙන පෙරේතකමට​

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු බුරුතු පිටින් ආණ්ඩුවට එකතු වෙමින් සිටිති. පක්ෂයට කුමක් වෙයිද? මේ ඒ ගැන විමසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කළ සාකච්ඡාවකි.   

?රටේ මේ මොහොතේ දේශපාලනය ඔබට දැනෙන්නේ කොහොමද?   


මේ මොහොතේ රටේ දේශපාලන තත්ත්වය මොන විදියට වෙනස් වෙයිද කියලා කියන්න පුළුවන් තැනක නොවෙයි තියෙන්නේ. පාර්ලිමේන්තුව ගත්තාම 225 දෙනා තුළ විවිධාකාරයෙන් බෙදීම් ඇතිවෙලා තියෙනවා. පහුගිය සතිය ගත්තාම අලුත් දේශපාලන පක්ෂ තුනක් හැදිලා තියෙනවා. තවත් අලුත් පක්ෂ කීයක් හැදෙයි ද කියලා කියන්න බෑ. විපක්ෂයෙ වාඩි වෙච්ච ස්වාධීන වෙච්ච මන්ත්‍රීවරුන් 43 ක් ඉන්නවා. ඒ 43 දෙනාත් එක නායකත්වයක් යටතේ නොවෙයි ඉන්නේ. රට දියුණු කරන්නත් අන්තර් ජාතික ප්‍රජාවගේ සහයෝගය ලබා ගන්නත් මූලික දේ තමයි දේශපාලන ස්ථාවරත්වය. ඒක ඇතිකර ගැනීම අවශ්‍යයි. ඒ සඳහා මේ මිනිස්සු විඳින දුක බලලා ජනතාව මේ දුකෙන් මුදවීම තමයි රජය කළ යුත්තේ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ හතු පිපෙන්නා වගේ අලුත් දේශපාලන පක්ෂ බිහිවීම තුළ මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ.   


?ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරනවා. විවිධ හේතු දක්වලා ඔබලා ඒක මග අරිනවා.   


සර්ව පාක්ෂික ආණ්ඩුවක් යෝජනා කළේ මීට අවුරුදු එකහමාරකට ඉස්සර පාර්ලිමේන්තුවේදී මම, ඒ යෝජනාව කළේ කොවිඩ් 19 නිසා බරපතළ විදියට ආර්ථිකය වැටීගෙන යන බව පෙනුණ නිසා. මගේ හිතවත් ආර්ථික විශේෂඥයන් කිව්වා. ‘රට ගොඩගන්න බැරි තරමට වැටීගෙන යන්නේ කියලා. ඒ විදියට සාකච්ඡා කරලා තමයි අපේ පක්ෂය හැටියට අපි තීන්දුවක් ගත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් අපි යෝජනා කරමු කියලා. හිටපු ජනාධිපති ගෝඨාභය මහත්තයට මම ඒ යෝජනාව ඉදිරිපත් කළා. ඊට පස්සෙ ඔබට මතක ඇති සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වූවා. ඒකට ආවේ නැත්තේ එක දේශපාලන පක්ෂයක් පමණයි. අනික් පක්ෂ ඔක්කොම ආවා. ගෝඨාභය මහත්මයා කමිටුවකුත් දැම්මා සියලු දේශපාලන පක්ෂවලින් නියෝජිතයන් අරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සකස් කිරීමට.   


?ඒ කොමිටියට මොකද වුණේ? 

 
ඒ කොමිටිය පත් කරල සතියක් දෙකක් යනකොට තමයි අරගලය ආවේ. ඒ අරගලයේ තත්ත්වයක් එක්ක අපි යෝජනා කරපු වැඩපිළිවෙල එහෙම් පිටින්ම නතර වුණා. එතුමාට රටින් පිටවෙලා යන්න සිදුවුණා. ඒ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති විදියට හිටියා.   


?ඔහු සමඟ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කළේ නැද්ද?   


ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බාර දුන්න යෝජනා මාලාව අපි එතුමාට බාර දුන්නා. ඒ අනුව එතුමා අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා කැඳවලා සාකච්ඡා කළා. අපි කිව්වා ‘රට වැටී තියෙන භයානක තත්ත්වයෙන් ගොඩ ගන්න සර්ව පාක්ෂික ආණ්ඩුවකින් මිසක් බෑ. ඒ නිසා ඒ සඳහා කටයුතු කරමු’ කියලා.   


?ඔහුගේ ප්‍රතිචාරය?   


අපි දැක්කා. ඒ සඳහා එතුමාට වුවමනාවක් තියෙනවා එසේම එය කළ යුතුයි කියන අදහසේ එතුමා ඉන්නවා කියලා.   


?මොකක්ද එහෙනම් තියෙන බාධාව?   


මෙතැන තියෙන ප්‍රශ්නය තමයි පාර්ලිමේන්තුව තුළ තවමත් බහුතරය තියෙන්නේ පොහොට්ටුවට. ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමැතිවරුන් පොහොට්ටුවේ නායකයොත් සර්ව පාක්ෂික ආණ්ඩුවකට කැමැති නැති බව අපට තේරෙනවා කරන ලද සාකච්ඡාවලදී.   


?ඇයි පොහොට්ටුව අකමැති?   


අකමැති වෙන්න හේතුව ඒ අයගේ බලය අඩු වෙනවනේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදුවාම පාර්ලිමේන්තුව තුළ විපක්ෂය සහ ආණ්ඩුව කියලා දෙකක් තියෙන්න බෑ. සියලු දෙනා එක තැනකට ඇවිත් වාඩිවෙලා රට ගොඩගන්න වැඩපිළිවෙළක් හදලා ඒක ක්‍රියාත්මක කරන්න ඕනැ. විශේෂයෙන්ම දූෂණයෙන් වංචාවෙන් තොර වෙන්න ඕනැ. එතකොට අපට අන්තර් ජාතික වශයෙන් බොහෝ ආධාර ලැබෙන බව මම හොඳින්ම දන්නවා. නමුත් පොහොට්ටුවේ අයට ඕනෑ ඇමැති ධුර තමයි. ඒක උඩ අපිට පේනවා සර්ව පාක්ෂික ආණ්ඩු සංකල්පය නොකෙරෙන තැනකට තල්ලු කරලා කියලා.   


?ඔබ හිටපු ජනාධිපති, අගමැති ධුරය හිස්වෙන කොට ඔබට ඒ සඳහා ආරාධනාවක් ආවේ නැද්ද?   


පැහැදිළිවම මට ආරාධනා ආවා. අපේ මන්ත්‍රී කණ්ඩායමත් පක්ෂයත් ඉල්ලා සිටියා අගමැතිකම බාරගන්න කියලා. නමුත් මම කැමැති වුණේ නෑ.   


?ඒ ඇයි?   


මම දන්නවා ඔතැනට ගිහිල්ලා මේ පොහොට්ටු කට්ටියත් එක්ක බෑ කියලා. මට සහයෝගය දෙන්නෙත් නෑ කියලා මම දන්නවා. දැන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඒ ගොල්ලෝ සහයෝගය දෙන්නේ නෑනේ. ඉතින් ඒ නිසා මම ගිහින් නිකම් බෝඩ් එකක් වෙන්න මම කැමැති වුණේ නෑ. අපි ඒ වගේ තනතුරකට යනවා නම් පැහැදිළි වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න ඕනැ. එක එක පක්ෂවලට ඕනැ විදියට වැඩ කරන්න බෑ රට ගොඩ ගැනීමට නම්. ලක්ෂ ගානක් ජනතාව බඩගින්නේ ඉන්නේ. රටේ හැම පුරවැසියම බරපතළ පීඩනයකින් ඉන්නේ. රටේ ඉහළම ධනපති පන්තියටත් මේ ආර්ථික ව්‍යසනය දැනිලා තියෙන්නේ. මේ කාරණා උඩ වැඩ කරන්න දෙන්නේ නැත්නම් මට බාරගන්න බෑ. මගේ දර්ශනය තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඔතැන ඉඩ ලැබෙන්නේ නෑ කියලා මම දන්නවා. අනික දූෂිත පුද්ගලයන්ගෙන් තොර වෙන්න ඕනැ ඇමැති මණ්ඩලය. අද ගත්තාමත් කාටවත් කියන්න බෑ ඇමැති මණ්ඩලයේ ඉන්න අය ඉතාම පිරිසිදුයි කියලා සීයට සීයක්ම ශුද්ධවන්තයෝ කියලා. අද ඇමැති මණ්ඩලයෙත් ඉන්නවා ඉතාම දූෂිත අය. මේ රට ගොඩගන්න එහෙම විහිළු කරලා බෑ. දැඩි තීන්දු තීරණ ගන්න ඕනෑ. ඒ තීන්දු තීරණ ගැනීමේදී පළමුවැනි දේ තමයි දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් අවශ්‍යයි. දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් ඇති කිරීමේදී අපට එයින් ලැබෙන හොඳම ප්‍රතිඵලය තමයි ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය සහයෝගය ලැබීම. ඉතින් මම නම් කොහෙත්ම කැමැති නෑ. අපට නොගැලපෙන මිනිස්සු එක්ක වාඩි වෙන්න. සර්ව පාක්ෂික ආණ්ඩුවට බාධා කිරීම තුළ සිද්ධ වෙන්නේ රට තවත් පහළට වැටීම තමයි.  


?ඔබ කිව්ව අන්ත දූෂිත ඇමැතිවරුන් මේ කැබිනට් එකේ ඉන්නවා කියලා. ඔබේ පක්ෂයේ නිමල් සිරිපාලත් මහින්ද අමරවීරත් මේ කැබිනට් එකේ ඉන්නවා?  


ඔව්. නමුත් ඒ අය අපේ නොවෙයිනේ දැන්. ඒ ගොල්ලන් අයින් කරන්න අපි කටයුතු කරන කොට ඒ අය උසාවි ගිහින් නියෝගයක් ගත්තා. ඒ අයව අස් කරනවට විරුද්ධව. ඒක ගැනත් අපේ මිනිස්සු දන්නවනේ තත්ත්වය කොහොමද කියලා. දැන් ඒගොල්ලෝ අධිකරණයෙ පිහිටෙන් තමයි ඔය තරමින් ඉන්නේ.  


?ඇමැති ධුර බාරගත යුතුයි කියලා පක්ෂය තීරණයක් ගත්තා කියලත් කියනවා?  


අපි කිව්වේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නම් පමණක් ඇමැතිකම් බාරගන්නවා. එහෙම නැතිව කිසිදු තනතුරක් අපි බාරගන්නේ නෑ කියලයි අපි තීන්දු ගත්තේ. අපේ ස්ථාවරය එදත් එහෙමයි. අදත් එහෙමයි.  


?ස්ථාවරය ඒක වුණත් ශ්‍රී ලංකා එකේ මන්ත්‍රීවරුන් බුරුතු පිටින් ගිහින් රාජ්‍ය ඇමැතිකම් ගන්නවා?  


ඔව්. පක්ෂයෙ ස්ථාවරත්වයට එපිටින් ගිහින් එහෙම කරනවා. එහෙම කරන්නේ ඇමැතිකම් වලට තියෙන පෙරේතකම්වලට.  


?ඔබේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය ඔබට අහිමියි. ඔබට ඉන්නේ මන්ත්‍රීවරු දෙතුන් දෙනයි?  


ඔව්.  


?එහෙම වුණේ ඔබ ඒකාධිපතියෙක් නිසා. ඔබ ව්‍යවස්ථාවා සංශෝධනය කරගෙන ඔබ ඒකාධිපතියෙක් වුණා කියලා තමයි ඔවුන් චෝදනා කරන්නේ?  


ඉතින් ඔය ව්‍යවස්ථාව වෙනස් කරන්න කලින්නේ ඔය ගිය අය ගියේ. ඔය ගිය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා තමයි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදි කිව්වේ ‘වචනයේ පරිසමාප්ථයෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක තමයි අපි තනතුරු ගත යුත්තේ’ කියලා. එහෙම කියලා පහුවදාම ගිහින් ඇමැතිකම් ගත්තා.  


?ඔබේ සුප්‍රසිද්ධ ආප්ප කතාව මතක් වුණා?  


ඒකට කමක් නෑ.  


?එහෙම කිව්වේ ඇමැති නිමල් සිරිපාල?  


මම ඉතින් නමින් කතා කරන්නේ නෑ. රටේම මිනිස්සු දන්නවනේ. මම කාගෙවත් නම් පාවිච්චි කරන්න කැමැති නෑ.  


?ඇයි පක්ෂ ව්‍යවස්ථාව සංකෝචනය කරලා අසීමාන්තික බලයක් අතට ගත්තේ?  


ඇත්තෙන්ම ඔතැන දෙපැත්තක් තියෙනවා. සභාපතිවරයාට බලතල ගැනීම වගේම විනය කටයුතු සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාවට බලය පැවරීමක් වෙලා තියෙනවා. ඒක සීයට පනහ පනහ තමයි වෙලා තියෙන්නේ. එහෙම නැතුව බලය සීයට සීයක්ම සභාපතිවරයාට පවරලා නෑ. අලුතෙන් එක්වුණු බලතල විනය කටයුතු සම්බන්ධයෙන්.  


?ඔය කියන මධ්‍යම කාරක සභාවේ බහුතරය ඔබේ හෙන්චයියන් කියලත් කියනවා?  


මොන පිස්සුද? ඕවා මේ දේශපාලන කතානේ. ඕවා දේශපාලන විහිළු කතා. මධ්‍යම කාරක සභාවේ ආචාර්යවරු, මහාචාර්යවරුන් විද්වතුන් රාශියක් ඉන්නවා. ඒගොල්ලෝ මේ කාගෙවත් හෙන්චයියො වෙන්න කැමැති නෑ. එහෙම තමා දේශපාලන ලෝකයේ හැටි. තමන්ගේ වාසියට කතා කරනවා. එහෙම ඒකාධිපති වෙලා පක්ෂයක් ගෙනියන්න බෑ. ඔය සම්මත කරපු විනය නීති බලපාන්නේ පක්ෂයේ විනය කඩපු කඩන අයට විතරයි. පක්ෂ ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කළොත් පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව කටයුතු කළොත්, පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව ගන්නා තීන්දු තීරණවලට විරුද්ධව කටයුතු කළොත් අන්න ඒ අයට තමයි මේ විනය නීති බලපාන්නේ. අපේ ආසන සංවිධායකවරුන් ගත්තාම තිහකට වැඩිය ඉන්නවා නීතිඥයෝ. ඊළඟට උපාධිධාරින් ඉන්නවා 30 ක් 35 ක් විතර. පශ්චාත් උපාධි ගත් අය ඉන්නවා හය හත් දෙනෙක්. අපේ නීතිඥ සංගමය වෙනම තියෙනවා. විද්වතුන්ගේ සංගමය වෙනම තියෙනවා. වෘත්තිය සමිතිවල ඉන්නෙත් අත්දැකීම් තිබෙන උගත් නායකයන්. ලෙස්ලි දේවේන්ද්‍රලා වගේ අය ඉන්නේ. ඒ නිසා ඔය කියන හෙන්චයියෝ නෑ. නමුත් පක්ෂයේ විනය කඩ කළාම ඒ විදියට නිවැරැදි තීන්දු තීරණ නොගත්තොත් ප්‍රශ්නයක්. අපේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කලින් කවුරුහරි පක්ෂයේ විනය කඩ කළාම එයාට තීන්දුව දෙන්න අවුරුදු තුන හතර යනවා. එහෙම ඕනෑ තරම් උදාහරණ තියෙනවා. ඒ නිසා තමයි අපි මේ වගේ තීන්දුවක් ගත්තේ. ලංකාවේ තියෙන දේශපාලන පක්ෂ ගත්තොත් මම ඒකාධිපතියෙක් කියලා කියන කතාවට ඔය අනික් පක්ෂවල තියෙන ව්‍යවස්ථා අරන් බලන්න කොහොමද කියලා. එජාපය, සජබයේ පොහොට්ටුවේ, කොමියුනිස්ට්, සම සමාජ පක්ෂවල ව්‍යවස්ථා අරන් බලන්න. ඒ නිසා මේක මේ මම විතරක් කරපු වෙනසක් නොවෙයි. පක්ෂයත් විනයක් ඇතිව සාමුහිකත්වය තුළ ඉදිරියට යාමට ගත් පියවරක් ඒක.  


?පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පක්ෂයේ බලය අල්ලන කුමන්ත්‍රණයක ඉන්න නිසා ඔබ බලය වැඩි කරගත්තා කියලත් කියනවා?  


නෑ නෑ නෑ. මම සම්පූර්ණයෙන්ම ඒක ප්‍රතික්ෂේප කරනවා.  


?ඔබ ජනාධිපතිවෙලා ඉන්න කාලේ කිව්වා ‘මගේ දරුවන් දේශපාලනයට ගේන්නේ නෑ’ කියලා. නමුත් ඔබේ පුතු දහම් සිරිසේන පොළොන්නරුව බටහිර සංවිධායකයා ලෙස ඔබේ අතින්ම පත්වීම් ලබා ගත්තා. පක්ෂයේ ඔටුන්න හිමි කුමරා දහම්?  


දැන් ඔය මගේ දරුවා ගැන කතා කරන්නේ ඇයි? මම බොහොම පැහැදිලිව කියන්න ඕනැ මේ රටේ ඉතිහාසය ගත්තාම පාර්ලිමේන්තුවේ හිටිය නෝනයි මහත්තයයි දෙන්නම අදත් ඉන්නවා. තාත්තා - පුතාලා රාජපක්ෂ පවුලයි. බණ්ඩාරනායක පවුලයි ගැන මම කියන්නේ නෑ ඒගොල්ලෝ අන්තයටම ගියා. ඒකෙන් තමයි ඒගොල්ලෝ වැනසුණේ. ඒක වෙනම කතාවක්. 47 ඉඳන් මේ දක්වාම ගත්තාම පාර්ලිමේන්තුවෙ ගත්තොත් අයියාගෙන් පස්සෙ මල්ලී ලේලියගෙන් පස්සේ පුතා එහෙම නැත්නම් මහත්තයාගෙන් පස්සේ නෝනා ඇවිත් තියෙනවා.  


?ඔබ මගේ උත්තරය මග අරින්නයි යන්නේ?  


නෑ නෑ ඒ උත්තරය තමයි මේ. මම උදාහරණයක් කියන්නම් 1951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවාම 1952 දී මහ මැතිවරණයක් ආවා. ඒ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනුවේ ආසන 9 යි. එයින් එක ආසනයක් තමයි පො​ෙළාන්නරුව ආසනය. ඒ කාලේ හිටපු දිසාපති සී.පී. ද සිල්වා මැතිතුමා ඒ ආසනය ජයග්‍රහණය කළා. 1960 වෙනකොට පොළොන්නරුව ආසනය පොළොන්නරුවයි මින්නේරියයි කියලා දෙකට කැඩුවා. පොළොන්නරුව ආසනයට දැම්මා සී.පී. ද සිල්වා මැතිතුමාගේ මල්ලී ඒ.පී. ද සිල්වා, මින්නේරිය ආසනයට ගියා සී.පී. ද සිල්වා මැතිතුමා. කාලයක් ගිහිල්ලා ඒ.පී. ද සිල්වා මැතිතුමා අස්වුණා. සී.පී. ද සිල්වා මැතිතුමා අභාවප්‍රාප්ත වුණාම 77 මැතිවරණයට ආවේ ඊළඟ මල්ලී මෙරිල් ද සිල්වා මැතිතුමා. පිලිප් ගුණවර්ධන, කුසුමා ගුණවර්ධන ඔය ඔක්කොම කියන්න පුළුවන්.  


? තවම දහම් ගැන කිව්වේ නෑ?  


මං එන්නම්. එතැන ප්‍රශ්නය තියෙන්නේ ඕක නොවෙයි. දහම් පුතා එන එක පවුල් වාදයක් වත් ඔටුන්න හිමි කුමාරයො හදන එකවත් නෙවෙයි. මේ රටේ ඉතිහාසය ගත්තාම සී.පී. ද සිල්වා මැතිතුමාගේ සහෝදරයො දෙන්නෙක් පාර්ලිමේන්තු ආවා. එදාවත් අදවත් පොළොන්නරුවේ ජනතාව කියන්නේ නෑ ඒ මිනිස්සු දූෂිතයෝ කියලා. ඒක නිසා දූෂණයෙන් තොර පුද්ගලයෝ වැඩ කරනවා නම් ඔය කියන හොරකම් දූෂණ නැතිව. ප්‍රශ්නයක් නෑ. ඔය පවුල්වාදය කියන එක ඇවිත් තියෙන්නේ වටේම බලය අතට අරගෙන එතැනින් ​හොරකම් දූෂණ වෙච්ච නිසයි. මගේ  පොළොන්නරුව ආසනයේ මගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ක්‍රියාකාරීන් කැඳවලා මම කිව්වා ‘මේ ආසනවලට අලුත්    අය පත් කරන්න ඕනෑ. ඔයගොල්ලන්ගේ අදහස් මොනවද කියලා?  


?ඔවුන් ඉල්ලුවා දහම්ව?  


නෑ ඔවුන් ඔක්කොම එක හඬින් කිව්වේ ‘සර්ගේ පවුලේ එක්කෙනෙක් අපට ඕනෑ.’ කියලා. ඔය මාධ්‍යවල යන ඒවාට වඩා ගමට ගියාම ලොකු වෙනසක් තියෙනවා. දේශපාලන ප්‍රතිවාදීන් නොයෙක් කතා කියනවද? නින්දා අපහාස කරනවද? නමුත් සියලු දෙනා ඉල්ලපු නිසා තාමයි දහම් පුතාව දැම්මේ. එදා එයා විතරක් නොවෙයි මගේ පුතා උපාධිධාරයෙක්. එදාම පත් කළා. ඉංජිනේරුවරයෙක් සංවිධායකවරයෙක් හැටියට. තව හොඳ තරුණ ව්‍යාපාරිකයෙක් පත් කළා. ඒ විදියට අපේ සංවිධායකවරු පත් කරලා තියෙනවා. සමහරුන්ට මේක ලොකු ප්‍රශ්නයක් වුණාට එහෙම එකක් එතැන නෑ.  


?ප්‍රශ්නය තියෙන්නේ ‘මගේ පවුලේ කවුරුවත් දේශපාලනයට ගේන්නේ නෑ’ කියලා ඔබ කියලා තිබුණ නිසයි?  


මම පැහැදිලිවම කිව්වේ ‘මේ ජනාධිපතිධුරයේ ඉන්න තාක්කල් මගේ පවුලේ කෙනෙක් මේ දේශපාලනයට ගේන්නේ නෑ’ කියලයි.  


?හුඟාක් දෙනෙක් හිතුවා ඔබේ දියණිය චතුරිකා දේශපාලනයට එයි කියලා?  


ඔව්. ඒකත් මේ හදපු කතන්දරයක්නේ. ඔහොම කතා හදලා ඒ ළමයට මඩ ගැහුවා. ඒ ළමයට කරන්න පුළුවන් නින්දා අපහාස ඔක්කොම කළා. මගේ චතුරිකා දුව ගමේ රැස්වීමකට ගිහින් මං වෙනුවෙන් ජනතාව හමුවුණා නම් ඔන්න ඒකටත් ගහනවා. මමම ඒ කාලේ දුන්න ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස තමයි ඔය විදියට තමයි සමහරු පාවිච්චි කළේ.  


?හිටපු ජනාධිපති චන්ද්‍රිකා කියලා තිබුණා ‘ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම විනාශ කළා’ කියලා?  


ඒවා ඉතින් කියනවා තමයි. ඕවා යල්පැනපු කතන්දර.  


?නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළා. ඔබට අභියෝගයක්?  


නෑ. ඉතින් ගිය සුමානේ වෙනකොට පක්ෂ තුනක් හැදුණනේ. මේ තියෙන දේශපාලන ව්‍යාකූලත්වය තුළ රට අවුල් වෙලානේ තියෙන්නේ. ඒක තුළ මේ වගේ දේශපාලන පක්ෂත් හැදෙනවා. ඒවා අපේ පක්ෂයට අභියෝගයක් ලෙස අපි සලකන්නේ නෑ.  


?ඔබ කියලා තිබුණා වමේ පක්ෂත් එකතු කරගෙන ආණ්ඩුවක් හදනවා කියලා. කා එක්කද එකතු වෙන්නේ?  


කා එක්කද එකතු වෙන්නේ කියලා මම දැන් කියන්නේ නෑ. ඒ ගැන අපි හුඟාක් සාකච්ඡා කරලා තියෙනවා. අභ්‍යන්තරයේ දේවල් ඔක්කොම මාධ්‍යයට කියන්න බෑනේ. අපි ඉතා ​හොඳින් සාර්ථක සාකච්ඡා පවත්වාගෙන යනවා. ඉක්මනට අපි සංවිධානයක් හදනවා.  


?හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවට ආවා. ඔබට කතා කළාද? ඔබ කතා කළාද? හමුවුණාද?  


අනේ නෑ. තවම ඔය කිසිදෙයක් නෑ. මට මේ දවස්වල වැඩ වැඩියි. ඒ නිසා මට එතුමාට තවමත් කතා කරන්න බැරිවුණා.

 

 

 සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්