ආණ්ඩුව විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න සම්බන්ධයෙන් සිය රහස්‍ය තීරණය යථා කාලයේදී පාර්ලිමේන්තු කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට දැනුම් දෙන බව අගවිනිසුරු ති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මල්ල පසුගිය 2 වැනිදා ප්‍රකාශ කළේය.
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් විභාගය අවසන් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මල්ල මෙම දැනුම්දීම සිදු කරන ලදී.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මල්ල හමුවේ පසුගිය 1 සහ 2 යන දෙදින තුළ මෙම පෙත්සම් විභාග විය. පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග කරමින් ගොනු කර ඇති පෙත්සම්, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු, පනත් කෙටුම්පතට සහාය දක්වන පාර්ශ්වයන්ගේ කරුණු සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු ද විනිසුරු මඬුල්ල විසින් දීර්ඝ ලෙස සලකා බලන ලදී.
පෙත්සම් සම්බන්ධයෙන් වන ලිඛිත දේශන පසුගිය 3 වැනිදා පස්වරු 3.00ට පෙර ගොනු කරන ලෙස විනිසුරු මල්ල පාර්ශ්වකරුවන්ට නියෝග කළේය.
පූර්ණ විනිසුරු මල්ලක් පිළිබඳ සංවාදය
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින්, එය සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පෙත්සම් ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.
වෛද්‍ය චමල් සංජීව, ජාතික භික්ෂු පෙරමුණ, හිටපු අමාත්‍ය සරත් වීරසේකර, හිටපු අමාත්‍ය හර්ෂණ රාජපක්ෂ, කොළඹ නීතිඥ සංගමය, ජාතික ජන බලවේගයේ විධායක කමිටු සභික නීතිඥ ලාල් විජේනායක, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥ සංවිධානය, නව සිංහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර, විශ්‍රාමික හිමිකම් සුරැකීමේ සංවිධානය වෙනුවෙන් සරත් ලාල් පෙරේරා සහ නීතිඥ ජනක අධිකාරි, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් දොස්තර ජී. වීරසිංහ සහ ඩී. ආනන්ද පාලිත යන අයද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විනිවිද පදනමේ භාණ්ඩාගාරික සුනිල් ජයසුන්දර, ආචාර්ය අජන්තා පෙරේරා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය, පළාත් සභා මන්ත්‍රී නීතිඥ සිරාල් ලක්තිලක, මහාචාර්ය අර්ජුන පරාක්‍රම, තරුණ නීතිඥ සංගමය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය රන්ජන් අභයරත්න, විනිවිද පදනම, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහකාර ලේකම් දුකිත වකිෂ්ඨආරච්චි සහ භාණ්ඩාගාරික පසිඳු සිල්වා යන අය සමග ජාතික ජන බලවේගය, සර්වජන නිදහස් නීතිඥ සංවිධානයේ ජනාධිපති නීතිඥ ගුණරත්න, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, උදය ගම්මන්පිල, මිලින්ද රාජපක්ෂ, ආචාර්ය කනගසබාපති සරවනමුත්තු, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනුකර තිබූ අතර, එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ තිබුණි.
පෙත්සම්කාර පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙම කටයුතු උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ සේවාවන් සමග සම්බන්ධ වන බැවින්, තෝරාගත් එක්තරා විනිසුරුවරුන් පිරිසක් පමණක් පෙත්සම් විමසීම නුසුදුසු බවයි. එම නිසා පූර්ණ විනිසුරු මල්ලක් හමුවේ පෙත්සම් විභාගයට ගන්නා ලෙස මෝසමක් මගින් ඉල්ලා සිටියේය. අනෙකුත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද එම තර්කය සමග එකඟතාව පළ කළහ.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙවැනි කටයුත්තකදී විනිසුරු මල්ලේ සාමාජිකයන් නම් කිරීමේ සම්පූර්ණ බලය ඇත්තේ අගවිනිසුරුවරයාට බවයි. අගවිනිසුරුවරයාට අවශ්‍ය නම් පහක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හෝ පූර්ණ විනිසුරු මල්ලක් නම් කළ හැකි බව ද ඔහු පැවසීය.
දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් පංච පුද්ගල විනිසුරු මල්ල විනාඩි 15කට අධිකරණ කටයුතු කල් තැබූ අතර, ඉන් අනතුරුව යළි රැස්වී මෝසම මගින් පෙත්සම් පූර්ණ විනිසුරු මල්ලක් හමුවේ විභාග කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
පෙත්සම් විභාගය අවසන් කිරීමට පෙර සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනුකළ පාර්ශ්ව කීපයක් වාචිකව පිළිතුරු ලබාදීමට අවස්ථාව ඉල්ලා සිටියත්, එහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රකාශ කර සිටියේ පාර්ශ්ව කීපයකට පමණක් අවස්ථාව ලබාදිය නොහැකි බවත්, එලෙස අවස්ථාව ලබාදෙනවා නම් ගොනුකර ඇති පෙත්සම් 110ටම එම අවස්ථාව ලබාදිය යුතු බවත්ය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පෙත්සම්කාර පාර්ශ්ව කිහිපයක් අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් නොකරන බව මෝසම් මඟින් ශේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි. පූර්ණ විනිසුරු මල්ලක් පත්කිරීමේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හේතු දැක්වීමකින් තොරව ප්‍රතික්ෂේප කර තිබීමත්, රජයේ පාර්ශ්වයේ නීතිඥවරුන් කරුණු දැක්වීමෙන් අනතුරුව වාචික ප්‍රතිචාර දැක්වීමට තමන් කළ ඉල්ලීමට අවසර නොලැබීම හේතුවෙන් රජයේ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් සහ ප්‍රතිතර්ක ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබීමත් ඊට හේතු ලෙස පෙත්සම්කරුවන් සිය මෝසම් මඟින් පෙන්වා දී තිබුණි.
පෙත්සම්කාර පාර්ශ්වවල තර්ක සහ ධර්මය පිළිබඳ සංවාදය
පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ ගාමිණී හෙට්ටිආරච්චි ප්‍රකාශ කර සිටියේ කථානායකවරයා 22 වැනි සංශෝධනයට අත්සන් තැබූ පසු අගවිනිසුරු ධුර කාලය වසර 6කට සීමා වන බවයි. විනිසුරුවරයකුගේ ධුර කාලයට බලපෑමක් එල්ල කළ නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන නමුත්, මෙම සංශෝධනයෙන් විනිසුරුවරයකුගේ ධුර කාලයට බලපෑමක් එල්ල වන බව හෙට්ටිආරච්චි පැවසීය. මෙමගින් මෙම පරම්පරාවට පමණක් නොව ඉදිරි පරම්පරාවන්ටද බලපෑමක් එල්ල වන බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පමණක් සංශෝධනය සම්මත කිරීම ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිමින් නීතිඥ සාමන්ත ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කර සිටියේ යෝජිත 22 වැනි සංශෝධනයේ අර්ථකථන පිළිබඳව ගැටලු තිබෙන බවයි. අගවිනිසුරු ධුරයට පත්වන අයකු වසර 6 සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එම ධුරයෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේදී ශේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයෙන්ද විශ්‍රාම ගැනීමට සිදුවන්නේ දැයි එහි පැහැදිලි කර නොමැති බව ඔහු පැවසීය. උදාහරණයක් ලෙස වයස අවුරුදු 54න් අගවිනිසුරු ධුරයට පත්වන්නකු වයස අවුරුදු 60දී එම ධුරයෙන් ඉවත් වන විට, ඔහුට වයස 67 වනතුරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමට හැකියාව පවතිනවාදැයි කෙටුම්පතේ සඳහන් නොවන බවත්, නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍යද යන්න සහ වැටුප සම්බන්ධයෙන් පැහැදිලි අර්ථකථනයක් ඇතුළත් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
පෙත්සම් විභාගයේදී පෞද්ගලික පෙත්සම්කරුවකු වන බළන්ගොඩ කස්සප හිමියන් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ 22 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය උල්ලංඝනය වන බවත්, එම වගන්තිය යටතේ බුද්ධාගම අර්ථකථනය කර තිබෙන බවත්ය. 105(04) මගින් විධිවිධාන සපයා ඇති බෞද්ධ කටයුතු සඳහා වෙනම අධිකරණයක් ස්ථාපිත කර තිබුණේ නම් මෙම තර්කය එම අධිකරණයේ මතු කරන බව උන්වහන්සේ ප්‍රකාශ කළහ. එසේම යෝජිත සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(05) වගන්තිය, 83 වැනි වගන්තිය සමග ගැටෙන බවත්, මෙම හේතු නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බවත් කස්සප හිමියෝ පැවසූහ.
එහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රකාශ කර සිටියේ කස්සප හිමියන්ට ධර්මය පිළිබඳව හොඳ දැනුමක් තිබෙන බව පෙනෙන්නට තිබුණත්, පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මල්ලට ධර්මය පිළිබඳව පුළුල් අවබෝධයක් නොමැති බවයි. විනිසුරු මඩුල්ල ධර්මානුකූල නොවන බව ඉන් අදහස් නොවන බව පැවසූ අගවිනිසුරුවරයා, කෙසේ නමුත් නීතිය හමුවේ තීන්දු ලබා දෙන්නේ ධර්මය පාවිච්චි කර නොවන බවද පෙන්වා දුන්නේය. ඒ හේතුවෙන් වැඩිදුර කරුණු දැක්වීම ලිඛිත දේශන මාර්ගයෙන් සිදු කරන ලෙස අගවිනිසුරුවරයා කස්සප හිමියන්ට නියෝග කළේය.
සංශෝධනයට පක්ෂව නැගුණු අතරමැදි පෙත්සම්කාර තර්ක
සංශෝධනයට පක්ෂව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් ප්‍රකාශ කර සිටියේ යෝජිත 22 වැනි සංශෝධනය ප්‍රධාන කරුණු තුනක් ඉලක්ක කර ඇති බවයි. විනිසුරු සංඛ්‍යාව වැඩි කිරීම, විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සහ අගවිනිසුරුගේ ධුර කාලය සීමා කිරීම එම යෝජනා බව ඔහු පැවසීය.
මෙම සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4 හෝ වෙනත් කිසිම වගන්තියක් උල්ලංඝනය කිරීමක් නොවන බැවින් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, තුනෙන් දෙකක බහුතරය පමණක් ප්‍රමාණවත් වන බවත් ඔහු සඳහන් කළේය. එක්සත් රාජධානියේ සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස අවුරුදු 70 සිට 75 දක්වා ඉහළ දමා ඇති බවත්, මලාවි ඇතුළු රටවල් ගණනාවක ද විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දමා ඇති බවත් පෙන්වා දුන් ඔහු, එය සිදුකළේ පාර්ලිමේන්තු බහුතරයකින් පමණක් බවද පැවසීය.
1948 වසරේදී මෙරට පුද්ගලයකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 48ත් 55ත් අතර පැවැති නමුත්, වර්තමානය වනවිට එය පිරිමියකුගේ අවුරුදු 77 දක්වාත් කාන්තාවකගේ 81 දක්වාත් ඉහළ ගොස් තිබෙන බව පැවසූ ජනාධිපති නීතිඥවරයා, ඉහළ යන ආයු අපේක්ෂාවට සාපේක්ෂව විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා කාලය ඉහළ ගොස් නැති බව පෙන්වා දුන්නේය. 1948දී ජනගහනය මිලියන 7ක්ව තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 9දෙනකු සිටි බවත්, ජනගහනය මිලියන 23ක් වී ඇති වර්තමානයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගන්නා කාලය දීර්ඝ කිරීම කාලෝචිත තීරණයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
20 වැනි සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 17 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 දක්වාත් ඉහළ දැමූ බව මතක් කළ ඔහු, විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් විනිසුරුවරුන්ගේ ධුර කාලයේ ආරක්ෂිතතාව තහවුරු වන මිස අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් නොවන බව පැවසීය. නඩු ප්‍රමාදය අවම කිරීමට සහ අධිකරණ පද්ධතිය සුමට කිරීමට ඉදිරිපත් කළ මෙම සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බවත්, තම පෞද්ගලික මතය නම් විශ්‍රාම වයස 70ත් 75ත් අතර දක්වා වැඩි කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
22 වැනි සංශෝධනය සම්පාදනය කළ කිසිවෙකු විනිසුරු මල්ලේ නොමැති බැවින් ළබැඳියාවන් අතර ඝට්ටනයක් සිදු නොවන බවත්, එම නිසා පත්කළ විනිසුරු මල්ලට පෙත්සම් විභාග කළ නොහැකි බවට ඉදිරිපත් වන තර්කය පදනම් විරහිත බවත් පැවසීය.
නීතිඥ සංගමයේ පෙත්සම්වලට එරෙහිව අතරමැදි පෙත්සමක් ගොනු කරමින් ජනාධිපති නීතිඥ නයිජල් හැජ් කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4(සී) වගන්ති උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන් තර්ක කළද එය තහවුරු කිරීමට සමත්ව නැති බවයි. නීතියේ ආධිපත්‍යයට හෝ අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන බැවින් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව පැවසූ ඔහු, විධායකය බලය අවභාවිත කර ඇති බවට කෙරෙන තර්කය ද පදනම් විරහිත බව පැවසීය.
22 වැනි සංශෝධනය සම්පාදනය කළ කිසිවකු විනිසුරු මල්ලේ නොමැති බැවින් ළබැඳියාවන් අතර ඝට්ටනයක් සිදු නොවන බවත්, එම නිසා පත්කළ විනිසුරු මල්ලට පෙත්සම් විභාග කළ නොහැකි බවට ඉදිරිපත් වන තර්කය පදනම් විරහිත බවත් හැජ් පැවසීය. ඉන්දියාව ඇතුළු රටවල් රැසක් විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස ඉහළ දැමීමට සලකා බලමින් සිටින නමුත්, විනිසුරුවරුන් අයිති වන්නේ වෙනම කාණ්ඩයකට බැවින් සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වයස මෙසේ ඉහළ දැමිය නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ නීතිඥ අරුල්ප්‍රගාසම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, යෝජිත සංශෝධනය මගින් විනිසුරුවරුන්ගේ ධුර කාලයේ ආරක්ෂිතතාවට, මූල්‍ය ආරක්ෂිතතාවට හෝ තීරණ ගැනීමට තිබෙන නිදහසට කිසිදු බලපෑමක් එල්ල නොවන බවයි. සංශෝධනය සම්මත වීමෙන් පසුව අනාගතයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට එරෙහිව නඩු තීන්දුවක් ලබාදුනහොත්, එහිදී වැඩි කළ අවුරුදු දෙක නැවත අඩු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව පැවසූ ඔහු, ලැබෙන වැටුප් වැඩිවීමක් ව්‍යවස්ථාදායකය විසින් පොලඹවා ගැනීමක් ලෙස අර්ථකථනය කළ නොහැකි බවත්, ඒ නිසා ජනමත විචාරණයක් අවශ්‍ය නැති බවත් පැවසීය.
නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වමින් සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න ප්‍රකාශ කර සිටියේ, පෙත්සම්කාර පාර්ශ්වයන් ව්‍යවස්ථාවේ 3 සහ 4 වැනි වගන්ති උල්ලංඝනය වන බව පැවසුවද, යෝජිත සංශෝධනය සහ එම වගන්ති අතර ඇති සම්බන්ධතාව හෝ අධිකරණ ස්වාධීනත්වයට බලපෑම් සිදුවන ආකාරය පෙන්වා දීමට අසමත් වී ඇති බවයි.
විනිසුරුවරුන්ට 1980 දශකයේදී ප්‍රථම වරට නිල වාහනයක් ලබාදුන් බවත්, එසේනම් එයද පොලඹවාගැනීමට උත්සාහ කිරීමක් හෝ පගාවක් ලෙස අර්ථකථනය කළ යුතුදැයි ඔහු ප්‍රශ්න කළේය. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් වැඩි කිරීමෙන් කිසිසේත්ම විධායකය හෝ ව්‍යවස්ථාදායක සමග බැඳීමක් ඇති නොවන බවත්, එසේ බැඳීමක් ඇතිවන බව ප්‍රකාශ කිරීම විනිසුරුවරුන්ට සිදුකරන අපහාසයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
තර්කයක් ඉදිරිපත් කිරීමේදී නඩු තීන්දුවක ඡේද දෙකක් හෝ තුනක් පමණක් ගෙන අර්ථකථනය කිරීම සුදුසු නොවන බවත්, සම්පූර්ණ නඩු තීන්දුවම අර්ථකථනය කළ යුතු බවත් පැවසූ සොලිසිටර් ජනරාල්වරයා, තමාගේ පෞද්ගලික මතය නම් තවමත් විනිසුරුවරුන්ට ඔවුන් කරන සේවය වෙනුවෙන් ප්‍රමාණවත් වැටුපක් නොලැබෙන බව යැයිද ප්‍රකාශ කළේය. විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමෙන් පත් කිරීමට අවශ්‍ය වන විනිසුරුවරුන් සංඛ්‍යාව තවත් අඩුවන බැවින් බලපෑමක් එල්ල වීමේ අවස්ථාව තවත් අඩුවන බව පැවසූ ඔහු, 22 වැනි සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල නිසා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි බවත්, ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් අවධාරණය කළේය.
විනිසුරු මල්ලෙන් නැඟුණු අදහස්
මෙම පෙත්සම් විභාගය අතරතුර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර ප්‍රකාශ කර සිටියේ, විනිසුරුවරයකු විශ්‍රාම යන කාලය වසර දෙකකින් දීර්ඝ කරනු ලැබුවහොත් ඔහුට හෝ ඇයට වැඩිම වුණොත් ලැබෙන්නේ එම කාලය තුළදී එක් වැටුප් වැඩි කිරීමක් පමණක් බවයි. එය ව්‍යවස්ථාදායක පගාවක් ලෙස අර්ථකථනය කිරීමට පාර්ශ්වයන් උත්සාහ දැරීම දැඩි කනගාටුවට කරුණක් බවද විනිසුරුවරයා සඳහන් කළේය.
එසේම පෙත්සම් විභාගය අතරතුර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ප්‍රකාශ කර සිටියේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස අවුරුදු 2කින් වැඩි කිරීම වර්තමානය වනවිට ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක් වී තිබෙන බවත්, ඉන් අදහස් කරන්නේ එය එතරම් ආන්දෝලනාත්මක සිදුවීමක්ව තිබෙන බවත්ය.
දෙපාර්ශ්වයේම දීර්ඝ කරුණු දැක්වීම්වලින් අනතුරුව විභාගය අවසන් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මල්ල, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන සිය රහස්‍ය තීන්දුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට යොමු කිරීමට නියමිතය.
විමුක්ති එස්. රුද්‍රිගු

