
මේ දිනවල විපක්ෂ දේශපාලනයේ ඇති ලොකුම අභියෝගය බෙදී වෙන්වී සිටින දේශපාලන පක්ෂ එකට එකතු කර ගැනීමය. එළඹෙන 21 වැනිදා නුගේගොඩ දී පැවැත්වීමට සැලසුම් කළ ඒකාබද්ධ විපක්ෂයේ ‘‘මහජන හඬ’’ නමැති ආණ්ඩු විරෝධී ජනතාව ආමන්ත්‍රණය කරන රැලියද විපක්ෂයේ බෙදීම ඉස්මතු කරන අවස්ථාවක් බවට පත්වෙමින් තිබේ.
රැලියේ සංවිධායකයන් ඒකාබද්ධ විපක්ෂයක් ලෙස මුල සිටම පෙන්වන්නට උත්සාහ කළද සජබ ඇතුළු පක්ෂ ගණනාවක් මෙම රැලිය වර්ජනය කරන බව කියා ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ තවත් කුඩා පක්ෂ කිහිපයක් රැලියට සහභාගි වන බව ස්ථීරවම පවසා තිබේ.
මේ වනවිට විපක්ෂය කණ්ඩායම් තුනකට බෙදී සිටින බව පැහැදිලිව දැකගත හැකිය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යටතේ ගොනුවී ඇති දෙමළ ප්‍රගතිශීලී බලවේගය ඇතුළු සජබ එකමුතුව නාමල් රාජපක්ෂ සමඟ ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ රනිල් වික්‍රමසිංහ සමඟ සිටින පොහොට්ටුවෙන් ගැලවී ගිය හිටපු මන්ත්‍රීවරුන් සහ එජාපය ඇතුළු කණ්ඩායම් ලෙස එම විපක්ෂ කණ්ඩායම් තුන කැපී පෙනෙයි. එයට අමතරව මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නිවසේ දී රැස්වන හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් මෙන්ම ශ්‍රීලනිපයේ හිටපු මැති ඇමැතින් පිරිසක් ද ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙති. මෙම කණ්ඩායම් තමන් යා යුතු දේශපාලන දිශාව සොයමින් සිටින අතර මෙම කිසිම කණ්ඩායමකට යායුතු නියම මාර්ගය පෙන්වන “මාලිමාව” තවම හමුවී නැත.
දේශපාලන පක්ෂ ප්‍රසිද්ධියේ නොකීවාට මෙම කණ්ඩායම් තුනටම ඇති ප්‍රධාන අරමුණ තම කණ්ඩායමේ ප්‍රධානියා මෙරට ජනාධිපතිවරයා බවට පත් කිරීමය. ඒ සඳහා අන් කෙනෙකු යටතේ දෙවැනියා වීමට මෙම කිසිවකුත් කැමැති නැත. රනිල් යටතේ අගමැති වීමට සජිත් අකමැති අතර සජිත් යටතේ අගමැති වීමට රනිල් ද කැමති නැත. නාමල්ගේ කණ්ඩායමේ අරමුණ නාමල් ජනාධිපති බවට පත්කර තමන්ගේ තනි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමය. මෙම මතවාද නිසා සෑම දෙනාටම අවශ්‍ය වන්නේ ඕනෑම දේශපාලන අවස්ථාවක හෝ රැස්වීමක හෝ මුලසුනය. ඕනෑම රැස්වීමක් පැවැත්විය යුතු වන්නේ තමන්ගේ මුලසුනෙන් යුතුවය යන මතවාදය ඇති නිසා විපක්ෂය දිගටම බෙදී සිටින අතර තමන්ට විපක්ෂයෙන් අභියෝගයක් නොමැති බව ආණ්ඩුව ද දනියි.
මෙරට දේශපාලනයෙන් තෙම්පරාදු වූ චරිතයක් වන දොස්තර රාජිත සේනාරත්න එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල රැස්වීමේදී ද ඉකුත් දා පැවසුවේ විපක්ෂ කණ්ඩායම් ගණනාවක් සිටින විට එක් පක්ෂයක් හෝ පක්ෂ නායකයකු එම රැලියේදී කැපීපෙනෙන්නට උත්සාහ දැරුවොත් එය විපක්ෂයේ ඉදිරි ගමනට බරපතළ හානියක් බවය. එජාප රජයට එරෙහිව 1978 දී වාමාංශික පක්ෂ සහ ජවිපෙ එක්ව පැවැත්වූ රැලිය එයට උදාහරණයක් බවද කීවේය. ජේ.ආර්ගේ ආණ්ඩුවට හයෙන් පහක බලයක් තිබුණා. ඒකට එරෙහිව පළමු වෙඩිමුරය තිබ්බේ අපි. අපි පුළුල් වාමාංශික මතයක් හදන්න සමසමාජ, කොමියුනිස්ට්, නවසම සමාජ සහ ජේවිපී එකතු වෙලා වමේ ලොකු රැස්වීමක් තිබ්බා හයිඩ් පාක් එකේ. අපි හැමෝගෙම සෙනඟ එතන හිටියා. ඒත් විජේවීර ආවේ අන්තිමටම හැලජන් ලාම්පු ගහගෙන... පළාතම ඒකාලෝක කරගෙන එන්නේ.... සමහරු මල් වෙඩි දානවා... සමහරු කෑ ගහනවා අපේ අනාගත ජනාධිපතිට ජයවේවා කියලා. අපි හැමෝගෙම රැස්වීමට විජේවීර තමන්ගේ මිනිස්සු එවල අන්තිමට විජේවීර රැස්වීම තමන්ගේ කරගත්තා.... මිනිහා පැයක් කතා කළා.. රැස්වීමට අවසන් කළේ විජේවීර මීටිමක් කරගෙන....
එතැනදිම වාමාංශික බලවේගය. හදන රැස්වීම ඉවර වුණා. මෙතැනත් එහෙම දෙයක් වෙන්න පුළුවන්.... රාජිත අතීත උදාහරණ සමඟ පැහැදිලි කළේය.
එහිදී තවදුරටත් රාජිත කියා සිටියේ මේ මොහොතේ ජනතාව අමතන මුහුණු පිළිබඳව සෑම පක්ෂයක්ම දෙවරක් සිතිය යුතු බවය. මෑත කාලීන පරාජයකින් පසු විපක්ෂය අනුරාධපුරයේ පැවැත් වූ රැලියේ අත්දැකීමක් දොස්තර රාජිත මෙසේ පැහැදිලි කළේය. ඔය මුණුත් එක්ක අපේ පක්ෂවල මිනිස්සු ටික ඉඳියි. ඒත් ඒ මුහුණු දකින පොදු ඡන්දදායකයා අපෙන් ඈත් වෙනවා. දැන් මිනිස්සු ඡන්දේ දෙන්නේ පොත් කියවලා ටීවී බලලා සමාජ මාධ්‍ය බලලා එහෙම. එයාලා දකිනව කළු මූණු කියලා පිරිසක්... අනුරාධපුර රැලියේ දී මම හිටියේ ඉදිරිපසම. මම කතාවකුත් කළා. කරලා පිටිපස්ස බලපුවම ලංසා ඉන්නව පිටිපස්සේ... මම ඇහුවා මොකද ඔයා පිටිපස්සේ එන්නකෝ ඉස්සරහට කියලා... ලංසා කීවා... නෑ ඩොක්ටර් මගේ මූණ කළුයි. මගේ කළු මූණ පෙන්නලා පක්ෂයට ලැබෙන ඡන්ද ටිකවත් නැති කරගන්න ඕනෑ නැහැ.
අපට හරි හෝ වැරදි හෝ මිනිස්සු දකින්නේ කළු මිනිස්සු හැටියට... ඒ මතය ඉවර වෙනකම් අපි ඉන්න ඕනෑ පිටිපස්සෙන්...
අපි හැංගිලා අවශ්‍ය වැඩ ටික කළාම අන්න ඒක තමයි දේශපාලනය. තමන් කවුද කියල අඳුනගෙන පක්ෂයට ඉදිරියට යන්න උදව් කරන එක රාජිත සේනාරත්න එදා එසේ කීවේය.
කළු මුහුණ මේ වනවිටත් ජනතාව අතර කතාබහක මාතෘකාවකි.
මේ වෙද්දී ඇතැම් පක්ෂවලට ඇති ප්‍රශ්නය රාජපක්ෂ ආණ්ඩු සමයේ ජනතා විරෝධයට ලක්වූ හිටපු මැති ඇමැතිවරුන් යළිත් දේශපාලන භූමියේ ගැවසෙන්නට පටන් ගෙන තිබීමය.

ජනතාවට එපා වූ මුහුණු ප්‍රවෘත්ති සාකච්ඡාවල ඉදිරි පුටු අරාගෙන මත පළකරන්නට පටන් ගෙන තිබීමය. 21 වැනිදා රැස්වීම පිළිබඳ මුලින්ම හෙළිදරව් කළ ප්‍රවෘත්ති සාකච්ඡාවද එවැනි අවස්ථාවක් බව ඔප්පු විය.
මෙවැනි චරිත සමඟ දේශපාලන වේදිකාවලට නැගිය නොහැකි බව ඔවුහු කියති.
එහෙත් මේ ගැන රාජපක්ෂ කඳවුර කියන්නේ මෙවැනි කතාවකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මෙවැනි අදහසක් පළ කරයි.
‘‘ඔය ප්‍රශ්නය තව අවුරුදු දහසක් ඉස්සරහට ගියත් විසඳෙන ප්‍රශ්නයක් නොවෙයි. ලංකාවේ මේ යන රටාවේදි ඔය ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නේ නෑ... පරණ පළපුරුදු මුහුණු අයින් කරල දේශපාලනය කරන්න බෑ. අලුත්ම මුහුණු දාල පක්ෂයක් ඉදිරියට ගෙනියන්න බෑ... සීනියර් කියන චරිතෙත් එක්ක ඔය කියන මුහුණු කතාව තියෙනවා. ඒත් එහෙම දේශපාලනය කරන්න බෑ... කාලය අනුව ඔය ප්‍රශ්න විසඳෙයි... සංජීව එදිරිමාන්න කියයි.
මෙම මුහුණ පිළිබඳ කතාව 2015 රාජපක්ෂ කඳවුර පරාජය වූ අවස්ථාවේදී ද මතු වුණේය. බොහෝ දෙනා කීවේ එවැනි චරිත නිසා රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත්වූ බවය. එහෙත් 2015 බලයට ආ යහපාලන රජයේ දේශපාලන භාවිතය අනුව වසර හතරක් ගෙවෙද්දීම ඊළඟට පැවැති මැතිවරණයෙන් රාජපක්ෂ කඳවුර ජයගත්තේ තුනෙන් දෙකේ අතිමහත් බලයක් සමඟය.
2015 පරාජයට හේතු වූ බව කී පැරණි දේශපාලකයන් එම මැතිවරණයේදී ජයගත්තේ අතිවිශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනි. ඇතැම්හු මනාප ලක්ෂ ගණන් ගෙන දිස්ත්‍රික්කවල වාර්තා තැබූහ.
එයින් කියැවෙන්නේ මෙරට ජනතාව ඡන්දය දෙන්නේ පවතින දේශපාලන රිද්මය අනුව බවය.
යටත් විජිත පාලනයෙන් නිදහස ලබාගත් පළමු අවස්ථාවේ සිටම මෙරට දේශපාලනයේ බෙදීම් දැකගත හැකිය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය බලය ලබා ගැනීමට ඩී. ඇස්. සේනානායකට හැකියාව ලැබුණේද වාමාංශික පක්ෂවල තිබූ බෙදීම නිසාය. එදා වාමාංශික පක්ෂ එකතු වූයේ නම් එජාපයට පළමු ආණ්ඩුව බිහි කරන්නට ලැබෙන්නේ නැත.
දේශපාලනය කරන පක්ෂ අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතුය. අන්ත පරාජයකට පත්වූ පක්ෂයක් යළිත් ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා පක්ෂයක කළ ප්‍රතිසංවිධාන ගැන හොඳම උදාහරණයක් ලබාගත හැක්කේ 1965 එජාප ජයග්‍රහණයෙනි.
1960 ජූලි මහා මැතිවරණයෙන් පැරදුණු පසු තවත් වසර පහකට පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීමට නම් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කළ යුතු බව ජේ. ආර්. ජයවර්ධන ඇතුළු එජාප නායකයෝ තේරුම් ගත්හ. බණ්ඩාරනායක මැතිනියගේ රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් දිනම සතියකට පසු එජාපයේ ප්‍රතිසංවිධාන කටයුතු ඇරඹීම සඳහා කමිටුවක් පත් කෙරුණි. එම කමිටුව රැස්වීම් වාර 19ක් පැවැත්වූ අතර මාස කිහිපයක් ඇතුළත වාර්තාව සූදානම් විය. එයින් කරුණු පහක් ප්‍රධාන වශයෙන් හඳුනා ගත්තේය. ඉන් පළමුවැන්න වූයේ පක්ෂ ශාඛාවලට නව පණක් දී මුළු දිවයින පුරාම පක්ෂ ශාඛා පද්ධතියක් ව්‍යාප්ත කිරීමය. දෙවැන්න වූයේ ප්‍රතිවාදීන් විසින් තම පක්ෂයට පහර දීමට ඉතා සාර්ථක ලෙස උපයෝගී කරගත් ධන බලය සහ වරප්‍රසාද හුවා දැක්වීම පොදු ජනයාගෙන් ඈත්වීම වැනි ප්‍රභූ ආකල්පයෙන් මිදීම සඳහා පක්ෂයේ ප්‍රතිරූපය වෙනස් කිරීමය. පක්ෂයේ සියලු තරාතිරම්වල වගකීම් භාර ගැනීම සඳහා සිංහල උගත් ජාතික ඇඳුමින් සැරසුණු පුද්ගලයන්ට අවකාශ සැලසීම තෙවැනි කරුණය.
පක්ෂයේ වැදගතුන් හා පිටස්තර උගතුන් යොදාගෙන රජයේ ප්‍රතිපත්තියට එරෙහි ප්‍රචාරක ව්‍යාපාර ඇරඹීම ඊළඟ කරුණය. පස්වැනි කරුණු වූයේ පක්ෂයට අරමුදල් එකතු කිරීමය. මෙම කරුණු පාදක කරගත් නව පක්ෂ ව්‍යවස්ථාවක් 1961 වසරේ පක්ෂයේ ජාතික සම්මේලනයේ දී සම්මත කර ගැනුණි. ඒ වෙද්දී ශ්‍රීලනිපයේ සිට එම පක්ෂය සමග විරසක වූ මාතලේ නිමල් කරුණාතිලක, කුලියාපිටිය, දණ්ඩගමුවේ අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල, ජිනදාස නියතපාල හා පුවත්පත් කලාවේදී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ද එජාපයේ ප්‍රචාරක ව්‍යාපාරයට එක්ව සිටියහ.
ඊළඟට එජාපයට මතු වූ ප්‍රශ්නය පක්ෂයේ අරමුදල් නොතිබීමය. එතෙක් පක්ෂයට ලැබුණු ව්‍යාපාරිකයන් සහ ප්‍රභූවරුන්ගෙන් සෑහෙන තරම් මුදල් ලැබුණේ නැත. එහිදී ජේ. ආර්. සහ ඩඩ්ලි සේනානායක තම වතුපිටි හා පෞද්ගලික ආදායමින් පක්ෂයේ නිලධාරීන්ට වැටුප් ගෙවීම හා සිරිකොත නඩත්තු කිරීම සිදු කළහ.
ඇතැම් තරුණ සමිති සඳහා සති අන්ත රැස්වීම් පැවැත්වුණේ සේනානායකවරුන්ගේ රබර් හා පොල් වතුවලය. ජේ. ආර්. ජයවර්ධන චරිතාපාදනයේ ඒ සම්බන්ධයෙන් මෙවැනි සඳහනක් ඇත.
‘‘1960 ගණන්වල මුල හරියේදී ඩඩ්ලි සේනානායක සහ ජේ. ආර්. ජයවර්ධන යන දෙදෙනාගේ පෞද්ගලික මුදල් සහ අනෙකුත් සම්පත් නොලැබෙන්නට එක්සත් ජාතික පක්ෂය පුනරුත්ථාපනය කිරීම නොකළ හැක්කක් වන්නට ඉඩ තිබිණ. කොළඹ පිහිටි සේනානායකවරුන්ගේ සුවිසල් මන්දිරය වූ ‘‘ඩුඩ්ලන්ඩ්ස්’’ මැඳුර පක්ෂයේ රැස්වීම් පැවැත්වීම සඳහා ලබා දුන්නේය. ඩඩ්ලි සේනානායකගේ ඡන්ද කොට්ඨාසය වූ දැදිගම හා ඒ අසල තිබූ ඔවුන්ගේ රබර් සහ පොල්වතු එජාප තරුණ සමිති සාමාජිකයන්ට සති අන්ත පන්ති පැවැත්වීම සඳහා ප්‍රයෝජනයට ගන්නා ලදී. එය ගුරුකොට ගත්තේ වාමාංශික පක්ෂවල පංති පවත්වන රටාව අනුවය.
එම ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය තුළ රටම ඇද බැඳගත් කථිකයෙක් ලෙස රණසිංහ ප්‍රේමදාස නැගී ආවේය. අනෙක් තැනැත්තා අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ලය. ආකර්ෂණීය වාග් මාලාව හා කර්කශ හාස්‍යය රසය නිසා ජනතාව ටිකෙන් ටික එජාපයට ඇදී ආවේය.
එකල එක්සත් ජාතික පක්ෂය හැඳින්වූයේ “උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය” වශයෙනි. යූ.ඇන්.පී. යන අකුරු තුනට සකසා ගත් මෙම හාස්‍යය පදයවේ. එනම් සේනානායකවරුන්, ජයවර්ධනවරුන්, කොතලාවල ඇතුළු එජාපයේ නායකයන් සියලු දෙනාම පවුල් සබඳතා මඟින් එකට නෑදෑ පවුලක් ලෙස බැඳී තිබීමය. අනෙක් අතට ඉංග්‍රීසි උගත් හා ඉංග්‍රීසියෙන් කතා කරන එජාප නායකයන්, මැති ඇමැතිවරුන් හා පක්ෂ ආධාරකරුවන්ට සාපේක්ෂව බණ්ඩාරනායකවරුන්ගේ ශ්‍රීලනිපය ජාතික ඇඳුමින් හා රෙදි බැනියම් අඳින මැති ඇමැතිවරුන් හා පක්ෂ ආධාරකරුවන්ගෙන් සමන්විත වීමය. 1956 සිට 1965 දක්වාම පැවැති ශ්‍රීලනිප ආණ්ඩුවට එරෙහිව එජාපයටද සිංහල ජාතිකත්වය යොදා ගැනීමට සිදුවී තිබිණ. එජාපයේ 1965 ජයග්‍රහණය සඳහා පක්ෂ ප්‍රතිසංවිධානය මඟින් කළ වෙනස්කම් ප්‍රයෝජනවත් විය.
වර්තමානයේ උදාවී ඇත්තේද එවැනි තත්ත්වයකි. තවමත් පොදු මධ්‍යස්ථ ජනතාව පරාජයට පත්වූ විපක්ෂ දේශපාලකයන් සම්බන්ධයෙන් ප්‍රසාදයක් අත්කරගෙන ඇති බවක් නොපෙනේ. ආණ්ඩුව අතහැර විපක්ෂයට එකතු වීමට ජනතාවගේ උනන්දුවක් ඇති බවක්ද නොපෙනේ.
සටන ඇත්තේ ඉදිරියටය. ජේ. ආර්. 1956 දී කී අයුරින්ම උඩ ගිය ඔංචිල්ලාව යළි පහළට එයි. පහළට එන ඔංචිල්ලාව අල්ලා ගැනීමට හැකිවුවහොත් එහි නැගී රවුමක් යා හැකිය. එහෙම නැතිවුවහොත් ඔංචිල්ලාව යළිත් උඩ යනු ඇත. අද පරාජයට ලක්වී අපකීර්තියට ලක්ව සිටින දේශපාලකයන්ට රටේ ජනතාව සිතන පතන ආකාරය ගැන දැනුමක් තිබුණේ නැත. ඔවුන් බලා සිටියේ ජනතාව ලක්ෂ ගණනින් පැමිණ තමන් ඔසවාගෙන ගොස් සිහසුනේ වාඩි කරවන බවය. එහෙම අතීතයක් තිබුණේ දශක පනහකට පෙරාතුවය. වර්තමාන ජනතාව දේශපාලකයා සත පහකට ගණන් නොගන්නේය.
සොරුන්, වංචාකරුවන් ලෙස ඔවුන්ට එල්ල වී ඇති චෝදනා වලින් නිවැරදි වන්නේ නැතුව තාප්පයක ඇලවුණු පෝස්ටරයක උජාරුවෙන් සිටියාට ජනතාව ඡන්දය දෙන්නේ නැත.
ජනතා ප්‍රතිචාරය හිමිකර ගැනීමට නම් ඉහළ මාලයෙන් බිම් මහලට බැස මහ පාරට ආ යුතුය. ජනතාව විඳින දුක, ලක්ව සිටින පීඩනය, ජීවන වියදම් ප්‍රශ්න වටහාගත යුතුය. තමන් පොදු ජනතාවගෙන් එකෙකුය යන අවබෝධය පොදු ජනතාවට ලබාදිය යුතුය. යළිත් පහළට එන ඔංචිල්ලාව අල්ලා ගත හැකි වන්නේ එවිටය. වසර ගණනාවක් තිස්සේ ඡන්ද දිනාගත නොහැකිව ජනතා විරෝධයට ලක්ව සිටින පක්ෂ නායකයන් ඉන් ඉවත්වී නව නායකයන් තෝරා ගැනීමට පාක්ෂිකයාට ඉඩ ලබාදිය යුතුය. 1994 දී පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කළ ආකාරය කුජීත ලෙස පරාජය වී සිටින විපක්ෂයට අධ්‍යයනය කළ යුතු හොඳම අවස්ථාවකි.
1994 වනවිටත් එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යම් තරමක ස්ථාවරත්වයක පැවැතුණේය. 1977 පත් වූ එජාප රජය ඒ වෙද්දී සිය 17 වසරක පාලන කාලය ගත කරමින් සිටියෝය. ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වන අගමැති හා ජනපති අපේක්ෂිකාව බණ්ඩාරනායක මැතිනිය වූයේ නම් එජාපය එම මැතිවරණයත් යාන්තමින් හෝ ජයගන්නා තත්වයක් පැවතුණි. ඒ සඳහා විවිධ සාකච්ඡා පැවැත්වුණු අතර එක් පිරිසක් බණ්ඩාරනායක මැතිනිය මැතිවරණ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කළ යුතු බව පැවසූහ. තවත් පිරිසක් කියා සිටියේ ඇගේ දියණිය වූ විජය කුමාරතුංග වැන්දඹුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ යුතු බවය. දිගු සාකච්ඡා කාලයකින් පසු චන්ද්‍රිකා ඉදිරිපත් කිරීමට තීරණය විය. විපක්ෂයේ තිබූ සියලු පක්ෂ ඇය වටා ගොනු කෙරිණි. සාමූහික එකතුවකින් හැර එජාප රජය පැරදවීම සිහිනයක් වන බව පෙනෙන්නට තිබිණි. ශ්‍රීලනිපය අභ්‍යන්තරයෙන් වෙනත් වමේ පක්ෂවලත් තිබූ එකිනෙකා නුරුස්සන ගතිය සහ වාද භේද මඳ කාලයකට සමනය කරගනිමින් පොදු ජයග්‍රහණයක් ලබා ගැනීමට සියලු දෙනාම පෙළගැසුණහ. ඒ අතරට ශ්‍රීලනිප හෝ එවකට සිටි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ ඒ දිස්ත්‍රික්ක තෝරාගෙන ගමින් ගමට ඇවිදිමින් ගෙයින් ගෙට යමින් විපක්ෂය ප්‍රවර්ධනය කළහ. විශාල ජනමතයක් හැදුණි. ශ්‍රීලනිප දුර බැහැර මන්ත්‍රීවරුන් පවා වෙනත් දිස්ත්‍රික්ක කරා ගොස් ජනතාව මුණගැසුණහ. මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සෑම ගමකට ඇවිද ගිය අවස්ථාවක් අප දුටුවේ එම අවස්ථාවේ පමණය. එතරම් විශාල කැපවීමක් සිදුකර මැතිවරණයට මුහුණ දුන්නත් පොදුජන එක්සත් පෙරමුණ ජයගත්තේ එජාපයට වඩා එක් මන්ත්‍රී ආසනයකිනි.
ශ්‍රීලනිපය අන් පක්ෂ සමඟ එක් නොවුණේ නම් එදා එජාප රජය පැරදවීමට නොහැකි වනු ඇත. වර්තමාන විපක්ෂයට ද ස්ථීර වශයෙන්ම ඉදිරි කාලයේ දී එවැනි පොදු දේශපාලන ක්‍රියාන්විතවලට යාමට සිදුවනු ඇත. වැටුණු විපක්ෂවලට නැගී සිටීමට හැකි මුත් උද්ධච්චකමේ ගිලුණු විපක්ෂවලට නම් නැගී සිටීම අඩමානයක් පමණකි.
ප්‍රේමකීර්ති රණතුංග

