ශ්‍රී ලංකාව තුළ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැළපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බවත්, ජාතික ජන බලවේග ආණ්ඩුව ආයෝජකයන්ට පැමිණෙන්නැයි සහතිකයක් ලබාදුන්න ද ඔවුන්ගේ අතීත මාක්ස්වාදි බලපෑම් සහිත මතවාද හේතුවෙන් ආයෝජකයන් බොහෝ දෙනකු ලංකාවේ ආයෝජනය කිරීම ගැන අවිනිශ්චිතව සිටින බවත්, ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉකුත් දා පැවැසීය. එම දෙපාර්තමේන්තුව තවදුරටත් පවසන්නේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සමාගම් රජයට බරක් බවය.
ජාතික ජන බලවේග රජයේ මාක්ස්වාදි ප්‍රතිපත්ති නිසා ඇමෙරිකානු ආයෝජකයන් ප්‍රමුඛ විදේශීය ආයෝජකයන් මෙරට ආයෝජන ආරම්භ කිරීමට පැකිළෙන බවට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම මුසාවකි. එයට හේතුව නම් ඇමෙරිකානු හිතවාදි රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩු සමයේදී පවා කිසිම ඉහළ පෙළේ ඇමෙරිකානු සමාගමක් මෙරට ආයෝජන සඳහා නොපැමිණීමය. බහුල වශයෙන් මෙරටට යුරෝපීය ආයෝජකයන් පැමිණියේ 1977 රජය සමයේ නිදහස් වෙළෙඳ කලාපයටය. ප්‍රේමදාස ජනාධිපතිවරයා කුමාර් දේවපුර සමග ඇමෙරිකාවට ඇඟලුම් අපනයනය කළ සමයේ ඇමෙරිකානු ආයෝජකයන් කිහිප දෙනෙක් මෙරට ආයෝජන ඇරැඹූහ. එතැන් සිට ගෙවුණු වසර තිහකට ආසන්න කාලය තුළ මෙරටට සැලකිය යුතු යුරෝපීය ආයෝජන නොපැමිණියේය. පැමිණියේ චීන ආයෝජන පමණකි. වර්තමාන ජාතික ජන බලවේග රජය යටතේ ආයෝජකයන්ට හිතකර වටපිටාවක් නැතැයි පවසන ඇමෙරිකාව, එයට පෙර පැවැති ආණ්ඩු සමයේ පවා ආයෝජන ආරම්භ කරන්නට නොපැමිණියේ කුමක් නිසා ද යන්න ප්‍රශ්නකාරී වෙයි.
2019 වසරේදී ඇමෙරිකාවේ 243 වැනි ජාතික දිනය සැමරීමට කොළඹ ඇමෙරිකා තානාපති කාර්යාලයේ පැවැති උත්සවයට සහභාගි වූ එවකට සෞඛ්‍ය හා පෝෂණ ඇමැති දොස්තර රාජිත සේනාරත්න ද මෙරට ආයෝජන සඳහා ඇමෙරිකානු ආයෝජකයන්ට ආරාධනා කළේය. එහෙත්, එම රජය සමයේත් ඇමෙරිකානු ආයෝජකයන් පැමිණියේ නැත.
ඇමෙරිකාව යනු ලංකාවේ සමීප මිතුරෙකි. ලංකාවට හමුදා ආධාර ලබා දෙන ප්‍රධාන රටක් වන්නේ ද ඇමෙරිකාවය. ලංකාවේ ඇඟලුම් සහ රබර් ආශ්‍රිත අපනයන වැඩිපුරම මිලදී ගන්නේ ද ඇමෙරිකාවය. ඇමෙරිකාවෙන් මෙරට අපනයන සඳහා විශාල දායකත්වයක් ලැබෙන බව ද සැබෑය. එහෙත් දශක ගණනාවකින් මෙරටට ඍජු ඇමෙරිකානු ආයෝජන නොපැමිණියේය. අප කියන්නේ එය මාලිමාවේ ප්‍රතිපත්ති නිසා ඇති වූ ප්‍රශ්නයක් නොවන බවය.
දැඩි ඇමෙරිකානු හිතවාදියකු ලෙස ප්‍රකට වූ නිසාම යැංකි ඩිකී යැයි නම් පටබැඳුණු මහා සැලැස්ම කඩිනම් කිරීම සඳහා ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇතුළු යුරෝපීය රාජ්‍යවල සහාය ඉල්ලා සිටි අවස්ථාවේදී ද ඇමෙරිකාව මහවැලි ජලාශ ඉදිකිරීමේ කටයුත්තෙන් කර ඇරියේය. ඇමෙරිකානු නිලධාරින් මහවැලිය නිර්වචනය කළේ දේශපාලන ගුණ්ඩුවක් හැටියටය. එහෙත් මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, ස්වීඩනය වැනි රටවල් වික්ටෝරියා, කොත්මලේ, මාදුරු ඔය ඇතුළු ජලාශ ඉදිකිරීම බාර ගත්තේය. එකල සිටම ඇමෙරිකාව මෙරට මහා පරිමාණ ආධාර සහ ආයෝජන වැඩසටහන්වලට සම්බන්ධ වූයේ නැත.
මෙරට රජයට අයත් සමාගම් සහ සංස්ථා රාජ්‍ය ආදායමට බරක් බව ඇමෙරිකාව පවසන මතය නිවැරැදිය. එහෙත් එම ආයතන රජයට බරක් බව ඇමෙරිකානුවන් කියන්නට පෙර දශක ගණනාවක් තිස්සේම ලාංකිකයෝ දැන සිටියහ. විවිධ ආණ්ඩු මගින් ආරම්භ කරන ලද සහ විවිධ ආණ්ඩු විසින් ජන සතු කරන ලද එම සමාගම් නිසා ශ්‍රී ලංකා රජයේ ජාතික ආදායම විශාල වශයෙන් එම සමාගම්වල නඩත්තුවට වැය වන බව රහසක් නොවේ.
එහෙත් එයට පෙර ශ්‍රී ලංකා රජයට මෙවැනි සමාගම් නඩත්තු කිරීමට හේතු වූ කරුණු ගැන මතක් කරගැනීම වැදගත්ය.
හැත්තෑ හත් වසරක මෙරට ගෙවී ගිය දේශපාලන යුගය දෙස හැරී බලන විට අපට හමුවන්නේ දේශපාලන කණ්ඩායම් දෙකක් මාරුවෙන් මාරුවට මෙරට රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම සහ දුර්වල කිරීම සිදු කළ බවය. බණ්ඩාරනායකවරුන් පෙරටු කරගත් ශ්‍රී.ල.නි.ප.ය සහ එහි උදව්කාර වාමාංශික පක්ෂ රාජ්‍ය හිමිකාරිත්වයට යටත් නිෂ්පාදන කර්මාන්ත අතිවිශාල වශයෙන් පිහිටුවීය. ඒ යුගයට අදාළ නොවූවත් සැබැවින්ම පසු කාලීනව රජයට බරක් බවට පත්වූයේ මෙසේ ආරම්භ කරන ලද කර්මාන්තශාලාය. ඒ සමගම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු නිරතුරුවම මෙම රාජ්‍ය කර්මාන්ත වසා දැමීමටත්, එම කර්මාන්ත පෞද්ගලික අංශය මගින් ඉටුකරගැනීමටත් උත්සාහ කළේය.
මෙරට ජන සතු සංකල්පය ගෙන ආවේ වාමාංශිකයන් විසිනි. 1956 බණ්ඩාරනායක රජයත් අගමැති බණ්ඩාරනායකගේ ඝාතනයෙන් පසු බලයට ආ සිරිමාවෝ බණ්ඩාරනායක රජයත් ආණ්ඩු බලය ලබාගත්තේ තම රජය යටතේ පෞද්ගලික අංශයට අයත්ව තිබූ දේපළ ජන සතු කිරීමය. ජන සතු කිරීම යනුවෙන් අදහස් වූයේ රජයට පවරා ගැනීමය. 1960 සහ 1970 දශක දෙකේදී වාමාංශික පක්ෂවල සහායෙන් රට පාලනය කළ ශ්‍රී.ල.නි.ප. ආණ්ඩු විසින් එතෙක් ජාතික ආර්ථිකයට බරක් නොවී පෞද්ගලික අංශය යටතේ පාලනය වූ ආයතන අතිවිශාල සංඛ්‍යාවක් රජයට පවරා ගැනිණ. පොදු දේපළ ලෙස හැඳින්වෙන්නේ එසේ ජන සතු කළ ආයතනයි. එහෙත් අද වන විට මෙම ආයතන නඩත්තු කිරීම රජයට අතිමහත් බරක් වී ඇති බව පෙනෙන්නට තිබේ. මෙරට ආර්ථික පරිහානියට ප්‍රධාන හේතුවක් වූයේ ඉවක් බවක් නැතිව පෞද්ගලික අංශය සතුව තිබූ ආයතන රජයට පවරාගෙන රාජ්‍ය වියදම අතිවිශාල ලෙස ඉහළ නංවා තිබීමය.
මෙනිසාම ඇතැම් ආර්ථික විශේෂඥයන් පවසන්නේ ජන සතු කළ ව්‍යාපාර සමාජවාදී පක්ෂවල සිහිනයක් ඉටුකර දීමක් බවය.
බණ්ඩාරනායක රජය බස් ජන සතුවෙන් ආරම්භ කළ රජයට දරාගත නොහැකි බර බණ්ඩාරනායක මැතිනියගේ රජය යටතේ පාසල් රජයට පවරාගැනීමෙන් තවත් වැඩි කරගත්තේය. බස් මෙන්ම පාසල් නඩත්තු කිරීමටත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් අතිවිශාල මහජන මුදල් ප්‍රමාණයක් වැය විය. එතෙක් මේ බර තිබුණේ අදාළ පෞද්ගලික අංශවලට මිස රජයට නොවේ.
බණ්ඩාරනායක රජය යටතේ මෙරට තිබූ විදේශීය තෙල් සමාගම් රජයට පවරා ගැනීම තවත් විශාල බරක් රජයට එකතු කරගැනීමක් විය. මේ වන විට රජයට දරාගත නොහැකි ලොකුම බර වන්නේ ඛනිජ තෙල් ගෙන ඒම සඳහා ඩොලර් උපයාගැනීමය.
1970 බලයට පත්වූ සමගි පෙරමුණු රජයේ පාලන කාලය පුරාම වාමාංශික පක්ෂ සහ සංවිධානවල එකම සටන් පාඨය වූයේ උඩරට වතු, රන් පවුම් වතු විදේශීය බැංකු මෙන්ම විරුද්ධවාදී දේශපාලකයන් සතු ව්‍යාපාරික ආයතන රජයට පවරා ගන්නා ලෙසය. “ධනපතියන් නැති කරන්න....” “ධනපතියන්ගේ දේපළ පවරා ගන්න” වැනි සටන් පාඨ නිරතුරුවම මතු කිරීමේ ප්‍රතිඵලය වූයේ මහා භාණ්ඩාගාරයට දරාගත නොහැකි තරම් සේවකයන් පිරිසක් සමග පෞද්ගලික ආයතන රජය සතු වීමය.
අද ඇමෙරිකානු රජය මෙම ප්‍රකාශය කරන්නේ ඇමෙරිකානුවන්ගේ ද ආරම්භක මව්බිම වූ බ්‍රිතාන්‍යය ලංකාව යටත් කරගෙන සිටි කාලයේ මෙරට කර්මාන්ත විනාශ කළ හැටි නොදැන ද යන්න ප්‍රශ්නාර්ථයකි. කලාපයේ අන් කිසිදු රටක නොතිබූ ආකාරයේ ස්වයංපෝෂිත කර්මාන්ත ක්‍රමයක් 1815 වර්ෂය වනතුරුත් මෙරට පැවැතුණි. කර්මාන්ත හෙවත් කම්හල් හෙවත් කම්මල් ගණනාවක් මෙරට ක්‍රියාත්මක විය. මෙරට කුල ක්‍රමය ඇති වූයේ ද මෙම කම්මල් ක්‍රමය ආශ්‍රයෙනි. රන් රිදී වැඩ, පිත්තල වැඩ, කම්මල් වැඩ, ලාක්ෂා වැඩ ආදි කර්මාන්ත ද, රෙදි විවීම, පැදුරු විවීම (කින්නර), මැටි භාණ්ඩ නිෂ්පාදනය (කුඹල්), ගස් මැද පැණි හකුරු කර්මාන්තය (වහුම්පුර), බෙර නිෂ්පාදනය සහ ඒ ආශ්‍රිත නාද ශිල්පය (නැකති) ආදි කර්මාන්ත රාශියක් ක්‍රියාත්මක විය. මෙම කර්මාන්ත සේවා කුල ලෙස ද හැඳින්විණි. මෙම කම්මල්කරුවන්ගේ රාජකාරිය අනුව ඔවුහු පවුල් පරම්පරා ගණනාවක් එක දිගට මෙම රාජකාරියේ යෙදී සිටියහ. මෙම රාජකාරි කර්මාන්ත සමාජයේ මුල් බැසගත්තේ කුල වශයෙනි. එහෙත් “කුල” යන වචනය තුළට සීමා කිරීමෙන් පුරාණ ලංකාවේ අතිශය දියුණු කර්මාන්ත ගණනාවක්ම ලඝු කිරීමකට ලක්විය. “කුල” යන වචනය තුළට රිංගවා මෙරට පැවැති කර්මාන්ත සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි. 1833 දී ඔවුන් විසින් ගෙන එන ලද කෝල්බෲක් - කැමරන් ආණ්ඩු ප්‍රතිසංස්කරණ යෝජනා මගින් මෙකී කර්මාන්ත ආශ්‍රිත පවුල් පරම්පරා ගොනු වී තිබූ “කුල” ක්‍රමය අහෝසි කෙරුණි. පියාගෙන් පුතාට පැමිණි මෙම කර්මාන්ත අහෝසි කිරීම මගින් මෙරට මුල් බැසගෙන තිබූ කර්මාන්ත ජාලයම විනාශ වී ගියේය. ඔවුන් මෙම කර්මාන්ත විනාශ කිරීම නම් කළේ “රාජකාරි ක්‍රමය” අහෝසි කිරීම වශයෙනි. එමගින් මෙරට තිබූ කම්මල් කර්මාන්තය අහෝසි කර ඒ වෙනුවට බ්‍රිතාන්‍යයේ නිපදවෙන උදලු, කැති, පිහි, නාරාසන ඇතුළු උපකරණ මෙරට වෙළෙඳපොළට ගෙන ආවේය. මැටි වළං නිෂ්පාදනය අඩාළ කර බ්‍රිතාන්‍යයේ වළං කර්මාන්තයට මෙරට වෙළෙඳපොළ විවෘත කළේය. මෙරට දේශීය අත්යන්ත්‍ර රෙදි නිෂ්පාදනය වළලා දමා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් රෙදි මෙරට වෙළෙඳපොළට ගෙන ආවේය. මෙරට රා තහනම් කර බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන විස්කි හා බ්‍රැන්ඩිවලට ඉඩ ලබා දුන්නේය. කුල ක්‍රමය අහෝසි කරන බව ලෝකයට හා රටට පෙන්වා සිටිය ද එමගින් අහෝසි කරන ලද්දේ මෙරට තුළ ස්වයංපෝෂිතව තිබූ එකී සේවා ආර්ථිකයයි. ඉන් පසු රන් රිදී බඩු, යකඩ ආශ්‍රිත නිෂ්පාදන, රෙදිපිළි, යකඩ ඇණ, රා අරක්කු, උළු ආදි සියලු කර්මාන්ත නිෂ්පාදන බ්‍රිතාන්‍යයෙන් මෙරටට ගෙන එන ලදී. මෙරට නිෂ්පාදන කර්මාන්ත ඉන් පසු කිසි දිනක යළිත් වර්ධනය වූයේ නැත.
දශක ගණනාවක්ම එක් රජයකින් ආරම්භ කර තවත් රජයකින් වසා දමන්නට හෝ විකුණා දමන්නට සිදු වූ ආයතන මෙරට ජාතික ධනය උරා බීවේය. වැඩෙමින් තිබූ මෙරට පෞද්ගලික අංශය නැති කර දැමීමේ “ගෞරවය” ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුවලට ද ලාභ ලබමින් තිබූ රාජ්‍ය ආයතන තම ගජමිතුරන්ට විකුණා දැම්මේ “ගෞරවය” එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවලට ද ලැබිය යුතුය.
මෙම විකුණා දැමීම පසු කාලීනව අර්ථ විග්‍රහ වූයේ පෞද්ගලීකරණය හෝ ජනතාකරණය යන නම්වලිනි.
1980න් ඇරැඹුණු දශකයේදී ද කර්මාන්ත ගණනාවක් ආරම්භ විය. එමගින් අපනයන මෙහෙයුම් කර්මාන්ත ප්‍රමාණය ඉහළ ගියේය. විදේශීය කර්මාන්ත ගණනාවක් නිදහස් වෙළෙඳ කලාප තුළ ආයෝජන ඇරැඹුවේය. එහෙත් නිදහස් ආර්ථිකය යටතේ භාණ්ඩ ගලා ඒමත් සමග කාර්යක්ෂමතාවයෙන් ඌණ කර්මාන්තවලට වැසී යාමට සිදු විය.
1977 ආර්ථික ප්‍රතිසංස්කරණවලට පෙර දැඩි ආනයන පාලන විදේශ විනිමය සීමා කිරීම් හා ඉහළ තීරුබදු මගින් කර්මාන්ත විශාල වශයෙන් ආරක්ෂා වී තිබුණි. දිගු කාලයක් තිස්සේ අඛණ්ඩව පැවැති මෙම සීමා කිරීම් මගින් බොහෝ දුරට දිරිගන්වනු ලැබුවේ දේශීය වෙළෙඳපොළට නැඹුරු වූ කාර්මික අංශයකි. මෙම පියවර නිසා බොහෝ විට අකාර්යක්ෂම කර්මාන්ත ආරක්ෂාකාරි වූ අතර එමගින් විදේශ ආයෝජන ගලා ඒම අවහිර කෙරිණි. කර්මාන්ත අංශයේ විශාල පරිමාණ ආයෝජන ද අධෛර්යමත් කෙරිණි. මෙම ඒකාධිකාරය යටතේ යම් බඩු භාණ්ඩ මෙරට නිපදවුවද නිදහස් ආර්ථික සුළඟත් සමග ගලා ආ භාණ්ඩ ප්‍රවාහයට හසු වී මෙම කර්මාන්ත බිමටම සමතලා විය.
මේ වන විට කර්මාන්තශාලා සඳහා අවශ්‍ය තරුණ ශ්‍රම බළකායක් මෙරට නැත. තරුණ පරම්පරාවෙන් ලක්ෂ දහයකට අධික පිරිසක් රැකියා සොයා විදේශගත වී සිටිති. මේ වන විට රට තුළ සිටින ශ්‍රම බළකාය සැලකෙන්නේ මහලු ශ්‍රම බළකායක් වශයෙනි. වසර ගණනාවකට පෙර සේවයට බැඳුණු ඒ බොහෝ දෙනා මේ වන විට තම රැකියා කාලසීමාවේ අඩකටත් වඩා පසු කර ඇත. එවැනි ශ්‍රමිකයන් පිරිසක් ශ්‍රම බළකාය ලෙස නොසැලකෙන අතර, දිනෙන් දින මහලු වෙමින් පවතින ශ්‍රමිකයන් සමග කටයුතු කිරීමට බොහෝ කර්මාන්තශාලා හිමියන් අකැමැතිය.
ඇමෙරිකාව වත්මන් මාලිමා රජයේ මාක්ස්වාදි ප්‍රතිපත්තිවලට විරුද්ධව කතා කළ ද ගාලු මුවදොර අරගලයේදී මාලිමා කණ්ඩායම ඇතුළු පැවැති රජයට එරෙහි කණ්ඩායම්වලට ආධාර කළේ ඇමෙරිකාව බව මෙරට බොහෝ දෙනාට රහසක් නොවේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා බලයට පත්වූ විගසම එතුමාගේ නිල X ගිණුම හරහා හෙළිදරව් කළේ ශ්‍රී ලංකාව, යුක්‍රේනය, බංග්ලාදේශය ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළා දැමීම සඳහා යූඑස්ඒඩ් සංවිධානය මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 260ක් වැනි ඉතා විශාල මුදලක් වියදම් කර ඇති බවය. ඒ නිසා ඇමෙරිකාව වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා පියවර ගත්තේ ඔවුන්ගේ මාක්ස්වාදි නැඹුරුව ගැන නොදැන නොවේ.
ඇත්ත වශයෙන්ම බලයට ඒමට පෙර ලාංකිකයන් බොහෝ දෙනකුට මාලිමාවේ මාක්ස්වාදී ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණ ද ඔවුන් රාජ්‍ය බලයට පත්වූ පසු මාක්ස්වාදී ප්‍රතිපත්ති මත රට පාලනය කළේ නැති බව ද සඳහන් කළ යුතුය. කිසිවකුත් නොසිතූ ආකාරයට මාලිමා ආණ්ඩුව රට පාලනය කරන්නේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා අත්සන් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති සමග සමපාතවය. ධනවාදි ලිබරල් මිශ්‍ර ආර්ථික ක්‍රමයෙන් යුතු මෙරට ආර්ථික හා දේශපාලන රටාව වෙනස් කිරීමට මාලිමාව උත්සාහ කළේ නැත. එය සාධනීය තත්ත්වයකි. එවැනි විටක ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශය අපභ්‍රංශයක් ලෙස සැලකිය හැකිය.
ප්‍රේමකීර්ති රණතුංග