අප ජීවත්වෙන විදිය සමහරුන්ට මැජික්එකක් වෙලා - වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න


ආණ්ඩුවේ වසරක කාර්යසාධනය, වත්කම් බැරකම් ප්‍රකාශවලින් සමාජගත වී ඇති තොරතුරු ඇතුළු කාලීන දේශපාලන හා ආර්ථික තේමා රැසක් සංවාදයට ලක්කරමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සමග කළ සාකච්ඡාවක සටහන මෙසේ ය.

 

ආණ්ඩුවේ මාස හැටෙන් 12 ක් ඉවරයි. කරපු කියපු දේවල් ගැන මොක ද හිතෙන්තෙ ?

පහෙන් එකක් අවසානයි. අපි මේ භාරගත්ත රට වසර 76 ක් ආපු පාරෙන් අලුත් පාරකට හරවන්නෙ. ආරම්භය ටිකක් දුෂ්කරයි. නමුත් ගෙවුණු අවුරුද්දෙදී අපි මූලික අඩිතාලම හොඳින් දාලා තියෙනවා. ආරම්භක වේගය අඩු වුණාට අපිට ඉදිරියෙදී වේගය වැඩි කරන්න පුළුවන්. සමාජයේ විශ්වාසය ගොඩ නැගෙමින් තියෙනවා. ආර්ථිකයත් එසවෙමින් තියෙනවා. ඒ නිසා ආපසු හැරිලා බලද්දී අපිට තියෙන්නෙ තෘප්තියක් හා ශක්තියක්.

ඉතුරු මාස 48 දී කරනවා කියපු ඔක්කොම කරන්න පුළුවන් වෙයි ද?

ජනතාවට පොරොන්දු දුන්නෙ කරන්නනෙ. ඒ කියපුවා අනිවාර්යයෙන්ම කරනවා. කිව්වට වැඩිය යමක් කරන්නත් අපි මහන්සි වෙනවා. ගෙවුණු අවුරුද්දෙදී වෙච්ච පොරොන්දුවලට වැඩිය දේවලුත් කරලා තියෙනවා. උදාහරණයක් විදියට පළමු වසරෙදිම අපි රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් වැඩි කළා. නමුත් පළමු අවුරුද්දෙදි වැටුප් වැඩි කරනවා කියලා කිව්වෙ නෑ.

වැටුප් වැඩි කරපු එක අයවැයට බරක් නෙවෙයි ද?

අයවැයට බරක් නොවන බව අපි මේ වෙන කොට තහවුරු කරලා තියෙනවා. මේ රටේ එක මොහොතක් තිබුණා වැටුප් ගෙවාගන්න බැරි තෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න බැරි. නමුත් අපි වැටුප් ගෙවනවා. තෙල් ගෙන්වනවා. මිනිස්සුන්ට තිබුණු බරෙන් කොටසක් අපි සැහැල්ලු කළා.

අයි.එම්.එෆ්. ගිවිසුමේ රටට අහිතකර එකඟතා වෙනස් කරනවා කියලා මැතිවරණ වේදිකාවල කිව්වට මේ ආණ්ඩුව දැන් අයි.එම්.එෆ්. එකටත් වඩා අයි.එම්.එෆ්. වෙලා කියලා සමාජයට පේනවා. ඒ ගැන මොකක්ද කියන්න පුළුවන් ?

විපක්ෂය කිව්වෙ අපි බලයට ආවොත් අයි.එම්.එෆ්. එක දාලා යයි කියලා. ආර්ථිකය ආපහු අර්බුදයකට යයි කියලත් ඔවුන් කිව්වා. නමුත් මේ වෙන කොට පෙන්වලා තියෙනවා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ගමනක් යනවා කියලා. අපි මැතිවරණයට කලිනුත් ජනතාවට කිව්වා අයි.එම්.එෆ්. සමග එළැඹුණු ගිවිසුම්වලින් අයින් වෙන්නෙ නෑ කියලා. ආණ්ඩුව අයි.එම්.එෆ්. එකටත් වඩා අයි.එම්.එෆ්. වෙලා කියලා කියන්නෙ විරුද්ධ පක්ෂයේ අයනෙ. අපි අයි.එම්.එෆ්. එකත් එක්ක වසරක් කරපු ගනුදෙනුවලින් රටට වෙච්ච හානිය මොකක්ද? රටට හානි වෙන ගිවිසුම්වලට ඇවිත් නෑ. ජනතාව පීඩාවට පත් වෙන කොන්දේසිවලට එකඟ වෙලත් නෑ. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ කරගන්න අපට පුළුවන් වුණා.

ඒත් විදුලි බිල වැඩි කිරීමට මූල්‍ය අරමුදල නිර්දේශ කරලා තිබුණා. ඒ වගේම ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙනුත් ලොකු කලබැගෑනියක් තියෙනවා. ආණ්ඩුව මේ ප්‍රශ්නය විසඳන්නෙ කොහොමද?

විදුලි බිල සම්බන්ධයෙන් අපි පුරෝකථනයක් කළා. විදුලි බල මණ්ඩලය පාඩු ලබන අකාර්යක්ෂම ආයතනයක් බව කවුරුත් දන්නවා. අපි බලයට ආවට පස්සෙ සැලකිය යුතු ප්‍රමාණයකින් විදුලි බිල අඩු කළා. ප්‍රතිව්‍යුහගතකරණය ගත්තොත් කලින් සැලසුම් කරලා තිබුණෙ ලංවිම කෑලිවලට කඩලා පෞද්ගලික අංශයට දෙන්නනෙ. නමුත් දැන් මේ සමාගම් නිර්මාණය වෙන්නෙ රාජ්‍ය අංශය ඇතුළෙමයි. කළමනාකරණය කරමින් ලංවිම පාඩු ලබන තත්ත්වයෙන් මුදවා ගන්න බලනවා.

නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් තියෙනවා ද?

ඔව්. ආර්ථිකය ගොඩනගන්න නම් නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍යයි. අපි ඒකට පියවර අරන් තියෙනවා. මගේ අමාත්‍යාංශයෙන්ම උදාහරණ අරගෙන මට මේක පැහැදිලි කරන්න පුළුවන්. පොල් අපනයන භෝගයක් වුණත් අපි බලයට ආපු විගසම රටේ ජනතාවට අවශ්‍ය පොල් නැති වුණා. පොල්වල මිල ඉහළ ගියා. පැවති පොහොර හිඟය හා මිල අධික වීම නිසා පහුගිය කාලයේ පොල්වලට පොහොර වැටුණෙ නෑ. හලාවත වැවිලි සමාගමේ පොල්වලට අවුරුදු පහකින් පොහොර දාලා නෑ. එතකොට කොහොමද මේ වසරෙ හොඳ පොල් අස්වැන්නක් එන්නෙ. 2024 දී සමස්ත පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2754 ක්. වසරකට පරිභෝජනයටත් කර්මාන්තවලටත් ගෙඩි මිලියන 3000 ක් ඕනෑ. ඒ අවශ්‍ය ප්‍රමාණය නොලැබුණු නිසා පොල් ගෙඩි මිලියන 200 කට සරිලන ආනයනයක් කරන්න වුණා. 2030 දී ගෙඩි මිලියන 4700 ක අස්වැන්නකුත් පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 1500 ක ආදායමකුත් අපේක්ෂා කරනවා. ඔය විදියට තේ, රබර්, කුරුඳුවලට අපි සැලසුම් හදලා තියෙන්නෙ. මේ හැම ක්ෂේත්‍රයකම අපනයන ආදායම් වැඩි කරනවා. 2024 මුල් මාස හතයි මේ අවුරුද්දෙ පළමු මාස හතයි සන්සන්දනය කරද්දී පොල් ක්ෂේත්‍රයේ අපනයන ආදායම් සියයට 60 කින් වැඩිකරගෙන තියෙනවා. තේ අපනයන ආදායම් සියයට 13 කිනුත් රබර් අංශයෙ සියයට 10 කිනුත් වර්ධනය කරලා තියෙනවා.
ආණ්ඩුව නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කළාට සමහර කර්මාන්ත පණ අදිනවා. පැල්වත්ත, සෙවණගල උදාහරණ..

මගේ මන්ත්‍රී වැටුප යන්නෙ ගිණුමකට. ඒ ගිණුමෙන් තමයි ඒ මුදල් පක්ෂ අරමුදලට යන්නෙ

 

අපිට ලෙඩා හම්බ වෙන කොට දීපු බෙහෙත්වලින් ලෙඩේ ඔද්දල් වෙලා මරණාසන්න වෙලා වගේ ඉන්නවා. සෙවණගල පැල්වත්ත කියන්නෙත් එහෙම දෙකක්. අසාධ්‍ය ලෙඩෙක් ගත්තෙ. සමහර අය අහනවා තවම ලෙඩා සනීප නෑනෙ කියලා. මේ ලෙඩේ එකපාරට සනීප කරන්න බෑ. රජයේ මුදලුත් දාලා මේ කර්මාන්තශාලාවල සහ ගොවීන්ගෙ ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා.

උක් ගොවීන්ගෙ හිඟ මුදල් ගෙවන්නත් පියවර ගන්නවා ද?

ගෙවමින් යනවා. කැබිනට් තීන්දුවකට අනුව පැල්වත්ත සීනි සමාගමට සමාගමේ සේවකයන්ගෙ හා උක් ගොවීන්ගෙ මුදල් ගෙවන්න රුපියල් බිලියනයක් දුන්නා. ඒ වගේම දුඹුරු සීනිවලට සතොස ඇතුළෙ මාකට් එක හදන්නත් අපි සාකච්ඡා කරනවා. සෙවණගල පැල්වත්ත ඉදිරි තැනකට අපි අරගෙන එනවා.

සමාජවාදය කරලා රුපියල් කෝටි ගණන් හම්බ කරන්නෙ කොහොමද කියලා විපක්ෂය ප්‍රශ්න කරනවා. ඔබට ඒකට උත්තරයක් තියෙනවා ද?

ලංකාවේ සමාජවාදය කරලා නෑනෙ. ලංකාවෙ තියෙන්නෙ දුර්වල ලිබරල් ධනේශ්වර ක්‍රමයක්නෙ. සමාජවාදී ක්‍රමයක් ඇතුළෙ මිනිස්සු මීට වඩා සතුටින් පොහොසත් භාවයෙන් කල්ගත කරනවා. පහුගිය කාලේ ලංකාවේ තිබුණෙ සම්පත් සාධාරණ විදියට ජනතාව අතර බෙදී නොගිය ක්‍රමයක්නෙ. ඔබ මේ ප්‍රශ්නෙ අහන්නෙ වත්කම් බැරකම් ප්‍රකාශ ගැනනෙ. ඕන කෙනකුට මොනවාම හරි වත්කමක් තියෙනවානෙ. ඉතින් අපිට තියෙන වත්කම් අපි ප්‍රකාශ කරලා තියෙනවා. සමහර වත්කම් අපේ මවුපියන්ගෙන් ආපු ඒවා. රැකියාවක් කරලා උපයා ගත්තු වත්කමුත් තියෙනවා. අපි ඒවා හංගන්නෙ නැතුව ඉදිරිපත් කරලා තියෙනවා. ඔන්න අපි ආණ්ඩුව ගන්න කොටම අපේ වත්කම් බැරකම් ප්‍රකාශ කරලා තියෙනවා. අවුරුදු පහක් යද්දි බලන්න අපි මොනවා හරි වංචා දූෂණ කරලා අපේ වත්කම් වැඩිකරගෙන තියෙනවාද කියලා.

ජේවීපී ඇමති නියෝජ්‍ය ඇමති 51 දෙනාම තමන්ගෙ මාසික වැටුප පක්ෂ අරමුදලට බැර කරනවා. ඇත්තටම ඔබලට ජීවත් වෙන්න පුළුවන් ද?

ඕකත් ඉතිහාසයෙ ඉඳන් ම අහන ප්‍රශ්නයක්නෙ. සමාජයේ සියලුම අය රස්සා කරලාද ජීවත් වෙන්නෙ කියලා මම ඇහුවොත්. එහෙම නෑනෙ. ඒ වගේ අපිත් මේ සමාජය ඇතුළෙ ජීවත් වෙනවා. එක්කො අපට මවුපියන්ගෙන් ලැබුණු වත්කම් තියෙනවා. තව අයට මාසික වැටුප් ලැබෙනවා. මගේ බිරිඳ ගුරුවරියක්. එයාට මාසික වැටුපක් ලැබෙනවා. මේක සමහරුන්ට තේරුම් ගන්න බෑ. දැන් දේශපාලන සංස්කෘතිය වෙනස් නිසා බොහෝ අයට මේක තේරුම් ගන්න බෑ. ඒ අයට මේක මැජික් වගේ.

ඔබේ වත්කම් බැරකම් ප්‍රකාශ භාර දීලා ද තියෙන්නෙ?

භාර දීලා තියෙන්නෙ.

මොනවාද ඔබේ වත්කම්?

පහුගිය කාලෙ මගේ බිරිඳට බැංකු ගිණුම් 15 ක් තියෙනවා කියලා සමාජ මාධ්‍යවල දාලා තියෙනවා මම දැක්කා. බිරිඳත් මගෙන් ඇහුවා ඒ බැංකු ගිණුම් 15 හොයලා දෙන්න පුළුවන් ද කියලා. මගේ මන්ත්‍රී වැටුප යන්නෙ ගිණුමකට. ඒ ගිණුමෙන් තමයි ඒ මුදල් පක්ෂ අරමුදලට යන්නෙ. නමුත් මගේ වත්කම් බැරකම් එකට ඒක අදාළ නෑනෙ. මටවත් මගේ බිරිඳටවත් දරුවො තුන්දෙනාටවත් වෙන කාගෙ හරි නමකට ගත්තු ඉඩම් නෑ. හැබැයි මට තියෙනවා පොදු ඉඩමක්. ඒකෙ මගෙ අක්කයි නංගිලා දෙන්නයි අම්මයි ජීවත් වෙනවා. කවුරුහරි ඕක ප්‍රශ්න කරන්න පුළුවන් නිසා මගේ වත්කම් ප්‍රකාශයට ඒක දැම්මා, නොබෙදූ ඉඩමක් තියෙනවා කියලා.

ප්‍රජා යටිතල පහසුකම් ඔබේ අමාත්‍යාංශයට අයත් කොටසක්. වතුකරයෙ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවා ද?

මලයගම් ප්‍රජාව කියන්නෙ මේ රටේ ඉන්න මූලික මානව හිමිකම්වත් නොලැබුණු ජන කොට්ඨාසයක්. වැවිලි කර්මාන්තය සඳහා ශ්‍රමිකයො හැටියට මේ ප්‍රජාව ලංකාවට ඇවිත් පහුගිය 2023 ට අවුරුදු 200 ක් සම්පූර්ණ වුණා. මේ මිනිස්සුන්ට තමන්ට කියලා බිම් අඟලක් නෑ. තමන්ට කියලා ඉඩමක් නෑ. නිවෙසක් නෑ. ඒ නිසා ලිපිනයකුත් නෑ. ඒ අයට ලියුම් එන්නෙ වතුඅධිකාරී නමට. අනුර සහෝදරයා ජනාධිපති වෙන්න කලින් අපි හැටන්වලදී ඓතිහාසික හැටන් ප්‍රකාශය ඉදිරිපත් කළා. මේ ප්‍රජාවට අපේ රජයක් යටතේ අයිතිවාසිකම් ලබා දෙනවා කියලා අපි පොරොන්දු වුණා. ඒ පොරොන්දුව අපි යම් පමණකට අද (12) ඉෂ්ට කරනවා. ඒ අනුව අද උදෑසන 10 ට බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයෙ දී ඉඩම් නැති 2056 කට ඉඩමක හිමිකම් පත්‍ර ලබා දීමේ උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඔප්පු ප්‍රමාණයකුත් ලබා දෙනවා. ඉන්දියානු ආධාර යටතේ තමයි මේ නිවාස හැදෙන්නෙ. අපි ඒකට ඉන්දියාවට ස්තුතිවන්ත වෙනවා. ගෙවල් හදන්න ඉන්දියාවෙන් මුදල් දෙනවා. පාරවල් විදුලිය හා ජලය ලබා දෙන්න ලංකාවේ භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දෙනවා. ඊට අමතරව පවුල් 2000කට ලංකා රජයෙන් පර්චස් 10 ක ඉඩමක් දෙනවා.

ඒ ජනතාවගේ ප්‍රශ්න ඉඩම් ගෙවල් දීමෙන් පමණක් විසඳන්න පුළුවන් ද?

වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න පෙළගැස්සුවොත් මුල් තැන තියෙන ප්‍රශ්නය තමයි නිවෙසක් නැතිකම. ඒ අයගෙ අනිත් ප්‍රශ්නවලටත් අපි ප්‍රමුඛතාව දීලා තියෙනවා.

කුරුඳු ඇතුළු වැවිලි අංශය දියුණු කරන්න අරගෙන තියෙන ක්‍රියා මාර්ග මොනවා ද?

අපිට ජාතික වැවිලි ප්‍රතිපත්තියක් තිබුණෙ නෑ. ඒ නිසා අපි බලයට ඇවිත් වැවිලිවලට ජාතික ප්‍රතිපත්තියක් හැදුවා. ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ක්‍රියාකාරී සැලැස්මකුත් හදන්න ඕන. ඒ අනුව කුරුඳුවලට ක්‍රියාකාරී සැලැස්මක් හදලා තියෙන්නෙ. තව තේ පොල්වලටත් පස් අවුරුදු සැලසුම් හදලා තියෙනවා. පොල් වගාවට අදාළ සැලසුම යටතේ උතුරු පොල් ත්‍රිකෝණය ආරම්භ කළා. තේ, පොල්, රබර්, කුරුඳු කියන භෝග හතරෙන් 2030 වෙද්දී ඩොලර් බිලියන 6.5 ක ආදායමක් ගේන්න බලාපොරොත්තු වෙනවා.

සමන්ත විද්‍යාරත්නට උමා ඔය මතක ද?

උමාඔය මතකයි. ඒවා ජීවිතේ කෑලි වගේ වෙලානෙ තියෙන්නෙ.

ඒ ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වුණු සමහරුන්ට තවම හරිහැටි වන්දි ලැබිලා නෑ කියලා වාර්තා වෙනවා. ආණ්ඩුව ඒ ප්‍රශ්නයට මැදිහත් වෙනවා ද?

උමාඔය නොවිසඳුණු ප්‍රශ්න විසඳන්න අපි ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒ හින්දා අපි විශේෂ කැබිනට් අනුකමිටුවක් දැම්මා. ඒ කමිටුවෙ සභාපති ලාල්කාන්ත ඇමතිතුමා. ඒකෙ මමත් ඉන්නවා. 2025.06.22 ඒ ජනතාවට සහන දෙන්න අපි කැබිනට් පත්‍රිකාවක් දැම්මා. වන්දි නොලැබුණු ජනතාවට වන්දි දෙන්න කටයුතු කරනවා. ඊට අමතරව ඒ ජනතාවගෙන් ලැබුණු අලුත් පැමිණිලි ගැන හොයා බලන්න විශේෂ රාජ්‍ය නිලධාරී කමිටුවක් පත් කරන්නත් තීරණය කරලා තියෙනවා. කෝටි ගාණක වන්දි ගෙවන්න සූදානම්.

ඊළඟ සැරේත් ජනාධිපති වෙන්නෙ අනුර සහෝදරයා ද?

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව මේ අවසන් ජනාධිපතිනෙ.

ඒ කියන්නෙ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා?

විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එනවා.

සාකච්ඡා කළේ 
උපුල් වික්‍රමසිංහ