
බන්ධනාගාර ඉතිහාසයේ සහකාර අධිකාරී ධූරයට පත් පළමු නිලධාරිනිය
යකඩ දොරවල් වැසී යන හඬ ඇසෙන විට බොහෝ දෙනකුට සිතෙන්නේ එය නිදහස අහිමි වූ ජීවිතයක නිහඬ නිමාව කියාය. එහෙත් ඒ යකඩ දොරවල් පිටුපස තවමත් හුස්ම ගන්නා මනුෂ්‍යත්වයක් තිබේ. අතීතයේ කළ වැරදිවලින් බර වූ හදවත් තිබේ. තම දරුවන්ගේ මුහුණු යළි දකින්නට පෙරුම් පුරන මව්වරුන් සිටිති. තමන්ට අහිමි වූ ජීවිතය යළි ගොඩනඟා ගැනීමට සිහින දකින කාන්තාවෝ සිටිති.
කාන්තා බන්ධනාගාරයේ උස් තාප්ප අතරින් දිනපතා ගමන් කරන ඇයට ඒ සියල්ල අලුත් අත්දැකීම් නොවේ. නීතියේ සීමාවන් තුළ රාජකාරිය ඉටු කළද, ඒ සෑම රුඳවියකගේම පිටුපස සැඟවී ඇති වේදනාව, පසුතැවීම සහ මනුෂ්‍යත්වය ඇය හොඳින් හඳුනන්නීය.
සමහරවිට බන්ධනාගාරයක සැබෑ කතාව ඇත්තේ එහි යකඩ දොරවල් තුළ නොව, ඒ දොරවල් පිටුපස නිහඬව හඬන හදවත් තුළ විය හැක. එවැනි හදවත් සමඟ දිනෙන් දින ජීවත් වන ඇය, වැලිකඩ කාන්තා බන්ධනාගාර අංශ භාර සහකාර බන්ධනාගාර අධිකාරිනී දිස්නා කාරියවසම් මහත්මියයි. ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ සහකාර අධිකාරි ධුරයකට පත්වූ පළමු නිලධාරිනිය ඇයයි.
”1993 වසරේදී බන්ධනාගාර නිලධාරිනියන් බඳවා ගන්නා බවට ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ වෙනකොට මම උසස් පෙළ හදාරලා ඉවර වෙලා, රජයේ පරිපාලන සේවා විභාගයට සූදානම් වෙන්න යාළුවෝ කීපදෙනෙක් එක්ක අමතර පන්තියකට යමින් හිටියේ. මගේ ගම්පළාත දකුණු පළාතේ හික්කඩුව, දොඩන්දූව. මම ඉගෙන ගත්තේ දොඩන්දූව රෝහණ බාලිකා මහා විද්‍යාලයෙන්. පාසල් කාලයේදී මම ඒ පාසලේ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ බේස් ඩ්‍රම්ස් වාදනය කළා. ඒ නිසාම පොඩි කාලේ ඉඳන්ම නිල ඇඳුමක් ඇඳගෙන රැකියාවක් කරන්න මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා.
ඒ නිසාම මම ශාරීරික අධ්‍යාපන පීඨයටත්, පොලිසියේ උප පොලිස් පරීක්ෂක තනතුරටත් අයදුම්පත් යොමු කරලා තිබුණා. ඒ අතරින් මට මුලින්ම කැඳවීමේ ලිපිය ලැබුණේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන්. 1993 වසරේදී මම ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ හතරකට මුහුණ දුන්නා. අවසානයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් බන්ධනාගාර නිලධාරිනියන් දෙදෙනෙකු තෝරාගනිද්දී, ඒ දෙදෙනා අතරට මාවත් තෝරාගෙන තිබුණා.”
ඇය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රැකියාවකට එක්වීමට තීරණය කළ අවස්ථාවේදී, එම තීරණයට පවුලේ සියලු දෙනාගෙන්ම එකවර කැමැත්තක් ලැබුණේ නැත. ඒ වන විට බන්ධනාගාරය පිළිබඳව සමාජය තුළ පැවති විවිධ මත සහ ආකල්ප හේතුවෙන්, ඇය එවැනි රැකියාවකට යොමුවීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් තුළ යම් අකමැත්තක් පැවතිණි.
කෙසේ වෙතත්, ඇගේ පියාගේ සිත තුළ ඇගේ කැමැත්තට යම් ඉඩක් තිබිණි. සහෝදරියන් තිදෙනකු සහ සහෝදරයන් තිදෙනකුගෙන් යුත් පවුලක බාලම දියණිය වූ ඇය, ඒ වන විටත් සිය සහෝදර සහෝදරියන් විවාහ වී සිටීම හේතුවෙන් දෙමාපියන්ගේ සෙවණේ ජීවත් වූවාය. පවුලේ බාලයා වූ ඇය පිළිබඳව දෙමාපියන් තුළ තිබූ ආදරය සහ ආරක්ෂාකාරී හැඟීමද, ඇය තෝරාගත් මෙම වෘත්තීය මාර්ගය පිළිබඳ පවුලේ මුල් අකැමැත්තට තවත් එක් හේතුවක් වන්නට ඇත.
එහෙත්, තමන්ගේ සිත තුළ තිබූ කැමැත්ත අත් නොහැර ඇය සිය තීරණය වෙනුවෙන් පෙනී සිටියාය. අවසානයේදී පියාගේ කැමැත්තත්, පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ අවබෝධයත් ඇයට හිමි විය. පවුලේ ආශිර්වාදය මැද ඇය සිය වෘත්තීය ජීවිතයේ පළමු පියවර තැබුවාය.
ඒ අනුව ඇයට මුල්ම පත්වීම ලැබුණේ ගාල්ල බන්ධනාගාරයටය. එහිදී ඇය බන්ධනාගාර නියාමකවරියක ලෙස රාජකාරියට එක්වූවාය. සරලව පැවසුවහොත්, බන්ධනාගාරයේ “ජේලර්වරියක” ලෙස හැඳින්වෙන එම තනතුර, ඇගේ දිගු බන්ධනාගාර සේවා ජීවිතයේ ආරම්භය විය. එදා ඇය තැබූ ඒ පළමු පියවර, වසර ගණනාවක් පුරා බන්ධනාගාර සේවයේ විවිධ අභියෝග හා අත්දැකීම් මැද ඇයව අද සිටින තැන දක්වා රැගෙන ආ දීර්ඝ ගමනක සමාරම්භය විය.

පවුලේ අය සමඟ
එක් තරුණියක් නිදහස් වෙන්න ලැබෙන්න කියලා බන්ධනාගාර ගේට්ටුව ළඟ ඉඳලා බෝධීන් වහන්සේ ළඟට දණගාගෙන යන්න බාරයක් වෙලා තිබුණා. ඇය නිදහස් වෙලා ඒ බාරය ඔප්පු කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ බන්ධනාගාරයේ හිටපු හැම නේවාසිකාවක්ම ඇයට අත්පොළසන් දීලා ඇයව දිරිමත් කළා. ඒක හරිම සංවේදී දර්ශනයක්.
රාජ්‍ය සේවයේ ලැබෙන පළමු පත්වීමක් යනු ඕනෑම තරුණයකුගේ හෝ තරුණියකගේ ජීවිතයේ අමතක නොවන සන්ධිස්ථානයකි. තමන්ගේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු දහසක් හදවතේ තුරුළු කරගෙන, අලුත් ජීවිතයකට පළමු පියවර තබන සුන්දර මොහොතකි. එවැනි මොහොතක, බන්ධනාගාර නිල ඇඳුමින් සැරසී ගාල්ල බන්ධනාගාරයේ දොරටුව අසලට පැමිණි ඇගේ හදවත තුළද හැඟීම් රැසක් එකවර ගොඩනැගෙන්නට ඇත.
එය ඇයට හුදෙක් රැකියාවකට පැමිණි පළමු දිනය පමණක් නොවේ ඇගේ සිහින, බලාපොරොත්තු සහ අනාගතය වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරකි. සමාජයේ ඇතැමුන් බන්ධනාගාරය දෙස බියෙන් හා සැකයෙන් බැලූ සමයක, ඇය එහි දොරටු තුළින් ඇතුළු වූයේ අභියෝගයක් භාරගත් අභීත තරුණියක ලෙසය. ඒ මොහොතේ ඇගේ සිත තුළ තිබූ උද්යෝගය මෙන්ම, නුහුරු ලෝකයකට පියමං කරන තරුණියකගේ සුළු චකිතයක්ද වන්නට ඇත. එහෙත් එදා ගාල්ල බන්ධනාගාර දොරටුවෙන් ඇය තැබූ ඒ පළමු පියවර, වසර ගණනාවක් පුරා දිවෙන දීර්ඝ සේවා ගමනක ආරම්භය බව ඇය එදා නොදන්නට ඇත. කාලය ගෙවී යද්දී, එදා තරුණියක ලෙස ඇතුළු වූ ඇය, අද බන්ධනාගාර සේවයේ අත්දැකීම් සමුදායක් සතු පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක බවට පත්ව සිටින්නීය.
“බන්ධනාගාරයට මමත් එක්ක ගාල්ලෙන්ම තවත් කෙනෙක් ආවා. ඊට කලින් මාතරින් තුන්දෙනෙක් ඇවිත් හිටියා. ඒ විදිහට අපි පස්දෙනා එකට එකතු වුණාම, අපිට ඒක හරියට පාසලක් වගේ දැනුණේ. ඒ වෙනකොට අපි ගොඩක් තරුණයි. ඒ නිසාම එකිනෙකාට උදව් කරගෙන, එකට ඉගෙන ගනිමින්, බොහොම සතුටින් තමයි අපි වැඩ කළේ.
ඒ කාලේ දොරටු භාර නිලධාරිනියට ලොකු වගකීමක් තිබුණා. ඒ නිසාම අපිට හිතුණා, හොඳ චර්යාවකින් සහ වගකීමකින් යුතුව මේ ආයතනයේ වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. අපි යාළුවෝ පස්දෙනා බොහොම සතුටින් අපේ රාජකාරිය කළා. මම අවුරුදු දහතුනක් විතර එක දිගටම ගාල්ල බන්ධනාගාරයේ සේවය කළා. ඊට පස්සේ මාතරටත්, ආයෙත් ගාල්ලටත් මාරු වෙමින් මගේ රාජකාරිය කරගෙන ගියා.”
බන්ධනාගාරයේ ජීවත් වන්නේද අප මෙන්ම මිනිසුන්ය. එහෙත් සමාජය ඔවුන්ට එක් නමක් ලබාදී තිබේ; ඒ ‘සිරකරුවෝ’ යන නාමයයි. ඒ නාමයත් සමඟ ඔවුන්ගේ පෞද්ගලික අනන්‍යතාව බොහෝ විට මැකී යයි. එහෙත් එම උස් තාප්පවලින් වට වූ ලෝකය තුළ තවමත් හුස්ම ගන්නේ හැඟීම් දැනීම් ඇති මිනිස් හදවත්ය.
එහෙත් ඔවුන්ගේ ඒ සියලු හැඟීම්, බලාපොරොත්තු, ආදරය සහ වේදනාව වට කරගෙන ඇත්තේ උස් තාප්පයකි. ඒ තාප්පය ඔවුන්ව සමාජයෙන් වෙන් කළද, මනුෂ්‍යත්වයෙන් වෙන් කළ නොහැකිය. සිරකරුවකු යනු ඔහු හෝ ඇය කළ වරද පමණක් නොවේ. එම වරදට එහා ගිය අතීතයක්, පවුලක්, මතකයන්, කඳුළු සහ බලාපොරොත්තු ඇති මනුෂ්‍යයෙකි. බන්ධනාගාරයේ උස් තාප්ප අතර සැඟවී ඇත්තේ එවැනි මිනිස් ජීවිතවල නිහඬ කතාය.
”බන්ධනාගාරයට කාන්තාවක් පැමිණෙන එකම මම දකින්නේ හරිම ඛේදවාචකයක් විදිහටයි. මොකද මේ කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක් අම්මලා. නැත්නම් කවදා හරි අම්මා කෙනෙක් වෙන්න බලාගෙන හිටපු අය. ඇය බන්ධනාගාරයේ යකඩ ගේට්ටුවෙන් ඇතුළට එන්න කලින්, ලෑලි දොර ළඟට එනවා. එතැනින් පස්සේ ඇගේ ජීවිතයේ තිබුණු දේවල් එකින් එක ඇගෙන් ඈත් වෙනවා. ඇය ඇඳගෙන ආපු ඇඳුම පවා ඉවත් කරනවා. ඒ වෙනුවට බන්ධනාගාරයේ නියමිත සුදු ඇඳුමක් ඇයට දෙනවා.
ඒ වෙලාවේ ඇයට ඇගේ නමත් අහිමි වෙනවා. මෙතෙක් ඇයව හඳුනාගත්තේ ඇගේ නමින් වුණාට, බන්ධනාගාරයට ආවට පස්සේ ඒ නම වෙනුවට ඇයට ලැබෙන්නේ අංකයක්. මට හිතෙන්නේ, ඒ මොහොත කාන්තාවකට දරාගන්න හරිම අමාරු මොහොතක් කියලයි.”

බන්ධනාගාරයට කාන්තාවක් පැමිණෙන එකම මම දකින්නේ හරිම ඛේදවාචකයක් විදිහටයි. මොකද මේ කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක් අම්මලා. නැත්නම් කවදා හරි අම්මා කෙනෙක් වෙන්න බලාගෙන හිටපු අය. ඇය බන්ධනාගාරයේ යකඩ ගේට්ටුවෙන් ඇතුළට එන්න කලින්, ලෑලි දොර ළඟට එනවා. එතැනින් පස්සේ ඇගේ ජීවිතයේ තිබුණු දේවල් එකින් එක ඇගෙන් ඈත් වෙනවා.
“විශේෂයෙන්ම පළමු වතාවට බන්ධනාගාරයට එන කාන්තාවක් ගැන හිතන්න. නඩුවක් වෙනුවෙන් ඇය සතු මුදල් වියදම් කරලා, නීතිඥයන් ළඟට ගිහින්, පොලිසියට ගිහින්, අවසානයේ නඩුව අහලා, සිර දඬුවමක් ලැබිලා බන්ධනාගාරයට එනවා. ඒ වෙලාවේ ඇගේ හිතේ ඇතිවන වේදනාව වචනවලින් විස්තර කරන්න බැහැ. නීතියට අනුව ඇගේ සාමාන්‍ය ඇඳුම ඉවත් කරලා සුදු ඇඳුම අන්දන අවස්ථාවේදී ඇය මානසිකව ගොඩක් කඩා වැටෙනවා. ඇය මෙතෙක් ජීවත් වූ ලෝකයෙන් එකවරම වෙනත් ලෝකයකට ඇතුළු වෙනවා.
බන්ධනාගාරය ඇතුළේ තියෙන්නේ වෙනම උපසංස්කෘතියක්. නිදහස සීමා වෙනවා. තමන් කැමති විදිහට ජීවත් වෙන්න බැහැ. නියමිත කාලසටහනකට අනුව ජීවත් වෙන්න සිදුවෙනවා. තමන්ගේ පවුලෙන්, රැකියාවෙන් සහ සමාජයෙන් ඈත් වෙන්න සිදුවෙනවා. ඒ විදිහට ඇය සතු දේවල් එකින් එක අහිමි වෙලා අවසානයේ බන්ධනාගාරයට එන ඇයගෙන්, අපි කොහොමද සතුටින් ඉන්නවද කියලා අහන්නේ? ඇගේ ජීවිතයේ අහිමිවීම් දිහා බැලුවාම ඇත්තටම මට හරිම දුකයි. ඒ හැම කාන්තාවක් තුළම අපිට පෙනෙන්නේ වරදක් කළ කෙනෙක් විතරක් නෙමෙයි; අහිමිවීම් ගොඩක් එක්ක ජීවත් වෙන මනුස්සයෙක්.”
තම පවුලේ උණුසුමෙන් ඈත් වී, සමාජයෙන් වෙන් වී, උස් තාප්පවලින් වට වූ සිර මැදිරි අතර ජීවත් වන ඔවුන්ට බොහෝ අවස්ථාවලදී තමන්ගේම කියන මිනිසුන් වෙනුවට සමීපව සිටින්නේ බන්ධනාගාර නිලධාරීන්ය. රැඳවියන්ට සමාජය විසින් ලබා දී ඇත්තේ ”සිරකාරිය” යන නාමය වුවද, ඔවුන් තුළ ඇති මනුෂ්‍යත්වය දකින්නේ මෙම නිලධාරීන්ය. ඒ නිසාම, පවුලෙන් ඈත් වූ ඒ ජීවිතවලට බන්ධනාගාර නිලධාරීන් ඇතැම් විට රාජකාරි නිලධාරීන් පමණක්ම නොවෙති. ඔවුන්ගේ කඳුළක් දකින, නිහඬ වේදනාවක් හඳුනාගන්නා, තමන්ට අහිමි වූ පවුලේ උණුසුම වෙනුවට යම් මොහොතකට හෝ මනුෂ්‍යත්වයේ උණුසුමක් ලබාදෙන සමීපතමයන් බවට පත්වෙති.
“කාන්තාවන් බන්ධනාගාරයට ආවට පස්සේ, ඔවුන් වෙනුවෙන් ඇතුළේ පුනරුත්ථාපන අංශයක් තියෙනවා. අපි ඒ අංශයට ගිහින් ඔවුන් එක්ක කතාබහ කරනවා. ඒත් සමහර වෙලාවට ඔවුන් අපි එක්ක කතා කරන්නේවත් නැහැ; නිහඬව ඉන්නවා. ඒ නිහඬකම ඇතුළේ තියෙන වේදනාව අපිට හිතාගන්නවත් බැරි තරම්. විවිධ රෝගවලින් පීඩා විඳින කාන්තාවන් ඉන්නවා. තාඩන පීඩනවලට ලක්වුණු අය ඉන්නවා. ජීවිතයේ විවිධ මානසික සහ ශාරීරික පීඩාවන් විඳගෙන බන්ධනාගාරයට ආපු අය ඉන්නවා. ඒ හැමෝම ඇතුළෙන් ගොඩක් සංවේදී හදවත් තියෙන මිනිස්සු.”
“මට තවමත් අමතක නොවන සිදුවීමක් තියෙනවා. දවසක් හවස සිර දඬුවමක් විඳින්න බන්ධනාගාරයට ආපු කාන්තාවකට, රාත්‍රියේදී දරු ප්‍රසූතියට ආසන්න වෙලා අමාරු වුණා. අපි ඉක්මනින්ම ඇයව රෝහලට අරගෙන ගියා. එදා ඇය පුතෙක් බිහි කළා. ඒ පුංචි දරුවා ලැබුණට පස්සේ, අම්මාත් දරුවාත් නැවත බන්ධනාගාරයට ආවා. ඒ දර්ශනය මට අදටත් අමතක කරන්න බැහැ. දරුවෙක් ලැබුණු අම්මා කෙනෙක්... ඒත් ඒ අම්මාට තමන්ගේ දරුවාත් අරගෙන නිදහස් ලෝකයකට යන්න බැහැ; ඒ දරුවාත් එක්කම බන්ධනාගාරයේ ජීවත් වෙන්න සිදුවෙනවා.”
“මේ බන්ධනාගාර කුටි ඇතුළේ තියෙන්නේ අපිට පිටතින් පෙනෙන්නේ නැති මනුෂ්‍ය කතා ගොඩක්. මාස ගණන් කිරි සප්පයෝ ගෙදර තියලා, තමන්ගේ දරුවන්ගෙන් ඈත් වෙලා, අවුරුද්දක් දෙකක් සිර දඬුවම් විඳින අම්මලාගේ වේදනාව මේ බිත්ති දන්නවා. දරුවා අසනීප වෙලා ඇත්ද, කෑම කෑවාද, තමන්ව මතක් වෙනවාද කියලා හිතමින් නිහඬව කඳුළු හෙළන අම්මලා මේ බන්ධනාගාරය ඇතුළේ ඉන්නවා.
ඒ නිසාම මේ ජීවිත ගැන කතා කරනකොට, මට ඒවා නිකම්ම රාජකාරියේදී හමුවන සිදුවීම් වගේ දැනෙන්නේ නැහැ. ඒ හැම සිදුවීමක්ම මනුෂ්‍ය හදවතකට දැනෙන කතාවක්. ඔවුන් අතින් වැරදි සිද්ධ වුණා වෙන්න පුළුවන්. ඒත් ඔවුන් අම්මලා. ඔවුන්ටත් දුක දැනෙනවා; ආදරය ඕනේ; තමන්ගේ දරුවන්ව තුරුළු කරගන්න හිතෙනවා. ඒ නිසාම ඒ ජීවිත ගැන හිතනකොට මට අදටත් හිතට දැනෙන්නේ ලොකු වේදනාවක්.”
ඇතැම් කාන්තාවන්ට බන්ධනාගාරය යනු ජීවිතයේ වරක් පමණක් පැමිණෙන ස්ථානයක් නොවේ. ඔවුන්ට එය ඇතැම් විට රජයේ රෝහලක් මෙන් හුරුපුරුදු ස්ථානයක් බවට පත්ව තිබේ. පැමිණීමත්, නැවත පිටව යාමත් ඔවුන්ගේ ජීවිතයේ සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත. එහෙත් ඒ සෑම පැමිණීමක් පිටුපසම ඇත්තේ වෙනස්ම වූ ජීවිත කතාවකි.
කෙසේ වෙතත්, බන්ධනාගාරයේ උස් තාප්ප අතරින් ඇතුළු වූ සෑම කාන්තාවක්ම එතැනින් නැවතත් එලෙසම පිටව යන්නේ නැත. තමන් කළ වැරදි හඳුනාගෙන, අතීතය පිළිබඳ පසුතැවිලි වී, තම ජීවිතය යළි ගොඩනඟා ගැනීමට අධිෂ්ඨාන කරගත් කාන්තාවෝද බොහෝ දෙනෙක් සිටිති.

වැලිකඩ කාන්තා අංශ භාර සහකාර බන්ධනාගාර අධිකාරිනී දිස්නා කාරියවසම්
“එක ගැහැනු දරුවෙක් රිමාන්ඞ් වෙලා අපි ළඟ හිටියා. මාස හය-හතක් විතර ඇයව ඇතුළේ තියාගෙන නඩුව ඇහුවා. දවසක් උසාවියට යන්න කලින් දවසේ ඇය මට කිව්වා, “මැඩම්, මගේ තීන්දුව හෙට තියෙනවා” කියලා. මම ඇයට කිව්වා, “හෙට උදේට බුදුන් වැඳලා යන්න” කියලා. මම හැමදාම උදේ පාන්දරම බන්ධනාගාර පරිශ්‍රයේ තියෙන බුදු මැදුරට ගිහින් බුදුන් වඳිනවා.පහුවදා උදේ මම බුදුන් වඳිමින් ඉන්නකොට, මේ දරුවත් බුදුන් වැඳලා මාව පහුකරගෙන ගියා. ඒත් ටික දුරක් ගිහින් ආයෙත් දුවගෙන මගේ ළඟට ඇවිත් කිව්වා, “මැඩම්, මාවත් මතක් කරලා බුදුන් වඳින්න” කියලා. ඊට පස්සේ ඇය උසාවි ගියා.”
“එදා ඇයව නිදොස් කොට නිදහස් කරලා තිබුණා. ඇය බන්ධනාගාරයෙන් නිදහස් වෙලා යන්න කලින්, ගේට්ටුව ළඟ ඉඳලා බෝධීන් වහන්සේ ළඟට දණගාගෙන යන බාරයක් වෙලා තිබුණා. එදා ඇය ඒ බාරය ඔප්පු කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ බන්ධනාගාරයේ හිටපු හැම නේවාසිකාවක්ම ඇයට අත්පොළසන් දීලා ඇයව දිරිමත් කළා. ඒක හරිම සංවේදී දර්ශනයක්. තමන්ට එදා නිදහස ලැබෙන්නේ නැති වුණත්, තවත් කෙනකුට නිදහස ලැබෙන එක ගැන අනිත් අය සතුටු වුණා.”
“අද වෙනකොට කාන්තා අංශය ඇතුළේ තදබදයක් තියෙනවා. හැබැයි මේ නේවාසිකාවන් අපි මෙතැනට බලෙන් ගෙන්වා ගත්ත අය නෙමෙයි. ඒ නිසා තියෙන තත්ත්වය කොහොම හරි ඉවසගෙන, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න අපිට සිදුවෙලා තියෙනවා. මම හැම වෙලාවකම කාන්තා අංශයේ ඇවිදිනවා. හැම වාට්ටුවකටම දිනපතාම වගේ ගිහින් බලනවා. ඒ අය එක්ක කතා කරනවා. වතුර ගැන, කෑම ගැන, තියෙන අඩුපාඩු ගැන අහනවා. ඔවුන්ගේ ගැටලු හොයලා බලනවා.
ඉඩ පහසුකම් ප්‍රමාණවත් නැති නිසා ඇතැම් වෙලාවට ඔවුන්ට අපහසුතා මැද ජීවත් වෙන්න වෙනවා. නිදාගන්නවත් හරි පහසුකමක් නැති අවස්ථා තියෙනවා. ඒක ඔවුන්ට ලොකු අමාරුවක්. නමුත් ඒ හැම අමාරුවක් මැදම, බන්ධනාගාරය ඇතුළේ ඔවුන්ටත් ජීවිතයක් තියෙනවා කියලා අපි ඔවුන්ට දැනෙන්න සලස්වන්න ඕනේ. ඔවුන්ව නිකම්ම අතහැරලා දාන්න බැහැ. ඔවුන්ගේ දුක අහන්න කෙනෙක් ඉන්නවා කියලා දැනෙන්න ඕනේ.”
“ඇත්තටම අපි ඔවුන්ට හොඳ සවන් දෙන්නෙක් වෙන්න ඕනේ. මට හිතෙන්නේ ඒක තමයි ඔවුන්ට තියෙන ලොකුම ශක්තිය. සමහර වෙලාවට ඔවුන් පුංචි දෙයකටත් කලබල වෙනවා. නමුත් ඒ පිටුපස තියෙන්නේ ඔවුන්ගේ සංවේදී සිතයි. ඔවුන් ගොඩක් සංවේදී මිනිස්සු.”
දිස්නා විජේකාන්ති මහත්මිය යනු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයක් දරන පළපුරුදු නිලධාරිනියකි. එහෙත් ඇගේ නිල ඇඳුමෙන් සහ තනතුරෙන් ඔබ්බට ගිය විට, ඇයද අප මෙන්ම හැඟීම් දැනීම් ඇති කාන්තාවකි; බිරිඳකි; මවකි.
දිනපතාම අන් අයගේ වේදනා, කඳුළු සහ ජීවිත කතා අතර රාජකාරියේ නිරත වුවද, ඇගේ හදවත තුළද තම පවුල වෙනුවෙන් වූ ආදරය, වගකීම් සහ බැඳීම් තිබේ. බන්ධනාගාරයේ උස් තාප්ප අතර අන් අයගේ ජීවිතවල දුක දකින ඇය, තම නිවසේ දොරටුවෙන් ඇතුළු වන මොහොතේ බිරිඳක ලෙසත්, මවක ලෙසත් තවත් වෙනස්ම වූ සුන්දර ලෝකයකට පිවිසෙන්නීය.
ඒ නිසාම, ඇය බන්ධනාගාර රැඳවියන්ගේ කඳුළු දකින්නේ නිලධාරිනියකගේ දෑසින් පමණක් නොවේ; බිරිඳකගේ හදවතින් සහ මවකගේ සංවේදීතාවයෙන් යුතුවය. එය ඇගේ වෘත්තීය වගකීම ඉක්මවා ගිය මනුෂ්‍යත්වයේ උතුම් බැඳීමකි.
“මමත් කාන්තාවක්. බන්ධනාගාරයේ ඉහළ නිලයක් දැරුවත්, මමත් අම්මා කෙනෙක්. මගේ සැමියාට හොඳ බිරිඳක්. මම ලංකාව පුරාම විවිධ බන්ධනාගාරවල රාජකාරි කරලා තියෙනවා. ඒ කාලය තුළ මේ රස්සාව අතහැරලා දාන්න හිතුණු අවස්ථා අනන්තවත් තිබුණා. මේක රෝස මල් යහනාවක් නෙමෙයි; ගොඩක් අමාරුයි, විවිධ අභියෝග තියෙනවා. සමහර වෙලාවට හිතෙනවා ‘ඇයි මම මේ රස්සාව කරන්නේ?‘ කියලා.
හැබැයි මගේ සැමියාත්, මගේ දරුවෝ දෙන්නත් මාව හැම වෙලාවකම ශක්තිමත් කළා. මගේ සැමියාත් බන්ධනාගාර සේවයේ නිලධාරියෙක්. මගේ ලොකු පුතා වෛද්‍යවරයෙක්, පොඩි පුතා වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඒ තුන්දෙනා තමයි මගේ ජීවිතයේ ලොකුම ශක්තිය.”
“මම මගේ දරුවන්ට මගේ ආදරය දීලා, ඔවුන්ට අවශ්‍ය දේවල් ලබාදීලා, ඔවුන් ළඟ ඉන්න පුළුවන් වුණා. ඒත් මේ නේවාසිකාවන් අතරේ, තමන්ගේ දරුවන්ට ආදරය තිබුණත් ඒ දරුවන් ළඟ ඉන්න බැරි අම්මලා ඕනෑ තරම් ඉන්නවා. තමන්ගේ දරුවා දිහා බලාගෙන දරුවාට කිරි ටිකක් දෙන්නවත් බැරිව, තමන්ගේ දරුවා තුරුළු කරගන්න බැරිව, දරුවන්ගෙන් ඈත් වෙලා ඉන්න අම්මලා මේ බන්ධනාගාරය ඇතුළේ ඉන්නවා. ඒ නිසා මම ඔවුන් දිහා බලන්නේ නිලධාරිනියක් විදිහට විතරක් නෙමෙයි, මමත් අම්මා කෙනෙක් නිසා ඔවුන්ගේ වේදනාව මට හොඳින් දැනෙනවා.”
උස් තාප්පවලින් වට වූ බන්ධනාගාරය තුළ ජීවත් වන සෑම කාන්තාවක්ම සිරකාරියක’ යන නාමයෙන් පමණක් හඳුනාගත නොහැක. ඒ සෑම නමක් පිටුපසම කඳුළු ඇති මවක්, ආදරය සොයන කාන්තාවක් සහ යළි ජීවිතය සොයා යන්නට බලා සිටින මනුෂ්‍ය හදවතක් ඇත. යකඩ දොරවල් වැසුණද, මනුෂ්‍යත්වයේ දොරවල් කිසිදා වැසෙන්නේ නැත.
දිශානි ජයමාලි කරුණාරත්න

