මරණයට අභියෝග කරන බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත


තංගල්ල නගර සභා කාර්ය මණ්ඩලයේ පිරිසක් - ඔවුන් ගේ අඹු දරුවන් සමග විනෝද චාරිකාවකට සහභාගී වූයේ ඉකුත් 4 වැනිදා ය. නුවරඑළිය, හක්ගල, සීතාදේවී කෝවිල, බෝඹුරු ඇල්ල, හා හපුතලේ ඇඩිෂම් බංගලාව යනාදිය නරඹා අවසන් වන විට රෑ බෝවී තිබිණ. ඇල්ල - වැල්ලවාය මාර්ගය ඔස්සේ යළි තංගල්ල බලා ධාවනය වෙමින් පැවති මෙම පිරිස රැගත් බසය -  24 කණුව අසල දී අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්විය.

මෙම අනතුරෙන් රියැදුරු ඇතුළු 15 දෙනෙක් එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත්වී, 17 දෙනෙකු බරපතළ තුවාල ලැබූ අතර, තුවාලකරුවන් බේරාගැනීමට උත්සාහ කිරීමේ දී යුද හමුදා විශේෂ බළකා සාමාජිකයෙක් සහ සිවිල් වැසියෙක් ද තුවාල ලැබූහ. මේ මහා ඛේදවාචකයේ දුක්ගිනි තවමත් නිවී නොමැත. ඒ කෙසේ වෙතත් - මේ දුක්ගිනි අතුරින් මතු වූ මිනිස්කම කොයි කාගෙත් කතාබහට ලක්වුණි.

බදුල්ල ශික්ෂණ රෝහලේත් - හපුතලේ, බණ්ඩාරවෙල සහ වැල්ලවාය යන රජයේ රෝහල්වලත් වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්, ආරක්ෂක අංශ සාමාජිකයන්, පොලිසිය සහ ප්‍රදේශවාසීන් සිදුකළ කාර්යභාරය අතිවිශාලය.

ඒ අතරින් වඩාත්ම කතාබහට ලක් වූයේ - බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී, රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමයේ සහකාර ලේකම් පාලිත රාජපක්ෂ ගැන ය.

හදවත් රෝගියෙකු වන ඔහු දෙවරක් හදිසි හෘදයාබාධ තත්ත්වයන්ට  මුහුණ දී හෘදයට සවිකළ යම් උපකරණයක බලයෙන් ජීවත්වෙන තැනැත්තෙකි. ඔහුගේ ජීවිත කතාව වරෙක පුදුම සහිත ය. වරෙක ත්‍රාස ජනක ය. තවත් වරෙක දුක්මුසු ය. 

?  ඩොක්ටර් ගෙ අතීත කතාව කියන්නකො

“මම ඉපදුණේ රත්නපුරේ කරන්ගොඩ කියන ගමේ. තාත්තා කළේ මැණික් පතල් රස්සාව. පවුලේ සහෝදරයන් තුන් දෙනයි, එක සහෝදරියකුයි ඉන්නවා. අම්මාට රැකියාවක් නැහැ. අපේ ගම හරිම සුන්දරයි. ඇළ දොළ ගංගා තියෙනවා. වාරය ආවම රඹුටන් ගස්වල පිරෙනවා. දූරියන් වතු අපටත් තියෙනවා. කාගෙවත් ගෙවල් ඉඩකඩම් වැටවල් ගහල වෙන් කරලා තිබුණේ නැහැ. පුංචි කාලේ - කැලෑ ගෙඩි කාලා, ඇළේ දොළේ පැය ගණන් නාලා, ඔරුපැදලා හරිම විනෝදයෙන් ගත කළා. උදේ ඉඳන් අඳුර වැටෙන කල් යාළුවොත් එක්ක ක්‍රිකට් ගැහුවා. හුඟාක්ම රෑබෝ වුණු සමහර දවසට තාත්තා මාව සොයාන ඇවිත් කෝටුවකින් දෙක තුනක් පහර දී ගෙදර එක්ක ගිය හැටි මට තාම මතකයි. පුංචි කාලේ මම හරිම දඩබ්බරයි කියලා අම්මත් කියනවා.”

?  පාසල් ගමන කොහොම ද?

“මම ඉගෙන ගත්තෙ රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ. ඉස්කෝලෙ කාලෙත් දඩබ්බර ජීවිතයක්. වලියකට සහභාගි නොවූ දිනයක් නැති තරම්. මගේ වලි නොවෙයි යාළුවන් ගේ වලිවලට හොට දාල සිදුවූ දේවල්. හැබැයි ක්‍රීඩාවල දී පොදු කටයුතුවල දි මම ඉදිරියෙන්ම  හිටියා. ඒ නිසා ගුරුවරු මට ආදරය කළා. මොන වැරැද්ද කළත් ඉස්කෝලෙන් අස් නොකළේ ඒ නිසයි. කොහොම නමුත් මාවත්, අන් සැවොමත් මවිත කරවමින් අ.පො.ස. උසස් පෙළෙන් සමත් වෙලා, ඒ ප්‍රතිඵල අනුව රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරුණා.”

?  කොහොමද සරසවි ජීවිතේ ?

“ඒ කාලේ දකුණේ අභාසයත් , හයියත් මට ලැබුණා. වලිවලටත් පැටළුණා . දේශපාලනය නම් කළේ නැහැ. සරසවි ජීවිතයේ කියන්න බැරි බොහෝ දේවල සිදුවුණා. කෙහොම හරි වෛද්‍ය උපාධිය ලබාගත්තා.”

?  කොහොමද ජීවන සහකාරිය ලැබුණේ?

“ඒක මගේ ප්‍රථම සහ අවසන් ප්‍රේමය. එයා ගේ නම ප්‍රියංකා කුමාරි. ඉස්කෝලේ උසස් පෙළ කරද්දි කීප වතාවක්ම ට්‍රයිකළා, ඒත් මට වචනයක් දුන්නේ නැහැ. හැබැයි මම විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ කැමති වුණා. එයත් වෛද්‍ය පීඨයට තේරිලා පසුව වෛද්‍යවරියක් වුණා.

තංගල්ල නගරසභාවේ සේවකයන් ගමන් කළ බස්රථය අඩි දහසක ප්‍රපාතයට පෙරලී විනාශ වී තිබූ අයුරු

දෙමාපියන් ගේ කැමැත්තත් ඇතිව අපි විවාහ වුණා. එයා මම සේවය කරන රෝහලේම සේවය කරනවා. අපි දෙන්නම වෛද්‍යවරු නිසා අන්‍යොන්‍ය අවබෝධය හොඳටම තියෙනවා. මට පුතෙක් ඉන්නව, එයාගෙ නම හරිඳු. ඉගෙන ගත්තේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ. කැලණිය විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබාගැනීමෙන් පසු, ආචාර්ය උපාධියක් සඳහා ඇමරිකාවට ගිහින් ඉන්නවා. එයා ගේ බිරිඳත් එයත් එක්කම එහේ ආචාර්ය උපාධිය කරනවා. ඒගොල්ලන්ටත් පුතෙක් ඉන්නවා. මට තාම ඒ මුනුපුරා දැකගන්න බැරිවුණා.

?  ඇයි ඒ. ?

“මට විදෙස් ගමන් තහනම් කරලයි තියෙන්නේ. බදුල්ල රෝහලේ සහ ඌවේ රෝහල්වල ඖෂධ නැහැ කියල මාධ්‍යයට කිව්ව කියන චෝදනාව දාල පසුගිය රජය කාලේ 2022 විනය පරීක්ෂණයක් ආරම්භ කළා. තවමත් ඒක අවසන් නැහැ. මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සමුළුවක දීත් කිව්වා බෙහෙත් නැහැ කියල. සෞඛ්‍ය ඇමතිතුමත් පිළිගන්නවා ඖෂධ හිඟයක් තියෙනවා කියල. නමුත් තවමත් මගේ විනය පරීක්ෂණය ඉදිරියට යනවා. මේ නිසා මට කාර් පර්මිට් එක නැතිවුණා. වැටුප් වර්ධක අත්හිටෙව්වා. විනය පරීක්ෂණය සඳහා මේ වන විට මිලියන ගානක් මුදල් වැය වෙලා තියෙනවා. මුනුබුරා බලන්න යන්න බැරිවීම ගැන මම ඉන්නෙ විශාල වේදනාවකින්. ඒවගේම මේ පරීක්ෂණ නිසා මම ඉන්නේ විශාල මානසික පීඩාවකින්. අවසානයේ මේ හැමෝටම විරුද්ධව වන්දි ඉල්ලා මම නීතිමය පියවර ගන්නවා. රෝගීන්ට දෙන්න බෙහෙත් නැතිවුණාම වෛද්‍යවරුන් වශයෙන් අපිත් ලොකු පීඩනයකට සහ වේදනාවකට පත්වෙනවා. ඒක ප්‍රකාශ කිරීම වරදක් කියල මම නම් හිතන්නේ නැහැ. මේ මොනව කළත් වෛද්‍ය පාලිත රෝගීන් වෙනුවෙන් යන ගමන නතර කරන්න කාටවත් බැහැ.”

?  ඔබ කලක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙක්?

“ඔව්. ඒ කැම්පස් යන්න කලින්. කොහොම නමුත් මගේ ජීවිතය බේරුණා. කැම්පස් ගියාට පස්සේ දේශපාලන මතයක් තිබුණේ නැහැ.” 

?  කොහොමද වෘත්තිය සමිති ජීවිතය ?

“මම රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සාමාජිකයෙක්. විවිධ නිලතල දැරුවා. මේ වන විට සහකාර ලේකම් විදියට වැඩ කරනවා. පසුගියදා පැවැති එම නිලවරණයේ දී වැඩිම ඡන්දයෙන් සහකාර ලේකම් විදියට පත්වුණා. පසුගිය කාලය පුරා වෘත්තිය සමිතිය වෙනුවෙන් විශාල කාර්ය  භාරයක් කරන්න මට පුළුවන් වුණා. වෛද්‍යවරුන් ගේ සහ රෝගීන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් දියත් කළා.”

ඔබතුමා මීට කලින් මහ මැතිවරණයකට ඉදිරිපත් වෙන්න නාම යෝජනා අත්සන් කරලා ඇවිත් - මුතියංගණයේ දී ආශීර්වාද පූජාවකුත් තිව්වා මට මතකයි. අපි ඒක මාධ්‍යයෙන් වාර්තා කළා. 

“ඔව්. වියත්මගෙන් ඉල්ලන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. මැතිවරණය සඳහා ලොකුම වියත්මග රැස්වීම සංවිධානය කළෙත් මම. මට ඒතරම් ජනතා ප්‍රසාදයක් තිබුණා. නාමයෝජනාවලට අත්සන් කරලා ඇවිත් ඔබ කිව්ව විදියට මුතියංගණ විහාරයේ දී  ආශීර්වාද පින්කමකුත් කළා. නමුත් අවසාන මොහොතේ මගේ නම අයින් කරලා තිබුණා. වෛද්‍යවරුන් ගේ ප්‍රශ්නයක් ගැන හිටපු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ සමග සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවක  සිදුවූ බහින්බස් වීමක් නිසා මට විරුද්ධව චෝදනා කර තිබුණා. ඒක තමයි ඊට හේතුව කියල කිව්වේ. හැබැයි මේ තත්ත්වය මට සිදුකළ ලොකු අපහාසයක්. ඒනිසා මා ලැජ්ජාවට පත්වුණා .මානසික පීඩනයක් ඇතිවුණා. කොහොම නමුත් මම දැන් හිතනව ඒක නොලැබුණ එක යහපතක් කියල. දැන් මට දේශපාලන මතයක් නැහැ. හරි දේ හරි කියනවා, වැරැදි දේ වැරැදියි කියනවා. මගේ වපසරිය ඇතුළෙ කළ හැකි දේ කරනවා එච්චරයි.”

?  ඔබේ රාජකාරි ජීවිතයේ වඩාත් සංවේදී අවස්ථා තියෙනවද?

“ඔව් එහෙම අවස්ථා බොහොමයක් තියෙනවා. 2022 මැයි මස5 වනදා   කන්දේගෙදර තංගමලේ වත්තේ නායයාමක් සිදුවුණා. පස් දෙනෙක් වැළලී මියගියා. නායයමින් තිබූ ස්ථානයට බැහැල වැළලී සිටි වයස අවුරුදු එක හමාරක දරුවෙක් ගේ ජිවිතය බේරාදීමට මට හැකිවුණා. එදා තමයි ප්‍රථම වරට නායයාමක් දැක්කේ . ඊට පස්සේ  විවිධ අනතුරු අවස්ථාවල දී  ජීවිත හුඟාක් බේරාගන්න පුළුවන් වුණා. ලු‍ණුගල මාරක බස් අනතුර, පස්සර දී  සිදුවූ මඩොල්සිම දක්වා යමින් සිටිය දී සිදුවූ මාරක බස් අනතුර, තඹුත්තේගම සිට පැමිණ වන්දනා නඩයක් ගමන් කළ බස්රථය බදුල්ලේ දී අනතුරට ලක්වීම, ආරක්ෂක  විද්‍යා විශ්වවිද්‍යාලයේ පිරිසක් සමග සමග බදුල්ලේ දී සිදුවූ මාරක අනතුර යන  අවස්ථාවල දී වහාම  එම ස්ථානයට ගොස් මේ ආකාරයෙන් තුවාලකරුවන්ට එම ස්ථානයේ දීම මූලික ප්‍රතිකාර ලබා දී ජීවිත බේරාගැනීමට හැකිවීම ලොකු සතුටක්. ඒවගේම කොස්ලන්ද මීරියබැද්දේ මහා නායයාම, රිල්පොල දී සිදුවූ නායයාම, දෙමෝදර කම්හලක බොයිලේරුවක් පුපුරා 6 දෙනෙක් මියයාමේ සිද්ධියේ දී ජීවිත කීපයක් බේරාගැනීමට හැකිවුණා.”  

“ඒ වගේම මම මහියංගණය රෝහලේ සේවය කරමින් සිටිය දී පුදුමාකාර සිදුවීමක් වුණා. දෙහිඅත්තකණ්ඩිය හමුදා කඳවුරක රණවිරුවො 150 ක් හදිසියේ අසනීප වුණා. සියලු දෙනා හිතුවේ ආහාර විෂවීමක් කියලා. නමුත් මගේ නිරීක්ෂණ අනුව මම කිව්වෙම මෙය සයිනයිඩ් ශරිරගතවීමක් කියලා. ඒ මතය නිසා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් සමග ලොකු නෝක්කඩුවකුත් ඇතිවුණා. මගේ මෙහෙයවීමෙන් කොහොම හරි මූලික ප්‍රතිකාර දීල එම රණවිරුවන් රෝහල්වලට යවලා ඔවුන් ගේ ජීවිත බේරා ගත්තා. අවසානයේ දී අනාවරණය වුණා. සයිනයිඩ් ශරීරගතවී ඇති බව.” 

?  මම දැකල තියෙනවා - හැමදාම වගේ හවස් යාමයේ ඔබතුමා කොට කලිසමක් ඇඳගෙන ගෙදර ඉස්සරහ බෝක්කුවේ වාඩිවෙලා ජංගම දුරකථනය කනේ ගහ ගෙන ඉන්නවා. 

“ඔව්. දවසේ විඩාව නිවා ගන්න මම එහෙම නිදහසේ ඉන්නවා. අනෙක් කාරණේ තමයි මම නිදාගන්නේ මෙන්න මේ සෙටියේ කොට කලිසමක් නැතිනම් බොටම් එකක් ඇඳගෙන. ‍මොකද කොයි වෙලාවක  හදිසි ඇමතුමක් එයි ද දන්නේ නැහැ. එසැණින් යන්න මම ලෑස්තියි. මම හදිසි ඇමතුම් දෙන්න වෙනම දුරකථනයක් තබා තිබෙනවා. මොකද මගේ ජංගම දුරකථනයේ බැට්රි  බැහැල හරි නැවතුණොත් නොවරදවාම අනෙක් දුරකථනයෙන් තොරතුර එනවා.”

?  පණ ගිය මිනිසුන්ටත් පණ දෙනවා කියන්නේ ඇත්ත ද?

“අපි සිද්ධාන්තය දන්නවා. කාලයක් ඒවා භාවිතා කරන කොට පුරුදු වෙනවා. කාලයක් යනකොට අත්දැකීමෙන් නිතැතින්ම මේ වගේ ශක්තියක් එනවා. මගේ පුරුද්දක් තියෙනවා ලේසියෙන් අත හරින්නේ නැහැ. අල්ලගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් හාට් කේස් එකක් නිසා හදවත නැවතුණ පුද්ගලයෙකුට විනාඩි විස්සක් පමණ තමයි පන්ච් කරලා ජීවත් කරවන්න උත්සාහ කරන්නේ. මම වෙහෙස බලන්නේ නැතිව පැයක් පැය එක හමාරක් විතර හරි පන්ච් කරලා උත්සාහ කරනවා. මේ වාගේ අවස්ථාවල පණ ගිය රෝගීන් පවා පණ ලබා තිබෙනවා.”

“පසුගියදා රෝහලකින් සහ බෙහෙත් ශාලාවකින් මියගියා යැයි පවසා තිබූ හදවත් රෝගියෙක් මං ගැන විශ්වාස කරලා බදුල්ල රෝහලට  ගෙනාවා. අපි පැයක් විතර පන්ච් කරන කොට ඇති නේද කියල අනෙක් අය ඇහුවා. නැහැ...නැහැ...තව උත්සාහ කරමු කියලා, මම පන්ච් කරන කොට ඒ රෝගියාට පණ ආවා. මේ වගේ සිද්ධි කීපයක්ම වුණා.  ඒනිසා තමයි මිනිස්සුන් ගේ අදහසක් තියෙන්නේ පාලිත රාජපක්ෂ මහත්තය මැරුණ අයටත් පණ දෙනව කියල.” 

?  ඔබ මුහුණු පොතේ ප්‍රබල චරිතයක් ?

“ඒක අහඹු ආරම්භයක්. මට පළවෙනි හාට් ඇටෑක් එක ඇවිල්ලා සැත්කමකින් පසු ගෙදර විවේක ගත්තා. මේ වෙලාවේ කල්පනා කර කර ඉන්න කොට මගේ පුතා තමයි මුහුණු පොත හදල දුන්නේ. තාත්ත පාළුවටත් එක්ක මුහුණු පොතේ ඉන්න කියල. ඊට පස්සේ දිගටම මුහුණු පොත භාවිතා කරනවා. ලක්ෂ ගණනක් මගේ මුහුණු පොත පරිශීලනය කරනවා . මම සමහර වෙලාවට මුහුණු පොත හරහා බෝවෙන සහ බෝ නොවෙන රෝග පිළිබඳව ජනතා දැනුවත් කරනවා. ඒක සමාජ සත්කාරයක්. මුහුණු පොතෙන් හඳුනාගත් සමහරු රෝග කියල ප්‍රතිකාර ගැනත් අහනවා. මම ඒ අයටත් උදව් කරනවා.”

?  ඇල්ලේ බස් අනතුර ගැන මොනවද  කියන්නේ?

“මෙවැනි අනතුරුවල දී අපට මුහුණ දෙන්න තියෙන ලොකුම ගැටළුව තමයි තුවාලකරුවන් ගේ  සුශුම්නාවට සිදුවිය හැකි හානිය. අවුරුදු කීපයකට කලින් සිදුවූ ලු‍ණුගල බස් අනතුරේ රෝගීන් 5 දෙනෙක් තවමත් ඇඳන්වල කකුල් අත් පණ නැතිව. මෙම බස් අනතුරේ දී අපි එම ස්ථානයේ දීම මූලික ප්‍රතිකාර දීලා - ආරක්ෂිත බෝඩ්වල තියලා තුවාල කරුවන් ප්‍රපාතයේ සිට ඉහළට ගැනීමත්, රෝහල් කරා රැගෙන යාමත් සිදුවූ නිසා කිසිවෙකුගේ සුශුම්නාවට  හානි සිදුවුණේ නැහැ. ඒක ඉතාම හොඳ තත්ත්වයක්. බස් එකෙන් එළියට විසිවුණ කාන්තාවන් හත් දෙනෙක් හිටියා. ඒ හත් දෙනාත් ඒ  ආකාරයෙන් ආරක්ෂිත වුණා. මම තවත් වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල කීප දෙනෙක් සමග ඇල්ල වැල්ලවාය පාරේ රාවණාඇල්ල කි.මී. 24 කණුව අසලට යන විටත් විශාල පිරිසක් එහි සිටියා. යුද හමුදාව කඹ අතැතිව පල්ලමට බහින්න සූදානම් වෙමින් සිටියා.”

“මම හදවත් රෝගියෙක්. ඒත් මම තීරණය කළා පල්ලමටම බහින්න. ඒ වෙලාවේ මාත් එක්ක ගිය වෛද්‍ය අකිල, මගේ අතේ එල්ලිලා කිව්ව අයියා බහින්න එපා. අයියා උඩ ඉන්න, අපි බහින්නම් කියලා .මොකද ඒගොල්ල මගේ රෝගි තත්ත්වය දන්න නිසා. නමුත් යුද හමුදාවේ ද උදව් ඇතිව මම කඹේ දිගේ පහලට බැස්සා. අකිලත් මගේ පස්සෙන් බැස්සා. ඝන අඳුරේ බසයේ සුන්බුන් ළඟට යන විට රාත්‍රී 10.30 ට පමණ ඇති.

රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමය පිදූ උපහාරය. 

දුරකථන සිග්නල් එම ප්‍රදේශයට නැති නිසා කිසිම සන්නිවේදනයක් අපට තිබුණේ නැහැ. හැබැයි තුවාලකරුවන් උඩට රැගෙන එද්දි උඩහිටිය වෛද්‍යවරු දැන ගත්තා, පාලිත පල්ලමට බැහැලා වැඩේ පටන් අරන් කියලා.”

“එක වෙලාවක දි මට ලොකු පිපාසයක් ආවා. වතුර ටිකක් දෙන්න කියල ඉල්ලු‍වත් කාගේවත් ළඟ වතුර තිබුණෙ නැහැ. මම කිව්වා බස් එකේ ආපු අයගේ වතුර බෝතල් බස් එක අස්සේ හිරවෙලා ඇති හොයන්න කියලා. හමුදාවේ අය මේ විදියට වතුර බෝතල් දෙකක් සොයා ගෙන ආවා. ඒක පොඩ්ඩ පොඩ්ඩ අපි බිව්වා. පැය බාගයක් විතර යන කොට කූල් වතුර ගෝනියක් සමග තරුණයෙක් කඹය දිගේ උඩ ඉඳල පහළට බැහැල තිබුණා. ඒ වතුර අපට දුන්නා. කාටත් ලොකු උනන්දුවක් අවබෝධයක් තිබුණා. තුවාලකරුවන් ගැන සොයා බලලා උඩට එනකොට පාන්දර හතර පහුවෙලා තිබුණා. උඩට එන්න හදන කොට මගේ කකුලේ සෙරෙප්පුවක් වත් තිබුණේ නැහැ. ඒ වෙලාවේ හමුදාවේ සාමාජිකයෙක් මම එපා කියද්දි එයාගේ බූට් දෙක ගලවලා සර් මේක දාගන්න කියලා මට බූට්ස් දැම්මා. ඒක උඩට යාමේදි ලොකු පිටුවහලක් වුණා.”

“ගෙදර ගිහින් සමාජ මාධ්‍ය හා සහ රූපවාහිනිය බලද්දි තමයි දැක්කේ ඒ ප්‍රපාතයේ තරම්. අපි බැහැල තිබුණේ අඩි දහසක ප්‍රපාතයකට. කඹේ දිගේ විශාල පිරිසක් පහලට බැස්සා. වැරදිලාවත් කඹය කැඩුණ නම් සිය ගණනක් ප්‍රපාතයට වැටෙන්න ඉඩ තිබුණා. මෙම අනතුරේ දි වෛද්‍යවරු සහ අනෙකුත් කාර්ය මණ්ඩලය කැපවී රාජකාරිය කළා.  චින්තක සමරජීව සහ අකිල රත්නායක යන වෛද්‍යවරු දෙන්නා ඒ අතර විශේෂයෙන් සිහිපත් කළයුතු වෙනවා.”

?  කොහොමද මෙවැනි අනතුරක දී සෞඛ්‍ය කාර්යමණ්ඩලය සාමූහිකව මේ වගේ වහාම ක්‍රියාත්මක වෙන්නේ ?

“කා අතරත් මතයක් හැදිල තියෙනවා අනතුරක් වූ ගමන් පාලිත රාජපක්ෂට කියන්න ඕන කියල. ඒ අනුව බොහෝ වෙලාවට පළමු ඇමතුම එන්නේ මට. අපි වට්ස්ඇප් ගෲප් එකක් හදල තියෙනවා. ඒ අනුව දැනුවත් වෙලා වහාම අදාළ ස්ථානයන්ට යනවා. විශේෂයෙන් බදුල්ල මහ රෝහලේ මම ඉල්ලීමක් කළොත් විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු ඇතුළු සියලු කාර්ය මණ්ඩලය ඕනම දේකට ඉදිරිපත් වෙනවා. අපේ රෝහලේ මේ එකමුතු තත්ත්වය අනෙක් රෝහල්වලටත් ආදර්ශයක් කියල මම හිතනවා. මගේ ඉල්ලීම පරිදි බොහෝ දෙනෙක් විවිධ පරිත්‍යාගයන් රෝහලට සිදු කරනවා. මෙම අනතුරට උපයෝගී කරගත් ස්පයිනර් බෝඩ් හතම එවගේ ලැබුණ පරිත්‍යාග. විදේශගතව සිටින මුස්ලිම් ජාතික මහත්තයෙක් මේ ළඟදි මාව සොයාගෙන ඇවිල්ල රුපියල් ලක්ෂ15 ක් වටිනා දෑ දැඩි සත්කාර ඒකකයට පරිත්‍යාග කළා. මම කවදාවත් ප්‍රයිවට්  ප්‍රැක්ටිස් කරල නැහැ.”

?  බදුල්ල මහ රෝහලට විශාල අඩුපාඩුවක් ව පවතින එන්ජියෝ ග්‍රෑම් යන්ත්‍රයක් ගන්න ’ගිලන් හදවතට අපෙන් ජීවය’ කියල ගිණුමක් ඇරඹුවා නේද ?

“ඔව්. රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විදියට අප එම සත්කාරයට මැදිහත් වුණා. රුපියල් දෙකෝටි තිස්අට ලක්ෂයක මුදලක් එම ගිණුමේ තිබෙනවා . මෙසේ තිබිය දී සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අපට දැනුම් දුන්නා ඔවුන් මෙම යන්ත්‍රය ලබාදීමට කටයුතු කරගෙන යන නිසා අපේ එක ගන්න ඕන නැහැ කියල. අපි තීරණය කළා ඔවුන් යන්ත්‍රය ලබාදුන් පසු අපි ළඟ තියෙන මුදල ඔවුන්ට බාර දෙන්න.” 

?  ඔබතුමා හදවත් රෝගියෙක් ?

“ඔව්. හාර්ට් ඇටෑක් දෙකක් ආවා. දැන් මගෙ හදවත වැඩ කරන්නේ මැෂින් එකකින්. ඒක පපුව තුළ තියෙන්නේ. බැටරියකින් ක්‍රියාත්මක වෙන්නේ. බැටරියේ බලය වයර් දෙකකින් හෘදය වස්තුවට සම්බන්ධ කරලා හෘද ස්පන්ධන වේගය  නියමාකාර කරනවා.” 

?  මෙහෙම තත්ත්වක් තිබිය දී ඇයි ප්‍රපාතයට බැස්සේ ? මේ වගේ සිද්ධියක දී ඔබට ආරූඪයක් එනව ද ? 

“ඔව් ඒක ආරූඪයක් තමයි. මට මොනව වෙනද කියල මටම තේරෙන්නේ නැහැ. කොහොම හරි මිනිස් ජිවිත බේරාගන්න ඕන කියන හැඟීම විතරයි තියෙන්නේ . දැන් මම ඔය ප්‍රපාතයට බහිද්දි සිරුරු ඇඹරෙන කොට වයර් දෙක ගැලවුණා නම් මගේ ජීවිතය එතැනම නතර වෙනවා. දැන් ඇටෑක් දෙකක දී බේරිලා තියෙනවා. ඊලඟ එක ආවොත් කොහොමටත් යයි. ජීවත්වෙලා ඉන්න කාලේ අනුන් ගේ ජීවිතවලට පණ දෙන එක තරම් සතුටක් මගේ හිතේ නැහැ.” වෛද්‍ය පාලිත හැඟුම්බරව පැවසීය.

 - බදුල්ලේ පාලිත ආරියවංශ‍ -

ඌව ආණ්ඩුකාර කපිල ජයසේකර මහතාගෙන් ප්‍රශංසා

වෛද්‍ය පාලිත රාජපක්ෂ

 

වෛද්‍ය පාලිත රාජපක්ෂ බිරිඳ පුතා සහ ලේලිය සමග