- හාල් , එළවළු මිල අහස උසට
- බිත්තර ගණන් අඩු වුණත් කේක් මිල අඩු නෑ
- ඌරුමස් නැති සාද
නත්තල උදාවීමට ඇත්තේ තව දින කිහිපයක් පමණි. බාල, වැඩිහිටි, මහලු කා අතරත් ජාති බේදයෙන් තොරව උත්සව සමයට සැරසෙන්නේ නත්තලත් සමගය. මීට වසර පහ හයකට පෙර මේ සමය සැබෑ උත්සව සිරියක් ගත්තද, ඉන්පසු ඒ සිරිය හේදී යන්නට තරම් සෙනසුරු දසාවක් ලැබුවේ කොයි කාටත් ගොඩ එන්නට බැරි තරමටය.
එයට එක් හේතුවක් වූයේ කොරෝනා වසංගතයයි. අපේ රටට නරක දසාවක් ලබන්නට මුල් පිරුවේ මේ වසංගතයයි. තරාතිරමක් නොබලා මිනිසුන් නැත්තටම නැති කළ වසංගතය සමග රටේ නිර්මාණය වූ විවිධ අර්බුද හා ගැටලු හේතුවෙන් - ජනාධිපතිට හා අගමැතිට ඉල්ලා අස්වීමට සිදුවෙන මට්ටමින් විරෝධතා දැක්වීමට ජනතාව පෙලඹුණි. එය අපේ රටේ මෑත ඉතිහාසය තුළ නොවූ විරූ ප්‍රබලම සමාජ පෙරළිය ලෙස හැඳින්විය හැක.
එසමයෙහි, මේ රටේ සෑම ක්ෂේත්රයකම ඇතිවූයේ - ලිහාගැනීමට දුෂ්කර ගැටලු ය. එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අහස උසට නැග්ගේය. කිලෝමීටර් ගණන් දිග තෙල් පෝලිම් , ගෑස් පෝලිම් රටේ ම සුලබ විය. රසායනික පොහොර තහනම නිසා ගොවියෝ නොසන්සුන් වූහ. සුළු කර්මාන්ත, ව්‍යාපාර පමණක් නොව දැවැන්ත ව්‍යාපාර පවා කඩා වැටුණේය. මේ සිදුවීම් එක පෙළට සිදුවද්දී බොහෝ දෙනකු පවුල් පිටින් රට හැර ගියෝය. ඒ අතර විවිධ තරාතිරම්වල පුද්ගලයෝද වූහ.
එවැනි සංක්‍රාන්ති කාලසීමාවක් පසුකරමින්, පෝලිම් යුගය ද නිවාරණයට පත්කරමින්, යාන්තම් කා බී ජීවිතය ගෙවාගත් මිනිසුන්ගේ අලුත් බලාපොරොත්තුව වූයේ - ජනපතිවරණය හරහා නව පාලනයක් රටෙහි ස්ථාපිත කිරීමයි . ඒ අනුව රටේ සාතිශය බහුතරයක් සෞභාග්‍යමත් හෙට දවසක් තමුනට නැතැත් - සිය දරුවන්ට උරුමකර දිය හැකි වේ යැයි සිතා නව රජයක් පත්කරගත්තේ පසුගිය දශක කිහිපයක් පුරා නිතර දෙවේලේ කන වැකුණු වංචාව, දුෂණය යන වචන යළිත් නොඇසෙන්නටය. ඒ කෙසේ වෙතත් , මෙදා නත්තල් කෑමද හීනයක් බවට පත්වී ඇතැයි පෙනෙන්නේ - හාල් සහ පොල් හිඟයක් රට පුරා ක්‍රියාත්මක වී ඇති හෙයිනි.
පෙරදිග ධාන්‍යාගාරය යැයි පම්පෝරි ගැසූ අපට තූත්තුකුඩියේ හාල්කන්නට සිදුවේයැයි අලුත් රජයට ඡන්දය දුන් කිසිවකුට නොසිතුණත්, මේ වනවිට ද මෙට්‍රික් ටොන් 10,000ක් ආනයනය කිරීමට කටයුතු කර ඇති අතර, එලෙස ගෙන්වූ සහල් තොගයක් පරිභෝජනයට සුදුසු මට්ටමේ නොතිබූ බැවින් - නැවත යැවීමටද කටයුතු කර තිබුණි.
උදාවී ඇති සහල් හිඟය පිළිබඳව පිටකොටුවේ සහල් තොග වෙළෙඳුන් පවසන්නේ - සහල් මෝල් හිමියන් නව පාලන මිලට සහල් සැපයීමට පොරොන්දු වූවත්, සහල් තොග ලැබීමේ ප්‍රමාදයක් ඇති බවය. මේ වනවිට කීරිසම්බා රු. 280ක්, සිල්කිකීරි කැකුළු රු. 290ක්, බාස්මතී රු. 570ක්, සුපිරි බාස්මතී රු. 720ක්, සුවඳැල් රු. 570ක් වැනි අධික මිලකට අලෙවි වන අතර, පකිස්තාන් බාස්මතී කිලෝ එකක් අලෙවි වන්නේ රු. 970ක් වැනි මුදලකටය. එම වෙළෙඳුන් පවසන්නේ උත්සව සමය පැමිණියත්, මිල අධික සහල් වර්ග අලෙවියේ අඩුවක් ඇති බවයි. ඒ ලෙසම රජය මැදිහත් වී සහල් ගැටලුව විසඳුවේ නැතිවුවහොත් සහල් ගැටලුව මීට වඩා දුරදිග යාමට ඉඩකඩ ඇති බවයි.
පසුගියදා ඇතිවූ වර්ෂාවත් සමග වැඩිපුරම හානි වූයේ එළවළු වගා බිම්වලටය.. උඩරට මෙන්ම පහතරට එළවළු ද නොසිතු ලෙස ඉහළ නැංගේ - අත්‍යවශ්‍ය කාලයේම බැව් පාරිභෝගිකයෝ මැසිවිලි නගති. පසුගිය කාලයේ කැරට් කිලෝවක් රු. 2000කට වඩා ඉහළ මිලකට පැවැති අතර, මෙවර ද බොහෝ එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබුණේ ග්‍රෑම් 100ක් 200ක් හෝ මිලදී ගන්නට අපහසු තරමටය. අල , ලූනු මිලද එයට සාපේක්ෂව ඉහළ ගොස් තිබුණේ ගංවතුරේ බලපෑමෙන් බැව් වෙළෙන්දෝ පවසති.
නත්තල් සමය යනු - කා බී ප්‍රීතිවන සමයකි. වසරක අවසානයත්, නව වසරක සම්ප්රාප්තියත් සමගම, ජාති ආගම් වශයෙන් නොබෙදී බොහෝදෙනා අතමිට දිගහැර වියදම් කොට උත්සව සමය ගෙවා දැමීමට කටයුතු කළත්, උත්සව සමයේ අත්‍යාවශ්‍ය බොහෝ දෑ මිල ඉහළ යාම දරාගත නොහැකි තරම් ය. නත්තල් කාලයේ ඉතාමත් ජනප්‍රිය නත්තල් කේක් ආදී නා නා විධ කේක්වර්ග ඉතා අධික මිලකට පැවතීම හේතුවෙන් පාරිභෝගික ජනතාව මෙන්ම, බේකරි හිමියෝ ද අසරණ වී සිටිති.
සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එන්. ඒ. ජයවර්ධන පැවැසුවේ මෙවන් අදහසකි.
“මේ නත්තල් කාලෙ තමයි කේක් වර්ග වැඩියෙන් ම අලෙවි වෙන්නේ. එහෙම වුණා කියලා මේ වෙද්දි කේක් මිල අඩු කරන්න පුළුවන්කමක් නැහැ. මොකද බිත්තර මිල පොඩ්ඩක් අඩුවුණත්, අනිත් හැම ද්‍රව්‍යයක්ම මිල වැඩියි. මේ රජයට අපි ඉල්ලිම් කළත් - පිටි සහ මාගරින් මිල අඩුකරන්න කියලා, තාමත් ඒවාට ප්‍රතිචාරයක් නැහැ. ඇත්තටම එහෙම අඩුකරන්න පුළුවන්. එහෙම කරනවානම් බේකරි කෑම ගොඩක් මිල අඩුකරලා පාරිභෝගිකයාට සහනයකත් දෙන්න පුළුවන්”.
“මේ කාලෙ වැඩියෙන්ම අලෙවි වන්නේ නත්තල් කේක්. ඒත් මිල අහස උසට. පාරිභෝගියාට දරාගන්නත් බෑ, අපිට දරාගන්නත් බෑ. කජු කිලෝවක් 5500- 6000 වගේ මිලකට අලෙවි වන්නේ. රටඉඳි, මිදි මිලත් හොඳටම වැඩියි. මේවා නැතිව කොහොමද නත්තල් කේක් හදන්නෙ. අලුත් අවුරුද්දේවත් පිටි සහ මාගරින් සමාගම් එක්ක කතාකරලා මිල අඩුකරන්න එකඟතාවකට රජය එනවානම් අපි ඒ සහනය පාරිභෝගිකයාට දෙනවා.”
නත්තල් කාලයේ ඌරුමස්වලට ඉතා හොඳ ඉල්ලුමක් පැවතීම සාමාන්‍ය සංසිද්ධියකි. නමුත් මාස කිහිපයක් තිස්සේ ඌරු මස් වෙළෙන්දෝ කබලෙන් ළිපට වැටී සිටිති. ඒ ඌරන්ට වැලඳුණු අප්‍රිකානු සූකර රෝගය නිසාය. මේ හේතුවෙන් ලංකාවේ බොහෝ ප්‍රදේශවල පවතින ඌරු ගාල්වල ඌරන් විශාල වශයෙන් මියගිය අතර, බොහෝ දෙෙනක් ඌරුමස් කෑමෙන් වැළකී සිටියහ. පසුගිය කාලයේ ඌරුමස් බහුලව අලෙවිවන ප්‍රදේශවල පවා මස් අලෙවිය ඉතා ශීඝ්‍රයෙන් පහළ වැටුණ අතර, මෙදා නත්තලට ඌරුමස් අලෙවි නොවන බව පැවැසුවේ ජාඇළ ප්‍රදේශයේ ඌරුමස් අලෙවිසලක නම සඳහන් කිරීමට අකමැති හිමිකරුවෙකි.
“මෙදා සැරේනම් අපි හාන්සියි. වෙන අවුරුදුවල නත්තල් කිට්ටුවෙනකොට වැඩියෙන්ම විකිණෙන්නේ ඌරුමස්. මොකද, මිනිස්සු මොනවා නැතත් - නත්තලට කාලා බිලා හිටියා. අපිට මාස දෙකක් තිස්සේ බිස්නස් නැහැ. දරු පවුල් ජීවත් කරවන්න විදියක් නැහැ. අපි මස් ගන්න ගොවිපොළවලත් ඌරෝ මැරුණා. තාමත් මිනිසුන්ගේ බයක් තියෙනවා ඌරුමස් කන්න. ඒක හිතින් තුරන් වෙනකම් අපට බිස්නස් නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්වෙලා හෝ මේ බිය තුරන් කරනවානම් හොඳයි. නැත්නම් අපට වෙන්නේ හිඟා කන්න.” නත්තල් සමය ළංවෙද්දීම බොහෝ දෙනකුගේ මතකයට නැගෙන්නේ නත්තල් සැරසිලිය. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ නත්තල් ගසයි. මේ වනවිට වෙළෙඳපොළේ එක් එක් මිල ගණන් යටතේ ප්ලාස්ටික් නත්තල් ගස් විකිණීමට ඇති නමුත්, තවමත් ස්වභාවික පයිනස් අත්තකින් නත්තල් ගසක් සැදීමට කැමති පිරිස් ද වෙති. උඩරට ප්‍රදේශවලින් පයිනස් අතු කපා ගෙනවිත් - කොළඹ තිඹිරිගස්යාය පාර අයිනේ තබාගෙන අලෙවි කරන වෙළෙඳුන් සෑම වර්ෂයකම දක්නට ලැබෙන සුලබ දසුනකි. සෑම වසරකම පාහේ මෙම ස්ථානයේ පයිනස් ගස් අලෙවි කිරීමට පැමිණෙන බණ්ඩාරවෙල ජයතිලක පැවසුවේ මෙවන් කතාවකි.
“අපි සෑම වර්ෂයකම මේ ස්ථානයේ ෆයිනස් ගස් අලෙවි කරන්න එනවා. මේ ගස් ගේන්නේ බණ්ඩාරවෙලින්. නත්තල් කාලයටම කපන්න මේ ගස් වතුවල වගා කරනවා. දෙසැම්බර් මාසය මැද වෙද්දි ගස් කපා මෙතනට අරගෙන එනවා. ඇත්තටම මහ ලොකු ලාබයක් නැහැ. දැන්නම් එන්නේ පුරුද්දට වගේ. හැම අවුරුද්දකම මේ ගස් ගන්න කිහිපදෙනෙක් ඉල්ලන නිසා ගේනවා. ලොරි ගාස්තුව රු 60,000ක්. මේ ගස් විකුණන්නේ ගසේ උස , ප්‍රමාණය අනුව. රුපියල් 3,000 සිට 10,000 දක්වා විකුණනවා. සමහරු පොඩි අතුකෑලිත් අරන් යනවා. ඉස්සර හැමෝම නත්තල් ගහක් හැදුවේ පයිනස් අතුවලින්. මේ අතුවලින් සුවඳක් විහිදෙනවා. නත්තල් ගහ ගේ ඇතුළේ තැබුවාම හරිම සුවඳයි. ඒක දන්න අය විතරයි මේ ගස් මිලදී ගන්නෙ.”
“ගොඩක් අය ප්ලාස්ටික් නත්තල් ගහට හුරුවෙලා. ඒ නිසා තමයි අපිට දැන් බිස්නස් අඩු. මේ වගේ අත්තක් අරගෙන ගිහින් සරසන එකේ සතුට ප්ලාස්ටික් නත්තල් ගහකින් ගන්න බෑ. අපි දවස් දහයක් විතර මෙතන නිදි මරාගෙන ඉන්නවා. 24 වැනිදා හවස් වරුව වෙනකම් විතරයි විකුණගන්න පුළුවන්. ගිය අවුරුද්දෙත් මගේ ගස් සෑහෙන ප්‍රමාණයක් ඉතිරිවුණා. එහෙම වෙලාවට ඉතින් නගර සභාවටත් කීයක් හරි දීලා අස්කරන්න කියලා ගෙදර යන එක තමයි කරන්නේ. මේ අවුරුද්දත් ඒ වගේ තමයි. මිනිස්සු බලබලා යනවා විතරයි. ගන්නේ නෑ.”
මේ දිනවල පිටකොටුවේ මෙන්ම සෑම නගරයකම පාහේ පදිකවේදිකාපිරි තිබෙන්නේ නත්තල් සැරසිලිවලිනි. ප්ලාස්ටික්වලින් නිර්මාණය වී ඇති ඒ බොහෝ දෑ ආනයනය කර ඇත්තේ චීනයෙනි. ඉතා කුඩා නත්තල් සැරසිල්ලක් පවා මිලෙන් ඉහළ අතර බොහෝ දෙනා අතගා බලනවා මිස - මිලදී ගන්නේ නැති බව වෙළෙන්දෝ පවසති.
නත්තලේ අරුත වන්නේ අන් අයටත් කෑමෙන් බීමෙන් හෝ යමෙකින් පුද සත්කාර කොට ප්‍රීතිමත්ව ජිවිතය ගෙන යාමයි. එවන් නත්තල් කාලයක් නැවත ආශ්චර්යයකින් හෝ උදාවනතුරු මිනිසුන්ට සිදුවන්නේ කනවාට වඩා ලෙවකෑමට ය.
-සුජිත් ප්‍රසංග