(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ සාකච්ඡාවක් වහාම කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොරෝනා විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
මේ අවස්ථාවේදී අප කළ යුත්තේ එක එක්කෙනාගේ වැරදි සොයනවාට වඩා තිබෙන ප්‍රශ්නය විසඳා ගැනීම යැයි පැවසූ හිටපු ජනපතිවරයා ජාතික ව්‍යසනයක් පවතින අවස්ථාවක සියලු දෙනා පක්ෂ පාට බේද අමතක කර එකාවන්ව ඒකරාශි විය යුතු බවද සඳහන් කළේය.
රට අද මුහුණ දී සිටින්නේ මුළු ලෝකයම බලාපොරොත්තු නොවූ ව්‍යසනයකට යැයිද හෙතෙම පැවසුවේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මීට වඩා උදව් මෙරටට ලබා ගත හැකි බවත් මුළු ලෝකයේම නායකයන් මේ ව්‍යසනයෙන් අද කම්පනයට පත්ව සිටින බවත් සිරිසේන මහතා ප්‍රකාශ කළේය .
සෞඛ්‍ය සේවයේ සම්පත් හිඟය ශ්‍රී ලංකාව පමණක් මුහුණ දී සිටින තත්වයක් නොවේ යැයි කී හෙතෙම ලෝකයේ බොහෝ රටවල් සෞඛ්‍ය සේවයේ සම්පත් හිඟයට මුහුණදී ඇතැයිද කීවේය.
මේ තත්වයෙන් ගොඩ ඒමට සියලු දෙනා එකාවන්ව අධිෂ්ඨාන කරගත යුතු බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

