’’ලංකාව අයි.එම්.එෆ් වහලෙක් විය යුතු නෑ’’


(අංජුල මහික වීරරත්න)

ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වහලෙක් විය යුතු නැතැයි මැල්කම් කාදිනල්  රංජිත්  කොළඹ අගරදගුරු තුමෝ කොළඹ දී අද (9)පැවසූහ.

රටේ ජනතාවගේ විශාල දරිද්‍රතාවය ගැන මූල්‍ය අරමුදලට වැටහීමක්  නැතැයි කී කාදිනල් තුමෝ එහි කොන්දේසි වෙනස් කර ගැනීමට කටයුතු කළ යුතු යැයි ද කීහ.

කොළඹ අග රදගුරු මැදුරු දේවස්ථානයේ පැවැති දේව මෙහෙයකදී කාදිනල් තුමෝ මේ බව කීහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් තුමෝ,
අපගේ ඉතිහාසය සහ සභ්‍යත්වය හැදිලා තියෙන්නේ බෞද්ධ දර්ශනය මතයි.එය රටට උරුම වූ ප්‍රධාන පෙළේ දායාදයක්.අවුරුදු 2600ක කාලයක් තිස්සේ පැවතෙන උරුමයක් සහිත අපට පිටරට වලින් එන දේවල් හොඳ ද නරක ද කියා තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා.

විදේශ රට වලින් එන චින්තන පස්සේ වහලුන් වාගේ ,ඇඹලයන් වාගේ යෑම අපේ ආත්ම ගරුත්වයට මදි කමක්.අපේ සමාජයේ දිළිඳුකමින් දරිද්‍රතාවයෙන් පීඩා විඳින බොහෝ දෙනෙක් ඉන්නවා.එවැනි පසුබිමක් තුළ විදේශ රට වලින් ණය ලබා ගන්න එපා යැයි අප කියන්නේ නැහැ.නමුත් විදේශ රට වලින් අප ණය ලබා ගන්නවා නම් ඒ ණය පියවීම සඳහාත් අප විසින් වැරදි නැති ක්‍රියාමාර්ග ගත යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට එකඟ විය යුතුයි කියන කාරණය මා විවේචනය කරන්නේ නැහැ.නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වහලුන් විය යුතු නැහැ.