’’රුපියල පාවෙන තුරු මහ බැංකුව පොල් ගෑවාද’’


(සුජිත් හේවාජුලිගේ)

නූල කැඩුණු සරුංගලේ වගේ රුපියල පාවෙන තුරු මහ බැංකුව පොල් ගෑවාද කියලා ප්‍රශ්න කරන්න වෙනවා  යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ  එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය

ගම්මන්පිල මහතා මෙසේ ද පැවසීය.

“ඩොලරය ස්ථාවර කිරීමට මහ බැංකුව යෙදුවේ තාවකාලික පිළියම්. විනිමය අනුපාතිකය, පොලී අනුපාතිකය වගේම උද්ධමනයත් ස්ථාවර කිරීමේ වගකීමේ තිබෙන්නේ මහ බැංකුවට. එවැනි පසු බිමක නූල කැඩුණු සරුංගලේ වගේ රුපියල පාවෙන තුරු මහ බැංකුව පොල් ගෑවා ද කියලා අපට ප්‍රශ්න කරන්න වෙනවා. මහ බැංකුව මුල් අවස්ථාවේම විදේශ විනිමය අනුපාතය පාලනය කරන්න මැදිහත් නොවුණු නිසා  අවසානයේ ඩොලර් මිලියන 500කට ආසන්න ප්‍රමාණයකින් අපේ විදේශ විනිමය සංචිතය අඩු කර ගන්න වුණා කියන චෝදනාව අපි කරනවා. ඒ වගේම මහ බැංකුව බලහත්කාරයෙන් විනිමය අනුපාතය පහත තියා ගන්න උත්සාහ කළොත් ඒකෙන් වෙන්නේ දැවැන්ත කළු වෙළෙඳපොළක් නිර්මාණය වීමයි කියන එක තමයි 2022 දී අපි ඉගෙන ගත්තු තිත්ත පාඩම.