(ඩයනා උදයංගනී)
කෙරවලපිටිය ‘යුග දනවි’ විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පවරා දෙමින් රජය ක්‍රියාත්මක කිරීමට යන ව්‍යාපෘතිය හරහා රටේ ස්වෛරීත්වය හා බලශක්ති සුරක්‍ෂිතතාවය අනතුරකට පත්විය හැකි බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා අද 6) පැවසීය.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය හරහා රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 40ක් නිපදවීමේ ඒකාධිකාරය එම සමාගමට හිමිවීමේ අවදානමක් මතුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ජී.වීරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී ඔහු මෙසේ ද පැවසීය.
“දැවිතෙල්වලින් ක්‍රියාත්මක වන විදුලි බලාගාර ගෑස්වලින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් රට තුළ තිබෙනවා. එහිදී දැනට ඩීසල්වලින් ක්‍රියාත්මක වන කෙරවලපිටිය යුගදනවි බලාගාරය පළමුව තෝරාගෙන තිබෙනවා. ගෑස්වලින් සිදුවන පරිසර හානි ඉතා අවම නිසා එහි ගැටලුවක් නැහැ. නමුත් යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් නිව් පෝට්‍රස් නම් ඇමෙරිකානු සමාගමකට දීමට රජය ගිවිසුමක් ඇතිකරගෙන තිබෙනවා. එමෙන්ම මෙයට අවශ්‍ය ගෑස් ලබාගැනීමට ඉදිවන මුහුදේ පාවෙනගබඩාව හා ඉන් පිටතට ගෑස් ගෙන එන නල මාර්ගය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවා එම පටිපාටිය සම්පූර්ණ කර තිබියදීත් එම කොන්ත්‍රාත්තුවත් මෙම සමාගමට දුන් බව කියනවා. ඒ ඇමෙරිකානු ඩොලර් මිලියන 250කටයි. බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ලැබීමත් සමඟ එය පාලනය කිරීමේ බලයත් ඇමෙරිකානු සමාගමට හිමිවෙනවා.
දැනට මෙම බලාගාරයෙන් නිපදවන්නේ මෙගාවොට් 300ක විදුලියක් වුවත් මෙගාවොට් 1,900ක් නිපදවීමට අවශ්‍ය ගෑස් ගබඩාවක් ඉදිකිරීමට යාමෙන් මින් තවත් බලාගාර කිහිපයකට ගෑස් සැපයීමේ වැඩපිළිවෙලක් ඇති බව පේනවා. ඉදිවෙමින් පවතින සොබාදනවි බලාගාරය, කැලණිතිස්ස බලාගාරය මෙන්ම ඉදිරි වසර දෙක තුන තුළ කෙරවලපිටියේ ඉදිවීමට නියමිත මෙගාවොට් 1,500ක් පමණ නිපදවන බලාගාරවලටත් මේ සමාගම හරහාගෑස් සැපයීම සිදුවිය හැකියි. ඒ අනුව රටට අවශ්‍ය විදුලියෙන් සියයට 50ක් නිපදවීමේ ඒකාධිකාරය පුද්ගලික ඇමෙරිකානු සමාගමකට ලැබෙනවා.
ටෙන්ඩර් කැඳවා ඇගයීම් අවසන් කර තිබියදී එය අහෝසි කර ඇමෙරිකානු සමාගමකටදීමට හේතු මොනවාද? ඒ ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණේත් විදේශ රටවල් නිසා මේ හරහා රාජ්‍ය තාන්ත්‍රික ගැටලු ද මතුවිය නොහැකිද? සියයට 50ක ඒකාධිකාරයක් පුද්ගලික සමාගමකට හිමිවීමෙන් ලංකාවේ ස්වෛරීත්වයට කොතරම් තර්ජනයක් එල්ලවෙයිද යන්නත් අප දැනගත යුතුයි. රටේ මර්මස්ථානයක පාලනය ඇමෙරිකානු සමාගමකට දීමෙන් රටේ බලශක්ති සුරක්‍ෂිතතාවය අනතුරකට ලක්වෙනවා."

