’’මිල්ලෑව බන්ධනාගාරයේ ඉදිකිරීම් ඔක්තෝබර් මාසයේ අරඹනවා’’


(සුජිත් හේවාජුලිගේ)

හොරණ මිල්ලෑව බන්ධනාගාර සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ලබන ඔක්තෝම්බර් මාසයේදී අරඹන බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය.

මෙය එම ප්‍රදේශයේ අක්කර දෙසීයක පමණ භූමි භාගයක ඉදිකෙරෙන්නකි.

මෙම නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීමෙන් පසුව වැලිකඩ පිහිටි සියලුම බන්ධනාගාර ඒ ස්ථානයට රැගෙන යාමට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

වැලිකඩ බන්ධනාගාර පිහිටි අක්කර 40 ක පමණ භූමි භාගය සංවර්ධන කටයුත්තකට පවරා ඒ ලැබෙන මුදලින් මෙම නව බන්ධනාගාරය ඉදි කෙරෙන බව ලොහාන් රත්වත්තේ මහතා කීවේය.

මිල්ලෑව නව බන්ධනාගාර සංකීර්ණය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ඉදිකිරීමට සියලු සැලසුම් සකස් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.