’’දැලි පිහියෙන් කිරි කන්න හදන අයවැයක්’’


(අමිල චින්තක ගමගේ)

මෙවර අයවැය දැලි පිහියෙන් කිරිකෑමට උත්සාහ කරන අයවැයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.

අන්තිමට ජනතාවට  කිරිත් කෑමට නොහැකිව දිවත් කැපී කෙළවර වීමට ඉඩ තිබෙන බවද ඔහු සඳහන් කළේය.

මෙවර අයවැය රනිල් වික්‍රමසිංහ ගිය නව ලිබරල් පාරෙම ලංකාව තවදුරටත් ගෙන යෑමට උත්සාහ කිරීමක් බවද ඔහු කීය.

බදු ආදායම ඉපයීම සම්බන්ධව ආණ්ඩුවට යෝජනා 22ක්  තම පක්ෂය ඉදිරිපත් කළ බවත් ඒවා සැලකිල්ලට ගත් බවක් පෙනෙන්නට නැතැයිද ඔහුු කීය.

තම පක්‍ෂයේ යෝජනාව වූයේ බිලියන ගණන් ලාභ ලබන ධන කුවේරයන්ගෙන් විශේෂ බද්දක් අයකර ජනතාවට සහනදීමට කටයුතු කිරීම බවද පුබුදු ජයගොඩ සඳහන් කළේය.

එසේම බඳු පැහැර හැරී පුද්ගලයන්ගෙන් බදු අය කරන ලෙසද තම පක්ෂය  යෝජනා කළ බවද ඔහු කීය.

ආණ්ඩුවේ එකම අපේක්ෂාව වාහන ආනයනයෙන් බදු පවරා සල්ලි සෙවීම වුවත් එය සාර්ථක උත්සාහයක් නොවන බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධව ආණ්ඩුව යෝජනා කරන සමහර කරුණු පසුගිය ආණ්ඩුව කිරීමට උත්සාහ කර ජනතා විරෝධය හමුවේ කර ගැනීමට නොහැකි ඒවා බවද ඔහු කීය.

මෙවර අයවැය රනිල්ගේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනයාමක් බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 15000 කින් වැඩිවන බව පැවසුවත් එය වැඩිවන්නේ අවුරුදු තුනක් තිස්සේ බවද සැබෑවටම වැඩිවන ගණන 8250 ක් බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමෙන් පමණක් තිබෙන අර්බුදයට විසඳුම් නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.