’’ජාවාරම්කරුවෙක් ආගමික ගැටුම් ඇති කරන්න හදනවා’’


(යොහාන් භාසුර)

දිවැස් ප්‍රසාදිවරු ලෙස පෙනී සිටිමින් ආගම් අතර ගැටුම් ඇති කිරීමට ඇතමුන් දරණ උත්සහය පිළිකුල්සහගත ලෙස හෙළා දකින බවත් දෙවියන්වහන්සේ තෝරාගන්නා පුද්ගලයාට පමණක් ‘දිවැස් ප්‍රසාදි’ ධූරය හිමිවනවා මිස ‘දිවැස් ප්‍රසාදි’ යැයි තමන්ටම නම් කරගත නොහැකි බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

රාගම තේවත්ත ලුර්දු මාතා දේවස්ථානයේ ඉදිකළ මීසම් ගෘහය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණෝ එසේ පැවසූහ.

එම පුද්ගලයා වෙනත් ආගම්වල සහෝදර සහෝදරියන්ට අපහස කිරීමේ ක්‍රියාවලියක ද නිරතව සිටින බවත් ඔවුන් ධර්මයට නිගා කිරීමේ වැඩසටහනක ද නිරතව සිටින බවත් උන්වහන්සේ කීහ.

බෞද්ධ භික්‍ෂූන්වහන්සේ කෙනකු ලෙස පුද්ගලයෙක් අන්දවාගෙන සුව කරන්නේ යැයි පෙන්වන බව කී උන්වහන්සේ බෞද්ධයන්ගේ සිත පෑරීමට මෙම පුද්ගලයා කටයුතු කරන බව ද සඳහන් කළහ.

බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ලෙස පෙනී සිටින පුද්ගලයා ආගම් අතර ගැටුම් ඇති කිරීමේ ඉලක්කයේ සේවකයෙක් බවට පත්ව සිටින බවත් එය බෞද්ධ භික්‍ෂූන්වහන්සේගේ සිත රිදවන කටයුත්තක් බවට පත්ව ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

එම කටයුත්ත සම්පූර්ණයෙන්ම වැරදි දෙයක් වීම හේතුවෙන් එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද අගරදගුරු හිමිපාණෝ සඳහන් කළහ.  

සමාජයේ ඇතමුන් තමන් ‘දිවැස් ප්‍රසාදි’ යැයි කියමින් ජනතාව මුලාකිරීමේ ව්‍යාපෘතිවලට ගොදුකරගෙන ඇති බවත් එම පුද්ගලයා කරගෙන යන වැඩපිළිවෙළට පොහොසත් සහ කෙරුමකරුවන් වන කොටසක් හහසුවී සිටින බවත් උන්වහන්සේ කීහ.

සියලු දෙනාගේම මුදල් එකතු කරමින් ඒ මනුස්සයා විශාල ජාවාරම්කරුවෙක් බවට පත්ව ඇති බව කී අගරදගුරු හිමියෝ දෙවියන් වහන්සේ ‘ජැක්පොට්’ මැෂිමක් නොවන බව ද සඳහන් කළහ.

සල්ලිකාරයෝ තවත් සල්ලි සොයන්න ‘දිවැස් ප්‍රසාදි’ යැයි කියන පුද්ගලයන් වෙත දුවන බවත් සල්ලි මැෂින්වලින් දෙනවා යැයි එතනට යන මිනිසුන් සිතන බවත් උන්වහන්සේ වැඩි දුරටත් පැවසූහ.