’විදුලි බල මණ්ඩලය 2020 දී තවත් කෝටි 6000 ක් ණය වෙනවා’


(විනීතා එම් ගමගේ)

           

ලංකා විදුලි බල මණ්ඩලය 2020 වසර අවසන් වනවිට රුපියල් කෝටි 12,000 ක පමණ ණය බරක් එකතු වනු ඇතැයි මගී ප‍්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය.

අද වනවිට විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 6000ක ණය ප‍්‍රමාණයක් ගෙවීමට ඇතැයි ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

විදුලි ඒකකයක් රුපියල් 23ත් 45 ත් අතර මිලකට මණ්ඩලයෙන් මිල දී ගත්තත් යළි පාරිභෝගිකයන් අතට පත් කරන්නේ රුපියල් 16 ක් වැනි මිලකට වීමෙන් ඉදිරි වසරේ දී ඒ හා සමාන ණයක් එකතු වන බව අමාත්‍යවරයා සඳහන්  කළේය.

තෙල් සංස්ථාවට පමණක් රුපියල් අට කෝටි තිස් ලක්ෂයක් ණය ගෙවීමට ඇතැයි ද ඒ ඩීසල් බලාගාර සඳහා ලබාගත් ඉන්ධන සඳහා බව ද කී අමරවීර මහතා කුඩා සමාගම්වලට ජල විදුලිය සඳහා ගෙවිය යුතු මුදල් මාස කිහිපයකින් ගෙවා නැතැයි ද පැවැසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම් ආයතනයේ අද (30) පැවති සාකච්ඡාවක දීය.

පරිසර යුක්ති කේන්ද්‍රය මගින් මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ බල ශක්ති අර්බුදයට එකම විසඳුම ගල් අඟුරු  බලාගාර ද යන මාතෘකාව ඔස්සේය.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමරවීර මහතා කියා සිටියේ මෙගා වොට් දෙදහසක් නිපදවීම සඳහා ගිවිසුම් අස්සන් කර ඇතත් එල් එන් ජී බලාගාර දෙකෙන් එකක් වත් ක‍්‍රියාත්මක කර නැතැයි ද කීය.

සුලං බලාගාර පවා සමහර අවස්ථාවල ප‍්‍රශ්නකාරි වන බවත් සූර්යබල ශක්තිය නිපදවන අවස්ථාවන් පවා නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන බවත් පැවසු අමරවීර මහතා මණ්ඩලය  පාඩු ලබන්නේ මෙවැනි පරිසරයක් යටතේ යැයි ද කීය.